Friday, February 25, 2011

11. කොචින් දුම්රියේ සාත්තරකාරයා | Fortune Teller in the Cochin Express


david_blaine_rising_card

"ඔන්න ඉන්දියන්කාරයෙකුයි පකිස්ථාන්කරයෙකුයි අසල්වැසියෝ..."

කථා මැසිමක් වන අරූන් එකක් ඉවරවන විට තව එකක් ලෙස කථාවක් පටන්ගන්නේ දුම්රියේ එකිනෙකට මුහුණලා ඇති ආසන දෙකෙහිම වාඩිවී සිටිනා මගීන්ගේ අවධානය තමා වෙත යොමු කර ගනිමින්...

"දවසක් ඉන්දියන් එකාගේ කිකිළි ගිහිල්ලා පකිස්තාන් එකාගේ වත්තේ බිත්තරයක් දැම්මා... දැන් දෙන්නම බිත්තරේ අයිති කරගන්න රංඩු වෙනවා...”

කියන්නට යන කතාවෙන් සුපුරුදු පරිදිම තමන්ට අපහාසයක් වෙන බව දන්න වස්ති හූමිටි නොතියාම අහගෙන ඉන්නවා...

"ඉන්දියන් එකා පකිස්ථාන් එකාට කිව්වා...හරි මේවගේ ප්‍රශ්ණ විසඳන්න අපේ පරණ ක්‍රමයක් තියෙනවා... මම උඹට වැටෙන්න හයියෙන් උඹේ ටෙස්ටිකල්ස් වලට පාරක් දෙනවා... ඊට පස්සේ උඹත් මට එහෙමම කරපං... අඩුම වෙලාවකින් නැගිටපු එකාට බිත්තරේ ලැබෙනවා කියලා... ඉතින් පකිස්ථාන් එකා කැමති වුණා හරිද...?"

බරක් පතලක් නොමැතිව අරූන් හඬනගා පවසද්දී මගේ ඇස් හාත්පස සිසාරා දිව යන්නේ කුඩා දරුවෙකු මේ සංවාදයට සවන්දෙනවාදැයි බියෙන්... ඉදිරි අසුනේ සිටි මැදි වියට ආසන්න යුවතිය තම සැමියාගේ මුහුණ බලමින් මදහසපාද්දී මා ඉදිරියේම අසුනේ එරමිණියා ගොතාගෙන වාඩිවී සිටින තරුණිය ජනේලයෙන් ඈත ක්ෂිතජය දෙස නෙත් යොමාගෙන ඉන්නේ මුහුණේ කිසිඳු හැඟීමකින් තොරවයි...

"ඉතින් අපේ එකා උඹලගේ එකාට කැරකිලා වැටෙන්න අතෙන්ට පාරක් දුන්නා... විනාඩි දහයක් විතර සිහිය නැතුව ඉඳලා කොහොමහරි මූ අමාරුවෙන් නැගිට්ටා..."

"ඒක නෙමෙයි මොකද්ද මේ පහුවෙන ඉස්ටේෂම...?"

කතාවේ හොඳම හරියෙදි අරූන් විරාමයක් ගන්නේ අසන්නන්ගේ අවධානය වැඩි කරගැනීමට විය යුතුයි... ඕනැවට එපාවට ජනේලයෙන් එලිය බලන කීපදෙනෙක් පිළිතුරක් නොදීම ආයෙත් අරූන් දෙසට හැරෙන්නේ කතාවේ ඉතුරු ටික අසාගන්නට ඇති උනන්දුවෙන්...

"හරි උඹලගේ එකා කියනවා කෝ දැන් මගේ වාරේ කියලා... ටික වෙලාවක් කල්පනා කරලා මෙන්න අපේ එකා කියනවා, නෑ එක්කෝ උඹ බිත්තරේ තියා ගනින් කියලා...හහ් හහ් හා...!!!"

කතාව නිම කරන අරූන් මහ හඬින් සිනාසෙමින් වස්තිගේ පිටට තට්‍ටු කරද්දී, තරුණියගේ මුහුණේ හැරෙන්නට කතාව අසා සිටි හැමදෙනාගෙම වාගේ මුහුණට නැගෙන්නේ හිනාවක්... තරම ඈතින් සිටි අයෙක් අවශ්‍යය ප්‍රමාණයටත් වඩා හඬනගා සිනාසෙන්නේ වස්ති දෙස එක එල්ලේ බලමින්... සිනාමුසු මුහුණින් අරූන්ගේ උපහාසය විඳගන්නා වස්ති අත ඇති ජංගම දුරකථනයේ බොත්තම් ඔබන්නේ අරමුණකින් තොරවයි...

ඒ මම ඉන්දියාවේ අධ්‍යාපනය ලබමින් සිටි දෙවෙනි හෝ තෙවනි වසර… මමත්, මාගේ ඉන්දියානු ජාතික මිතුරෙකු වෙන අරූනුත්, පාකිස්තානු ජාතික මිතුරෙකු වන වස්තිත්, අරූන්ගේ වැඩිමහලු සහෝදරයාගේ විවාහ මංගල උත්සවයට සහභාගී වීම සඳහා බැංගලෝර් සිට කොචින් බලා පිටත් වූයේ දුම්රියෙන්... අප තිදෙනා බඩ බැඳගත් මිතුරන් නොවූවත් මේ ගමනට අප තිදෙනාම එකතුවීමට අඩිතාලම වැ‍ටුනේ , විනෝදාංශය ලෙස ඡායාරූප ශිල්පයේ නියැළුණු වස්තිට මංගල උත්සවය ආවරණය කර දෙන ලැබුණු ඉල්ලීමත් ඒ සඳහා ඔහුට සහය වීමට මා හට ලැබුණු ඉල්ලීමත් නිසයි...

මේ දක්වා සියල්ල සාමාන්‍යය ලෙස සිදුවෙමින් තිබුණත් ඉදිරි අසුනේ සිටි හැඩකාර තරුණියත් සමඟ කුලුපග වීමට අප ගත් සෑම උත්සාහයක්ම ගඟට කැපූ ඉනි මෙන් ව්‍යර්ත වුණේ පුදුම සහගත ලෙසයි... චිත්‍රපටි, සංගීතය, විලාසිතා, කෑම බීම, ඉවුම් පිහිම්, සාහිත්‍ය, විද්‍යාව, ක්‍රීඩා, විහිළු යනාදී මෙකී නොකී සෑම ක්ශේත්‍රයක් තුළින්ම ඇය කතාවට අල්ලාගැනීමට පැය කිහිපයක් තිස්සේම අප ගත් උත්සාහයන් සියල්ල අසාර්ථක වීම නිසා අප තිදෙනාම සිටියේ කේන්තියකටත් වඩා අප ගැනම උපන් කලකිරීමකින්... අභියෝගය අතැර දැමීමට ඔන්න මෙන්න කියා තිබියදී මා කාටත් හොරෙන් තවත් තුරුම්පුවක් අත්හදා බැලුවා... ඒ දීර්ඝ ගමනේ කාංසිය මඟහරවා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වෙතැයි අදහස් කර දුම්රියට නැඟීමට ප්‍රථම අප මිළදී ගෙන තිබූ කඩදාසි කුට්ටමක් භාවිතා කරමින් ආදර සම්බන්ධතා පිළිබඳ සාස්තර අනාවැකි කිවීමට පටන් ගැනීමෙන්...

වසර කිහිපයක් තිස්සේ දැන සිටි මා මිතුරන් දෙදෙනා ගැන සාස්තර කීමට නොහැකිනම් මා උපන් ගෙයි මෝඩයෙක් විය යුතුයි... එසේම තවත් වසර කිහිපයකින් සිදුවන දේ ගැන දැන්ම අනාවැකි කීම තරම් පහසු දෙයක් ලොවේ තවත් නැහැ... ඔවුන් දෙදෙනාවම මන්මත් කරවන සාස්තර දෙකකින් පසු අපි හැරුණේ ඉදිරියෙන් සිටි මැදිවියේ යුවල වෙත...ඔවුන් අප ඉදිරියේ හැසිරුන පැය කිහිපය සාස්තරයකට ඇති තරම් අමුද්‍රව්‍ය සැපයූවා...

සැමියාට සහ බිරිඳට වෙන වෙනම කියූ සාස්තර දෙකම නිවැරදි බවට ඔවුන්ගෙන් අතිශෝක්තියෙන් ලබාගත් සහතික දෙකත් සමඟ අප හැරුණේ ඇය වෙත... තම පෙම් පළහිලව්වේ අනාගතය ගැන දැනගැනීමේ කුකුස තම ආඩම්බරයට වඩා වැඩි වූ හෙයින් දෝ මා ලබාදුන් කඩදාසි කුට්ටම සුරතට ගත් ඇය සිනාමුසු මුහුණින් යුතුව එය කළවම් කිරීමට පටන් ගත්තා...මේවා මොන බොරුද යන හැඟීමක් ඇය මුහුණින් දිස් වුවත් කඩදාසි කුට්ටම කළවම් කරන විට ඇයගේ සිහින කුමරා ගැන සිතමින් කළවම් කරන්න යැයි යැයි මා දුන් උපදෙස ඇය අවංක හැඟීමකින් පිළිපැදි බවට අදටත් මට විශ්වාසයි...

ඇය කළවම් කර නැවත ලබා දුන් කඩදාසි කුට්ටමේ මට අවශ්‍යය කාඩ්පත් ඉතිරි වෙන ලෙස අනිත්වා පිළිවෙලකට ඉවත් කළ මම ඉතිරි කාඩ්පත් කිහිපය දිගහරිද්දී, මින් සුළු වේලාවකට පෙර අප තිදෙනාව තඹයකටවත් මායිම් නොකළ ඇය තම සම්පූර්ණ අවධානයම අප වෙත යොමුකරගෙන සාස්තරය දැන ගැනීමට හරි බරි ගැසෙන අයුරු දැක මා සිතේ ඇතිවුනේ ජයග්‍රාහී සතුටක්...

"මෙන්න බලන්න... මේ හාර්ට්ස් කුවීන් පේනවා නේද..? මේ තමයි ඔයා... මෙන්න ඉන්නවා ස්පේඩ් කින්ග්... මේ තමයි ඔයා හිතාගත්ත එක්කෙනා... ඔයාල දෙන්නා මැදින් තියෙන මේ කාඩ්ස් ටික පේනවා නෙද..? මේ තමයි ඔයාගේ ආදර ජීවිතයට එල්ල වෙන බාධක... මේ හාර්ට්ස් ඒස් පේනවද..? මේ තමයි ඔයාගේ හාර්ට් එක, එතකොට මේ ස්පේඩ් ඒස් තමයි එයාගේ හාර්ට් එක... බලන්න ස්පේඩ් ඒස් හාර්ට්ස් ඒස් එක ක්‍රොස් කරලා පිහිටලා තියෙන හැටි... ඒක නිසා ඔයාට බය වෙන්න දෙයක් නැහැ... හැබැයි බලන්න ඒක ඩයමන්ඩ් ඒස් වත් ක්‍රොස් කරලා තියෙනවා..."

“ඒකේ තේරුම මොකද්ද..?” 

ඇස් ලොකු කරගෙන ඇය එසේ විමසද්දී මා අත ඇති කාඩ්පත් දෙස එබීගෙන සිටින අරූනුත් වස්තිත් එකවරම මා දෙස ඇස් යොමු කරන්නේ පිළිතුර දැනගැනීමට ඈ හා සමානම උනන්දුවකින්...

“ඒකේ තේරුම තමයි එයාව දිනාගන්න තව කෙනෙක් උත්සාහාකරනවා... බලන්න ඒ දෙක අතරේ තියෙන කාඩ්ස් ගාන ඔයාගේ කාඩ්ස් ගානට වඩා අඩුයි... ඒ කියන්නේ එයාගේ බාධක ඔයාගේ බාධක වලට වැඩිය අඩුයි... ඉතින් ඔයාට මහන්සි වෙන්න වෙනවා... පේනවද මේ ඔයාගේ හාර්ට් එක ක්‍රොස් කරලා තියෙන ඩයමන්ඩ් ඒස්...? ඒ කියන්නේ ඔයාට ට්‍රයි කරන තව බෝයි කෙනෙක්... ඒ වුණාට ඔයා කැමති නෑ මොකද හාර්ට්ස් කුවීන් ක්ලබ්ස් කින්ග් පැත්ත පලාතේ නෑ...”

අත ඇති කඩදාසි කොල ගලපමින් කටට එන දේ අතහරින මා සුරතේ ඉතිරිව ඇති කඩදාසි දෙස ඔවුන් තිදෙනා ඇසිපිය නොහෙලා බලා සිටින්නේ නිධානයක සිතියමක් අවබෝධ කරගැනීමට උත්සාහාගන්නාවුන් තිදෙනෙක් මෙන්...

"දැන් එතකොට අනාගතේ මොකද වෙන්නේ…? මට එයාව ලැබෙන එකක් නැද්ද...?" 

මා කෙරෙහි උපන් අපමණ විශ්වාසයකින් ඇය ප්‍රශ්ණ කරන්නේ වෙව්ලන ස්වරයකින්...

“ඒක තීරණය කරන්නේ කාඩ්ස් නෙවෙයි... මේ කාඩ්ස් වලටවත් මටවත් බැහැ ඔයාගේ අනාගතේ වෙනස් කරන්න... ඒක වෙනස් කරන්න පුළුවන් ඔයාට විතරමයි...ඔයා හිතුවොත් ඔයාට එයාව දිනාගන්න පුළුවන් කියලා ලබන අවුරුද්දේ ඔයා එක්ක ඉන්නේ එයා... “

මා එසේ පවසමින් අත ඉතිරිව ඇති කාඩ්පත් අතරින් ඇයව සහ ඔහුව නියෝජනය වනවායැයි පැවසූ කාඩ්පත් දෙක ඉවතට ගෙන බැරෑරුම් මුහුණක් මවාගෙන ඇයගේ උකුල උඩ ඇති අත් බෑගය මතින් තබද්දී ඇය ඒ දෙස බලා සිටින්නේ බලාපොරොත්තු සහගත නෙතින්...

“හැබැයි ඔයා හිතුවොත් ඒක කරන්න බැහැ කියලා... සැකයන් නෑ ඒක ඒ විදියටම වේවි..." 

ඉස්කෝප්ප ආසියා, හාරත රැජින අසලින් ගිලිහී යන ලෙස දබ‍රැඟිල්ලෙන් පහරක් ගසමින් මම ඔහේ දොඩවද්දී අරූන් හිස වනා එය අනුමත කරන්නේ හරියට මා දේව වාක්‍යයක් පැවසූ නියාවෙන්...

" මෙහෙමයි ඔයා තීරණය කරගෙන ඉන්න ඇයි ඔයාට එයාව ඕනේ කියලා... ඒ හේතුව ටික කාලෙකින් වෙනස් වෙලා යන දෙයක් නම් ඔයාට පස්සේ කණගා‍ටුවෙන්න වේවි..."

" මේ කාඩ් පිහිටලා තියෙන විදියට මට තේරෙන්නේ එයා බලාපොරොත්තු වෙන්නේ තමන්ට ඇහුම්කන් දෙන ගෑනු කෙනෙක්, තමන්ව පාලනය කරන කෙනෙක් නෙවෙයි... ඉතින් ඔයා ඒවගේ කෙනෙක් කියලා එයාට දැනෙන්න ඉඩ ඇරලා නෑ නේද...? "

මේ කණාව වරදින්නේ කලාතුරකිනි...

"නෑ..."

"ඒකනේ... එයාගේ සිතුම් පැතුම් මීට වඩා තේරුම් ගන්න උත්සාහ කරන්න, ඔයාලා දෙන්නා කොච්චර ගැලපෙනවද කියලා කලබල නැතිව පරිස්සමෙන් අවබෝධකරගන්න..."

ඇය හිස වනා පිළිගනියි... පිළිගන්න එපැයි... මම වැරදි දෙයක් කිව්වායෑ...

"ඔයා දන්නෙත් නැතිව, ඔයා එයා ඉස්සරහා මවාගත්ත සීරියස් ගතියකින් නේද හැසිරෙන්න ට්‍රයි කරන්නේ... එහෙම කරන්න එපා... නැචුරල් විදියට හැසිරෙන්න,... බයවෙන්න එපා... මේ කාඩ්ස් වලින් කියවෙන දේ ඇත්තනම් එයාට දැනටමත් ඔයාව ගොඩක් වටිනවා... ඒක එයාට හරියටම ඔප්පු කරලා දෙන්න විතරයි ඔයාට තියෙන්නේ... "

ඇයගේ සිත්ගත් සිහින කුමරා දිනාගත යුතු ආකාරය ගැන ඕනෑම තැනක සාර්ථකව අලෙවිකර හැකි ධනාත්මක උපදෙස් කිහිපකුත් සමඟින් කඩදාසි කුට්ටම හකුලා මා සාස්තරය අවසන් කරන විට ඇය අපට අවශ්‍යය වූවාටත් වඩා මහපොළවට පා තබා සිටියා... ඉන් අනතුරුව ගමනාන්තය දක්වාම මිතුරන් තිදෙනෙකුගේ සිනා හඬට වෙනුවට දුම්රිය ජනේලයෙන් එළියට විහිදුනේ මිතුරු මිතුරියන් හතර දෙනෙකුගේ සිනා හඬයි...

මීළඟට සිදුවූ සිදුවීම් එකින් එක මා විස්තර කරන්නට නොයන්නේ ඒවා මෙම කතාවට සෘජුව අදාළ නොවන නිසායි... කතාවේ මීළඟ කොටස ඇරඹෙන්නේ උත්සවයේ කටයුතු සාර්ථකව නිමකර, තවත් දිනකිහිපයක් තම නිවසේ නතරවීමට තීරණය කල අරූන්ගෙන් සමුගෙන අප දෙදෙනා නැවත බැංගලෝරයට පැමිණි පසුවයි...

නැවත බැංගලෝරයට පැමිණ එලැඹුණු පලවෙනි සති අන්තයේම උදෑසන මා අවදි වූයේ නවාතැනේ ඇන්ටී මා අමතන හඬින්...

"යු හෑව් ගොට් සම් විසිටර්ස් හියර්...!"

ඇයගේ දැනුම්දීමෙන් පසු කඩිණමින් මුහුණ කට දොවාගත් මා පහත මාලයට පියමැන්නේ උදෑසනම පැමිණ සිටින මේ වදකාරයින් කවුරුන්දැයි දැනගන්නා අටියෙන්... මා පුදුමයට පත්කරමින් සෝෆාවේ වාඩිවී සිටියේ මා හිතවත් අරූන් සහ ඔහුගේම වයසේ යැයි සිතිය හැකි ලජ්ජාශීලී තරුණයන් දෙදෙනෙක්... 

"උඩට එන්න... " මාගේ ආරාධනාවෙන් අප නිදන කාමරයට ඔවුන් තිදෙනා ඇතුලු වූ පසු අරූන් එකිනෙකාව හඳුන්වා දුන්නා...

"මේ සාගර්, දුරින් මගේ සහෝදරයෙකුත් වෙනවා... මේ මගේ තව යාළුවෙක් රෙඩ්ඩි..."

අතිනත දී මා ඔවුන්ට ආචාර කළේ මොවුන් තිදෙනා මා හමුවට පැමිණියේ මන්දැයි තේරුම් ගැනීමට උත්සාහාකරමින්... තවත් සුළු මොහොතකින් මා පුදුමයට පත් කරමින් සාගර් තම කළිසම් සාක්කුවෙන් ඉවතට ගත්තේ අළුතින්ම මිළදී ගත් කඩදාසි කුට්ටමක්...

"මේ දෙන්නගෙම පොඩි ආදර හුටපට දෙකක් තියෙනවා... මේ ඒගැන දැනගන්න මම එක්කන් ආවේ..."

අරූන් එසෙ පවසද්දී බිම පෙරෙලෙමින් සිනාසෙන්නට මා හට ආ හැඟීම මා පලනය කරගත්තේ ඉතා අසීරුවෙන්… ඉන් අනතුරුව කිලෝමීටර පන්සියයකටත් අධික දුරක් ගෙවාගෙන මහත් බලාපොරොත්තුවකින් මා වෙත පැමිණි මේ අහිංසකයන් දෙදෙනා ගැන මා හට ඇති වුයේ දරාගත නොහැකි කණගා‍ටුවක්... අරූන් වත් ඇදගෙන බැල්කනියට ගිය මා, මා දන්නා සාස්තරයක් නැති බවත් එදින ඒ තරුණිය කතාවට අල්ලා ගැනීම සඳහා මා කටට ආ ගජබින්න අතහැරි බවත් ඔහුට පැහැදිලි කලා... මා පුදුමයට පත් කරමින් ඔහු මා කියනා දෙය විශ්වාස කිරීමට මැලි වූයේ එදින මා ඔහුහට පැවසූ සෑම දෙයක්ම සහතික ඇත්ත බව සපථ කරමින්... කියනා කිසිදෙයකින් ඔහුව නම්මා ගත නොහැකි වූ පසු මා ඇඳ උඩ වාඩි වී ඔවුන් දෙදෙනාගේ අනාගතය කීමට කඩදාසි කුට්ටම අතට ගත්තේ ගැහෙන හදින්...

අප බැල්කනියේ වාද කරනා අතරේ, වසර ගණනක් තිස්සේ මාගේ කාමර සගයා වූ ආදරණීය ජැක්කා නිදි යහනෙන් අවදිව තම කාමරයේ සිටිනා මේ අමුත්තන් දෙදෙනාගෙන් ඔවුන් පැමිණි කාරනය දැනගෙන, කොචින් සිට පවා සාස්තර ඇසීම සඳහා ජනතාව පැමිනෙන එහෙත් තමා නොදැන සිට මේ අරුමපුදුම සාස්තරකරුවා අනාගත වාක්‍යය දෙසනා අයුරු අයාගත් මුවින් බලාසිටි ආකාරය අදටත් මාහට මතකයි...

යන්තම් ගුටි නොකා සාස්තරය අවසන් කරගැනීමට හැකිවූ මා අරූන්ට සමුදුන්නේ නැවත කිසිදා සාස්තර ඇසීමට කිසිවෙකු ‍රැගෙන නො එන බවට දිවුරා සපථකළ පොරොන්දුවක් ඔහුගෙන් ලබා ගනිමින්...

Saturday, February 19, 2011

10. එකෝමත් එක කාලෙක, ආදර කතාවක් | Once upon a time, A Love Story

image

"හත්වන වේදිකාවට පැමිණියේ මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්‍රගාමී දුම්රියයි..."

යකඩ කටේ සද්දෙට වැඩි සද්දෙකින් මගේ හදවත ගැහෙද්දී, වක්කඩ කැඩුවා වගේ පිටවීමේ දොර‍ටුවෙන් ගලාගෙන එන ජන සන්නිපාතය අතරේ ඇයව හොයමින් මගේ ඇස් දිවගියේ විදුලි වේගයෙන්...

අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෙංගතුව දොඩමලු වුණ ඒ සොඳුරු කටහඬට රූපයක් ලැබෙන මේ මොහොත එනකල් මාස ගනනක ඉඳන් මම පෙරුම් පිරුවා...

ඒ සේරම පටන් ගත්තේ අහම්බෙන් කිව්වොත් වැ‍රැද්දක් නැහැ... හරියටම මීට අවුරුදු දෙකකට විතර කලින් මේ දුම්රිය නැවතුමෙන්ම මම දුම්රියකට නැඟ ගත්තේ හිස ගිනිගත්තෙකු වාගේයි... වෘත්තීයමය පාඨමාලාවක් හැදෑරීම සඳහා සේවය කරන ආයතනයෙන් ශිෂ්‍යත්වයක් ලැබුණු මට ඒ සඳහා නික්මයෑමට තිබුණේ තව දිනක පමණ කාලයක් පමණයි... සුපුරුදු පරිදි විදේශ ගමනක් යෙදී ඇති විටකදී අන්තිම මොහොත තෙක් සූදානම් නොවීමේ හදාගන්න බැරිවූ නරක පුරුද්ද නිසා එහේ මෙහේ දුව පැන ඇවිද කලබලයෙන් මිලදී ගත් අඩුමකුඩුම සහිත ප්ලාස්ටික් බෑග් කිහිපයක් අතින් කටින් එල්ලාගෙන සිටි මම දුම්රියේ අසුනක් අල්ලා ගැනීමට පොරකන මඟීන් සමඟ පොරබදා හිස්ව තිබූ අසුනක වාඩිවූයේ අධික වෙහෙසකින්...

දුම්රිය පිටත් වී සුළුවේලාවකින් ගමන් මහන්සිය නිසාමදෝ පියවෙන ඇසිපිය වලට ඉඩදීමට අසුනේ හරිබරි ගැසුණු මම අහම්බෙන් මෙන් දැක්කේ වාඩිවී සිටි අසුනෙහි හිදැසක සිරවී තිබූ සටහන් පොතක්… ආයාසයකින් එය ඉවතට ගත් මට එය මින් පෙර මෙහි වාඩිවී සිටි යමෙකුගෙන් අතපසුවීමකින් වැටී ඇති බව වටහා ගැනීමට අපහසු වූයේ නැහැ... අන්සතු දේ කියැවීම නරක පුරුද්දක් වුවත් මෙය අයිතිකාරයාට ලබා දීම සඳහා යම් හෝඩුවාවක් ඇත්දැයි බැලීමේ අරමුණින් පි‍ටු පෙරලා බැලූ මා දු‍ටුවේ පිළිවෙලකට ලියූ සටහන් සහ ඒ අතරේ ඉඩ ඇති සෑම තැනකම පාහේ කුරු‍ටු ගා ඇති නිසඳැස් රාශියක්... අතිශය සිත් ගන්නා අයුරින් පදවැල් අමුණා ඇති එම නිසඳැස් එකිනෙක රසවිඳිමින් සිටි මට ගමනාන්තයට ලඟා වෙනවාවත් නොදැනුනේ ඒ නිර්මාණ වල සුන්දරත්වයෙන් මම මුසපත් වී සිටි නිසායි...... එම සටහන් පොතේ අයිතිකාරිය යැයි සැක කල හැකි නමක් සඳහන් වූයේ සටහන් පොත පුරාවටම එක් තැනක පමණයි...

~ මලිති ~

මුතුඇට වන් අකුරින් ලියා ඇති ඒ නමට යටින් ඇයගේ විද්‍යුත් ලිපිනය සඳහන් වී තිබුණා...

ඇය විසින්ම නිර්මාණය කරන්නට ඇති යැයි සැක කල හැකි සටහන් පොතටම අමුණා තිබූ බුක් මාර්ක් එකකින් කියවමින් සිටි පි‍ටුව සලකුණු කල මම පොත වසා එය සු‍රැකිව තබාගෙන දුම්රියෙන් බැසගත්තේ කෙසේ හෝ ඇය සොයාගෙන මෙම සටහන් පොත ඇයට ලබා දීමට අදිටන් කරගනිමින්... පසුදින රාත්‍රියේම මා සමඟින් ගුවන්ගතවූ ඇයගේ සටහන් පොත නැවත පෙරලා බැලීමට මා හට ඉස්පාසුවක් ලැබුනේ ඉන් දින කීපයකට පසුවයි...

ඇයගේ සටහන් පොත මා අහුලා ගත් බව සඳහන් කරමින් මා යැවූ විද්‍යුත් තැපෑලට දින කිහිපයක ඇවෑමෙන් ලැබුණු පිළිතුරෙන් ඇරඹි අප හිතවත් කම දිනෙන් දින දළු ළා වැඩුනේ හිතාගන්නටවත් බැරි තරම් වේගයකින්… මගේ පාඨමාලාව නිමා වීමට ආසන්න කාලය වෙද්දී කිසිදා මුණගැසී නොතිබුණු අප දෙදෙනා එකිනෙකාට දුරකතනයෙන් අමතන්නේ නැති දිනයක් නොමැති තරමට අප සම්බන්ධය නොදැනීම වර්ධනය වී තිබුණා... ඇයගේ සරල විනෝදාත්මක ගතිපැවතුම් වලට යටින් දිවෙන ජිවිතාබෝධය මා සිත දිනෙන් දින ඇද ගත්තේ මටත් නොදැනී මා ඇය හා පෙමින් වෙළී ඇති බව එක්තරා දිනයක මා හට පසක් කරමින්...

සිතුම් පැතුම් හා එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය තුළින් අප දෙදෙනා දෙදෙනෙකු නොව එකෙකු බව ඒ වන විටත් අප දැන සිටියත් එය එකිනෙකාට ප්‍රකාශ නොකර සිටීමට මොකද්දෝ හේතුවක් නිසා අප දෙදෙනාම ප්‍රවේසම් වී සිටියා... ප්‍රථම ප්‍රේමයේ ගිණිපෙනෙල්ලෙන් බැට කා ඇය සිටියේ කණා මැදිරි එළියටත් බයෙන්… ඇයගේ ආදරය දිනා ගැනීමටත් වඩා මා හටද අවැසි වුනේ ඇයගේ ගිලන් හිත සුවපත් වනවා දැකීමටයි... ආදරයේ සුන්දරත්වය ගැන පැය ගනන් දොඩමළු වන අප දෙදෙනා, කිය යුතු යමක් හදවතෙහි සිරකරගෙන දුරකථන විසන්ධි කරනුයේ හෙට දිනයේ නැවත කතාකරනා පොරොන්දුව සමඟින්... පෙම්වතුන් වන එහෙත් පෙම්වතුන් නොවන මේ අසාමාන්‍ය හැඟීම අවසන් කර ඇය සදහටම මා සතු කරගැනීමේ අදහස ඇය හමුවී පවසනවා යැයි නැවත මව්බිමට පැමිණීමට දින වකවානු ලං වෙද්දී මම තීරණය කලා...

කාලය ඉගිලුනේ හිතුවාට වඩා වේගයෙන්... සති මාස ගනන් ගෙවිලා මම නැවතත් ලංකාවට පය තබන දවස උදාවුණේ මගේ ජීවිතේ කවදාවත් නැති තරම් බලපොරොත්තු ගොන්නක් හිතේ උතුරද්දී...

"Welcome to Bandaranayake International Airport… The local time is…"

බිම දිගේ ඇදී යන ගුවන් යානය නතර වීමටත් කලින් ක්‍රියාත්මක වූ මගේ ජංගම දුරකථනයෙන් පලමු ඇමතුමම ඇයටයි…

"ලෑන්ඩ් කලෝ..."

"පරිස්සමෙන් ගෙදර යන්න... හෙට මම නුගේගොඩ පුංචිලාගේ ගෙදර එනවා... හෙටම මීට් වෙමුද..? "

“නියමයි... කෙහෙදිද මීට් වෙන්නේ...?”

“ම්ම්ම්.. මම මෙහෙන් උදේ හය හමාරට තියෙන ඉන්ටසිටි ට්‍රේන් එකේ එන්නේ... කො‍ටුව ස්ටේෂමේදී මීට් වෙමු...”

"හා... ඊට පස්සේ අපි කොෆී ඩේ එකට යමු... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා..."

"හා..."

"කොහොමද මම ඔයාව අඳුන ගන්නේ... ඔයා ඇඳගෙන එන ඇඳුම කියන්න..."

"අනේ ඇඳුමක් කියන්න බෑ... දැනටමත් ඇඳුම් පහක් විතර ඇඳලා හරි නෑ කියලා හිතලා අයින් කලා.."

"මෙන්ටල් නේ..."

"මම ඔඩෙල් කියලා ගහපු බෑග් එකක් කරේ දාගෙන එන්නේ... එකෙන් හොයා ගන්න පුළුවන්... ඔයා මගේ නෝට් බූක් එක අතේ තියාගෙන ඉන්න..."

"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"

"ම්ම්ම්... වයන්න යටට එන්න..."

" වයන්න යටට..?"

"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කො‍ටුව දුම්රිය ස්ථානය කියලා... “

“ඔව්..."

“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."

ඇය දඟකාර සිනාවෙන් ඇමතුම විසන්ධි කරද්දි මම තනියම හිනා වෙවී අසුනින් නැඟිටලා අනිත් ගුවන් මඟීන්ට එකතු වුණේ හිතුවාටත් වඩා ඉක්මණින් සැබෑ වන්නට යන ඒ හීනය ගැන දහසක් බලාපොරොත්තු හිතේ තදකරගෙන...


***************

"තුන් වෙනි වේදිකාවට පැමිණි දුම්රිය…"

යකඩ කටේ සද්දය මාව පියවි ලෝකෙට ගෙනාවා...

පිටවීමේ දොර‍ටුව අසල පොදිකන සෙනෙඟ අතරේ එක එල්ලේම මගේ දෙසට එල්ල වුණු තරුකැට දෙකක් වගේ දිලිසෙන ඇස් දෙකක් එක පාරටම මම දැක්කේ එතකොටයි…

ඇහිපිල්ලමක් වත් ගහන්නේ නැතිව සිනා මුසු කෝල බැල්මකින් මා දෙස බලාගෙන පුංචි සුරංගනාවියක් වැනි හුරුබුහුටි යෞවනියක් ලතාවකට පාද තියමින් මා දෙසට ඇවිදෙගෙන එන හැටි මම උඩට ගත්ත හුස්ම පහලට නොදා බලාගෙන හිටියා...කොහෙන්දෝ ආපු දඟකාර සුලං ‍රැල්ලකින් මුහුණට වැටෙන අකීකරු කෙස් රොදක් ඇය දකුණතේ ඇඟිලි වලින් මෑත් කරන්න්නේ මගේ ඇස් වලින් තම ඇස් මොහොතක් වත් ඉවතට ගන්නේ නැතිවයි...

ලස්සන හදවතක හිමිකාරියක් කියලා විතරක් දැනගෙන හිටි ඇය මෙතරම් සුන්දර රූ සපුවක් හිමි කෙනෙක් බව මම සිහිනෙකින් වත් සිතුවේ නැහැ... පළමු හමුවේදීම ඇයට ඇමතිය යුතු ආකාරය ගැන නිවසේ සිට කොළඹ පැමිණිනෙන තෙක්ම පුරුදු වුන මට හදිසියේම ඒ සියල්ල මතකයෙන් ගිලිහී ගොස් ඇති වගක් දැනුනා…ඇය හා මා අතර පරතරය අඩි කිහිපයකට නොවැඩි වෙන්නට ඇති...වචනයක් පිට කරගත නොහැකි වුනු මම ඇයගේ සටහන් පොත ඇය දෙසට දිඟු කෙළේ වෙව්ලන සුරත පාලනය කර ගැනීමට අසාර්ථක උත්සායයක යෙදෙමින්...

මා දෙසත් සටහන් පොත දෙසත් මාරුවෙන් මාරුවට කිහිප වරක් බැලූ ඇය මුහුනට නඟාගත්තේ විශ්මයක්...

"එක්ස්කියුස් මී...!?"

එක ඇහැක් පුංචි කර ඇය එසේ අසද්දී, මා එකවරම නෙත් යොමු කළේ ඇයගේ බෑග් එක දෙසයි...

දෙයියනේ කෝ ඔඩෙල් බෑග් එක...?

"ස් සොරි… පොඩි වැරදීමක්...!"

සමාව අයදිමින් මම සටහන් පොත විදිලිවේගයන් ආපසු ඇද ගනිද්දී කට කොනකින් සිනාවුණු ඇය මා පසු කර ඇවිද ගියේ තවත් එක් වරක් සිනාමුසු මුහුණින් මා දෙස හැරී බලමින්... කෙදිනක හෝ දැක පුරුදු ඇති ඒ කතා කරන ඇස්දෙක... ජීවිතයක් සුවපත් කරන්නට සමත් ඒ සුන්දර සිනහව... පෙර බොහෝ කාලයක පටන් මා දැන සිටියා යැයි මා සිතට දැනුනේ ඇයිදැයි මා දැන සිටියේ නැහැ...

“එතකොට ඒ එයා නෙමෙයි...” සුසුමක් හෙලූ මම සටහන් පොත තද කරගෙන ආපසු හැරුනේ පැටලිලි සහගත මනසින්...

මා වසරකටත් වැඩි කාලයක් දකින්නට පෙරුම් පිරූ ඒ සුන්දර කවි සිතේ හිමිකාරිය, මා එනතුරු තරමක් දුරින් ඔබ මොබ යන සෙනඟ දෙස නෙත් යොමු කරමින් සිටිනවා මා දු‍ටුවේ එවිටයි... බලාපොරොත්තු කඩවූ දෑසින් උන් තැනම නතර වුනු මම සටහන් පොත එකවරම් පි‍ටුපසට කරගත්තේ ඇය මා දකීවි යන චකිතය නිසා...

පොරොන්දු වූ විදියටම ඇය උරහිසෙහි එල්ලී තිබුණේ ඔඩෙල් බෑගයක්... යෞවනයේ සුන්දරත්වය කවි පද වල ඇමිණූ ඇයගේ සුන්දර කවි සිතිවිලි කෙතරම් තරුණ වුවත් මඳක් ඔබ්බෙන් මා එනතුරු බලා සිටියේ තරුණියකට වඩා මැදිවියේ පෙනුමක් තිබූ කාන්තාවක්... තරමක තරබාරු සිරුරේ තරබාරු ගති වඩාත් ඉස්මතු වන ලෙස කුරුතාවක් වැනි ඇඳුමකින් සහ කලු දිග කලිසමකින් සැරසී සිටි ඇය තම සුරතේ ‍රැඳි ලේන්සුවකින් නළලට නැඟුණු දහදිය පිසගත්තේ කලබලයෙන්…

දැන් මම මොකද කරන්නේ... සදහටම මා සමඟ ජීවත් වෙන්න යැයි ඉල්ලීමට සූදානම්ව පැමිණි මම ඇය හා කතා කිරීමටත් කලින් සිත වෙනස්වීම ගැන මට මගේ ගැනම ඇති වුනේ කේන්තියක්…

"තේරුමක් නෑ.. මේක වෙන වැඩක් නෙමෙයි... කතා නොකරම ආපහු පලයන්... කතා කලොත් මොකද්ද කියන්න තියනවා කිව්වේ කියලා අහයි... උඹ මොකද්ද කියන්නේ... ?"

නොනැවතී ගලා එන සිතිවිලි වලට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ... කොහෙන්දෝ ආපු බලාපොරොත්තු කඩවුණු කාලකන්නි හැඟීමක් මගේ හිත පුරාවට අරක් ගත්තා... එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් මම හිරකරගත්තේ අමාරුවෙන්...

"අවුරුදු දෙකක් තිස්සේ උඹේ ජීවිතේට බලාපොරොත්තු එක්කලේ මේ ඉන්න කෙනා නෙමෙයිද...? කාත්කවුරුත් නැති රටක තනි වෙලා ඉද්දී, අනාගතයක් ගොඩනගන්න තියෙනවා ඒක නිසා මහන්සි වෙන්න කියලා බෙලහීන වුණු උඹේ හිත හදන ගමන් උඹ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ කැපවුනේ මේ අහිංසක කෙල්ල නෙමෙයිද...? අවුරුදු කීපෙකින් වෙනස්වෙලා යන ලස්සනක් ගැන හිතලා කතා කරන්නත් කලින් හිත වෙනස් කරගන්න උඹ මහලොකු ආදරවන්තයෙක්ද...? ලක්ෂ ගනන් බිල් ගෙවාගෙන පැය ගනන් දොඩවපු උඹේ පරමාදර්ශී කතා වලට මොකද වුනේ...? බල්ලෙක් වෙන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන්... ආදරේ තියෙන්නේ එලිසමය ගැලපුණු පද හතරක විතරක් නෙමෙයි, මැරෙණකන් ගතවෙන හැම තත්පරයකම ආදරේ තියෙනවා කියලා ඒ කෙල්ල උඹට කියලා දේවි..."

මුළු කො‍ටුවටම ඇහෙන තරම් සද්දෙකින් මගේ යටි හිත කෑගැහුවා… තවත් ටික වෙලාවක් කල්පනා කරමින් සිටි මම තීරණයක් ගත්තේ එක හිතින්… සටහන් පොත නොගිලිහෙන ලෙසින් සුරතට තදකරගත්ත මම සෙමින් ඇය අසලටම පියනැඟුවා... නොඉවසිලිමත් ඇගේ ඇස් ඉදිරියෙන් ඇදෙන හැම මිනිසා දෙසම යොමු වුනත් ඇය අසලටම පැමිණි මාව ඇය දු‍ටුවේ නැහැ...

"මලිති..."

මා ඇය ඇමතූ හඬින් කලබල වී මා දෙස බැලූ ඇයගේ මුවඟට නැගුනේ ලෙංගතු සිනාවක්...

පෙරලා සිනහවකින් පිළිතුරු දුන් මම දිඟු කල සටහන් පොත ස්තුතියක් වත් නොකරමින් අතට ගත් ඇය එය තම ගමන් මල්ල තුළට රුවා ගත්තා...

" කෙහෙට හරි යනවද...?"

අප අතර තිබූ ඒ අසාමාන්‍යය නිහැඬියාවෙන් මම අපහසුවට පත්වෙද්දී, ඇසෙන නෑසෙන හඬින් ඇය ඇහුවේ බලාපොරොත්තු සහගත නෙතින්...

" ඔව්… කතාකරගත්ත විදියට... කොෆී ඩේ යමු..."

එසේ පවසමින් මා ඇය වෙත පෑ සුරත අල්ලා ගන්නවා වෙනුවට සිනාමුසු මුහුණින් ඔඩෙල් බෑගයට අත දැමූ ඇය ඉවතට ගත්තේ දෙකට තුනට නැමූ කොල කැබැල්ලක්...

"මම මලිති නෙමෙයි... ඔයා මගෙත් එක්ක කතා කරලා කෝපි බොන්න යන්න කතා කලොත් මේක ඔයාට දෙන්න කියලා මලිති කිව්වා..."

කිසිවක් තේරුම් ගත නොහැකිව අසරණ බැල්මෙන් බලා සිටි මා වෙත ඇය ඇය දිඟු කල ලිපිය මම දිග හැරියේ ගැහෙන හදින්... වසරක් තිස්සේ මා ආදරයෙන් කියවූ මුතු ඇටවන් ඒ අත් අකුරු හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැහැ

"hey you fool... leave my punchi alone… am waiting for you at Coffee Day… :)"

සුපුරුදු අත් අකුරින් කුරු‍ටු ගා තිබූ ඒ ලිපියේ තැවරී තිබුනේ, සුළු මොහොතකට පෙර මා සමඟ ඇස් වලින් කතාකර නික්ම ගිය ඒ සුරංගනාවියගේ ගතින් නික්මුණු විලවුන් සුවඳමයි...

~ නිමි ~


ප/ලි : කලකට පෙර අන්තර්ජාලයේ සැරි සරද්දී ඇස ගැ‍ටුණු රසවත් සිදුවීමක මතකය අලුත් කරමින් අකුරු වලට ඇමිණීමට ගත් මේ උත්සාහය වැලන්ටයින් දිනය වෙනුවෙන්... ඔබ සැමට සුභ ආදරවන්තයන්ගේ දිනයක් වේවා..!

Friday, February 11, 2011

9. දස වසක් ඇවෑමෙන්..? | Ten Years Since Then...

image

සෙනසුරාදාට දාන්නම් කියලා හිතාගෙන පුංචි කතාවක් ලියන්න පටන් ගත්තත් රාජකාරි ස්ථානයේ වැඩ හින්දා ඉවර කරගන්න බැරිවුණා... ඒත් සති අන්තය වෙද්දි මොනවා හරි දාන්න ඕනේ කියලා හිතෙන්නේ මේකට මම ඇබ්බැහි වේගන එන නිසාද කියලත් වෙලාවකට හිතෙනවා...

මම කලින් කිව්වා වගේ වෘත්තීමය පැත්තෙන් හුස්මක් ගන්න ඉස්පාසුවක් නැති දවස් කීපයක්... අම්මා කෙනෙකුට බබෙක් හදන්න මාස දහයක් යනවනම් අම්මලා දහදෙනෙක් එකතු කරලා එක මාසෙන් බබෙක් හදන්න බැරිද වගේ ප්‍රශ්ණයක් වුණත් අහන්න බැරි නැති ප්‍රධානියෙක් යටතේ තාවකාලිකව හරි වැඩ කරන්න ලැබීම එක අතකින් අවාසනාවක්...

දින කීපයක් ඉඳන්ම දිග්ගැස්සෙන මානසික පීඩනයක් එක්ක ඊයේ දවස ගෙවිලා ගියේත් වැඩි වෙනසකින් තොරවයි… හිතාගන්නත් බැරි වේගයෙන් වෙනස් වෙන පරිගණක තාක්ෂණික ක්ශේත්‍රය වගේ ක්ශේත්‍රයක්දී අවුරුදු දහයක් ඉස්සරහා ව්‍යාපෘතියක ඉතා සියුම් දේ පවා දැන්ම තියාම සැලසුම් කිරීම මෝඩකමක් කියලා පිරිසකට අවබෝධ කරවන්න අපි දෙන්නෙක් ගත්තේ පුදුමාකර මහන්සියක්... කොහොමින් හරි දවස අවසානයේ ජයග්‍රාහී මනසකින් මගේ වෘත්තීය සගයත් එක්ක ආපහු එන ගමනේදී අවන්හලකට ගොඩවැදුනාම මේ වගේම පාඩමක් පිටකො‍ටුවේ පදික වෙලෙන්දෙක් මීට ගොඩක් කාලෙකට කලින් මට කියා දුන්නා නේද කියලා මට මතක් වුණේ නිරායාසයෙන්... සති අන්තයේ ලියන්න දෙයක් නැති එකේ ඒ ගැන ලියලා දාන්න ඕනේ කියලා හිතාගෙන ඉඳගත්තේ...

අනුමානය හරි නම් ඒ මීට අවුරුදු දොලහකට විතර කලින්... ගතවෙමින් තිබුණේ බස් එකේ කෝච්චියේ දකින දකින කෙල්ලට මගේ හදවත වුණත් ගලවලා දෙන්න තරම් ආදරේ හිතෙන මගේ හිරිමල් වයස... ඉබිකට්ටක් විතර සයිස් එකේ ඉලක්කම් නිවි නිවී පත්තුවෙන ජී-ශොක්, අර-ශොක් මේ-ශොක් කියලා ගහපු අතේ බඳින ස්පොර්ට් ඔරලෝසු විලාසිතා‍ රැල්ලක් හමාගෙන ගියෙත් මේ දවස් වලමයි... පංති යද්දී බැඳගෙන යන්න මේ වගේ ඔරලෝසුවක් නැත්නම් ඉතින් ජීවත් වෙලා වැඩක් නෑ වගේ තමයි ඒ දවස් වල හිතුණේ... එක ඔර්ලෝසුවක් තියෙන මට තව ඔර්ලෝසුවක් ගන්න තාත්තගෙන් සල්ලි ඉල්ලන්න ගියේ නැත්තේ තාත්තාගේ උත්තරේ මම කල්තියාම දන්න නිසයි...

"මොකටද ඔරලෝසුවක්..? ඇයි තියෙන එකට මක් වෙලාද...? අපිටනම් ඔහොම ඔරලෝසු අරන්දෙන්න තාත්තලට වත්කමක් තිබුනේ නෑ... මම ඉස්සෙල්ලාම ඔරලෝසුවක් බැන්දේ පලවෙනි රස්සාවට ගියාටත් පස්සේ..."

ඔය පිළිතුරෙන් පස්සේ බොහෝ දුරට තාත්තා ඉස්සෙල්ලාම ඩික්ෂනරියක් ගන්න සල්ලි හොයාගන්න කොප්පරාමඩුවක කොප්පරා ඇදපු කතාවත් සඳහන් වෙන්න පුළුවන්... ඉතින් ඉතුරුවෙලා තියෙන එකම විකල්පය මගේ ආදරණීය අම්මා...

තරුණ වයසේ අහිංසක ආසවල් තේරුම් ගන්න ඇති හැකියාව නිසාද, නැත්නම් මගේ හිත රිද්දන්න බැරි අසීමිත සෙනහස නිසාද දන්නේ නැතත්, අම්මා මිටමොලවපු පන්සීයේ කොලය හංඟාගෙන මම තාත්තා ගාවට යන්නේ කොළඹ යන්න රුපියල් සීයක් ඉල්ලගන්න...

"ඒ කාලේ අපේ අම්මා මට දෙන රුපියල් පහෙන්, මම කැම්පස් ගිහිල්ලා ‍තෝසෙ කාලා , ප්ලේන්ටි බීලා, සිග‍රැට් එකකුත් බොනවා..." කමිස සාක්කුවෙන් රුපියල් සීයක් අදින තාත්තා කියන්නේ බැරෑරුම් මූණක් මවාගෙන...

"අපෝ දැන් ඒ කාලේ වගේ නෙමෙයි බඩු කොච්චර ගනන්ද...? දැන් කොළඹ ගිහිල්ලා ‍තෝසෙ කාල ප්ලේන්ටි බීල සිග‍රැට් එකකුත් බිව්වම රුපියල් සීය ඉවරයි..." මගේ කට වරදිද්දී....

"ඈ යකෝ උඹ සිග‍රැට් බොනවද..?" කියලා අහන්නේ නැතුව තාත්තා හිනාවෙන්නේ මගේ ගැන ඇති අසීමිත විශ්වාසය නිසා වෙන්න ඇති...

කලින් කතාකරගත්ත මිතුරෙක් එක්ක මම කො‍ටුවේ මල්වත්ත වීදියට ඉගිලුනේ මිටින් හල කුරුල්ලෙක් වගේ...

කඩ ගානක ඇවිදලා හෙට්‍ටු කරලා කරලා ගන්න පුළුවන් ගානකට අඩුකරගත්ත ජී-ශොක් ඔරලෝසුවේ කොල පාටට එලිය වෙන ලයිට් එකේ ඉඳන් පටිය හිරකරන ගාංචුවේ ස්ප්‍රින් එක දක්වා පරීක්ෂා කරපු මම ඔරලෝසුවේ මුහුණතේ ඉංග්‍රීසි අකුරෙන් ගහලා තිබුණ වාක්‍යය තුන් හතර පාරක්ම කියෙව්වේ ගෞරවයෙන්…

"10 YEARS BATTERY LIFE"

"අයියේ ඇත්තටම මේකේ බැටරි එක අවුරුදු දහයක් තියෙනවද...?"

පදික වෙළෙන්දාගෙන් මම ඇහුවේ අවුරුදු දහයකින් මෙහා මේකට බැටරියක් දාන්න අවශ්‍යය වෙන එකක් නැද්ද කියලා සැක හැරලා දැනගන්නයි...

අව්වට කලු ගැහුණු ඒ පදික වෙළෙන්දාගේ මූණ අදටත් මට තරමක ආයාසයෙන් මතක්කරගන්න පුළුවන්... සිග‍රැට් කහට ගැහුණු දසන් පෙන්නලා හිනාවුනු ඔහු මට කියා දුන්නේ ජීවිතේට අමතක නොවන පාඩමක්...

"මල්ලී තව අවුරුදු දහයකින් ඔයත් නෑ, මමත් නෑ, මේ කඩෙත් නෑ... පිස්සු කෙලින්නැතුව ඔන්න ඕක අරන් ගිහින් කැඩෙනකල් බඳින්න..."

මේ සිදුවීමෙන් අද අවුරුදු දහයක් ගෙවිලා අවසන්... ඒ කඩේ තාම තියෙනවද කියලා මම දන්නේ නැත්තේ මම අවුරුදු ගානකින් මල්වත්ත වීදියට ගිහින් නැති නිසයි... පදික වෙළෙන්දන් ඉවත් කරනවා කියලා අන්තර්ජාලයේ තිබූ සඳහනක් හැඟීමකින් තොරව කියවාගෙන ගියා මතකයි...මගෙත් එක්ක ගිය යාළුවත් එක්ක දැන් අවුරුදු ගානකින් මම කතා කරලා නෑ... අද මම මගේ ආදරණීය තාත්තාගෙනුයි අම්මාගෙනුයි කිලෝමීටර් දහස් ගණනක් ඈත... වයර් දිගේ එන මගේ කටහඬ අහන්න ඉර බහිනකල් ඒගොල්ලෝ බලන් ඉන්නවා...

මම ආසාවෙන් ගත්ත ඒ ඔරලෝසුවේ බැටරිය තාම වැඩද කියලා කියලා බලන්න, ඒ ඔරලෝසුවට වුන දෙයක් වත් අද මට මතක නෑ...

තව අවුරුදු දහයකින් වෙන දේවල් ගැන කෝපි කෝප්ප හිස්කරමින් වාදකරන ටයි කෝට් හැඳගත්ත මේ උගත් මහත්තුරු ඉදිරියේ මට ඒ පදික වෙළෙන්දා පේන්නේ යෝධයෙක් වගේ...
Web Statistics