එක අතකින් ජීවිතය කියන්නේ ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන….
ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ජීවිතේ ගැටගහන්න සමත්… මෙවැනි දහසකුත් අභියෝග මධ්‍යයේ ඉපදී මියෙන මේ කෙටිකාලය සතුටින් ජීවත් වන්නේ කෙසේද..? කලාතුරකින් දිනෙක මේ සිතිවිල්ල මා සිතට නැඟෙන්නේ සිතන්නට අන්යමක් නොමැති නිසා වියයුතුයි… ජීවිතය සතුටින් ගෙවන මන්තරයක් නැද්ද..?
මේ මීට වසර දහයකට පෙර දිනයක්….
“මල්ලි අර ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තා… බලනවද..?”
“හා… බලන්නම් අයියේ…”
දුරකථනය විසන්ධිකරන මම දිව යන්නේ රූපවාහිනිය ඉදිරියට… අයියාගේ නම කපිල… මේ මට බලන්නයැයි මතක්කරන්නේ රූපවාහිනියේ විකාශය වෙන ධනාත්මක චින්තන වැඩසටහනක්… ඉපදුනාට වැනුන ජීවිතේ යම් ඉලක්කයකට හසුරාගන්නා අයුරු ගැන මට පළමු පාඩම කියාදුන්නේ ඔහු… මා විසින් ඉගෙනගත් ජීවිතේ ගැටගහන පළමු මන්තරේ කිව්වත් වැරැද්දක් නැහැ… තමාගේම වයාපාරයක් අරඹා එය දියුණු කරගැනීමට උත්සාහාගනිමින් සිටි ඔහුගේ ජීවන දර්ශනය මම අනුගමනය කරන්නට පෙළඹුනේ සතුටින්…
ඒ දිනවල ජීවිතය ගෙවුනේ අභියෝග එලවාගොස් ජයගන්නා මානසිකත්වයකින්…. හිමිදිරියේ ඇඳෙන් බසිනවා වෙනුවට ඇඳෙන් පනින්නත්, ගතට දැනෙන ඕනෑම අසනීපයක් පැනඩෝල් පෙති දෙකකින් පලවා හරින්නටත්, ජීවත් වීමේ අරමුණ සාදාගන්නත්, වැදගත්කම සහ අවශ්‍යතාවය සලකා වැඩකයුතු සැලසුම් කරන්නත්.., යටිසිත සමඟ කරන හරඹ වලින් අනවශ්‍ය සිතිවිලි ඉවත්කරන්නත් යහපත් සිතුවිලි සඳහා විධාන දෙන්නත් යනාදී මෙකී නොකී නොයෙකුත් දේ මා ඔහුගෙන් ඉගෙන ගත්තා…, බුදුදහමේ මූලික ඉගැන්වීම් හා නූලටම නොගැලපුනත්, ආගමෙන් පොඩ්ඩකුත් චින්තනයෙන් පොඩ්ඩකුත් ලෙස හැඩය එහාමෙහා කරගෙන එකක අනික බහාලන්න පුළුවන් විදියට ඒවා සකසා ගැනීමටත් ලොකු අපහසුවක් වූයේ නැහැ... දිනෙන් දින සාර්ථකව අරමුණු කරා ළඟාවෙමින් මා ගතකරමින් සිටියේ සතුටුදායක දිවි පෙවෙතක්… ඒවනවිට ජීවිතය මා ගැටගැසුවේ කපිල අයියා මට ඉගැන්වූ මේ ධනාත්මක චින්තන මන්තර වලින්…
“Let’s prepare for the worst..! “
ඕක මට ඇහුනේ මගේ දෙවැනි රාජකාරී ආයතනයෙදි… බොස්ගේ නම කෙවින්… ඔහු නිතර භාවිතා කලේ මේ පුදුම මන්තරය… “අපි වෙන්ඩ තියෙන නරකම දේට ලෑස්ති වෙලා ඉමු…” හරිම අපූරුයි… ඒ මම ඉගෙනගත් දෙවෙනි මන්තරය කීවොත් නිවැරදියි… පෙර මා දැන උන් මන්තර හා සීයට සීයක්ම නොගැලපුනත් මෙහි පුදුම සාර්ථකත්වයක් මම අත්දැක්කා… අභියෝග වල පැටලී ඒවා හඹායනවා වෙනුවට ඔහු ඒවායින් නිදහස් වුනා… යමක් සාර්ථක කරගැනීමට ඇති උත්සාහය පෙර තරම් නොතිබුණා වෙන්නට පිළිවන්… නමුත් ඒ අසාර්ථකත්වයට මූන දෙන්නට ඔහු සූදානම්… දෙවනි මන්තරය මට පෙරට වඩා ජීවිතයේ සතුට ගෙන ආවා කීවොත් එහි වැරැද්දක් නැහැ…
“Que… Sera, Sera…!”
ඇයගේ නම මලී… සුන්දර මිතුරියක්… වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යද්දි අහම්බෙන් මගේ ඇඟේ වැදුනේ… ඇගේ මන්තරය හරි පුදුමයි… “What ever will be… will be”… අප බොහෝදෙනෙක් කුඩාකලම ඉගෙන ගත්තත්, මා හට මෙය ඉගැන්වූයේ ඇය විසින්… සදානොමැකෙන ඒ සුන්දර සිනාව මුවඟ රඳවාගෙනමයි… සිද්ධාන්තය හරි සරලයි… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… ගෙවෙන ඒ මොහොතේ සතුට උපරිමයෙන් විඳිමු… “Que sera Sera…” ඒ මා ඉගෙන ගත් තුන්වෙනි මන්තරය… ගතවෙන සෑම මොහොතක්ම සතුටින් ගෙවන්නට මට කියාදුන්නේ ඇය…
මේ සියල්ල මට මතක් වුනේ අද සිදුවූ සිදුවීමක් නිසාවෙන්… ආයතනයට අළුතින් පැමිණි පිළිගැනීමේ නිලධාරිනිය හා මිතුරු කතාවකට ඉසිඹුවක් ලැබුනේ දිවා අහාර විවේකයෙදි… හඳුනාගැනීම් තොරතුරු වලින් ඔබ්බේ ඇයගේ පුද්ගලික කාරනා දක්වා කතාව ඇදී ගියේ ඇයගේ සුහදශීලී බව නිසාමයි…
“බොරු නෙමෙයි මේ බලන්න කට් එක… “
තම ගෙල පැළඳි විශාල පෙන්ඩනය මෑත් කරන ඇය මට පෙන්වන්නෙ සැත්කම් කැපුමක කැලලක්… ඇය පවසන පරිදි ඇය වයස දහනවයේදී හදවත් සැත්කමකට මුහුණ දුන් දරුණු හදවත් රෝගියෙක්… සතිපතා කෙරෙන වෙද්‍යය පරීක්ෂණයකුත්, දිනපතා ලබාගන්නා බෙහෙත් පෙති අහුරකුත් දිවි ඇති තුරාවට ඇයට උරුමයි… මේ හේතුවෙන්ම දරුවෙකු ලැබීම ඇයට තහනම් ක්‍රියාවක්… ඒ ප්‍රසූතියේදී ඇය හා දරුවා පත් වෙන අවදානම නිසා බවයි ඇය පැවසූයේ… තත්වය මෙසේ තිබියදී ඇය උතුම් මව්පදවිය වෙනුවෙන් අතිශය අවදානම් ක්‍රියාවකට පෙළඹෙනවා… ඒ වෙද්‍යය උපදෙස් නොතකා ගැබිණියක් වීමට හිතුවක්කාර ලෙස තීරණය කිරීමෙන්…
“හැමදේම හොඳින් සිද්ද වෙමින් තිබුණා… මට ගබ්සාවක් කරන්න කියලා උපදෙස් දුන්න හදවත් වෙද්‍යයවරයා අතෑරපු අපි වෙන වෙද්‍යයවරයෙක් හොයාගත්තා… ගිය මාර්තු මාසේ දවසක මට හිතුනා බබා වෙනදා වගේ දඟලන්නේ නෑ නේද කියලා… අපි ස්කෑන් එකක් කලා… දරුවගේ හදවත නතර වෙලා… මාස හතයි ඒ වෙනකොට… ලස්සන කෙලි පැටියෙක්..”
එලියට පනින කඳුළු සඟවන්නට ඇය අසමත්…
“දැන් ඉස්සරහට මොකක් කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ…?”
“මම තවම හිතනවා… ලබන සතියේ ටෙස්ට් එකට ගියාම මම ඩොක්ටගෙන් මේ ගැන අහනවා…”
මට මතක් උනේ කපිල අයියා…
“මල්ලී… කතාවක් තියෙන්නේ හීන හැබෑකරගන්නනම් කරන්න ඕනේ පලවෙනි දේ ඇදේන් නැගිටලා වැඩ පටන් ගන්න එකයි කියලා… සැලැස්මක් ඇතුව වැඩ කලොත් හැබෑ කරගන්න බැරි හීනයක් නෑ… ලඟාවෙන්න්න බැරි තැනකට යන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අවදානම ගන්න බය නොවෙන එකයි… අද වෙද්‍යය තාක්ෂනේ ගොඩක් දියුණුයි… එක ක්‍රමයක් නැතිනම් තව ක්‍රමයක්.. ඒ ක්‍රමේ නැත්තම් වෙන ක්‍රමයක්…” සමහරවිට ඔහු කියාවි…
කෙවින්..?
“වෙන්ඩ තියෙන නරකම දේ මොකද්ද..? ආයේ බබාලා හදන්න බැරිවෙන එකනේ..? ඒකට මූණ දෙන්න ලෑස්ති වුනානම් එතනින් එහාට ලැබෙන හැම දෙයක්ම අශීර්වාදයක් විදියට ගන්න පුළුවන්…” ඔහු කියාවි…
මලී…
“Que Sera Sera…!” ඩොක්ටව හමුවෙන්න… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… සැහැල්ලුවෙන් ඇය කියාවි…
“ඩොක්ට මොනවගේ උපදෙසක් දෙයිද මම හරියටම දන්නේ නෑ… හ්ම්ම්ම්… බලමු…”
සිතිවිලි අතර සරමින් සිටින මගේ දැහැන බිඳෙන්නේ ඇගේ සුසුම් හඬින්… පොතේ හැටියටනම් දැන් මාගෙන් වියයුත්තේ ඇයගේ සිත සුවපත්වෙන කරුණාබර අවවාදයක්… නමුත් මාගේ දක්ශතා අනුපිලිවෙලින් ලැයිස්තුගත කලොත් තවකෙකුට උපදෙස් දීමට ඇති හැකියාව වැටෙන්නේ එහි අවසන් පිටුවට බව සැකයක් නැහැ… ඇරත් මේ දීර්ඝ අවවාදයකට සුදුසු වේලාව නෙවෙයි…
“Que Sera Sera..! මගේ අලුත් මිතුරියේ…”
කෙටියෙන් මා ඇයට ඉගැන්වූ මලීගේ මන්තරය සම්පූර්ණයෙන්ම ඇයට වැටහුනාදැයි මට සැකයි… ගතවෙන මොහොත සතුටින් ගතකරන්නට හැකි වෙන මඟක් ඇයට කියාදෙන්නට මා දන්නේ නැහැ…
සමහරවිට ඇය සිංදුව ගූගල් කර බලාවි… මම සිතන්නේ භෝජනාගාරයෙන් නැගිට එන අතරතුරේදී…