“Here… keep the change…”
ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි…
“Thank you sir…”
“So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?”
ජැක්කා බර කරමින් පවසද්දී, සිංහල නොදන්නා ගෝපාල් එහි අරුත වටහාගත නොහී අසරණ ලෙස සිනාසෙයි…
“Say it… Say it…”
ජැක්කා වද කරයි...
'”මුකද්ද..?”
අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ බේරාගැනීමට තතනයි…
“ණයත් නෑ… බයත් නෑ…”
“නාත් නා… බාත් නා…”
ගෝපාල්ගේ වැරදි උච්චාරණය අසන අපි හඬ නගා සිනාසෙමු… ඔහුද තම කහට බැඳුණු දසන් පාමින් අප සිනාවට එකතු වේ… ගෝපාල් යනු අප බෝඩිම ආසන්නයේ පිහිටි පලතුරු යුෂ කඩයේ හිමිකරුවායි… ඉඩක් ලද විටෙක අප පවස නිවාගැනීමට ගොඩවැදෙන මේ පුංචි අවන්හල බෝඩිම තරමටම අපට හුරුපුරුදු ස්ථානයකි… කලක පටන් ගනුදෙනු කිරීමෙන් ඇතිවූ විශ්වාසය මත අප ඔහු හා දෙන්නම් කාසි වලට කල ගනුදෙනු බොහෝ විය… පුරුද්දක් ලෙස මාසය අවසානයේ ඔහු විසින් දක්වන මුදල ගෙවීමට අපි පුරුදු වී සිටියෙමු… මෙදිනද ජැක්කා විසින් එලෙස ගනුදෙනු බේරන දිනයක් වුවද අද වෙනදාට වඩා එහි විශේෂත්වයක් තිබුණි… ඒ මන්ද යත්, දැනුම උකහා ගැනීමේ උවමනාවකටත් වඩා උපාධිකාරයෙකු ලෙස රැකියා හිණිමගේ අඩියක් හෝ ඉහළට නැඟගැනීමේ උවමනාව වෙනුවෙන්, පුරා වසර හතරක් තිස්සේ නොරටක කෙරුණු යුද්ධයක් හමාරකොට අපට නැවත මව් රට බලා යෑමට තිබුණේ තවත් දිනෙක කාලයක් පමණක් වීමයි… වසර හතරකට පෙර ඉන්දියාවට පය තැබූ ජැක්කාත් මමත් හෙට ඉන් පිටව යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසුන් ලෙස යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ… ඉන්දියාව නැමති අරුම පුදුම ලෝකයේ ජනසමාජය හා වසර ගණනාවක් ගැටීමෙන් ලද අත්දැකීම් ගොන්න කටපාඩමින් දිනාගත් උපාධි සහතිකයකට කිසිසේත්ම සමකළ නොහේ…
“සර්ලව ආයෙත් කවදාවත් දකින්න බැරි වෙයිද..?”
ගෝපාල් අසන්නේ අනවශ්‍ය ප්‍රශ්ණයකි… කිසිඳු ජාතී ආගම් කුල සම්බන්ධයක් නොමැති මේ පිටරැටියා හා අප අතර වසර කිහිපයකම පැරණි මිතුදමක් වන බව සැබැවි… එහෙත් මේ සංවේදී බස් තෙපලමින් එකිනෙකාගෙන් සමුගැනීමට නොහැකිව හඬාවැටෙන්නට බලාගෙන පැමිණි ගමනක් නොවේ… වචනයෙන් නොපැවසූවද ඔහු හා අප නැවත දිනෙක මුණගැසීමට ඇති ඉඩ බොහෝ සෙයින්ම අඩු මිසක් වැඩි විය නොහැක… එසේනම් බැංගලෝරය පුරාවටම අපට අතහැරීමට නොහැකි වන මෙවැනි මතකයන් රැසකි… ගෝපාල් විසින් පවතින වාතාවරණය සංවේදී සමුගැනීමකට හරවනවාට මා බිය වන්නේ එහෙයිනි…
“මෙතන… මෙතන… මෙතන තියාගන්න…”
ජැක්කා සිනාසෙමින් ගෝපාල්ගේ පපු පෙදසට මිටින් පහර දෙද්දී ඔහු තම අහිංසක හිනාව දිවි ඇති තුරාවට මා මනසේ නොමැකෙන සේ සටහන් කරයි… අප එතැනින් පිටවන්නේ ඉන්දියාවේ අප විසින් ගෙවන්නට තිබූ අවසන් ණය මුදලද එසේ පියවා හමාර කරමිනි…
“දැන් කාටවත් ණය නැහැ… හෙට හිතේ නිදහසින් යන්නයි තියෙන්නේ…”
ජැක්කා පවසන්නේ පාරේ වැටී ඇති පොඩිවී ගිය හිස් බියර් ටින් එකකට කාණුවට විසිවෙන්නට පා පහරක් දෙමිනි… සැබැවින්ම මා ඉන්දියාවෙන් පිටවන්නේ කාටවත් ණය නැති පුද්ගලයෙකු ලෙසදැයි මම සිතන්නට වීමි… හදිසියේම වෙයිශාලිව මට සිහියට නැඟෙන්නේ මන්ද..? ගතවූ වසර කිහිපය පුරාම මා ඇය වෙත ගිය වාර ගණන මතක තබා ගැනීමට නොහැකි තරම් බව මම දනිමි… නාගෂෙට්ටිහි හිරු එළිය නොවැටෙන ඒ අඳුරු වීදිය මම විශ්වවිද්‍යාල මාවත තරම්ම හොඳින් හදුනමි… එදා පළමු වසරේ දඩබ්බර කොලු ගැටයෙක්ව ඒ අඳුරු වීදියේ පටු කපොල්ලක් තුළින් වූ තරප්පුපෙළක් චකිතයකින් නඟිමින් සිටි මම මතු දිනෙක ඒ තරප්පුපෙළ මා පියසටහන් හොඳින් හඳුනන තැනක් බවට පත්වේයැයි දැන නොසිටියෙමි…
රමණය, රමණයක් වන්නේ එය දිනාගත් විටෙක මිස අනායාසයකින් ළඟා වන විටෙක නොවන බව දැන දැනත් මා වෙයිශාලි වෙත ඇදුණේ කිනම් ආශාවක් සතපවා ගන්නද..?
මීට වසර තුනකට පෙර මා ඇය දුටු පළමු දිනය ඊයේ සිදුවූවක් සේ මා මතකයේ තිබේ… ගණිකා නිවාසයේ පාලිකාව වූ වියපත් කාන්තාව මා විසිත්ත කාමරයක් වැනි ස්ථානයකට කැඳවාගෙන ගොස් මින් කෙනෙකු තෝරාගන්න යැයි කාන්තාවන් පිරිසක් දැක්වීය… අප ගැන වැඩි තැකීමක් නොමැතිව කෙළි කවට සිනාවෙන් කල් මරමින් සිටි ඔවුන් ඉදිරියේ මට මහත් අපහසුවක් දැනිනි…ඇය සිටියේ මට පිටුපස හරවාගෙන තවකෙකු හා දොඩමිනි… හිසපැළඳි සමන්පිච්ච මල් මිස ඇයගේ මුහුණ මා දුටුවේ නැත… මා දෙස බලාසිටිනවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට මට එඩියක් නොතිබුණ හෙයින්දෝ මම ඇය තෝරාගතිමි…
“අරයා…”
පාලිකාවට මා පවසද්දි සිය මිතුරියගේ සංඥාවකට අනුව වෙයිශාලී හිස හරවා මා දෙස බැලීය… අප නෙත් එකට ගැටුණු ඒ මොහොතේ මම ඉවත බලාගතිමි… මා පාලිකාව හා ගනුදෙනු කතාකර හමාරවී ඇය දෙස බලන විටත් ඇය පෙරසේම මා දෙස බලා සිටියාය… වෙනසකට වූයේ ඇය මුවට නැගී තිබූ අවඥා සහගත සිනාවයි… සිනාවට හේතුව වටහා ගැනීමට අපහසු නොවේ… ගනුදෙනු කතාකරනවායැයි කීවද සැබවින්ම සිදුවූයේ පාලිකාව පැවසූ මුදලට හෙට්ටු නොකර මා එකඟ වීමයි… මා කෝඩුකාරයෙකු බව මෙයින් ඇයට වැටහෙන්නට ඇතැයි සිතමි… පාදයේ මිණි කිංකිණි හඬ නංවමින් ඇය තම කාමරයට ඇවිද යද්දී මම ඒ පසුපසින් ඇදුනෙමි… ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එවිට පිටුපසින් පැමිණෙන පිරිමියාට ඇයගේ සිරුරේ හැඩය රසවිඳිමින් පැමිණිය හැකි නිසා වියයුතුය…
“පයිසා..?”
මේ ඇය මා හා කතාකළ පළමු වචනයයි… පසුම්බියේ තිබූ සිල්ලර නෝට්ටු සියල්ල මම ඇය සුරතේ තැබුවෙමි… ඇඳයට තිබූ පරණ ට්‍රන්ක් පෙට්ටියක එම නෝට්ටු කිහිපය සැඟවූ ඇය කාමරයේ දොරපියන අගුළුලෑමෙන් අනතුරුව මීළඟ ප්‍රශ්නය ඇසුවාය..
“මැගී නූඩ්ල්ස් ලේගා...අවුර් ... චිකන් බිරියානි ලේගා..?”
මම අන්දමන්ද වීමි…
“මැගී නූඩ්ල්ස්කා මත්ලබ් සබ්කුච් ජල්දි… ඒක් දම් ටූ මිනිට් නූඩ්ල්කේ මාෆි… චිකන් බිරියානිකා මත්ලබ් සබ්කුච් අරාම් සේ… ඒක් දම් රාජා මහරාජා ඕ කිදරී… සම්ජේ බේටා...?”
මා නොදන්නා හිංදියකින් ඇය මට පැහැදිලි කරයි… මා දෙකින් එකක් තෝරාගත යුතුය..
“චිකන් බිරියානි…”
“පයිසා..?”
විනාඩි කිහිපයක් ඇතුළත ඇය දෙවන වරටද සුරත පෑවාය… අප නැවතත් පළමු කොටුවටම පැමිණ සිටිමු… එකම වෙනස මෙවර මා සතුව එකදු මුදල් නෝට්ටුවක්වත් නොමැති වීමයි…මා තවම ඇයගේ අතින්වත් ඇල්ලුවේ නැති... මම අත් ඔරලෝසුව දෙස බැළුවෙමි…
“මේක මම ඉස්සෙල්ලාම ජොබ් එක කරපු පඩියෙන් ගත්තේ… කැම්පස් යද්දි මට ඔරලෝසුවක් තිබුණෙ නෑ…”
ගුවන්තොටුපළේදී මා සමුගැනීමට මා මොහොතකට කලින් තාත්තා එය මා අත බැඳි අයුරු විදුලියක් සේ මා මනසේ සටහන්වී නැතිවී ගියේය…පිය උරුමයෙන් මම ලද ඒ ඔරලෝසුව ගණිකාවකට දුන්නේ යැයි තාත්තා දැනගතහොත් පොළවේ පස්කනු නිසැකය…
කරුණු එසේ වුවද කලාතුරකින් දිනෙක තරුණ මදය පිය සෙනෙහසට වඩා ඝනකම් වන අවස්ථාද නැත්තේ නොවේ… අවාසනාවකට මේ එවැනි දිනයකි…අත් ඔරලෝසුව ඇයගේ ට්‍රන්ක පෙට්ටියේ සැඟවී යෑමට ප්‍රථම මම අවසන් වරට එය බලාගතිමි…නැගී සිටි ඇය පසෙක වූ කබල් විදුලි පංකාව ක්‍රියාත්මක කර රේඩියෝවේ ශබ්දය වැඩිකලාය… මම බිත්තියේ එල්ලා තිබූ ගනේෂා දෙවියන්ගේ ඡායාරූපය අනෙක්පසට හැරවීමි …
ඉනික්බිති ඇය චිකන් බිරියානි පිසීම ඇරඹුවාය…
මෙතැන් පටන් සිදුවූ දේ පියවරින් පියවර විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි… තාත්තාගේ පරණ අත් ඔරලෝසුවට ඔහුවත් එය ඔහුට විකිණු වෙළෙන්දාවත් සිහිනෙකින් වත් නොසිතූ වටිනාකමක් වෙයිශාලි ලබාදුන් බව පමණක් පවසමි…
දින සති මාස ගණන් ගතවෙන අතරේ මා ජීවිතයේද වෙනස්කම් සිදු නොවුනේ නොවේ… බටහිර බෙන්ගාලයෙන් පැමිණි යුවතියක වූ සෘතී මා ජීවිතයට එකතුවීම මින් ප්‍රධානය… එහෙත් සුපුරුදු පරිදි සතියකට හෝ දෙකට සැරයක් මා වෙයිශාලිය හමුවීමට යෑම සෘති නිසා වෙනස් නොවීම මටද පුදුමයකි… වෙනසක් වූවා නම් ඒ වෙයිශාලී හා කෙරෙන මෙම හමුවීම් බොහෝවිට රමණයකින් අවසන්වන්නක් නොවී නිවිසැනසිල්ලේ කෙරෙන සිරුර සම්බාහනයකට පමණක් සීමා වීමයි… දිනය පුරාවට ගනුදෙනුකරුවන් සතුටු කිරීමට වෙහෙසෙන ඇයටද මෙය ශාරීරිකව සැනසීමක් වූවා වැනිය… මා සිරුර මත වාඩිවී පිටෙහි ඇති මස්පිඩු සෙමින් මිරිකමින් ඇය අතොරක් නැතුව කියවයි…
“කෙල්ලෙකුත් ඉන්නවනම්, ඇයි හැමදාම මේ එන්නේ..?”
මට දෙන්නට පිළිතුරක් නොමැත…
“ඔයාට තියෙන ආදරේ නිසයි…”
මම පවසමි…
“හහ්…!”
ඇය අවඥාවෙන් සිනාසේ…
“මම ප්‍රශ්නයක් අහන්නද..?”
“හා…”
මේ මාගේ ප්‍රියතම මොහොතයි… මා අසනා ඕනෑම ගැටලුවකට හැමවිටම ඈ සතුව නිශ්චිත ප්‍රායෝගික පිළිතුරක් වේ… ඇය තර්ක නඟමින් එය පැහැදිලිකරනායුරු අසා ඉන්නට මම මහත්සේ ආසා කරමි…
“ඔයා වෙන මිනිස්සු එක්ක නිදාගත්තට මට ප්‍රශ්නයක් නැතිවෙන්නත්… සෘති වෙන මිනිහෙන් එක්ක නිදාගත්තොත් මට ඒක ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙත් ඇයි..?”
මා අසන්නේ උඩුබැල්ලට හැරෙමිනි… මෙවැන්නකට පිළිතුරු දෙන විටෙක ඇයගේ මුහුණේ පහළවන ඉරියව් මඟහැරීම අපරාධයකි…
“රුපියල් පනහක් ඕනේ උත්තරේට…”
මම පිටුපස සාක්කුවෙන් ඉවතට ගත් මුදල් පසුම්බියෙන් ඇයට දමා ගසමි… ඉන් පනහේ කොළයක් එළියට ඇදගන්නා ඇය සතුටින් සිනහා වෙයි…
“මෙහෙමයි… මොකටද මම මේ ගුබ්බෑයමේ ඉන්නේ… මෙතෙන්ට එන ඕනේ මිනිහෙක් එක්ක නිදාගන්න… සල්ලි දෙනවනම් මම නිදාගන්නවා… අරයද මෙයාද කියලා මට කාවවත් තෝරගන්න බෑ… ඒගොල්ලොයි මාව තෝරගන්නේ… මම ඔයාව තෝරගත්තද..? නෑනේ..? ඔයයි මාව තෝරගත්තේ…”
“ඔව්…”
“ඒත් ඔයගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගත්තොත්… ඒකේ තේරුම තමයි එයා ඔයාව නැතුව අනිත් කොල්ලව තෝරගත්තා කියන එක… ඔයාව මොහොතකට හරි ප්‍රතික්ෂේප උනා කියන එක… අන්න ඒ ප්‍රතික්ෂේප වීම තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ… නැතුව ඒ කොල්ලයි කෙල්ලයි නිදාගන්න එක නෙමෙයි…”
ඇය ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි… ඇය මෙවැනි අඳුරු මහල් නිවසක සිරවී යන්ත්‍ර වැනි මිනිසුන්ගේ දහදිය වලට තම තරුණ කාලය දිය කරමින් සිටියයුතු නැතැයි මට සිතේ… නමුත් ඇය වැනි කෙනෙක් මෙම තත්වයට වැටුණේ කෙසේද..?
“දැන් අහන්න එපා මම වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ කියලා..?”
මා කල්පනා කරමින් සිටිනායුරු දැක ඇය පවසයි…
“ඔයා වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ..?”
මම අසමි… පිළිතුරු දෙනු වෙනුවට ඇය මගේ කම්මුලට පහරදෙන්නේ කියන දේ නාසන දරුවෙකුට දඬුවම් කරනා වැඩිහිටියෙකු මෙනි…
“මේ බිත්ති හතරෙන් එහා මහා විසාල ලෝකයක් තියෙනවා… ඒ ලෝකේ මොනවා වෙනවා ඇතිද කියලා ඔයාට නිකමටවත් හිතිලා නැතිද..?”
“මොනවා උණාම මට මොකද… මගේ ලෝකේ මෙච්චරයි…”
ඇය පපුවේ මස්පිඩු තදින් මිරිකයි… මට සිහින් වේදනාවක් දැනේ…
“දැන් ඇති… ඒ ලෝකේ මොනවගේද කියලා හොයලා බලන්න…ඒ ලෝකේ මිනිස්සු ගැන තේරුම් ගන්න ඔයා ආසා නැද්ද…?”
“අනේ මේ…! ඔය ලෝකෙන් මිනිස්සු හැමදාම මෙතෙන්ට එනවා… මට උන්ගේ අමුතුවෙන් තේරුම්ගන්න දෙයක් නෑ… අඩුමගානේ ඔයා ගැනවත්…”
දිඟුවේලාවක් සම්භාහනය කිරීමෙන් ඇයගේ ඇඟිලිතුඩු රිදෙනු ඇතැයි සැකයෙන් මා ඒවා පිරිමදිමි… ඇය තරහෙන් අත ගසා දමයි…
“ඔයා මොකද්ද මම ගැන තේරුම් අරගෙන තියෙන්නේ…එහෙනම් කියන්න බලන්න…”
මම ඇයට සමාන්තරව ඇදෙහි වාඩිවෙමි… නොබෝවේලාවකින් මෝටබයිසිකලය ඉල්ලීමට ජැක්කා දුරකථන ඇමතුමක් දෙනු ඇතැයි මගේ සිත කියයි… මා යායුතුය…
“එක… මම තේරුම් අරන් තියෙන විදියට ඔයා ඔහේ පාවෙන තරුණ ජීවිතයක්… තාත්තා සල්ලි එවනවා… ඔයා වියදම් කරනවා… දෙක… ඔයාට ඇත්තටම වෙන වැඩක් නෑ දකින දකින කෙල්ල පස්සේ යනවා ඇරෙන්න… තුන… ඔයා හැමදාම මගෙත් එක්ක ඇඳට නගින්න කලින් දෙවියන්ගේ රූපේ අනිත්පැත්ත හරවන්නේ එක්කෝ ඔයා දෙවියන්ට ලොකු භක්තියක් තියෙනවා…. එහෙම නැත්තං ඔයාට දෙවියෝ ගැන සතේකවත් විශ්වාසයක් නෑ…හා මම වැරදිද..?”
මට සිනා පහළ වේ…
“හොඳයි ඔයා මොකද්ද මං ගැන තේරුම් අරන් තියෙන්නේ..?”
ඇය අසන්නේ කපටි සිනාවක් මුහුණේ රඳවාගෙනයි… මම නිහඬව සපත්තු පයේ රුවා ගමි… කතාව අවසන් කලයුතුය…
“ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”
මම ඇයගේ දෙතොල් වලට නැඹුරු වෙමින් මුමුණමි…
“බොරු චාටු…”
මා තල්ලු කර දමන ඈ දොර දෙසට දිවයයි… මේ නම් අපූරු වැඩකි… මම මුදල් ගෙවා ඇයගේ සේවය ලබා ගැනීමට පැමිණි ගනුදෙනුකරුවෙක්මි… මා ඇය සමඟ ගතකරන සම්පූර්ණ කාලයට සේවය සැලසීමට ඇය බැඳී සිටී… මේ දැන් ඇය ප්‍රතික්ෂේප කල හාදුවද ඊට අයත්ය… එසේ කිරීමට ඇයට හයියක් ලැබුණේ කෙසේද..?එහි අදහස ඇය තවදුරටත් මා ඉදිරියේ ලිංගික ශ්‍රමිකාවක් නොවන්නේය යන්නද?
-----------------------------------
“ෆෝන් එක ආන්සර් කරපන්කෝ…?”
මා පියවි ලෝකයට පැමිණෙන්නේ ජැක්කාගේ හඬිනි… කොතෙක් වේලා වෙයිශාලී ගැන සිතමින් සිටියාදැයි මම නොදනිමි… මාගේ ජංගම දුරකථනය නොනවත්වා නද දේ… වාදනය වන නාද රටාව අනුව ඒ සෘති බව මම දනිමි…
“හෙලෝ…”
“හෙලෝඕඕ…. අම්මු කුට්ටි…! ඔයා බිසීද පැටියා...?”
මටත් නොදැනීම දුරකථනයේ හඬපාලන පුවරුවට ඇඟිල්ල දිවයන්නේ ඇගේ බොළඳ වදන් ජැක්කාට ඇසෙතැයි බියෙනි…
“නෑ… කියන්න…”
“ඔයා අද ෆෙයාවෙල් එකට මොන පාට ෂර්ට් එකක්ද අඳින්නේ..?”
සෘති මේ සඳහන් කරන්නේ රාත්‍රියේ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ පැවැත්වෙන සමුගැනීමේ සාදය ගැනයි… ඇය මෙසේ අසන්නේ මන්දැයි මම දනිමි… එහෙත් මා එය දන්නා බව ඇය එය දැනගතයුතු නොවේ…
“ඇයි ඒ..?”
“අයියෝ… ඔයාගේ කලර් එක මැච් කරන්නනේ පැටියෝ…”
අපගේ අවසන් හමුවීම හැකිතරම් රෝමෑන්තික කිරීමට වෙහෙසෙන ඇය ගැන මට උපදින්නේ අනුකම්පාවකි… කෙතරම් බොළඳ වුවද සංවේදී අවස්ථාවක වගකීමෙන් හැසිරෙන අයුරු ඈ දනී… ඇරත් මේ සංවේදී අවස්ථාවක්යැයි පැවසීම එතරම් නිවැරදියැයි මම නොසිතමි… මේ හැම බැඳීමක්ම තාවකාලික බව අප නොදැන සිටියා නොවේ… වෙන්වීමට ඇත්තේ තව පැය කිහිපක් බව දැන දැනත් ඇය මෙලෙස සතුටින් සිටින්නේ ඒ නිසාද? ජැක්කාගේ ඇඳුම් අල්මාරියේ ඇති කමිස මා ඇස් ඉදිරියේ දිවයයි…
"කයින්ඩ් ඔෆ් ‘සිල්වර් ග්‍රේ’…”
ඉන් එකක් මා දෑස් ඉදිරියේ නතර වූ පසු මම පවසමි…
“’සිල්වර් ග්‍රේ’ ඉට් ඊස්..! බ..බායී…. ස්මූචී….!!!”
ඇය දුරකථනය විසන්ධි කරයි… නැවතත් මා සිත අරක්ගන්නේ වෙයිශාලියයි… මා හෙට දිනයේ පිටත් වන බව ඈ දනී… ඒ නැවත කිසිදා හමුනොවන්නට බවද ඈ වටහාගෙන ඇතැයි සිතමි… සැබැවින්ම මීට දින කිහිපයකට පෙර මා ඇය හමුවූ විට මා මව් රටට යන බව පවසා කිසියම් අයුරකින් නිලවශයෙන් සමුගැනීමක්ද සිදුවුණි… ඉතින් මෙහි තවත් හගිස්සන්නට දෙයක් නොවේ… නමුත් ඇය හා කිසියම් අවසන් නොවූ ගනුදෙනුවක් තවමත් ඇතැයි මා සිත චෝදනා කරන්නේ මන්ද..? ජැක්කා ගේ “ණය නෑ බය නෑ “ කතාව මට මහත් වදයකි… සැබවින්ම මා ඇයට ණයගැතිද… මම නොදනිමි… ඒ ගැන සිතන්නටද දැන් අවකාශයක් නොවේ… කෙටි නින්දකින් අනතුරුව සවස්වරුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත යා යුතුය… සෘති මා එනතුරු බලා සිටී… මාගේ ඇඳුමට ගැලපෙන ඇඳුමකින් සැරසීගෙනම..!
-----------------------------------
“මට බයික් එක දීලා උඹ ඔටෝ එකක පාටියට පලයන්…”
සවස නානකාමරයෙන් එළියට පැමිණි ජැක්කාට මම පැවසීමි…ඌ පුදුමයෙන් මා දෙස බලයි…
“උඹ කොහෙද යන්නේ…?”
“ටවුමට…”
“ටවුමට..??? එතකොට ෆෙයාවෙල් එක...?”
“මට එන්න වෙන්නේ නෑ…”
පුදුම වූ විටෙක ජැක්කාගේ මුහුණට නැගෙන්නේ විසුළු පෙනුමකි… අද එය වඩාත් උග්‍ර වී ඇති සෙයකි… හදිසියේම යමක් අවබෝධවූවාක් සේ ඌ සිනහාවෙයි.. එහි ඇත්තේ අවඥාවක් බව මට වටහා ගැනීමට අපහසු නොවේ…
“අපෝ තෝ අදත් අර ගොනා හම්බුවෙන්න යනවා නේද..?”
මෙතරම් වැදගත් අවස්ථාවක් මඟහැර මම වෙයිශාලිය වෙත යන්නේ ඇයගේ සන්තර්පණයෙන් උමතු වී තවත් එකවරක් හෝ ඇය සමඟ නිදාගැනීමට ඇයි ජැක්කා සිතනු නොඅනුමානය… මම ඌට පිළිතුරු දෙන්නට නොයමි…
“සෘතිට කියපන් මම එක්සිට් පර්මිට් එකේ අවුලක් වෙලා හදාගන්න ගියා කියලා…”
“මෙච්චර හවස් වෙලා..?”
“දවල් ගියේ තාම ආවේ නෑ කියපන්…”
ජැක්කා මුවින් නොබැණ මාදෙස බලා සිටී… මම මාගේ ජංගම දුරකථනය උගේ ඇඳ උඩට විසිකරමි…
“මොබයිල් එකත් අමතක වෙලා රූම් එකේ දාලා ගිහින් කියපන්…”
“පව් යකෝ..!”
පව් බව මමද දනිමි… සෘතිට බොරු කියන්නට වීම ගැන ඌට වඩා මා කම්පා වෙන බව පැහැදිලිකර දියයුතුද...? එයින් පලක් නැත… ජැක්කා ඉදිරියේ මට සුදනෙකු වීමට අවශ්‍ය නැත… මා යනගමන ගැන සෘතිටවත් ජැක්කාටවත් වටහාදිය හැකියැයි මම නොසිතමි… මේසය උඩ ඇති යතුර දබරැඟිල්ල අතරට රුවාගන්නා මම තවත් එතැන නොරැදී පිටවෙමි… යතුරුපැදිය පිම්මේ නාගෂෙට්ටි බලා ඇදේ…
මා කාමරය ඇතුළුවන විට වෙශාලි සිටියේ ඔවුන් වෙත අලුතින් ගෙන ආ ගැටවර යුවතියකට සිපගන්නා අයුරු කියා දෙමිනි… බලාපොරොත්තු නොවු වෙලාවක මා දැකීමෙන් ඇය පුදුමයකට පත්වූ සෙයකි… ඇරත් අපි සමුගත්තා නොවැ..!
“ෂයිලු යන්න… කස්ටමර් කෙනෙක් ආවා…”
ඇය යුවතියට පවසයි… මේ මා සම්බන්ධයෙන් ඇය වෙතින් පෙර නොකෙරුණු හැඳින්වීමකි..
“ඇයි මට කස්ටමර් කිව්වේ…?”
යුවතිය පිටවගිය පසු මම අසමි…
“නැත්තම් මොකද්ද කියන්නේ..? මගේ මනුස්සයා ආවා කියන්නද..?”
ඇයගේ කේන්තිය සාධාරණය… අපගේ සමුගැනීමෙන් පසු යථාර්ථයට මුහුණ දීමට ඇය සිත හදාගෙන සිටියා වන්නට ඇත… මේ අනවශ්‍ය හමුවකි… දොර අගුළු දැමූ ඇය මා දේව රූපය අනෙක්පස හරවන තුරු බලාසිටී…
“එපා… අද අපි එලියට යමු..?”
මම පවසද්දී ඇය පුදුමයෙන් උඩබිම බලයි…
“ඒ කියන්නේ…”
“එළියට ගිහින් රැට කාලා… චිත්‍රපටියක් බලලා එමු…”
“ෂර්මිලා මැඩම්..?”
වෙයිශාලී මේ සඳහන් කරන්නේ ඔවුන්ගේ පාලිකාව ගැනයි… ඇය කියන්නේ සත්‍යයකි… මෙම ගණිකා නිවාස වල සේවය කරන කාන්තාවන් කිසිවෙකුට පිටතට යෑම සපුරා තහනම්ය… ඔවුන්ගේ පාලිකාවගෙන් එළියට යෑමට කැමැත්ත ලබාගැනීම මහමෙර සොලවනවා වැනිය… එහෙත් ක්‍රමය දන්නවානම් මහමෙරද සෙලවිය නොහැකි නොවේ… කිහිපවරම මෙම පාලිකාවගේ කොටස් වෙළඳපළ ආයෝජන සඳහා උපදෙස් දීමෙන් මා කල උදව් වලට ඇයගෙන් මෙතුවක් කල් මා හිලව්වක් ඉල්ලා නැත… මේ ඇය ඒ වෙනුවෙන් වන්දි ගෙවියයුතු මොහොතයි… සැලකියයුතු වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව රාත්‍රී දොළහට පෙර වෙයිශාලීව පෙරළා රැගෙන එන කොන්දේසියත්, අනෙකෙකුට ඇසනොගැටෙන සේ ඇයව රැගෙන යන සහ රැගෙන එන කොන්දේසියත් ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව ඇය එයට කැමැත්ත දුන්නාය… ඉන් මොහොතකට පසු වෙයිශාලි සිටියේ තොරතෝංචියක් නැතුව කියවමින් මා බඳ බදාගෙන යතුරුපැදියේ වාඩිවීගෙනයි…
දිග කතාවක් මෙතැන් සිට කෙටියෙන් පැවසුවොත් ඇය තම ජීවිතයේ සුන්දරතම රාත්‍රියක් ගතකලායැයි මම විශ්වාස කරමි… මඟ යන එන්නන්ගෙන් එකෙකු අප දෙදෙනාගේ බාහිර ස්වරූපයෙන් යමක් අනුමාන කරගෙන ඉඳ හිට හැරී බැලුවා හැරෙන්නට සිදුවූ වෙනත් අකරතැබ්බයක් නැත… ඇයට යම් කඩචෝරුවක් කන්නට අවශ්‍යවී මා එය මිලට ගෙන දෙන අතරේ ඇය සමඟ රාත්‍රියක් ගතකිරීමටවත් එතරම් ගණනක් අය නොකරන බව පවසමින් වෙළෙන්දාට දෝෂාරෝපණය කිරීම සහ සිනමා ශාලාවේ ටිකට් කවුන්ටරයේදී ඩිස්කවුන්ට් නැතිදැයි ඇසීම වැනි සුලු සිදුවීම්ද නොසලකාහැරිය නොහැක්කේ නොවේ… ජීවිතයේ පළමුවරට ඇය කොල්ලෙකුට තුරුළු වී 3D චිත්‍රපටයක් නැරඹුවාය… නුහුරු කණ්ණාඩි කුට්ටමකුත් පැළඳ බොළඳ ළදැරියක සේ සිනාවෙමින් ඇය එය නරඹන අයුරු දැක මා ලද වින්දනය කිසිවිට මගේ සිතින් මැකී නොයයි… අඳුරු සිනමා ශාලාව උණුසුම් ආලිංගනයකට බලකරන්නේ වුවද මම ඇයගේ කන් පෙත්තක මෘදු සිපගැනීමකින් ඔබ්බට නොයෑමට ප්‍රවේසම් වීමි… “ම්හ්…” කෙඳිරියක් නඟන ඇය මා උරහිසට තවත් තුරුළු වෙයි… මා ඇය සිපගත් පසුගිය වසර කිහිපය පුරාවට අනායාසයකින් ඇය වෙතින් නැඟුණු පළමු කෙඳිරිය මේ යැයි මම සිතමි… මට දැනෙන්නේ ජයග්‍රාහී සතුටකි…
රාත්‍රී ආහාරයෙන් පසු මම ඇයව ප්‍රවේශමින් ආපසු හැරලද්දී වේලාව යන්තම් රාත්‍රී දොළහා පැන්නා පමණි… ඊට පෙර මා සතුව තිබූ ඉන්දීය රුපියල් නෝට්ටු සියල්ලම මම ඇයට නොදැනෙන සේ ඇගේ අත්බෑගයට ඇතුල්කලෙමි… නිවස අසලින් බයිසිකලයෙන් බැසගත් ඈ මට මඳක් නවතින්න යැයි කියා උඩුමහලට දිව ගියාය… ඇය ආපසු පැමිණියේ මා පියාණන්ගේ අත් ඔරලෝසුවද රැගෙනයි…
“ඇයි මේ…?”
ඇය එය මා අත පළඳවද්දී මම ඇසීමි…
“මේක තියලා යන්න එපා… ඔයා මගේ ජීවිතේට පායලා බැහැලා ගිය දේදුන්නක්… දේදුන්නක් බැහැලා ගියාම ආයේ මොකුත් ඉතුරු වෙන්නේ නෑනේ… ඒ වගේ ඔයා ගියාමත් ආයෙ මොකුත් ඉතුරුවෙන්න බෑ…”
ඇය මා හා තිබූ අවසන් ද්‍රවයමය සම්බන්ධයද ලිහා දැමුවේ එලෙසිනි… “ණයත් නෑ බයත් නෑ…” මට ජැක්කා සිහිවිය… ඌ සෘතිට රාත්‍රිය පුරාවට හඬන්නට තම උරහිස දෙන්නට ඇති… ජැක්කා හොඳ මිතුරෙකි…
“ඔයාගේ ලස්සන දවසක් නාස්ති කළානම් මට සමාවෙන්න…”
නැවත උඩුමහලට නැඟීමට පෙර වෙයිශාලි පැවසුවාය…
“සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…”
මම යතුරුපැදිය පණගන්වා ගතිමි… ඇය තම කාමරයේ ජනේලයෙන් මා පිටව යන අයුරු බලා සිටිතැයි මට සිතේ… මම ආපසු හැරී බලන්නට ප්‍රමාද නොවෙමි… ණය නැති මිනිසෙකු ලෙස මේ විසල් රටෙන් මා නික්ම යන බව දැන් මම විශ්වාසකරමි…
~නිමි~
ප.ලි. : අඩු හෝ වැඩි වශයෙන් ප්‍රබන්ධයක් බව නොකිව මනාය… රචකයාට පළමෝත අත්දැකීම් නැති මෙහි එන සමහර සිදුවීම් Dil Dosti Etc නම් හින්දි චිත්‍රපටය අනුසාරයෙනි…
අකුරු බ්ලොග් අඩවිය පටන්ගෙන තව නොබෝ දිනකින් දෙවසරක් සම්පූර්ණ වේ… ඒ අතරතුර ගතකළ සෑම මොහොතක්ම මට සතුටක්ම විය… සෑම සතුටකම අවසානයක් ඇත… මා ජීවිතයේ යම් අභියෝගයක් ජයගැනීමට වෙහෙසිය යුතු උපරිමයක් ඇත්ද, මෙවර එය සිදුකිරීමට මට සිදුව තිබේ… හිත්පිත් නැති රෝගයක් හා සටන් කරන්නට සැරසෙන මාගේ ආදරණීය මෑණියන්ට ඒ සඳහා සවියක් වීමට හෙට හිමිදිරියේම මව් රට බලා නික්මයමි… අතිශය සංවේදී කාරණා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට එන විටෙක බ්ලොග් ලිවීම නොසලකාහැරිය හැකි තරම් කුඩා අවශ්‍යතාවයක් වීම වළක්වනු නොහැක… ඉතින් නැවත ඉස්පාසුවක් ලැබෙනතුරු අකුරු බ්ලොග් අඩවිය යාවත්කාලීන වීම තාවකාලිකව ඇණහිටිනු ඇති… මාගේ පළමු ලිපිය පළකළ ටැබූගේ පටන් මේ වනතෙක් බ්ලොග් අවකාශයේ සහෘද මිතුරුකම බෙදාගත් ඔබ සැමට දිවි ඇතිතුරු කෘතඥ වෙමි…