Sunday, April 10, 2011

21. සිඩ්නි ලුමැට් (1924–2011) | Sidney Lumet (1924–2011)


MV5BMTY4Mzk5Mzk4Ml5BMl5BanBnXkFtZTYwMTE2NDg0._V1._SY314_CR1,0,214,314_

අනෙක් බොහෝ බ්ලොග්  මිතුරන් සේම චිත්‍රපටි නැරඹීම මාගේ අල්ප වූ විනෝදාංශ වලින් එකක්... කෙසේ නමුත් එකදු බොක්ස් ඔෆීස් චිත්‍රපටියක් අතනොහැර නරඹන මාගේ සහෝදරයා හා සැසඳූ කළ මා අත දරුවෙක්... ඔහුගෙන් ලැබෙන ඔත්තුවකින් සති අන්තයේ අතට හසුවූ යමක් නරඹනවා හැරෙන්නට චිත්‍රපට ‍තෝරාබේරාගෙන නැරඹීමට තරම් ඒ ක්ෂේත්‍රයේ හසළ දැනුමක් මා සතුව නැහැ...ඒ නිසාම බොහෝ විට මා මසකට නරඹන චිත්‍රපට සංඛ්‍යාව හතරකට පහකට අඩු මිසක් වැඩි වන්නේ කලාතුරකින්... ඒ අතරිනුත් මෑතකදී එක්වරකට වඩා නැරඹූ චිත්‍රපටයක් මට මතකයට නඟා ගැනීමට අපහසුයි...

තත්වය එසේ වුවත්, නිතර නිතර නැරඹීමෙන් මා හට දෙබස් කටපාඩම් වූ චිත්‍රපටි කිහිපයක් නැතුවාම නෙවෙයි...  එසේ වැඩිම වාරයක් මා නරඹා ඇති චිත්‍රපට අතළොස්ස්සෙන් එකක් නම් “12 Angry Men” නැමති චිත්‍රපටයයි...සහෝදරයාගෙන් දායාද වුණු පුරුද්දක් වන චිත්‍රපටයක් නැරඹීමෙන් පසුව ඒ පිළිබඳව සටහන් තබාගැනීමේ පුරුද්දට පිං සිදුවන්නට flixster නැමති වෙබ් අඩවියේ ඇති මාගේ පුද්ගලික ගිණුමේ මා විසින් දළ වශයෙන් තබාගෙන ඇති සටහන් වලට අනුව එම චිත්‍රපටය මේ වන විට මා නරඹා ඇති වාර ගණන දාසයක් (16)...

මෙම චිත්‍රපටියට මා කෙතරම් ඇලුම් කළාද කියතොත් මෙම බ්ලොග් අඩවිය පටන් ගත්  අලුතම මා සිතේ පිළිසිඳගත් සිහිනයක් වූයේ මෙම චිත්‍රපටියේ ඇති කතා තේමාව අනුවර්තනය කරමින් කොටස් වශයෙන් මේ බ්ලොග් අඩවියේ පළ කරන්නටයි... එනමුත් එතරම් ශ්‍රේෂ්ඨ නිර්මාණයක් අනුවර්තනය කිරීමට තරම් මා ලේඛන කලාවේ දක්ෂයෙකු නොවන බව වැටහුණු නිසා එය සිහිනයකටම සීමා වුණා...

ඉතින් මා විසින් කලින් සටහනේ පොරොන්දු වූ පෝස්ටයද පසෙක තබා කඩිමුඩියේ මෙම වියමන පළකරන්නට නිමිත්ත වූයේ මෙම චිත්‍රපටය සහ තවත් ඊට නොදෙවෙනි නිර්මාණ කිහිපයක්ම රසිකයන්ට තිළිණ කල අග්‍ර ගණයේ අධ්‍යක්ෂවරයෙක් වූ "Sidney Lumet" ඊයේ දිනයේදී ජීවිතයෙන් සමුගත් බව අන්තර්ජාලයේදී ඇස ගැ‍ටුණු නිසයි...ඔහු පිළිබඳ විචාරයක් ලිවීමට තරම් චිත්‍රපට ක්ෂේත්‍රය ගැන මා දැනමුත්තෙකු නෙවෙයි... ඒ නිසාම ඔහුගේ නිර්මාණ වලට කතා කිරීමට ඉඩහැර මා නිහඬ වෙන්නම්...

ඔබට හොඳ චිත්‍රපටියක් මඟ හැරෙන්නේ කලාතුරකින් නම් මේ සියල්ල ඔබ මේ වන විට නරඹා ඇතුවාට සැකයක් නැහැ... මේ එසේ නරඹන්නට නොහැකි වූවන් වෙනුවෙන්... මේවායේ ඇති උසස් කලාත්මක වටිනාකම අදහස් පළකිරීමට මාගේ ඇති අල්ප හැකියාව නිසා වැඩි විස්තරයක් සඳහන් කිරීමට අපහසුයි... කෙසේ වුවත් ඔබ මෙම චිත්‍රපට එකක් හෝ නරඹනවානම් ඒ වෙනුවෙන් ඔබ වැයකරන කාලය ගැන අවසානයේ ඔබ දුක් නොවන බවට මම සහතික වෙන්නම්...

සිය අද්විතීය නිර්මාණ වලින් සිනමා ලෝකය එකලු කල "Sidney Lumet" ඔබට ස්තූතියි...!


Dog Day Afternoon (1975)

Twelve Angry Men (1957)

The Verdict (1982)

Network (1976)

Before the devil knows you’re dead (2007)

5 comments :

  1. 12 angry men කියන්නෙ මමත් බලපු හොඳම චිත්‍රපටි අතරෙ එකක්. අන්ත් ඒවා හොයාගන්න ඕන. ඔත්තුව‍ට බොහොම ස්තූතියි... Sidney Lumet ලෝකයට සිටි වැඩ්ඩෙක්ය කියන එක ඇත්තය.

    ReplyDelete
  2. සිහිනයක් හැබෑවක් කර ගන්න කැමති නැද්ද? ලියන්නකො කතාව . දිග්ගස්සන්නෙ නැතිව ලියන්න. අපිත් කැමති කියවන්න.....

    ReplyDelete
  3. @ hare :-)
    එහෙනම් Dog Day Afternoon වලින් පටන් ගන්න :)

    @සොඳුරු සිත
    තල්ලුවට අනේකවාරයක් ස්තූතියි... සිහිනේ සැබෑවෙන දවසක් කියන්න අමාරුයි වගේ... අපි බලමු... :)

    ReplyDelete
  4. Network ම‍ම කැමතිම ලෝකෙ හැදුන චිත්‍රපටි වලින් හොඳම චිත්‍රපටියක් විදියට මම පිලිගන්න චිත්‍රපටියක්. Dog Day Afternoon, Al Pacino චිත්‍රපටි සම්පූර්ණ කරන්න හිතාගෙන ඉන්න කාලෙක බලන්න ලිස්ට් එකේ තියෙන එකක්.

    ReplyDelete
  5. මචෝ . . අනේ මචෝ ප්ලීස් අර කතාව අනුවර්ථනය කරලා ලියපන් . .

    මිනිස් සිතේ කිසි කෙනෙක්ට හසු නොවන තැන් වල ඇති දේවල් අවුස්සලා ලියන්න තරම් උඹට ලිවීමේ හැකියාවක් තියෙනවා .. .

    ඒක නිසා ලියපන් මචෝ . .

    ඒ ෆිල්ම් එක බලපු අපි කීප දෙනෙක්ට එකතු වෙලා සංවාදයක් ගොඩ ගනගන්න ඇහැක් වෙයි . .

    ReplyDelete

Web Statistics