Friday, December 30, 2011

වසරක් ගෙවුණා… පොතකුත් ගැහුවා…

cloud

මේ කෙටි සටහන මෙම බ්ලොග් අඩවියට විශේෂ කරුණක් වෙනුවෙන්… අකුරු බ්ලොග් අඩවිය පටන් ගෙන අදට හරියටම අවුරුද්දයි… සිංහල බ්ලොග් ලෝකයේ මෙය නොගිණිය හැකි තරම් කුඩා පියවරක් වුනත්, පුද්ගලිකව මාගේ බ්ලොග් දිවියේ යෝධ පියවරක්…

වසරක් ගතවුණත් පෝස්ට් 50 ක් සම්පූර්ණ කරගැනීමට හැකිවුණේ නැහැ… ඒත් ඒ කෙටි සටහන් ප්‍රමාණය කියවන්නට පැමිණි ඔබ සැමට අතිශයින්ම ස්තූතියි…

වසරක් පිරෙන මොහොතේ අලුත් යමක් කරන්නත් ආසා හිතුණා… ඒ ගතවූ වසරේ මා ලියූ සටහන් වලින් තෝරාගත් සටහන් දහයක් ඇතුළත්  විද්‍‍යුත් පොතක් නිර්මාණය කිරීමයි… පහත ලින්ක් එක ක්ලික් කිරීමෙන් අනතුරුව පෙන්වන තිරයේ ෆුල් ස්ක්‍රීන් දමාගතහොත් එය අපහසුවකින් තොරව කියවන්නට හැකිවේවි… නැතිනම් PDF ලෙස බාගත හැකියි…

බ්ලොග් කියවන ලියන ඔබ සැමට 2012 වසර සාර්ථක වේවා..!!!

 

PDF එක බාන්න

  

 

ප/ලි : මෙම ඊ-බුක් එක හැදුවේ කෙසේදැයි කෙනෙකු දැනගැනීමට කැමතිනම්; ඒ මයික්‍රොසොෆ්ට් වර්ඩ් 2010  ඩොකියුමෙන්ට් එකක් PDF ලෙස සේව් කර එය www.issu.com හි ගිණුමක් සාදා උඩුගත කිරීමෙනුයි…

Sunday, December 25, 2011

44. දෙවෙනි රැල්ල | Then came the second wave

tsu

 

අපි බැහැලා දුවමුද..?
එක පාරම මම ඇහුවා…
නැහැ දැන් අඩුවෙයි…
තාත්තා කිව්වේ…
කෝච්චියේ වහපු ජනේලෙන්...
එළිය බලාගෙන…

 

මටත් ඕනේ වුනේ…
ජනෙල් වීදුරුවෙන් එහා...
එළිය බලන්න…
ඒත් ඊට කලින්…
මම තාත්තා දිහා බැලුවා…
පොඩි වෙලාවකට…
ඒත් මට තාත්තාගේ මූනෙන්…
ඇස් ඉවතට ගන්න හිතුණේ නෑ…

 

වළ ගැහුණු කම්මුල්…
මම දැකලා නෑ… 
තාත්තා සිගරැට් බොනවා...
බීඩි..? නෑ ඒත් නෑ…
හොරෙන් බොනවද දන්නෑ…

 

බාගෙට වැවුණු රැවුල් කොට…
තැනින් තැන සුදු වෙච්චි…
සමහර තැන් වල වැඩී…
තවත් තැන්වල අඩුවෙන්…

 

නහර වැල් පෑදිලා..
බෙල්ල දිගටම… 
වැවිලා හොඳටම...
කොණ්ඩෙත්…
වයසටත් වැඩියෙන්…
නාකි පාටයි…
හේනේ… කාස්ටක අව්වේ…
පොළව පෙරළලා…
කාසි අහුලනවනෙ…
මගේ කැම්පස් වියදමට…

 

අහිංසක තාත්තා…
ජීවිතේ විඳින්නේ…
එහෙමත් දවසකට…
මට ලෝබ හිතුණා…
ඉස්ටේසමෙන් බැස්ස ගමන්…
එක්ක යන්න ඕනේ...
තාත්තාව…
ටවුමේ තියෙන………………….

 

ඒ දිරපු මූණ දිහා බලාගෙන…
එච්චරයි හිතන්න ලැබුණේ මට…
ඒ ත්    එ ක් ක ම  …

.

.

.

.

.

.

.

දෙවෙනි රැල්ල ආවා…!

 

 

ජීවිතය නැමති සුනාමියේ දෙවෙනි රැල්ල එන්නට පෙර ලොව සියලු පියවරුන්ගේ පැතුම් ඉටුකරන්නට දූ දරුවන්ට හැකිවේවා… මියගිය ජීවත් වන කිසිවෙකු මෙවන් විපතකට නැවත ගොදුරු නොවේවා..!

Saturday, December 17, 2011

43. සීතල උඳුවප් මාසය | Such a Cold December

december1

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

එයා එහෙම අහන්නේ ඔළුව පැත්තකට ඇල කරලා… එහෙම ඔළුව පැත්තකට ඇල කරලා කවුරුත් මගෙත් එක්ක මීට කලින් කතා කරලා නෑ… කතාකළා නම් කතාකෙළේ කෙළින් මගේ දිහා බලාගෙන… නැත්තම් අහක බලාගෙන… ඒත් එයා පළවෙනි දවසේ ඉඳන්ම මගේ ජීවිතේට එක්කළේ වෙනසක්… එයා ඔහොම අහන්නේ අත්දෙක තදින් බැඳගෙන… දුම් දාන කෝපි කෝප්පය ඉස්සරහා… කෝපි වල රසට වැඩිය මිනිස්සුන්ට ප්‍රබෝධයක් ඇතිකරන්නේ ළා දුඹුරු පාට කෝපි දියර මතුපිටින් නැගෙන දුම් රැල්ල වෙන්නැති… ඒ දුම් රැල්ල හරි අද්භූතයි… තමන් අවට පරිසරයට පුදුම විදියට සංවේදීයි… හැගීම් වලින් අනූන කෙනෙක් ඉදිරියේ නම් දුම් රැල්ල කෝපි කෝප්පයෙන් ඉහළට නැගෙන්නේ ලතාවකට… හරියට භාවනාවක් වගේ… ඒත් හිතේ කලබල වෙලාවට කෝපි කොප්පයක් බීලා බලන්න…දුම් රැල්ලත් හරි කලබලයි…

ඒකාකාරී ජීවිතේට වෙනසක් එක්කරන අලුත් මිතුරිය ඉස්සරහා ඉන්න මට මේ ගෙවෙන හැම මොහොතක්ම සර්ව සම්පූර්ණයි… මොන සීතලක්ද..? මම පිළිතුරු දෙන්නේ මඳ සිනාවකින්…

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

ගානට එක මට්ටමට කපපු මල් වැට… ඒ පිටිපස්සෙන් පේළියට රෝස පඳුරු… පාරනම් ටිකක් කලුයි… තාර නිසා… අපිළිවෙළයි හැඩිවෙලා සමහර තැන්… ඒත් ඒ පාරෙන් මෙහාපැත්තේ… තණකොළ බිස්ස පටන් ගද්දිම වගේ තියෙන සිමෙන්ති බංකුවේ මට අයිති හතරෙන් එකයි… ඇයට හතරෙන් තුනක්ම… උඩු බැලි අතට දිගාවෙලා හිස මගේ ඔඩොක්කුවේ තියාගෙන ඇය අහන්නේ අත් දෙක බැඳගෙන… උරිස් හකුළුවමින්… අපි මේ පාරෙන් ආවොත් හැමදාම වාඩිවෙන්නේ මේ සිමෙන්ති ආසනේ… තව ඒවා නැතුව නෙවෙයි… ඒත් මේක හදලා තියෙන්නේ හරියටම අපි දෙන්නාගේ මිම්මට… මම වාඩි වෙලා ඇය ඔඩොක්කුවෙන් දිගාවුණාම...අගලක්වත් අඩුත් නෑ…වැඩිත් නෑ… ඇස් මට්ටමට එකවගේ පෙනුණට අනිත් ආසන මීට වැඩිය දිග පළලින් වෙනස්… ඒවා හදලා ඇත්තේ වෙන ආදරවන්තයන්ට වෙන්න ඇති…

එකක් ඉවර වෙද්දි එකක් ගලා එන ඇගේ වචන වලට මම හූමිටි තියන්නේ ඇගේ හිසකෙස් අතරේ ඇගිලි තුඩු යවමින්… මිතුරියක් වී සිටියදීම නොදැනුණු සීතලක් මට ඇය ආදරවන්තිය වූ කල කොයින්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්…?”

කන්පෙති දිගේ දෙතොල් ගෙනයමින් ඇය රහසින් මුමුනන්නේ ඇසෙන නෑසෙන හඬින්… පුළුන් පිරවූ සුදු ඝනකම් පොරෝනය මත අපේ සිරුරු වල හැඩයට රේඛා බෙදිලා… දන්නවද අපි හැමෝගෙම මුළු ශරීරේම උණුසුම තමයි…උදාහරණයක් විදියට එදා මේ මගේ කම්මුලේ දැවටුන ඇගේ හුස්ම රැල්ලේ ඉඳන් ඇගේ පාදවල සිහින් දිගටි ඇගීලි පුරුක් අතරට යනකල්ම… හැබැයි ශරීරයේ සමහර තැන් සාමාන්‍ය ප්‍රමානයට වඩා උණුසුමයි… තවත් සමහර තැන්… ගිනියම් වෙන තරම්… ඒක තනි තනිව විඳින්න බැරි උණුසුමක්… කෙනෙකුට තවකෙකුගෙන් විඳින්නට හැකි මේ උණුසුම විඳින්නට ලැබෙන්නේ ආදරය ඇති තැනක විතරයි… මුදලකට හිලව් කරලා ගන්න හැදුවොත්, කොච්චර උත්සාහා කළත් ලැබෙන්නේ උණුසුමක් නෙවෙයි… කාන්සියක්… මහන්සිය වැඩිවෙන තරමට කළකිරීමයි වැඩිවෙන්නේ…

හවස් වරුව පුරා තිබුණු චුරු චුරුව තරමක වැස්සකට හැරුනා… ඉතින් වැහැපන් වැස්ස ඇතිවෙනකල්… ඇය සිරුර පුරා උණුසුම අඩු වැඩි වෙන අයුරු විඳින මට මොන සීතලක්ද..?

“ම්හු… පොඩ්ඩක්වත් නෑ…!”

snowsnowsnow

“ඉතින් සීතල නැද්ද පොඩ්ඩක්වත්...?”

හැම උඳුවප් මසකම අහපු ඒ පිළිතුරක් නැති ප්‍රශ්නයට හිත සීතලෙන් ගල්කරන පිළිතුරක් තිළිණ කරලා ඔබ නික්ම ගිහින්… පට පට ගාමින් ඇවිලෙන ගිනි මැලය ඉදිරියේ… ගතවට දැවටුණු ඝන පොරෝනයකින් සන්නද්ධව… කලබල දුම් රැල්ලකින් වටවුණු තිත්ත කෝපි කෝප්පයක් තොලගාන මට ජීවිතේ පළමු වරට උඳුවප් මාසේ උහුල ගන්න බැරි සීතලක් ඇතැයි අවබෝධ වෙන්නට පටන් අරන්…

snowsnowsnow

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
පැවසුවා මුණගැසුණු මුල්දින
කෝපි හලකදි ඔබ එදා...
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
රෝස උයනක සොඳුරු සවසක
ඇකයේ මා ඔබ හිස හොවා…
දැනුණෙ නෑ ඔබ කී විටෙක මට
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කෙඳිරුවා නෑසෙනා ගානට
තුරුළු වී පපුතුරට මා …
නොතේරුණි මට ඒ වගක් නම්
උඳුවප් සීතලයි කියා…

“උඳුවප් මාසේ හරි සීතලයි..!”
කියන්නට අද ඔබ නොමැති සඳ
අහිමි උණුසුම සිත අරා…
සක්සුදක් සේ දැන ගතිමි මම
උඳුවප් සීතලයි කියා…

snowsnowsnow

පිංතූරය : Smashing Magazine December Wallpapers

Sunday, December 4, 2011

42. ජීවිතය සුන්දරයි | Life is Beautiful

“මේ අපේ කවුන්සලර්… නිල්මි…”

මාව අයතනය පුරා රැගන යන අතරේ, අප පසුකර කඩි කුලප්පුවෙන් මෙන් දිවගිය සුන්දර යුවතියක් නැවතූ කළමණාකාරතුමා ඇයව මට අඳුන්වල දුන්නා… ඇය මවාගත් ලෙන්ගතු කමකින් මාගේ සුරත අල්ලා ගත්තේත්, කිහිප වරක් සෙළවූයේත්, නැවත අත හැරියේත්… “වෙල්කම් ඔන් බෝර්ඩ්…” යැයි පැවසූයේත් යන මේ සියල්ල එක විට  සිදුකළේ තත්පරයකටත් වඩා අඩු කාලයකින් වාගෙයි මට දැණුනේ…

“ස්තූතියි… හමුවීම සතුටක්…” මා ප්‍රතිචාර දක්වද්දී ඇය සිටියේ අප පසුකර කොරිඩෝව දිගේ නැවතත් දිවයමින්…

“සී… යා… අරවුන්ඩ්…” ඒ හඬ ආවේ ඇය කොරිඩෝ බිත්තියෙන් නොපෙනී ගියාටත් පසුවයි…

තත්පර කිහිපයක් පමණක් පැවති අප දෙදෙනාගේ පළමු හමුව වූ එය, අප සුහදව වෙන්වූ එකම හමුවද වූයේ අවාසනාවන්ත ලෙසයි…

ඉන්පස්සේ ඇය හා මට ගනුදෙනු කරන්නට සිදුවූ සෑම අවස්ථාවක්ම ගුටි බැට හුවමාරුවකින් තොරව නිමාවූයේ අප දෙදෙනා විරුද්ධ ලිංගිකයන් දෙදෙනෙකු වූ නිසා විය යුතුයි…

“මේ නිල්මි ඇයි බන් මගෙන් හැමදාම ගේම ඉල්ලන්නේ…” මගේ අලුත් ආයතන සගයාට මා පැවසූයේ ඇය සමග වූ දුරකථන සංවාදයකින් හෙම්බත්ව දුරකථනය විසන්ධි  කිරීමෙන් අනතුරුවයි…

“මචං උඹට කියන්න අමතක වුණා… උන්ගේ ගැන් එක අපිත් එක්ක තරහයි… අපිත් එහෙමයි… ඕක අවුරුදු ගානක ඉඳන් එන්නේ… ඉතින් උඹ මගෙත් එක්ක ඉන්න නිසා උන් හිතන්න ඇති උඹත් අපේ ගැන් එකේ කියලා… ඒකයි ඔය…”

ඔහු දුන් පිළිතුර තවත් කිහිපදෙනෙකුගෙන් මට වූ කෙනෙහිළිකම් කිහිපයක් එකට අමුනා ගන්නට ප්‍රමාණවත් වුණා…

“උඹ දැන්ම තීරණේ කරපන් උඹ මොන ගැන් එකටද සෙට් වෙන්නේ කියලා… නැත්තම් උඹට මේකේ පැවැත්මක් නෑ… උඹ අපේ ගැන් එකේනම් දැන් වරෙන් මගෙත් එක්ක මේ ඇටෙන්ඩන්ස් රෙජිස්ටරියේ ෆොටෝකොපි එකක් ගන්න එලියෙන්…”

“ ඒ මොකටද…?”

“උන්ගේ එකෙක් අද ආවේ නෑ, ඌට හෙට ඇවිල්ල සයින් කරන්න හිස් රූලක් ඉතුරු කරලා අරුන්… මම ඇහැගහගෙන හිටියේ… මම හදන්නේ මේකේ ෆොටෝ කොපි එකක් අරන් හෙඩ් ඔෆිස් එකට අරින්න…”

ඔහුගේ ඒ පිළිතුරෙන් අලුත් ආයතනයේ මට යෑමට ඇති ත්‍රාසජනක ගමන ගැන මූලික අදහසක් මට ලැබුණා…
නිල්මි වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ප්‍රියමනාප යුවතියක්… එසේම ඇය වෘත්තිමය හැකියාවන්ගෙන් අනූන බවත්… ඒ සියල්ලටම වඩා ඇය සිත් ගත්වුන්ට ඇය ඉතා ලෙන්ගතු මිතුරියක් බවත් මට මඳ කලකින් වැටහෙන්නට වුණා… නමුත් ඇයගේ ඒ සියලු ගුණාංග අභිබවා යන වැදගත් හේතුවක් දිගින් දිගටම අප දුරස් කළා.. ඇය උන්ගේ ගැන්සියේ… මම අපේ ගැන්සියේ…

“සික්… මටත් ඒ ගැන්සියට යන්නයි තිබුණේ… “  වරක් දෙවරක් නොව කිහිපවරක්ම සිතට නැගෙන මේ මිත්යාදෘෂ්ටික සිතිවිල්ල මම මැඩගන්නේ අපහසුවෙන්…

~~~~~~~~~~

දින සති මාස ගෙවී ගියේ අලුත් ආයතනයේ නුහුරු බව කෙමෙන් මගෙන් දුරස් කෙරෙමින්… අලුත් මිතුරන් සුහද වෙන සීග්‍රතාවයට සමානුපාතිකව අලුත්  සතුරන් සතුරු වෙමින් තිබුණෙ එකිනෙකාගේ පුද්ගලික දුර්වලතාවයන්ටත් වඩා අයතනයේ දේශපාලනික උවමනා එපාකම් මතයි…

තවත් සිකුරාදා සවසක රාජකාරී වේලාව අවසන් වීමට ආසන්නයි… සුපුරුදු පරිදි මම නිල්මිත් සමග දුරකථන ගැටුමක උච්චතම අවස්ථාවේ…

“ඒ කියන්නේ ඔයා උත්සාහයක් දරන්න වත් ලෑස්ති නැද්ද…? මම මේ උදව්වක් ඉල්ලන්නේ…”

“එකපාරක් කිව්වම තේරුම් ගන්න… ජෙනරල් ප්‍රොසීජිය වලින් පිට මට මොකුත් කරන්න බෑ… සොරි…!!! බීප් බීප් බීප්…”

දුරකථනය විසන්ධි වෙන්නේ මගේ කෝපය දෙගුණ කරමින්…

“මොකද්ද සීන් එක..?”

විසන්ධි වුන දුරකථනය පසෙකින් තබා සුසුමක් හෙළු මගෙන් ‘අපේ ගැන්සියේ’ එකෙක් ඇසුවා…

“ කෝපරේට් ට්‍රේනින් එකකට වීකෙන්ඩ් එකේ මට රත්නපුරේ යන්න වෙනවා… නවතින්න සෙට් කරලා තියෙන්නේ එස්ටේට් මැනේජර්ගේ බංගලෝ එක… කලින් නලියා ඕකේ ඉඳලා කිව්වා එතන කුක් උයන කෑම බල්ලෙකුටවත් කන්න බෑ කියලා… හොටෙල් එකක් සෙට් කරන්න කිව්වාම ජෙනරල් ප්‍රොසීජිය එකෙන් පිට කියලා බෑ කියනවා… ”

“හ්ම්… මොනා කරන්නද… අපි රිටන් එක දෙමු… උඹ ගිහින් වරෙන්…”

පිටට තට්ටු කරමින් ඔහු මට පවසන්නේ තමන්ගේ පළිගැනීමේ ටු ඩූ ලිස්ට් එකට තවත් අයිටම් එකක් එකතු කරගනිමින්…

එදින රාජකාරී නිමවා නිවසට යද්දී විදුලි සෝපානයේදී මුනගැසුනු නිල්මී මා දෙස බැලුවේ වරදකාරී හැගීමකින්…

“මගේ නම්බර් එක ගන්න… එහේ මොනවා හරි ප්‍රශ්ණයක්නම් මට කතාකරන්න, මම කෝඩිනේට් කරන්නම්…” ඇය එසේ පැවසුයේ සියවරක් තමාගේ හොඳ සිත හා නරක සිත අතර පෙරළිකිරීමෙන් අනතුරුව බව මට විශ්වාසයි…

“උන්න හැටියට මළා මදැයි…” ඇයගේ සිත මඳකින් හෝ තෙත්වීම ගැන මට ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

~~~~~~~~~~

මම කුඩා කළ සිට ගෙවූ දුෂ්කර ජීවිතය නිසා පුරුදු වූ ලද දෙයින් සතුටුවීමට ඇති හැකියාවට පින්සිදුවන්නට  නලියා පැවසූ අපහසුතාවයන් කිසිත් මට රත්නපුරේදී  ගැටලුවක් වූයේ නැහැ… එදින රාත්‍රී ආහාරයෙන් පසු නිදිවේලාව එළඹෙන තුරු කල්මරමින් සිටි මට මොන මොනවාදෝ කියවන රූපවාහිනියත්, පසෙකින් බිම දිගාවී අදුරු රබර්වත්තට විටින් විට විපරම් කරන බලු තඩියාත්, සිමෙන්ති පඩිය මත වාඩිවී වතුයායේ ඉතිහාසය වර්ණනා කරන මහලු කෝකියාත් ගෙන ආවේ කම්මැලිකමක්…

මා හොඳින්දැයි බැලීමට නිල්මි දුරකථන ඇමතුමක් දේවියැයි යන බලාපොරොන්තුවෙන්දෝ  ජංගම දුරකථනය මා සුරතේ රැඳි තුබුණා… එනමුත් ඇමතුමක් නැති එහි  නිසල තිරය හිතට ගෙන ආවේ මොකද්දෝ සිහින් වේදනාවක්… ඇය ගැන සිහිවීමෙන්දෝ එළිය වු හිතට අලුත් අදහසක් ජනිත වෙන්නට වැඩි වේලාවක් ගියේ නැහැ…  ජංගම දුරකථනයේ යතුරු උඩ වේගයෙන් මාගේ ඇගිලි දිවෙමින් ටයිප් වන්නේ ඇයට කෙටි පණිවුඩයක්…

“එක්ස්කියුස් මී මෑම්… මට මෙතන ඉන්න බැහැ…”

නී නීක්… නී නීක්… පිළිතුර හිතුවාට වඩා ඉක්මනින්…

“මොකද්ද ප්‍රශ්ණේ…”

“මේක හොල්මන් මන්දිරයක්…”

නී නීක්… නී නීක්…

“ඇත්තටමද කියන්නේ… මොකද වුණේ..?”

“ඔව් ඇත්තටම… ගොඩක් දේවල් වුණා… දැනටත් වෙනවා…”

නී නීක්… නී නීක්…

“මොනවද වෙන්නේ කියන්න..?”

“මගේ බෙඩ් රූම් එකේ ජනේලේ කොච්චර වැහුවත් ටික වෙලාවකින් ඉබේම ඇරිලා… ජනේලෙන් එහාපැත්තේ රබර් ගහක් යට ඉඳන් කොණ්ඩේ කඩාගත්ත පුංචි ගෑනු  ළමයෙක් කාමරේ දිහා බලන් ඉන්නවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ ඔයා ඔය ඇත්තද කියන්නේ…? වෙන මොනවද වුණේ…”

“ඔව් ඇත්ත… මගේ රූම් එකට එහා පැත්තේ රූම් එක වහලා තියෙන්නේ… ඒකේ ඇතුළෙන් ගෑනු කෙනෙක් අඬන සද්දයක් එනවා…”

නී නීක්… නී නීක්…

“දෙවියනේ… එහෙම වෙන්න විදියක් නෑ… මුරකාරයා විතරයි ඉන්නවා කිව්වේ… බොරු නේ ද ඔය කියන්නේ…?”

“බොරු නෙමෙයි ඇත්ත… මේ දැන් වුණ දේ ඇහුවොත් ඔයා පුදුම වෙයි… මටනම් තවත් මෙතන ඉන්න බෑ…”

නී නීක්… නී නීක්…

“මොකද්ද දැන් වුණේ…?”

“මම නාන්න හිතාගෙන බාත් රූම් එකට ගිහින් ෂවර් එක ඇරියා… ෂවර් එකෙන් වතුර වෙනුවට ආවේ ලේ…!!!”

ටා  රාරා ටරරර රා රා… ටා රාරා ටරරර රා රා…

‘Incoming >> Nilmi’

තිරයේ සටහන් වන ඇමතුම මගේ මුවගට ගෙනාවේ ජයග්‍රාහී හිනාවක්…

“හෙලෝ..”

“හෙලෝ… ඔයා හොඳින්ද… කලබල වෙන්න එපා… හොඳට හුස්ම ගන්න ඉස්සෙල්ලා…”

“නෑ නෑ එහෙම ලොකු අවුලක් නෑ…”

“දැන් කොහොමද මේ රෑ වාහනයක් හොයන්නේ ඔයාව ඔතනින් එළියට ගන්න..? මම තාත්තත් එක්ක එන්නද..?”

“නෑ නෑ එහෙම ඕනේ නෑ… මට ඉවසගෙන ඉන්න පුළුවන්… පොඩ්ඩක් බය ඇරෙන්න ඔයා කතා කර කර ඉන්නවද...?”

“හරි බය වෙන්න එපා… එළිවෙනකල් උනත් මම කතා කර කර ඉන්නම්…”

ඉන්පසු ගතවූ පැය දෙකක පමණ කාලය කෙසේ ගත වූවාදැයි මට මතක නැහැ… ජීවිතයේ මා ලද සුන්දරතම දුරකථන ඇමතුමක් ඇත්නම් ඒ නිසැකවම මෙය විය යුතුයි… ඇයගේ සිතුම් පැතුම්, ආදරය විරහව, ප්‍රථම ප්‍රේමයේ සිත් රිදවීම් යනාදී මෙකී නොකී සියලු දේ ගැන කාලයේ  බැම්මෙන් මිදී ඔහේ කියවාගෙන යන ඒ සොඳුරු කතාබහ අවසන් කළයුතු යැයි මා සිතුවේ ඇයව දිගින් දිගටම අවදිව තබාගනිමින් වෙහෙස කිරීම නොමනා නිසායි…

“එහෙනම් අපි නිදාගමු නේද..? මට හෙට උදේම නැගිටින්නත් තියෙනවනේ…”

“ඇයි…දැන් ඔයාට බය නැද්ද..? ජනේලේ තාම ඇරිලාද..?”

“නෑ ඒක දැන් හරි… මම හිතන්නේ හරියට ලොක් වෙලා තිබුණේ නෑ… හුළගට ඇරෙන්න ඇත්තේ… මම තදින් ලොක් කළා දැන් හරි…”

“එතකොට ගෑනු ළමයා…?”

“මම බයවුණ පාරට එහෙම දැකලා තියෙන්නේ… ඒ දිරපු රබර් කොටයක්… දැන් හඳ එළියට හොඳට පේනවා…”

“ඈහ්…? එහා පැත්තේ රූම් එකෙන් සද්ද ඇහෙන්නෙත් නැද්ද..?”

“දැන් තමයි මම දැක්කේ ඒ මුරකාරයගේ රූම් එක… එයාගේ ටීවී එක දාල තිබිලා තියෙන්නේ.. මම හිතන්නේ ඒකේ නාට්‍යයක් යනවා…”

“එතකොට ෂවර්…?????”

“මේ…  ලේ වගේ දැක්කට…ඒ මලකඩ ඇවිල්ලා තියෙන්නේ… ඒක ගොඩ කාලෙකින් යූස් කරලා නැද්ද කොහෙද… දැන් හොඳට වතුර එනවා…”

“මගෙ අම්මෝ ඔයා මෙච්චර වෙලා එතකොට බොරුද මට කිව්වේ…”

“බොරු හරි ඇත්ත හරි අපි දැන් හොඳ යාළුවොනේ… ඒක කොච්චර දෙයක්ද…?”

~~~~~~~~~~

කාලයට වැඩි වේගයෙන් අපේ මිතුදම ස්ථාවර වුණේ උන්ගේ ගැන්සියේත්, අපේ ගැන්සියේත් සම්ප්‍රදායන් බිඳිමින්…

“ඇයි ඔයා මේ කම්පැණි එකෙ නිකන් ඔයාගේ කැරියර් එක නාස්ති කරගන්නේ…? වෙන එකකට යන්න ඉක්මණට…” විටෙක නිල්මි මට පවසන්නේ කිසියම් රසකැවිල්ලක් බෙදාගන්නා අතරේයි… තවත් දිනක ඇය මාගේ මේසයට පැමිණෙන්නේ ඉරුදින මිලදී ගත් සන්ඩේ ඔබ්සර්වර් පත්‍රයේ පිටුවක් සමගයි…

“මේක ඔයාට ඇප්ලයි කරන්න පුළුවන් නේද..? මම ඊයේ පත්තරේ බලද්දි දැක්කේ…”

ඇයගේ ලෙන්ගතුකම තනිකඩ මගේ සිතට වාසනාවන්ත අනාගතයක් ගැන බලාපොරොත්තු එක්කරද්දී ඒ ගැන ඇගෙන් ඇසීමට මම පැකිලෙන්නේ ඇය මිතුරුකමින් එහා යමක් මට ඉගි නොකරන නිසාවෙන්… අවදානමක් ගෙන අවසානයේ වැරදි වැටහීමක් නිසා මට කිසිවිටකත් අහිමි කරගැනීමට බැරි මිතුරියක් ඇය…

“මේක තවත් හිතේ තියාගෙන ඉඳලා හරියන්නේ නැහැ… මම  එයාගෙන් අහනවා මට කැමතිද කියලා…”

ඇය පෙන්වූ රැකියා අවස්ථාවට මා තෝරාගත් බව දැනුම්දෙමින් ලැබුණු දුරකථන ඇමතුමට පිළිතුරු දී හමාර වීමෙන් පසු මම තීරණය කරන්නේ ඇය සදහටම මගේ කරගන්නා අරමුණින්… මේ අතරම උණ සෑදීම නිසා නිල්මි පෙර දිනයේ  රැකියාවට නොපැමිණි බව ඇයගේ යෙහෙළියගෙන් මම දැනගත්තේ නිල්මිගේ දුරකථනය ක්‍රියාවිරහිත මන්දැයි විපරම් කරත්දීයි…

ඉන්පසු දිනය පුරාවට ඇයගේ ජංගම දුරකථනයට ඇමතීමට දිගින් දිගටම ගන්නා අසාර්ථක උත්සාහයක් ගණනාවක් අවසානයේ මගේ සිතට අස්වැසිල්ලක් එක්කරමින් තිරයේ දිස්වන්නේ ඇයගේ ජංගම දුරකථනයෙන් මට ලැබෙන ඇමතුමක්…

“හෙලෝ…”

“හෙලෝ ඔයාද බීට්ල් කියන්නේ…”

පුදුමයකට මෙන් අනෙක් පසින් ඇසෙන්නේ පිරිමි කටහඬක්…

“ඔව්… කවුද කතාකරන්නේ..?”

“මම නිල්මිගේ මල්ලී… ඔයා නිල්මිව දන්නවද..?”

“ඔව්… එයා කෝ…?”

“අක්කට හොඳටම උණ හැදිලා හොස්පිටල් ඇඩ්මිට් කලා…”

“නෑ…? දැන් කොහොමද අක්කට..?”

“ඩොක්ටස්ලා කියනවා එයාට ඩෙංගු කියලා… ලෝ ප්‍රෙෂර් ඇවිල්ලා දැන් හරියට සිහියක් නෑ… එයා සැරින් සැරේට ඔයාගේ නම කියනවා… ඉතින් මම එයාගේ මොබයිල් ෆෝන් එකේ නිකමට ඔයාගේ නම සර්ච් කලා… එහෙම තමයි මේ කෝල් කලේ…”

“මල්ලී මම දැන් හොස්පිටල් එකට එන්නද..?”

“අයියට පුළුවන්නම් ලොකු දෙයක්…”

ඇමතුම විසන්ධි කළ මම ආයතනය ඉදිරියෙන් ත්‍රීවීලරයකට නැගගන්නේ  අධික දුකකුත්, අධික සතුටකුත් මිශ්‍ර වූ පුදුමාකාර හැගීමකින්… තවත් ටික වේලාවකින් ඇය සිටි කාමරයට ඇතුළු වුණු මා, එහි සිටි ඇයගේ පවුලේ සමීප හිතවතුන්,දෙමාපියන්, හෙදියන් පසෙකට වී ඉඩදෙද්දී වී. අයි. පී. අමුත්තෙකු මෙන් ඇයගේ ඇඳ අසලට ලගාවෙන්නේ රටක් රාජ්‍යයක් දිනූවෙකු ලෙසින්…

“ඔයා මට කැමතිද..?” එදා මා අසන්නට සිතාගත් ඒ ප්‍රශ්නය කිසිදිනෙක ඇයගෙන් අසන්නට මට අවශ්‍ය වූයේ නැහැ… එදා මෙදාතුර වසර ගණනක් ගෙවී අවසන්… මෙය ලියන විටත් මා බඳ වටා අත දමාගෙන පසෙකින් නිදන ඒ පුංචි සුරංගනාවියගේ කොට්ටය යටින් දහවල් මිලදී ගත් උපන්දින තෑග්ග සඟවන මා නින්දට යන්නේ සතුටු සිතින්… Smile

I'd take a gold band on my hand…… over being a single man…… [Woman Like You - Lee Brice]

Sunday, November 27, 2011

41. කුකී පැකට්ටුව | The Packet of Cookies

Chocolate-Chip-Cookies-Gifts

ගුවන් මගී පර්යන්තයේ ටයිල් බිත්තියෙන් බාගයක් විතර වසාගෙන පැතිරුණු දැවැන්ත ඩිජිටල් නාමපුවරුව දිගේ උඩට පහළට ඇස් අරගෙන ගිය තරුණිය තරමක ආයාසයකින් තමන්ගේ ගුවන් බසයට හිමි අංකය හොයා ගත්තා… ඒ දිගේ හරහට ගෙනගිය ඇගේ ඇස් නතර වුණේ අවසන් තීරුවේ රතුපැහැති ලේබලය ඉදිරියේයි… “Delayed ” ගුවන් ගමන් මගියෙක් විදියට ඇය දකින්න අකමැතිම වචනය නිවී නිවී පත්තු වෙවී තිබුණේ ඇයට ඔලොක්කුවට වාගේයි…

“කමක් නෑ හේතුවක් ඇතුවනේ පරක්කු වෙනවා ඇත්තේ… කුණාටුවක අහුවෙලා මැරුම්කන්නේ නැතිව බේරුණා කියලා හිත හදාගනින්…” තමන්ට කියාගත් තරුණිය ඉන්පස්සේ වටපිට බැලුවේ අතිරේකව එකතු වුණු මේ පැය කීපය ගෙවාගන්න මගක් කල්පනා කරන ගමන්…

පසෙකින් තිබුණු කෝපිහලත්, තම අත්බෑගයේ පිටත කවරයක රැඳවුණු අයිපෑඩයත්, ඒ ඉදිරියෙන් වූ මගීන්ගේ විවේක අංගනයත් ඇයට ඉතිරි කාලය ගෙවීමේ සැලැස්ම මනසේ ඇඳලා දුන්නේ වැඩි අපහසුවකින් තොරවයි… තමාගේ ප්‍රියතම වර්ගයෙන් කෝපි කෝප්පයක් ඇණවුම්කරගත් ඇය එය තොලගාන අතරේ අතරේ සැපීම සඳහා කුකී පැකට්ටුවකුත් මිලදී ගත්තා…

තවත් සුලු මොහොතකින් ඇය සිටියේ කෑමට කුකී සහ බීමට කෝපි වළින් සන්නද්ධව පැය ගණනක් හෝ ගතකිරීමට සූදානම්ව මගී අංගනයේ සුවපහසු අසුනක් සොයමින්… දැවැන්ත වීදුරු බිත්තියෙන් ඔබ්බෙහි පිහිටි ධාවන තීරු ඔස්ස්සේ ඔබ මොබ ගමන් කරනා ගුවන් යානා වල දර්ශනයට ලොබ බැඳි නිසාම ඇය කෙළවරටම වන්නට ඇති අසුනකට බරදුන්නේ ඊට යාබද අසුනේ සිටි තරුණයා ගැන වැඩි තැකීමක් නොකරමයි…

කෝපි කෝප්පය අත් ඇන්දට සම්බන්ධ කුඩා මේස ලෑල්ලක් වැනි අධාරකය මතින් තැබූ ඇය තම අයිපෑඩය ක්‍රියාත්මක කරමින් අන්තර්ජාලයට සම්බන්ධවීමට අවශ්‍ය සීරුමාරු කිරීම් වල යෙදෙන්නට වුණා… එය අවසන්වනවාත් සමගම යාබද අසුනේ සිටි තරුණයා කළ දෙයින් ඇය විස්මයට පත්වුණා…

සගරාවක් වැනි යමක් කියවමින් සිටි ඔහු ඉන් දෑස් ඉවතට නොගෙනම පුටු දෙක අතර තබාතිබූ කුකී පැකට්ටුවෙන් කුකී එකක් ගෙන සපන්නට වූයේ තරුණියගෙන් එය ඉල්ලනවා තබා ඇය එතැන ඉන්නවාද යන වගටවත් අවධානයක් යොමු නොකරමින්…

“ඈහ්…? පෙනේද මේ ජරා කොල්ලගේ හැසිරීම…” ඇයගේ සිත එසේ හඬගෑවත් මුවින් එය පිටවන්නට නොදී ඇය පාලනය කරගත්තේ සමහරවිට තරුණයා තමා කියවන දෙයට තිබූ අධික අවධානය නිසා කුකී එකක් ගන්නදැයි ඇයගෙන් ඇසීමට අමතකවන්න ඇතැයි හිත හදාගනිමින්… සිතට නැගුණු කේන්තිය ආයාසයකින් පාලනය කරගත්තත් ඔහුගේ ඒ අශීලාචාර හැසිරීම ඇය නොඉවසන බව පෙන්වීමට මෙන් ඇයද කුකී එකක් ගත්තේ තරුණයා දෙස එක එල්ලේ බලාගෙනමයි… ඇස් කොනකින් පමණක් ඇයගේ ක්‍රියාව දෙස යාන්තමින් බැල්මක් හෙළු ඔහු ඉන්පසු ඇය දෙස නොබලාම සගරාව දෙස නෙත් යොමාගෙන දිගටම කියවීම කරගෙන ගියා…

තවත් සුළු මොහොතක් ගතවෙන්නට ඇති… තරුණයා හිස නොඔසොවාම දෙවෙනි වරටත් පැකට්ටුවෙන් කුකී එකක් ඩැහැගත්තේ ඇයගේ සර්වාංගයේම ලේ කෝප කරවමින්… මෙවරත් පෙර පරිදිමයි… කිසිත් ඇහිල්ලක් බැලිල්ලක් නැතිවයි… ඔහුගේ මේ අශීලාචාර ක්‍රියාව තවත් ඇයට ඉවසීමට නොහැකි බව ඔහුට පැවසීමට ඇය කට ගත්තත්, නන්නාඳුනන රටක අමුත්තෙකු හා දබර වීමට තිබූ පැකිළිම නිසා ඇය නිහඬ වූවා…

මෙතැන් සිට සෙල්ලම සිදුවූයේ එළිපිටමයි… ඇය කුකී එකක් ගන්නා වාරයක් පාසා ඔහුද කුකී එකක් ගන්නට වූයේ පෙර පරිදිම ඇය දෙස බැල්මක් වත් නොහෙළමින්…කාලයත් සමඟ වරකට දෙක බැගින් අවසන් වූ කුකී පැකට්ටුවේ අන්තිමට ඉතිරිවූයේ එක කුකී එකක් පමණයි…

“දැන් බලමු මූ මොකද කරන්නේ කියලා…!” ඇය තමන්ටම පවසා ගනිමින් නිහඬව බලා සිටියේ මොහුගේ මේ අශීලාචාර සෙල්ලම මෙතැනින්වත් අවසාන වේ යැයි බලාපොරොත්තුවෙන්… සගරාව පසෙකින් තැබූ ඔහු පැකට්ටුවේ තිබූ අවසන් කුකී එක ගෙන දෙකට කඩා එක් කැබැල්ලක් ඇය වෙත දිගුකළේ දෙතොලේ සිහින් සිනාවක් රඳවාගෙනයි… මේ සමගින්ම තම ඉවසීම පාලනය කරගැනීමේ හැකියාව ගිලිහීගිය ඇය කැඩුණු ජල නලයකින් වතුර විදින්නාක් මෙන් ඔහුට බැනගෙන බැනගෙන ගියේ අහල පහළ සිටියවුන්ගේද අවධානය ඒ වෙත යොමු කරගනිමින්… කිහිපදෙනෙක් ඒ ගැන විමසමින් ඇයගේ උදව්වට මෙන් එතැනට පැමිණියත් ඒ කිසිවකට ප්‍රතිචාර නොදැක්වූ ඇය දිගින් දිගටම තරුණයාට බණිමින් තම ගමන්මල්ලත් රැගෙන එතැනින් පිටවී යන්නට වූයේ වෙනත් ස්ථානයක ඇති විවේක අංගනයකට යෑමේ අරමුණින්… මේ සම්පූර්ණ වේලාවේම කිසිඳු වචනයක් නොදෙඩූ තරුණයා කුකී කැබැල්ලත් අල්ලාගෙන ඇය දෙස නිහඬව බලාසිටියා… තරුණයාද තමාට ඇතිවූ ලැජ්ජාව නිසාදෝ එතැන තවත් නොරැඳි, සියල්ලන්ගේම අවඥාසහගත බැල්මවල් මගහරිමින් බිම බලාගෙන එතැනින් ඉවතට ඇවිද යන අයුරු විදුලි සෝපානයේ විනිවිද පෙනෙන විදුරු දොරෙන් බලා සිටි ඇයට තමා කල දෙය පිළිබදව ඇතිවූයේ ජයග්‍රාහී සතුටක්…

විදුලි සෝපානයෙන් ඊළඟ මහලට ගොස් එහි ඇති මගී විවේකාංගනයට පිවිසුණු ඇය එතැන වූ හිස් අසුනක වාඩිවූයේ තවමත් පහව නොගිය කේන්තියෙන් යුක්තවයි… කලබලය අතරේ තමාගේ කෝපි බඳුනද අමතකව පැමිණ ඇතිබව පසක් වූ ඇය වියලුණු දෙතොල් තෙමාගැනීම සඳහා වතුර බෝතලය ගැනීමට අත්බෑගයට අතදැමූ පසු දුටු දෙයින් වික්ෂිප්ත වූවා…

වතුර බෝතලයට පෙර අත්බෑගය තුළ තිබී ඇය අතට අසුවුයේ තවමත් විවෘත කර නොතිබුණු ඇයගේ කුකී පැකට්ටුවයි..!

 

ප.ලි : මේකත් ඊයකින් ආවේ… කලින් අහලා තිවුණේ නැති නිසා බෙදාගන්න හිතුණා… පරිවර්තනයකට වඩා අනුවර්තනයක් කිව්වොත් හරි ඇති… Smile

Wednesday, November 16, 2011

40. අවුරුදු දාහක් වයසැති හොල්මන | Thousand Year Old Ghost

 

LOTR_Fell030_ChristopherLee

 

ඔන්න එම මනුස්සයෙක් තමන්ගේ වයිෆ්ව එක්කගෙන ගියා ගොල්ෆ් ගහන හැටි කියලා දෙන්න… පුරුදුනැති කමට වයිපරේ ගහපු පාර මිස් ෆයර් වෙලා බෝලේ ඒ ළග තිවුණ ගෙදරක ජනේලේ වීදුරුවත් බිඳගෙන ඇතුළට ගියා…

දැන් ඉතින් මොකද කරන්නේ… මනුස්සයා ඉතින් කේන්තියටත් එක්ක වයිෆ්ට ටිකක් බැනලා එහෙම, දෙන්නත් එක්ක කතාවුණා ඒ ගෙදරට ගිහින් කතාකරලා බෝලේ ඉල්ලගන්න… හොරෙන්ම මගෑරලා යන එකත් හොඳ නෑනේ… දැන් දෙන්නම බයෙන් බයෙන් ගිහිල්ලා හිමීට දොරට තට්ටු කලා…

“ඇතුළට එන්න…!” වයසක මනුස්සයෙක් ගොරෝසු කටහඬකින් එහෙම කිව්වා…

දෙන්නත් එක්ක ඇතුළට ගියාම තමයි මෙයාලා දැක්කේ වෙලා තියෙන විනාසය… ජනේලෙත් බිඳගෙන ඇතුළට ආව ගොල්ෆ් බෝලේ ඇතුළේ ස්ටූල් එකක් උඩ තියලා තිවුණ බෝතලේකුත් පෙරලගෙන බිමට වැටිලා… බෝතලේ කුඩුවෙලා කෑලි සීසීකඩ…

“ඔයාලගෙද මේ බෝලේ…” බිම වැටිලා තියෙන ගොල්ෆ් බෝලේ ඇස්දෙකෙන් පෙන්නන ගමන් නාකි මනුස්සයා ඇහුවා…

“අනේ ඔව්… අපිට සමාවෙන්න…. මෙයා මේ පුරුදු නැතුව ගහපු පාර වැරදිලා මේ පැත්තටයි විසිවුනේ…” පිරිමි මනුස්සයා අහිංසක මූණක් මවාගෙන කිව්වා…

“හරි අපරාදයක්නේ…” වයිෆුත් ඉතින් බොරුවට හිමීට මිමිණුවා…

“නෑ නෑ නෑ….සමාව ඉල්ලන දෙයක් නෙවෙයි… හරිනම් මමයි ඔහේලාට ස්තූති කරන්න ඕනේ…” නාකි මනුස්සයා මෙහෙම කිව්වම කපල් එක පුදුම වුණා… නාකි මනුස්සයා දිගටම විස්තර කරන්න වුණා…

“මම ඇත්තම කියන්නම්… මම ඇත්ත මනුස්සයෙක් නෙවෙයි… හොල්මනක්… මාව මේ බෝතලෙ හිරකරලා තිබුණේ අවුරුදු දාහක් තිස්සේ… ඔහෙලාගෙ උදව්වෙන් ඔන්න දැන් මම නිදහස් වුණා.. තව සුභ ආරංචියක් තියෙනවා කියන්න… අවුරුදු දාහක් හිරවෙලා උන්න නිසා මම නිදහස් වෙද්දී මට ලැබෙනවා වර තුනක්… මෙහෙම කරමු… එක වරයක් මම තියාගන්නවා පුද්ගලික පාවිච්චියට… ඔහේලා මට කරපු උදව්ව වෙනුවෙන් ඉතුරු වර දෙක මම ඔහේලාට දෙනවා… ඉතින් කැමති ඕනෑම දෙයක් ඉල්ලන්න…”

නාකි මනුස්සයා මෙහෙම කිව්වම මේ දෙන්නට තේරුණා තමන්ට ලැබිලා තියෙන වාසනාවේ තරම… ටිකක් වෙලා කල්පනා කරපු පිරිමි මනුස්සයා මෙහෙම වරයක් ඉල්ලුවා…

“හොඳයි, මට එහෙනම් දෙන්න… හැම මාසෙම පළවෙනිදට මට රුපියල් ලක්ෂ සීයක් ලැබෙන්න ඕනේ…මම මැරෙනකල්ම…”

පොඩි වෙලාවක් මන්තරයක් වගේ එකක් මතුරපු නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… එන පළවෙනිදා රෑ දොළහට කොට්ටේ යට බලන්න… හොහ් හොහ්… එතකොට ඔය ඇත්තිගේ ප්‍රාර්ථනාව මොකද්ද..?”

සතුට ඉහවහා ගිය ගෑනු කෙනා මෙහෙම කිව්වා…

“මට දෙන්න, මේ ලෝකේ හැම රටෙන්ම මට වටිනා ගෙයක් ගානේ…”

ආයෙත් මැතිරිල්ල… ඉන්පස්සේ නාකි මනුස්සයා මෙහෙම කිව්වා…

“හොහ් හොහ්… ඔබේ බලාපොරොත්තුව ඉටුවේවි… ගෙදර ගිහින් බලන්න ඇඳ උඩ ඇති ගෙවල් වල ඔප්පු තිරප්පු…”

දැන් දෙන්නටම හරි සතුටුයි…

“දැන් මොකද්ද ඔබ තුමාගේ වරය…?” ටික වෙලාවක් ගිය තැන අර මනුස්සයා ඇහුවා… නාකි මනුස්සයා තමන්ගේ රැවුල එහෙම අතගාලා මෙහෙම කිව්වා…

“ඇත්තම කිව්වොත් මම අවුරුදු දාහක් හිරවෙලා ඉඳලා ලොකු ලිංගික අවශ‍යතාවයකින් ඉන්නේ… මම කැමති ඔබේ බිරිදගෙන් ඒක ඉටුකරගන්න… ඔබලාගේ අකමැත්තක් නැත්තම් ඉතුරු පැය කීපය මම උඩුමහලේ ඇයත් එක්ක ගතකරනවා… එහෙම නැත්තම් මේ ලැබුණු දෙවල් අමතක කරලා ගොල්ෆ් බෝලෙත් අරන් යන්න පුළුවන්…”

දෙන්නම පුදුමෙන් මූණට මූණ බලාගත්තා… ටිකක් වෙලා කල්පනා කරමින් හිටි පිරිමි මනුස්සයා ඉස්සෙල්ලාම කටහඬ අවදි කලා…

“ඒයි… දැන් අපිට ජීවිතකාලෙටම ලබාගන්න බැරිදේවල් මේ ලැබිලා තියෙන්නේ… ඒත් ඉතින්.. අනේ මන්දා..? ඔයා මොකද කියන්නේ…? “

ගෑනු කෙනත් ඇඹරී ඇඹරී මෙහෙම කිව්වා…

“අනේ මන්දා… පොඩ්ඩක් මේ ලැබිලා තියෙන දේවල් ගැන හිතුවාම ඉතින්… අනික එක පාරක් විතරනේ… මට කැමති වෙන්න පුළුවන්… ඔයා මොකද කියන්නේ…? “

“මගේ අවුලක් නෑ ඉතින්… මම දන්නවා ඔයා මේදේ කරන්නේ මට තියෙන ආදරේටයි කියලා…” පිරිමි කෙනාත් එහෙම කැමැත්ත දුන්නා…

ඉතින් නාකි මනුස්සයා මෙයාව උඩුමහලට එක්කගෙන ගිහිල්ලා පැය කීපයක්ම ඇතිවෙන්න විනෝද වුණා… ඊට පස්සේ ගෑනු කෙනාව පහළට ගෙනල්ලා ඇරලලා මෙහෙම කිව්වා…

“ඔයාලා දෙන්නටම සුභ අනාගතයක් වේවා එහෙනම්…! යන්න ගිහින් සතුටින් ජීවත් වෙන්න…”

නාකි මනුස්සයට නොසෑහෙන්න ස්තූති කරපු මේ ජෝඩුව ගෙදරින් පිටත් වුණා…

ජෝඩුව ගේට්ටුව ගාවටත් ගියාට පස්සේ නාකි මනුස්සයා මෙහෙම ඇහුවා…

“ආ මම අහන්නමයි හිටියේ… ඔයාලගේ වයස හෙම කීයද..?”

“අපි දෙන්නටම තිස් පහයි… ඇයි ඒ…” පිරිමි මනුස්සයා උත්තර දුන්නා…

“නෑ අවුරුදු තිස්පහක් වෙලත් තාම හොල්මන් ගැන විශ්වාස කරන එකයි පුදුමේ…!”

නාකි මනුස්සයා කිව්වා…

 

ප.ලී. : හියැක් හූ… :D ඉංගිරිස් වර්ෂන් එක මට ඊයකින් ආවේ… කලින් අහලා තියේ නම් සොරි හොඳේ…

පිංතූරේ : http://bit.ly/rKAaf7 ලෝඩ් ඔෆ් ද රින්ග්ස්

Saturday, November 12, 2011

39. තරඟය | The Game

 

“ගහපන් යාළුවේ… උඹට පුලුවන්…!”

තමා සමීපයෙන්ම ඉන්නා සගයා කෑගසන හඬ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාට ඇහුණේ වෙන ලෝකයකින් ඇහෙනා හඬක් වාගේයි…  කෙළින් සිටවූ බෝලයට පියවර කිහිපයක් පසුපසින් තම දෙපා අතර අඩි දෙකක පමණ පරතරයක් ඇතිවනසේ පහසුවෙන් සිටගෙන සිහි ඔහු තම ශක්තිමත් පපු කුහරය පිරෙන්නටම ගැඹුරු හුස්මක් ගෙන සෙමෙන් හිස ඔසවා ඉදිරියට නෙත් යොමුකළා… තමා දෙස එක එල්ලේ බලා සිටින ප්‍රතිවාදී ක්‍රීඩකයන්,  පිටියේ සීමාවෙන් ඔබ්බෙහි වූ එකම හැඩයේ ප්‍රචාරක දැන්වීම් පුවරු… ඊට ඔබ්බෙහි වූ එකම වර්ණයෙන් යුත් ප්‍රමාණයෙන් කුඩා හිස්වූ ප්ලාස්ටික් ආසන… ක්‍රීඩාපිටිය කෙළවරේ පේළියට වවා ඇති ගස් සහ ඉන් ඔබ්බෙහි මාර්ගයේ ධාවනය වෙමින් තිබූ වාහන යනාදී නොයෙකුත් දේ ඔහු අවට පෙනෙන්නට තිබුණත් ඒ කිසිවක් ඔහු දුටුවේ නැහැ… සිරස්ව සිටවූ උස් කණු දෙක හරහා වැටුණු තිරස් පොල්ලකින් යුතු සුදු පැහැති ගෝල් කණුව ඔහු ඉදිරියේ කෙළින් සිටගෙන සිටියා… සම්පූර්ණ හිස් පසුබිමක ඔහුට පෙනුණේ ගෝල් කණුව පමණමයි…

“බස්සපන් එළියටම… උඹට පුලුවන්…!”

කඩුල්ලේ අනික් අන්තයේ සිටින තම සගයා පවසන අයුරු කලු කැරලි කොණ්ඩයක් ඇති ගැටවරයා හැගීමකින් තොරව අසා සිටියා… තම කරගැට වේලී රළු වුණු දෑතට කැත්ත උදැල්ල තරමටම හුරු ලී පිත්ත කිටි කිටියේ හිරකරගෙන සිටි ඔහු ඉපනැල්ල පිරුණු වෙල්යාය සිසාරා නෙත් හෙළුවේ තදින් හුස්ම ගනිමින්… නියර කිහිපයකට ඈතින් වම්පස කෙළවරේ කොට කලිසමකින් පමණක් සැරසී උන් ප්‍රතිවාදී ක්‍රීඩකයාට අඩි කිහිපයක් පිටු පසින් වූ  කුඹුරට ආගන්තුක වැටමාර අත්ත දෙස ඔහු තියුණු ඇසකින් බලා සිටියේ එය හතරේ සීමාව බව ඔහු දන්නා නිසායි…

~~~~~~

ඒ තරගයේ අවසන් මිනිත්තු කිහිපය බව තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා දැන සිටියා… මේ දඬුවම් පහර තරගය ජයග්‍රාහීව නිමකිරීමට ඔවුනට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… මේ සිරස් කණු දෙක අතරින් ඇදීයන සේ ඔහු හිසේ කෙස් ගණනට පහරවල් එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නේ මේ මොහොතේ ඔහු එල්ල කරන පහර මතයි… තරගයට හදවතින්ම අවතීර්ණ වූ ක්‍රීඩකයෙකුට මෙය අතිශය සංකීර්ණ අවස්ථාවක්… තම කණ්ඩායම ඇතුළු සියලු දෙනාම ඔවුන්ගේ බලාපොරොත්තු මේ වනවට කොන්දේසි විරහිතව තබා තිබුණේ ඔහුගේ කරමතයි… අංශක දශමයක වැරැද්දකින් ඒ සියල්ල සුනුවිසුනු වී යන්නේ නැවත ගොඬනගා ගත නොහැකි ලෙසයි… නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ගැඹුරු හුස්මක් ගත් ඔහු රිද්මයානුකූලව අඩි තබමින් දිවවිත් කෙළින් සිටවා තිබු බෝලයට වැරෙන් පහරක් එල්ල කලා… හැඩයෙන් වෙනස් රග්බි බෝලය කරකැවෙමින් හිස් අවකාශය කපාගෙන ඇදීගියේ සාමාන්‍‍ය  හැඩැති ගෝලාකාර පන්දුවකට වඩා වෙනස් නමුත් අලංකාර රටාවක් මවමින්…

“තඩස්….!!!!!!!” මෙතෙක් වේලා කන්දෙක අගුළු වැටුණාක් මෙන් කිසිදු ශබ්දයක් නෑසෙමින් තිබූ ක්‍රීඩකයාට දකුණු ගෝල් කණුවේ පන්දුව වැදෙන හඬ ඉතා තියුණුව ඇසුනා… ඒ සමගම පන්දුව විසිවුයේ වම් පසටයි….

“ගෝල්……….!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! ඕයේ……………..!!!!!!!!!! ”

තම පිලේ ක්‍රීඩකයන් සියලු දෙනාම එකවර කෑගසමින් තමාදෙසට දිවගෙන අයුරු  ඔහු බොඳවූ නෙතින් බලාසිටින්නට වුණා…

ඒ තරගයේ අවසන් පන්දුවාරය බව කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාත් දැන සිටියා… අවසන් පසුපෙළ පිතිකරුවා අනෙක් පස තබාගෙන ඔහු මුහුණ දෙන මෙම පන්දුව තරගයේ ජයග්‍රාහි ලකුණු හතර ලබාගැනීමට ලැබෙන අවසන් අවස්ථාව විය හැකියි… හතරේ සීමාව සලකුණු කරමින් සිටුවා ඇති වියලුණු වැටමාර අත්තට බොහෝ ඈතින් පතිතවන ලෙස ඔහු හිසේ කෙස් ගණනට පහර එල්ල කර ඇති… නමුත් ඒ සියල්ලම මේ වනවිට නිශේධ වී තිබුණා… සියල්ල තීරණය වන්නෙ මේ පන්දුවට ඔහු එල්ල කරන පහරේ සාර්ථකත්වය මතයි…  එහා ගමේ කොල්ලන් උදුරාගැනීමට සැරසෙන තම අභිමානය රැකදෙන තෙක් නියර අයිනේ බලාපොරොත්තු සහගතව බලාසිටින තම සගයන්ගේ මුහුණු දෙස ඔහු වරක් පමණක් හැරී බැලුවා…. නාස්ති කරන්නට කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… ප්‍ර්තිවාදී පන්දු යවන්නා ඒ වන විටත් දිව එමින් සිටියා… තමාට හැකි උපරිම ශක්තියෙන් පිත්ත අල්ලා ගත් ඔහු පන්දු යවන්නාගේ අතින් පන්දුව ගිලිහෙනවාත් සමගම පිතිකරු සීමාවෙන් අඩි කිහිපයක් ඉදිරියට පැන වම් පාදය පෙරට තබා පා ඉන්න දෙසින් එල්ල කරන ඔහුගේ ප්‍රියතම පහර එල්ල කලා….

“ටකස්….” පිත්ත හිස් සුළග කපාගෙන යද්දී පාදය හා පිත්ත අතරින් රිංගූ පන්දුව පිටුපස කඩුල්ලේ වැදෙන ශබ්දය ඔහුට තියුණුව ඇසුනා…

“පොලු……!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!! හේ……!!!!!!!!!!!!!!!!!”

ප්‍රතිවාදී පිලේ ක්‍රීඩකයන් සියලු දෙනා එකවර කෑගසමින් තමා පසුකර පන්දු යවන්නා වෙත දිවයන අයුරු ඔහු බොඳ වූ නෙතින් බලා සිටින්නට වුණා…

 

~~~~~~~

“තව එකක් ගහමුද…? “

ප්‍රතිවාදී ක්‍රීඩයන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“ජේසුනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියේ නිවස බලා දිව යන තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ සපත්තු පොළවේ හැපෙන රිද්මයානුකූල හඬ ඈතට ඇසුණා… පදික වේදීකාවේ යම් ධාන්‍යවර්ගයක් කමින් සිටි පරවියන් රෑනක් ඔහුගේ කලබලයට බියවී ඉවතට පියාඹා ගියා… මගදී හමුවෙන පඩිපෙළ බසින්නට පවා පමානොවූ ඔහු අත් ඇන්ද දිගේ පහළට රූටාවිත් බිමට පැන නැවතත් දුවන්නට වුණා…  ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

“තව එකක් ගහමුද…?”

තම සගෙයෙක් අනෙක් පිලේ උන්ගෙන් ඇසුවේ ගිලිහුණ අභිමානය තරමක් හෝ රැකගන්නා අරමුණින් විය යුතුයි…

“ඒක නෙමෙයි… වෙලාව කීයද…?”

හදිසියේම යමක් සිහිවූ සෙයින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා ඇසුවා…

“දෙයියනේ…. තව පොඩ්ඩෙන් මට අමතක වෙනවා…!” අයෙක් අනුමානයෙන් වෙලාව පැවසූයෙන් එසේ කෑ ගැසූ ඔහු මිතුරන්ගෙන් සමුගන්නටවත් පමා නොවී හනික දුවන්නට වුණා…

කඩිමුඩියෙ නිවස බලා දිව යන කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයාගේ නිරුවත් දෙපා ඉරිතැළුණු පොළවේ වදින රිද්මයට කුඩා දූලි වළාවන් නැගෙන්නට වුණා… නියරේ බිත්තර රකිමින් සිටි කිරල ජෝඩුවක් ඔහුගේ කලබලයට බියවී කෑගසමින් ඉවතට පියාඹා ගියා… කුඹුර කෙළවරේ ඇති ඒදණ්ඩ වෙත දිවීමට පවා පමානොවූ ඔහු වියලුන  ඇලකන්ඩියේ පටු තැනකින් අනෙක් පසට පැන නැවතත් දුවන්නට වුණා… ඔහු තවත් සුළු වේලාවකින් දහදියෙන් සිරුරම තෙත්වෙද්දී නිවසට ළගා වී තිබුණා…

~~~~~~

“අම්මේහ්….රිමෝට් එක දෙන්න…” හති දමමින් තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා…  ඒ පොදුරාජ්ය මණ්ඩලීය තරගාවලියේ සත්කාරක නගරය නිවේදනය කරන මොහොතයි… කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී ගෝල්ඩ් කෝස්ට් හි ජීවත් වූ තඹ කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා සිටියේ දෑගිලි බැදගෙන රූපවාහිනිය දෙස නෙත් යොමාගෙනයි…

“අම්මේහ්… කලේ දෙන්න…” හති දමමින් කලු කැරලි කොණ්ඩයක් සහිත ගැටවරයා තම මවට පවසා සිටියා… ඒ බීමට ජලය ලබාගැනීම සදහා කිලෝමීටර හතරක් පමණ දුරකින් වූ නල ළිද වෙත යෑමට දිනපතා ඔහු පිටත්වන මොහොතයි…කලු යුරෝපීය ඇදුමකින් සැරසුණු සභාපතිවරයා තම තීරණය ප්‍රකාශ කිරීමට සූදානම් වෙද්දී හම්බන්තොට ජීවත් වූ කලු කැරලි කොණ්ඩයක්  සහිත ගැටවරයා සිටියේ වතුර කලයකුත් ඔසවාගෙන ඇදිරි වැටෙන්නට පළමුව අලි මණ්ඩිය පසුකර ගැනීමේ අදහසින් පය ඉක්මන් කරමින්……

“දෙදාස් දහ අට සත්කාරක නගරය වන්නේ ගෝල්ඩ් කෝස්ට්…!!!”

සුදුජාතිකයා එසේ පවසද්දී තඹ කැරලි කොණ්ඩය සහිත ගැටවරයා ප්‍රීතියෙන් කෑගසමින් නිවසින් එළියට දිවගියේ තම නගරයේ සැණකෙළි සිරින් විනෝදවීමට නොබෝ වේලාවකින් එක්වන පිරිස සමග එකතු වීමටයි… මේ කිසිත් නොදන්නා කලු කොණ්ඩය සහිත ගැටවරයා වතුර කලයද ඔසවාගෙන තම නිවස වෙත ළඟා වෙමින් සිටියේ සවස පරාජයේ අඳුරු මතකය සිතින් මකාගැනීමට උත්සාහා කරමින්…

අපරාදෙ ඉස්සරහට පැනලා ගැහුවේ… තව බෝලයක් දෙකක් ඉඳලා ගැහුවනම් සමහරවිට ගහන්නත් තිබුණා… ඔහු තනිවම සිතන්නට වුණා…

Monday, November 7, 2011

38. සරුංගල් විද්‍යඥයා | The Kite Master


Exterior of the Leaning tower of Pisa 1173-1350 Pisa, Italy


වෙනස් විදියට හිතන මිනිස්සු හින්දයි ලෝකේ අලුත් වෙන්නේ කියලා කිව්වට මොකද වෙනස් විදියට හිතන්න ගිහින් හැමදේම අවුල් කරපු මිනිස්සුත් ඉන්නවා… සරුංගල්  විද්‍යාඥයා එහෙම කෙනෙක්…

සරුංගල් විද්‍යාඥයාගේ විනෝදාංශය වුනේ සරුංගල් හදන එක… අනිත් මිනිස්සු වගේම කොටු, ත්‍රිකෝණ සරුංගල් වලින් පටන්ගත්ත මෙයා අන්තිමට සමනල්ලු, කුරුල්ලෝ, මාළු වගේ අමුතු අමුතු සරුංගල් හදන්න පටන් ගත්තා… සරුංගල් විද්‍යාඥයා අනිත් අයට වැඩිය කොච්චර වෙනස් විදියට හිතුවද කිව්වොත් අන්තිමට එයා හදපු සරුංගල් දැකලා මිනිස්සු පුදුමෙනුත් පුදුමෙට පත්වුණා… සැලියුට් ගහන පොලිස් කාරයෙක්… තමන්ගෙම නැට්ට හපන්න රවුමට දුවන බල්ලෙක්… ඉස්සරහටයි පිටිපස්සටයි පිනුම් ගහන ජිම්නාස්ටික් කාරයෙක්… මේ වගේ අරුම පුදුම සරුංගල් ඔහු හැදුවා…

“මේ සරුංගල් හරිම ඒකාකාරීයි…” සරුංගල් විද්‍යාඥයාට දවසක් එහෙම හිතුණා…

“මොකක් හරි වෙනස් දෙයක් කරන්න ඕනේ” ඔහු තමන්ටම කියාගත්තා…

ඔන්න ඔයපාර තමයි සරුංගල් විද්‍යාඥයාට පිස්සු අදහසක් ආවේ…

“සරුංගලයක් හදන්න ඕනේ ඒකේ නැගලා අහසේ පාවෙලා යන්න පුළුවන් විදියේ…”

මීට කලිනුත් මේ අදහස සරුංගල් විද්‍යාඥයාට ඇවිත් තිබුණත් වෙන වෙන සරුංගල් හදන්න මහන්සි වෙමින් හිටි නිසා ඔය අදහස යට ගිහින් තිබුණේ… ඔන්න එදා ඉඳන් සරුංගල් විද්‍යාඥයා නිදිවරාගෙන අහසේ යන්න පුළුවන් සරුංගලයක් හදන්න මහන්සි වුණා…වෙනකක් තියා ඔහු හවසට සරුංගල් අරින්න මුහුදු වෙරළට ගියෙත් නැහැ… වෙනදට සරුංගලයක් එක්ක මූදුවෙරළේ හැමදාම ඉන්න සරුංගල් විද්‍යාඥයා දකින්න නැති එක ගැන මිනිස්සුන්ට කල්පනා වුණත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… ඒ සරුංගල් විද්‍යාඥයා ගැන අහන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

මේ අතරේ සරුංගල් විද්‍යාඥයා තමන්ගේ උත්සාහය දිගටම කරගෙන ගියා… ඔන්න එක දවසක් උදෑසන ඔහු තමන්ගේ නිර්මාණය අත්හදා බලන්න ලෑස්ති වුණා… අහසින් යන සරුංගලේ ඔහු කැමතිම නිල්පාටයි, සුදුපාටයි මෝස්තර දාලා ලස්සන කලා… සරුංගලේ ඉහළ පහළ යන එක පාලනය කළේ සරුංගල් විද්‍යාඥයාගේ ආසනේට ඉහළින් එල්ලුණු නූලකින්… මේකේ අනිත් කොන සරුංගලේ සේරියාවට සම්බන්ධ කරලා තිබුණා… සරුංගලේ හැරෙව්වේ දෙපැත්තේ දාලා තියෙන රැළි වලින්… එක පැත්තකට හරවන්න ඕනි නම් ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කඩලා විසිකළ යුතුව තිබුණා… අනිත් පැත්තට හරවන්න ඕනි නම් ඉතින් නැවත ඊට විරුද්ධ පැත්තෙන් රැළක් කැඩිය යුතුබව කියන්නට ඕනේ නැහැනේ… කඩලා විසිකරන නිසා මේ රැළි බාල කඩදාසි වලින් කපලා තිබුණේ…

පළමු ගමනින්ම නගරේ කෙළවරේ තිබුණ උසම කන්දටත් උඩින් යන්නට සරුංගල් විද්‍යාඥයාට පුළුවන් වුණා… එදායින් පස්සේ ඔහුගේ දිනචරියාව වුණේ සරුංගලේ නැගිලා අහසේ ඉහළට ඉහළට යන එක… මෙහෙම කාලයක් යද්දි ඔහු කොච්චර ඉහළට යන්න පටන් ගත්තද කිව්වොත් ලෝකේ බෝලයක් විදියට පේන තරමටම යන්න පුළුවන් වුණා… මේ විදියට ගිය දවසක ආපහු එන්න ලෑස්ති වෙලා ලෝකේ දිහා බැලුවාම තමයි සරුංගල් විද්‍යාඥයා පුදුම දෙයක් දැක්කේ…

“ලෝක බෝලේ අංශක ගාණක් ඇදයි….!!!!!!”

කලබල වුණු සරුංගල් විද්‍යාඥයා ඇස් එහෙම පිහදාලා ආයෙත් බැළුවා… ඔව් ඇදයි තමයි… හරියටම අංශක විසිතුනක් ඇදයි… තමන්ගේ මිනුම් උපකරණ වළින් මැනලා සරුංගල් විද්‍යාඥයා හොයාගත්තා… ඉන්පස්සේ කලබලෙන් සරුගලේ හසුරුවාගෙන ඔහු ආපහු පොළොවට ආවේ මේ ආරංචිය මුළු ලෝකෙටම කියන්න… ඉස්සෙල්ලාම ඔහු ඒක ඔහුගේ අසල්වැසියා වුණු තැපැල්කාරයාට කිව්වා…

“දන්නවද අපි ඉන්න ලෝකේ ඇදයි… අපි ඉන්නේ ඇදේට…”

“ඇදේට…? “ තැපැල්කාරයා පුදුමයෙන් ඇහුවා…

“ඔව් මේ සේරම ඇදයි… ගස් කොළන්… ගොඩනැගිලි මේ සේරම ඇදේටයි මේ හදලා තියෙන්නේ…” 
සරුංගල් විද්‍යාඥයා විස්තරකලා…

“අනේ සරුංගෝලේ මට ලියුම් බෙදන්න පරක්කු වෙනවා…මම යන්න ඕනේ… ඔහේ මේ බවක් මට කියපු එකට ගොඩක් ස්තූතියි…” මෙහෙම කියපු තැපැල්කාරයා එතැනින් කඩිමුඩියෙන් පිටවුණා…

තැපැල්කාරයා සරුංගල් විද්‍යාඥයා කිව්ව කිසිදෙයක් විශ්වාස කළේ නැහැ… ඒ නිසාම ඔහු ඒ ආරංචිය මගදි හමුවුණු කිරිකාරයාට කිව්වා… මිනිස්සු එක්කෙනෙක් ගෙන් දෙදෙනෙකුටත්, දෙදෙනෙකුගෙන් හතරදෙනෙකුටත්, හතරදෙනෙකුගෙන් අටදෙනෙකුටත් යන මේ විදියට යම් ආරංචියක් කියාගෙන ගියොත් මුළු ලෝකෙම ඒක දැනගන්න ලොකු කාලයක් යන්නේ නෑ… මිනිස්සු මේ ආරංචිය බොරුවක් බව විශ්වාසකළ නිසා මේක ඊටත් වැඩිය වේගෙන් පැතිරුණා… ටික දිනකින් හැමෝම දැනගත්තා ලෝකේ ඇද බව…ඒත් කවුරුත් ඒ ගැන එකිනෙකාගෙන් ඇහුවේ නැහැ… එහෙම වුණේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

කාලෙකට පස්සේ ලෝකේ බලවත්ම රාජ්‍යයේ නායකයාට දූෂණ චෝදනාවක් එල්ල වුණා… ඒ ගැන ඔහු ප්‍රසිද්ධියේ උත්තර බැඳිය යුතුයැයි ලෝකේ සේරම මිනිස්සු බලකර හිටියා… මේ උද්ගෝෂණ කොතරම් බලවත් වුණාද කිව්වොත් ඒ බලවත් රාජ්‍ය නායකයාට උත්තර බදින්න දිනයක් නිවේදනය නොකර ඉන්න බැරි තරමටම බලවත් වුණා…

ඉතින් රාජ්‍ය නායකයා උත්තර බඳින්න පොරොන්දු වුණු දිනය උදා වුණා.. හැමෝම තම තමන්ගේ වැඩ රාජකාරී නවත්වලා රාජ්‍ය නායකයා කතාකරනකල් බලන් හිටියා… පොරොන්දු වුණ වෙලාවටම ඔහු තම නිල නිවාසයේ විශේෂ පීඨිකාවක් ඉදිරියට ඇවිල්ලා ගාම්භීර විදියට මෙහෙම කිව්වා…

“ඔව් මේ චෝදනා ඇත්ත වෙන්නත් පුළුවන්, බොරු වෙන්නත් පුළුවන්… මේවා ඇත්තද බොරුද කියන එක නෙවෙයි වඩාත් වැදගත් වෙන්නේ… මෙහෙම දූෂණ වෙන්න ඉඩ තියෙනවානම්, එහෙම වෙන්න හේතුව මොකද්ද කියන එකයි…”

රාජ්‍ය නායකයා එහෙම කියද්දී කිහිපදෙනෙක් හිස වනා ඒක අනුමතකලා… අනිත් අයත් ඒ එක්කම හිස වනන්න ගත්තේ තමන් හිස නොවැනුවොත් මෝඩයෙක් ලෙස හිස වනාපු අය හිතාවි යැයි බයට…

“ඉතින් ඒ මූලික හේතුව අපි සොයාගත්තා…මේ ප්‍රශ්නය විතරක් නෙවෙයි… අපි මූණදෙන හැම ප්‍රශ්නෙටම හේතුව ඒකයි… ඒ මොකද්ද..? අපි මේ ජීවත් වන පොළව ඇදයි…!”

හැමෝම දැනසිටි ඒ රහස රා‍ජ්‍ය නායකයා හෙළිකලා… තමන් මේ ගැන දැනසිටියත් ඔහු කියන තෙක් කල්පනා නොවීම ගැන හැමදෙනාම පුදුම වුණා…ඉන්පසු ඔවුන් ගැනම ලැජ්ජා වුණා…සමහරෙක් තම නායකයා ගැන ආඩම්බරවුණා…

එතැන් පටන් ලෝකයේ මිනිස්සුන්ට තිබූ ලොකුම ගැටලුව වූයේ ලෝකය ඇද වීමයි… වැඩිදෙනා රාජ්‍ය නායකයා වාගේම තමන්ගෙන් සිදුවෙන වැරදි වලට නිදහසට කාරණාවක් ලෙස මෙය ඉදිරිපත් කරන්නට වුණා… උදාහරණයක් ලෙස, අයෙක් තමන්ගේ කොණ්ඩය කපා ගැනීමෙන් පසු ඒ ගැන අසතුටට පත්ව

“ඔහේ මගේ කොණ්ඩේ විනාශ කරලා නොවැ…!” යැයි පැවසූවොත්, බාබර්වරයා කිව්වේ

“ඉතින් ඔහේට අමතක වුණාද මම කොණ්ඩය කැපුවේ ඇදයට ඉඳගෙනයි කියලා..? මේ තරමින් වත් කැපූ එක ගැන කෘතඥ වනවා වෙනුවට බැණ අඬගහන ඔහේ අපූරු මිනිහෙක් නොවැ..!” කියලායි…

මෙය පාලනය කළනොහැකි තරමට වර්ධනය වූ පසු රාජ්‍ය නායකයා නැවතත් විශේෂ කතාවක් කලා…

“මේ ප්‍රශ්න සියල්ලටම විසඳුමක් ගෙනෙන්නට අප තීරණය කලා… අපි ලෝකය කෙළින් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක් දියත් කරනවා…”

එසේ පැවසූ ඔහු ඉන්පසු ලෝකය කෙළින් කිරීමේ ව‍යාපෘතිය ගැන දිගින් දිගටම විස්තරකලා… බොහෝ දෙනෙකුට ඒ සැලැස්ම නොතේරුණ නිසා තේරුණ අය නොතේරුණ අයට විස්තරකර දෙන්න පටන්ගත්තා… මෙය කොතරම් පැතිරුණාද කිව්වොත් අන්තිමට හැමදෙනාම වාගේ නොතේරුණ අයට විස්තර කරදෙන අය වී තිබුණා… ඔවුන්ට නොතේරුණ අය සොයාගැනීමට හුගක් වෙහෙසෙන්න සිදු වුණා…

ව‍යාපෘතියේ හැටියට ලෝකය කෙළින් කිරීමට නම් ඒ වටා කඹයක් බැඳිය යුතුව තිබුණා… ඒ සඳහා හැමදෙනාම තමන්ට අයත් ඉඩමේ හරහට කඹයක් දමා දෙකොන තම අසල්වැසියන්ගේ කඹ වලට ගැටගැසුවා… මුළු ලෝකයේම මිනිස්සු මේ වැඩේට මූලිකත්වය දුන් නිසා ලෝකය හරහා කඹයක් බැඳීමට එතරම් ලොකු කාලයක් ගතවුණේ නැහැ…

ඉන්පසු කතාකරගත් වේලාවකදී ලෝකයේ උතුරු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් ඉහලටත්, දකුණු ධ්‍රැවයේ හිටි මිනිස්සු කඹයෙන් පහළටත් ඇදිය යුතුව තිබුණා… ඉතින් සැලසුම් කල විදියට එකම වේලාවකදී සියලුදෙනාම කඹයෙන් ඇද්දා… සමහර කම්මැලි මිනිසුන් කඹය අල්ලාගෙන අදිනවා වගේ බොරුවට රගපෑවා වුණත් කෙළින් ජීවත් වීමට කැමති මිනිස්සු කැපවීමෙන් ඇද්ද නිසා ලෝක බෝලය කෙළින් වුණා… දැන් හැමදෙයක්ම කෙළින්… හැමදෙනාම ප්‍රීතියෙන් ප්‍රීතියට පත්වුණා…

නමුත් මේ සතුට වැඩි වෙලාවක් තිබුණේ නැහැ… මෙතෙක් සාදා තිබුණු ගොඩනැගිලි සේරම සාදා ඇත්තේ ඇදට බව පෙනෙන්නට වුණා… තත්වය බැරෑරුම් වුණේ අලුත් ගොඩනැගිලි හැදුවාමයි… අලුත් ගොඩනැගිලි කෙළින් ඇති විට පරණ ගොඩනැගිලි වල ඇදය වඩාත් කැතට පෙනෙන්නට වුණා…

ලෝකය කෙළින් වූ පසු මිනිස්සු මූණ දුන් බරපතලම ගැටලුව ඒකත් නෙවෙයි… කලක් තිස්සේ ඇදවුණු ලෝකයේ ජීවත් වී සිටි මිනිසුන්ට තම ගුරුත්ව කේන්ද්‍රය නිවැරදිව තබාගෙන නොවැටී සමබරව ඇවිදීමට නම් පසු පසට ඇලවී ඇවිදින්නට සිදුවුණා… අනෙක් අර්ධ ගෝලයේ සිටි මිනිසුන්ට ඇවිදින්නට වුණේ ඉදිරියට ඇලවීගෙනයි… එක් අර්ධගෝලයක සිට අනිත් අර්ධගෝලයට ගමන්කරන සංචාරකයින්ට තත්වය තවත් බැරෑරුම් වුණා… ගමන ආරම්භයේදී පසුපසට ඇලවීගෙන ගමන් කළයුතුව තිබුණු ඔවන් ගමන අවසාන කළ යුතුව තිබුණේ ඉදිරියට ඇලවීගෙනයි… වයසට යෑම නිසා කුදුවූ සිටි නමුත් දැන් කෙළින් ඇවිදිය හැකි මහල්ලන් කිහිපදෙනෙක් හැරෙන්නට අනෙක් සියල්ලන්ටම මෙය මහත් අපහසුවක් වුණා…

මිනිසුන් කරන හැම ක්‍රියාවක්ම වඩාත් ප්‍රවේසමෙන් කළයුතුව තිබුණා… උදාහරණයක් ලෙස තේ කෝප්පයක තේ බොනවිට පවා තේ නොඉහිරීම සඳහා තේ කෝප්පය ඇල කර අල්ලාගෙන සිටිය යුතු වූවා… තරුණයින් මෙය පහසුවෙන් ඉගෙනගත්තත් සුන්දර තරුණියන්ට මෙය පහසු වූයේ නැහැ…

“මේ මොන විකාරයක්ද…?!!!”

තම වටිනා ඇඳුම් වල තේ ඉහිරවාගත් ඔවුන් පසුපසට ඇලවීගෙන එසේ කෑ ගසමින් සිටියා…

මෙයින් අපහසුවට පත්වූයේ මිනිසුන් පමණක් නෙවෙයි… බටහිට අර්ධ ගෝලයේ සිටි සිව්පා සතුන් තම සමබරතාවය රැක ගැනීම සඳහා පසුපස ගාත් වලින් හිටගෙන ඇවිදින්නට පටන්ගත්තා… නැගෙනහිර අර්ධගෝලයේ සිටි ඒ වර්ගයේම සතුන් පත්වුණේ ඊටත් වඩා අකරතැබ්බයකට… උන් ඉදිරිපස ගාත්වලින් ඇවිදිය යුතුව තිබුණා… අධික උසින් යුතු ජිරාෆ් වැනි සතුන්ට මෙසේ කිරීමට හැකියාවක් ලැබුණේ නෑ… උන් “බ්‍රොවෑක්… බ්‍රොවෑක්…” යන ලෙසින් හඬනගමින් ඇවිදීමට නොහැකිව තැන් තැන් වල වැටී සිටියා…

මේ හැමදෙයින්ම පීඩාවට පත්වුණු මිනිස්සු මොනවා කරන්නද කියලා දැනගෙන හිටියේ නෑ… ඇලවී ඇවිදිමින් එකිනෙකාට බැනඅඬගසා ගනිමින් සිටියා හැරෙන්නට… අපි ආයෙත් උද්ගෝෂණය කරමු… නැවත ලෝකය ඇද කරන්න කියලා උද්ගෝෂණය කරමු… මිනිස්සු අන්තිමට කතාවුණා… මේ උද්ගෝෂණ වලට නායකත්වය දුන්නේ ඒ රාජ්‍යයේ විපක්ෂ නායකයා…

“පාලකයා ගෙදර යවමු… ලෝකය යළි ඇද කරමු..!” විපක්ෂ නායකයා කෑගැහුවා…

“යවමු, යවමු..! කරමු, කරමු..!” ඇදවෙච්ච මිනිස්සුත් කෑගැසුවා…

බෝඩ් අල්ලාගෙන මිනිස්සු ඇදයට ඇවිදින මෙහෙම පෙළපාලියක් ලෝකේ කලින් තිබුණේ නැති වුණාට කාටවත් ඒකේ වෙනසක් පෙණුනේ නෑ… මේ උද්ගෝෂණ කෙතරම් සාර්ථක වුණාද කියතොත් නොබෝ දිනකින්ම පාලකයා බලයෙන් පහකරලා විපක්ෂ නායකයාට බලයට එන්නට පිළිවන් වුණා…

ලෝකය නැවතත් ඇදකරන්නට කරන්න තිබුණේ පහසු දෙයක්… නැවතත් පෙර පරිදිම කඹයක් බැඳලා ලෝකය කරකවන්නයි… නමුත් අලුත් පාලකයා ඒකට එකග වුණේ නැහැ… අපි අලුත් පාලනයක්.. පරණ සැලසුම් කිසිවක් අපි ක්‍රියාත්මක කරන්නේ නැහැ… වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් යෝජනා කරන්න අපි අලුත් කමිටුවක් පත්කරනවා… අලුත් පාලකයා එහෙම නිවේදනය කලා…

ටික කලකින් ලෝකයේ දක්ෂම විද්‍යාඥයන්ගෙන් ගෙන් සෑදුණු මේ කමිටුවෙන් ලෝකය ඇලකරන්න ඔවුන්ගේ අළුත් යෝජනාව ඉදිරිපත් කළා… ලෝකයේ දකුණු  අර්ධගෝලය කෙලවරේ එක්තැනක් සටහන් කල ඔවුන් මෙහෙම කිව්වා…

“මුළු ලෝකයේම මිනිසුන් මෙතැනට එක් රැස් විය යුතුයි…එවිට ඔවුන් සියලුදෙනාගේම බර එකතැනකට එකතුවීම නිසා යෙදෙන පීඩනයෙන් ලෝකය ඇල වෙන්නට පටන්ගනීවි…”

ඇදවී ජීවත් වීමෙන් හෙම්බත්ව සිටි මිනිසුන් සියලු දෙනා මේ ඉල්ලීමට එකග වී පවුල් පිටින් මෙතැනට යන්නට පිටත් වුණා… ඇරත් ලෝකයේම මිනිසුන් එකතැනකට එකතු වීම බලන්න වටින දෙයක් බවයි ඔවුන් හිතුවේ… තමන්ගේ පාසැල් කාලයේ පරණ පෙම්වතිය වුණත් දැකගන්න පුළුවන් වෙයි… සමහරු එහෙමත් හිතුවා…

දිනගණනක ඇවෑමෙන් ලෝකයේම මිනිස්සු මෙතැනට එක් රැස් වුණත් ලෝකය ඇලවුණේ නැහැ… විද්‍යාඥයන් යුහුසුළුව ගනන් හැදුවා… ඉන්පසු ඔවුන් එකට එකතු වී වාද කලා… අවසානයේ සියළුදෙනාම එක මතයකට පැමිණියාක් සේ මෙසේ නිවේදනය කලා…

“අපගේ ගණනය කිරීම් වලට අනුව ලෝකය ඇලවෙන තරමේ පීඩනයක් යොදන්නට නම් මෙතැන ඉන්න ජනගහනය දෙගුණ විය යුතුයි…”

මෙසේ කියූ වහාම එතැන හිටි ගැහැනුන් එකිනෙකාගේ මුහුණට මුහුණ බැළුවා… පිරිමින් ඔවුන් දෙස කෑදර ලෙස බලා සිටියා… අපගේ කතානායකයා සරුංගල් විද්‍යාඥයා ඉදිරියට ආවේ මෙන්න මේ වෙලාවේයි… ඇරත් ලෝකයේම මිනිසුන් ඉන්නා තැනනම් ඔහුත් එතැන ඉන්න එපායෑ…

“මම කියන්නම් උපායක්...!” හැමෝටම ඇහෙන්න සරුංගල් විද්‍යාඥයා ඔහුගේ සුදු දිගැටි රැවුල අතගාමින් පැවසුවා…

“උඹලා දන්නේ නැතිද වර්ගඵලය අඩු වෙද්දී පීඩනය වැඩි වෙන වග..? ඉති අපේ යටිපතුල් වල වර්ගඵලය බාගෙකින් අඩු කරගත්තානම් පීඩනය දෙගුණ කරගන්න පුළුවන් නොවැ…අපි හැමෝම තනිකකුලෙන් හිටගන්නයි තියෙන්නේ… එතකොට ජනගහනය දෙගුණ කරගන්නේ නැතුවම පීඩනය දෙගුණ කරගත හැකියි…”

මෙය ඇසූ අනෙක් විද්‍යාඥයන් සියළුදෙනාම තම අසුන් වලින් නැගිට අත්පොළසන් දෙන්නට වුණා… එය දුටු අනෙක් ජනතාවත් අත්පොළසන් දෙන්නට වුණා… මුළු ලෝකයේම සියලුම දෙනා අත්පොළසන් දෙනවිට ඇහෙන ශබ්දය ඝෝෂාවක් වී ඇසුණේ හරියට අහස පෙරළෙනවා වාගේයි…

එතැන් පටන් මේ වයාපෘතියේ මූලිකත්වය සරුංගල් විද්‍යාඥයාට ඉබේම ලැබුණා…

“අපි සේරම තනිකකුලෙන් හිට ගත්තාම ලෝකය ඇලවෙන්නට පටන් ගනී… හරියටම අංශක විසි තුනකින් අපි නවත්තා ගතයුතුයි… මේක කරන්නේ කොහොමද…?”

කවුරුත් ඔහුට උත්තර දෙනවා වෙනුවට ඔහුම උත්තර දෙනකල් බලා සිටියා…

“හරි… මම සරුංගලයෙන් ඉහළට ගිහින් ලෝකය ඇලවෙන හැටි බලා හිටින්නම්… හරියටම අංශක විසිතුනක් ඇලවුණු තැන මම රතු කොඩියක් වනනවා… එතකොට හැමෝම කකුල් දෙකෙන් හිටගන්න ඕනේ…”

සරුංගල් විද්‍යාඥයාගේ සැලැස්ම වරදින්නට කිසිම විදියක් තිබුණේ නැහැ… දිගට දිගේ රතු කොඩියකුත් අරන් ඔහු ඉහළ අහසට පාවෙලා ගියා… පොළවේ සිටියෙකුගේ විධානයෙන් හැමදෙනාම තනිකකුලෙන් හිටගත්තා… ඔන්න ලෝකය ටිකින් ටික නැවතත් ඇල වෙන්නට පටන් ගත්තා…හරියටම අංශක විසිතුනක් ගිය තැන සරුංගල් විද්‍යාඥයා රතු කොඩිය වනන්නට වුණා… 

ලෝකයේම මිනිසුන් එක්රැස් වූ තැනක හැමෝම එකවිදියටම යමක් අනුගමනය කරාවියැයි පිළිගන්නට ඔබට අමාරු ඇති… ඔව් මෙතැනදීත් සමහරෙක් කකුල බිම තියන්න තරමක් ප්‍රමාද වුණා… මේනිසාම හරියටම අංශක විසිතුනේදී ලෝකය ඇලවෙන එක නවත්වාගන්නට ඔවුන්ට පිළිවන් වුණේ  නැහැ…

සරුංගල් විද්‍යාඥයා නැවතත් ආනතිය මැන බැලුවා…

“අංශක විසිතුන හමාරයි…” ඔහු තමන්ටම කියාගත්තා…

ආපසු එන්න පිටත් වුණු සරුංගල් විද්‍යාඥයාට ජීවිතයේ ප්‍රථම වරට තමාට වැරදීමක් සිදුවී ඇති බව වැටහුණා… ඔහු සරුංගලයට රැලි කැපුවේ ලෝකය කෙලින් තිබියදී ඇති මිම්මටයි… නමුත් දැන් ලෝකය නැවතත් ඇද නිසා ආපසු ගමන නිමාකිරීමට ප්‍රථම ඔහුගේ සරුංගලයේ රැල් අවසන් වුණා… හරිහැටි හසුරුවා ගැනීමට නොහැකි නිසා  ලෝකයෙන් ඉවතට ඇදී යන්නට වුණු සරුංගලය, සරුංගල් විද්‍යාඥයාත් රැගෙන ඈතින් ඈතට පාවී ගියා…

මේ අතර නැවත කෙළින් ඇවිදීමට හැකි වීම නිසා මිනිසුන් අධික ලෙස සතුටත් පත් වුණා… ලෝකය කෙළින් කළාට පසුව සෑදූ ගොඩනැගිලි නැවතත් ඇදයට පෙනෙන්නට පටන් ගත් නිසා එම අළුත් ගොඩනැගිලි කඩාදැමීමට යෝජනා වුණා… නමුත් ඉතාලියේ එක ගොඩනැගිල්ලක් පමණක් නොකඩා ඉතිරි කිරීමට තීරණය කළේ මෙවැනි සිදුවීමක් සිදුවූ බවට සාක්ෂියක් වශයෙනුයි…

ටික දිනකින් හැම දෙයක්ම නැවතත් සාමාන්‍ය තත්වයට පත්වුණා… ලෝකයේ මිනිස්සු නැවතත් කෙළින් ජීවත් වන්නට පටන් ගත්තා… කෙළින් කීවාට ඉතින් ප්‍රවේශමෙන් නිරීක්ෂණය කළොත් ඕනෑම කෙළින් මිනිසෙකුගේ අංශක භාගෙක පුංචි ඇදයක් ඔබට පෙනේවි… මේ හැමදේටම මූලික වූ සරුංගල් විද්‍යාඥයා නැවත නොපැමිණියේ ඇයිදැයි හැමෝටම ගැටළුවක් වුණත් එකිනෙකාගෙන් ඒ ගැන කවුරුවත් ඇහුවේ නැහැ… එහෙම වුනේ මේ ගැන කතාකරන්න හදන හැම වෙලාවකදිම මිනිස්සුන්ට ඊට කලින් කතාකරන්න වෙන දෙයක් තිබුණ නිසායි…

ඉතින් මෙය කියවන ඔබ කවදා හෝ ඒ ඇදට සාදාඇති ගොඩනැගිල්ල අසලට ගියහොත් සරුංගල් විද්‍යාඥයා ගැන සිහිකර ඔහුට කෘතඥ වෙන්නට අමතක කරන්න එපා…

~ නිමි ~

ප.ලි. – ඉන්ස්පයර්ඩ් බයි: දන්න අය දන්නවා..... – සිත් ආර
Smile

Saturday, October 15, 2011

37. මියගිය පෙම්යුවල | The dead lovers

dc
එකමත් එක වෙලාවකදි...
තරමක් දුර කැලෑවකදි...
කවුරුත් නැති ඇසිල්ලකදි...
සිදුවුණු මෙය ලොවට හොරෙන්…
කියනෙම් සිදුවූ සැටියෙන්…
විමසා ඔබගේ නුවණින්…
සටහන් කර යන්න ඉතින්… 

ඇය පවසන මේ කතාව...
පෙම්යුවළක් එකට මියෙන…
තව දුක්බර කතාවක්ද…?
නැතොත් සතුටු නිමාවක්ද…
සුරංගනා කතාවක්ද..?


ආදරයේ අකුරු හතර...
ගුලි කරලා එකට තබා…
කිටි කිටියේ මිරිකාලා…
වෑස්සෙනා අමෘත බිඳ…
මල් කෙමියක තවරාලා… 

පොහොට්ටුවක සඟවාලා…
ගල් උමගක ඇතුළු කොනක…
වැහිදිය පිරි විල් පතුලක…
ගල් සිදුරක සිර කරලා…
යකඩ දොරින් උමග වසා…
යදම් වැලින් අගුළු දමා…
ඒ මත කටු පඳුරු වවා…
සිර කෙරුවෙමි ගිරි දුර්ගෙක…
ඉතින් සොයනු නැති කියලා…


ඈත එපිට කුමාරවරු…
විර කතා වල රජවරු…
අමෘත බිඳ සොයනු රිසින්…
දහස් ගණන් සෙබළ මුලින්...
තව සමහරු කල්ලි පිටින්…
ඉද හිට තනි තනිව ඉතින්…
ගල් උමගයි හොයන්නේ…
අසලටවත් නොඑන්නේ…
නොමැති කිසිත් බියක් සිතට…
සුවසේ මා හිඳින්නේ…


නමුත් දිනෙක හිටිහැටියෙම...
සූර වීර කුමාරයෙක්…
සොරකම් කර මන්තරයක්…
සුරංගනා කතාවකින්…
මග සලකුණු අනුව යමින්…
ගිරි දුර්ගය තරණය කර...
උමගට මග සොයාලා…
ගන සැරේට වවා තිබුණු …
කටු පදුරුත් කපාලා...
මහන්සියක් නැතුවම වැඩි…
යදම් කඩා දමලා...
උමං දොරේ යතුරු හිලට...
රන් පැසකින් ගත් යතුරක්...
දමන තුරා නොදිටිමි මම...
ඔහු පැමිනුණු දුර නිහඬව…
මම පැරදෙන බව නිසැකව…


එපා කියන්නට කලියෙන්…
හරියට ගැලපෙන යතුරින්…
උමගේ දොර විවර කලා…
වසර ගණන් හිරකරාපු…
ආදරයේ අමෘත දිය…
ගලා ගියා උතුරාගෙන…
ගස් වැල් ගල් පෙරළාගෙන…
මගේ පුංචි කුමාරයගේ…
පළමු හාදුවටත් කලින්…
ඔහුයි මමයි ගිලිගියා…
ආදරයේ සැඩ පහරේ…
ලොවේ හොඳම කිමිදෙන්නොත්…
ඉතින් අපව සොයනු නොහේ...


මුල් පිංතූරය : ජපන් ඡායාරූපශිල්පී Tomohide Ikeya ගේ ඡායාරූපයක්.   http://bit.ly/qsxApq

Wednesday, September 28, 2011

36. දේශද්‍රෝහියෙකුගේ මරණය | The Death of a Traitor

dd_gibbet

බස් නැවතුම යැයි කවුරුත් හිතේ සෝදිසියට සලකුණු කරගෙන හිටි ලුණු මිදෙල්ල ගහත් ගරාවැටුණු ජයේ මුදලාලිගේ කඩපිලත් අතර හරියෙදි පාපුවරුවේ අන්තිම පඩියේ හිටි මම බිමට පැනගත්තේ බස් රථය  නතරවෙන්නටත් කලින්… දේවාල හන්දියෙන් බහින්නට සිටි එකම මගියා මා වූ නිසාදෝ ඉවතට පැනගත් සැනින්ම නොනවත්වාම ධාවනය වුණු බස් රථය සම්පූර්ණයෙන්ම පසුවෙන තෙක් පාර මාරුවීමේ සූදානමින් මම මොහොතක් රැදී හිටියා…

සැරදමා ඉගිලුණු බස් රථයේ පහව යන දුම් රොටු වලට ඔබ්බෙන් අතුරු පාර හරහා ඇද තිබුණු ගමේ මරණාධාර සමිතියේ කහ ගැහුණු පාලම් කොඩිය මඳ සුළගේ සෙලවෙමින් තිබුණේ මාව පිළිගන්නට වාගේයි…

නිවන් සැප ලැබේවා…

කෝප්‍රල් විජිත ජයසිංහ

රණවිරුවාට

වයධම්මා සංඛාරා!

දේවාල මාවතේ විසූ

ඒ ආසන්නයෙන්ම ඇද තිබූ කිරි සුදු රෙද්දක කළු අකුරින් ලියා තිබූ අකුරු පේළි අතරේ මගේ ඇස් අපිළිවෙළට දිවගියා…

කෝප්‍රල් විජිත ජයසිංහ

වැලි කෙළියේ පටන් මාගේ දුක සැප බෙදාගත්, ගමෙහි සිටි එකම මිතුරාගේ නම දෙවරක් කියවන්නට අවශ්‍යතාවයක් නැති වුණත් මාගේ ඇස් බැනරයේ සදහන් වූ ඒ නම හරහා නැවතත් දිවගියේ ඇයිදැයි මට වැටහුණේ නැහැ… බෝඩිමේදී අම්මාගෙන් ලද දුරකථන ඇමතුම හරහා මරණය ගැන ආරංචිය ලද දිනයේ පටන් මා තුළ නොවූ ශෝකයක් එම අකුරු පේළිය නැවත කියවද්දී මේ මොහොතේ කොහෙදෝ සිට පැමිණ තැන්පත් වුණේ හිතාගන්න අපහසු වේගයකින්… දීර්ඝ සුසුමක් හෙලූ මා බර අඩි තබමින් පාලම් කොඩිය හරහා නිවස බලා පිය මනින්නට වුණා…

විජිතගෙ නිවසේ සිට කනත්ත දක්වා යන පාරේ සුදු කොඩි ගැට ගැසීමට කණු සිටවමින් කොල්ලෙක් මා හා සිනාසුණේ අනුමානයෙන් හඳුනාගෙන විය යුතුයි… ගම හා මා අතර තිබූ සම්බන්ධය මාස කිහිපයකට සැරයක් අම්මාගෙ සුවදුක් බැලීමට එන සති අන්ත ගමනකට කලක පටන්ම සීමාවී තිබූ නිසා, කරදඩු උස්මහත්වූ ගැටවරයින් මාවත්, මා ඔවුන්වත් නොහැදීනීම පුදුමයක් නෙවෙයි…

ඔවුන් පසුකර මද දුරක් පියනැගූ මාගේ ගමන් වේගය බාලවූයේ වෙල්යාය ආරම්භයේ ගලායන ඇලට උඩින් වැටී තිබූ බෝක්කුව සමීපයේදීයි... දිගු කලකට පෙර මාත් විජිතත් අප දෙදෙනාගේ දුක් දෝමනස්සයන්, සතුටු සිනා, සහ අනාගත සිහින යනාදී මෙකී නොකී සියල්ලම බෙදාගැනීමට තෝරාගත් තිප්පල වූ මේ බෝක්කුව අපදෙදෙනාගේ මිතුදම තරම්ම තදින් අප හා බැදී පවතින්නක්… ගමන මඳක් පමා කල මා බොඳවූ නෙතින් ඒ සිමෙන්ති බැම්ම මත වාඩිවූයේ වසර දහයකට පමණ පසුව විය යුතුයි… අපට ආවරණය සැපයූ පසෙකින් නිදහසේ වැඩුණු වල් කැන්ද පඳුර දැන් අතු ඉති මේරූ වෘක්ෂයක්… බෝක්කුවට යටින් වූ දොළ පාර ගලාගියේ නම් මීට වසර දහයකට පෙර අප දෙදෙනාගේ කතා වලට හූමිටි තබමින් ගලාගිය ඒ සුපුරුදු හඬින්මයි… විජතගේ මුළු පවුලේම ජීවිත වෙනස් කල ඒ සිදුවීම වුණු දිනයට පෙරදින රාත්‍රියේ අප දෙදෙනා මේ බෝක්කුව උඩ වාඩිවී කල් මැරූ අයුරු මට සිහිවූයේ නිතැතින්…

--

“ෂික් තාත්තත් ඉඳලා ඉඳලා මේ මගුල හෙටම පටලගත්තනේ...… දැන් ඉතින් හෙට මට කඩෙන් හෙල්ලෙනවා බොරු…”

එදා විජිත එහෙම කිව්වේ අපි සතියක ඉඳන් සැලසුම් කල රස්තියාදු ගමනක් කඩාකප්පල් වෙන්නනට යන එක කණගාටුවෙන්… විජිතගේ පියාණන් වූ ජයෙ මුදලාලි පෝසතෙක් නොවුණත් පාර අයිනේ වූ බිම්කඩක සුළුවෙන් කරගෙන ගිය සිල්ලර කඩය විජිත ඇතුළු පවුලේ හතර දෙනෙකුගේ උවමනා එපාකම් සපුරන්නට ප්‍රමාණවත් වුණා…

ගම්මාන දෙකක් වෙන්වන සීමාවෙ පිහිටි මෙම කඩය එක් දිනක් හෝ නොවසා තැබීමට ජයෙ මුදලාලි වගබලා ගත්තේ එය ව්‍යාපාරයකටත් වඩා සේවයක් ලෙස ඔහු සැලකූ නිසා විය යුතුයි… විජිතගේ නංගීගේ කොටහළු මගුල් දිනයේ පවා කඩය වරුවක් හැර තිබෙනු මට මතකයි… බැහැරකට යන්නට වෙන අවස්ථා උවමනාවෙන්ම මග හැරි ජයේ මුදලාලි, කලාතුරකින් දිනෙක එලෙස යන්නට වෙන අවශ්‍යතාවයක් සපුරා ගත්තේ විජිතව කඩයෙ තැබීමෙන්… කලින් සැලසුම් කරගත් අපගෙ රස්තියාදුව කඩාකප්පල් කරමින් මේ පහන් වෙන්නට යන්නෙ එවැනි දිනකටයි…

“මොකද්ද දැන් කරන්නේ බන්…”

විජිත ඇහුවේ ඔහු නිසා මාගේ සැලසුම් කඩාකප්පල් වීම ගැන මා කෝපයෙන් සිටීදැයි වටහාගන්නටත් එක්ක විය යුතුයි…

“මොනවා කරන්නද… අතෑරලා දාමු…”

මා එසේ කියන්නට කටගත්තත් එය වැළකුණේ අප ඇස් නිලංකාර කරමින් මුහුණ හරහා වැදුණු විදුලි පන්දම් එළියකින්…

“උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…”

අප හඳුනාගත් පසු විදුලි පන්දම් එළිය ඉවතට හරවා එසේ ගෝරනාඩු කරමින් අප ඉදිරියෙන් පිය මැන්නේ දවසේ වැඩකටයුතු හමාර කර කඩය වසා නිවසට යන ජයේ මුදලාලියි… රටේ තැන තැන ඇතිවෙමින් තිබූ චේගුවේරා කාරයින් යැයි හංවඩු ගැසුණු තරුණ පිරිසකගෙ නොසන්සුන්තාවයක් සහ යම් යම් සිදුවීම් ගැන අහල පහල ගම් වලින් ආරංචි ලැබෙමින් තිබුණත් අප ගමෙ එවැනි ගැටළුවක සේයාවක් නොතිබුණු නිසා අනතුරු හගවනවා හැර අප ගෙදර කැඳවාගෙන යන්නට තරම් ලොකු උනන්දුවක් ඔහුට නොතිබෙන්නට ඇති…

“දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…”

අපට පිටුපා කළු චායාවක් සේ ඈත්ව තම පියා දෙස බලමින් විජිත පැවසුවේ පරාජිත හඬින්…

පසුදා තරමක් පමා වනතෙක් නිදාගත් මා අවදි වුණේ කවුරුන් හෝ සැරෙන් කතාකරන හඬකින්… මාගේ පියාණන් ගමෙහි ග්‍රාම නිලධාරීවන නිසා, බොහෝවිට සිල්ලර නඩු හබ විසඳාගැනීමට ඔහු වෙතට එන ගැමියන් විටෙක මෙසේ උස් හඬින් වාද කර ගැනීම අරුමයක් නොවූ නිසාම ඒ ගැන උනන්දුවක් නොදැක්වූ මම මුළුතැන්ගෙට වැදුණේ මෑණියන්ගේ අතින් උදෑසන කහට කෝප්පය සූදානම් කරගන්නා අදහසින්…

“කවුද අම්මේ ඉස්තෝප්පුවේ කෑ ගහන්නෙ…”

මුව දෝවනය කරන අතරේ මා ඇසූයේ ඇය මට අමතරව තවත් අමුත්තෙකුට තේ පිළියෙල කරමින් සිටින බව දුටු නිසයි…

“අර ජයේ මුදලාලිට කරදරයක් වෙලා…”

“මොකද්ද…?”

“චේගුවෙරාකාරයෝ කඩ ලෑල්ලේ පෝස්ටරයක් ගහලා…කඩේ අරින්න එපා කියලා…”

“නෑ…!? ඉතින් මෙහේ ඇවිල්ලා තියෙන්නේ ඇයි..?”

“මෙහෙ ඇවිල්ලා තියෙන්නේ තාත්තට කියන්න… වෙන මොකටද...?”

තවත් මඳ වේලාවකට පසු වෙල්යාය හරහා වැටුණු පාර දිගේ බයිසිකල් දෙකකින් අප දෙදෙනා ඉගිලෙමින් සිටියේ අනපේක්ෂිතව ඇලවුණු මේ පෝස්ටරයේ පිහිටෙන් කලින් සැලසුම් කරගත් ගමන අවලංගු නොවීම පිළිබඳව අප්‍රමාණව සතුටු වෙමින්...

“ උඹලගේ තාත්තා කඩේ වහලා කොළඹ යනවා කිව්වද විජිත…?”

වැලිපාරේ ඇඳෙන විජිතගේ බයිසිකලයේ ටයර් සලකුණු වලට සමාන්තර ඉරි අඳිමින් ඔහු සමීපයෙන් බයිසිකලය පදවන මම අහන ප්‍රශ්නයට විජිත පිළිතුරු දෙන්නේ ඒ හා සමානවම අප බයිසිකල් අතර ඇති දුර රඳවා ගන්නට වෑයම් කරන අතරේයි...

“කොළඹ යන්නෙ නෑ… කඩේ අරියිද, වහයිද නම් මම දන්නේ නෑ… හැබැයි හොඳටම මල පැනලා ඉන්නේ…”

චේගුවේරාකාරයින්ට පින්සිදු වන්නට, අප බලාපොරොත්තු ඉටුකරමින් එදින ජයේ මුදලාලිගේ කොළඹ ගමන වැළකුනේ එසේයි…

රස්තියාදුව හමාරකර හොඳටම පමාවී නිවසට එන අපට දිස්වූයේ වෙනදා මෙන්ම විවෘතව පවතින ජයේ මුදලාලිගේ කඩයයි…කඩලෑල්ලේ අලවා තිබූ චේගුවේරා පෝස්ටරය සාමාන්‍ය තර්ජනයකින් බොහෝ එහාට ගොස් ජයේ මුදලාලිගේ හදවතේ ගැඹුරුම තැනක තිබූ දේශපාලන තුවාලයක් පාරා ඇතිබව මට පසක් වූයේ කඩයේ ඉදිරිපස කාටත් පෙනෙන ලෙස දමා තිබූ බැනරයක ඔහු ලියා තිබූ පණිවුඩයේ ඇති දැඩි ආවේගශීලී ස්වභාවය නිසායි...

-----------------------------------------------------------------
කඩේ වහන්න කියපු…
පෝස්ටර් බැල්ලිගේ පුතාලටයි මේ කියන්නේ…
වැහුවෙ නෑ යකෝ..! වහන්නෙත් නෑ..!!
තොපේ ඔය දේශප්‍රේමී ගූ ගොඩ අපේ ගමේ හලන්න එන්නේ නැතුව
අපිට අපේ ළමයෙක් හදාගන්න දීලා…
තොපි තොපේ මහා එකත් එක්ක ගිහින් හැමිනියල්ලා…
රැවුල්කාර ගොබ්බ හැත්ත…
-----------------------------------------------------------------

සුදු ඉටිරෙද්දක රතු තීන්තෙන් පේළි ඇදට ලියා තිබූ එහි අකුරක් ගානේ සටහන්ව තිබුණේ ජයේ මුදලාලිගේ හදවතේ සිරව තිබූ කෝපය විය යුතුයි… බයිසිකලය තනි අණ්ඩකට සමබර කරගෙන බැනරය නැවත වරක් කියවා කඩය දෙසට නෙත් යොමුකළ මා දුටුවේ ජයේ මුදලාලිට ආරක්ෂාව සැපයීමට මෙන් කඩ පිලේ කල් මරමින් සිටින ගමෙහි වූ නිකමුන් දෙදෙනෙක්… ඔවුන් අප දෙස බලා සිටියේ හරියට ‘බැනරයේ අපැහැදිලි තැනක් ඇත්නම් අපෙන් අහන්න’ වැනි හැගීමකින්…

“උඹලෑ තාත්තට ගේමක් සෙට් වුණොත් කියලා වෙන්න ඇති අරුන් දෙන්නා ඉන්නේ..? “

බයිසිකලයේ පැඩලයට බර දෙමින් විජිතට පැවසූ මම තවත් එතැන නොරැඳී සිනාමුසු මුහුණින් ඔහුගෙන් සමුගත්තේ දවස පුරා නිවසින් බැහැරව සිටීම නිසා මවගෙන් බැණුම් අසන්නට සිදුවෙන බව ඉවෙන් මෙන් දන්නා නිසයි...

--

නාගරික නොවූ පරිසරයක වැසි නොවැටෙන රාත්‍රියකදී බොහෝවිට අවට පරිසරයෙන් නැගෙන්නේ රිද්මයානුකූල සංගීතයක්… නොනවත්වා නැගෙන රැහැයි හඬට තාල අල්ලන ගෙම්බන්ගෙ ඒකාකාරී හඬ බිදින්නේ කඩින් කඩ ඇසෙන බකමූනෙකුගේ මූසල කෑගැසීමක්… එදින රාත්‍රියේත් ගම්මානය පුරා පැතිරුණු ඒ රිද්මය හිටිහැටියේම බිඳීගියේ මුළු පරිසරයම හෙල්ලුම් කවමින් නද දුන් වෙඩි සද්දයකින්… නිදිගත් සියල්ලන් අවදිකරමින් නැගී ආ වෙඩිහඬ වෙල්යාය කෙලවරේ ඇතී ගල් පොත්තේ වැදී කිහිපවරක් දෝංකාරදී හමාරවනවාත් සමගම ඈතින් ගලා ආ නළාවක් පිඹිනවාක් වැනි ගෝසාව කිසිවෙකුගේ විලාප හඬක් බව තේරුම් ගන්නට මට අපහසු වුණේ නෑ...

“ජයේ මුදලාලිලගෙ ගෙදරින් නේද කෑ ගහනවා ඇහෙන්නේ…”

ඒ වන විටත් නිදිපැදුරේ සිට දුවවිත් ඉදිරි දොර අසලට වී අවට පරිසරයට කන් යොමාගෙන සිටි අප තිදෙනාගෙන් මුලින්ම කටහඬ අවදි කළේ තාත්තායි…

තවත් සිතන්නට දෙයක් මට ඉතිරිව තිබුණේ නෑ.. අසුරු සැණින් අගුල කරකවා මා එළියට පැන ගනිද්දී අතින් අල්ලා මා වැළකීමට තාත්තා දැරූ උත්සාහය අසාර්ථක වූයේ මා ඔහුට වඩා බෙහෙවින් ඉක්මන් වූ නිසායි…

“අනේ අනේ පුතේ….!!!! “ අම්මාගේ කෑ ගෑම ගණනකට නොගත් මම පිම්මේ දුවන්නට වූයේ විජිතගේ නිවස දෙසටයි…

අසිහියෙන් මෙන් දුව ආවත්, දසත පැතිරුණු ගණ අදුරත්, නුදුරකින් නැගෙන විළාපයත් මා සිත ඇති කලේ තිගැස්මක්… ගමන් වේගය ඉබේම බාලවී විජිතගේ නිවස දෙසට ඇවිද යමින් සිටි මා, එකවරම අසල වූ තුරු වදුලකට පැන ගත්තේ විජිතගේ නිවස දෙසින් නික්ම ආ මෝටර් සයිකලයක ලයිට් එළියෙන් වසන් වීමටයි…

 අධික වේගයෙන් එය මා පසු කර යද්දී එහි දෙදෙනෙකු සිටි බවත් පසුපස වාඩිවී සිටි පුද්ගල්යා අත පෝර උරයක් වැනි යමක් තිබූ බවත් හැර අන්යමක් දැකගන්නට මට වේලාවක් ලැබුණේ නැහැ…

තවත් ඇසිල්ලකින් මා සිටියේ විජිතගේ නිවසෙ ඉස්තෝප්පුවේයි.... පසෙක සිහිසුන්ව වැටී සිටි විජිතගෙ අම්මාව වත්තන් කරගැනීමට තතනමින් විලාප දෙන විජිතත්, ඔහු බදාගෙන යටිගිරියෙන් කෑ ගසන විජිතගේ නංගීත් වෙත දුවගිය මා තවත් මොහොතකින් ඉස්තෝප්පුවේ අනෙක්පස දුටුවේ සිත් කම්පා කරවන දර්ශණයක්… තම කට හරහා එල්ලවූ වෙඩි පහරකින් යුතුව බිත්තිය දිගේ රූටා විත් ලේ විලක් මැද වාඩිවී නිසලව සිටියේ විජිතගේ ආදරණිය තාත්තායි…

කාලය ඉගිල ගියේ විජිතගේ පවුලේ පමණක් නොව මුළු ගම්මානයේම සීග්‍ර වෙනසක් කරමින්… විජිත විසින් සුළු උත්සාහයකින් පසු අතහැර දැමූ ජයෙ මුදලාලිගෙ කඩය නැතිවීමේ පාඩුව මැකුණේ ගමේ වෙනත් තැනක විවෘත වූ අලුත් කඩයකින්…

වසර කිහිපයකට පෙර අප අවසන් වරට හමුවූ මොහොතේ විජිත මෙම බෝක්කුව උඩ සිට මට සමුදුන් අයුරු මට තවමත් මතකයි…

“උඹ කඩේ වහලා මොකද්ද කරන්න හදන්නේ..?”

“හමුදාවට යනවා…”

“හමුදාවට..? ඒ ඇයි..?”

“වෙන මොකටද… රට රකින්න…!”

එදා විජිත පිළිතුරු දුන්නේ අවංක අදහසකින් නොවන බව මම විශ්වාස නොකළත් ඔහු ගේ වළගැසුණු ඇස්වල තිබූ ලියැවී තිබුණු තම පියාගේ මිණීමරුවන්ගෙන් පළිගැනීමට ඔහුට තිබූ අවශ‍යතාවය වටහා ගන්නටත් මට අපහසු වූයේ නැහැ...

ඒ ඔහු හා මාගේ අවසන් හමුව යැයි මා දැන සිටියා නම් එය එතරම් කෙටි හමුවීමකට සීමාකරන්නට මා කිසිසේත්ම ඉඩනොදෙනවා නොඅනුමානයි…නමුත් අප නොසිතූ දේම පිරිනමන දෙවය එයින් වසර ගණනාවකට පසුව අද මට නැවත මුණගස්සවන්නට තීරණය කර තිබුණේ ඔහුගේ නිසල දේහයයි…

මෙලෙස විජිතගේ මුළු ජීවිතයම වෙනස් කර අහිංසක කාන්තාවන් දෙදෙනෙකුට තම පියා, සැමියා, සහෝදරයා සහ පුතණුවන් අහිමිකිරීමට අඩිතාලම දැමූ ඒ කාලකණ්ණි සිදුවීම සිහිවන වාරයක් පාසා මා සිතේ ඇතිවන්නේ කීරිගැසෙන වේදනාවක්… එදා රාත්‍රියේ මේ බෝක්කුව උඩදී මා ටිකක් කල්පනාකාරී වූවානම් අද මා පසෙකින් විජිතද වාඩිවී සිටින්නට තිබුණා නේද යන වේදනාත්මක සිතිවිල්ලෙන් මඩිනු ලැබූ මා ඒ අවසනාවන්ත සිදුවීම නැවතත් ආවර්ජනය කළා...

“උඹලට පිස්සුද ළමයිනේ මේ කලබල දවස්වල රෑ තිස්සේ බෝක්කු ගානේ ලගින්න…මේ අහල පහලත් මොන මොනවා වෙනවද කවුද දන්නේ… මෙන්න මෙහෙ එනවලා ගෙදර… හෙට උදේ රැයින්ම ලොකු පුතේ කඩේට යන්නත් ඕනේ…”

ජ්යේ මුදලාලි අප පසුකර නිවසට යන අතරේ පැවසූයේ ඔහු පසුදින කොළඹ නොයාවිදෝ යැයි අපට තිබූ අවසන් බලාපොරොත්තුවත් සුන්කරමින්...

“දැක්කනෙ මම කිව්වේ… හෙට ගමනේ වෙනසක් නෑ…”

“මොකද්ද දැන් කරන්නේ බන්…”

“මොනවා කරන්නද… අතෑරලා දාමු…”

එසේ පවසනවා වෙනුවට මා ඉදිරිපත් කළේ අමුතු අදහසක්…

“අපි කරමුද මරු වැඩක්..? “

“මොකද්ද…?”

“කඩේ වහන්න කියලා චේගුවෙරා එකෙන් වගේ පෝස්ටරයක් ගහමුද..? එතකොට කඩේ වහලා තාත්තා කොළඹ යයි... අපිට පුලුවන් අපේ ගමන යන්න... ”

“ඈහ්… උඹ දන්නවද ඕවා ලියන්න…”

“ලොකු දෙයක් නෑ… කඩේ දවසක් වහන්න කියලා දාමු… ඕනේ නම් අන්තිමට දේශද්‍රෝහීන්ට දඬුවම මරණයයි කියලත් දාමු…”

“නියමයි…රතුපාට මලකුත් අඳිමු…?”

“ඒ මොකද්ද මලක්…?”

“විප්ලවයේ මල…!”

සිනහා වෙමින් විජිත එහෙම කියද්දි ගලාගෙනඑන සඳඑළියෙන් මට පෙනුණු ඔහුගේ සුපුරුදු අහිංසක සිනාව එදායින් පසු කිසිදිනක යළි දැකගන්නට මා වාසනාවන්ත වූයේ නැහැ... හදවතපුරාවට අරක්ගත් බර සැහැල්ලු කරන්නට මෙන් දීර්ග සුසුමක් හෙලූ මා සිමෙන්ති බැම්මෙන් බිමට පැන ඇවිදින මළකඳක් සේ විජිතගේ නිවස දෙසට ගාටන්නට වුයේ වාරු නැති දෙපයින්...

නිමි.

ප/ලි : මේ බ්ලොග් අඩවියේ ලිපි පළකිරීමේදී මෙතෙක් දේශපාලන කහට තවරානොගෙන ලිපි පළකරන්නට මා පරිස්සම් වූයේ උවමනාවෙන්මයි…බොහෝ අවස්ථාවලදී හිතේ සිරවී ඇති සිතිවිල්ලක් අකුරු කරගැනීමට නොහැකිව  වෙහෙසෙන මට එය ගලපාගැනීම සඳහා හැඩතල සපයන බ්ලොග් රැසකින් එකක් වන ගේ රියර් ගේට් බ්ලොග් අඩවියෙහි ඇති ඉස්පීකර් නිලමෙ මළා නම්වූ කතාව කියවා ලද උත්තේජනය මෙම කතාව ලිවීමට පෙළඹවූ බව කියන්නේ ස්තුතිපූර්වකවයි…

පිංතූරය ගත්තේ : http://bit.ly/omiyvr

Sunday, September 11, 2011

35. දරු නැළවිල්ල | Lullaby

 

klimt-213

 

සත්ගුණවත් මහත්මයෙක්…
සුරලොව ගෙනගොස් එනතුරු… 
ණයට ලැබුණු නිදි යහනේ…
පේන දුරින් නිදන් පුතේ…
අඬන්නෙපා කිරි ඉල්ලා…
වඩන්න කියලා…

කප්පරක් නේක අවමන්…
සිගිති අතින් මිට මොළවන්…
නිදන උඹේ රෝස කොපුල්…
සිඹින්න ආසයි මේ දැන්…
දෙතොල් මුදනු නොහැක, සිතින් …  
උඹව සිඹිනවා…

පුපුරු ගහන වේදනාව…
කඳුළුබිඳක හිරකරද්දි…
ලයෙන් නැගෙන කෙදීරිලි හඬ…
උඹේ නින්ද කඩනවාද…
ඉවරයි මගේ පුංචි පුතේ…
අම්මා එනවා…

උගස් කරපු ළැම තුරුලේ…
කිරි සුවඳට ඉව කරද්දි…
සිගරැට් ගඳ දැනෙනවාද…
මගේ පුංචි කුමාරයෝ…
අහන්නෙපා අම්මාගෙන්
ඇයි ඒ කියලා…

මූණු පොතේ තියෙන කවි ගෲප් එකකට මම අහම්බෙන් වගේ ජොයින් වුණා…දැන් මගේ ඉන්බොක්ස් එක පිරෙන්න එනවා එනවා එනවා ලස්සන  කවි එකක් කියවද්දි එකක්… මෙවා කියවලා කොච්චර කික් එකක් ආවද කිව්වොත් මෙන්න මමත් ලියලා කවියක්… :D

පින්තූරය : GUSTAV KLIMT ගේ තෙල් සායම් චිත්‍රයක්

ප/ලි : සොඳුරු සිත කිව්ව කතාව මෙතැන තියෙනවා... වෙලාව ඇතොත් කියවන්න අමතක කරන්නේපා...

Web Statistics