Sunday, November 27, 2011

41. කුකී පැකට්ටුව | The Packet of Cookies

Chocolate-Chip-Cookies-Gifts

ගුවන් මගී පර්යන්තයේ ටයිල් බිත්තියෙන් බාගයක් විතර වසාගෙන පැතිරුණු දැවැන්ත ඩිජිටල් නාමපුවරුව දිගේ උඩට පහළට ඇස් අරගෙන ගිය තරුණිය තරමක ආයාසයකින් තමන්ගේ ගුවන් බසයට හිමි අංකය හොයා ගත්තා… ඒ දිගේ හරහට ගෙනගිය ඇගේ ඇස් නතර වුණේ අවසන් තීරුවේ රතුපැහැති ලේබලය ඉදිරියේයි… “Delayed ” ගුවන් ගමන් මගියෙක් විදියට ඇය දකින්න අකමැතිම වචනය නිවී නිවී පත්තු වෙවී තිබුණේ ඇයට ඔලොක්කුවට වාගේයි…

“කමක් නෑ හේතුවක් ඇතුවනේ පරක්කු වෙනවා ඇත්තේ… කුණාටුවක අහුවෙලා මැරුම්කන්නේ නැතිව බේරුණා කියලා හිත හදාගනින්…” තමන්ට කියාගත් තරුණිය ඉන්පස්සේ වටපිට බැලුවේ අතිරේකව එකතු වුණු මේ පැය කීපය ගෙවාගන්න මගක් කල්පනා කරන ගමන්…

පසෙකින් තිබුණු කෝපිහලත්, තම අත්බෑගයේ පිටත කවරයක රැඳවුණු අයිපෑඩයත්, ඒ ඉදිරියෙන් වූ මගීන්ගේ විවේක අංගනයත් ඇයට ඉතිරි කාලය ගෙවීමේ සැලැස්ම මනසේ ඇඳලා දුන්නේ වැඩි අපහසුවකින් තොරවයි… තමාගේ ප්‍රියතම වර්ගයෙන් කෝපි කෝප්පයක් ඇණවුම්කරගත් ඇය එය තොලගාන අතරේ අතරේ සැපීම සඳහා කුකී පැකට්ටුවකුත් මිලදී ගත්තා…

තවත් සුලු මොහොතකින් ඇය සිටියේ කෑමට කුකී සහ බීමට කෝපි වළින් සන්නද්ධව පැය ගණනක් හෝ ගතකිරීමට සූදානම්ව මගී අංගනයේ සුවපහසු අසුනක් සොයමින්… දැවැන්ත වීදුරු බිත්තියෙන් ඔබ්බෙහි පිහිටි ධාවන තීරු ඔස්ස්සේ ඔබ මොබ ගමන් කරනා ගුවන් යානා වල දර්ශනයට ලොබ බැඳි නිසාම ඇය කෙළවරටම වන්නට ඇති අසුනකට බරදුන්නේ ඊට යාබද අසුනේ සිටි තරුණයා ගැන වැඩි තැකීමක් නොකරමයි…

කෝපි කෝප්පය අත් ඇන්දට සම්බන්ධ කුඩා මේස ලෑල්ලක් වැනි අධාරකය මතින් තැබූ ඇය තම අයිපෑඩය ක්‍රියාත්මක කරමින් අන්තර්ජාලයට සම්බන්ධවීමට අවශ්‍ය සීරුමාරු කිරීම් වල යෙදෙන්නට වුණා… එය අවසන්වනවාත් සමගම යාබද අසුනේ සිටි තරුණයා කළ දෙයින් ඇය විස්මයට පත්වුණා…

සගරාවක් වැනි යමක් කියවමින් සිටි ඔහු ඉන් දෑස් ඉවතට නොගෙනම පුටු දෙක අතර තබාතිබූ කුකී පැකට්ටුවෙන් කුකී එකක් ගෙන සපන්නට වූයේ තරුණියගෙන් එය ඉල්ලනවා තබා ඇය එතැන ඉන්නවාද යන වගටවත් අවධානයක් යොමු නොකරමින්…

“ඈහ්…? පෙනේද මේ ජරා කොල්ලගේ හැසිරීම…” ඇයගේ සිත එසේ හඬගෑවත් මුවින් එය පිටවන්නට නොදී ඇය පාලනය කරගත්තේ සමහරවිට තරුණයා තමා කියවන දෙයට තිබූ අධික අවධානය නිසා කුකී එකක් ගන්නදැයි ඇයගෙන් ඇසීමට අමතකවන්න ඇතැයි හිත හදාගනිමින්… සිතට නැගුණු කේන්තිය ආයාසයකින් පාලනය කරගත්තත් ඔහුගේ ඒ අශීලාචාර හැසිරීම ඇය නොඉවසන බව පෙන්වීමට මෙන් ඇයද කුකී එකක් ගත්තේ තරුණයා දෙස එක එල්ලේ බලාගෙනමයි… ඇස් කොනකින් පමණක් ඇයගේ ක්‍රියාව දෙස යාන්තමින් බැල්මක් හෙළු ඔහු ඉන්පසු ඇය දෙස නොබලාම සගරාව දෙස නෙත් යොමාගෙන දිගටම කියවීම කරගෙන ගියා…

තවත් සුළු මොහොතක් ගතවෙන්නට ඇති… තරුණයා හිස නොඔසොවාම දෙවෙනි වරටත් පැකට්ටුවෙන් කුකී එකක් ඩැහැගත්තේ ඇයගේ සර්වාංගයේම ලේ කෝප කරවමින්… මෙවරත් පෙර පරිදිමයි… කිසිත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිවයි… ඔහුගේ මේ අශීලාචාර ක්‍රියාව තවත් ඇයට ඉවසීමට නොහැකි බව ඔහුට පැවසීමට ඇය කට ගත්තත්, නන්නාඳුනන රටක අමුත්තෙකු හා දබර වීමට තිබූ පැකිළිම නිසා ඇය නිහඬ වූවා…

මෙතැන් සිට සෙල්ලම සිදුවූයේ එළිපිටමයි… ඇය කුකී එකක් ගන්නා වාරයක් පාසා ඔහුද කුකී එකක් ගන්නට වූයේ පෙර පරිදිම ඇය දෙස බැල්මක් වත් නොහෙළමින්…කාලයත් සමඟ වරකට දෙක බැගින් අවසන් වූ කුකී පැකට්ටුවේ අන්තිමට ඉතිරිවූයේ එක කුකී එකක් පමණයි…

“දැන් බලමු මූ මොකද කරන්නේ කියලා…!” ඇය තමන්ටම පවසා ගනිමින් නිහඬව බලා සිටියේ මොහුගේ මේ අශීලාචාර සෙල්ලම මෙතැනින්වත් අවසාන වේ යැයි බලාපොරොත්තුවෙන්… සගරාව පසෙකින් තැබූ ඔහු පැකට්ටුවේ තිබූ අවසන් කුකී එක ගෙන දෙකට කඩා එක් කැබැල්ලක් ඇය වෙත දිගුකළේ දෙතොලේ සිහින් සිනාවක් රඳවාගෙනයි… මේ සමගින්ම තම ඉවසීම පාලනය කරගැනීමේ හැකියාව ගිලිහීගිය ඇය කැඩුණු ජල නලයකින් වතුර විදින්නාක් මෙන් ඔහුට බැනගෙන බැනගෙන ගියේ අහල පහළ සිටියවුන්ගේද අවධානය ඒ වෙත යොමු කරගනිමින්… කිහිපදෙනෙක් ඒ ගැන විමසමින් ඇයගේ උදව්වට මෙන් එතැනට පැමිණියත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ ඇය දිගින් දිගටම තරුණයාට බණිමින් තම ගමන්මල්ලත් රැගෙන එතැනින් පිටවී යන්නට වූයේ වෙනත් ස්ථානයක ඇති විවේක අංගනයකට යෑමේ අරමුණින්… මේ සම්පූර්ණ වේලාවේම කිසිඳු වචනයක් නොදෙඩූ තරුණයා කුකී කැබැල්ලත් අල්ලාගෙන ඇය දෙස නිහඬව බලාසිටියා… තරුණයාද තමාට ඇතිවූ ලැජ්ජාව නිසාදෝ එතැන තවත් නොරැඳි, සියල්ලන්ගේම අවඥාසහගත බැල්මවල් මගහරිමින් බිම බලාගෙන එතැනින් ඉවතට ඇවිද යන අයුරු විදුලි සෝපානයේ විනිවිද පෙනෙන විදුරු දොරෙන් බලා සිටි ඇයට තමා කල දෙය පිළිබදව ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

විදුලි සෝපානයෙන් ඊළඟ මහලට ගොස් එහි ඇති මගී විවේකාංගනයට පිවිසුණු ඇය එතැන වූ හිස් අසුනක වාඩිවූයේ තවමත් පහව නොගිය කේන්තියෙන් යුක්තවයි… කලබලය අතරේ තමාගේ කෝපි බඳුනද අමතකව පැමිණ ඇතිබව පසක් වූ ඇය වියලුණු දෙතොල් තෙමාගැනීම සඳහා වතුර බෝතලය ගැනීමට අත්බෑගයට අතදැමූ පසු දුටු දෙයින් වික්ෂිප්ත වූවා…

වතුර බෝතලයට පෙර අත්බෑගය තුළ තිබී ඇය අතට අසුවුයේ තවමත් විවෘත කර නොතිබුණු ඇයගේ කුකී පැකට්ටුවයි..!

 

ප.ලි : මේකත් ඊයකින් ආවේ… කලින් අහලා තිවුණේ නැති නිසා බෙදාගන්න හිතුණා… පරිවර්තනයකට වඩා අනුවර්තනයක් කිව්වොත් හරි ඇති… Smile

18 comments :

  1. මං එක. :D
    මම මේක ටිකක් වෙනස් විදිහකට අහල තිබුණා. ඔයත් කතාව ලස්සනට ලියලා.

    ReplyDelete
  2. ගැබුරු අර්ථයක් තියෙනවානේ කතාවේ.නියමයි අපි වුනත් කාට හරි චෝදනා කරන්න කලින් හොයලා බැලුවොත් හොදයි නේද?.

    ReplyDelete
  3. පව් අප්පා අර අහිංසක කොල්ල, මේ කෙල්ලෝ ඔහොම්මමයි

    ReplyDelete
  4. මටත් ආවා ඊයකින්!හැබැයි අපේ විදිහට කියවද්දි තියන රසය වැඩී නේ! ඒ නිසා අනුවර්තනය රස වින්ඳා!

    ReplyDelete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. අර කොල්ලා පවු. කෙල්ලෙක් නිසා නොවිඳිනා බැනුම් අහන්න සිද්ද උනා. කොල්ලගේ ඉවසීම අගේ කල යුතුය !!!

    ReplyDelete
  7. මාත් මේක කියවලා තිබුනා.හැබැයි ටිකක් විතර වෙනස් විදිහකටද මන්දා..
    මොනවා වුනත් රස වින්දා..:)))

    ReplyDelete
  8. අයියෝ අයියෝ හොඳ වැඩේ අර පෙරේත ගෑණු කෙනාට .. ඒත් කානය‍ූආවක් කියන දේ දෙවියොත් පිලිගන්නවා නේ පවු කොලුගැටයා

    ReplyDelete
  9. ස්තූතියි සේරටම...කලින් කියවා ඇති හැමෝටම බවලත් කණගාටුව...

    මට මෙ කතාවෙ වැඩියම ආසා හිතුණේ හොයන්නේ බලන්නෙ නැතුව චෝදනා කරන එක වැරදියි කියන පාඩමටත් වැඩිය, තමන්ගේ කුකී පැකට්ටුවෙන් බාගයක් පැහැර ගන්නකොට ඒක සැහැල්ලුවෙන් බාර අරගෙන අන්තිම කුකී එකෙනුත් බාගයක් දෙන්න තරම් කූල් කැරැක්ටර් එකක් වුණු තරුණයා උගන්නන පාඩමයි... ඇත්ත ජීවිතයේදී මෙහෙම කෙනෙක් වෙන්න මටත් ඇත්නම් කියලා හිතෙනවා...

    [කෙල්ලෙක් නිසායි එහෙම ඉවසුවේ කියලා ඕනි නම් කතාවේ ආතල් කුඩු කරගන්නත් පුළුවන් ඉතින්...]

    ReplyDelete
  10. ම්ම්ම්ම්..... ඇත්ත... මම ඔය පාඩම අත්දැකිමෙන් ඉගෙන ගත්තා...
    හිත් රිදවීම් ගොඩකුත් එක්ක.. :(

    ReplyDelete
  11. මේ කතාව මාත් අහලා තිබුණා රීඩර්'ස් ඩයජස්ට් සඟරාවක පළවුණු සැබෑ කතාවක පරිවර්තනයක් විදිහට. ඒත් ඔබගේ අනුවාදය විශිෂ්ඨයි. ඒ නිසා සමාව ඉල්ලන්න දෙයක් නෑ.
    හැබැයි මම අහලා තියෙන කතාවේ නම් ඉන්නෙ කෙල්ලෙක් නෙවෙයි ටිකක් මැදිවයසේ කාන්තාවක්.ඇය බනින්න ඔන්න මෙන්න ඉන්නකොට තමන්ගේ බිස්කට් පැකට් එක දකින නිසා දෙන්නම නෝන්ඩි නොවී බේරෙනවා.
    කිව්වත් වගේ මගේ අවධානයත් දිනාගත්තෙ අර කොල්ලා.මම හිතන්නෙත් කතාවෙ නියම පාඩම තියෙන්නේ එයාගේ කූල් හැසිරීමේ කියලයි.

    ReplyDelete
  12. හැම දේකම පැති දෙකක් ඇත.
    1. ඔබේ පැත්ත.
    2. හරි පැත්ත

    ReplyDelete
  13. මේ කතාව සුද්දගේ බාසාවෙන් මාත් කියවල තිබ්බ. නමුත් ඔබේ අනුවර්තනය විශිෂ්ටයි, නැවුම්.

    ReplyDelete
  14. අයි පොඩ් හරි ඉයර් ෆෝන් හරි කනේ ගහ ගෙන ඉන්න තරුණ අය.. තමන්ගේ අවට පරිසරය ගැන කිසිම අවධානයක් නැතුව තමයි ඉන්නෙ.. ඉතා හොඳයි අළුත් ට්‍රෙන්ඩ් වලට යන එක..ඒකෙ වැරැද්දක් නෑ..ඒත් පොඩි අවුලක් තියෙනවා කියලා හිතෙනවා..

    ReplyDelete
  15. කතාව නං නියමයි! හැබැයි මම වැඩිය කැමති උඔම හිතලා ලියන ඒවා කියවන්න.....

    ReplyDelete
  16. කලින් කියවලා තිබ්බා ඔයිට ටිකක් වෙනස් විදිහකට :)

    ReplyDelete

Web Statistics