Sunday, July 31, 2011

33. චරිත පහක් | fi_V_e (අවසන් කොටස)


5

මෙතෙක් කතාව
I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]


II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ලබා ගැනීමේ උත්සාහය හමුවේ සුපුන් සමඟ එක්වීමේ සිහිනය ලෝචනාගෙන් බොඳවී යනවා... මෙහිදී ඇය වෙනුවෙන් පිහිටට එන්නේ මාලන් නැමති තරුණයෙක්... ඇයට වීසා ‍රැගෙන දීමට ඔහු පොරොන්දු වෙන්නේ ඒ වෙනුවෙන් තමා සමඟ රාත්‍රියක් ගතකිරීමට ලෝචනා කැමතිවිය යුතු බවට ඇයට අයුතු යෝජනාවක් කරමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

III. මාලන්ගේ යෝජනාවෙන් අසරණ වන ලෝචනා උපදෙසක් සොයා යන්නේ තම විශ්වාසවන්ත මිතුරෙකු වූ බීට්ල් වෙතටයි...ලෝචනාගේ සම්පූර්ණ කතාවම අසා සිටින බීට්ල් ඇයට දෙන එකම උපදෙස වන්නේ ඇයට සුදුසු යැයි කියා සිතෙන දෙයක් කළයුතු බවයි... බලාපොරොත්තු කඩ කරගන්නා ලෝචනා අවසානයේ  මාලන්ගේ අයුතු යෝජනාවට එකඟවීමට තීරණය කරනවා... ලෝචනා සමඟ ‍රැයක් ගතකිරීමෙන් සෑහීමකට පත්වෙන මාලන් ඇයගේ වීසා සිහිනය සැබෑකර දෙන්නේ ඇයගේ කඳුළු වලට කිසියම් වටිනාකමක් එක්කරමින්...වීසා ලැබීම නිසා අධික ලෙස සතුටට පත්වන ලෝචනා සැලසුම් කරන්නේ සුපුන්ට නොදන්වා ඔහු වෙතට ගොස් ඔහු පුදුමයට පත්කිරීමටයි... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

අද එතැන් සිට

නිදහස්වෙලා ඉගිලෙන්න සූදානමින් සිටින ලෝචනා සිරගතව උන්නු පුංචි දූපතට මළ හිරු බැසයද්දි අලුත් බලාපොරොත්තු පොදි බැඳගෙන සුපුන් සිටිනා දේශයේ අලුත් දවසක් ආරම්භ වෙමින් තිබුණා... මෙදිනත් සුපුරුදු වෙලාවට සුපුරුදු ගීත ස්වරයෙන් නාදවුණු ලෝචනාගේ දුරකථනයේ එහා කොනෙන් ඇසුණේ සුපුන්ගේ සුපුරුදු ලෙන්ගතු හඬමයි... කෙසේ වුවත් බලාපොරොත්තු කඩවීමේ අන්තයටම ගිලී සිටි සුපුරුදු අසරණ ලෝචනා වෙනුවට මෙදින නම් මෙහා කොනේ සිටියේ දෝරේ ගලායන සතුට හංඟාගන්නට අසීරුවෙන් වෙර දරන වාසනාවන්ත ලෝචනායි... ඇය සීරුමාරුවට වචන තෝරාබේරා ගනිමින් සුපුන් හා කතා කළේ ඇයගේ මුවින් නොදැනුවත්ව හෝ වීසා ලැබීමේ ආරංචිය පිටවේ යැයි බියෙන්...උප්පතින්ම ගැහැනියකට හිමි වචන හරඹ යොදාගෙන, සුපුන්ගේ මාර්ගයෙන්ම ඔහුට හිතවත් මිතුරෙකුගේ විස්තර දැනගැනීමට ලෝචනාට අපහසු වූයේ නැහැ... ඔහු ලූකස්...

ලූකස් අමතා ලෝචනා අවශ්‍යතාවය පැවසූ සැණින් ඇයට උපකාර කිරීමට ඔහු ඉදිරිපත් වුණා... ලෝචනා සුපුන් ආදර අන්දරය නැවතත් සුපුරුදු වේගයට පැමිණ තිබුණා... තම සමීපතමයන්ගෙන් වෙන්වීමේ සාංකාව සුපුන්ගේ ලෙන්ගතු උණුසුමට හිලව් කරගෙන ලෝචනා ගුවන්ගත වූයේ දහසක් පැතුම් සිත තුළ තදකරගෙනයි... පොරොන්දු වූ පරිදිම ඇය ‍රැගෙන යාම සඳහා ලූකස් පැමිණ සිටියා...

ලූකස්ගේ නොනවතින පැ‍රැත්තයට පින්සිදුවෙන්නට තම නවාතැනින් එළියට ඇදගත් සුපුන්ව ඔහු ‍රැඳවූයේ නගරයේ පැවැත්වෙමින් තිබූ රාත්‍රී සැණකෙළියකයි... තමා එනතුරු එහි ‍රැඳී සිටින්නැයි දුරකථන ඇමතුමකින් සුපුන්ට දැනුම්දුන් ඔහු තම වාහනය පැදවූයේ ගුවන් තො‍ටුපළ වෙතයි... මේ කිසිත් නොදන්නා සුපුන් නිවාඩු පාඩුවේ ලූකස් එනතුරු සැණකෙළි භූමියෙන් මිලදී ගත් කඩචෝරුවක රස බලමින් සිටියේ කිලෝමීටර් දාස්ගණනක් ඈතින් සිටින ලෝචනා සමඟ එය බෙදාගන්නට ඇත්නම් යන සිතිවිල්ලෙන්...

"මටත් කටක් දෙනවද...?"

ඔහු වාඩිවී සිටි සිමෙන්ති පඩිය අසල වාඩිවූ තරුණියක් මිහිරි හඬකින් එසේ පැවසූයෙන්, ඒ කවුදැයි හඳුනාගැනීමට සුපුන් ඒ දෙසට නෙත් යොමුකළා... ඒ සුන්දර දෑස හිමි දෙදෙනෙක් ලෝකයේ සිටියේ නැහැ...

"ලෝචනා......!!???"

ලොවිගෙඩි තරම් ඇස්ගෙඩි ලොකුකරගෙන අයාගත් මුවින් තමා දෙස බලාසිටින සුපුන්ගේ මුහුණෙහි වූ ඉරියව් නිරීක්ෂණය කරමින් ලෝචනා නොනවත්වා සිනාසෙමින් සිටියේ මුළු සැණකෙළි භූමියටම ඇහෙන තරම් සද්දයෙන්....

තමා දකින්නේ සිහිනයක් නොවන බව අවබෝධ කරගන්නට සුපුන්ට තවත් සුළු වෙලාවක් ගතවූවා... තවත් ඇසිල්ලකින් ලෝචනා ඔහුගේ තුරුල්ලට පැනගත්තේ සතුටින් කෑගසමින්... එකිනෙකා වැළඳගෙන සතු‍ටුකඳුළු වගුරවන සැණකෙළි භූමියෙහිම සිටි ප්‍රීතිමත්ම යුවළ වූ මේ දෙදෙනා දෙස සිනා මුසු මුහුණින් බලාසිටි ලූකස් ඔවුන්ට බාධා නොකර එතැනින් නික්ම ගියා...

පෙරදින රාත්‍රියේ හිස් කල මත්පැන් බෝතලයේ සැර නිසාත් පාන්දර යාමය තෙක් නිදි වැරීම නිසාත් තද නින්දේ සිටි ලූකස් අවදි වූයේ තම ජංගම දුරකථනය නාද වෙන හඬින්... තමාට තුරුලුව තවමත් තද නින්දේ සිටින තම පෙම්වතියගෙන් සීරුවෙන් මෑත්වූ ඔහු දුරකථන තිරයට නෙත් යොමුකළේ අඩවන් වූ දෑසින්... නොදන්නා අංකයක් සටහන්ව තිබූ දුරකථන ඇමතුමට ඔහු අකමැත්තෙන් පිළිතුරු දුන්නා...

ඇමතුම සම්බන්ධ වූ සැණින් අනෙක් පසින් ගලා ආවේ ඉකිබිඳුම් හඬක්...

"ලෝචනා..?"

කිසිවක් වටහාගත නොහැකි වූ ලූකස් එසේ ඇසුවේ එම කටහඬ ලෝචනාගේ දැයි අනුමාන කරමින්…

"ලූකස් මම පාරේ ඉන්නේ... අනේ ප්ලීස් පොඩ්ඩක් එනවද..?"

ලෝචනාගේ ඒ පිළිතුරත් සමඟ කොහේ හෝ කුමක් හෝ වැරදී ඇතිබව වටහාගන්නට ලූකස්ට අපහසු වූයේ නැහැ...

තරමක උත්සායකින් පසු ලෝචනා සිටිනා තැන සොයාගත් ලූකස්ට ලෝචනා සියල්ල හෙළි කළා... ඇයට වීසා ලබාගැනීම සඳහා මාලන් සම්බන්ධයෙන් කරන්නට වූ කැපකිරීමත්, මේ ගැන පෙරදින රාත්‍රියේ නිදියහනේදී සුපුන්ට හෙළිකළ අවස්ථාවේදී ඔහු ඉන් අධික ලෙස කෝපයට පත්ව තමා වනචර ගැණියෙක් යැයි බැණවැදී එළවා දැමූ අයුරුත් ඇය හෙළි කළේ හැඬූ කඳුළින්...හිමිදිරිය වන්තෙක්ම සුපුන් ලවා නවාතැනේ දොර හැරගැනීමට ඈ දැරූ උත්සාහය අසාර්ථක වූ නිසා අසරණ වූ ඇය, එරටෙහි දැනසිටි එකම හිතවතා වූ ලූකස්ගේ උදව් පැතීමට තීරණය කල බව ඇය පැවසුවා....

සුපුන්ගේ මේ ක්‍රියාව ගැන අසා කෝපයට පත් ලූකස් ඇයත් කැ‍ටුව නැවතත් පිටත් වූයේ සුපුන්ගේ මහල් නිවාසයටයි... කිහිපවරක් කෑගැසීමෙන් පසු දොර විවෘත කල සුපුන් මෙවර බැණ වැදුණේ ලූකස්ටත් එක්කමයි...

දෙදෙනා අතර බහින්බස් වීම දුරදිග යද්දී සුපුන්ගේ මුවින් පිට වූයේ ලූකස් බලාපොරොත්තු නොවූ යමක්...

"උඹනේ කොහොමත් මේකිව පිළිඅරගෙන අරන් ආවේ... ඊට කලින් උඹ එක්කත් හිටියද කවුද දන්නේ..."

සුපුන් සමඟ බහින්බස්වීමෙන් කෝපයට පත්ව සිටි ලූකස්ගේ ඉවසීමේ සීමාව ඉක්මවා යන්නට ඒ වැකිය උවමනාවත් වඩා ප්‍රමාණවත් වුණා...

වචන හබය ගුටිබැට හුවමාරුවකට පෙරළෙද්දී ඔවුන් දෙදෙනාව පාලනය කරගැනීමට ලෝචනා අසාර්ථක  උත්සාහයක යෙදුනා... තවත් සුළු මොහොතකින් පොරබදිමින් සිටි ලූකස් ගේ සුරතට අසුවූයේ නිවසේ එළිමහන් මුළුතැන්ගෙයි වූ පිහියක්... එතැනින් පසු සිදුවීම නම් වචනයෙන් විස්තර කිරීමට අපහසු තරමේ ඛෙදවාචකයක්... සිදුවන්නට යන දෙය ඉවෙන්මෙන් වටහාගත් ලෝචනා සුපුන්ව බේරාගැනීමට ඉදිරියට පැන්නත් ඒ වනවිටත් ඇය පමා වී තිබුණා... තම පපු තුරෙහි ඇමිණුනු පිහිතුඩත් සමඟින් සුපුන් බිම වැ‍ටුණේ ලෝචනාවත් පෙරලාගෙනයි...සුපුන්ගේ ළයෙන් ගලායන උණු රුධිරයෙන් ඔහුගේ නිසල දේහය බදාගෙන විලාප දෙන ලෝචනාගේ සිරුරම තෙමී යද්දී බොර පැහැ නෙතින් ලූකස් නොසෙල්වී ඒ දෙස සිටිවනම බලා සිටියේ මනස විකල්වූවෙකු ලෙසින්...

~නිමි~

කතාව අවසන් කිරීමට ගත් කාලය ගැන ඔබට වඩා මට කණගා‍ටුයි... ඕනෑම කම්මැලි සේවකයෙකු මුහුණ දෙන ව්‍යාපෘති කඩ ඉම් දිනය අත ළඟටම එනතුරු ගණන් නොගැනීමේ හදානොගත් දුර්වලතාවය නිසා ගතවුණු දින කිහිපයේ අතහරින්නට සිදුවුණේ බ්ලොග් එක පමණක් නෙවෙයි...

කඩින් කඩ හෝ පළවූ මෙම සම්පූර්ණ කතාවම කියවා ඔබ රසවින්දා නම් මගේ හද පිරි සතුට... ඉතින් එහෙනම් කතාව ආරම්භයේදීම මා සඳහන් කල ගැටලුවට යොමුවෙමු...

නම් වශයෙන් අපිට මෙහි චරිත පහක් හමුවූවා... හඳුනාගත් අනුපිළිවෙලට නම් ඒ මෙසේයි;

1.ලෝචනා
2.සුපුන්
3.මාලන්
4.බීට්ල්
5.ලූකස්

ඔබ කළ යුත්තේ මෙයයි, මෙම පස්දෙනා පිළිබඳව කතාවේ සඳහන්වූ ඔවුන්ගේ ක්‍රියාකලාපයන්ට අනුකූලව ඔබට වැටහෙන අයුරින් නරක අඩුම පුද්ගලයාගේ සිට නරක වැඩිම පුද්ගලයා දක්වා අනුපිළිවෙලින් සකසන්න...


ප/ලි : මේ බ්ලොග් අඩවිය කියවීමට ගොඩවෙන ඔබගෙන් කමෙන්ට් එකක් ලබා දෙන්නැයි මා මෙතෙක් ඉල්ලා නැහැ... ඒ මා කමෙන්ට් වල පෙරේතයක් නොවෙන නිසා නම් නෙවෙයි...(සිංහල බ්ලොග් අවකාශයේ සිය ගණනක් බ්ලොග් කරුවන් අතරේ කමෙන්ට් වලට වැඩියෙන්ම පෙරේත පස්දෙනා තොරාගතහොත් මම ඒ අතර සිටින බව මට විශ්වාසයි )... මා එසේ ඉල්ලා නැත්තේ බොහො දෙනෙකු කමෙන්ට් කිරීමට තබා බ්ලොග් කියවීමටත් කාලය කළමණාකරනය කරගන්නේ අපහසුවෙන් බව දන්නා නිසයි... එනමුත් මෙම කතාව සම්පූර්ණයෙන්ම කියවීමට ඔබට අවස්ථාවක් ලැබුණානම් ඔබට හැ‍ඟෙන පරිදි පිළිතුර සටහන් කර යන්නට අමතක කරන්නෙපා...

Saturday, July 16, 2011

32. චරිත පහක් | fi_V_e (III කොටස)

 

5

මෙතෙක් කතාව

I. ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[
සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

II. දිගින් දිගටම අසාර්ථක වන වීසා ලබා ගැනීමේ උත්සාහය හමුවේ සුපුන් සමඟ එක්වීමේ සිහිනය ලෝචනාගෙන් බොඳවී යනවා... මෙහිදී ඇය වෙනුවෙන් පිහිටට එන්නේ මාලන් නැමති තරුණයෙක්... ඇයට වීසා ‍රැගෙන දීමට ඔහු පොරොන්දු වෙන්නේ ඒ වෙනුවෙන් තමා සමඟ රාත්‍රියක් ගතකිරීමට ලෝචනා කැමතිවිය යුතු බවට ඇයට අයුතු යෝජනාවක් කරමින්... [සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

අද එතැන් සිට

නිදිවර්ජිත ‍රැයක් හමාර කරමින් ලෝචනා නැගී සිටියේ තම තමන්ගේ සිහින සැබෑ කරගනු වස් දුවන්නට පටන්ගන්නා ලෝකයේ අනෙක් සියලු දෙනා සමඟින්... දිගින් දිගටම හිතට වද දෙන මෙම කරදරකාරී ගැටලුව එදිනත් ඇයට හිමිදිරියේ සිටම තනි රකින්නට වුණා... සුපුන් වෙන්ව ගිය දිනයේ පටන්ම නැවත එක්වීම සඳහා වෙහෙස වූ ඔවුන් දෙදෙනා ලොකු රවුමක් ගසා නැවතත් පළමු කො‍ටුවටම පැමිණ තිබුණා...

ජීවිතය හැම විටම ‍තෝරාගැනීම් වල එකතුවක්...යමක් ලබා ගැනීමට නම් අනිවාර්යයෙන්ම තවත් දෙයක් කැප කල යුතු බව ලෝචනා දැනුම් තේරුම් ඇති වයසේ සිටම දැන සිටියා... අවශ්‍යය සියල්ලම ලැබී සියල්ලෝම සතුටින් ජීවත් වෙන්නේ සුරංගනා කතා වල පමණක් බවත් ඒවාට සුරංගනා කතා කියන්නේ ඒ නිසා බවත් සුළු මොහොතකට හෝ අමතක වීම ගැන ඇය දුක් වුණා... ඇය නැවත වරක් පැමින සිටියේ යමක් අහිමි කරගෙන තවත් යමක් හිමකරගැනීමේ මේ අසීරු අවස්ථාවට... එක් පසෙක ඇය සිහින මැවූ අනාගතය... අනෙක් පස ඇය මෙතුවක් කලක් ‍රැකගත් චරිතය... කෙතරම් කල්පනා කළත් මේ දෙකින් එකක් ‍තෝරාගන්නවා හැර අනෙක් ප්‍රායෝගික විකල්පයක් නොමැති බව ඇයට සිතෙන්නට වුණා...

නාස්ති කිරීමට තරම් කාලයක් ලෝචනාට ඉතිරිව තිබුණේ නැහැ... තවත් ටික වෙලාවක් සිත සමඟ පෙරළි කල ඇය සූදානම් වූයේ තමන්ට හිතවත් මිතුරෙකු මුණගැසීමේ අදහසින්... මෙවැනි කරුණක් පවසා උපදෙසක් පැතීමට ඔහු විශ්වාසවන්ත අයෙක් යැයි අදහස් කල ලෝචනා තවත් පමා වුයේ නැහැ...

ඔහු බීට්ල්... එළිමහන් අවන්හලක පැය ගණනක් කෝපි කෝප්ප හිස්කරමින් ලෝචනාගේ කතාව අසා සිටි ඔහු ලබා දුන් දීර්ඝ පිළිතුරේ කැටි වූයේ මෙවැනි සරල අදහසක්....

"ලෝචනා... තීරණය ඔයා අතේ... හිතලා බලලා ඔයාට හොඳයි කියලා හිතෙන දේ කරන්න..."

බලාපොරොත්තු වූ සහනය වෙනුවට ප්‍රතිඵලයක් නැති කතාබහක් වෙනුවෙන් පැය කිහිපයක් නාස්තිකරගෙන පෙරළා නිවසට පැමිණෙන ලෝචනාට එක් කරුණක අවබෝධ වී තිබුණා... එනම් මේ ගැටලුව විසඳාගත ගැනීම සඳහා තවත් කෙනෙකුගෙන් උදව් පැතීම නිෂ්ඵල ක්‍රියාවක් බවයි... නෙතින්ගලා එන කඳුළු බාහිරින් සඟවාගන්නට අසීරු උත්සාහයක යෙදෙමින් ගෙට ගොඩවුණු ඇය තම ජංගම දුරකථනයේ සිම්කාඩ්පත ගලවා වීසිකලේ මාලන් ලබාදුන් කාලය ඉක්මයෑමට ආසන්න වෙමින් තිබියදීයි...

ප්‍රශ්න විසඳනවා යැයි කියන කාලයා විසින්මයි අලුත් ප්‍රශ්ණ ජීවිතයට ‍රැගෙන එන්නේත්... තම චරිතය ‍රැකගෙන සුපුන් හා එක්වීමේ බලාපොරොත්තුව නොපෙනෙන අනාගතයකට කල් දමනවාද, මාලන්ගේ අවශ්‍යතාවය ඉ‍ටුකර සුපුන් හා එක්වීමේ සැබෑ නොවන සිහිනයට ජීවයදී එහි අහිතකර ප්‍රතිඵල වලට මුහුණදෙනවාද යන තීරණ දෙකින් එකක් ඇය ගතයුතු මොහොත ඉතින් එළඹ තිබුණා...

සුපුන්, තම දෙමාපියන්, නෑදෑ හිත මිතුරන්, දන්නා නොදන්නා සියලුදෙනාමත් ඇය මනස ඉදිරියේ තබාගෙන ලෝචනා ඇසුවා නඩුවක්... චූදිතයාත්, සාක්කිකරුත්, නඩුකාරයාත් ඇයමයි... තීන්දුව ලැබුණේ දඬුවමක්ද සමඟින්... ඊට අවනත වූ ලෝචනා වෙවුලන ඇඟිලි තුඩු වලින් සිම් කාඩ්පත නැවතත් තම ජංගම දුරකථනයට ඇතුලු කර ඔහුගේ අංකය ඇමතීමේ විධානය ලබා දුන්නා...

"Lochana –US Visa –Temp”

මාලන්ගේ දුරකථන තිරයේ වෙවුලන රිසීවරයක රූපයක් සමඟින් ලෝචනාගේ දුරකථන අංකය දිස්වූයේ එසේයි...

"හෙලෝ.."

"... මාලන් ... මම ලෝචනා..."

"මම හත වෙද්දි එන්නම් ඔයාව ගන්න..."

නානකාමරයට වැදුණු ඇය වතුරමලෙන් ගලා එන දිය පාරට තම නෙතින් නොනත්වා ගලා එන කඳුළුවැල් සෝදා හරින්නට ඉඩ දුන්නා...

එතැනින් පසු සිදුවීම විස්තරකිරීම මම උවමනාවෙන්ම මඟහරින්නම්... සෑම රාත්‍රියකම සිය දහසක් සුසුම්වැල් විහිදෙන මලානික කොළඹ අහසට ලෝචනාගේ සුසුම් වැඩි වූයේ නැහැ... තවත් කලබලකාරී දිනකට ලෝකය අවදිකරමින් වළාකුළු කැටි ගැසුණු සුදුමැලි කොළඹ අහසේ ලේ රතු පැහැයෙන් හිරු නැඟ එද්දී ලෝචනා තම ජීවිතයේ දීර්ඝතම රාත්‍රිය පහන් කර හමාර කළා...

කාලය ගලාගියේ ලෝචනාට අලුත් බලාපොරොත්තු ඇතිකරමින්... කඳුළට හුරු ඇගේ දෙනෙත් නැවතත් තෙත් වන්නට වැඩිකලක් ගතවුණේ නැහැ... නමුත් මෙවර ඇය වසරකට ආසන්න කාලයක් තිස්සේ අසාර්ථක උත්සාහයක යෙදුණු වීසා සිහිනය සැබෑවීමේ සතුට වෙනුවෙන්...මාලන් ඔහුගේ පොරොන්දුව ඉ‍ටුකර තිබුණා... ජිවීතයේ අප්‍රසන්නතම අත්දැකීමක කඳුළු වියැලෙන්නටත් ප්‍රථම ඇයට ජීවිතයේ සතු‍ටුදායකම මොහොත වෙනුවෙන් සැරසෙන්නට සිදුවී තිබුණා...

ඉතින් ඒ සතුට විඳගන්න කාගෙන් බාධාවක්ද..? එය සිත්සේ විඳගැනීම සඳහා ඇය සැලසුම් කළේ අහිංසක විහිළුවක්... ලෝචනා සමඟ එක්වන දිනය තවත් මාස ගණනකට කල්දමා විස්සෝප වෙමින් සිටින සුපුන්ට නොසිතූ මොහොතක තමා ඉදිරියේ ඇය දකින්නට ලැබීම තරම් පුදුමයක් සහ සතුටක් තවත් තිබේද..? ඒ අවස්ථාව පැහැර හරින්නට ඇයට අවශ්‍යය වූයේ නැහැ... ඉතිරිව තිබුණේ එහි සිටිනා සුපුන්ගේ හිතවතෙකු සමඟ කතාකොට ඇයගේ සප්‍රයිස් විසිට් එක සැලසුම් කරගැනීම පමණයි...

-මතු සම්බන්ධයි-

කෙටියෙන් කිවයුතු කතාවක් දිගින් දිගටම ඇදගෙන යෑම ගැන සමාවෙන්න... එක් හේතුවක් වන්නේ කතාව අවසානයේ මා අසනවා යැයි කියූ ගැටලුව වෙනුවෙන් තරමක විස්තරයක් අවශ්‍යයයැයි හැඟුණු නිසායි... මීළඟ කොටසින් අවසන් වන බවට සහතික වෙන්නම්... Smile

Tuesday, July 12, 2011

31. චරිත පහක් | fi_V_e (II කොටස)


5
මෙතෙක් කතාව
ලෝචනා සුන්දර තරුණියක්...දිනක් ඇය දුම්රියක හැපීමට යද්දී ඇයව බේරාගනු ලබන්නේ සුපුන් නම් තරුණයෙක් විසින්... ඔවුන් දෙදෙනා පෙමින් බැ‍ඳෙන්නේ දු‍ටු පළමු දිනයේමයි...ටික කලකින් සුපුන් විදේශගත වන්නේ ඉක්මනින්ම ලෝචනා ඔහු සිටිනා රටට ගෙන්වා ගන්නා බව පොරොන්දු වෙමින්...
[සම්පූර්ණ කොටස මෙතැනින් කියවන්න]

අද එතැන් සිට

ජීවිතය ජීවත් කරවන්නේ බලාපොරොත්තු වලින් කියලා ලෝචනා කොහේදෝ කියවලා තිබුණා... ඒත් ඒ බලාපොරොත්තුම ජීවිතේ මේ තරම් අන්තයටම කලකිරවනවා කියලා ඇය දැනගෙන හිටියේ නෑ...
සිදුනොවිය යුතු දෙයක් ඇත්නම්, ඒ දේම සිදුවීම ලෝචනාගේ ජීවිතයට අලුත් දෙයක් නෙවෙයි... මෙවරත් එය එසේම සිදු වුණා... තවත් වාරයක් තම වීසා අයදුම්පත ප්‍රතික්ෂේප කරගෙන ඇය තානාපති කාර්යාලයේ කැරකෙන දොරින් එළියට ආවේ විකල් වූ මනසින්...

"තව පාරක් ට්‍රයි කරමු.." දුරකථනය දිගේ එන සුපුන්ගේ පරාජිත පිළිතුර ලෝචනා දැන් දන්නවා...

තේරුමක් නැති උත්සාහයක තමන් පැටලිලාද කියලා ලෝචනාට අවබෝධ වෙන්න පටන්ගත්තත් උපන් ගෙයිම ඒ සිතිවිල්ල ඇය මරලා දැම්මේ සුපුන් ඇයට නැති වුණොත් මොනවා වෙයිද යන්න ගැන ඇයට සිතන්නවත් අවශ්‍යය වූ නැති නිසයි...

සුපුන් සිටිනා ඉසව්වට තවමත් රාත්‍රිය බව ඇය දැන සිටියා… උදෑසනම ඔහු වෙත ලබාදිය යුතු අසුභ ආරංචියත් හිතේ තදකරගෙන, පරාජිත මනසකින් ඇය යෙහෙළියකගේ රූපලාවණ්‍යය ආයතනයට ගොඩ වැදුණේ ඇය සමඟ හෝ තම සිත තුළ ඇති පීඩනය බෙදා ගන්නවාය යන අදහසින්... තම ජීවිතයට බලපාන වැදගත්ම ගැටලුව විසඳිය හැකි කෙනා එහිදී මුණ ගැසේවියැයි ඇය සිහිනෙන්වත් සිතා සිටියේ නැහැ...

ඔහු මාලන්... යෙහෙළියගේ කෙටි හඳුන්වාදීමකින් ලෝචනා හා දොඩමළු වූ ඔහු, ඇයගේ වීසා සිහිනය ගැන අසා ලබා දුන් පිළිතුර ඇයට ඇසුණේ සුරපුරයෙන් බට දේවදූතයෙකු පවසනා දේව වාක්‍යයක් ලෙසින්...

"සුළු දෙයක්නේ... ක්‍රමේ දන්නවනම් වීසා ගන්න එක මහලොකු දෙයක් නෙවෙයි... මම ප්‍රොමිස් වෙන්නම් ඔයාට වීසා අරන් දෙන්න, ඔය ෆයිල් එක දෙන්න... අද හවස හය වෙද්දී මට කෝල් එකක් දෙන්න..."

ඔහුගේ නම සහ දුරකථන අංකය පමණක් සඳහන් වූ කාඩ්පතක් ඇය අතට පත් කරමින් ඔහු පැවසුයේ අතිශය විශ්වාසවන්ත ලෙසින්...

හැකි සෑම උත්සාහයක්ම දරා අසාර්ථකව ලෝචනා සිටියේ ලැබෙන ඕනෑම පිදුරු ගහක එල්ලෙන සිහියෙන්... මාලන්ට ෆයිල් එක ලබාදුන් ඇය සවස හය වනතුරු සිටියේ ඇඟිලි ගනිමින්... කෙසේ වුවත් සවස මාලන්ගෙන් ලැබෙන පිළිතුර ධනාත්මක වුවහොත් පමණක් මේ පිළිබඳව සුපුන්ට දැන්වීමට ඇය ඉටාගත්තා...

කිහිපවරක් නාදවුණු දුරකථනයට ඔහු සම්බන්ධ වුණේ ලෝචනා දුරකථනය විසන්ධි කිරීමට ඔන්න මෙන්න කියා තිබියදීයි...

"මාලන් මම ලෝචනා.."

"මම ඔයාගේ වැඩේ බැලුවා, කිසි ප්‍රශ්නයක් නෑ වැඩේ කරලා දෙන්න පුළුවන්..."

ඔහු කිව්වේ ඉතා සැහැල්ලුවෙන්...

"කොච්චර විතර මුදලක් යාවිද මාලන්..." වෙව්ලන කටහඬින් ලෝචනා ඇසුවා...

"සල්ලි වලින්නම් ඔයාට යන්නේ වීසා ෆීස් ටික විතරයි..."

ඇයට දැනුණේ සුදෝසුදු වලාකුළක නැගී හිමකැටි වන් වලාකුළු අතර සැරිසරමින් තමා අහසේ පාවෙනවා වැනි හැඟීමක්...

"ඔය ඇත්තමද..."

ලෝචනාට මෙය අදහාගත නොහැකි වූ බැවින් ඇය ඇසුවේ මෙහි කිසියම් සැඟවූ යමක් ඇත්දැයි පැහැදිලි කරගන්නා අටියෙන්...

"ඔව්… මෙහෙමයි, මම ඔයාට කෙලින්ම කියන්නම්... මට ඇති තරම් සල්ලි තියෙනවා, ඒ නිසා සල්ලි වැඩක් නැහැ... ඔයාගේ වැඩේ අනිවාර්යෙන්ම කරලා දෙන්න පුළුවන්, හැබැයි ඔයා මගෙත් එක්ක නයිට් එකක් ස්පෙන්ඩ් කරන්න කැමති වෙන්න ඕනේ..."

මාලන්ගේ ඒ පිළිතුරත් සමඟ ලෝචනාට දැනුණේ ඇය අහසේ හුන්තැනම සිටියදී ක්ෂණිකවම වළකුළු සියල්ල අතුරුදන් වූවාක් වැනියි... පාලනයක් නැතිව මහපොළවට ඇද වැටෙද්දී දෙකකුල් හිරීවැටී යනවා මෙන් දැනුණු නිසා ඇය අසල තිබූ බිත්තියකට වාරු වුණා... ගැහෙන ඇඟිලි තුඩු මතින් ගිලිහෙන්නට යන දුරකථනය තදින් අල්ලා ගත් ලෝචනාට ඇතිවුණේ තමන්ගේ අසරණකමින් ප්‍රයෝජන ගන්නට උත්සාහා ගන්නා මාලන් ගැන අසීමිත පිළිකුලක්…

"මාලන් මම කවදාවත් හිතුවේ නෑ ඔයා මට උදව් කරන්න හදන්නේ මේ වගේ සිතිවිල්ලකින් කියලා..."

හැඬුම් මැදින් ඇය පැවසූයේ ඇයට මෙතරම් බලාපොරොත්තු දී අවසනායේ ඒ සියල්ල කඩකිරීම ගැන ඔහු කෙරෙහි උපන් කෝපයකින්...

"මම ඔයාට කරන්න හදන්නේ උදව්වක් නෙමෙයි... උදව් කරන්න තරම් අපි ක්ලෝස් යාළුවෝ නෙමෙයිනේ... මෙක ගනුදෙනුවක්, ඔයාට අවශ්‍යය දේ ඔයාට ලැබෙන, මට අවශ්‍යය දේ මට ලැබෙන දෙන්නටම සාධාරණ ගනුදෙනුවක්... ඔයා අකමැතිනම් රිජෙක්ට් කරන්න පුළුවන්, බයවෙන්න එපා මම ආයේ ආයේ ඔයාගේ පස්සෙන් එන්නේ නෑ... කරනවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න...අනිත් එක, ඔයා කිව්වොත් හැරෙන්න මගෙන් මේ ගැන වචනයක්වත් පිට වෙන්නෙත් නැහැ... ඔයාට කාලය අවශ්‍යය නම් හෙට හවස් වෙනකල් කල් දෙන්න පුළුවන්... මොකද අනිද්දා හවස මම ෆ්ලයි කරනවා..."

"මාලන් ඔයාට පිස්සුද..? මේක කවදාවත් වෙන්නේ නෑ..."

"ඕකේ.. ඔයාගේ තීරණය ඒකනම් ගැටලුවක් නෑ... අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි, ඔයා හෙට රෑ මගෙත් එක්ක හිටියොත් ඔයාට වීසා අරගෙන දෙන බවට මම සහතික වෙන්නම්...එච්චරයි... හෙට හවස් වෙන්න කලින් තීරණයේ වෙනසක් වුණොත් මට කෝල් කරන්න...ගුඩ් බායි..."

ඉතා සන්සුන් හඬකින් මාලන් ලෝචනාට සමුදෙද්දී, තමන්ගේ ජීවිතයේ අප්‍රසන්නතම දුරකථන ඇමතුම හමාර කල ඇය තමා වාරු වී සිටි බිත්තිය දිගේ පහළට රූටා විත් සීතල පොළව මත හිඳගත්තේ ඉකිගසා හඬමින්...

-මතු සම්බන්ධයි-

Sunday, July 10, 2011

30. චරිත පහක් | fi_V_e

 

5

මේක තවත් පුංචි කතාවක්... බීට්ල් ලියන අකුරු බ්ලොග් අඩවියේ ඇති අනෙක් කතා වගේමයි... නමුත් ඊට ටිකක් වෙනස්... දීර්ඝ පෝස්‍ටුවක් කියවීමේ නීරස අත්දැකීම මඟහරින්නටත්, එක් පොස්‍ටුවක් ලෙස සම්පූර්ණ කතාවම පළකිරීමට ලියා ඉවරවෙනකල් සිටියහොත් ඉවරවෙනවා තියා පටන් ගැනෙන්නේවත් නැති නිසාත් මෙසේ පටන් ගෙන කොටස් දෙකකින් හෝ තුනකින් අවසන් කරන්නම් ...

සඳහන් කල වෙනස නම් මේ කතාව අවසානයේ මම ඔබට පුංචි ගැටළුවක් ඉදිරිපත් කිරීමයි...Smile අවසානය තෙක් ඔබව රඳවාගැනීමට හැකිවේවායි බලාපොරොත්තුවකුත් කැටි කරගෙන එහෙනම් ලිවීම අරඹන්නම්...

~~~~~~~~~~~

විනාඩි හතලිස්පහට අනුමාන කරපු බස් ගමන නිමාවෙන්න ගතවුණු කාලය ගැන ඇතිවුණු නොරිස්සුමත් එක්ක බස් රථයෙන් බට ලෝචනාට ඉතිරි ටික දුර ගෙවාගන්න පාරවල් දෙකක් තිබුණා... බස් නැවතුම ඉවර වෙනකල් ගිහින් මඟී පාලම උඩින් යන පාර එකක්... බාගෙට නවපු යකඩ කණු දෙක අස්සෙන් රිංගලා රේල් පාර දිගේ ගිහින් මගී පාලම අයිනෙන් මතුවෙන පාර අනික... වැඩි වාර ගණනක් ගිහින් තියෙන පළවෙනි පාර අතෑරපු ඇය අඩු වාර ගණනක් ගිහින් තියෙන දෙවෙනි පාර ‍තෝරගත්තා...

ලෝචනා යකඩ කණුදෙක අතරින් අපහසුවෙන් රිංගුවේ හදිසියේම කෑගහන්න ගත්ත මොබයිල් එක කණට තදකරගන්න ගමන්... තව ටික වෙලාවකින් ගෙදර එනබව දැනුම්දීලා ඇමතුම විසන්ධි කරන්නවත් වෙලාවක් ලැබුණේ නෑ, ඇයට ඇහුණේ කන් කීරි ගහගෙන යන තරමේ හෝන් හඩක්... ඒත් එක්කම කොහෙන්දෝ ආව අතකින් තමන්ව වැරෙන් ඇදලා අරගෙන මගීපාලමට යටින් ඇති බිත්තියට තදකරනවා ලෝචනාට අසිහියෙන් වගේ දැණුනා...

යන්තම් සිහි එලවාගත්ත ඇය දැක්කේ තමන්ට අඩි කිහිපයක් ඉදිරියෙන් පොළව දෙදෙරවාගෙන ඇදිලා යන දුම්රියේ බොඳවුණු චායාව... තවමත් ඇයව බිත්තියට තදකරගෙන ඉන්න ඒ හැදි දැඩි අත දිගේ ඉදිරියට ඇස් ගෙනිච්ච ලෝචනා නතරවුණේ තමන් වෙතට එක එල්ලේ යොමුවෙලා තියෙන දිලිසෙන ඇස් දෙකක් ඉදිරියේ... දුම්රියේ හුලං පාරට අවුල් වෙන හිසකෙස් නිසා දඟකාර පෙණුමක් ආරුඩ වුණු නන්නාඳුන තරුණයෙක් ලෝචනාව දැඩිව අල්ලාගෙන හිටියා...

තම සිරුරේ ගෑවී නොගෑවී මහහඬ නංවමින් දුම්රියක් ඇදී යමින් තිබුණා වුණත් ඔහුගේ ග්‍රහණය හමුවේ ලෝචනාට දැනුනේ අසීමිත සුරක්ෂිත බවක්... දුම්රියේ කැකෑරෙන සුලං පාරට රිදුම් දෙන ඇස් පියාගැනීමට ඇය ට අවශ්‍යය වුණත් ඔහුගේ මුහුණෙන් ඇස් ඉවතට ගන්න බැරි මොකද්දෝ ආකර්ෂණයකට අසුවී සිටි නිසාදෝ ඇය නොනවත්වාම ඒ කතාකරන ඇස් දෙස බලා සිටියා...

"තව පොඩ්ඩෙන් සේරම ඉවරයි..."

සිනාමුසු මුහුණින් තරුණයා එසේ පවසද්දී පියවි සිහියට පැමිණි ලෝචනාට අවබෝධ වුයේ දුම්රිය ඔවුන් පසුකර ගමන් කර තරමක වේලාවක් ගතවී ඇති බවයි... ඔහු තවමත් ඇයගේ අත අල්ලාගෙන...

"තැන්ක් යූ..." අසරණ හඬින් පැවසූ ලෝචනා සෙමින් ඔහුගෙන් තම සුරත මුදා ගත්තා...

ලෝචනා ගේ ජීවිතය බේරාගත් ඔහු සුපුන්... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම කඩවසම් තරුණයෙකු වූ ඔහු මෙම සිදුවීමට මුහුණ පෑවේ ඇමරිකා එක්සත් ජනපදයේ සේවය කරමින් සිටියදී ලැබුණු කෙටි නිවාඩුවකට මව් රටට පැමිණ සිටියදීයි... සුරපුරයෙන් බට සුර දූතිකාවන් වැනි ලඳුන් ‍රැසක් මීට පෙර ඔහුට හමුවී ඇතත් අහම්බෙන් මුණගැසුණු මේ යුවතිය විනාඩි කිහිපයක් ඇතුළත ඔහු සිත තුල කරමින් සිටියේ අන් කවරදාකවත් සිදු නොවූ පෙරළියක්...

පළමු දැක්මෙන්ම ඇතිවන ප්‍රේමය නම් දෙයක් ලොව ඇත්නම් ඒ සඳහා මීට වඩා උදාහරණයක් මට සොයාගත නොහැකියි... ඇත්තෙන්ම එහි පුදුමයකුත් නැහැ... ලෝකය මැව්වේ දෙවි කෙනෙක් නම් ඔහු ලෝචනාව මැවූයේ සුපුන් සඳහාම විය යුතුයි... සුපුන්ව මැවූයේ ලෝචනා හැර අන් කිසිවෙකු සඳහාම නොවිය යුතුයි...ඔවුන් ඒ තරමටම එකිනෙකාට ගැලපෙන යුවලක්...

ලෝකයේ හතරදිග්බාගයේම කරක් ගැසූවත් සොයාගත නොහැකි වූ ආදරය කියන අකුරු හතර ලෝචනාගේ බිය මුසු දෑස් වල සිරවී තිබෙන අයුරු දැකගන්නට සුපුන්ට වැයවුනේ මැදිරි කීපයක සීඝ්‍රගාමී දුම්රියක් තමන් පසුකර යෑමට ගතවෙන තරම් සුළු කාලයක් විතරයි...

ඉතින් ඔවුන් ප්‍රේම කලා... සිදුවිය යුතු ලෙසින්ම...

දිඟු කතාවක් කෙටියෙන් කියන්නම්... සෑම සුන්දර දෙයකම අවසානයක් ඇතැයි යන්න සදාතනික සත්‍යයක්... කඩාබිඳගෙන යන දුම්රියක වේගයෙන් ලෝචනාගේ ජීවිතේට ඇතුල් වුණු සුපුන් ඩිස්නිලන්තයටත් වඩා විශාල හීනමාලිගාවක අත්තිවාරම විතරක් ඇයට ඉතිරිකරලා පිටත්වුනේ ඊටත් වඩා වේගයෙන්...

නැවත නැවත සිහිකිරීමෙන් ඔප වැ‍ටුණු සුන්දර මතක ගොන්නකට අමතරව ඇයට ඉතිරිවුණේ හැකි ඉක්මනින් ඇයව ඔහු සිටිනා දේශයට ගන්නවාය කියා සුපුන් හාදුවකින් මුද්‍රා තබා ලෝචනාගේ දෙතොල් අතර ‍රැඳවූ පොරොන්දුව විතරයි...

- මතු සම්බන්ධයි-

Friday, June 24, 2011

29. බිඳුණු පෙම | Geek Love


දිනක උයනෙක හුදෙකලාවක...
බි‍ඳෙන තුරුගොමු සිලි සිලිය මැද...
සිත් පිරූ එක් සොඳුරු...රහසක්...
කොඳුරමින්...

ඇරඹි මා සොඳුරුතම සිහිනේ...
දඟකාර තෙලිතුඩින් ඔබගේ...
නේක පැහැයෙන්…පාට තවරා...
හිමි හිමින්...

ආදරේ මිහිරිතම පාඩම...
කියා දී ඉඩ ලද ඇසිල්ලක...
රිදුනු දෙතොලින්…නුරා කෙඳිරිලි...
සුසුමකින්...

කඳුළු එනතුරු සිනාසුණු අපි...
කඳුළු ඉතිරිව සිනා වියැකුණු...
ගෙවුනු විඳවපු…දවස් එළඹුණු...
අරුමෙකින්...

හඬා නොහඬා හවස් වරුවක...
හිර කරපු නුඹෙ කඳුළු අතරට...
මුදා හල මා හිතේ… වේගය...
වියරුවෙන්...

දරාගත හැකි නොහැකි ගානට...
නැගුණු විෂක‍ටු වචන වෙනුවට…
පහර දී බිත්තියට ඔබ අත ‍රැඳි...
අයි පෑඩයෙන්....

පිය නඟද්දී යළි නො එන්නට....
ඇහුණාද මා හඩා වැ‍ටුණා...
ලෝකයම මට අහිමි වුණ සේ...
ශෝකයෙන්...

මා පණත් සරි.... එයත් මට සරි....
අහිමිකල මට මළත් කම් නැති...
බිඳුණු 3G අයි පෑඩ් එක...
තදකරන්...

මා ඇගේ හිත බිඳිද්දී ඈ බින්දේ මගේ අයිපෑඩයයි... වැඩියෙන් හැඬුවේ කවුරුදැයි ඔබ දන්නවාද......?

Tuesday, June 21, 2011

28. මගේ පුංචි කෙටි කතාව සහ තවත් කතා | My very first story



මෙම බ්ලොග් අඩවියේ ආරම්භයේම වරක් මා සඳහන් කර ඇති පරිදි මගේ කුළුඳුල් කෙටි කතාව පළවුණේ ටැබූ සබ්ජෙක්ට්ස් බ්ලොග් අඩවියේයි... නමුත් එම බ්ලොග් අඩවිය අවාසනාවන්ත ලෙස බිඳවැටීමත් සමඟම අතුරුදන් වූයේ එහි තිබූ හරවත් සංවාද, ගහමරා ගැනීම්, මඩ ප්‍රහාර පමණක් නෙවෙයි… ඒ සියල්ල අතරේ තිබූ  මාගේ අහිංසක කෙටි කතාවත් ඒ සමඟම අතුරුදහන් වූවා... මා විසින් එහි පිටපතක් පරිඝනකයේ සු‍රැකිව තබාගන්නට ඇතැයි යන විශ්වාසයෙන් සොයා බැලූවත් අවාසනාවකට එවැන්නක් සොයා ගැනීමට හැකියාවක් ලැබුණේ නැහැ...

තමන් සතු වටිනා දෙයක් නැතිවූ පසු පොලිසියට යනවා වෙනුවට ඒ බජාර් එකේ අයියා හමුවීමට යාම වඩා ඵලදායී බව ප්‍රසිද්ධ රහසක්... ඒ උපදෙස පිළිපදිමින් මාගේ නැතිවුනු කෙටිකතාව සොයා ගැනීම සඳහා සිංහල බ්ලොග් අවකාශය නැමති බජාර් එකේ අයියා කෙනෙකු හමුවීමට මා තීරණය කලා...මෙහිදී මා සිතට නිතැතින්ම නැගුණේ 'මෝදර බස්පියා' ලෙස විරුදාවලිය ලත් වැපිනි සාන්ත මහතාවයි... තරමක දෙගිඩියාවෙන් කල් මැරූ මම අවසානයේ තීරණයකට එළඹ ඔහු හමුවීම සඳහා පිටත් වුණා...

පාඨකයන් බොහෝ දෙනෙකු බලාපොරොත්තු වන පරිදි මා ඔහු සොයා ගත්තේ රාත්‍රී සමාජ ශාලාවක, තැබෑරුමක හෝ බූරුපොළක සිටියදී නම් නෙවෙයි... මාහට ඔහු මුණගැසුනේ සිංහල බ්ලොග් අවකාශයේ සංගීත ලෝලී රසික රසිකාවියන්ගේ රසඟ්හතාවය ඔප දමනු වස්, නොමිලේ පවත්වාගෙන යනු ලබන සේවාවක් වන ගූග්ල් බස් රේඩියෝ නැමැති සමාජ සත්කාරක කර්තව්‍යයට උර දෙමින් සිටියදීයි...

පුද්ගලික කටයුත්තක් යෙදී ඇති හෙයින් ටික වේලාවකට අසන්නන්ගේ ගීත ඉල්ලීම් වලට ප්‍රතිචාර දැක්වීමට නොහැකි වීම ගැන ඒ වනවිටත් රේඩියෝව අසමින් සිටි සියලුදෙනාගෙන්ම කිහිප වරක්ම  සමාව ඇයදීමෙන් අනතුරුව ඔහු මා හා දොඩමලු වුණා... වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම යහපත් මිනිසෙකු බව මට පසක් කල මොහුගේ මේ හැසිරීම, ඔහු ගැන වටින් පිටින් මා අසා ඇති කරුණු පිළිබඳව දෙවරක් සිතන්නට මට බල කලා... ඒ නිසාම අසන්නට ආ කාරණය පසෙක තබා මා ඔහුගෙන් විමසුවේ ඔහුට එල්ල වී ඇති හැකින් චෝදනා,  මුදල් අපචාර චෝදනා වැනි දේ  පිළිබඳවයි...
ඒ සම්බන්ධයෙන් ඔහු දැක්වූයේ මෙවැනි අදහසක්...



"ඕවා ඔහොම තමයි මල්ලි, මට කියන්න තියෙන්නේ මෙච්චරයි... මුං වපුරපු අය මුං අරගෙන යාවි, තල වපුරපු  අය තල අරගෙන යාවි... කෝකටත් ඔයා ඔය දෙවල් ගැන වැඩිය හොයන්න යන්නේ නැතුව පාඩුවේ බ්ලොගිය කරගෙන ඉන්න.... දැන් මොකද්ද බොස්ට මගෙන් කෙරෙන්න ඕනේ..?"


ඒ පිළිබඳව දිගින් දිගටම හාරා අවුස්සනවාට ඔහු අකමැත්තක් දක්වන බව පසක් වූ හෙයින් මා පැමිණි කාරණය ඔහුට හෙලි කලා...ගතවූයේ විනාඩි කිහිපයක් පමණයි, ඔහුගේ උපදෙස් පැළිපැදීමෙන් පසු, මා හට අහිමි වූ කෙටි කතාව එකදු අකුරක් වත් අඩු නොවී මා අතට පත් වූයේ  මා විශ්මයට පත්කරමින්,,,,



"සේරම තියෙනවද බලන්න..." 


සිනාමුසු මුහුණින් ඔහු එසේ පවසද්දී සියල්ල නො අඩුව ඇතිබව සපථ කරමින් මා ඒ සොඳුරු මිනිසාට සමු දුන්නේ සැනසුම් සුසුම් හෙලමින්...


එසේ අපසුවෙන් සොයාගත් ඒ කතාව මාගේ බ්ලොග් අඩවියේ දැන් පලකර තිබෙනවා...... මඟහැරුණු කෙනෙකුට එය මෙතැනින් රසවිඳිය හැකියි...

ඉතින් මේ දීර්ඝ ආරම්භය වෙනත් කරුණක් සඳහන් කිරීමටයි... පසුගිය දිනෙක මහගෙදර ගිය අවස්ථාවක පරණ ලියකියවලි පිරවූ පෙට්ටගමක් පිරිසිදු කරමින් සිටි ආදරණීය මෑණියන් මා අතට පත් කලේ අපූරු දෙයක්... ඒ එම ලියකියවිලි අතර තිබූ  ඇය විසින් සු‍රැකිව තබාගත් ඇක්සයිස් පොතකින් ඉරාගත් පි‍ටුවක්... එහි සටහන්ව තිබුණේ  මීට වසර ගණනකට පෙර පාසල් යන වියේදී මා විසින් ලියා ඇති පුංචි කතාවක් ... මා මෙතෙක් සිතා සිටි අයුරු නිවැරදි නොවන බවත්, මාගේ පළමු කතාව මෙය විය හැකි බවටත් පැහැදිලි වූ හෙයින් දෙවරක් නොසිතාම එම කතාවත් මාගේ බ්ලොග් අඩවියේ පළකරන්නට මා තීරණය කලා...ඉතින් මේ සුළු සංස්කරණයකින් යුක්ත වූ එකල කුඩා දරුවෙකු වූ බීටල් පැංචා වන මා විසින් ලියන්නට යෙදුණු ඕරිමජිනල් කුළුඳුල් කෙටිකතාවයි...


-          මාදව කඩේ ගිය හැටි -

මාදව කීකරු දරුවෙක්...එයාගේ ගෙදර තිබුණේ දෙකේ කණුව ගාවයි... මාදවගේ අම්මාත් තාත්තාත් වැඩට යන වෙලාවට එයාව බලාගත්තේ අත්තම්මායි...දවසක් අත්තම්මා මාධවට සල්ලි දීලා කඩෙන් සීනි දෙසිය පනහකුත් තේකොල සීයකුත් ගේන්න කිව්වා...

කඩේට යන පාරෙදි මාදවට තරිඳු හම්බවෙලා අක්කපාන කොල කඩන්න පංසලේ ගල් පොත්තට යන්න කතා කල නිසා කඩේ යන එක නවත්තලා මාදව තරිඳුගේ පස්සෙන් වැ‍ටුණා...අක්කපාන කොල කඩලා තරිඳුගේ ගෙදර ගිහින් ඒවා පොත් අස්සට දාලා එහෙම ඉවර වෙද්දි කරුවලත් වැටීගෙන එනවා...

එතකොටයි මාදවට කඩේ යන්න ඕනේ කියලා මතක් වුණේ...කරුවල වැ‍ටුණත් සීනි නැතුව ගෙදර ගියොත් රෑ වුන එකටයි බඩු ගෙනාවේ නැති එකටය් දෙකටම බැණුම් අහන්න වෙන නිසා මාදව කඩේට යන්න හිතුවා...

බඩු අරගෙන බය යන්නත් එක්ක හයියෙන් සිංදුවක් කියාගෙන මාදව රූං ගාලා ගෙදර දුවගෙන ආවා... ගේ ලඟදි එයාගේ සිංදුවයි දිවිල්ලයි නතර වුණේ කරුවලේ පාර අයිනේ කවුද බිම වාඩිවෙලා ඉන්නවා දැකපු නිසයි...

හෙමින් හෙමින් තව ටිකක් ඉස්සරහට ගිහින් මාදව හයියෙන් මෙහෙම ඇහුවා...

"කව්ද ඔතන....?"

සද්දයක් නෑ....

"කව්ද ඔතන...?"

මාදව ආයෙත් ඇහුවා... ඒත් සද්දයක් නෑ...

"කතා කලේ නැත්තම්... තේකොල මුලෙන් ගහනවා...!"

මෙහෙම කිව්වත් අමුත්තගෙන් කිසි සද්දයක් නැති නිසා බයවුණු මාදව තේකොල මුලෙන් දමලා ගැහුවා... අමුත්තා හෙලවුණේ වත් නැහැ...

"කවුද ඔතන...?"

මාදව ආයෙත් ඇහුවා...

"කව්ද ඔතන...??"

ඒත් උත්තරයක් නැහැ...

"කතාකලේ නැත්නම් සීනි මුලෙන් ගහනවා...!"

අමුත්තා කතාබහක් නැතුව එහෙමම ඉන්න නිසා හොඳටම බයවුණු මාදව සීනි මුලෙනුත් අමුත්තාට ගැහුවා... ඒත් අමුත්තා එහෙමමයි...


කරගන්න දෙයක් නැති තැන බයෙන් බයෙන් තව ටිකක් ඉස්සරහට ගිය මාදවට මෙහෙම කියවුණා...

"අඩ්ඩඩ්ඩා........ මේ දෙකේ කණුවනේ....!!!"

කතාව මෙතනින් ඉවරයි... කියවූ ඔබ සැමට ස්තූතියි… අකුරු රවුම් කර ලිව්වේ බීටල් පැංචා....


ප/ලි/ : 

මා කතාව ලිවීමට සෑහෙන කාලයකට පෙර ලියවෙන්නට ඇතැයි සැක කල හැකි කතන්දර තම කුඩා කාලයේ නිර්මාණය කල කවියක් මෙතැන පලවී තිබියදී ටික කලකට පෙර ආසාවෙන් කියවූවා මතකයි...
Web Statistics