ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ගුරුතුමාගේ අනුදැනුම යටතේ වෙන්වෙද්දී මම අයිති කණ්ඩායම තීරණය වුණේ අමුතුම ක්‍රමයකට…
“එහෙනම් ඔය අන්තිමට ඉතුරු දෙන්නා එක ගෲප් එකක් හදාගන්න…”
අන්තිමට ඉතුරුවුණු මා සමඟ ගෲප් එකක් හදන්නට අන්තිමට ඉතුරුවුණු ඇය, හිසකේ පටන් පා නියපොතු දක්වා කලු නිකාබයක සැඟවුණු මුස්ලිම් යුවතියක්… කලු පැහැ අත් පා ආවරණ පවා පැළඳ ඇස්කිමෝවෙකු සිහි ගැන්වූ ඇයගේ බාහිරට විවර වුණු එකම ශරීරාංගය වූයේ අඟල් කිහිපයක් පළල විවරයකින් මා දෙස ඔරවාගෙන සිටි නෙත් යුගල පමණයි… තම කණ්ඩායම ගැන සෑහීමකට පත්වී නොසිටියේ ඇය පමණක් නොවේ, උරෙන් උර ගැටී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වෙහෙසිය හැකි ව්‍යාපෘති සගයෙකු වෙනුවට, මමත් බලාපොරොත්තු වෙන අවසාන තෝරාගැනීම කතාකරන රෙදි පොට්ටනියක් විය හැකියි…
නොරිස්සුමකින් ඇරඹි අප සමාගමය සතුට රැඳුන මිතුදමක් බවට පත්වීමට ගතවුණේ ව්‍යාපෘති සාකච්ඡා වට කිහිපයකුත් තව ටිකක්… කොහොමත් තුරුණු වයසේ කෙළි කවට සිනා වලට විවරවන සිතක් වසන්නට නිකාබයක් තුනී වැඩියි… මෙතැන් පටන් දිඟු කාලයක් පේළි කිහිපයකට කෙටි කළොත්, දැන් මම සිටින්නේ සාර්ථක ව්‍යාපෘති ඉදිරිපත් කිරීමක් අවසානයේ ඇගෙන් සමුගැනීමට සූදානම්ව ආචාරශීලී සුභපැතුමක් ගැන කල්පනා කරමින්…
“ඉතිං එහෙමනම්… ගත කළ හැම මොහොතක්ම සතුටක්…” ඇය පවසන්නේ මට කලින්…
“මටත් එහෙමයි… එකම එක දුකක් ඇරෙන්න…” මගේ මුරණ්ඩුකම ආචාරශීලීත්වයට වඩා දශමයක් ඉදිරියෙන්…
“ඒ මොකද්ද..?”
“අපි හරි කෙටි කාලෙකින් ලෝකේ අමාරුම දෙයක් කරලා දිනුවා… ඒත් එතෙන්ට යන්න අත්වැල් අල්ලාගෙන හිටි කෙනා කියලා මම අඳුනන්නේ ඇස් දෙකක් විතරයි…”
“යා අල්ලාහ්, ඉතිං ඒකට මම මොකද්ද කරන්නේ…”
“ඒ ඇස් දෙකට මූණක් දෙන්න…”
දෑසක විස්මය, අඟල් කිහිපයකින් රාමු කළවිට කලාකෘතියක් වැනියි…
“පිස්සුද ඒක හරාම්…”
“ඒ කියන්නේ..?”
“ඒක තහනම්… අනික මෙහෙම හොඳයි… එතකොට ඔයාට මගේ මූණ ගැන කැමති විදියකට හිතාගන්න පුළුවන්… “
“ඒක කොහොමද හොඳ වෙන්නේ… මම මැරෙනකොට මැරෙන්නෙත් ඔයා කවුද කියලා නොදැන… මිනිහෙකුට දෙන්න පුළුවන් තවත් දඬුවමක් තියේද..?”
“මොනවද මේ කියන්නේ… මම කැමතිවුණත් මූන පෙන්නන්න මට තහනම්… ඔයා නන්-මහ්රාම්…”
“ඒ කියන්නේ…?”
“ඔයා මගේ හස්බන්ඩ්වත්, තාත්තාවත්, සහෝදරයෙක්වත් නෙමෙයි… මට මූණ පෙන්නන්න අවසර තියෙන්නේ ඒ තුන්දෙනාට විතරයි…”
“ඉතිං මම සහෝදරයෙක් කියලා හිතන්න… එහෙම බෑද…?”
“එහෙම පුළුවන්ද, මම දන්නෑ…”
“මම දන්නෙත් නෑ…”
“පොඩ්ඩක් ඉන්න එහෙනම්… පුදුම මුරණ්ඩුකමක්…”
අත්බෑගයෙන් එළියට ගත් පුංචි ඩයරියක ඇති දුරකථන අංකයකට ඇය ඇමතුමක් ලබාගන්නේ, ඇස් ඉරටු කර සිනාසෙමින්…
“ඔය කාටද කතා කරන්නේ…”
“පල්ලියට…”
****************************************
ඇගේ නම වජ්ඩා… දෙවියන් විසින් තවමත් පාලනය අතැර නොගිය කර්කශ සවුදි අරාබියේ දහසකුත් එකක් තහංචි මැද, දෙවියන් දුන් ජීවිතයට සාධාරණයක් ඉටුකරන්නට වෙහෙසෙන දැරියක්... මේ මොහොතේ ඇගේ එකම සිහිනය ඇගේම කියා පුෂ් බයිසිකලයක් පැද යෑම... නමුත් ඇගේ අවාසනාවට, හිමිදිරි යාඥාවේ පටන් නින්දට යනතුරු ඇයට ඇසුරු කරන්නට බලකර ඇති ආගමික ග්‍රන්ථයක ගල්වුණ අකුරු පේළි අතරේ කුඩා දරුවෙකුගේ මේ ආශාව ලියවී නැහැ...
වතුර නොමැතිව වියළි පොළවේ හැදෙන මුරණ්ඩු පතොක් ගසක් මලක් නොපිපී මිසක් මියෙන්නේ නැහැ... තම සිහිනය සැබෑකරගැනීම වෙනුවෙන් සටන් නොකර පරදින්නට සූදානම් නැති මුරණ්ඩු පතොක් ගසක් ඇය...
පුෂ් බයිසිකලයකට අවශ්‍යය රියාල් අටසියය දෙමාපියන්ගෙන් කිසිදා නොලැබෙන බව වටහා ගන්නා වජ්ඩා තමාට හැකි අයුරින් මුදල් එකතු කරන්නේ ඒ ඉලක්කයට ළඟා වීමේ අරමුණින්... නමුත් ඇය වැනි කුඩා දැරියකට ඉතුරු කල හැකි සීමාව ඇත්තේ එවැනි විශාල මුදලකට වඩා හුඟක් අඩුවෙන් බව වජ්ඩාට වැටහෙනවා...
පාසලේ පැවැත්වෙන, කුරානය කට පාඩමින් කියනා තරඟයක පළමු ත්‍යාගයට ලැබෙන තැගි මුදල ඇගේ ඇස ගැටෙන්නේ මේ අතරෙදියි... ඒ බයිසිකල් සිහිනය සැබෑ කරගත හැකි මුදලක්... දෙවරක් නොසිතා අදාළ තරඟයට ලියාපදිංචි වන ඇය එතැන් පටන් වෙහෙසෙන්නේ දේව වාක්‍යය කට පාඩමින් මනාව ගායනා කිරීමට... නමුත් වජ්ඩාට ධර්මය උගන්වන ගුරුවරු කිසිත් නොදන්නා රහස නම් ඇය මේ දිවි නොතකා ධර්මය ඉගෙනීමට වෙහෙසෙන්නේ එහි සඳහන් පාපයක් ඉටුකරගැනීමේ නිසඟ අරමුණින් බව...
දෙවියන්ට වංචාකර ඇයට ජයගැනීමට හැකිවේවිද..? මේ අතර තම සැමියා තවත් විවාහයක් කරගැනීම වැළක්වීමට ඇගේ මව ගන්නා උත්සාහය සාර්ථක වේවිද..? චිත්‍රපටියේ අවසානය මේ සියල්ල විසඳාවි...
ආගමික නීතිරීති වලින් පාලනය වෙන ගැහැණු, තම ආත්මය වටා වැර යොදා බැඳුණු ඒ යදම් සමඟින් තම ජීවිතය විඳින්නට ගෙනයන සටන මීට වඩා හොඳින් පෙන්වන චිත්‍රපටි ඇත්නම් මගේ වැටහීම අනුව ඒ අතළොස්සක් විය හැකියි... මුළු ගතම වැසෙන සේ ඇඳි අබාය ඇතුළේ හිරවී සිටින ගැහැනියගෙන් "දාඩිය නැද්ද..? ඔයගොල්ලෝ ඕක කොහොමද ඇඳන් ඉන්නේ?" වැනි අතිශය බොළඳ ප්‍රශ්න මේ චිත්‍රපටිය නැරඹුවාට පසු ඔබ ඔවුන්ගෙන් නැවත නොඅසන බවට මට විශ්වාසයි...
සවුදි අරාබියේ පළමු කාන්තා සිනමා අධ්‍යක්ශකවරිය… හයිෆා අල්මන්සූර්… කුඩාකල බයිසිකලයක් ගන්නට සිහින මැවූ සවුදි අරාබි යුවතියක්… විචාර බුද්ධිය මඬින ආගමික බල අධිකාරයට මෙම චිත්‍රපටියෙන් දසන් නොමදක්වා ඇය සිනාසෙන අයුරු මනරම්…