Thursday, September 8, 2011

34. කමෙන්ට්ස් අහුරක්… | A Selected set of Comments

 

handfull

අන්තිමට බීට්ල් ලියන අකුරු අඩවියේ කුරුටු ගාලා සෑහෙන දවසක් ගිහින්… බස් රේඩියෝවේ වෙඩිමකට සෙට් වුන නිසා, ඒකට කාලය ගත කලාම  ඉතුරු වෙන්නේ ඔන්ලයින් එන්න කැප කරන කාලයෙන් යන්තම් බ්ලොග් කිහිපයක් කියවගන්න සෑහෙන ප්‍රමාණයක් විතරයි…

ලියන්නැතුව පුස් කකා තියෙන බ්ලොග් සින්ඩි වලින් ගැලවෙනවා කියලා කතාවක් අහලා තියෙන නිසා මේ ආවේ එක මාර්ක් කරන්න… මම ලියන දේ කියවන්න එන අතලොස්සෙන් වැඩි පිරිස සින්ඩි වලින් නිසා ඒකෙන් ගැලවුනොත් වස පාඩුවක්…

හදිස්සියට කියලා මොනවද ඉතින් ලියන්නේ… මීලග පෝස්ට් එක විදියට පොඩි හොල්මන් කතාවක් පටන් අරන් තිබුණත් ඒක පළවෙනි ඦේදෙන්ම හිටලා…

වැඩි කල්පනා කරන්න දෙයක් නෑ… මම කියවන බ්ලොග් පොස්ට් වලට දිග කමෙන්ට්ස් දාන වෙලාවල් වලදී, හදිසි අනතුරු වලින් ටයිප් කරපු දේ බේරගන්න වර්ඩ් වල ටයිප් කරන හොඳ පුරුද්දට පින්සිද්ද වෙන්න සේව් කරගත්ත කමෙන්ට්ස් ටිකක් පිහිට වුනා…

මේ තැන් තැන් වල මීට කලින් මම දමා ඇති කමෙන්ට්ස් කිහිපයක්… සුළු සංස්කරණ වලින් යුක්තයි… කියවා ඇත්නම් සමාවෙන්න…


කතා අංක එක


මිනිහෙක් ඉපදුනු ජාතිය අනුව, ඔහුගේ ගතිගුණ තීරණය කිරීම කොතරම් සාර්ථකද මා දන්නෙ නැහැ …  නමුත් පිලිපීන ජාතිකයන් බොහෝමයක් දෙනා දීපාල් සිල්වා කියන ආකාරයට “බඩට නැති උනත් ලුණු කැට, ඇගට ඕනේමයි විල්ලුද” වර්ගයේ අය බව ඔවුන් කිහිප දෙනෙක් ආශ්‍රයෙන් මමත් වටහාගෙන ඇති කරුණක්… ඕනෑම කට්ටක් කන ගමන් හිනාවෙවී දවස ගෙවන්න පුළුවන් අමුතුම ජීවයක් ඔවුන්ට නොනැවතී උනන්නේ කොහොමද කියන එක අදටත් මට ගැටළුවක්… (ඔවුන්ගේ හොඳ ගතිගුණ රාශියක් ඇති නමුත් මේ ඒ ගැන ලියන්නට වේලාවක් නෙවෙයි)… පෝස්ට් එකේ නම හරියටම මතක නැතත් මේ  පිලිපීන් ජාතිකයන් ගැන දුකා විසින් ලියූ සටහනකට ඔවුන්ගේ නැව ගිලුනත් බෑන් චූන් ආකාරයේ ප්‍රතිපත්ති ගැන විස්තර කරන්න  දැමූ ප්‍රතිචාරයක් බව මතකයි…

 

පිල්ලෙක් සහ සිරිලංකියෙක්

මේ කතාව ඉස්සර මගේ ටීම් එකේ හිටිය පිල්ලන්ගෙන් එකෙක් ගැනයි...ඌට බෙන් කියමුකො... 2008 න් විතර කතාව පටන් ගන්නේ...

මේ වෙන විට බෙන්ට ලැබුනේ ආයතනේ එන්ට්‍රි ලෙවල් එකේ ටෙක්නිකල් බුවෙකුට ලැබෙන පඩිය... ජොයින් වෙලා මාස දෙක තුනකින් ඒ දවස්වල හැටියට අලුත්ම මොඩ්ල් එකේ “කියා ස්පෝටේජ්” වාහනයක් ගත්තා...ඌ සැහැල්ලුවෙන් කියපු විදියට ලෝන් ඉන්ස්ටොල්මන්ට් එකට විතරක් පඩියෙන් බාගෙකට චුට්ටක් වැඩියෙන් යනවා...

මගේ පරණ බර කරත්තේ ආයතනේ දාලා උගේ වාහනේ අපි දෙන්නම කස්ටමර් සයිට් වලට යන්නේ පුදුම සතුටකින්... ටික කාලෙකින් අවාසනාවන්ත සිද්ධියක් වුණා... සති අන්තයේ මූ තමන්ගේ පෙම්වතියත්, පෙම්වතියගේ මිතුරියන් දෙදෙනෙකුත් එක්ක වාහනේ විනෝද චාරිකාවක් යද්දි ඇක්සිඩන්ට් වුණා... ආසන පටි පැලදගෙන හිටි නිසා බෙනාත් පෙම්වතියත් බරපතල තුවාල ලබා බේරුනත්, වාහනේ පිටිපස්සේ ආසනවල ගිය මිතුරියෝ දෙන්නම මියගියා...

මාස කිහිපයක් රෝහලේ ඉදලා බෙන් ගෙදර ගෙදර එද්දි පෙම්වතිය සදාකාලික ආබාධිත වෙලා, මියගිය තරුණියන් දෙදෙනාගේ භාරකාරයන් මූට විරුද්ධව වන්දි ඉල්ලලා නඩු දමලා... ඒ නිසාම මූට රටින් පිටවී තමන්ගේ මව් රටට යෑම තහනම්...අලුත්ම වාහනේ කන්ඩෙම්ඩ්... මාස ගානක් කදුලු බොන්න මේ ප්‍රශ්ණ ටික ඇති...

කාලෙකට පස්සේ අපි දෙන්නා දැන් ආයෙත් එකට යනවා... ෆෝවීල් වල නම් නෙමෙයි, මගේ බර කරත්තේ...කස්ටමර් සයිට් නෙමෙයි බෙනා ගේ තුවාලෙ ඩ්‍රෙසින් එක මාරු කරන්න... ඒ යන ගමනෙදි මූ නෙවෙයි ඌට තියෙන ප්‍රශ්ණ ගැන වචනයක් කතා කරන්නේ... උගේ හිත හදන්නේ කොහොමද කියලා මම කල්පනා කරද්දි මූ ෆුට්බෝල් මැච් එකක් ගැන දොඩවනවා...

තවත් මාස දෙකක් යන්න ඇති බෙනා බොසා ගාවට යන්නේ අලුත් වාහන ලෝන් එකකට ආයතනෙන් ඇපෘවල් එකක් දාගන්න...

"මොකද්ද උඹ ගන්න යන්නේ?"

මම අහන්නේ මේ කරදර අස්සේ යන්තම් එහේ මෙහේ යන්න ඌ සෙකන්ඩ් හැන්ඩ් වාහනයක් ගන්න යනවා කියලා හිතාගෙන...

"ජි එම් සී අකේඩියා!"

බෙනා කියන්නේ ඇගට පතට නොදැනි...

දැන් මාසෙකට සැරයක් ජිඑම්සි එකේ ඌ උසාවි යනවා..අලුත් එකක් ගන්න හිතාගෙන තුන් හතරපාරක් විතර විකුනන්න හදලා අපරාදෙ සල්ලි කියලා හිතලා අදහස අතඇරලා දාපු මගේ පරණ බර කරත්තෙම මම ගෙදර යනවා...


කතා අංක දෙක


වලි ගැන සිංහල බ්ලොග් අවකාශේ ලියවිලා තියෙන්නේ වරක් දෙවරක් නෙවෙයි… තැන නොතැන බලන් නැතුව අනිකාගේ හොම්බටම ඇදලා අරින සඳරුත්, තනියම ගුටි කාලා ඊට පස්සේ ගැන් එක එක්ක ගිහින් ඒකේ වාඩුව ගන්න අබීතත්, වම් කම්මුලට ගැහුවම දකුණු කම්මුලත් පාන කතන්දරත් තමන්ගේ බ්ලොග් වල වලි ගැන ලියලා තියෙන බව මට මතකයෙන් කියන්න පුළුවන්… මේ ඔයින් කෙනෙක්ගේ වලි ගැන දාපු පෝස්ට් එකක මගේ අත්දැකීමක් බෙදාගත් හැටි…

ඌටම ගහන්න

මට වැඩකරපු ටෙක්නික් එකක් ලියලා යන්නම් කාට හරි ප්‍රයෝජනවත් වෙන්න කියලා... දන්න කාලේ ඉඳන්ම ඈත ඉඳන් බලන් ඉන්නව මිසක් මම වලි වලට නම් සෙට් වෙන්නෙම නෑ...වෙන මොනවට වත් නෙමෙයි බයට.. ඒත් ඉතින් හිරිමල් වයස නිසා නොවැලැක්විය හැකි හේතුවක් මත මටත් දෙයියනේ කියලා වලියක් සෙට් වුණා...

වෙනදා එකට පංති යන උන් මාව මඟෑරියේ හරියට නිකං මට වසංගත රෝගයක් හැදිලා වගේ...

“කොහොමත් ගුටි කන එකනේ මචං,බොරුවට සේරම ගුටි කන්න ඕනි නැහැනේ...”

එහෙම කෙලින්ම කියලා වැදගත් විදියට මඟෑරපු උනුත් හිටියා...

ඔන්න පිංකම හෙටයි කියලා මම ගියා ඔය කරාටේ පංති එහෙම කරලා ගානක් හොයා ගන්න අයියා කෙනෙක් ගාවට පොඩි උපදේශයක් ගන්න... ඇත්තටම බුවාටම මේ වැඩේ ඉවරයක් කරලා දෙන්න බැරිද කියලා අහන්නත් එක්කයි ගියේ... මූ කියපි ඌ උදේ හවස ප්‍රාර්ථනා කරන්නේ ඌ ඉගෙන ගත්ත ශිල්පයෙන් තවත් කෙනෙකුට ශාරීරිකව හරි මානසිකව හරි පීඩාවක් කරන්න නොලැබේවා කියලා...

ඉතිං අන්තිම පිදුරු ගහත් අතහැරුණු මට ඉතුරු වුණේ ඌ දුන්න තාක්ෂණික උපදේශයක් විතරයි... කාට හරි ප්‍රයෝජනවත් වෙන්න ඒක උගේ වචන වලින්ම දාන්නම්...

"මල්ලි පිරිසක් ඔයාට ගහන්න එද්දි ඔයා හැම එකාටම ගහන්න ට්‍රයි කරන්න එපා... ටක් ගාලා එකෙක් සිලෙක්ට් කරගන්න... ඊට පස්සේ ඌටම ගහන්න...ඌටම ගහන්න...අනිත් උන් ඔයාට කොච්චර ගැහුවත් ඌටම ගහන්න... "

පහුවදා වරද්දන්නේ නැතුව උන් ආවා... අර කිව්ව විදියටම ඈත තියාම මම ඉස්සරහින්ම එන එකාව සිලෙක්ට් කරගත්තා...

මේක දිග වැඩි වෙන නිසා ඉතුරු ටික ලියන්නේ නැතුව මම නවතින්නම්... :)


කතා අංක තුන


ගංජා, එහෙමත් නැත්තම් සින්හලෙන් වීඩ්ස් කියලා කියන්නේ ලංකාවේ භාවිතා වෙන මත්ද්‍රව‍‍‍ය අතරේ බාල තරුණ බේදයක් නැති ඊටම අවේනික සංකෘතියක් තියෙන මත්‍ද්‍රව්යයක්… ගංජා ගැන සිංහල බ්ලොග් අවකාශයේ ලියවී ඇති දුසිම් ගනන් පිටු අතරේ, මගේ ලෝකය ලියන රංගගේ බ්ලොග් පිටුවක බෙදාගත් රසවත් මතකයක් මේ…

මල් ඔතනෝ

වීඩ්ස් ගැන කියවද්දී මට මතක් වුණ කතාවක්... මේක මගේ යාළුවෙක්ට වුණ සිදුවීමක්... සත්‍ය අසත්‍යතාවය ගැන ලොකු වගකීමක් නෑ... ඌ කියපු විදියට සිද්ධිය මෙහෙමයි...

උගේ යාළුවෙකුට කාගෙන්ද මන්දා ගංජා ඇට වගයක් හරි පැළ වගයක් හරි ලැබිලා තියෙනවා... (මොනවද කියලා මට හරියටම මතක නෑ, මේක උනේ අපි ඉස්කෝලේ යන කාලේ...) ඉතින් මූ මේක ගෙදර ගැරේජ් එක පිටිපස්සේ හිටවලා... ටික දවසකින් මේක සරුවට හැදිලා... මූ මගේ යාළුවට කතා කරලා වගාව පෙන්නන්නත් එක්ක... දැන් දෙන්නා ක්ලාස් ඉවරවෙලා ගෙදර යනවලු වගාව බලන්න... ගෙදරට ලං වෙද්දී මුන්ට පේනවලු තාත්තා ගෙදර ඉස් ‍තෝප්පුවේ ඇවිද ඇවිද ඉන්නවා... ගංජා පැළ ටික ගෙදර ඉස්සරහා පඩිය උඩ පේළියට තියලා තියෙනවලු...

 
ආපහු හැරිලා යන්නත් බැරි නිසා දෙන්නම කතාවෙලා කළබලයක් නැතුව දන්නේ නෑ වගේ යමු කියලා... අර ගංජා පැළ වලටත් උඩින් පැනලා ගෙට ගොඩවෙලා දෙන්නම හිමීට කාමරේට රිංගන්න හදද්දී තාත්තා කතා කලාලු... එතන ඉඳන් වුණ සිද්ධිය රංග ලියන ස්ටයිල් එකෙන්ම ලියනවානම් මෙහෙමයි...

 
තාත්තා : සමාන්....! මෙහේ එනවා... මොනවද මේ..?
සමන් : මොනවද..?
තාත්තා : මොනවද කියලා තමයි මමත් අහන්නේ..? මම ගැරෙජ් එක පිටිපස්සේ තිබිලා ගැලෙව්වේ...
සමන් : ආ... මට යාළුවෙක් දුන්නා බේත් ඇට වගයක් කියලා... මම ගැරේජ් එක පිටිපස්සට විසිකලා... ඒක පැළවෙලා නේද..?
තාත්තා : බේත් ඇට..? තමුසේ දන්නවද මේ මොනවද කියලා..?
සමන් : නෑ... මොනවද..?
තාත්තා : මේවට තමයි ගංජා කියන්නේ...
සමන් : (ලෝක මහා පුදුමයක් දැක්කා මෙන් ඇස් දෙක නළලට අරගෙන...) ගංජාජාජාජාජා............????? නෑ.......??? (පූස් පැටියෙක් වගේ අහිංසක මූණක් මවාගෙන...) අපි විසිකරමු නේද...?


කතා අංක හතර


කතන්දරකාරයා ලියපු පොලිස් කාරයෙකුට ජරාව දෙන සිද්ධියක් මගෙ මතකය ඇවිස්සුවේ මෙහෙමයි…

ජරාව

මීට සති තුනකට කලින් මහරගම පිලියන්දල පාරේ මාව පොලෝසියෙන් ඇල්ලුවේ ඉරි කපලා ඉස්සර කරලයි...

ඉර ඉවර වුණාට පස්සෙ ඉස්සර කළේ කිව්වම රාලහාමි කියපි ඉර දිගටම තියෙනවා මේ හරියේ පොඩ්ඩක් මැකිලා තියෙන්නේ කියලා...

එතන වාද කරනවට වැඩිය යන ගමනට පරක්කු නිසා දඩ කොලේ ලියාගෙන මම එන්න හදද්දී වාහනෙන් බැහැලා ආපු යාලුවෙකුට ඕනේ වුණා මේක ගොඩින් බේරගන්න... එතන වුණ සංවාදය මෙන්න මේ වගේ...

ගිහාන් : රාලහාමි දැන් මේකට ලියන්නද යන්නේ...
රාලහාමි : ලියන්නේ නැතුව බැහැනේ මහත්තයා...
ගිහාන් : අපි මේ හදිසි වැඩකට යන ගමන්...
රාලහාමි : ප්‍රශ්නයක් නෑ මහත්තයලා ගිහිල්ලා හදිසි වැඩ සේරම කරගෙන ඉවරවෙලා මේක හෙමීට ගෙවන්න...සති දෙකක් තියෙනවා...
ගිහාන් : එහෙම නෙමෙයි රාලහාමි නැද්ද මොකුත් වෙන විදියක්...
රාලහාමි : වෙන විදියක් කිව්වේ මහත්තයෝ..?
ගිහාන් : නෑ මේ නැද්ද මේක ගොඩින් බේර ගන්න ක්‍රමයක්...
රාලහාමි : ඒ ක්‍රම තිබුණේ ඉස්සර මහත්තයෝ...
ගිහාන් : එහෙම නෙමෙයි... මෙයා රට ඉඳලා ඇවිල්ලා තියෙන්නේ...සල්ලි එහෙම යහමින් තියෙනවා...
රාලහාමි : එහෙනම් ඉතින් මොකුත්ම අවුලක් නෑනේ මහත්තයා...රුපියල් පන්සීයනේ ගෙවන්න තියෙන්නේ...

දඩකොලේ රාලහාමිගෙන් උදුරගත්ත මම අරූවත් ඇදගෙන වාහනේට දිව්වා…

 


කතා අංක පහ


නවම් ගේ, අභීතගේ පාසැල් කාලේ මත්පැන් පානය කළහැටි ගැන ලියවුන පෝස්ට් දෙකකින් උත්තේජනය වුණු මගේ මතකය, මෙහෙම කමෙන්ට් එකකට පෙරලුණා…

පාසැල් කාලේ

මේක කියවද්දි පරණ සිද්ධියක් මතක් වුණා… ඉස්කෝලේ යන කාලේ අපි යාළුවෝ තුන් දෙනෙකුටත් හිතුනා බොන්න… උවමනාවකට නෙවෙයි නිකං අත්හදා බලන්නත් එක්ක… ඔන්න තාප්පෙන් පැනලා, දෙමව්පියෝ දවල්ට ඔ‍ෆිස් යන යාළුවෙකුගේ ගෙදර ගිහින් යුනිෆෝම් ගලවලා බෑග් වල දාගෙන තුන්දෙනාම උගේ ඇඳුම් ඇඳගෙන පිටත් වුණා…

ඔන්න ඔය හොරණ පැත්තේ රබර් වත්තක් වගේ ප්ලේස් එකක පොඩි දොල පාරක් එහෙම ගලාගෙන එන පොට් එකක්…මට නම හරියටම මතක නැහැ…ඇල්ලකන්ද වගේ නමක් තමයි මතක… තිත්ත කසාය බොනවා වගේ කෙළ ගහ ගහ අමාරුවෙන් බෝතලේ සෑහෙන්න ඉවරකර ගත්තා… ඉතුරු ටික බීගන්න බැරුව හැලුවා… බයටම ශොට් දෙකකට වැඩිය ගත්තේ නැති නිසාද කොහෙද  මට නම් ඔළුව කැරකෙනවා ඇරෙන්න මෙළෝ අවුලක් තිබුණේ නෑ, අනිත් උන් දෙන්නා නම් කියවනවා කියවනවා ඉවරයක් නෑ… සිංහල මල පොතේ අකුරක් බෑ වගේ මෙන්න  ඉංග්‍රීසියෙන් විතරයි කතාව…

වැඩි වෙලාවක් ගියේ නෑ එක පාරම පොලිස් ජීප් එකක් ඇවිත් බ්‍රාස් ගාල නැවැත්තුවා… හිංදි පිචෑර් එකක වගේ පොලිස්කාරයෝ ගස් ගල් පෙරලගෙන දුවගෙන ආවා… මෙච්චර වෙලා එතන හිටියද කියලා අපිවත් දැනගෙන හිටියේ නැති කුරුළු ජෝඩු දෙක තුනක් බෙල්ල මුලින්ම අල්ලගත්තා…සමහර උන් දුවන්න ගිහින් වැටිලා එක කළබලයයි… අපි නම් නැගිට්ටෙවත් නෑ… පොලිස් කාරයෙක් ළඟටම ඇවිල්ලා යන්න කතා කරනකල් …

මගේ අනිත් උන් දෙන්නට එකසිය ගානට වැදිලා… එකෙක් කබරයා දානවා නිකන් ගිනි නිවන හමුදාවේ හෝස් එකෙන් වතුර විදිනවා වගේ… කොහොම හරි ජෝඩු ටික ඉස්සෙල්ලාම ජීප් එකට නග්ග ගත්තා… ඉඩ තියෙන තැනක් බලලා මාත් වාඩි වුනා… ඔලුව කැරකෙන හින්දා දෙකට නැවිලා හිටගෙන යන්න අමාරුයිනේ… අරුන් දෙන්නට නගින්න කිව්වම උන් දෙන්නා නගින්නේ නැතුව අයිනේ සීට් එකට රංඩු වෙනවා… අමු  ඉංග්‍රීසියෙන්… පොලිස් කාරයින්ටත් හිනා…  එක පාරම එකෙක්  ඕක් ගාලා වමනේ පාරක් විද්දා රාළහාමි කෙනෙක්ගේ පොලිෂ් කරපු සපත්තුව ගාවින්ම ලෑන්ඩ් කලේ… යන්තම් බුවා වැඩකෑල්ලක් දාලා කකුල අහකට ගත්තා…

සමහරවිට කට්ටියට තේරෙන්න ඇති ජීප් එකත් හෝදන්න වෙන කුණු සීන් එකක් තමයි කියලා, කොහොමහරි මටත් බහින්න කියලා ටිකක් දුරින් තියෙන තේ කඩයක් පෙන්නලා ඒකට ගිහින් දෙහි ටිකක් ඉල්ලගන්න කියලා කාරුණිකව උපදෙස් දීලා පොලීසිය යන්න ගියා…

ඊට පස්සේ ගෙදර ගිය හැටි ලියන්න ගියොත් මේක පෝස්ට් එකට වැඩිය දිග වෙනවා… ඒක නිසා මෙතනින් නවත්තන්නම්… :)

අවසාන වශයෙන් මේක වීරකමක් නෙවෙයි, මෝඩකමක්...!

අදට ඔය ඇති… අෆ්ෆා මේකේ දිග… කතා පහ පෝස්ට පහකට කඩලා දාලා ඉලක්කම් පොල්ල කරකවගන්න තිබුණ චෑන්ස් එකද මන්දා නැති කරගත්තේ…

පින්තූරේ ගත්තේ :http://bit.ly/roHqOM

29 comments :

  1. උබේ බ්ලොග් එකට ආපු ගමන් පැත්තකින් අමුණලා තියෙන අයිපොඩ් එකේ සින්දු ටික අහන්න ගත්තා. දැන වැඩ කරන ගමන් සින්දු අහනවා. සමහර සින්දු අද තමයි පළවෙනි පාරට ඇහුවේ. තැන්ක්යු සින්දු වලට. තාම පොස්ට් එකනම් කියෙව්වේ නැහැ, කියවලා ආයේ කමෙන්ට් එකක් දාන්නම් :)

    සන්සුන් නුවන් සලාලා ලල ලාලා ලලා
    ලොකේ නෑ අයේ..පම් පම් පම්

    ReplyDelete
  2. පුස් කකා තියෙන බ්ලොග් සින්ඩි වලින් ගලවන එකට මමත් කැමතියි..මොකද නැත්නම් මේ හොඳ හොඳ කතා ලිය ලිය හිටපු බ්ලොග් හිටපු ගමන් හිටු කියල නවතිනව..කාලෙකට පස්සෙ තමයි ආයිමත් ලියන්න එන්නෙ..එතකන් අපි කියවන්නෙ මොනවද? මේක බරපතල චෝදනාවක්..

    ReplyDelete
  3. ඔය කමෙන්ට් ටික සේරම කියවලා තිබුනේ කලින්ම..ඒත් අවුලක් නැහැ..දස අත විසිරුන දේ එකම වහලක් යටින් ගන්න තියෙන එකත් වටිනවා.. අපරාදේ ඉලක්කං පොල්ල..:D කොහෙන්ද බං ඔය වචන හොයා ගන්නේ..?

    ReplyDelete
  4. ඔය කමෙන්ට් ටික මුලින්ම කියෙව්වේ අදයි... ෆට්ට...ඔය කියන පෝස්ට් කියවලා තිබුනාට කමෙන්ට් වැඩිය කියෙව්වෙ නෑ නොවැ

    ReplyDelete
  5. ඉලක්කම් පොල්ල! :D මරු වචනේ

    ReplyDelete
  6. කමෙන්ටු තුනක් විතර කියෙව්වෙත් අද. මෙහෙම දාපු එක හොඳයි. මොකද කමෙන්ට් එකක් තියෙන්නෙ පෝස්ට් එකකට යට වෙලානෙ. එතකොට මේ තියෙන වටිනාකම දැනෙන්නෙ නෑ. නියමයි.

    ReplyDelete
  7. @malan
    හහ් හා..අයි පෝඩ් එකේ බැටරි බැස්සොත් මට මේල් එකක් දාපන් මම රී චාර්ජ් කරන්නම්... :D :D

    ප්ලේ ලිස්ට් එකට තව සින්දු දාන්න ඕනි... :)

    ReplyDelete
  8. @Weni
    ඒක තමයි... කොච්චර ඉක්මනට ගැලවෙනවද කියන එකයි සීන් එක... මේ කාලේ මාසයක් නම් ඉතින් මාසෙකට සැරයක් වත් ලියන්න වෙනවනේ...

    ReplyDelete
  9. @මාරයා
    ඉලක්කම් පොල්ල හින්දානේ මේ සේරම ප්‍රශ්න... කවදා හරි මේකේ මිනියක් මැරුණත් ඔය ඉලක්කම් පොල්ල හින්දා තමයි ඕන්... :D :D

    ReplyDelete
  10. @විසිතුරු
    එකක් වත් කියවලා තිබුනේ නෑ කියන්නේ මේ දාපු පෝස්ට් එක සාර්තකයි එහෙනම්… :) ස්තූතියි...

    ReplyDelete
  11. @පූෂා

    ඉස්තූතියි පූසා… උබෙත් ඉලක්කම් පොල්ලක් තියෙනවා නේද…? :D

    ReplyDelete
  12. @charmi
    කියවලා නැති ඒවා තිබුණා නම් මගේ බලවත් ප්රීතිය… :) ස්තූතියි චාමි….

    ReplyDelete
  13. ඔය කමෙන්ට් වලින් දෙකක් විතර මං කලින් කියෙව්වා. අවුලක් නෑ ඒවත් කතා වගේ තමා...

    ReplyDelete
  14. ඇල්ල කන්ද තමයි ඉතින් හොරණ නම්...

    ReplyDelete
  15. එකක් ඇරෙන්න අනිත් කමෙන්ට් ටික නම් ඒ ඒ අදාල සයිට් වලම කියවලා තිබුනා. එළ

    ReplyDelete
  16. 1.ගුටි කන්න ගියානම් ශුවර් එකටම ජ** කේස් එකක් වෙන්නැති.

    ""පහුවදා වරද්දන්නේ නැතුව උන් ආවා... අර කිව්ව විදියටම ඈත තියාම මම ඉස්සරහින්ම එන එකාව සිලෙක්ට් කරගත්තා...""

    අයියෝ කෝ ඉතිරි ටික???

    2. සමන් ඇහුවේ නැද්ද තත්තා කොහොමද මේ ගන්ජා කියලා දන්නේ කියලා?

    3. අර චරිත පහේ ඩේටා ඇනල්යිස් කරන්නේ නැද්ද? හොඳට බලපන් ගෑණු ළමයි ලකුණු අඩුවෙන්ම ලකුණු දීල තියෙන්නේ ලෝචනාට. අයියෝ මචන් ඔච්චර සිරා සොශල් සර්වේ එකක් කරලා හම්බු වෙච්ච ඩේටා අපති යවන්න එපා. ඇනලයිස් කරලා පෝස්ට් එකක් ලියපන්.

    4. උඹේ අයි පෝඩ් එකේ සින්දු අහලා ඉවරයි. දැන් බස් එක අහනවා :)

    5. අහ් ඒක නෙමෙයි ඊයේ කථා බස් ප්‍රශ්න ටික හොඳයි.

    ReplyDelete
  17. නියමයි , අපිට ඉතුරු ටික අහන්න කොච්චර කාලයක් යයිද දන්නෙ නෑ.:D

    ReplyDelete
  18. @නිසුපා
    එහෙනම් අලුත් කතා තුනයි… :) ස්තූතියි…

    ReplyDelete
  19. @Geethika Dilruk
    එහෙනම් හරි.. හැබැයි මේ අවුරුදු පහළොවකට විතර කලින් ඇල්ලකන්ද… :)

    ReplyDelete
  20. @රංග
    එල මචං… :)

    ReplyDelete
  21. @malan

    1.වෙන මොනවා බෙදාගන්න බැරුව ගුටි ඇන ගන්නද ඉතින්.. :) ඉතිරිටික උඹට හිතාගන්න බැරිද.. ටෙක්නික් එක වැඩ කලා කියලා උඩින්ම ලියලා තියෙන්නේ…

    ලොකු සීන් එකක් නෑ… අර මම සිලෙක්ට් කරපු එකා මොකද්ද කියන්න හදද්දිම, මම ඉස්සර වුණා… චට පටස් ගාද්දිම හොකී ස්ටික් එකක් ද කොහෙද අතේ තියන් හිටපු එකෙක් කිව්වා

    “මචං ඉස්කෝලෙ ඉස්කෝලෙ උන් ගහගන්න ඕනේ නෑ නේ කියලා…”

    කතාව ඇත්තනේ.. මමත් එක පයින් එකග වුණා…

    2.ඌට ඒක අහගන්න සිහියක් නැති වෙන්න ඇති

    3.ඒක ඇත්ත මචං… අන්තිම හරිය කරගන්න බැරි වුණා… ගෑණු ළමයි වැඩි දෙනෙක් ලෝචනාට අඩුවෙන් ලකුණු දුන්න එක මටත් හෙනම අවුල්… මම හිතුවෙත් ඒකේ අනිත් පැත්ත වේවි කියලා… එක්කෝ විසි එක්වෙනි සියවසේ ගෑණු ළමයි වෙනස් වෙලා… නැත්නම් බොරු කියනවා… උඹ කිව්වා වගේ ඒකට පෝස්ට් එකක් දැම්මනම් හරි තමයි…

    4.නියමයි… චැට් කරන්නත් පුළුවන්…

    5.තෑන්ක්ස් මචං… ලබන සතියේ නොවැරදීම සෙට් වෙයන්… උඹෙ ෆේවරිට් එන්නේ…

    ReplyDelete
  22. @මහජන මුත්තා
    ස්තූතියි මහජන මුත්තා… ඉක්මනින් ආයෙත් ලියන්න ගන්නම්...

    ReplyDelete
  23. අප්පේ මම පමා වුණා බීටල් අයියේ . සෝයි කතා ටික ..කලින් බලලා නම් තියනවා මෙතනින් කීපයක් . ඒත් ආයේ මේ බ්ලොග් එකට අකුරු ඇමිනුව එකට නම් ස්තූතියි .

    ReplyDelete
  24. කෝ කතා අංක 2යි 5යි ඉතිරිය...?? සෝයි කතාටික හි හී... මාත් ආව මෙහාට.. :)

    ReplyDelete
  25. මටත් ආරංචියි දැං බ්ලොග් එක අතෑරලා බස් පදිනවා කියල, තව අර මිනිස්සු කොරවෙන ප්‍රශ්ණ පත්තරත් හදනව කියල චූටි මහත්තයා කියල තිබුනෙ. පුස් කන්න නොදී මෙහෙම ගොඩ දමාගගත්තු එක අගෙයි.

    ReplyDelete
  26. මොනවා නැතත් මේකෙත් මොනවා හරි ලියමු නේ.. එල එල කතා ටික මාරු.. මේ අර couples ටිකට මොකද උනේ බන්? උබලව බස්සල උන් ටික අරන් ගියද?

    ReplyDelete

Web Statistics