ගතවෙමින් තිබුණේ විශ්‍වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය…
පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන මතින් නටමින්… සමහරු තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්… හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්…
ඇය සිටියේ රාත්‍රී සාදයකට නොගැලපෙන නමුත් සමුගැනීමකට අතිශයින්ම සුදුසු, සුදෝ සුදු ගවුමකින් සැරසීගෙනයි… වෙනදා මෙන්ම නිමේෂයක් මා නෙතඟ පැටලී ඉවතට ඇදගන්නා ඒ නිල් ඇස් වලින් මාගේ බැල්ම මඟහරිමින්… වැරෙන් බැඳුණු සංස්කෘතික යදම් ලිහා ගත නොහී පුරා වසර තුනක් ඇස් වලින් කතා කල අප දෙදෙනා අදින් පසු යළි මුණ නොගැසේවී… ඉන්දියාව විසල් රටක්… බැංගලෝරය විසල් නගරයක්… මා මව් රටට පියඹද්දී ඇය මේ නගරයේ මිලියනයක් මිනිසුන් අතරේ සදහටම සැඟවී යාවි… අපව එකිනෙකාට අහිමි කරවමින්…
වාදනය වෙන්නට පටන් ගත්තේ සතුටු සාදයේ අවසන් ගීතයයි… වසර තුනක් පුරාවට ගොළුවූ මා සිතට බීර මත අලුත් දිරියක් රැගෙන ඇවිත්… අද නොවේනම් ආයේ කවදාවත් නොවේ… එක් එල්ලේ ඇය වෙත ඇදුණු මම, මාගේ සුරත ඇය වෙත දිඟු කළේ දෙවරක් නොසිතාමයි…
“ශැල් වී…?”
ඇය පිළිතුරු දුන්නේ නැහැ… අඩුම ගණනේ හිස ඔසවා මා දෙස බැලුවේ වත් නැහැ… තම වෙවුලන ඇගිලි තුඩු වලින් මා දිගුකල සුරත අල්ලා ගත්තා පමණයි… උණුසුමට මට දැනුණේ ඇගේ සිහින් සියුමැලි ඇගිලි තුඩු වලට වේගයෙන් ලේ පිරෙනා අයුරු විය යුතුයි… සංගීත රටාවට පැද්දෙන මා උරහිසේ දැවටුණු ඇයගේ නිකටේ උණුසුම මේ දැනුත් මට විදින්නට හැකියි… නැවත දකින්නට නොලැබෙන ඒ නිල්වන් ඇස් සිත් සේ දැක ගන්නා අටියෙන් මුහුණට වැටුණු ඇගේ අකීකරු කෙස් රොදක් මා මෑත් කරද්දී ඇයගේ සියුමැලි කන්පෙති රත් පැහැ වූවා මට මතකයි… සංගීත හඬින් සහ මිතුරු මිතුරියන්ගේ කෝලාහලයෙන් පිරුණු පරිසරයේ මා පවසන යමක් අසා ගැනීමට තම මුහුණ මා වෙත ලංකරන ඇයගේ කම්මුල් මා දෙතොලෙහි ස්පර්ශ වෙද්දී එය ඉන් මුදවා ගැනීමට ඇයට කලබලයක් නැති ගානයි… සාදයේ මේ අවසන් ගීතය නොනැවතී සදහටම වාදනය වෙනවා නම්..?
සොඳුරු සිත්තමක් වැනි මතකයක් ඉතිරිකර කාලය බොහෝ දුරක් ඉගිල ගිහින්… අපි නැවතත් හමුනොවනා ලෙසින්ම… අහිමි වීම මා සමඟින් මෙතරම් දුරක් ඒවි යැයි මා කිසිදා දැන සිටියේ නැහැ… නිමා නොකළ රැගුමක මිහිරියාව පමණක් මාවෙත ඉතිරිකර නික්මුණු ඇයගේ සොඳුරු මතකය මෙතරම් කාලයකට පසුවත්, සිතුවිලි අතරේ දඟකරනායුරු විශ්මයජනකයි…
සදාකාලික තාරුණ්‍යයක මා සිර කර නික්ම ගිය සුහදිනියේ, අසුරු සැණක් වන් මොහොතකට වුව හද ගැහෙනා තාලයට අප පාද තැබූ ඒ රංගනය ඉදහිට දිනෙක මට සිහියට නොඑනවාම නොවෙයි…
ලෝකයේ කොහේ හෝ කොනක ඉතින් ඔබ සුවෙන්ද..?
ලේඩි ඇන්ටබෙලම්… මියෙන සිතුවිලි වලට ඔබ ගීතයෙන් පණ පොවනා හැටි හරි පුදුමයි…
Lady Antebellum - Dancin' Away With My Heart
පිංතූරය : http://fineartamerica.com