
“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”
එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇතිකරන්නේ ළා දුඹුරු පාට කෝපි දියර මතුපිටින් නැගෙන දුම් රැල්ල වෙන්නැති… ඒ දුම් රැල්ල හරි අද්භූතයි… තමන් අවට පරිසරයට පුදුම විදියට සංවේදීයි… හැගීම් වලින් අනූන කෙනෙක් ඉදිරියේ නම් දුම් රැල්ල කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන්නේ ලතාවකට… හරියට භාවනාවක් වගේ… ඒත් හිතේ කලබල වෙලාවට කෝපි කොප්පයක් බීලා බලන්න…දුම් රැල්ලත් හරි කලබලයි…
ඒකාකාරී ජීවිතේට වෙනසක් එක්කරන අලුත් මිතුරිය ඉස්සරහා ඉන්න මට මේ ගෙවෙන හැම මොහොතක්ම සර්ව සම්පූර්ණයි… මොන සීතලක්ද..? මම පිළිතුරු දෙන්නේ මඳ සිනාවකින්…
“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”



“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”
ගානට එක මට්ටමට කපපු මල් වැට… ඒ පිටිපස්සෙන් පේළියට රෝස පඳුරු… පාරනම් ටිකක් කලුයි… තාර නිසා… අපිළිවෙළයි හැඩිවෙලා සමහර තැන්… ඒත් ඒ පාරෙන් මෙහාපැත්තේ… තණකොළ බිස්ස පටන් ගද්දිම වගේ තියෙන සිමෙන්ති බංකුවේ මට අයිති හතරෙන් එකයි… ඇයට හතරෙන් තුනක්ම… උඩු බැලි අතට දිගාවෙලා හිස මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇය අහන්නේ අත් දෙක බැඳගෙන… උරිස් හකුළුවමින්… අපි මේ පාරෙන් ආවොත් හැමදාම වාඩිවෙන්නේ මේ සිමෙන්ති ආසනේ… තව ඒවා නැතුව නෙවෙයි… ඒත් මේක හදලා තියෙන්නේ හරියටම අපි දෙන්නාගේ මිම්මට… මම වාඩි වෙලා ඇය ඔඩොක්කුවෙන් දිගාවුණාම...අගලක්වත් අඩුත් නෑ…වැඩිත් නෑ… ඇස් මට්ටමට එකවගේ පෙනුණට අනිත් ආසන මීට වැඩිය දිග පළලින් වෙනස්… ඒවා හදලා ඇත්තේ වෙන ආදරවන්තයන්ට වෙන්න ඇති…
එකක් ඉවර වෙද්දි එකක් ගලා එන ඇගේ වචන වලට මම හූමිටි තියන්නේ ඇගේ හිසකෙස් අතරේ ඇගිලි තුඩු යවමින්… මිතුරියක් වී සිටියදීම නොදැනුණු සීතලක් මට ඇය ආදරවන්තිය වූ කල කොයින්ද..?
“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”



“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”
කන්පෙති දිගේ දෙතොල් ගෙනයමින් ඇය රහසින් මුමුනන්නේ ඇසෙන නෑසෙන හඬින්… පුළුන් පිරවූ සුදු ඝනකම් පොරෝනය මත අපේ සිරුරු වල හැඩයට රේඛා බෙදිලා… දන්නවද අපි හැමෝගෙම මුළු ශරීරේම උණුසුම තමයි…උදාහරණයක් විදියට එදා මේ මගේ කම්මුලේ දැවටුන ඇගේ හුස්ම රැල්ලේ ඉඳන් ඇගේ පාදවල සිහින් දිගටි ඇගීලි පුරුක් අතරට යනකල්ම… හැබැයි ශරීරයේ සමහර තැන් සාමාන්‍ය ප්‍රමානයට වඩා උණුසුමයි… තවත් සමහර තැන්… ගිනියම් වෙන තරම්… ඒක තනි තනිව විඳින්න බැරි උණුසුමක්… කෙනෙකුට තවකෙකුගෙන් විඳින්නට හැකි මේ උණුසුම විඳින්නට ලැබෙන්නේ ආදරය ඇති තැනක විතරයි… මුදලකට හිලව් කරලා ගන්න හැදුවොත්, කොච්චර උත්සාහා කළත් ලැබෙන්නේ උණුසුමක් නෙවෙයි… කාන්සියක්… මහන්සිය වැඩිවෙන තරමට කළකිරීමයි වැඩිවෙන්නේ…
හවස් වරුව පුරා තිබුණු චුරු චුරුව තරමක වැස්සකට හැරුනා… ඉතින් වැහැපන් වැස්ස ඇතිවෙනකල්… ඇය සිරුර පුරා උණුසුම අඩු වැඩි වෙන අයුරු විඳින මට මොන සීතලක්ද..?
“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”



“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”
හැම උඳුවප් මසකම අහපු ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයට හිත සීතලෙන් ගල්කරන පිළිතුරක් තිළිණ කරලා ඔබ නික්ම ගිහින්… පට පට ගාමින් ඇවිලෙන ගිනි මැලය ඉදිරියේ… ගතවට දැවටුණු ඝන පොරෝනයකින් සන්නද්ධව… කලබල දුම් රැල්ලකින් වටවුණු තිත්ත කෝපි කෝප්පයක් තොලගාන මට ජීවිතේ පළමු වරට උඳුවප් මාසේ උහුල ගන්න බැරි සීතලක් ඇතැයි අවබෝධ වෙන්නට පටන් අරන්…



“උඳුවප් මාසේ හරි සීතලයි..!”
පැවසුවා මුණගැසුණු මුල්දින
කෝපි හලකදි ඔබ එදා...
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…
“උඳුවප් මාසේ හරි සීතලයි..!”
රෝස උයනක සොඳුරු සවසක
ඇකයේ මා ඔබ හිස හොවා…
දැනුණෙ නෑ ඔබ කී විටෙක මට
උඳුවප් සීතලයි කියා…
“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කෙඳිරුවා නෑසෙනා ගානට
තුරුළු වී පපුතුරට මා …
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…
“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කියන්නට අද ඔබ නොමැති සඳ
අහිමි උණුසුම සිත අරා…
සක්සුදක් සේ දැන ගතිමි මම
උඳුවප් සීතලයි කියා…



පිංතූරය : Smashing Magazine December Wallpapers