Wednesday, June 12, 2013

79. ආතල් කුඩුවීමේ සතුට…

මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත්  ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු දෙයක් වෙන්නත් ඇති… මම කාලෙක ඉඳන් තේරුම් ගන්න උත්සාහාකරන දෙයක් තමයි සොල්දාදුවෙකුගේ මනස වැඩ කරන හැටි… රූපවාහිනී තිර වලින් විතරක් යුද්ධ දැකලා තියෙන අඩුම ගානේ බිග්මැච් වලියකදිවත් සතුරාට මුහුණදීලා නැති මම වගේ පුඟුලෙකුට තරම් වෙන දේවල්ද කතාකරන්නේ කියලා ඇත්තටම යුද්ධ කරලා තියෙන මාරයා හරි විචාරක හරි මේ පොස්ට් එක දැක්කොත් කියාවි… ඒත් ඔන්න ඔහේ ලියනවා….

යුද්දෙට ගියාම මිනිස්සු මරන්න වෙනවා…. මිනිස්සු කිව්වට ඇත්තටම ඒ සතුරන්… රට ජාතිය බේරගන්න, සතුරන් මරන එක තේරුම් ගන්න අපහසු නැහැ… ඒ පිළිබඳ කැක්කුම අවම කෙනෙකුට උනත් තමන්ගේ අඹුදරුවන්ගේ අනාගතය ගැන හිතලා, එහෙමත් නැතිනම් තමන් එක්ක එකට ඉන්න අනෙක් සොල්දාදුවන් මියයන අයුරු දකිද්දී සතුරෙකුට වෙඩි තියන්න හිත හදාගන්න අපහසු නැතුව ඇති… ඒත් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්නයක් සොල්දාදු ජීවිතේ කිසිම වෙලාවක, සටන යන අතරතුරේදි (හෝ ඊට පස්සේ)  තමන්ගේ සතුරා ගැන ගෞරවයක්, අනුකම්පාවක් ආදරයක් වගේ දෙයක් හිතෙන්නෙම නැද්ද…?

මේ පරණ ප්‍රශ්න සිහිවුනේ දැන් බලපු ඔය පහල තියෙන වීඩියෝවේ අන්තිමහරියේ තියෙන පුංචි වාක්‍යයක් ඇහෙද්දී… කෙටියෙන් විස්තර කලොත් ඔය තියෙන්නේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් නියමුවෙක් බොස්නියානු අහසෙදි මිසයිල ප්‍රහාරෙකට ගොදුරුවෙලා යානයෙන් එජෙක්ට් වෙලා සතුරු අඩවිට ගොඩ බැස්සම ඔහුව මුදවාගන්නා සුප්‍රසිද්ද මෙහෙයුම… Behind Enemy Lines චිත්‍රපටියට පාදක වෙන්නෙත් මේකම තමයි මම හිතන්නේ… ඉතින් ඔය වීඩියෝවේ අන්තිම හරියේ කතා කරන,  ඒ ගුවන්නියමුවා බේරීයන්නට පෙර මරාදමන්නට වෙහෙසුනු ගරිල්ලා කණ්ඩායමේ අණ දෙන්නා කියනවා මෙහෙම පුංචි දෙයක්…

“As a man I’m glad in a way that he was rescued… But as a professional I think it was a failure on my part…”

“ඌ බේරිලා ගිය එක ගැන මනුස්සයෙක් විදියට මට සතුටුයි… !”

ඔය  වාක්‍යය තමයි මේ පෝස්ට් එකට හේතුව… ඇත්තටම ඌ මේ කියන්නේ මොකද්ද..? මොකද්ද ඒ සතුට… ඒක මෙන්න මේ විදියයි කියලා විස්තර කරන්න පුළුවන්ද..? මම මොහොතකට ඒ සොල්දාදුවා වෙලා හිතින් මවාගත්තා මගේ සතුරා මගෙන් බේරිලා පැනලා යන හැටි මම සතුටින් බලාගෙන ඉන්නවා… උත්සාහාකරලා බලන්න ඇත්තටම ඒක මහා පුදුමාකාර හැඟීමක් නෙමේද..? :)

 

සම්පුර්ණ එපිසෝඩ් එක යූටියුබේ තියෙනවා

30 comments :

  1. මට නම් හිතෙන විදිහට ඔවැනි සතුටක් පිලිබද හැඟීම යුධ සෙබලෙකුගේ මනසේ නොවෙ අන් ඕනෑම ක්ශේත්‍රයක විරුද්ධවාදීන් දෙදෙනෙක් අතර වෙන්න පුලුවන්...හරියට ගහට ගහක් හම්බ උනා වගේ...දෙදෙනාම පාර්ශව දෙකකට සේවය කරනවා..ඒත් අනේකාග තියෙන දක්ෂතාවය පිලිබද පැහැදීමට එය බධාවක් නොවේ...

    ලාංකික යුද්ධ ඉතිහාසයේත් මෙවැනි සිදූවීම් තියෙනවා..උදාහරනයක් ලෙස එලාර රජු ගැන ගෞරුත්වය...ඒවගේම ඔහුගේ හමුදාවේ සේවය කල සිංහල, මිත්‍ර සෙනෙවියා

    ඒවගේම මෑත ඉතිහාසයේ එල්ටිටීඊ බාල්රාජ් පිලිබදවත් අතැම් හමුදා නායකයන් තුල තිබෙන ගරුත්වය මේවා සදාහ නිදසුන්...

    ReplyDelete
    Replies
    1. එළාර සටන කියන්නේ දේශපාලන සටනක් මිස ජාතීන් අතර සටනක් නොවෙන්නයි වැඩි සම්භාවිතාවක් තියෙන්නේ.

      මොකද විජයගෙන් අවුරුදු තුන්සිය පනහක් වගේ කාලෙක පසුකාලෙක තරම් සිංහල දෙමල කියා ලංකාවේ බෙදීමක් නොතියෙන්න ඇති.

      Delete
    2. //මට නම් හිතෙන විදිහට ඔවැනි සතුටක් පිලිබද හැඟීම යුධ සෙබලෙකුගේ මනසේ නොවෙ අන් ඕනෑම ක්ශේත්‍රයක විරුද්ධවාදීන් දෙදෙනෙක් අතර වෙන්න පුලුවන්//

      ඔව් ක්‍රීඩකයින්ගෙත් මේක තියෙනවා නේ...
      මිත්‍ර සෙනවියා ගැනත්, බාල්රාජ් ගැනත් අහලා තියෙනවා උනාට වැඩි විස්තරයක් දන්නේ නෑ...

      Delete
    3. මචං කතන්දර,

      එතකොට කාල් මාක්ස්ගෙන් පස්සෙද ජාතීන් ඇතිවුනේ??

      Delete
  2. බීටලේට මොකද මන්දා මේ වගේ දාර්ශනික සිතුවිලි පහල වෙන්ට පටන් ගෙන තියෙන්නේ.:)

    ඕක ඔච්චර විග්‍රහ කරන්ට දෙයක් නෑ. අපි හැම දෙනාම ඇතුලේ ඉන්නවා (අර සත්තු ඔක්කොම අතරේ) මනුස්සයෙක්. ඒ මනුස්සයා ඒ වෙලාවේ එලියට ආපු එක තමා ඔය වෙලා තියෙන්නේ. :D

    ReplyDelete
    Replies
    1. ඔව් ඔයා කියනවා වගේ මනුස්සයා එලියට එන එක තමයි වෙලා ඇත්තේ... එයත් තේරෙන සිංහලෙන්ම කියනවානේ "As a man" කියලා ...
      දාර්ශනික සිතුවිලි පහල වුනා ලඟ වැඩිද?

      Delete
  3. ඕකනේ ඉතිං ගොඩක් ෆිල්ම් වලත් තියෙන්නේ... මං කිව්වේ ෆිල්ම් එකේ මුලදි මරා ගන්න හදන් උන් අන්තිමට යාලු වෙනවා... කසාදත් බඳිනවා... හි හි...

    ප්‍රශ්නේ තියෙන්නෙ යුද්ධෙකදි වගේ වෙලාවක ඔය සතුට පෙන්නන්න පුළුවන් වාතාවරණයක් නෑ නේද...? සමහර විට ජීවිත කාලෙම වෛරී විදියට බලන්න පුරුදු වෙච්ච ත්‍රස්තවාදියෙක්, යුද්ධ භුමියෙදි මුහුණට මුහුණ හමුඋනාම එක එක විදියේ හැඟීම් ඇතිවෙන්න පුළුවන්... එකපාරටම වෙඩිතියලා දාන එක නම් ලේසියි කියමුකෝ... තත්පර කිපයක් මුහුණට මුහුණ බලං හිටියොත් මොනවා හිතෙයිද...? මේත් මනුස්සයෙක්... මං වෙඩි තිබ්බෙ නැතොත් මූ මට වෙඩි තියයි... මං මලොත් මගේ ළමයින්ට මොනවා වෙයිද... මේ මනුස්සයටත් ළමයි ඉන්නවද දන් නෑ... ඇයි අපි මේ මරා ගන්න හදන්නේ... මං මොනවටද මේ දන්නෙවත් නැති මිනිහෙක් මරන්න හදන්නේ... මේ මනුස්සයා මට මොනවා කළාටද....

    එහෙම නැත්තම් හිතෙයි මූ හිටියොත් තව කීදෙනක් මැරෙයිද.. අහුවෙච්ච වෙලාවේ වෙඩි තියලා දානවා කියලා.....

    හැබැයි පසු සිතුවිලි, ඒ වෙලාවේ ඇතිවෙන සිතුවිලි වලට වඩා වෙනස් කියලා මට හිතෙනවා.... හරියට ප්‍රභාකරන් මැරැනා කියලා ආරංචිය ආපු වෙලාවේ හම්මෝ ඇති යන්තම් කියලා හෙලුන සුසුම ඇතුලේ අවුරුදු ගානක දුක් වේදනා වලට සැනසුම තිබ්බා උනට බාලචන්ද්‍රන්ගේ කතන්දරේ ඇදෙන කාලේ වෙනකොට ඒ සිතුවිලි වෙනස් වෙලා කියලා හොඳටම පෙනුනා....

    අනේ මන්දා.. කමෙන්ට් එක කතාවට අදළම නැද්ද මන්දා දැන් බලනකොට... කමක් නෑ..ඔන්න පෝස්ට් එක කියෙව්වම මගේ හිතට ආවේ ඔය ටික තමයි....

    ReplyDelete
    Replies
    1. කමෙන්ට් එක අදාලයිනේ... ස්තුතියි හිරු... සතුට පෙන්නන එකම නෙමේ මම කිව්වේ... පෙන්නන්න හෝ නොපෙන්නන්න ඉස්සෙල්ලාම එහෙම සතුටක් එනවද කියන එකයි...

      Delete
  4. ඇත්තටම ඔය ෆිල්ම පුරාම තියනවා ඔය වාගේ හිත ගන්න සීන් ,අමානුෂික පැත්තත් හොදට පෙන්නවා, අර බට්ටට අහුවෙන බොස්නියන් කාරයා අත ඇරලා යන ස්නයිපර් කාරයා,කොකා කෝලා වලට කැමති කොල්ලා , එකකට එකක් නොදෙවෙනි චරිත . ආසාවෙන් බලපු ෆිල් ම් එකක් හතරපස් වතාවක්.

    ReplyDelete
    Replies
    1. හතර පස් වතාවක් බැලුවා කියන්නේ උඹත් war movies බලන්න කැමති වගේ... ඒක දැනගත්ත එක ගැනත් සතුටුයි... ඒ ස්නයිපර් කාරයා ගැන නම් වෙනම අධ්‍යයනය කරන්න ඕනේ... හැබැයි චිත්‍රපටියේ අතිශෝක්තිය හෙනට වැඩී... ඇත්ත සිද්දියේ හැටියට එහෙම ස්නයිපර් කාරයෙක් ගැන සඳහනක් නෑ... ඌ පස්සේ එලවන්නේ පැරා මිලිටරි කියලා යුදබිමේ උපක්‍රම ගැන අවබෝධයක් අඩු සෙට් එකක්... සමහරවිට ඌ බේරෙන්න ඒකත් එක හේතුවක් වෙන්න ඇති...

      Delete
  5. Behind the Enemy Lines මම බැලුවා.

    ඔය දේමනේ බං මීයෙකුට ගහන කොටත් වෙන්නේ. හරියට මූණ දැක්කොත් අනේ මූ මගේ දුප්පත් බයික්ක‍ටුවේ වයර් ටික කෑවා වුනත් අනේ මූට තියෙන්නේ ලේනගේ මූණමනේ කියලා හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බයික් එකේ වයර් කාපු මීයෙකුත් ඉන්නවද? මම හිතුවේ කාර් එකේ වයර් කාපු බල්ලෙක් ඉන්නේ කියලා :)

      Delete
    2. මම කිව්වේ කොමන් සිනාරියෝ එකක් බං. ඒක හුඟ දෙනෙකුට වෙනවා. ගරාජ් දොරක මෝටරේක වයර් තුන් පාරක් කාපු ලේන් පරයෝ ටිකක්නම් නම් මම දන්නවා. (ඔව්, මීයෝ නෙවෙයි බෝල ලේන්නු)

      බීටලේ, මම ඊයේ රෑ ආයෙම Schindler's List බැලුවා. උනට ඔය විදියේ හැඟීම් තියෙනවද කීයලා මට සැකයක් ඇතිවුනා බං.

      Delete
  6. මම සොල්දාදුවෙක් නිසා මට හිතෙන දේ ඇත්තටම මෙන්න මෙහෙමයි. මුලින්ම තමන් ඇති මිනිහෙක් (සතුරෙක්)මැරුණම දුකක්, වේදනාවක්, අපරාධකාරී හැඟීමක් හිතට එනවා. මම ඒ බව කලකට ඉහතදී මගේ අඩවියේදී කියලා තියනවා. මෙතනින් බලන්න සොල්දාදුවෙක් සටන් වදින්නේ තමාට ලැබෙන නියෝග නිසයි. එතැනදී ඔහුට මුලින්ම වැදගත් වෙන්නේ තම පුහුණුවේදී දැඩිව මනසට කාවද්දා තිබෙන අණ පිළිපැදීමයි. මනුස්සකමට ලැබෙන්නේ දෙවැනි තැන. අපි කවුරුත් අපේ පැනට ආදරෙයි. යුද බිමේදී සතුරකු රකින්න උත්සාහ කිරීමේදී තත්පරයකින් පන්ගුවකදී ඔබේ ජීවිතය වැනසෙන්න පුළුවන්. මානුෂික ගුණධර්ම රකින්නට සොල්දාදුවාත් බැඳී ඉන්නවා. අහිංසක දෙමල මිනිස්සු පලිහක් ලෙස යොදාගෙන අපට පහරදුන් එල්.ටී.ටී.ඊ. කාරයන්ට අපි ප්‍රති ප්‍රහාර නොදුන් අවස්ථා ගණනාවක් තිබුනා අපේ අය ඒ ප්‍රහාර වලින් මැරෙද්දීත්. අල්ලාගත් එල්.ටී.ටී.ඊ. සාමාජිකයන්ට මම මගේ අතින්ම කෑම දීලා තියනවා. භාෂා ප්‍රශ්නය බාධකයක් වුනත් මුහුණේ හැඟීම් වලින් ඔවුන්ගේ සිත තේරුම් ගන්න පුළුවන්. සොල්දාදුවා තරම් සාමයට ලැදි වෙන කවුරුවත් නැති තරම්.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
    Replies
    1. ස්තුතියි විචාරක කමෙන්ට් එකටත් ලින්ක් එකටත්... මේ පැහැදිලිකිරීම ගොඩක් වටිනවා... පාරේ ඇක්සිඩන්ට් එකක් වෙලා මිනිහෙක් මැරිලා ඉඳිද්දි මම ඒ දිහා බලන්න අකමැති වෙද්දී මිනී කඳු එක්ක ඔබලා ගෙවපු ජීවිතේ ගැන මට හිතාගන්නවත් බැහැ... නියම සොල්දාදුවෝ මගේ ලෝකේ වීරයෝ වෙන්නෙත් ඒ නිසාමයි... සොල්දාදුවා තරම් යුද්ධයට අකමැති, සාමයට ලැදි කෙනෙක් නැතුව ඇති තමයි...

      Delete
  7. ක්‍රියාකාරී සේවයෙන් මෙන්ම ක්‍රියාකාරී ජීවිතයෙන්ද සමුගත් මගේ අදහස මෙහෙමයි සැඟවී රැක සිටි මෙහෙයුම් කීපයකදීම අවසන් මොහොතේදී කොටි සාමාජිකයන්ට අප පිලිබඳ ඉව වැටීම නිසා අප රැකවල් කල මාවත මඟ හැර ඒ ආසන්නයෙන්ම පලා ගිය අවස්ථා තිබුනා.ඔවුන් අප දෙසට ඇතැම් විට ඉලක්කයකින් තොරව වෙඩි වැලක් හෝ මෝටාරයක් දෙකක් ගසා,ඒ මදිවාට ලොකු හූවකින්ද සංග්‍රහ කරගිය අවස්ථා තිබුනා.මේවගේ අවස්ථා වලදී මට නම් දෙයාකාරයක සිතුවිලි පහල වුනා.එකක් දඩයම වැරදුනු දඩයක්කාරයෙකුට ඇතිවන අසහනය,අනෙක හෙට දවසක් දකින්නට ජීවත් වීමට ඉඩ ලැබීමේ සතුට.කොහොම වුනත් ගැටුමක් අතරතුරේදී නම් ප්‍රතිවාදියා කෙරෙහි අනුකම්පාවක් මටනම් ඇති නොවුන බව කියන්න ඕන.ඒ විතරක් නොවේ එවන් ගැටුම් වලින් මියගිය, බොහෝවිට ළමුන් ලෙස සැලකිය හැකි කොටි සාමාජිකයන්ගේ මළසිරුරු දුටුවිට පවා සිත් වේදනාවක් ඇති නොවුන බව කියන්න ඕන.නමුත් වැදගත්ම දේ මොවුන් කෙරෙහි කිසිදු දේවේශයකුත් ඇති නොවීමයි.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ඔබේ අවංක අදහස් වලට... සමහර බ්ලොග් වල මම කියවූ ඇනෝ කමෙන්ට් වලත් අයිතිකාරයා ඔබනම්, ඔබ යුද්ධයෙන් ආබාධිත වූ සොල්දාදුවෙක් විය යුතුයි... ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවාට වඩා ඔබේ කැපවීම ගැන ස්තුති කිරීම ඔබට වටිනවා ඇති... කතාකරන්න කැමතියි හැකිනම් akurublog@gmail.com එකට මේලක් දමන්න...

      Delete
  8. මනුස්සයා, අවස්ථාව හා අත්දැකීම් අනුව හිතෙන දේ වෙනස් වෙනවා ඇති නේද, අනික් හැම දේකදිම වගේ.
    ඇරත් හුඟක් හැඟීම් වචනයට පෙරළීමත් පහසු කටයුත්තක් නෙවෙයිනෙ.

    ReplyDelete
    Replies
    1. ජනවර්ජනට යන්න ඇරල ගඟට පැනල සියදිවි හානිකරගත්තු ඉන්ස්පෙක්ටර් ජන්තු මතක් වුණා... වික්ටර් හියුගෝ මනුස්ස හැඟීම් වල තියෙන සංකීර්ණ ස්වභාවය විස්තර කරන්න යොදා ගත්තු හොඳම අවස්ථාවක් ඒ..

      Delete
    2. ඔව් සේරටම වැඩියෙන් අත්දැකීම් මාරම වෙනසක් කරනවා ඇති තමයි...
      සපා පොතනම් කියවලා නෑ... ලේ මිසරාබ්ල චිත්‍රපටිය නම් බැලුවා... හැබැයි කසාය බේත් බොනවා වගේ... මට ඒවගේ නිර්මාණ ගොඩක් ට්‍රයි කරලා ලඟා වෙන්න ඕනේ උඩකින් තියෙන්නේ :)

      Delete
  9. සතුරෙක් මලාම කිරිබත් කන්නේ අමනුස්සයෝ. දුටුගැමුණු කලේ එළාර සිරුර භූමදාන කරලා සොහොනක් හදලා ගෞරව කරපු එකයි.

    මට මතකයි 1993 දී ප්‍රේමදාස බෝම්බෙන් මැරුණාම නොමිනිස්සු රතිඤ්ඤා පත්තු කළා.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ කතන්දර පොඩ්ඩක් පටලාගෙන වගේ සතුරෙක් මැරුණම කිරිබත් කන්නේ සතුරා මැරුන සතුටට නෙවේ තමන් දිනපු සතුටට.

      ඒ වගේම මැරුණට පස්සේ ගරු කරන්න නම් ජීවත් වෙන කාලේ ගරුත්වය උපයා ගන්න ඕන.

      Delete
    2. සතුරෙක් මැරුණට කිරිබත් ආපු අයත් හිටියා...යුද්දේ ඉවර උන නිසා කිරිබත් කාපු අයත් හිටියා... :) මමනම් කිරිබත් කෑවේ නෑ... මූනුපොතේ ස්ටේටස් එකක් දානවා ඇරෙන්න ඒ උත්සවේට වෙන කිසිම විදියකින් දායක වෙන්න බැරිවුනා... හැබැයි මම දැක්කා කිරිබත් කාපු අමනුස්සයෝ නෙවෙන අය ඕනේතරම්... ඒහින්දා ඒකේ වැරැද්දක් මමනම් දකින්නේ නෑ...
      මූනුපොතේ දාපු ස්ටේටස් එකත් මට තාමත් මතකයි... And I’m proud to be a Srilankan where at least I know I’m free... And I wont forget the men who died, who gave that right to me...

      Delete
  10. ධර්මාශෝක දඩයමට ගිය වෙලේ මුවාට හැංගිලා විදින්නේ ණැතුව පොඩි සද්දයක් කරලා ඌට දුවන්න ඉඩ දිලා නේද විදින්න ගියේ?

    ReplyDelete
    Replies
    1. ඒ වුනාට කතන්දර කාරයා තමන්ගේම බ්ලොග් එකේදී තමන්ගේ මතය අනුමත නොකරන අයට විදින්නේ ඇනෝ කමෙන්ට් වලින්

      Delete
    2. දේවානම්පියතිස්ස වියයුතුයි...

      Delete
  11. මටත් ඔය ලයින් එක මීටර් උනා බලද්දි....

    Troy චිත්‍රපටයේ තියනවා යුද්දය ගැන සෑහෙන දාර්ශනික දෙබස් ටිකක්.. මගේ ප්‍රියතම චිත්‍රපටියක්.. දැනට 10 සැරේකට වඩා බැලුවා... ප්‍රියාම් රජුට පුතාගේ මිනිය ගෙනියන්න ඉඩ දීමෙන් පසු අකිලිස් කියනවා "(මේ උදව්ව කලාට ) ඔබ හෙට දවස වෙනකොට මගේ සතුරෙක්". ප්‍රියාම් කියනවා "අද දවසෙත් ඔබ මගේ සතුරෙක්, නමුත් සතුරන්ට උනත් එකිනෙකාට ගෞරව කරන්න පුළුවන්" කියලා.
    ඒ වගේම මාලන් මෑතකදි අඹ ගහ යට ලියලා තිබ්බේ මේ මගේ සඳයි චිත්‍රපටියෙන් දෙබසක්... එකෙත් සෑහෙන දර්ශනයක් තියනවා...

    “අපි වෙඩි තියන්නේ තරහට නෙමෙයි.
    අපි වෙඩි තියන්නේ නැත්තේ ආදරේටත් නෙමෙයි.
    නිකන්……
    නිකන්ම.. නිකන්..
    හුළං වගේ නිකන්”

    ReplyDelete
  12. අද අවෙ හිතන්න දෙයක් ලියල තියෙනව.දිගටම එන්නම්කො

    ReplyDelete
  13. මේ වගේ එකම සිද්දියක් ගැන ඒ මනුස්සයටම අංශක 180ක දෙපැත්තක් හිතන්න හැකියාව ලැබිලා තියෙන්නේ මිනිස් සිතේ අපූර්වත්වය නිසා වෙන්න ඇති...

    හැම දේකම සුදු කළු කියලා දේකට වඩා දෙකම මිශ්‍ර අළු පාටක් තියන නිසා ඒ අපූරු හිතීමේ හැකියාව එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන්..
    සොල්දාදුවෙකුට තමන්ගේ සතුරා මරණ එක සම්පූර්ණයෙන්ම වෛරය පාදක කරගෙන සිදු වුනා නම් ඔහුට ජීවිත කාලෙම ඒ වෛරය බලපවත්වනවා..අනිත් අතට සතුරා මරලා ඒ ගැන 100%ක් දුක් වෙනවා නම් ඔහුට ඊට පස්සේ ජීවත් වෙන්න අමාරු වේවි..

    ඒ නිසා මේ වගේ සම්පුර්ණයෙන්ම ප්‍රතිවිර්ද්ධ හැඟීම් නිසා අපිට ජීවත් වෙන්න ලේසි ඇති..

    ReplyDelete
  14. මම හිතන්නේ යුද්ධයකදී වෙඩි තියන්නේ තරමක් ඈතින් ඉඳලා. එතකොට ඉලක්ක වෙන්නේ මිනිසෙක් නොවේ, සතුරු හමුදාවක සෙබලෙක්. අඳුනාගන්නේ නිල ඇඳුමෙන්. ඒත් මීටර් 10ක වගේ සීමාවකදී මේ දෙදෙනාටම පේනවා මිනිසෙක්. ඉස්සර වුනු කෙනා ජීවත් වෙන්න වරම් ලබනවා මොහොතකට හෝ. එතනදී මිනිසෙක් වුනත් මරා දමන්නේ තමන්ගේ ජීවිතයට තිබෙන ආදරය නිසා. නිරායුධ සතුරන් දෙදෙනෙක් මුණ ගැහුනොත් ඔවුන් දෙදෙනා පොර බදාවිද ?

    No man's Land බැලුවද ? ඒකෙ නියමට මේ දේවල් තියෙනවා.

    ReplyDelete

Web Statistics