හදිසි හමුවකට දිවයායුතුව තිබුණ හින්දා, මෝටර් රථය වෙනදා නවත්තන අභ්‍යන්තර රථගාලේ නවත්වනවා වෙනුවට මහමඟ නවත්තපු මම, පාකින් සඥා දල්වා ආයතනයට දුවගියේ ලියකියවිලි කිහිපයක් රැගෙන එන අටියෙන්… නැවත පැමිණෙන පමාවට කොහේදෝ සිට වතුර බාල්දියකුත් ඔසවාගෙන ආව සද්දන්ත මිනිහෙක් නිවි සැනසිල්ලේ මෝටර් රථය හෝදනවා දුටුව මට යක්ෂාරූඩ වුනා…
“මනුස්සයෝ මට ප්‍රමාද වෙනවා…!” මම කෑගැහුවා…
“පාංච් මිනිට්ස් මුදීර්… පාංච් මිනිට්ස්…”
තමන් කරමින් සිටි වැඩය මඳකට නවතා, තෙත බේරෙන රෙදි කැබැල්ල වමතට මාරු කල ඔහු දකුණතේ ඇඟිලි පහ අභිනයෙන් දක්වමින් සිනාසුනා… මුහුණ පුරා වැඩුනු රැවුළත්…. අපිළිවෙල ඇඳුමත් ඔහුගේ මරුමුස් පෙනුමට කදිමට ගැලපුනත්, බුහුටි දරුවෙකුගේ වන් සිනාව ඒ සියල්ල පරදා සැරසිල්ලක් මෙන් ඔහුගේ මුහුණ අලංකාර කලා… ඒ මීට වසර කිහිපයකට පෙර, ආදිල්ව මා දුටු මුල් දිනය… ඔහුව සිතුවමකට නඟන්නැයි දැන් මට කිසිවෙකු පැවසූවොත් අදත් මා සිතුවම් කරණුයේ එදා ඔහු වතුර බාල්දියක් අබියස සිනහාවෙමින් මාදෙස බලාගෙන සිටි දර්ශනය මිස වෙනෙකක් නෙවෙයි…
ජීවිතය ඇත්තේ හුස්ම ගන්නට බවත්, අන් සියල්ලට ඒ වෙනුවෙන් පමාවිය හැකි බවටත් අමතකවීම ගැන මටම සාපකරගත් මම, දුරකතන ඇමතුමකින් හමුවීම කල්දමා මෝටර් රථයට වැදී සැහැල්ලුවෙන් අසුනේ දිගෑදුනේ ආදිල්ට ඕනෑතරම් වේලාගන්නට ඉඩදෙමින්..
ඒ අයුරින් අහම්බෙන් එකිනෙකාගේ ජීවතවලට හැප්පුන අපි, දවස් කෙටිවෙද්දී, කතාබහ දික්වෙද්දී, කලබලයක් නැතුව එකම ඉරහඳ බෙදාගනිමින් හිටියා… සුවඳ ගහන ෂැම්පු ස්නානයකිනුත්, අනතුරුව දිස්නේ දෙන වැක්ස් සාත්තුවකිනුත් මෝටර් රථය පිරිසිදුකරගන්න තිබුණු අවස්තාව උවමනාවෙන්ම මඟහැරිය මම ඒ වෙනුවට ආදිල්ට මගේ මෝටර් රථයේ කුණු දුහුවිලි සෝදා අරින්න ඉඩදුන්නේ, ඉන් ඔහු තම ජීවිතයේ ගැටළු රැසකුත් සෝදා හරින බව වැටහුණු හින්දා… අපහසුවෙන් ගැටගහන ඉංග්‍රීසියෙනුත්, ඒ ගැට බුරුල් තැන්වල හින්දියෙනුත්, බැරිම අවස්තාවක අතින් පයිනුත්, ආදිල් මට ඔහුගේ ප්ලාස්ටික් බාල්දියේ අරන් තියාගෙන හිටි සිනා කඳුලු පරිස්සමින් අරගෙන විස්තර කලා…
එලෙස මම යන්තමින් දුටු ඔහුගේ ලෝකය සාරාංශ කලොත් මෙවැන්නක්… සුරලොව ඇත්තේ දරුවෙකුගේ සිනහවකත්, යුවතියකගේ කෝල බැල්මකත් බව නොදත් අසංවේදී මෘගයන් රැසක්, සදාකාලික පාරාදීසයක සිහිනය දකිමින් වනසන අවාසනාවන්ත දේශයක් වූ පාකිස්ථානය ඔහුගේ නිජබිම… අඩුවශයෙන් තම දරුවන්ට වත් ඒ අපායෙන් මිදෙන්නට, ඔවුන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමට පහසුවෙනු වස් ආදිල් මැදපෙරදිග කාන්තාරයට ගාටනවා… නමුත් ඔහුගේ දෙවියන්ට ඇත්තේ වෙනත් සැලසුමක්… ආගමනයෙන් කෙටි කලකට පස්සේ, දිනක් තම ආයතනයේදී සිහිසුන්ව ඇදවැටී ගිලන් රථයකින් රෝහලට යැවෙන ඔහු මාස ගනනකට පසු ඉන් එළියට එන්නේ හදවත් රෝගියෙකු ලෙසින්… ඔහුගේ පැහැදිලිකිරීම මා හරියට තේරුම් ගත්තානම් විටින් විට නිකුත්වෙන විද්‍යුත් ධාරාවක් හරහා ඔහුගේ හදගැස්ම නොනවත්වා පවත්වා ගැනීමට දැන් සහාය වෙන්නේ හදවතේ සවිවී ඇති කෘතීම යන්ත්‍රයක්… මිනිස් සබඳතා ආදායම් සහ වියදම් වලින් පමණක් දකින පාලනාධිකාරිය ඔහුව ආපසු ඔහුගේ මව්රටට යවන්නට තීරණය කරනවා… නැවත පාකිස්තානයට යෑම තම දරුපවුල කබලෙන් ලිපට ඇද දමන්නක් බව විශ්වාස කරන ආදිල් තම ගමන්බලපත් ඇතුළු ලියකියවිලි සියල්ල අහිමිකරගෙන ආයතනයෙන්ද, තම නවාතැනින්ද පලායනවා… ඉන්පස්සේ ආයතනයෙන් ඔහුගේ වීසා අවලංගු කරන්නේ නොරටක ඔහු රැකියාවක් අහිමි නීතිවිරෝධී පුරවැසියෙකු බවට පත්කරමින්…
තම හදවත් යන්ත්‍රයේ බැටරිය වසර හතරකට පසු මාරු කලයුතු බව ඔහුට මතකයි… නමුත් හැදුනුම්පතක් නැති ඔහු රෝහලකට යෑම කල නොහැක්කක්… හැදුනුම්පතක් නැතිව සුදුසු රැකියාවක්ද සොයාගත නොහැකි ඔහු ජීවිකාව වෙනුවෙන් තෝරාගන්නේ තවත් නීතිවිරෝධී දෙයක්… ඒ මහාමාර්ගයේ වාහන සේදීම… කවදා නවතීදැයි නොදන්න යන්ත්‍රයකින් පණ ගැසෙමින්, නොරටක අනවසරයෙන් දිවිගෙවමින්, පොලිස් සංඥා නාදයක් ගැන විමසිල්ලෙන් අනවසර රැකියාවක යෙදෙන ආදිල්, ඔහු වෙහෙසවී උපයන මුදල සම්පූර්ණයෙන්ම පාහේ පාකිස්ථානයට යවන්නේ තම පවුලේ සුභසිද්ධිය වෙනුවෙන්… තම සැමියා මහමඟ දහදිය හෙලන බව ඔහුගේ බිරිඳවත් දන්නේ නැහැ… හැඳුනුම්පතක් නැති නිසාම කළුසල්ලි යවන නියෝජිතයන් හරහා මුදල් යැවීමේදී ගෙවන්නට වන සැලකියයුතු කොමිස් මුදලද ඔහු මෙම අවිනිශ්චිත රැකියාවෙන් උපයාගත යුතුයි… එසේ දුක් මහන්සියෙන් යැවූ මුදල් වියදම්කර, තම වැඩිමල් දරුවා බලවත් ඥාතියෙකු හරහා ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගැන්වෙන නගරයේ ජනප්‍රිය පාසලකට ඇතුළු කලබව මා සමඟ පවසන්නේ මුවපුරා සිනාසෙමින්…
“අලුත් ඉස්කෝලේ හොඳයිද ආදිල්…”
“හොඳයි… පරණ ඉස්කෝලෙ හරි දුෂ්කරයි… අපි ඉන්නේ ගොඩක් කඳු තියෙන පලාතක… දවසට කිලෝමිටර් ගානක් කොටළුවා පිටේ තමයි ළමයි ඉස්කෝලේ යන්නේ එන්නේ…”
“වස කරදරයක්නේ…!”
“හහ්….! කොටළුවා ලැබෙන්නෙත් මම රට ඉඳලා සල්ලි යවන හින්දා… අනිත් ළමයි ඒ මුළු දුරම යන්නේ පයින්….. ඔය වීදුරු උස්සගන්න මුදීර්…”
ඔහු කියන්නේ වින්ඩ්ස්ක්‍රීනය හරහා වේගයෙන් වතුර පහරක් ගසමින් … රබර් තලයකින් වීදුරුව පිසදැමෙද්දී ඉන් ඔබ්බෙහි බොඳවී පෙනුනු ආදිල්ගේ රුව පැහැදිලිව පේන්නට පටන්ගන්නවා…
“මුළු විශ්වයම ලොකු යන්ත්‍රයක්… යන්ත්‍රයක හැම පුංචි කොටසකටම තියෙනවා නියමිත රාජකාරියක්…අන්න ඒවගේ අපි හැමෝම විශේෂ රාජකාරි හිසින් දරාගත්ත විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ පුංචි කොටස්…” හියුගෝ චිත්‍රපටියේ හියුගෝ කියන්නේ එහෙමයි… ඒ විදියට විශ්වය කියන මේ විසල් යන්ත්‍රයේ මගේ රාජකාරි වලින් එකක් වුනේ අවසර ලද විටෙක ආදිල්ට සවන්දීම වෙන්නැති.. මම ඒ කලේ උදව්වක්නම්, හිලව්වට ආදිල් මටත් ප්‍රතිඋපකාර නොකර හිටියා නෙමෙයි… ඔව්… සමහරවිට ඔහුටත් නොදැනීම…
මේ එහෙම දවසක්… අපි යොමුකරන්නට යන ව්‍යාපෘති යෝජනාවක, තුන්වෙනි පාර්ශවයක සහයෝගය ලබාගන්නා කොටසක පැහැදිලි කිරීමේ පුංචි අඩුපාඩුවක් නිසා, අප ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරියා අවශ්‍යය අවසන් අනුමැතිය ලබානොදෙන්න තීරණය කලා…
“කණගාටුයි බීට්ල්… අපිට මේ රිස්ක් එක ගන්න බෑ…” ඔහුගේ පිළිතුරු කවදත් කෙටියි…
පිටපතේ හැටියට ඇත්තේ බලාපොරොත්තු කඩවුණු මම නැඟිට ඒම වුනත්, කඩඉම් දිනයට පෙර වෙහෙසවී වාර්තාව සැකසූ කණ්ඩායම් සගයන්ගේ මැලවුණු මුහුණුත්, කාමරයේ ජනෙල් වීදුරුවෙන් දිස්වුනු ඈත කෙලවරක වාහනයක් හෝදන ආදිල්ගේ දසුනත්, පෙර මා නොකළ ස්ටන්ට් එකක් උත්සාහා කරන්නට මට බල කලා…
“බොස්… උඹට පේනවද අර ඈත වාහනය හෝදන හාදයා…?”
තරමක් ව්‍යාකූලව ප්‍රධානියා ඒ දෙස නෙත් යොමුකල පසු, මා ආදිල් ගැන දන්නා කරුණු සියල්ලම පාහේ සීරුවෙන් ඔහුට පැහැදිලි කලා… වචනයකින්වත් බාධාකලේ ඔහු නොවෙයි…
“දැන් බොස්…! අන්න ඌ නම් ගන්නේ රිස්ක් එකක්… මේක..? මේක ඇත්තටම රිස්ක් එකක් නෙවෙයි… බිස්නස් තීරණයක්…!”
“උඹ කවුද යකෝ මට බිස්නස් උගන්නන්න..!?”
අඩුම වශයෙන් ඒ ආසන්නයට එන පිළිතුරක්වත් මම බලාපොරොත්තු නොවුනාම නෙමෙයි… නමුත් සමච්චල් සහගත සිනාවකින් මුවසරසාගත් ඔහු තම මේසයේ රඳවා ඇති පෑන වෙත අතගෙන ගියා… ඉදිරියට පිනු මට තිබුනේ “සයින් හියර්” ස්ටිකරය සහිත පිටු පෙන්වාදීම පමණයි… ඒ ආදිල් මට මිළකල නොහැකි උදව්වක් කල එක් අවස්ථාවක්…
අවසන්වරට ආදිල් මට හමුවූයේ මීට සති කිහිපයකට කලින්…විසල් අහසට නෙත් යොමාගෙන බැරෑරුම් කල්පනාවක යෙදී ඔහු හිටියේ මෙරටේ ජාතික දිනය වෙනුවෙන් පැවැත්වෙන ගුවන්යානා සංදර්ශනයක පුහුණුවීම් කෙරෙන අයුරු ඔහේ නරඹමින්…
“ජාතික දිනේට වීසා නැති අයට එමිර්ගෙන් සමා කාලයක් ලැබෙනවාලු… පොලිසියෙ පැමිණීලි නැතිනම් අපිට පුළුවන් හිරේ යන්නේ නැතුව ගෙදර යන්න…”
“එහෙම වුනොත් ආදිල් යනවද..?”
මම අහද්දී ඔහුගෙ ඇස් දිළිසුනා…
“යන්න ආසයි… ඒත් මගේ ළමයින්ව ඒ අපායෙන් ගලවගන්න නම් තව කාලයක් මට මෙහේ ඉන්න වෙනවා…”
අවදානමට බය නැති ඔහු සමාවට පයින් ගහන්නේ, ඉන්පස්සේ අහුවුනොත් හිරේ ලගින්න වෙන බව නොදැන නෙමෙයි…
“අලුතින් ප්ලේන් හයක් මේපාර ෂෝ එකට එමීර් වෙනම ගෙනල්ලා තියෙනවා…”
මම සමුගෙන ඉවතට ඇවිදගෙන යද්දී, ඔහු කෑගහලා කියන්නේ කොහෙන්දෝ අහුලගත්ත ඕපාදූපයක්…
“කවුද එමීර්ද උඹට කිව්වේ…?”
මම අහන්නේ සරදමට…
“චැහ්…! මේ අලුත් කෙනා මගේ යාලුවෙක් නෙමෙයි,… පරණ කෙනා නම් මගේ යාලුවා…”
ආදිල් උත්තර දෙන්නේ පොඩි ළමයෙක් වගේ හිනාවෙවී … ඒ මම ඔහුගේ අහිංසක හිනාව අවසන් වරට දැක්ක දවස…
දිනගනනකින් ඔහුව නොදැක්ක නිසා ඔහු සාමාන්‍යයෙන් දිවා අහාරය ගන්නවායැයි පැවසූ පාකිස්ථාන භෝජන ශාලාවට මම ගොඩවැදුනේ සුලෙයිමානියක් රසබලන්න විතරක් නෙමෙයි…
“ආදිල් ගෙදර ගියා…”
“ගෙදර..!?”
“ඔව්…පාකිස්ථාන්…”
මගේ විපරමට මට ලැබුනේ බලාපොරොත්තු නොවූ පිළිතුරක්…
“අර වාහන හෝදන ආදිල්…?”
“ඔව් ඉස්කෝලේ ඇටෑක් එකට එයාගේ පුතෙක් අහුවෙලා…”
භෝජනාගාර සේවකයා පිළිතුරු දුන්නේ හැඟීමක් නැතුව… හදවත හිරිවැටුනු මම එතැනින් නික්මුනේ, වසර ගණනාවක් තිස්සේ ප්‍රවේසෙමන් එකතුකරපු ඒ අසරණ හදවත් රෝගියාගේ බලාපොරොත්තු ගොන්න එක මොහොතකින් සුණුවිසුනු කරලා දාපු මෘගයින් දවා අළුකරන තරම් කේන්තියකින්… සද්දන්ත ආදිල්ගේ හඬ පුංචි දරුවෙකුගේ ඉකිබිඳුමක් වගේ මගේ හදවතේ දෝංකාර දුන්නා…
“අපේ රට ඉවරයි මුදීර්… ඉවරෙටම ඉවරයි…! දෙවියෝ මේ අපායෙන් මගෙ දරුවන්ව ගලවගන්න ඕනේ…”
ප.ලි. : ලියවුනේ අකුරු බ්ලොග් අඩවියේ සියවෙනි ලිපිය…සියයට කෙටිකතාවක් ලියනවා කියලා කාලෙක ඉඳන්ම ප්ලෑන් කරගෙන හිටියත් ඒක ගිලිහුනා…මේ ලිපි සියය පුරාවට, මෙම බ්ලොග් අඩවිය කියවන්නට ඔබ වැයකල සෑම තත්පරයක්ම සැබැවින්ම මට ගෞරවයක්… ඔබ සැමට නොවක් තුති…!!!
පිංතූරයේ ඉන්නේ පෙෂාවර්හි කනත්තක භාරකරුවෙක්…