ජනෙල් තිරය
මෑත් කරපු හින්දා කාමරේට මම ඇතුළුවෙනකොට තිබුණාට වැඩියෙන් එළියක් වැටෙන්න ඇති… ඉන්පස්සේ
කාමරේ තිබුණු එකම පුටුව සොල්දාදුවාගේ ඇඳ සමීපයට ඇදගත්ත මම හරිබරි ගැහුණේ ඔහුගේ කතාව
අහන්න…
ඔහු තවමත්
හිටි ඉරියව්වෙන්ම සිවිලිම දිහා බලාගෙන…
“මේ මැරෙන්න
වැටිලා ඉන්න ආබාධිතයෙකුගෙන් මොනවද දැන් ඔච්චර දැනගන්න තියෙන්නේ..?”
බර හුස්මක් පහළට හෙලපු ඔහු මා දිහා නොබලාම ඇහුවා….
“හැමදෙයක්ම…!
යුද්දේ ගැන හොඳම කතාව තියෙන්නේ ඔයා ගාව කියලයි මට නර්ස් කිව්වේ…”
“හෙහ්…
හොඳම කතාව…! හොදයි ඉස්සෙල්ලා කියන්න බලන්න එහෙනම්… කිසිම විශේෂ හේතුවක් නැතිව, ඔහේගේ
ජීවිතේ විශ්වාස කරන්නත් අමාරු දෙයක් උනොත්.. ඔහේ හිතන්නේ ඒක එහෙම වෙන්නේ ඇයි..? කර්මයද?
වාසනාවද…? දේව හාස්කමක්ද..? එහෙමත් නැතිනම් නිකම්ම නිකම් අහම්බයක්ද…?”
“මට නම්
ගොඩක්දුරට ඒක අහම්බයක්… ඒත් යුද්දේ කියන්නේ එදිනෙදා ජීවත් වෙනවට වැඩිය ගොඩක් වෙනස්
අත්දැකීමක්නේ… සමහරවිට එතෙන්දී අහම්බයට තියෙන්නේ බොහොම බාල පිළිගැනීමක් වෙන්නත් පුළුවන්…”
“එදිනෙදා
ජීවිතයත් එක්තරා යුද්ධයක් තමයි…”
එහෙම කියපු ඔහු පසෙක තිබුණු කැබිනෙට්ටුවෙන් තමන්ගේ
මුදල් පසුම්බිය ගත්තා… ඒ ඇතුළේ තිබිලා අරගෙන ඔහු මට දිගු කලේ ජායාරූපයක්… පසුම්බියේ
රුවාගත හැකි පරිද්දෙන් කතුරකින් කපා සකස්කර තිබූ එහි හිටියේ කාන්තාවක් සහ පිරිමියෙක්…
“මේ කවුද…?”
එහි සිටි කාන්තාව ඔහුගේ බිරිඳ වියහැකි වුණත් හමුදා නිල ඇඳුමක් හැඳ සිටි අනෙක් පිරිමියා
ඔහු නොවන හෙයින් මම ඇසුවේ අවුල් වූ මනසකින් යුතුවයි…
“ඔය මගේ
වයිෆ්…”
“එතකොට
මේ අනිත් කෙනා…?”
“ඒ එයාගේ
බෝයි ෆ්‍රෙන්ඩ්… මගේ හොඳම යාලුවා…”
මගේ මුවඟට
මදහසක් නැඟුණත්, මෙය ඔහුට සංවේදී කාරණාවක් විය හැකි බැවින් එය මා පාලනය කරගත්තා… නර්ස්
කියූ අනාවැකිය වැරදි නැති බව මට වටහාගන්න අපහසු වුණේ නැහැ… කාකි නිල ඇඳුමකින් තම සංවේදී හදවත ආවරණය කරගත් ඔහු
සුන්දර කතන්දරකාරයෙක්…ලිපියකින් දෙකකින් අවසන් කල නොහැකි ඒ කතාව මම වෙනත් දිනෙක කියන්නම්…
හදිසියේම මේ සුන්දර කතන්දරකාරයාව මට සිහිවුනේ ඊයේ නරඹන්නට යෙදුනු, මෙම ලිපියේ මැයෙහි
නම සඳහන් චිත්‍රපටිය නිසයි… චිත්‍රපටය මා සතුවී දිඟු කලක් වුවත් එය නැරඹිමට අතපසුවීම
ගැන මම මා හටම දෙස් දුන්නේ පිට පිටම එය දෙවනිවරටත් අද නැරඹීමෙන් පසුවයි…
ජීවිතයම
කතන්දර ගොඩක්… එසේ කියන්නේ, කියන්නට කතන්දරගොඩක් ඇති තවත් කතන්දරකාරයෙක් වෙන බ්ලොග්
අවකාශයේ කතන්දරකාරයායි… ඔහු කියන්නේ ඔහු කැමති රියල් කතන්දර පමණක් බවයි සඳහන් වෙන්නේ… නමුත් කතන්දරකාරයෙක් සතුව ඇති
රියල් නොවන හීන කතන්දර, සුරංගනා කතා කොතෙක්නම් වෙයිද…? එලෙස නිමක් නැති හීන කතන්දර
අතර ඉඩක් ලද වහා අතරමං වෙන්නට කැමති ඕනෑම කෙනෙකු පිසීන් මොලිටෝර් පටෙල් නම් වූ මේ අපූරු කතන්දරකාරයාව මා මෙන් ආදරයෙන් වැළඳගන්නවාට කිසිදු සැකයක් නැහැ…
නිවාඩු පාඩුවේ ගෙවෙන සති අන්තයක චිත්‍රපටය නැවත නරඹන අතරේ මේ අපූරු කතන්දරකාරයා මනසින් මුණගැසෙන්නට මා
කැමති, ඔහුගෙන් අසන්නට බොහෝ දේ ඇති නිසයි…
රිචඩ් පාකර්
එක් වරක්වත් හැරි නොබැලුවේ ඇයි?
නැව ගිලෙන්නට
හේතුව වූයේ කුමක්ද?
පළමු කතාවේ
බෙංගාලි ව්‍යාග්‍රයා යනු පයි නම්, එහිම පයි යනු දෙවියන්ද?
පයි වැනි ඉරැශනල් සංක්‍යාවක් ඔහුගේ නම ලෙස තෝරාගත්තේ ඇයි?
පයි හි
අගය 22/7 වෙද්දී දින 227ක් ඔහු මුහුදේ සිටීම අහම්බයක්ද?
රිචඩ් පාකර්
කැලයට ඇතුළුවීමට පෙර ඔහු ඉදිරියේ පයිගේ දර්ශනය මැවී පෙනෙන්නේ ඇයි?
රිචඩ් පාකර්
කැලයට ඇතුළුවූ පසු කොල පැහැය කෙමෙන් අඩුවී යන්නේ ඇයි?
මුහුදු
අනතුරකින් දිවිගලවා ගන්නා උපදෙස් පොතේ වයාග්‍රයෙකු පාලනය කරගන්නා උපදෙස් තිබෙන්නේ ඇයි?
රිචඩ් පාකර්ගේ
පළමු නම “Thirsty” වීමත් වතුර වීදුරුව දෙන පල්ලියේ පියතුමා “You must be
Thirsty” යැයි කීමත් අහම්බයක්ද?
පාවෙන දූපතින්
අදහස් කෙරෙන්නේ කුමක්ද?
ආනන්දි නැටුම අවසානයේ කල නෙලුම් මල් මුද්‍රාවෙන් අදහස් කලේ කුමක්ද?
ආනන්දි නැටුම අවසානයේ කල නෙලුම් මල් මුද්‍රාවෙන් අදහස් කලේ කුමක්ද?
යන මේ සියලු
ප්‍රශ්න විමසුවද, එක් ප්‍රශ්ණයක් පමනක් මා ඔහුගෙන් නොවිමසන බව මට විශ්වාසයි… ඒ අන්
කිසිවක් නොව, ඔහු පැවසූ කතන්දර දෙකෙන් සත්‍ය කතන්දරය කුමක්ද යන්නයි…
ලොව පුරා
මෙතෙක් බිහිවූ සියලු ආගම්, නිරාගමික, දර්ශන,
මතවාද, විශ්වාසයන් යනාදී මේ සියලු කතන්දර අතරින් තමාව වඩාත් සතුටු කරවන කතන්දරය තෝරාගන්න…
තවකෙකු තෝරාගන්නා කතන්දරය ඔහුට අනුව හොඳම කතන්දරයයැයි ඔහු විශ්වාසකරන බවත් වටහාගන්න… ඔබ කෙතරම් හොඳ මිනිසෙකු වුවත් ලෝකයේ
වියහැකි නරකම ආපදාව ඔබට සිදුවිය හැකි අතර, මේ කිනම් කතන්දරය සත්‍යයැයි විශ්වාස කලද
අවසානයේ ඔබත් මමත් අප ආදරය කරන සියලුදෙනාමත් එකිනෙකාගෙන් වෙන්ව යායුතු බව සිහි තබාගන්න… ලයිෆ්
ඔෆ් පයි නම් වූ ඒ සුන්දර ටෙලි සිත්තම මට සිහිකැඳවූ පණිවුඩය එයයි…
Director: Ang Lee
Writers: Yann Martel (novel), David Magee (screenplay)
Stars: Suraj Sharma, Irrfan Khan, Adil Hussain