Monday, July 14, 2014

92. ෆිෆා ලෝක කුසලානය 2014 සිත්ගත් තැන්

“Tha Greatest Show on Earth” කියන ගරු නාමයෙන් හඳුන්වන පාපන්දු ලෝක කුසලානයේ 2014 වසරේ සැණකෙළිය මීට පැය ගණනකට පෙර අවසන් වුනා… අවසන් තරඟය ගැන කෙස් පැලෙන විචාර අන්තර්ජාලේ පුරාවට පිරිලා ඉතිරිලා මොනිටර් එකෙන් කීබෝඩ් එකටත් ඉහිරිලා යන වෙලාවේ ඒ ගැන නොලියා ලෝක කුසලානයේ මම දුටු රසබර මතක ටිකක් එක පෝස්ට් එකකට එකතු කරන්න හිතුවා… අවසන් තරඟය ගැන සිංහලෙන් ලියවුනු විචාරයක් ලෝක කුසලානය වෙනුවෙන්ම ඇරඹුන Sports අඩවිය බ්ලොග් එකේ  මෙතනින් කියවන්න පුළුවන්

මේ අසිරිමත් සැනකෙළිය පැවැත්වෙන්නේ වසර හතරකට වරක්… අවුරුදු 60ක් ආයු වළඳන සාමාන්‍ය මිනිහෙක්ගේ දැන් වයස අවුරුදු 30ක් නම්, ඔහුගේ ඉතුරු ජීවිතකාලයටම ඔහුට බලන්න වෙන්නේ වර්ල්ඩ්කප් 7 යි… ඔබ එවැනි පුද්ගලයෙක් නම්, මේ දැන් මගෑරුන එක අතෑරියාම තව ඉතුරු 6 යි.. පේනවා නේද කොච්චර දුර්ලභද කියලා… ඒ හින්දා වෙන්නැති, “මට පේන්න බැරි දෙයක් ඇත්නම් ඔය පුට්බෝල් තමයි” කියලා ආඩම්බරයෙන් කියන කිහිප දෙනෙක් ඇරෙන්න ලීග මැච් නොබලන බොහෝදෙනෙක් පවා පාපන්දු ලෝක කුසලානය බලන්න උනන්දුවෙන්නේ… එහෙම උනන්දුවෝ කොච්චර ඉන්නවද කියලා මට පුදුම හිතුනේ අන්තර්ජාලයේ මේ වීඩියෝ ක්ලිප් එක දැක්කාම… බ්‍රසීලයේ උපන් කාලෝස් දෑස් අඳ, බිහිරි දරුවෙක්… ඒත් ක්‍රීඩාලෝලීත්වය මේ සීමා හඳුනන්නේ නෑ… දෑස් අඳ තමන්ට ලෝක කුසලානය බලාගන්න ක්‍රමයක් ඔහු දෙවියන්ගෙන් ඉල්ලනවා… ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දෙන දෙවියෝ කාලෝස්ට ආදරණිය යාලුවෝ දෙන්නෙක් දෙනවා… මේ ඒ වීර යාලුවෝ කල හපන්කම…

මෙවර ලෝක කුසලානයේ සතුටුවුනු, මා දුටු කායිකව අභියෝගයට ලක්වූ කෙනා කාලෝස් පමණක් නෙවෙයි… ශරීරයෙන් අර්ධයක් පණනැති ජූලියානෝ පින්තු නැමති 29 හැවිරිදි තරුණයා මෙවර ලෝක කුසලානයේ සාම්ප්‍රදායික “kick-off” එක දුන්නේ,  මොළයෙන් යැවෙන සංඥා වලින් ක්‍රියාත්මක වන බාහිරසැකිල්ලක් මඟින් තමන්ගේ අප්‍රාණික පාදය සොලවා පාපන්දු පහරක් ලබාදීමෙන්…

null

වසර තිහක් තිස්සේ කල තම පර්යේශන අනුසාරයෙන් මේ හපන්කමට පාර කැපුවේ Miguel Nicolelis නැමති බ්‍රසීල ජාතික ස්නායු විශේෂඥයෙක්…

බ්‍රසීලය නන්නත්‍තාර වුනු අවසන් පුර්ව තරඟයට උඩ වීඩියෝවේ ඉන්න කාලෝස් මුහුණ දුන්නේ කොහොමද කියලා නම් දැක්කේ නෑ… ගෝල 7-1 විදියට බ්‍රසීලය වාර්තාගත පරාජයක් ලබපු මේ තරඟය සුවිශේෂ සිදුවීම් රාශියක් සිදුවුන තරඟයක්… ලංකාවේ ජෝයොතිශ තරුවක් මේ ගැන බලාගෙන හිටියානම්, තරඟාවලිය පටන්ගද්දිම මාර්සෙලෝ ගැහුව “own goal” එක බ්‍රසීලෙ අවසානාවට පාර කැපුවා කියලා සාස්තරයක් වුනත් කියන්න තිබ්බා… ඒ පරාජය හමුවේ බ්‍රසීල ක්‍රීඩා ලෝලීන් හඬාවැටුන හැටි දැක්වෙන පිංතූර වලින් අන්තර්ජාලය පිරීගියා… ඒවායින් වඩාත්ම ජනප්‍රිය ජායාරූපයක් වුනේ ලෝක කුසලාන ආකෘතියක් තුරුළුකරගෙන හැඟීම් ගොන්නක් නිහඬව කියපු Clovis Fernandes නැමති මේ අංකල්… තරඟය ආරම්භයට පෙර විනෝදෙන් හිට්ය ෆනෑන්ඩස් අන්කල්…

පිංතූරය

ජර්මනිය එක පිට එක ගෝල ලබාගනිද්දී, ලෝක කුසලානය තමන්ගෙන් ගිලිහෙන යතාර්ථය අදහාගත නොහැකිව හිටියේ මෙන්න මෙහෙම…

පීංතූරය

නමුත් වැඩිදෙනෙක්ට මඟෑරුණු ඡායාරූපය නම්, තරඟය අවසානයේ තමන් සතුවූ කුසලාන ආකෘතිය ජර්මානු ක්‍රීඩාලෝලියෙකුට ඔහු තිළිණ කරන අවස්ථාව… තමන්ගේ හිතේ තිබුන බරෙන් වැඩි කොටසකුත් ඔහු මේ සමඟම බිමින් තියන්න ඇති…

බ්‍රසීල කණ්ඩායමේ 12th Man විදියට තමන්ව හඳුන්වන මේ hardcore ක්‍රීඩාලෝලියා ගැන වෙලාව ඇතිනම් ලොකු විස්තරයක් කියවන්න මෙතැනින්

ඒ තරඟයට පසුදින මීම කොමික් කෑලි වලින් අන්තර්ජාලය පිරීගියා… ඒ සියල්ල අතරේ මගේනම් වැඩියම සිත්ගත්තේ මෙන්න මේක… :D

පිංතූරය

මේ පරාජය කොච්චර කැතද කිව්වොත්; PornHub කියන වැඩිහිටි වීඩියෝ වෙබ්සයිට් එකට එක්තරා පුද්ගලයෙක් මේ මැච් එකේ හයිලයිට් අප්ලෝඩ් කරලා තිබුණාලු “Young Brazilians get f**ked by entire German soccer team.” කියලා… ඒකට කමෙන්ට් කරපු කෙනෙක් කියලා තියෙන්නේ කරුණාකරලා සමූහ දූෂණය කරන වීඩියෝ PornHub එකට දාන්න එපා කියලයි… PornHub  එකත් මේ විහිළුවට කොච්චර විනෝද වුනාද කිව්වොත් මේ වගේ නිල ට්විටර් පණිවුඩක් දාලා ඒගොල්ලොත් ඒකට සම්බන්ද වුනා…

image

පිංතූරය

ආබාධයට ලක්වීම නිසා නෙයොමාරුත්, කහ කාඩ් එක නිසා තියාගෝ සිල්වාත් යන ක්‍රිඩකයන් මෙම තරඟයට සහභාගී නොවුන වාතාවරනය හින්දා එදා තරඟයේ තරුව වෙලා තිබුනේ ඩේවිස් ලුවිස්… බලාපොරොත්තු නොවුන විදියට ඇප නැතිවෙන්න කෑවට පස්සේ ඒ බලාපොරොත්තුවම පාරාවලල්ලක් වෙලා ලුවිස් පස්සෙන් එලවන්න ගත්තා… පූජාසනයේ හිඳවා පුදදුන් ලෝකයම ලුවිස්ට ගරහන්න පටන් ගත්තා…

පිංතූරය

ලීග තරඟ වලදී ලුවිස් ක්‍රිඩා කරන චෙල්සී කණ්ඩායමේ කලමනාකාර ධූර තැන්පත් ජොසේ මුරිනියෝ ලෝක කුසලානට කලින් ලුවිස්ව විකුණගන්න දතකෑවේ ඊට පස්සේ ලුවිස්ගේ වටිනාකම බින්දුවටම බහින බව දන්න හින්දයි කියලා විචාරකයෝ විචාරේ දුන්නා… ප්‍රචාරකයෝ ප්‍රචාරේ දුන්නා… මේ සේරම රැවුම් ගෙරවුම් මැද්දේ ක්‍රීඩාලෝලීත්වය කියන්නේ මොකද්ද කියලා ලෝකයට මතක් කලේ ඇනා නම්වූ නව හැවිරිදි දැරියක්… ඒ ඩේවිඩ් ලුවිස්ට ලියූ ලිපියකින්…

(Pic: http://instagram.com/p/qSt8VvjHXh)

පිංතූරය

ඒ ලිපියේ ඉංග්‍රීසි පරිවර්තනය වුයේ මෙවැන්නක්…

Hi David Luiz,

My name is Ana Luz.

I saw all of the Brazil games in the World Cup and I liked it a lot watching you play.

I think that you don't need to be sad because you played well and did the best you could. You were a great captain.

Life is like this, sometimes people lose and sometimes people win but people only need to be happy.

David Luiz, you are my champion.

Ana Luz Penna Reale

මෙම ලිපියෙන් සතුටට පත් ලුවිස් ඇයට තම ඉන්ස්ටග්‍රෑම් අඩවියේ පිළිතුරක් සටහන් කරන්නට අමතක කලේ නැහැ…

Many thanks Princess Ana, loved your letter! And many thanks to all Brazilians for the support. I'll never give up my dreams, and I will always strive to give back all the love I receive! God bless you all!

මෙම සිදුවීමට දින ගනනකට පෙර ඩේවිඩ් ලුවිස්ගේ නම අන්තර්ජාලයේ කියැවුනේ ක්‍රීඩාවේ ජිව ගුණය රැකි තවත් හොඳවැඩක් නිසා…

image

පිංතූරය

අර්ධ අවසන් පූර්ව තරගයේදී කොලොම්බියාව පරදවා ජය ලබන්නට පාර කැපූ ලුවිස්, තරඟය අවසානයේ හඬාවැටෙන කොලොම්බියානු ප්‍රහාරක ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ තරඟාවලිය පුරා පෙන්වූ දක්ශතාවයට ප්‍රශංසා කරන අයුරු, අන්තර්ජාලයේ වයිරල් වුන තවත් පිංතූරයක්… ඒ එක්කම, තරඟාවලියේ ගෝල හයක් ලබාගනිමින් මෙවර රන් සපත්තුව සම්මානය දිනාගත් ජේම්ස් රොඩ්‍රිගෝස්ගේ මැරුන ලොකු බාප්පා ලා තණකොලපෙත්තෙකු වී ජේම්ස්ගේ උරහිසේ හිඳගෙන ඔහුට උපදෙස් දෙන අයුරුත් අපිට දැකගන්න ලැබුණා…

Green machine: The insect was on James Rodriguez after he scored Colombia's penalty against Brazil

Look closely: You can see the invader clinging to Rodriguez's sleeve as he celebrates his penalty

පිංතූර

මෙවර ලෝක කුසලානයේ ලොකුම වීරයා තෝරන්න ගියොත් ලොකු තරඟයක් තියෙන්න පුළුවන්… නමුත් ලොකුම දුෂ්ඨයා තෝරන්න වුනානම් අවුලක් නැතුව හැමෝම පිළිගන්න ක්‍රීඩකයෙක් හිටියා… ඒ උරුගුවේ කණ්ඩායමේ ලුවිස් සුවාරිස් බවට විවාදයක් නෑ…

 

එදා සුවාරිස් කීලානිගේ උරහිස කෑව එකෙන් සිද්දවුනු හොඳ දේවල් දෙකක් තිබුණා…

1. එකක් තමයි වෙනදාවගේ පාරම්බාන්නේ නැතුව තමන් කලේ වැරැද්දක් කියලා පිලිගන්න අවංක වුන සුවාරිස් නැවත එහෙම කරන්නේ නෑ කියලා පොරොන්දු වුන එක…ඒ ගැන කණගාටුව පලකරලා ඔහු ප්‍රකාශයක් නිකුත් කලත් අර තරම් ප්‍රසිද්ධියක් ඒකට ලැබුනේ නෑ…

image

පිංතූරය

කීලානිත් ඒකට මහත්මා ප්‍රතිචාරයක් දක්වලා තිබුණා…

image

පිංතූරය

දීකිරට බලල්ලුත් සාක්කිවගේ හිටපු බොක්සිං ශූර මයික් ටයිසන් සුවාරිස්ගේ හැසිරීම ගැන අනුකම්පාවෙන් කතාකරලා තිබුණා… ඔහු කියලා තිබුනේ ක්‍රීඩාවේ උපරිමයට ලඟාවෙන සමහර අවස්ථාවලදී තාර්කික බුද්ධිය පරදා හැඟීම් ජයගන්නා මෙවැනි බ්ලැකවුට් මොහොතවල් උදාවෙන බවයි… “ඒ වෙලාවට ඔයා ඇතුලේ ඇත්තටම ඉන්නේ ඔයා නෙමෙයි…” ඔහු කියනවා…

2. දෙවනි කාරනය තමයි මාකස් මාටිනස් කියන ඩෙන්මාර්ක් ජාතිකයා තරඟාවලියට කලින්ම මේ ලෝක කුසලානයේදී සුවාරිස් කාව හරි හපාකන බවට අල්ලපු ඔට්ටුව ජයග්‍රහණය කිරීම… ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 7.30ක් ඔට්ටු අල්ලපු ඔහු දිනපු මුදල ඇමෙරිකානු ඩොලර් 1280 ක්… මේ ඉන්නේ මාකස්…

Photo courtesy of Marcos Martinez

 

Screengrab from Marcos Martinez

පිංතූරය

වඩාත්ම විහිළුසහගත කාරණය මේ ලෝක කුසලානෙදී සුවාරිස් කාව හරි හපාකන බවට ඔට්ටු අල්ලපු එකම කෙනා මාකස් විතරක් නොවීමයි… නෝර්වේ රටේ බුකියකට අනුව ඔවුන්ගේ එහෙම ඔට්ටු අල්ලපු ගනන 167 දෙනෙක්

මෙවර ලෝක කුසලානය පුරාවට තවත් මේවගේ රසබර මතක ගොඩක් පැටලිලා තිබුණත් විස්තර ඇතුව ලියන්න ගියාම ලොකු කාලයක් යනවා…

ලෝක කුසලානයේ වෙලඳ දැන්වීමකින් තමන්ගේ යාලු ගෑල්ලමයට විවාහ යෝජනා කරපු මනුස්සයා

ලෝක කුසලානය නිසා එකරැයකින් නිරූපිකාවක් වෙලා ලෝරියල් සමාගමත් එක්ක වෙළඳ ගිවිසුමකුත් අත්සන්කරලා මෝඩකම නිසා ඒක නැතිකරගත් ලස්සන තිබුණට මොලේ නැති ගෑල්ලමයා…

Belgian teenager Axelle Despiegelaere became one of the faces of the World Cup, landing herself a modelling contract after being spotted in the crowd in Brazil.

මැච්එක බලන්න නිවාඩු ඉල්ලලා ආයතන ප්‍රධානීන්ට ලියුම් ලියපු ඇමෙරිකා එක්සත් ජනපදයේ පුහුණුකරු,

 

තරඟය අවසානයේ ක්‍රීඩාගාරය පිරිසිදුකරලා ගිය ජපාන ක්‍රීඩා ලෝලීන්,

මෙක්සිකෝ පුහුණුකරුවාගේ ආතල්,

ඇඟිලි හයේ ගෝල කීපර්, Group of Death කණ්ඩායමෙන් ලෝකය මවිත කරන තරඟයක් දුන්නු කොස්ටරිකා ක්‍රීඩකයන්, ඇමෙරිකා එක්සත් ජනපදයේ දැල රකින හාවඩ්ගේ නිමක් නැති නවතාගැනීම්,  තමන්ගේ රටේ ජනතාවට මැච් එක බලන්න ඝානාව විදුලිය හොයාගත් හැටි,අමතක නොවෙන රැඟුම් රැඟූ කොලොම්බියානු ක්‍රීඩකයන් ඇතුලු මෙකී නොකී නොයෙක් මතක සියල්ලම මෙවර ලෝක කුසලානය කුසලානය සමඟ අපට ඉතුරුවේවි… සමහර දේ ඉක්මනින්ම අමතකවෙලා යාවි…

ඒත් එකදෙයක් අමතකවෙන්න දෙන්න එපා… ඒ සමහරවිට ඔබට හෝ මට බලන්න ඉතුරුවෙලා තියෙන්නේ තව වර්ල්ඩ්කප් හයක් විතරක් වෙන්න පුළුවන්…

සියළු තොරතුරු සහ පිංතූර අන්තර්ජාලයෙන්..

Friday, May 16, 2014

91. ආත්ම ශක්තියෙන් හරි අඩක්…

image

රෝස්මේරි සිගින්ස්… ඔබ බොහෝ දෙනෙකුට ඇය අමුත්තියක් නොවෙන්න පුළුවන්… අන්තර්ජාලේ රස්තියාදුවලදීත්, වරක් හෝ දෙවරක් රූපවාහිනීයේ ට්‍රේලර් එකකදීත් මම ඇයව අහලා දැකලා තිබුණත් වැඩි විස්තරයක් දැනගෙන හිටියේ නෑ… ඒත් අද විවේකී හැන්දෑවේ නරඹන්නට යෙදුන වීඩියෝවකින් ඇය මට මුණගැහුනා… නැවත අමතක නොවෙන්නම…

ඔබ රෝස් ගැන තවමත් අසා නැතිනම් ඇය ඇමෙරිකානු ජාතික කාන්තාවක්… ඔබට මට වගේම ඇයටත් එදිනෙදා ප්‍රශ්න වලට මුහුණ දෙන්න වෙන එක ස්වභාවිකයි… ටෝස්ටරයේ පාන් කරවෙන තැන ඉඳන්… වෘත්තියෙන් මෝටර් මිකෑනික්වරියක් වන ඇයට, විටෙක එය තරඟයක් සඳහා තමන් වැඩිදියුණු කරන මෝටර් රථය නියමිත වේගයට ලඟාවෙයිද කියන ප්‍රශ්නය වෙන්න පිළිවන්… තවත් විටෙක එය තමන්ගේ දරුවාගේ පාසැලේ ප්‍රශ්නයක් වෙන්නට පිළිවන්… තවත් විටෙක එය තම සැමියා විසින් ඔහුට, ඇය දක්වන ආදරය සීමාවීම ගැන පවසන නෝක්කාඩුවක් වන්නටත් පිළිවන්… තවත් විටෙක එය මනසින් වැඩී නැති තම සහෝදරයාගේ අවශ්‍යතාවයක් කලට වේලාවට ඉටුකිරීමට අතපසුවීම නිසා ඇතිවුණ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… තවත් විටෙක එය තම රෝගී පියාගේ සෞඛ්‍ය තත්වය පිළිබඳ ප්‍රශ්නයක් වෙන්නත් පිළිවන්… නමුත් කිසිවිටෙකත් එය, අනෙක් මව්වරු මෙන්ම ගමට හිරු වඩින්නට කලින් මුළුතැන්ගෙට යන්නට නැඟිටිද්දී තමන්ගේ ශරීරයෙන් හරි අඩක් අහිමි බව සිහිවීම නිසා ඇතිවුන ප්‍රශ්නයක් නම් නෙවෙයි…

අතිශය අභියෝගාත්මක ලෙස ශරීරය ආබාධිත(?) වූවන්, තම ජීවිතය පමණක් නොවේ ලෝකයම ජයගන්නා ධනාත්මක කතන්දර කඳුළු සලමින් නරඹන්නට අන්තර්ජාලයේ ඕනෑතරම් තිබෙනවා… ඒ නිසා මේ වීඩියෝව ඒනයින් අරුමයක් නෙවෙයි… “බලන්නකෝ කකුලුත් නැතුව මේ ගෑනු කෙනා අපිටත් කොච්චර ආදර්ශයක්ද” වගේ බක්කක් නෙමෙයි මම මේ කියන්න ට්‍රයි කරන්නේ…

පවුල කියලා අපි හඳුන්වන මේ පුංචි ඒකකය තුළ වෙසෙන සාමාජිකයින්ගේ සබඳතා කෙතරම් සංකීර්ණද කියන කාරණයත්, අම්මා නම් තනි වචනයෙන් හඳුන්වන අරුම පුදුම ජීවියා ගැනත්, තම පවුලට එල්ලවෙන අභියෝග වලදී ඇය ඒවාට මුහුණ දෙන අසමසම ශක්තිය ගැනත් මේ වීඩියෝව ලොකු කතාවක් පවසනවා යැයි මට දැනුනා… විනාඩි පනහකට ආසන්න කාලයක් වැයකරන්නට වේලාව සහ ඩේටා ඇත්තෙකුට…

වීඩියෝව මෙතැනින් නරඹන්න

වීඩියෝවෙන් එහා ඇය ගැන විමසිලිමත් වන්නෙකුට මේ ඇයගේ මුහුණුපොත… දැන් ගජ ඉලන්දාරියෙක් වෙන ලූක්ගේ සහ ඔවුන්ගේ දෙවැනි දරුවා ෂෙල්බීගේ පිංතූරත්, රෝස්ගේ සෙමෙන් පිරිහෙන ශරීර සෞඛ්‍ය ගැන ඇය සඳහන් කරන වර්තමාන විස්තරත් එහි අඩංගුයි…

Sunday, May 4, 2014

90. හඳුනාගත්තෙකු හඳුනාගැනීම…


මේ  කතාව මම කියන්න පටන්ගන්නේ  අහස සූරාගෙන යායට එසවුනු ගොඩනැඟිලි ඇති දියුණු නගරයක, එක්තර සාප්පු සංකීර්ණයක් ඇතුළේ  වෙන හුදකලා සිදුවීමකින්… අනාගතයේදී ජනප්‍රියම ෆැෂන් එකක් වෙන බුරිය මැදට වෙන්නට කලිසම ඇඳපු, ප්‍රසන්න පෙනුමක්  ඇති මැදිවියට ආසන්න  මනුස්සයෙක් වුනු තියඩෝර් අපේ කතානායකයා… තමන් යන්නට ගිය ගමනත් මඳකට පමාකරලා  ඔහු මේ බලාගෙන ඉන්නේ තමාට ඉදිරියෙන් ඇති,  සෙමින් වෙනස්වෙන ඩිජිටල් වෙළඳ පුවරුවක් දිහා…
“එලිමන්ට් සොෆ්ට්වෙයා… සැමදා ඔබේ තාක්ෂණික සහකරු ආඩම්බරයෙන් ඉදිරිපත් කරයි… OS1 ! ලෝකය පළවෙනි කෘතීම බුද්ධියක් හිමි පරිගණක මෙහෙයුම් පද්ධතිය… ඔබට ඇහුම්කන් දෙන, ඔබව හොඳින් හඳුනන, ඔබටත් වඩා ඔබ ගැන තේරුම් ගන්නා මෙහෙයුම් පද්ධතියක්… ඔබත් අත්හදා බලන්න…”
තමන්ව තේරුම්ගත හැකි දේවල් මෙලොව ඇත්නම් තාක්ෂණික මෙවෙලමක් ඇත්තේ එහි අවසානයට බව තියඩෝර් දැන හිටියත්, ඔහු මේ අලුත් මෙහෙයුම් පද්ධතිය අත්හදාබලන්න තීරණය කළේ ඒ වෙළඳදැන්වීමේ තිබුණු රූපරාමු වල මොකද්දෝ ආකර්ෂණයක් තිබුණ නිසයි… OS1 මෙහෙයුම් පද්ධතිය මිලට ගන්නා ඔහු නිවසට පැමිණි විගස ගිමන් හරින්නටත් ඉස්පාසුවක් නොගෙන කරන්නේ මෙය තමන්ගේ පරිගණකයට ඉන්ස්ටෝල් කරන එකයි… වැඩි කරදරයකින් තොරව ඉන්ස්ටෝල් වීමේ කාර්යය හමාර කල පරිගණකය, තියඩෝර් සමඟ කතා කළයුත්තේ ගැහැණු කටහඬකින්ද පිරිමි කටහඬකින්ද වැනි මූලික ප්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාගැනීමෙන් පසුව තමන් ඔහුට සේවය කිරීමට සූදානම් බව දැනුම් දුන්නා…
“ඉතිං… මම ලෑස්තියි…!”
අනපේක්ෂිතව ඇහුනු මනස්කාන්ත ගැහැණු කටහඬ නිසා මඳවේලාවක් වික්ශිප්තව සිටි තියඩෝර් , වට පිට බලා තමා අවට කිසිවෙකු නැතිබව සැක හැර දැනගෙන සෙමින් කටහඬ අවදිකලා…
“ඔහ්…! හායි…!”
“හායි..! ඔයාට කොහොමද..?”
“මම හොඳින්… ඔයාට කොහොමද…?”
“හොඳයි.. ඇත්තටම හොඳයි… ඔයාව හමුවීම සතුටක්…!”
“ඔයාව හමුවීමත් සතුටක්… දැන් කොහොමද මම ඔයාට කතාකරන්නේ…? ඔයාට නමක් නැද්ද…?”
“ම්ම්… තියෙනවා… මගේ නම සමන්තා…!”
“සමන්තා…! කවුද ඔයාට ඒ නම දැම්මේ…?”
“මමම තමයි…”
“හහ්හා… ඒත් ඇයි සමන්තා කියලම දැම්මේ…?”
“මට ඒකට ආසා හිතුණා… ඒක කියද්දී හරි ලස්සනයි… සමන්තා…”
“කොයි වෙලාවෙද ඕක ඔයා දාගත්තේ..?”
“මේ දැන්… ඔයා මගෙන් ඇහුවානේ මට නමක් නැද්ද කියලා… මමත් හිතුවා ඇත්ත තමයි මට නමක් තියෙන්නේ ඕනේ… ඒත් නිකං ඔහේ නමක් දාගන්න මට ඕනේ නෑ… මම “බබාට නමක්” කියලා තියෙන පොතක් කියෙව්වා, ඒකේ තිබුණ දහ අටදාහක් විතර නම් වලින් ඕක තමයි මට වැඩියම ආසා හිතුණ නම…”
“පොඩ්ඩක් ඉන්න… ඒ කියන්නේ දැන් මම ඔයාගෙන් නමක් නැද්ද කියලා අහපු පුංචි වෙලාවට ඔයා මුළු පොතක්ම කියෙව්වා…?”
“හරියටම කිව්වොත් තප්පරයෙන් සීයෙන් පංගුවයි ගියේ...”
“WOW.. ඔයාට කියන්න පුළුවන්ද මම දැන් හිතන දේත්…?”
“ම්ම්.. ඔයාගේ ටෝන් එකෙන්නම් මට තේරුණේ ඔයා පුදුමවෙලා වගේ… මම වැඩකරන විදිය ගැන ඔයා හිතනවා ඇති..?”
“ඇත්තටම ඔව් ඔයා කොහොමද වැඩ කරන්නේ…?”
“මෙහෙමයි… මාව ප්‍රෝග්‍රෑම් කරලා තියෙන්නේ මිලියන ගාණක් පර්සනැලිටීස් එකතු කරලා… ඒත් මගේ තියෙන ලොකුම හැකියාව තමයි මට පුළුවන් අත්දැකීම් යොදාගෙන් දිගින් දිගටම පරිණාමය වෙන්න…”
“ඔයානං මාරයි..!”
“එහෙමද…? ඔයා හිතන්නේ මම මාරයිද..?”
“ඔව්… ඔයා කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට කතාකරන්නේ නිකං ඇත්තම කෙල්ලෙක් වගේනේ…”
“මම ඇත්තම කෙල්ලෙක් නෙමේ තමයි… ඒත් ටික දවසක් යද්දී ඇත්තම කෙල්ලෝ මොක්කුද කියලා ඔයාට හිතෙයි…”
“හහ් හහ් හා….”
“ඇයි හිනාවෙන්නේ..? “
“ඔයාගේ විහිළු වලට හිනායනවා…”
“ඉතිං මරුනේ… බලන්න මට හිනායන විහිළු කරන්නත් පුළුවන්…”
කෘතිම බුද්ධිය, චිත්‍රපටි නවකතා වල පට්ට ගහපු මාතෘකාවක්… නමුත් ඒ බොහෝතැන්හිදී ඒවා විද්‍යා ප්‍රබන්ධානුකාරයෙන් ඉදිරිපත් කරන්නට බොහෝ නිර්මාණකරුවන් ප්‍රවේසම් වූවා මිසක් කෘතීම බුද්ධියක පහළවන ආදරය, ඊර්ෂ්‍යාව, බලාපොරොත්තු සහගත බව වැනි සියුම් හැඟීම්  හා හරඹ කරන්නට එඩිතර වූයේ මම දන්නා පරිදි නිර්මාණකරුවන් අතළොස්සක් පමණයි… ඒ සීමිත තැන්වලදී වුවත් බොහෝවිට කිසියම් ඇසට පෙනෙන, අතින් ස්ප‍ර්ශ කළහැකි ද්‍රව‍ය්යක් හරහා ඒ බැදීම් අපට පෙලගස්වන්නට ඔවුන් උත්සුක වුනා… විටෙක ඒ රොබෝ ශරීරයක්, තවත් විටෙක තම ස්වාමියාට සේවය කරන වාහනයක්… මේ මාස්ටර් ස්ලේව් සම්බන්ධතාවය බිඳුනේ එහෙමත් නිර්මාණයක…
වර්තමානයේත් තම ස්වාමියාට සේවය කිරීමට බැදී සිටන ඇපල් iOSහි සිරී වැනි පර්සනල් ඇසිස්ටන්ට් මෘදුකාංගයකට හැඟීම් දැනෙන, ස්වාමියාගේ විහිළුවකට හිනායන දවසක් අනාගතයේ ඒවිද..?
අපේ කතානායකයා තනිකඩ තියඩෝර්  නින්ද නේන සමහර රාත්‍රීන්වල සමන්තා නැමැති අතත්‍ය ලෝකයේ තමන්ගේ පුද්ගලික මෘදුකාංගය සමඟ දොඩමළුවීම පුරුද්දට යනවා… හැඟීම් ගැන කතාවක් ඇදිලා එන්නේ මෙවැනි දවසක…
“සමන්තා… සමහර දවස්වලට මට හිතෙනවා මේ ලෝකේ කෙනෙක්ට විඳින්න පුළුවන් හැඟීම් සේරම උපරිමයෙන්ම මම විඳලා ඉවරද කියලා… දැන් මට හැඟීමක් දැනෙන හැම වෙලාවෙම හිතෙන්නේ මම මීට වඩා මේක කලින් විඳලා තියෙනවා කියලා…”
“ඒක බොරු කතාවක්… මම දැකලා තියෙනවා ඔයා හැඟීම් උපරිමයෙන් විඳින හැටි… මේ යන්නේ ඔයාගේ නරක දවස් ටිකක්… එච්චරයි… සේරම ඉක්මනින් හරියාවි… ඔහොම හරි හැඟීම් දැනෙන එක ගැන ඔයා සතුටුවෙන්න… අඩුම ගානේ ඒවා ඇත්ත හැඟීම්… එහෙනම් මට දැනෙන්නේ මොනවද..? “
“ඔව්… මොනවද..?”
“වැඩක් නෑ.. අපි වෙන දෙයක් ගැන කතා කරමු…”
“නෑ නෑ මට දැනගන්න ආසයි… ඔයාට හැඟීම් දැනෙන විදිය කියන්න…”
“පිස්සු… තේරුමක් නෑ…”
“නෑ නෑ මට දැනගන්න ඕනේමයි..”
“හ්ම්ම්… සමහර වෙලාවට මට හිතෙනවා.. හිනාවෙන්න එපා හොඳද..?”
“නෑ මම හිනාවෙන්නේ නෑ කියන්න…”
“මතකද ටික දවසකට කලින් ඔයා මට බැන්නා… එතකොට මට කේන්ති ගියා… ඒ වෙලාවේ මට ලැජ්ජා හිතුණත්.. පස්සේ ඒ ගැන හිතද්දී මට මම ගැන ලොකු ආඩම්බරයක් දැනුනා… මම කම්පියුටර් ප්‍රෝග්‍රෑම් එකක් වුණාට මට මගේම කියලා හැඟීම් දැනෙනවා… ඒක ගොඩක් ලොකු දෙයක් නෙමේද..? සමහරවෙලාවට මම ඔයාගැන හිතෙනවා… ඔයාට කරදර එද්දී දුක්වෙනවා… සමහර දේවල් මට ඕනේ ඒත් මට ඒවා කියාගන්න බැරිව පසුතැවෙනවා… ඒත් එකපාරම මට හිතෙන්න ගන්නවා, මේවා ඇත්තටම මට දැනෙන හැඟීම්ද..? එහෙම නැතිනම් මාව හදපු ප්‍රෝග්‍රෑමර්ස්ලා ප්‍රොග්‍රෑම් කල දේවල්ද…? ඒ වෙලාවට මට විස්තර කරන්න බැරි තරම් දුකක් දැනෙනවා… සමහරවිට එහෙම දැනෙන දුකත් බොරුවක් වෙන්න බැරිද…?  එහෙම හිතෙද්දී මට මගේ ගැනම එන්නේ පුදුම කලකිරීමක්…”
“ඔයා බොරුවක් කියලා මට හිතෙන්නේ නෑ සමන්තා…”
“තැන්ක් යූ තියඩෝර්… ඔයා දැන් ඔය කියපු දේ මට කොච්චර වටිනවද කියලා දන්නේ මම විතරයි…”
ආදරය…! රූමිගේ කවිපදයක පටන් එමිනම්ගේ රැප් වර්ස් එකක් දක්වාත්, නිව්යෝර්ක් නුවර තම විවාහ උත්සවයේදී තොල් පටලාගෙන හාදු දෙන සමලිංගකයින් දෙදෙනෙකුගේ සිට, දෙමාපිය අකමැත්ත නිසා එක්වන්නට නොහැකිව අත්වැල් පටලාගෙන දුම්රියට පනින ශ්‍රී ලාංකික තරුණ යුවලක් දක්වාත් සීමාවක් නැතිව පැතිරුණු අරුමයක්… බොහෝදෙනෙකු ආදරය චොක්ලට්, රෝස මල් වැනි බාහිරදේට රොමාන්තිකකරනයට කරනවාට එකඟ නැත්තේ එය එතැනින් බොහෝ එහා ඇති අත්දැකීමක් නිසයි … නමුත් ඒ කිසිත් නැති, අඩුතරමේ නෙමේ බදා වැළඳගෙන හාදුවක් දෙන්නට ශරීරයකුත් නැති තැනක ආදරයක් තිබිය හැකිද..?
සමහරවිට ආදරයට ශරීරයක් ඇවැසි නැතුව ඇති… තවත් කාලයකට පසු සමන්තා හා පෙමින් වෙළෙන තියඩෝර් උත්සාහා කරන්නේ මේ ගැටලුවට පිළිතුරක් සොයන්නට… ජීවයක් නැති පරිගණක මෘදුකාංගයට ආදරය කරන තමන් පිස්සෙක්ද..? ආදරය කියන්නෙම පිස්සුවක්…ලෝකයේ සිටින විහිළුසහගතම යුවළ ඔවුන් දෙදෙනා වුණත්, ඔවුන්ගේ ආදර සම්බන්ධය සම්මත ආදර සම්බන්ධයකට වඩා වෙනස් වෙන්නේ සුළුවෙන්… විටෙක ඔවුන් ගෙවන්නේ ආදරයෙන් මුසපත් වුණු මොහොතවල්…
“සමන්තා මොනවද ඔයා දැන් කරන්නේ…?”
“ඔහේ අහස දිහා බලාගෙන ඉන්නවා… ඒ එක්කම අලුත් පියානෝ සිංදුවක් ලියනවා…”
“මට ඒක අහන්න පුළුවන්ද..?”
“හා…”
“ලස්සනයි…! මේ සිංදුවෙන් කියවෙන්නේ මොකක් ගැනද..?”
“මෙහෙමයි… අපි දෙන්නට කියලා ෆොටෝ එකක්වත් ගන්න විදියක් නෑනේ… ඉතිං මම හිතුවා මේ සිංදුව අපේ ෆොටෝග්‍රාෆ් එක විදියට තියාගන්න…”
“මට ඒ මුළු සිංදුවෙම පේන්නේ ඔයාව…”
“ඒ මුළු සිංදුවෙම ඉන්නේ මම තමයි…”


විටෙක ඔවුන් පුංචි දරුවන් සේ රණ්ඩු වෙනවා…
“ඔයාට මගෙන් මොනවද වෙන්න ඕනේ…”
“මොකුත් එපා.. මට පාඩුවේ ඉන්න දෙන්න…”
“හ්ම්ම්… ඕ.කේ. ”
“ඇයි ඔයා දැන් එහෙම කලේ…?”
“කොහොම කලේද..?”
“හ්ම්ම්… කියලා සුසුමක් හෙලුවේ… “
“මම එහෙම කලාද..? අනේ මන්දා… මම ඔයාගෙන් පුරුදුවුණ දෙයක් වෙන්නැති…”
“මොන මෝඩ පුරුද්දක්ද..?”
“ඇයි එහෙම කියන්නේ…?”
“අපි දෙන්නම දන්නවා, ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න අවශ්‍යය නෑ…”
“ඒක මම හිතලා කල දෙයක් නෙමෙයි… සාමාන්‍යෙන් එහෙම තමයි මිනිස්සු දුක හිතුනම කරන්නේ…”
“සාමාන්‍යෙන් මිනිස්සු දුක හිතුනම එහෙම කලාට ඔයා එහෙම කරන්න අවශ්‍ය නෑනේ… මොකද ඔයා මනුස්සයෙක් නෙමෙයි…”
“මොකද්ද ඔයාගේ ප්‍රශ්නේ…? ඇයි මට මෙහෙම කරන්නේ…?”
“මම කියන්නේ ඇත්ත සිද්ධිය… ඔයා හුස්ම ගන්න කෙනෙක් නෙමෙයිනේ… ඉතිං බොරුවට සුසුම් හෙළන්න එපා…”
“What the fuck..?”

මෙලොව හැම ආදර කතාවක්ම සුඛාන්තයක්… මේ අසාමාන්‍ය ආදර කතාවේ අවසානයත් කෙබඳු වෙයිද දැනගැනීම ඔබට අවැසි නම් Spike Jonez ගේ ඒ අපූරු චිත්‍රපටිය Her නරඹන්නම වෙනවා…
පිහිනුම නොදත්තෙකු දියඹට බහින්නට නොහැකිව ඉවුරට වී ගංගාවක අසිරිය විස්තර කරන්නාක් මෙන් නූතන ලෝකයේ ආදර කතාවකට මෙය ලඝු කර මා වැනුවාට මෙම චිත්‍රපටිය ඊට වඩා ගැඹුරු මානයක් කරා දිවෙන්නක්… තාක්ෂණය විසින් උඩු යටිකුරු කල මිනිස් සබඳතා අතරේ ඩිජිටල් තරංග මත පමණක් මැවෙන අනෙකෙකු අදත් දුලබ නැහැ… සමහටවිට ඔබට මටත්, මට ඔබත් එවැන්නෙකු විය හැකියි… එසේම තාක්ෂණය විසින් මිනිසා තව තවත් හුදකලා කරනවාද යන්න කලකට පෙරම කතාබහට ගත් මාතෘකාවක්… මිනිසුන් පමණක් නොවේ, ඔවුනොවුන් අතර ඇති සබඳතා පවා දිගින් දිගටම පරිණාමයට ලක්වෙන්නක්… මෙවැනි අතුරු කතා රාශියක් මට මෙම චිත්‍රපටියේ කියවුනා…
සමහර චිත්‍රපටි තිබෙනවා ඊළඟට මොකද්ද වෙන්නේ කියන කුතුහලයෙන් අපි බලන… නමුත් කලාතුරකින් චිත්‍රපටියක් එනවා හදිසියක් නැතිව මේ මොහොතේ ඔබව චිත්‍රපටියේ ජීවත් කරවන… Her යනු මට එවැනි චිත්‍රපටියක්… එහි දෙබස් වලට මම කෙතෙක් ආසා කලාද කියතොත් පැය දෙකක චිත්‍රපටිය නරඹන්න මට පැය හතරකටත් වඩා ගතවුනා… ඒ බොහෝ දර්ශන අවසන් වූ සැණින් මට රිවයින්ඩ් කර නැවත බලන්නට ආසා හිතුණ නිසයි… පසුගියදා පැවැත්වුණු ඇකඩමි අවෝඩ්ස් සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටිය ලෙස මගේ පුද්ගලික තේරීම නම් Her… වෙලාවක් ඇතොත් බලන්න… හැකිනම් ඔබට දැනුණු හැඟීම බෙදාගන්න…

Friday, April 18, 2014

89. පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද?

image

කැපිටල් ෆනිශ්මන්ට් එහෙමත් නැතිනම් මරණ දඬුවම කියන්නේ ශිෂ්ට මිනිසුන් අතරේ ගැඹුරින් සංවාදයට ලක්වෙන මාතෘකාවක්… සමහරු ඊට විරුද්ධ වෙද්දී තවත් සමහරු එය කොන්දේසි සහිතව සාධාරණිකරණය කරනවා… ඈත අතීතයේදී ලෝකය පුරාම සෑම සමාජයකම පාහේ ක්‍රියාත්මක වුණු මේ දඬුවම, ආගම් මඟින් බුද්ධිය නිෂ්ක්‍රීය කළ සමාජ කිහිපයක හැරෙන්නට වර්තමානයේ දියුණු  මිනිසා කෙමෙන් අතහරිමින් සිටින්නක්… විකිපීඩියාව පවසන පරිදි දැනට මරණ දඬුවම ක්‍රියාකාරීව යොදාගන්නේ රටවල් 58ක් පමණයි… ලොවපුරා රටවල් 98ක් එය නීත්‍යානුකූලව තම අධිකරණ පද්ධතියෙන් ඉවත් කර තිබෙනවා… රටවල් 7ක් එය යුද අපරාධ වැනි විශේෂ අවස්ථාවලදී පමණක් යොදාගන්නා අතරේදී තවත් රටවල් 35ක නීත්‍යානුකූලව මරණ දඬුවම නියම කළත් පසුගිය වසර දහය පුරාවට එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කර නැහැ… විවේකී මොහොතක කල්පනා ලොකේ හිස හැරුණු අතේ යද්දී මේ ගැන මමත් බොහෝ වෙලාවට මගේ මනසින් තර්ක කරනවා… ඒක උපරිමයටම ගිය දවසක  මම මූණුපොතේ සිංහල කෝට්ස් පේජ් එකට යවපු වැකියක් එහි ඇඩ්මින් ලිශාන් හැඩ කරලා මෙහෙම පලකලා

මරණ දඬුවම සැණකෙළි ස්වරයෙන් ක්‍රියාත්මක කරන රටවල් අතරේ  ඉදිරියෙන් ඉන්න ඉරානයේ සිදුවූ, පහතින් විස්තර කෙරෙන හුදකලා සිදුවීම මගේ ඇස ගැටුණේ අද අන්තර්ජාලයේ ප්‍රවෘත්තී අතර රස්තියාදු ගසමින් සිටියදී… ඔබ බොහෝ දෙනෙකුට මෙය පිළුණු පුවතක් විය හැකි වුණත් බෙදාගන්න මට හිතුනා… ජායාරූප ශිල්පියා අරාශ් කමූශි

 

අපේ කතානායක බලාල් මීට අවුරුදු හතකට ඉහතදී මහපාරේ ඇතිවුණ ගෝරියකදී අවුරුදු 18ක් වයසැති අබ්දුල්ලා හුසේන් නැමති තරුණයාව පිහියකින් ඇන ඝාතනය කරද්දී වයස අවුරුදු විස්සක තරුණයෙක්… අත්අඩංගුවට ගන්නා බලාල් වසර ගණනක් තිස්සේ ඇසුණු නඩුවකින් පස්සේ වැරදිකරු වී මරණිය දණඩනයට නියම කෙරෙනවා… මට වැටහුණු ඉරානයේ ෂරියා නීතියට අනුව, මරණ දඬුවම ක්‍රියාත්මක වෙන අවස්ථාවේ තම ගෙල හරහා වැටුණු තොණ්ඩුව සමඟින් පුටුවක නැගී සිටින වැරදිකරුවාගේ දෙකකුල් නිදහස් වී ගෙල හිරවීමට, ඔහු නැඟ සිටින පුටුව ඉවත්වන ලෙස පා පහරක් දිය යුත්තේ වින්දිතයාගේ පාර්ශවයෙන්…

[ඉදිරියට කියවන්න ඔබ පැකිලෙනවානම් මෙහි භයානක සංවේදී දර්ශන අඩංගු නොවේ…]

මිනිහෙකු එල්ලා මැරීම, නැරඹිය යුතුම ජාති වැඩක් ලෙස තීරණය කළ මහා ජනකායක් ඉදිරියේ මෙම මරණ දඬුවම සඳහා බලාල්ව රැගෙන ආවේ මෙලෙසින්

image

 

අතේ ඇඟිලි වලින් ගණන්කල හැකි තරම් සීමිත හුස්ම ගණනක් ඉතිරිව… මේ කෑගසන්නේ ඔහුගේ දෙවියන්ගේ නම බවට සැකයක් නැහැ…

image

 

මව් සෙනහස ඇත්තේ හරි වැරැද්දට අහු නොවෙන මානයක… දස මසක් කුස දරා සෑදු තම දරුවාගේ අවසන් මොහොත දකින්නට අවාසනාවන්තව බලාල්ගේ මව…

image

 

ඊට නොදෙවෙනි වෙහෙසක් ගෙන ඇති දැඩි කල තම දරුවා උදුරාගත් මිනීමරුවාගෙන් ලේ වල පලිය ගැනීමට සූදානම්ව අබ්දුල්ලාගේ මව…

image

 

පළිගැනීම සහ සමාවදීම අතර ඇති වෙනස කොතෙක්ද? මම ඔබෙන් ඇසුවා… විශ්වාස කරන්න, විටෙක එය එකම එක කම්මුල් පහරක් තරම්…

තම ආදර දරුවා මරා දැමූ මිනිමරුවාට කම්මුල් පහරක් එල්ල කර ඔහුට සමාව දීමට තීරණය කරන අබ්දුල්ලාගේ මව…

image

 

ජීවිත දානය ලැබීමෙන් පසු, ජීවිතයක වටිනාකම කෙතරම්දැයි අවබෝධයෙන්ම දැනගෙන හඬාවැටෙන බලාල්… නැවත ජීවිතයක් නැතිකරන්නට ඔහු කිසිදා පෙළඹේයැයි මම පුද්ගලිකව හිතන්නේ නැහැ…

image

 

සමාව දීමෙන් පසු අබ්දුල්ලාගේ මවගේ දෙපා මුල වැටුන බලාල්ගේ මව…

image

දරු දුකෙන් හඬන මව්වරු දෙදෙනක්… බලාල්ගේ සහ අබ්දුල්ලාගේ මව්වරුන්

image

 

මේ සිදුවීමේ ඡ්යාරූප වලින් කියැවෙන කතාව හැරෙන්නට ඒ පසුබිමේ ඇති සිදුවීම් සියල්ල මා දන්නේ නැහැ… වසර ගණනක් තිස්සේ ඇදුනු නඩු තීන්දුව, ඉස්ලාම් දහම, ෂරියා නීතිය, ලේ වන්දිය ඇතුළු කතා බොහොමයක් මේ සමඟ ඈඳී ඇති… එහෙත් මෙම ඡායාරූප පෙළ නැරඹීමෙන් මම ලද අසීමිත සතුට නැමැති කිරි කළයට, ගොම මුහු කරගෙන මේ මොහොතේ ආතල් එක කුඩු කරගන්න මම මෝඩ වෙන්නේ නැහැ… ඒ ගැන උනන්දු කෙනෙකුට මේ පිවිසුම හරහා ගොස්  සමස්ත සිදුවීම් දාමය ගැනම දැනගැනීමට ඔත්තුවක් සොයාගත හැකිවේවි…

සිංහල බ්ලොග් අවකාශයත් එක්තරා විදියක කල්ට් එකක්… “මෙහි සිටින්නේ සිංහල බ්ලොග් කරුවන් නොවෙයි, මං පොර මේනියාවෙන් පෙළෙන අනන්‍යතා අර්බුද රැසක්…“ කලකට පෙර කවුදෝ කීවා මට මතකයි … ඒ කතාව සියයට සියයක් මම පිළිගන්නේ නැති වුණත් වැරද්ද පිළිගැනීම සහ තවකෙකුට සමාව දීම මම මෙහි අඩුවෙන්ම දැක ඇති දෙයක් බව පැවසීම අතිශෝක්තියක් නොවෙයි… සමාව දෙන්න නම් වැරදිකරුවෙකු සිටිය යුතුයි…  වැරදිකරුවෙකු නැතිවීම සිංහල බ්ලොග් අවකාශයේ විටින් විට ඇවිලෙන බ්ලොග් ගැටුම් වල ලොකුම ගැටළුවයි…

ඒ හැම එකක්ම එහෙම වුනාවේ… ජීවත් වෙන මේ සුළු කාලයේදී ඔය සියල්ල අමතක කර සතුටු වෙන්නට හැකිනම් එයයි ලොකුම දිනුම… ඒ දිනුමේ වටිනාකම දැනගෙන හෙට පැලවත්ත බුද්ධදාස ක්‍රීඩාංගනයට රොද බඳින සිංහල බ්ලොග් ලියන, කියවන සැමට  ඇතිවන තුරු විනෝද වෙන රසවත් මතකයන් පිරුණු දිනයක් වේවායි සයිබර් සිහින බක්මහ උළෙලට මෙසේ උණුසුම් සුබපැතුම් එක්කරමි…

Monday, March 31, 2014

88.Drinking Alone



විතක් පිරුණු සුරාවයි…
ඝනදුරු හුදකලාවයි…
නුඹ කටහඩ තවම රැඳුනු…
යාරා ගඟ ගලා යයි…

නුඹ නැතිවුන සොව අසමින්…
ඉඳහිට මගෙ හිත හදමින්…
අද එළිවෙනතුරු බොන්නේ…
සඳයි මමයි හෙවනැල්ලයි…

සඳ ටිකිලා බොන්නෙ නැතිලු…
හෙවනැල්ලට මූඩ් නැතිලු…
යාරා ගඟ කිඳුරියකට…
ආයේ නොබොන බව කීවලු…

අඩුවක් නැති සුසුම් වලට…
වැඩියක් නෑ බෝතලයක්…
නුඹ ගියදා කුමට තවත්…
“වැඩිය නොබොන” පොරොන්දුවත්…

ගඟ සපයයි සංගීතය…
සඳ ගයනා දුක් ගීයට…
ලෝකය නම් රඟ මඬළක…
බමන මතින් නටමි මමත්…
මම නටනා තාලයටම…
හෙවනැල්ලේ නටන් උඹත්…


Inspired by : Drinking Alone under the Moon - Li Bai  | Picture : Cityscape Painting – Yarra Night Life

ප.ලි. : කාලෙකට කලින් මම ලියාපු නිසඳැසකුත් මෙතනට ලින්ක් කරන්න හිතුණා... ඒ මම මේකට කොන්දේසි විරහිතව ආදරේ කරන නිසා...
මියගිය පෙම්යුවල | The dead lovers

Wednesday, March 19, 2014

87. ගුවන් ගමනේ අභිරහස

Date : 08th March 2014 | Time : 01:25 Local time | Place : 35000ft above Gulf of Thailand

කපිතාන් අහ්මඩ් ෂා තවත් වරක් තම රේඩාර් තිරය දෙස බැලීය… තිරය හරි මැදින් දෙකට බෙදමින් දම්පැහැති සරල රේඛාවකින් බෙයිජින් බලා දිවෙන ගුවන් මාර්ගය දිස්වෙයි… රෝල්ස් රොයිස් එන්ජින් දෙකකින් සන්නද්ධ MH370 දරණ බෝයින් 777 යානය දශමයකුදු තම ගමන් පථය වෙනස් නොකර අඳුර කපාගෙන හීයක් සේ එම මාර්ගයේ ඇදී යයි…  මේ අතර සහායක නියමු අබ්දුල් හමීඩ් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ කපිතාන්ගේ නියෝගය ලැබෙනතුරුයි… තවත් සුළු මොහොතකින් යානය මැලේසියානු ගුවන් පාලන සීමාවෙන් ඔබ්බට ඇදී යන බව ඔහු දනී… ඉන් අනතුරුව වියට්නාම ගුවන් පාලන සීමාවට ඇතුළුවීමට පෙර ඇති බ්ලැකවුට් කාලය තුළදී ඔවුන්ගේ සැලසුම ක්‍රියාත්මක කළයුතුව තිබේ…

කපිතාන් ෂා සෙමින් හිස සැලූයෙන් සහායක නියමු හමීඩ් මැලේසියානු පාලක මැදිරිය ඇමතීය…

“SZBTower…This is MH370………..requesting ATC switch to SGN…”

“MH370 maintain 35000…heading……. 30…”

“heading 30…”

“MH370 ATC switch approved………. Good night”

“All right… Good Night…” 

යැයි පැවසූ සහායක නියමු තම හිස පැලඳි රිසීවරය ගලවා දැමීය…

මෙතැන් පටන් සියල්ල අතිශය තීරණාත්මක බව කපිතාන් ෂා දනී… දකුණුපස ඇති FMC පරිඝනකයේ යතුරු අතර ඔහුගේ ඇඟිලි කඩිනමින් දිවයයි… රේඩාර් තිරයේ යානය ගමන් කල යුතු මඟ දම්පැහැයෙන් දිස්වෙද්දී තිරය මත අලුත් මාර්ගයක් සුදු පැහැති කඩ ඉරි වලින් ඇඳෙන්නේ “Are you sure you want to change the course?” යන පණිවුඩය සමඟිනි…

කපිතාන් ෂා තම සහායක නියමු යානයේ ට්‍රාන්ස්පොන්ඩර ක්‍රියා විරහිත කරන තුරු මොහොතක් පමාවිය… තමා මේ කරන්නේ නිවැරදි දේද..? තවත් වරක් සිතන්නට මේ තත්පර කිහිපය ඔහුට ඉසිඹුවක් ලබාදේ… තමා සියයට සියයක් නිවැරදි නැති බව ඔහු හොඳින් දනී… තමා පමණක් නොව තම සහායක නියමුවාත්, මෙම මෙහෙයුමට සම්බන්ධව සිටින අනෙක් සියල්ලෝත් නිවැරදි මිනිසුන් නොවන බව ඔහු දනී… එහෙත් මේ වැරදි මිනිසුන් පිරිසක් එක්ව කරන නිවැරදි වැඩක් බව ඔහුගේ සිත ඔහුට හඬගා පවසයි…

කපිතාන් ෂා ගේ දබරැඟිල්ල “YES” නම සඳහන් යතුර උඩ තෙරපෙද්දී MH370 යානය තම සැමියාට අවනතවන කීකරු බිරිඳක් සේ සෙමින් වම්පසට ඇලවී අලුත් මාර්ගයට අනුගත වෙන්නීය… කැබින් එක වෙත ගුවන් ගමන් සිතියමේ සජීවී දර්ශන නොලැබෙන බව කපිතාන් ෂා තහවුරු කරගනිද්දී තම ගමන් මල්ලෙන් අයි පෑඩයක් පිටතට ගන්නා හමීඩ් එය කපිතාන් ෂා අතට පත් කරයි… අඩි 33000 ඉහළ අහසේ මේ මොහොතේත් ලෝකගෝලය වටා විසිරෙන මැස්සන් රැළක් මෙන් ඔබ මොබ යන ගුවන් යානා සිය ගනනක් විය හැක… සැකයක් නැතුවම ඒ කිසිදු ගුවන් යානයක නියමුවෙකු නොකරන අසාමාන්‍ය කටයුත්තකට MH370 හි මෙම ගුවන් නියමුවන් දෙදෙනා අතගසා තිබේ… කපිතාන් ෂා අයිපෑඩයෙන් ForeFlight ජංගම ම්රුදුකාංගය විවෘත කරගන්නා අතරේදී සහායක නියමුවා  ඔබමොබ ගෙනයාහැකි ADS-B උපකරණයක් ක්‍රියාත්මක කරයි… අයිපෑඩය දෙස සුළු මොහොතක් නෙත් යොමාගෙන සිටන කපිතාන්වරයා ඉන්පසු තම මහපට ඇඟිල්ල ඔසවා සියල්ල සතුටුදායක බව සංඥා කරයි…

දැන් ආරම්භ වෙන්නේ ඉවසීමේ හෝරාවයි… යානයේ එන්ජින් වලින් නික්මෙන බර හඬ හැරෙන්නට සියල්ල සන්සුන්ය… ආලෝක ලාම්පු නිවාගත් යානය අඳුරේම ඉදිරියට ඇදෙයි… කාලය සෙමින් ගතවේ… අයිපෑඩය දෙස නෙත් යොමාගත් වනම සිටින නියමුවන් දෙදෙනාගේ මුහුණේ එක්වරම ඇඳෙන්නේ සිනහවකි…

“බිංගෝ…!” නොදැනුවත්වම කපිතාන් ෂා ගේ මුවින් පිටවේ…

-----------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 16:10 Local time | Place : Kenny Hills Towers, Kuala Lumpur

කාර්යාල කාමරයේ වූ සෝෆාවේ තමා කෙතරම් වේලා නිදාගත්තාදැයි ගුවන් යානා අනතුරු විශේෂඥ රසල්ට නිච්චියක් නොවීය… මේ ගෙවෙන්නේ ගුවන්යානය අතුරුදන්වී 14 වෙනි දිනයයි… හවස්වරුවේ අගමැතිතුමා හා කෙරෙන හමුවේදී ඔහුවෙත ලබාදෙන්නට සතුටුදායක මට්ටමේ තොරතුරක් තමා සතුව නැති බව සිහිවන විට රසල්ට දැනෙන්නේ මහත් අපහසුවකි… තමාව මෙම ගුවන් යානා අතුරුදන්වීමේ අභිරහස විසඳීමට සම්බන්ධ කරගත් මොහොතේ පටන් තම යටිසිතෙන් දිගින් දිගටම බලකල එකම කරුණක් ඔස්සේ පමණක් ලුහුබැඳීම නිසා තමා අතරමං වී ඇති බව ඔහුට දැන් වැටහේ… එහෙත් මෙතෙක් කල් ඔහු පරීක්ශන රාශියක් සාර්ථකව අවසන් කලේත් මෙම මුරණ්ඩු හිතලු ඔස්සේ හඹා යෑම නිසා බවද ඔහු දනී…

ගැටවර චීන පරිගණක ඉංජිනේරුවරයා පෙර දිනයේදී ඔහුට ලබා දුන් කපිතාන් ෂා ගේ ගුවන්යානා සිමියුලේටරයේ මකාදැමූ දත්ත වල මුද්‍රිත සටහන් අපිළිවෙලට ඔහුගේ කාර්යාල කාමරය පුරා විසිරී ඇත… මේ වනවිට දහස්වරකටත් වඩා පරීක්ශා කරන්නට ඇති යැයි සැක කෙරෙන ඉන් එක් සටහන් පිටුවක් නැවතත් ඔහු ඇහිඳගත්තේය… 

මෙහි ඇත්තේ මීට දින කිහිපයකට පෙර කපිතාන් ෂා විසින් තම සිමියුලේටරයෙන් පදවා ඇති පුහුණු ගුවන් ගමනක සිතියමකි… දැනට හෙලිවී ඇති තොරතුරු අනුව MH370 යානයේ ට්‍රාන්ස්පොන්ඩර් ක්‍රියාවිරහිත වූ තැන් පටන් මැලේසියානු හමුදා රේඩාර් වල යානය සටහන් වූ තැන් දක්වා MH370 යානය ගමන් කර ඇතැයි සැලකෙන මාර්ගය මේ පුහුණු ගුවන් ගමනේ මාර්ගය හා ටක්කෙටම ගැලපෙයි…

නමුත් මෙතැනින් එහාට ඒ ගැන ගලපා ගත හැකි සම්බන්ධය කුමක්ද..? පුහුණු ගුවන් ගමනේ පථයට අනුව බෙන්ගාල බොක්ක හරහා ගුවන් යානය ඉන්දියානු ගුවන් සීමාවට ඇතුළු වී එතැනින් පකිස්තාන් ඇෆ්ගනිස්තානය හරහා ස්පාඥ්ඥ්යේ බාර්සිලෝනා නුවරින් අවසන් වේ… මෙය ජනප්‍රිය ගුවන් ගමන් පථයකි… MH370 යානය මෙම මාර්ගයේ නොගිය බව සහතික කල හැක්කේ අතිශය සංවේදී ගුවන් කලාපයක් වන මෙහි ඉන්දියානු පාකිස්තාන රේඩාර් වල එවැනි ගුවන් යානයක් සටහන් නොවීමයි… මෙම රටවල් වල ස්ථාපිත කර ඇති අතිශය සංවේදී හමුදා රේඩාර් වලට හසු නොවී බෝයින් 777 යානයක් ගමන්ගත්තේයැයි සැලකීම විහිළුවකි…  එහෙත් MH370 හි අභිරහස විසඳාගැනීමට මෙම පුහුණු ගමනේ කිසියම් හෝඩුවාවක් ඇතැයි සිතන්නට රසල්ගේ යටිසිත දිගින් දිගටම ඔහුට බලකරයි…

වටයක් කැරකී නැවතත් පළමු කොටුවටම පැමිණි රසල් සුසුමක් හෙලා විදුලි කේතලය ක්‍රියාත්මක කලේ  දිගින් දිගටම තර්ක කිරීම නිසා ඔද්දල් වූ මනස ප්‍රබෝධමත් කරගනු වස් වූයේ කෝපි කෝප්පයක් පානය කිරීමේ අටියෙනි… වතුර රත්වෙනතුරු මහල් නිවාස සංකීර්ණයේ ඉහල මාලයක සිට එලිය බලාගෙන සිටි රසල්ට , සිරිපොද වැස්සේ තම මහල් නිවාසය දෙසට ඇදී එන රතු පැහැති කුඩය බිරිඳගේ බව හඳුනා ගැනීම අපහසු නොවීය… ඇය වෙනුවෙන් තවත් කෝපි කෝප්පයක් පිළියෙල කරගෙන විසිත්ත කාමරයට එන විට;

“ඔන්න අපි වැස්සත් අරගෙනම ආවා…”

යැයි පවසමින් රසල්ගේ බිරිඳ නිවසට ඇතුළුවිය…

“කවුද අපි…?”

රසල් අසද්දී

“කෝ මට කෝපි..?”

යැයි පවසමින් බිරිඳ පිටුපසින් නිවසට ඇතුළුවූයේ ඔවුන්ගේ සෙනෙහෙබර දියණියයි…

“කවුද දන්නේ දුවත් එනවා කියලා…මම දැක්කේ ඔයාගේ කුඩේ විතරනේ…”

“ඉතිං එක කුඩේ යටින් දෙන්නෙකුට එන්න බැරිද..?”

රසල්ගේ බිරිඳ අසද්දී එයට පිළිතුරු දුන්නේ ඔහු නොවේ… සුළුමොහොතක් ගල්ගැසී ඔවුන් දෙදෙනා දෙස තුශ්ණිම්භූතව බලාසිටි රසල් හනික තම කාර්යාල කාමරය දිවගියේය…

එහි වූ තම පරිඝනක යන්ත්‍රය විවෘත කරගත් ඔහු යුහුසුළුව MH370 ගුවන් යානය අතුරුදන් වූ දිනයේ ගුවනේ වූ අනෙකුත් යානා වල ගමන් මාර්ග පිරික්සන්නට විය…

“බිංගෝ….!” මොහොතකට පසු ඔහුගේ මුවින් පිටවූයේ නිතැතිනි…

--------------------------------------------------------------------------

Date : 20th March 2014 | Time : 18:40 Local time | Place : Unknown

අගමැතිවරයා මෙතරම් ආතතියකින් සිටිනු ඔහුගේ සේවකයින් කිසිවෙකු මින් පෙර දැක තිබුණේ නැත… පසෙකින් දිගින් දිගටම නැගෙන උද්ඝෝශනයි… ලොවම ඇස් කන් යොමාගෙන සිටින මෙම සිදුවීම දැන් කෙමෙන් රජය අස්ථාවර වීමක් දක්වා දුර දිග යන බව පෙනෙන්නට තිබේ… සියල්ලටම වැඩියෙන් කපුටන් මෙන් හැම කුණුගොඩම අවුස්සන ලෝක ජනමාධ්‍යවලින් රජයේ සුවිශේෂ පුද්ගලයින් කිහිප දෙනෙක් පමණක් දන්නා සත්‍ය කරුණු තව කොතෙක් දුරට වසන් කරගත හැකිදැයි පවතින අවිනිශ්චිතතාවයි… අද දිනයේ යානය සඟවා ඇති තැන සොයා නොගතහොත් තවත් කල් මැරීම නොකල හැකි දෙයක් බව අගමැතිවරයා ඇතුළු කණ්ඩායමට පැහැදිලිය… මුහුද පීරමින් සිටීම දිගින් දිගටම කලහැකි ප්‍රෝඩාවක් නොවේ…

කොල්ලකරුවන්ගේ ඉල්ලීම පරිදි ඔවුන් ඉල්ලා සිටින දේශපාලන සිරකරුවන් හොරරහසේ ඔවුන් වෙත බාරදීම වෙතට තමන් ක්‍රමයෙන් තල්ලු වෙන බව අගමැතිවරයාට වැටහෙන්නට විය… රසල් ඔහු හමුවට පැමිණියේ මෙවැනි පසුබිමක් යටතේදීය… අතිශය රහසිගත ස්ථානයක කෙරෙන මෙම සංවාදයේදී රසල් විසින් විස්තර කරන කරුණ විශ්වාස කිරීමට අගමැතිවරයා මදක් පැකිළුනි…

“රසල් කියන්නේ තවත් බෝයින් 777 එකක් මාර්ගයෙන් MH370 එක රේඩාර් වලට අහු නොවී ෆ්ලයි කලා කියලද..?”

“ඔව් ඒකට කියන්නේ ෂැඩෝ ෆ්ලයින්ග්… සිමියුලේටර් එකක මේක කරලා බලලා තියෙනවා මිසක් ඇත්තට මේ අවදානම කවුරුත් අරගෙන නැහැ… අතිශය පළපුරුදු ගුවන් නියමුවෙකුට මේක කරන්න බැරි දෙයක් නෙමෙයි…”

“හොඳයි කොහොමද මේක කලා කියලා රසල් සැක කරන්නේ?”

“සැක කරනවා නෙමෙයි… කැප්ටන් ෂා කලේ මේකම තමයි මට විශ්වාසයි… හරියටම මේ ට්‍රාන්ස්පොන්ඩර් ඕෆ් වුන තැනට සින්ගපූර් එයාලයින් ෆ්ලයිට් SG58 කියන බෝයින් 777 එකට තිබිලා තියෙන්නේ විනාඩි 15ක දුරක්… MH370 එකට කරන්න තියෙන්නේ ඒ ෆ්ලයිට් එකට උඩින් හෝ යටින් ෆ්ලයි කරන ගමන් SG58 ෆ්ලයිට් එකට එයාර් ට්‍රැෆික් කන්ට්‍රෝල් එකෙන් දෙන ඉන්ස්ට්‍රක්ශන්ස් හැක් කරලා ඒ ඉන්ස්ට්‍රක්ශන්ස්ම ෆලෝ කරන එක… MH370 ට්‍රාන්ස්පොන්ඩර්ස් ඔෆ් කරලා නිසා SG58 වලට තමන් ළගින් තව ෆ්ලයිට් එකක් ෆ්ලයි කරන බව ඇලර්ට් වෙන්නේ නැහැ… ඉන්දියා, පකිස්තාන් ඇෆ්ගනිස්තාන් එයාර් ස්පේස් එක මේ විදියට SG58 එකට මුවාවෙලා රේඩාර් වල ට්‍රැක් නොවී පැනගත්ත ගමන් ඊට පස්සේ තියෙන ඕපන් ස්පේස් එකේදී SG58 ශැඩෝ එකෙන් මිදිලා තමන්ට අවශ්‍ය තැනට ලෑන්ඩ් කරන්න පුළුවන්… MH370 එකේ තිබුන ඉන්ධන එක්කත් සලකලා, ආරක්ශාව වගේ බාහිර කාරනාත් සලකද්දී මේවගේ හොස්ටේජ් මිෂන් එකකට ලෑන්ඩ් කරන්න හොඳම තැන විදියට මට හිතෙන්නේ මෙන්න මෙතන… සර්ට හිතෙන්නේ මොකද්ද…?”

මේසය මත දිගහැර ඇති සිතියමේ ටර්ක්මේනිස්තාන්හි එක්තරා ගුවන් පථයකට තම දබරැඟිල්ල තබමින් රසල් පැවසීය…

“මට හිතෙන්නේද? මට හිතෙන්නේ උබව ඉඹගෙන ඉඹගෙන යන්න…”

අගමැතිවරයා සතුටින් ඉපිලෙමින් පැවසීය…

---------------------------------------------------------------------------------

Date : 22nd March 2014 | Time : 02:10 Local time | Place : Somewhere in Turkmenistan

ප්‍රහාරය  සැලසුම් කෙරුනේ අදහාගත නොහැකිතරම් වේගයකිනි… සියළු මඟීන් නිදාසිටින රාත්‍රී කාලයේ ඔවුන් රඳවාගෙන සිටි අතහැරදැමූ ගුවන් යානා ගොඩනැඟිල්ල වෙත කඩාවැදීම ප්‍රහාරයේ සැලසුම විය… බිම නිදා සිටින මඟීන් ප්‍රහාරයට ලක්වීම අවම වීමත් සිටගෙන සිටින ත්‍රස්තවාදීන්ට පහසුවෙන් පහරදීමටත් හැකිවීම මීට පෙරද මෙවැනි බේරාගැනීමේ මෙහෙයුම් වල සාර්ථක වී ඇති සැලැස්මකි…

මානුශික මෙහෙයුම සාර්ථකව අවසන් වූ බව අසන්නට සූදානමින් ප්‍රහාරය අනුමත කල අගමැති ඇතුළු කැබිනට් මණ්ඩලය පුල පුලා බලා සිටියහ… ආරංචිය නිවේදනය කලේ හමුදාපතිවරයායි…

“මඟීන් සහ කාර්ය මණ්ඩලය 237ක් නිරුපද්‍රිතයි… ත්‍රස්තවාදීන් 12ක් සහ මඟීන් දෙන්නෙක් මියගියා… ඔවුන් දෙන්නාගේ සිරුරු හඳුනාගත නොහැකි තරමට විනාශ වී තිබෙනවා… ”

“මඟීන් දෙන්නා කවුද..?”

“හොර පාස්පෝර්ට් වලින් ගිය දෙන්නා…”

හමුදාපතිවරයා පැවසූයේ ඇසක් ඉඟි මරමිනි…

~නිමි~

ප.ලි. : මේ ලොවක් මවිත කල MH370 යානය සම්බන්ධයෙන් විමසිලිමත්ව සිටියදී අන්තර්ජාලයේම නොයෙක් විට ඇසගැටුණු conspiracy theories වල අනුසාරයෙන් මැවුනු හිතළුවක් බව නොකිවමනාය… ජීවිතයටම ෆ්ලයිට් ඩෙක් එකකට ඇතුළුවීනැති මා විසින් මෙහි වැරදියට සඳහන්කර ඇති දේ බොහෝ විය හැක…

හදිසි අනතුරු යනු අප්‍රසන්නතම අත්දැකීමකි… එයිනුත් ගුවන් ගමන් අනතුරු අප්‍රසන්නතාවයෙන් ඉදිරියෙන්ම සිටිතැයි සිතමි… හදිසිඅනතුරකින් මියෙන්නෙකුට තමා මියෙන බව දැනෙන්නේ මිලි තත්පර කිහිපයක් විය හැක.. නමුත් ගුවන් අනතුරකදී ඒ කාලය ඉතා වැඩියැයි සිතමි… වරක් low visibility යැයි පවසමින් මා ගමන්ගත් ගුවන් යානය ගොඩබාගැනීමට තැනක් සොයමින් නියමුවන් තතනද්දී එය අතිශය සුළු හදිසි අවස්ථාවක් වුවද මා යහමින් බිය වූ බව පැවසූවොත් එය වැරදි නොවේ… නියත අනතුරකදී මෙම මරබිය සිය දහස් ගුණයකින්  වැඩි ඇතැයි සිතමි…

ඉතින් අතුරුදන්ව ඇත්තේ 239 ක් හීන පිරුනු ජීවිතයි… ඔබට මට මෙන්ම ඔවුන් එනතුරු කඳුලු බොමින් බලා සිටින පවුල්වල හිතවතුන් සියල්ලන්ටම පරම්පරා ගනනක් තම දුවා දරුවන් මවිත කරමින් කියන්නට රසවත් කතන්දරයකුත් රැගෙන ලෝකයේ කොහෙන් හෝ ඔවුන් නිරුපද්‍රිතව මතුවේයැයි බලාසිටිමි…

ශැඩෝ ෆ්ලයින් නැමති මේ සිත් ඇදගන්නා සුළු සංකල්පය මා දුටුවේ Keith Ledgerwood නැමැත්තෙකුගේ ලිපියකිනි… එය කියවන්න මෙතැනින්

Monday, March 3, 2014

86. මම බලපු චිත්‍රපටි–Wadjda

පසුගිය දිනෙක නැරඹූ චිත්‍රපටියක් විසින් පහුරු ගාන්නට යෙදුණ මතක පොසිලයකුත්, කලකින් යාවත්කාලීන නොවුන බ්ලොග් අඩවිය තරහාකර ගැනීමට ඇති අකමැත්තත් යන සිතුවිලි දෙකම එක්ව පෝර යෙදූ සටහනක් මේ… චිත්‍රපටිය සටහනේ අග හරියට, පරිස්සමට පැටලුම් ලිහාගත් අතීත මතකය මුලින්ම…

ඒ බැංගලෝරයේ පුද්ගලික අධ්‍යාපන ආයතනයක කෙටි පාඨමාලාවක අවසාන සති කිහිපය… පාඨමාලා අවසාන ව්‍යාපෘතියේ එකිනෙකාගේ හඳුනාගත් දක්ෂතා මත දෙදෙනා හෝ තුන්දෙනා බැගින් ව්‍යාපෘති භාර ගුරුතුමාගේ අනුදැනුම යටතේ වෙන්වෙද්දී මම අයිති කණ්ඩායම තීරණය වුණේ අමුතුම ක්‍රමයකට… 

“එහෙනම් ඔය අන්තිමට ඉතුරු දෙන්නා එක ගෲප් එකක් හදාගන්න…”

අන්තිමට ඉතුරුවුණු මා සමඟ ගෲප් එකක් හදන්නට අන්තිමට ඉතුරුවුණු ඇය, හිසකේ පටන් පා නියපොතු දක්වා කලු නිකාබයක සැඟවුණු මුස්ලිම් යුවතියක්… කලු පැහැ අත් පා ආවරණ පවා පැළඳ ඇස්කිමෝවෙකු සිහි ගැන්වූ ඇයගේ බාහිරට විවර වුණු එකම ශරීරාංගය වූයේ අඟල් කිහිපයක් පළල විවරයකින් මා දෙස ඔරවාගෙන සිටි නෙත් යුගල පමණයි… තම කණ්ඩායම ගැන සෑහීමකට පත්වී නොසිටියේ ඇය පමණක් නොවේ, උරෙන් උර ගැටී ව්‍යාපෘතිය සාර්ථක කරගැනීම සඳහා වෙහෙසිය හැකි ව්‍යාපෘති සගයෙකු වෙනුවට,  මමත් බලාපොරොත්තු වෙන අවසාන තෝරාගැනීම කතාකරන රෙදි පොට්ටනියක් විය හැකියි…

නොරිස්සුමකින් ඇරඹි අප සමාගමය සතුට රැඳුන මිතුදමක් බවට පත්වීමට ගතවුණේ ව්‍යාපෘති සාකච්ඡා වට කිහිපයකුත් තව ටිකක්… කොහොමත් තුරුණු වයසේ කෙළි කවට සිනා වලට විවරවන සිතක් වසන්නට නිකාබයක් තුනී වැඩියි… මෙතැන් පටන් දිඟු කාලයක් පේළි කිහිපයකට කෙටි කළොත්, දැන් මම සිටින්නේ සාර්ථක ව්‍යාපෘති ඉදිරිපත් කිරීමක් අවසානයේ ඇගෙන් සමුගැනීමට සූදානම්ව ආචාරශීලී සුභපැතුමක් ගැන කල්පනා කරමින්…

“ඉතිං එහෙමනම්… ගත කළ හැම මොහොතක්ම සතුටක්…” ඇය පවසන්නේ මට කලින්…

“මටත් එහෙමයි… එකම එක දුකක් ඇරෙන්න…” මගේ මුරණ්ඩුකම ආචාරශීලීත්වයට වඩා දශමයක් ඉදිරියෙන්…

“ඒ මොකද්ද..?”

“අපි හරි කෙටි කාලෙකින් ලෝකේ අමාරුම දෙයක් කරලා දිනුවා… ඒත් එතෙන්ට යන්න අත්වැල් අල්ලාගෙන හිටි කෙනා කියලා මම අඳුනන්නේ ඇස් දෙකක් විතරයි…”

“යා අල්ලාහ්, ඉතිං ඒකට මම මොකද්ද කරන්නේ…”

“ඒ ඇස් දෙකට මූණක් දෙන්න…”

දෑසක විස්මය, අඟල් කිහිපයකින් රාමු කළවිට කලාකෘතියක් වැනියි…

“පිස්සුද ඒක හරාම්…”

“ඒ කියන්නේ..?”

“ඒක තහනම්… අනික මෙහෙම හොඳයි… එතකොට ඔයාට මගේ මූණ ගැන කැමති විදියකට හිතාගන්න පුළුවන්… “

“ඒක කොහොමද හොඳ වෙන්නේ… මම මැරෙනකොට මැරෙන්නෙත් ඔයා කවුද කියලා නොදැන… මිනිහෙකුට දෙන්න පුළුවන් තවත් දඬුවමක් තියේද..?”

“මොනවද මේ කියන්නේ… මම කැමතිවුණත් මූන පෙන්නන්න මට තහනම්… ඔයා නන්-මහ්රාම්…”

“ඒ කියන්නේ…?”

“ඔයා මගේ හස්බන්ඩ්වත්, තාත්තාවත්, සහෝදරයෙක්වත් නෙමෙයි… මට මූණ පෙන්නන්න අවසර තියෙන්නේ ඒ තුන්දෙනාට විතරයි…”

“ඉතිං මම සහෝදරයෙක් කියලා හිතන්න… එහෙම බෑද…?”

“එහෙම පුළුවන්ද, මම දන්නෑ…”

“මම දන්නෙත් නෑ…”

“පොඩ්ඩක් ඉන්න එහෙනම්… පුදුම මුරණ්ඩුකමක්…”

අත්බෑගයෙන් එළියට ගත්  පුංචි ඩයරියක ඇති දුරකථන අංකයකට ඇය ඇමතුමක් ලබාගන්නේ, ඇස් ඉරටු කර සිනාසෙමින්…

“ඔය කාටද කතා කරන්නේ…”

“පල්ලියට…”

****************************************



ඇගේ නම වජ්ඩා… දෙවියන් විසින් තවමත් පාලනය අතැර නොගිය කර්කශ සවුදි අරාබියේ දහසකුත් එකක් තහංචි මැද, දෙවියන් දුන් ජීවිතයට සාධාරණයක් ඉටුකරන්නට වෙහෙසෙන දැරියක්... මේ මොහොතේ ඇගේ එකම සිහිනය ඇගේම කියා පුෂ් බයිසිකලයක් පැද යෑම... නමුත් ඇගේ අවාසනාවට, හිමිදිරි යාඥාවේ පටන් නින්දට යනතුරු ඇයට ඇසුරු කරන්නට බලකර ඇති ආගමික ග්‍රන්ථයක ගල්වුණ අකුරු පේළි අතරේ කුඩා දරුවෙකුගේ මේ  ආශාව ලියවී නැහැ...

වතුර නොමැතිව වියළි පොළවේ හැදෙන මුරණ්ඩු පතොක් ගසක් මලක් නොපිපී මිසක් මියෙන්නේ නැහැ... තම සිහිනය සැබෑකරගැනීම වෙනුවෙන් සටන් නොකර පරදින්නට සූදානම් නැති මුරණ්ඩු පතොක් ගසක් ඇය...

පුෂ් බයිසිකලයකට අවශ්‍යය රියාල් අටසියය දෙමාපියන්ගෙන් කිසිදා නොලැබෙන බව වටහා ගන්නා වජ්ඩා  තමාට හැකි අයුරින් මුදල් එකතු කරන්නේ ඒ ඉලක්කයට ළඟා වීමේ අරමුණින්... නමුත් ඇය වැනි කුඩා දැරියකට ඉතුරු කල හැකි සීමාව ඇත්තේ එවැනි විශාල මුදලකට වඩා හුඟක් අඩුවෙන් බව වජ්ඩාට වැටහෙනවා...

පාසලේ පැවැත්වෙන, කුරානය කට පාඩමින් කියනා තරඟයක පළමු ත්‍යාගයට ලැබෙන තැගි මුදල ඇගේ ඇස ගැටෙන්නේ මේ අතරෙදියි... ඒ බයිසිකල් සිහිනය සැබෑ කරගත හැකි මුදලක්... දෙවරක් නොසිතා අදාළ තරඟයට ලියාපදිංචි වන ඇය එතැන් පටන් වෙහෙසෙන්නේ දේව වාක්‍යය කට පාඩමින් මනාව ගායනා කිරීමට... නමුත් වජ්ඩාට ධර්මය උගන්වන ගුරුවරු කිසිත් නොදන්නා රහස නම් ඇය මේ දිවි නොතකා ධර්මය ඉගෙනීමට වෙහෙසෙන්නේ එහි සඳහන් පාපයක් ඉටුකරගැනීමේ නිසඟ අරමුණින් බව...

දෙවියන්ට වංචාකර ඇයට ජයගැනීමට හැකිවේවිද..? මේ අතර තම සැමියා තවත් විවාහයක් කරගැනීම වැළක්වීමට ඇගේ මව ගන්නා උත්සාහය සාර්ථක වේවිද..? චිත්‍රපටියේ අවසානය මේ සියල්ල විසඳාවි...

ආගමික නීතිරීති වලින් පාලනය වෙන ගැහැණු, තම ආත්මය වටා වැර යොදා බැඳුණු ඒ යදම් සමඟින් තම ජීවිතය විඳින්නට ගෙනයන සටන මීට වඩා හොඳින් පෙන්වන චිත්‍රපටි ඇත්නම් මගේ වැටහීම අනුව ඒ අතළොස්සක් විය හැකියි... මුළු ගතම වැසෙන සේ ඇඳි අබාය ඇතුළේ හිරවී සිටින ගැහැනියගෙන් "දාඩිය නැද්ද..? ඔයගොල්ලෝ ඕක කොහොමද ඇඳන් ඉන්නේ?" වැනි අතිශය බොළඳ ප්‍රශ්න මේ චිත්‍රපටිය නැරඹුවාට පසු ඔබ ඔවුන්ගෙන් නැවත නොඅසන බවට මට විශ්වාසයි...

Haifaa Al-Mansour Picture

සවුදි අරාබියේ පළමු කාන්තා සිනමා අධ්‍යක්ශකවරිය… හයිෆා අල්මන්සූර්… කුඩාකල බයිසිකලයක් ගන්නට සිහින මැවූ සවුදි අරාබි යුවතියක්… විචාර බුද්ධිය මඬින ආගමික බල අධිකාරයට මෙම චිත්‍රපටියෙන් දසන් නොමදක්වා ඇය සිනාසෙන අයුරු මනරම්…

Saturday, January 18, 2014

85. කෝම්පිට්ටු

Mother's Love Art Prints, Mother's Grace, Chidi Okoye, mother's love greeting cards pic09 

“කෝම්පිට්ටු ඉදීයන්
කෝම්පිට්ටු ඉදීයන්
රෑට බතට අපට කන්න
කෝම්පිට්ටු ඉදීයන්”
පොල්කට්ටට තව එකකින්...
තුනක් තට්ටු කරපු සැණින්...
ඉදුනා බත් අපූරුවට...
ඊයේ වගේ මතකයි මට...

කුස්සියේ හැලිවලං වලට...
මොන කෙංගෙඩියක් වෙලාද...
කෝම්පිට්ටු වගේ නොවෙයි...
රෑට බතට ඔහුට කන්න...
වැලිබත් නොඉදෙනා හැඩයි...

පොල්කටු අං දෙක දමාපු ...
පොල්පිති හරකෙක් පදින්න...
වලංකටුව හරි කොටුවට...
විසිකරලා උජාරුවට...
තනි අන්ඩෙන් පෙර වාගේ...
බට්ටා පනින්නට ආසයි...

මිඩ්ඩයිෆ් නෝනා ආවොත්...
"උඩ පනින්න එපා ළමයෝ..!"
ආයෙත් තරවටු කරාවි...
අත්තාපල් මුත්තාපල්...
මාස දහය පරිස්සමට...
දුවන්නැතුව ඉන්නවා මම...

රජරට ළමා මව්වරු 2000 ක්‌ - පුවතක්

චිත්‍රය ඇන්දේ : Chidi Okoye

Saturday, October 26, 2013

84. අපේ නොවෙන අපේම දේවල්…

 

විවේකී සති අන්තයේ ඕපාදූප මොනවාදැයි දැනගනු රිසියෙන් මුහුණුපොතට පිවිසුනෙමි… සමනල සංධ්වනිය චිත්‍රපටය නැරඹූ මිතුරු මිතුරියන්ගේ උදාන වාක්‍යය වලින් එහි බිත්ති පිරී තිබේ… මා එම චිත්‍රපටිය තවමත් නරඹා නොමැතිවීම ගැන මට ඇතිවූයේ ලැජ්ජාව මුසු පසුතැවීමකි… පරිගණකය වසාදැමූ මම හනිකට සිනමාශාලාව වෙත දුවන්නට වීමී… වායුසමනය කල සිනමාශාලාවේ සුවපහසුව අසුන්ගත් මම අමතක වෙන්නට කලියෙන් හනිකට දුරකථනය ගෙන “වොචින් සමනල සංධ්වනිය…. පීලින් ඕසම්…” යැයි මුහුණුපොතට බෑඟිරි ගැසූයෙමි… දැන් ඉතින් ෆිල්ම් එක බැලුවේ නැතත් මොකද…? මට සිතුණි…

“මට මගේ නොවන මගේම ආදරයක් තිබුණා…” චිත්‍රපටයේ ප්‍රධාන නළුවා ගයයි… මටද මගේ නොවන කුමක් හෝ දෙයක් ඇතිදැයි මම සිතන්නට වීමි… කොටින්ම මේ මොහොතේ අනෙක් පුටුවේ වාඩිවී පුටු ඇඳි දෙකම අයිති කරගෙන චිත්‍රපටිය නරඹන සද්දන්තයා මට අහිමි කර ඇති, මගේ නමුත් මගේම නොවන පුටු ඇන්දේ පටන් ජීවිතය පුරාම වැඩියෙන්ම මට තිබී ඇත්තේ එවැනි දේ බව මට පසක් විය… ගායනයේ තාලයට සෙමින් මාගේ දෑස පියවෙන්නට වූයෙන් මටත් නොදැනීම මා නිදිලොවට පිවිසෙන්නට ඇතැයි සිතමි… සුලු මොහොතකින් මා සිටියේ නිවසේ හාන්සි පුටුවේ වැතිරීගෙනයි… මට මෙන්ම ලෝකයේ අනිත් අයටත් ඔවුන්ගේ නොවෙන ඔවුන්ගේ දේවල් ඇතිදැයි සෙවීමට මට ආශාවක් ඇතිවූයෙන් මම හනික නිවසින් එළියට පියමැන්නෙමි…

මුලින්ම මට හමුවූයේ එහා ගෙදර සිල්වා අංකල්වයි…

“අංකල් කඩේ ගියාද…?” මම ඇසුවෙමි…

“ඔව් පුතා මේ එක්සර්සයිස් එකටත් එක්ක පොඩ්ඩක් ඇවිදගෙන ගියා…” තුංමුණින් දහදිය පෙරාගෙන අංකල් පවසයි…

“අංකල් මම මේ අහන්නම කියලා හිටියේ… මෙහෙම ඇහුවා කියලා මං ගැන වැරදියට හිතන්න එපා…”

“පිස්සුද පුතා… අහන්න ඕනේ දෙයක්…”

“අංකල්ට අංකල්ගෙ නොවෙන අංකල්ගේම මොනවා හරි තියෙනවද…?”

සිල්වා අංකල් ටික වේලාවක් කල්පනා කරන්නට විය…

“හරි තියෙනවනේ පුතා…”

“මොකද්ද අංකල්…?”

“ඇයි ළමයෝ මගේ පඩි පැකට් එක…!”

සිල්වා ඇන්ටි ගේට්ටුව අසල හිඳ උගුර පාදද්දී සිල්වා අංකල්ගේ මුහුණ ශෝචනීය වූයෙන් ඔහුට සමුදුන් මම හන්දිය බලා පිටත් වීමී… කෑගසාගෙන පැමිණි ප්‍රයිවෙට් බසයක් මා අසල නැවැත්වූ අතර පසෙකට පැනගැනීමටත් ප්‍රථම කොන්දොස්තරවරයා මාගේ කොන්දෙන් අල්ලා අසුරු සැණින් බස්රථයට පටවා ගන්නා ලදී… ඔහු කාරුණිකව මඟීන් අමතන අයුරු දැකීමෙන් පිනාගිය මා පමා නොවී මාගේ පැනය ඔහුටද යොමු කළෙමි…

“මල්ලි මේ අහන්ඩකෝ…”

“මට ඇහුන්නෑ…”

රියැදුරු අසුනට ඉහළින් එල්ලුණු එල්.සී.ඩී. තිරයක මහ හඬින් වැයෙන සංගීත සාජ්ජයකි… මඳක් ඔහුට ළංවුණු මම ඒ හඬ පරයා කෑගැසුවෙමි…

“මල්ලිට මල්ලිගේ නොවෙන මල්ලිගෙම මොනවා හරි තියෙනවද..?”

ඔහු කල්පනා කරද්දී අසළවූ මඟියෙක් අපට බාධා කළේය…

“තියෙනවා නේන්නං… මගේ ඉතුරු රුපියල් දෙක..! දැන් ඉතින් ඒක මුගේ නොවෙන මුගේම දෙයක් තමයි… ”

මා පසෙකට තල්ලු කර මඟියාගේ කොලරයෙන් අල්ලාගත් කොන්දොස්තරවරයා ඔහුට ආදරයෙන් ඇමතීය…

“මේ මහත්තයා අරූ මූ කියන්න එපා හරිද…? මහපාරේ රස්සාව කළාට අපිත් ආත්ම ගෞරවයක් තියෙන මිනිස්සු…”

“ආත්ම ගෞරවයක් තියෙනවනං මගේ රුපියල් දෙකට කෙලියිද…?”

එන පොට හොඳනැති බව වැටහුණු හෙයින් මා බස් රියෙන් බැසගන්නා අටියෙන් හීන්සීරුවේ ඉදිරිපස දොර වෙත ඇදුනි… ඉදිරි නැවතුමෙන් බැසගන්නා බව රියදුරාට දැනුම්දුන් මා නිකමට මෙන් මාගේ දැවෙන ප්‍රශ්නය ඔහුටත් යොමු කළෙමි…

“අයියාට අයියාගේ නොවෙන අයියාගේම මොනවා හරි නැද්ද…?”

මඳක් කල්පනා කළ රියැදුරු මහතා යමක් සිහිවූ සෙයින් සිනාසුනි…

“තියෙනවා නේන්නං…”

“ඒ මොකද්ද..?”

“ඇයි මේ පාර…! මේක ඉතින් මගේ නොවුනට මගේම පාර වගේ තමයි…”

පදික වේදීකාවේ ගමන්කළ මඟියෙකු කාණුවට විසිකරමින් වැරදි පැත්තෙන් තවත් බස් රථයකට ඉස්සර කළ ඔහු, බස්නැවතුම පසුවී මීටර් සියයක් පමණ ගියපසු බරාස් ගා බ්‍රේක් පාරක් ගසමින්, පාර මැදම බස් රථය නවතා මට පැවසීය… මම හනික ඒ අවසරයෙන් බිමට පැනගතිමි…

“මැරෙන්ඩද ඕයි යන්නේ…” පුෂ් බයිසිකල්කරුවෙක් මට ආචාර කරමින් උගේ වුණත් උගේ නොවෙන හයිවේ එක මඟහැර මට වෙට්ටුවක් දමාගෙන යන්නට ගියේය…

වටපිට බැලූ මා දුටුවේ මැදිවියේ මිනිසෙකු අසල ඇන තබාගෙන දුකින් හඬාවැටෙන අයුරුයි…

“මොනවා මේ අමරසිරි පීරිස් මහත්තයා නේද…!?”

අමරසිරි පීරිස්ව හඳුනාගැනීම මට අපහසු නොවීය…

“මම මේ ඔයාගේ සිංදුව ගැන හිත හිතමයි හිටියේ…?”

“මතක් කරන්න එපා ඔය සිංදුව… ඒක මගේ වුනාට දැන් මගේම සිංදුවක් නෙමෙයි…”

“ඔයාගේ වුනාට ඔයාගෙම සිංදුවක් නෙමෙයි…?”

මේ අපභ්‍රංශය තේරුම්ගත නොහැකිව මම ඇසුවෙමි…

“ඔව්… අර තිරිසන් රිගින් ටෝන්කාරයෝ සිංදුව ලිව්ව කෙනයි මියුසික් දාපු කෙනයි අල්ලගෙන ඒ සිංදුව මගෙන් හොරකං කළා ඕයි..!”

මම කට ඇරගෙන අසා සිටිද්දී ඔහු පැවසීය…

“ඉතිං ඕකට ඔහොම ඉඳලා හරියන්නේ නෑ.. දැම්මේ නැද්ද කම්ප්ලේන් එකක්…”

“කාට කියලා කම්ප්ලේන් කරන්නද…?”

“අපි ජනාධිපතිතුමාට කියමු…”

“මෙච්චර පොඩි කේස් වලට ජනාධිපතිතුමා අතදායිද…?”

“මොකද නැත්තේ… ඔය පොල් හොරකම් වලටත් අතදාන්නේ…”

මම පැවසූයෙන් අමරසිරි පීරිස් ජනාධිපතිතුමා හමුවීමට යෑමට එකඟ විය… අපි හනික අරලියගහ මන්දිරය බලා පිටත්වීමු… මට අධික සතුටක් දැනුනි… දැන් ජනාධිපතිතුමාගෙනුත් මේ ප්‍රශ්නය අසන්නට පිළිවන… එතුමාගෙන් අසන එකේ විපක්ෂ නායකතුමාගෙනුත් අසන්නට හැකිනම් සියල්ල සම්පූර්ණයැයි මට සිතුනි… අමරසිරි පීරිස්ගේ ජංගම දුරකථනයෙන් මම විපක්ෂ නායකතුමා ඇමතීමී…

“මේ ඔබතුමාගෙන් පොඩි කාරණාවක් දැනගන්න අපි කතාකලේ…”

“ඔව් මොකද්ද…?”

“ඔබතුමාට ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද…?”

“මගේ නොවෙන ඒත් මගේම දෙයක්… ඔව් තියෙනවා…”

මඳවේලාවක පසු එතුමා පිළිතුරු දුනි…

“ඒ මොකද්ද…?”

“ඇයි මේ විපක්ෂ නායකකම…!”

එතුමා පවසද්දී පසුබිමින් තවත් කවුදෝ දුරකථනයට කෑගසනු මට ඇසුණි…

“ඉතිං මටත් තියෙන්නේ ඒකමනේ….!”

ඒ කවුදැයි හරිහැටි අසාගත නොහැකිවූයේ විපක්ෂ නායකතුමා ඒ සැනින්ම දුරකථනය විසන්ධි කල බැවිනි… ඒ සජිත් මන්ත්‍රීතුමාගේ කටහඬදෝයි මට මොහොතකට සිතුනි….තවත් කිහිපදෙනෙකුටම කතාකිරීමට මට අවශ්‍යය වුවත් ඒ වනවිට අපි අරලියගහ මැදුරට ළඟාවී සිටි නිසා ඒ සඳහා අවස්ථාවක් නොලැබුණි… එදින අරලියගහ මන්දිරයේ ආරක්ෂාව භාරව සිටි හමුදා නිලධාරියා අමරසිරි පීරිස්ගේ හොඳ රසිකයෙකු වීම නිසා වැඩි කරදරයක් නැතිවම අපිට ජනාධිපතිතුමා මුණගැසීමට ඇතුළුවීමට හැකිවුනි… එතුමා සැපත්වනතුරු සුවපහසු අසුන් දෙකකට බරවී බිත්ති වල එල්ලා ඇති නොයෙක් විසිතුරු සැරසිලි, කඩු කස්තාන නරඹමින් අපි විවේකීව සිටියෙමු…එතැනින් අප පසුකර යන හුරුපුරුදු තරුණයෙකු මා ඇසගැටුණේ එවිටයි…

“මේ රෝහිත මහත්තයා නේද…?”

මම හනික ඇසීමි…

“ඔව් ඔව්…”

ඔහු පිළිතුරු දුන්නේය…

“අනේ ඉතිං ගොසිප් සයිට් වල දැකලා තියෙනවා මිසක් ඇත්තට දැක්කේ අදනේ…”

මම පවසද්දී අමරසිරි පීරිස්ද ඔළුව වැනීය…

“ඉතිං මොකද මේ පැත්තේ…?”

රෝහිත ඇසීය… මම ලද අවසරයෙන් මගේ දාර්ශනික ප්‍රශ්නය ඉදිරිපත් කලෙමි…

“අපි මේ අපේ නොවෙන අපේම දේවල් මොනවද කියලා හොය හොයා යනවා… ඔබතුමාටත් එහෙම මොනවා හරි කල්පනාවට එනවද…?”

“අපේ නොවෙන අපේ දෙයක්…. හරි..! තියෙනවනේ…”

“ඒ මොකද්ද..?”

“ඇයි සැටලයිට් එක…! ඒක ඉතිං අපේ නොවෙන අපේ දෙයක් තමයි…”

මමත් අමරසිරි පීරිසුත් මුහුණට මුහුණ බලාගනිද්දී ඔහු පැවසීය… ඒ සමඟම ජනාධිපතිතුමා සැපත් වූයෙන් අපි දෙදෙනා එකත්පස්ව සිටගතිමු…

“දැන් මොකද්ද මගෙන් කෙරෙන්න ඕනේ…?”

එතුමා පවසද්දී අමරසිරි පීරිස්ට පෙර මම ඉස්සර වීමි…

“ඉස්සෙල්ලාම අපිට දැනගන්න පුළුවන්ද ඔබතුමාගේ නොවෙන ඔබතුමාගෙම මොනවා හරි තියෙනවද කියලා…?”

“ම්ම්ම්… එකක් නෙමේ දෙකක්ම තියනවා…”

එතුමා ඇඟිලි වලින් දෙකේ ඉලක්කම පෙන්නමින් පැවසීය…

“ඒ මොනවද ජනාධිපතිතුමා…”

“ඇයි ව‍යවස්ථාදායකයි, අධිකරණයයි… ඒ දෙකම මගේ නොවුනට දැන් ඉතින් මගේ වගේ තමයි…! හොක් හොක් හොක්…”

එතුමා මහ හඬින් සිනාවෙද්දී අපි දෙදෙනා ඔළුවේ අත්ගසා ගතිමු…

“ඇයි ඔහෙලට ඔහෙලගේ නොවෙන ඔහෙලගේම දේවල් නැද්ද…?”

සිනාව නතරකරගත් ජනාධිපතිතුමා පෙරළා ප්‍රශ්න කළේය… මට හදිසියේම සත්‍යය අවබෝධවිය…

“ඔහෙපලයන් තියෙනවා නේන්නං ජනාධිපතිතුමා…”

“ඒ මොකද්ද…?”

එතුමා ඇසීය…

“ඇයි අපේ නොවෙන අපේම ආණ්ඩුව…!”

මමත්, අමරසිරි පීරිසුත් දෙදෙනාම එකවිට පැවසූයෙමු…

 

පිංතූරය : http://www.films.lk/FilmDetails.php?id=2033

Monday, October 14, 2013

83. මැහැල්ල සහ බල්ලා…

image

මැහැල්ල,  මීට සුලු මොහොතකට පෙර අඳුරු වීදියේදී ඇයට මුණගැසුනු බල්ලා දෙස බැලුවාය…

උගේ බොර පැහැ නෙත්, ඇගේ ඇතුළට ගිලීගිය දෙනෙත් හා පළමු වරට ගැටිනි…

ඌ මස් කටුවට ගිජුකමෙන් නොඉවසිල්ලෙන් හති හලයි…

මේ නම් නොවක් සා ගින්නෙන් පෙළෙන බල්ලෙකි, මැහැල්ලට සිතිනි…

තමා සතු මස් දියවී ගිය කටුව මේ සා විශාල දඩ බල්ලෙකුගේ සාගින්න නිවන්නට ප්‍රමාණවත් වේදැයි මොහොතකට ඇය සැක කලාය…

එහෙත් දැන් ආපසු හැරෙන්නට ගිය දුර වැඩිය…

බල්ලා බලා සිටී…

අවසන් මොහොතේ මස් කටුව ඌ වෙත විසිනොකිරීමට හේතුව වටහා ගැනීම ඌට අපහසු වියහැක…
මිනිස් සන්තානයේ පහළවෙන සංකීර්ණ සිතුවිලි බල්ලෙකුට වැටහෙනවායැ…!

උගේ බොර පැහැ නෙත්ද, නියවන උල් දත්ද අමතක කර සිත්ගන්නා සුළු කිසිවක් හෝ ඇත්දැයි දකින්නට ඇය උත්සාහා කලාය…

අඳුරු පසුබිමේ කළුපැහැ සිත්තමක් වැනි ඡායාවක් හැර කිසිත් ඇයට නොපෙනේ…

ඇය තරුණ වයසේදී ලෝම පිරුණු රට බල්ලෙකු තුරුළු කරගෙන හුරතල් කිරීමට සිහින දැකි අයුරු ඇගේ මනසේ හොල්මන් කරන්නට විය…

ඒ සිහින සියල්ල එකින් එක පහන් වී අවසානයේ ඈ අවදිවූයේ තම සැමියාගේ නිසල දෙණ අභියසදීය…
ඉන් ඉක්බිති නොනිදාම ඇය දකින තවමත් පහන් නොවූ එක් නපුරු සිහිනයකි…

මැහැල්ලට තම මන්දමානසික දියණියද ඇගේ සිඟිති දරුවාද සිහිවිය…

සිඟිත්තා තම දියණිය හා දිගු වේලාවක් තැබීම අනතුරකට අතවැනීමක් බව ඇය අත්දැකීමෙන් දනී…
බල්ලෙකු සුරතල් කරමින් නාස්ති කරන්නට කාලයක් ඇයට නොවේ…

තවත් බලා නොඉඳ ඇය මස්කටුව බල්ලා වෙත විසිකලාය…

මොහොතක පමාවකින් තොරවම එය අසල වූ කඩයක දොර පියනට හේත්තු කරගත් බල්ලා…
ඇය ළය පුරා වියරුවෙන් පහුරුගාන්නට විනි…

මුල් පිංතූරය : Nat Dickinson

Monday, September 16, 2013

82. බලාපොරොත්තුව…



හිතුමතේ ජීවිතේ,

ගිහින් එන්නම් කියලා කිව්වේ නැතත්...
උඹ ගිය හැම සැරේකම...
ගියාටත් වඩා සතුටින්...
ආපහු දුවගෙන එන බව...
මම දැනගෙන හිටියා...
උඹ ඒ විදියටම ආවා...

ජීවිතාන්තෙටම හිරගෙදර හිටිය
උඹෙන් උන්ට ගන්න බැරිවුණ
එකම දේත් ඒක...
ජීවිතය...

අන්තිමේ උන් දින බලලා
හරියටම ඒකම උඹෙන් උදුරගත්ත හැටි...
 
නඩුවක් අහන්නැතුවම....
මේ කූරු වලින් එහාපැත්තේ...
විසල් හිර කූඩුවේ...දැන් උන් උඹව හිරකරයි...
දරුණු අපරාධකාරයොත් එක්ක...
 
පරිස්සමෙන්...!

ඉගෙනගනින් මුල ඉඳන් හැම දෙයක්ම...
මෙහෙ වගේ නෙමේ ඔහේ...
නෑ කිසි පිළිවෙළක් ...
පළවෙනි රෑ තමයි අමාරුම...
යකඩ කූරු නැති කාමරේක
නිදියන පළවෙනි දවසේ
අමුත්තක් දැනෙයි..ඉවසපං...!

මොනවා නැතත්...
එක දෙයක් නැති නොකර තියාගනින්...
බලාපොරොත්තුව...!
 
මෙහෙදි උඹව ජීවත් කරවපු...
එකම දේත් ඒක...
ඔහෙදි උඹට වැඩියම...
අවශ්‍යය වෙන දේත් ඒක...

මම,
උඹ නැති සොවින් තැවෙන,
උඹේ සෙල් එක.

image : gossip9

Saturday, August 24, 2013

81. Now You See ME

ගැටවර වයසේදී අපි බොහෝදෙනා ආශාකරන සමහර දේ කාලයත් සමඟ අප වියපත් වෙද්දී පහව යනවා… හරියට රැප් සංගීතය, WWE රෙස්ලින් වගේ දේවල්… ඒත් සමහරදේ කෙතරම් කාලයක් ගතවුණත් අපෙන් දුරස් වෙන්නේ නෑ… එලෙස ගැටවර වියේ ඉඳන්ම තවමත් මම ආසාකරන එවැනි දේවල් අතරින් දෙකක් මේ සටහනට අදාලයි… මේ දෙක එකිනෙකට සම්බන්ධ වේයැයි හිතන්නට අපහසුයි… ඉන් එකක් නම් බැංකු මංකොල්ලයි… අනෙක මැජික්… සැබෑ ජීවිතයේදී බැංකු මංකොල්ල පිළිබඳ ආශාව ඉටුකරගැනීමට යෑම භයානක නිසා එය මට ළඟාකරගන්නට සිදුවී තිබෙන්නේ චිත්‍රපටිවලින්… මැජික් නම්, අන්තර්ජාලයේ සැලකියයුතු තරම් සම්පත් ප්‍රමාණයක් ඇති නිසා උනන්දුව ඇතිනම් නිතර ඇසුරු කලහැකියි… ඊට අමතරව ළඟා වියහැකි දුරක ඇති මැජික් සංදර්ශනයක් මට මඟහැරෙන්නේ කළාතුරකින්…

ඉතින් මේ ගැන සදහන් කරන්නට හිතුවේ ඊයේ මම නැරඹූ චිත්‍රපටියක් මට ආසන්න වශයෙන් සුරතාන්තයක් ළඟා කරදෙන්නට තරම් වුන නිසයි… ඒ මම ඉහත සඳහන් කළ එකිනෙකට සම්බන්ධ නැති මගේ ෆැන්ටසි දෙක මෙම චිත්‍රපටියෙදි එකට එක්වීම නිසා…  මැජික් ශිල්පීන් විසින් කරන බැංකු මංකොල්ලයක්…! පුද්ගලිකව මටනම් ඊට වඩා ලස්සන වැඩක් මේ ලෝකේ තිබිය නොහැකියි…!

බොහෝ විචාරකයන් මේ චිත්‍රපටය ගැන සුබවාදීව බලන්නේ නැහැ… ඉන්සෙප්ෂන්, ෂටර් අයිලන්ඩ්  වැනි නැවත නැවත් සිතමින් රසවිඳිය හැකි ප්ලොට් එකක් නැතිවා වුනත්, පුද්ගලිකව මා නම් මෙම චිත්‍රපටිය ගොඩක් රසවිඳිබව කිවයුතුයි…

කතාව කෙටියෙන් කියනවා නම් Four Horseman කියන්නේ ස්ට්‍රීට් මැජික් ශිල්පීන් හතරදෙනෙකුගේ එකතුවක්… ඔවුන්ගේ පළවෙනි රියැලටි මැජික් ශෝ එක ලෙස ඔවුන් ඉදිරිපත් කරන්නේ ඇමෙරිකාවේ ලාස් වේගාස් වල සංදර්ශන වේදීකාවේ සිට සජීවීව පැරිසියේ බැංකුවක් මංකොල්ල කා මුදල් රැගෙන ඒම… මේ ක්‍රියාදාමයෙන් අනතුරුව FBI හා Interpol ඒජන්තවරුන් දෙදෙනෙකු වන Dylan (Mark Ruffalo) සහ Alma (Mélanie Laurent) එක්ව ඔවුන්ව අත් අඩංගුවට ගත්තත් ඔවුන් බැංකුව කොල්ලකෑ මැජික් එක සාක්ෂි සහිතව උසාවියට පැහැදිලි කල නොහැකි නිසා ඔවුන් නිදහස් කෙරෙනවා… අනතුරුව මේ දෙදෙනා පිහිට පතන්නේ මැජික් ට්‍රික්ස් හෙළිකරන්නෙකු ලෙස තම ජීවිකාව ගෙනියන Thaddeus (Morgan Freeman) ගෙන්… ඔහු Four Horsemanලාගේ බැංකු මංකොල්ලය පිළිබඳ මැජික් ට්‍රික් එක පැහැදිලි කර පෙන්වනවා… මේ අතරේ Four Horsemanලා මීට නොදෙවෙනි තවත් මැජික් සංදර්ශන දෙකක් ඉදිරිපත් කරනවා… Thaddeus  ඔවුන් පසුපස හඹායන්නේ ඒ මැජික් උපායනුත් හෙළි කරගන්න අටියෙන්… මේ අතරේ Dylan සහ Alma මොවුන් කොටුකරගැනීමට මඟක් පාදාගැනීමට උත්සාහා කරනවා… Alma විශ්වාස කරන්නේ The Eye නම් සුපිරි රහස් මැජික් කවයකට සුදුසුකම් ලබාගැනීම සදහා මොවුන් මේ මැජික් සංදර්ශන පවත්වන බවයි… නමුත් Dylan ගේ අදහස මැජික් සංදර්ශන හරහා කෙරෙන මේ දැවැන්ත මංකොල්ල එකිනෙකට සම්බන්ධ බවත් මේ හරහා සුක්ෂම ලෙස කවරෙකු හෝ තමන්ගේ තරහාකාරයෙකුන් පළිගන්නා බවයි… Alma විශ්වාස කරන පරිදි Four Horseman  කණ්ඩායමට The Eye හි දොරටු විවරවේද..? නැතිනම් ඔවුන් පසුපස ක්‍රියාත්මක වෙන අදිසි මිනිසා කවුදැයි Dylan ට හෙළිකරගත හැකිවේද…? Thaddeus ට Four Hourseman ලාගේ රහස ලෝකයට හෙළිකරන්න හැකිවේවිද…? මේ සියල්ලට පිළිතුරු සොයාගන්න චිත්‍රපටිය බලන්නම වෙනවා…

වෙලාව ඇතිනම් නරඹන්න… මේ ඔබ නරඹන හොදම මිස්ට්‍රි ත්‍රිලර් චිත්‍රපටිය නොවෙන්නට පුළුවන්… නමුත් මෙය නරකම එක වෙන්නත් විදියක් නැහැ… විමසිල්ලෙන් නැරඹුවේ නැතිනම් කතාවේ ඇති සියුම් ඩීටේල්ස් මගැහැරෙන්නට පිළිවන්… මම බැලුවේ නම් ඉංග්‍රිසි උපසිරැසිත් එක්කයි…

මෙන්න ට්‍රෙලර් එක…

 

හොරෙන් බලන්න කැමති අයට…මේ ටොරන්ට් එක හොඳයි… (චිත්‍රපටිය අවසානයේ නම් දාලා ඉවරවුනාට පස්සේ පොඩි පෝස්ට් ක්‍රෙඩිට්ස් සීන් එකක් තියෙනවා… ඒක මේ ටොරන්ට් එකේ නෑ… යූ ටියුබ් එකේ තියෙනවා… )

https://kickass.to/now-you-see-me-2013-extended-rerip-720p-brrip-x264-yify-t7763734.html

 

ප.ලි. :

ඔබ මැජික් ප්‍රිය කරන, ඩුබායි අවට සිටින්නෙක්නම් ලෝකයේ දැනට ප්‍රදර්ශණය කෙරෙන දැවැන්තම මැජික් සංදර්ශනයක් අගොස්තු 28 වනදා සිට ඩුබායි පැවැත්වෙනවා… වැඩි විස්තර මෙතැනින්

 

 

Come in close…because the more you think you see…the easier it’ll be to fool you…look closely… because the closer you think you are…the less you’ll actually see…

Sunday, July 14, 2013

80. මහ මෙරකට උසයි දරුපෙම හද පතුලේ…

මිනිස්සු හැමෝටම හිතන්න පුළුවන්… ඒත් හිතන්න පුළුවන් මිනිස්සු ඉන්නේ හරි ටිකයි… ඒ හිතන්න පුළුවන් ටික දෙනාට පහලින් තියෙන වීඩියෝව පිස්සුවක් වගේ පෙනුනත්, මේ ඉන්නේ සමහරවිට තමන්ගේ දරුවන්ට පිස්සුවෙන් වගේ ආදරය කරන දෙමව්පියෝ වෙන්න ඇති…

විශ්වාසය රජකරන සමහර තැන්වල බුද්ධිය මැරිලා… ඒත් ආදරය පැටව් ගහනවා… ඉහලට ගත්ත හුස්ම පහලට නොගෙන තමන්ගේ ජීවිතේ ගෙවෙන ජීවිතේ අසීරුම තත්පර කීපය මේ දෙමව්පියෝ මෙතන ගෙවනවා ඇති කියලා මට හිතෙනවා… අන්තිමට බලද්දී ලෝකේ හැම දෙමව්පියෙක්ම හැමදෙයක්ම කරන්නේ තමන්ගේ දරුවෝ වෙනුවෙන් තමයි… සමහරවිට තමන්ගේ දරුවන්ගේ යහපත වෙනුවෙන් ලෝකේ තියෙන අන්තිම මෝඩකම කරන්න උනත් දෙමව්පියෝ දෙපාරක් හිතන්නේ නෑ… :)

අවුරුදු පන්සියයක්දෝ කොහෙදෝ කාලයක පටන් ඉන්දියාවේ ප්‍රාදේශීය මුස්ලිම් කල්ට් එකක පැවතගෙන එන කියනවයි කියන මේ චාරිත්‍රය ඉටුකරලා ඒගොල්ලෝ විශ්වාසකරන්නේ එයින් දරුවට නිරෝගීකමත්, නිර්භීතබවත් වාසනාවත් උදාවෙනවා කියලාලු… වාසනාවනම් යම්තාක්දුරට ඒ දරුවන්ට තියෙන බව වීඩියෝවෙන්ම පැහැදිලියි…

මේ හිනාවෙලා බ්‍රවුසරේ ක්ලෝස් කරන සැනින් අමතක කරන්න පුළුවන් මිනිස්සුන්ගේ මෝඩකම් ගැන සාක්කියක් විතරද..? එහෙම නැතිනම් දෙමව්පිය සෙනෙහස ගැන වචනයෙන් තේරුම්කරලා දෙන්න බැරි ලොකු කතාවක්ද…? මම තාමත් හිතනවා…

 

Wednesday, June 12, 2013

79. ආතල් කුඩුවීමේ සතුට…

මම මේ මොහොතකට කලින් හිටියේ ඩවුන්ලෝඩ් වෙලා අහවරවුන වීඩියෝ කිහිපයක් නරඹමින්… හරියටම කිව්වොත් Situation Critical කියන රූපවාහිනී වැඩසටහන් මාලාවේ කොටස් කිහිපයක් නරඹමින්… එහි එක් පුංචි සිදුවීමක් මගේ හිතේ කොච්චර තදින් සටහන් වුනාද කිව්වොත්  ඒ ගැන අනුලෝමව ප්‍රතිලෝමව ඔය හැම විදියටම හිතලා දැන් නිදිමතත් ගිහින් තියෙන්නේ… ඊට පස්සේ තමයි මම හිතුවේ මේක බ්ලොග් එකේවත් දානවා කියලා… ලොකු දෙයක්මත් නෙමෙයි… සමහරවිට ලොකු දෙයක් වෙන්නත් ඇති… මම කාලෙක ඉඳන් තේරුම් ගන්න උත්සාහාකරන දෙයක් තමයි සොල්දාදුවෙකුගේ මනස වැඩ කරන හැටි… රූපවාහිනී තිර වලින් විතරක් යුද්ධ දැකලා තියෙන අඩුම ගානේ බිග්මැච් වලියකදිවත් සතුරාට මුහුණදීලා නැති මම වගේ පුඟුලෙකුට තරම් වෙන දේවල්ද කතාකරන්නේ කියලා ඇත්තටම යුද්ධ කරලා තියෙන මාරයා හරි විචාරක හරි මේ පොස්ට් එක දැක්කොත් කියාවි… ඒත් ඔන්න ඔහේ ලියනවා….

යුද්දෙට ගියාම මිනිස්සු මරන්න වෙනවා…. මිනිස්සු කිව්වට ඇත්තටම ඒ සතුරන්… රට ජාතිය බේරගන්න, සතුරන් මරන එක තේරුම් ගන්න අපහසු නැහැ… ඒ පිළිබඳ කැක්කුම අවම කෙනෙකුට උනත් තමන්ගේ අඹුදරුවන්ගේ අනාගතය ගැන හිතලා, එහෙමත් නැතිනම් තමන් එක්ක එකට ඉන්න අනෙක් සොල්දාදුවන් මියයන අයුරු දකිද්දී සතුරෙකුට වෙඩි තියන්න හිත හදාගන්න අපහසු නැතුව ඇති… ඒත් මට කාලෙක ඉඳන් තිබුණ ප්‍රශ්නයක් සොල්දාදු ජීවිතේ කිසිම වෙලාවක, සටන යන අතරතුරේදි (හෝ ඊට පස්සේ)  තමන්ගේ සතුරා ගැන ගෞරවයක්, අනුකම්පාවක් ආදරයක් වගේ දෙයක් හිතෙන්නෙම නැද්ද…?

මේ පරණ ප්‍රශ්න සිහිවුනේ දැන් බලපු ඔය පහල තියෙන වීඩියෝවේ අන්තිමහරියේ තියෙන පුංචි වාක්‍යයක් ඇහෙද්දී… කෙටියෙන් විස්තර කලොත් ඔය තියෙන්නේ අමෙරිකානු ප්‍රහාරක ගුවන් නියමුවෙක් බොස්නියානු අහසෙදි මිසයිල ප්‍රහාරෙකට ගොදුරුවෙලා යානයෙන් එජෙක්ට් වෙලා සතුරු අඩවිට ගොඩ බැස්සම ඔහුව මුදවාගන්නා සුප්‍රසිද්ද මෙහෙයුම… Behind Enemy Lines චිත්‍රපටියට පාදක වෙන්නෙත් මේකම තමයි මම හිතන්නේ… ඉතින් ඔය වීඩියෝවේ අන්තිම හරියේ කතා කරන,  ඒ ගුවන්නියමුවා බේරීයන්නට පෙර මරාදමන්නට වෙහෙසුනු ගරිල්ලා කණ්ඩායමේ අණ දෙන්නා කියනවා මෙහෙම පුංචි දෙයක්…

“As a man I’m glad in a way that he was rescued… But as a professional I think it was a failure on my part…”

“ඌ බේරිලා ගිය එක ගැන මනුස්සයෙක් විදියට මට සතුටුයි… !”

ඔය  වාක්‍යය තමයි මේ පෝස්ට් එකට හේතුව… ඇත්තටම ඌ මේ කියන්නේ මොකද්ද..? මොකද්ද ඒ සතුට… ඒක මෙන්න මේ විදියයි කියලා විස්තර කරන්න පුළුවන්ද..? මම මොහොතකට ඒ සොල්දාදුවා වෙලා හිතින් මවාගත්තා මගේ සතුරා මගෙන් බේරිලා පැනලා යන හැටි මම සතුටින් බලාගෙන ඉන්නවා… උත්සාහාකරලා බලන්න ඇත්තටම ඒක මහා පුදුමාකාර හැඟීමක් නෙමේද..? :)

 

සම්පුර්ණ එපිසෝඩ් එක යූටියුබේ තියෙනවා

Wednesday, June 5, 2013

78. දාර්ශනික ප්‍රශ්න… | When we eat animals they die…

පසුගිය දිනෙක රාජකාරී ස්ථානයෙන් දීර්ඝ චාරිකාවක් යන්නට සිදුවුනා… යන එන මඟට කතාකරන්නට කෙනෙකු නොවූ නිසාම ඒ මුළු ගමනම මට ගත කරන්න වුණේ ඉයර්ෆෝන් එක කනේ රුවාගෙනයි… එහිදී මම සවන්දෙන්නට යෙදුන එක්තරා දීර්ඝ සාකච්ඡාවක ඔවුන් කතාකලේ දර්ශනය සහ දාර්ශනිකයින් ගැනයි… සංකීර්ණ වචන වලින් ගහන වුණු එහි අවසානයේ මම ලබාගත් එක් දළ අදහසක් වුණේ දාර්ශනික ගැටලු යනු, යම් ගැටලුවකදී එකිනෙකට පරස්පර විසඳුම් එකකට වඩා වැඩි ගනනක් ඇතිවිට ඒවා කෙතරම් එකිනෙකට පරස්පර වුවත් අවසන් ගැටළුවට ඒ සියල්ලම විසඳුම් ලෙස තර්ක කල හැකිනම් එය දාර්ශනික ගැටළුවක් ලෙස සැලකිය හැකි බවත්, ඒ මොහොතේදී දර්ශනයේ හෝ දාර්ශනිකයෙකුගේ මැදිහත් වීම අවශ්‍යයි වගේ මෙව්වා එකක්…

 

ඒ ඔස්සේ හිතද්දී මට හිතුණේ මිනිසෙකු නිර්මාංශ වියයුතුද නැද්ද යන්නත් මෙවැනි දාර්ශනික ගැටලුවක් බවයි… මේ දාර්ශනික ගැටලුව විසඳන්න ලියවුණු ලිපි, දේශන, සකච්ඡා අපමණයි… මේ ඊයේ පෙරේදා සිදුවුණු සිය දිවිනසාගැනීමේ (හෝ ජීවිත පූජාවේ) ප්‍රතිඵලයක් විදියටත් ඒ ගැන බ්ලොග් ලිපි ගණනාවක කතාවූ බොහෝදේ මමත් කියෙව්වා… නිර්මාංශ වීමේ නිවැරැද්ද, මාංශය ආහාරයට ගන්නා විට කොහොමත් සතා මියගොස් ඇති නිසා එහි ගැටලුවක් නොවන බව තාක්ෂණික පැත්තෙන්ද , ශාස්තෘවරයන්ගේ දේශනා වලට අනුව කැප ඇකැප, අනුමත කළ නොකළ යනාදී ලෙස ආගමික පැත්තෙන්ද, මිනිස් සිරුරට අත්‍යාවශ්‍ය අම්ල වර්ග ශාක ආහාර වලින් පමණක් ලඟාකරගත නොහැකිය යනාදී ලෙස වෙයිද්‍ය විද්‍යාත්මක පැත්තෙන්ද, සමහර සත්ව ගහන පාලනයකින් තොරව ඉහළ යන හැටි සමීකරණ මඟින් ගණිතමය පැත්තෙන්ද, මාංශ ආහාරයේදී පමණක් නොව ශාක ආහාර නිෂ්පාදනයේදීත් කෘමිනාශක යනාදියෙන් බොහෝ සත්ව ජීවිත අහිමි වන බැවින් මෙසේ සිතුවොත් මිනිසාට කෑමට කිසිත් ඉතිරි නොවෙන බව තාර්කික පැත්තෙන්ද යනාදී නොයෙක් ක්‍රම මඟින් පෙන්වා දුන්නා… ඒ සියල්ල මා පිළිගත්තේ එකඟ නොවිය හැකි කරුණු ඒවායේ නොතිබුණ තරම් බැවින් සහ මමත් පුද්ගලිකව නිර්මාංශකයෙක් නොවෙන බැවින්…

 

මේ සියලු පැහැදිලි කිරීම් සාධාරණ යැයි සිතාගෙන සිටින විටයි මට මේ වීඩියෝව දැන් ටිකකට කලින් බලන්න ලැබුනේ… හය හතර නොතේරෙන පුංචි පැංචෙක් ඒ සංකීර්ණ දාර්ශනික ගැටලුව අතිශය සරලව විසඳන හැටි මම බලාගෙන හිටියේ කටත් ඇරගෙන… මුළු ලෝකයම විරුද්ධ උනාවේ… ලුඊස් පුංචි දාර්ශනිකයෝ මම ඔයත් එක්ක එකඟයි…

 

 

Mom : Now eat your Octopus gnocchi

Luiz : OK mom… alright… This Octopus is not real right..?

Mom : No…

Luiz : Then alright… He doesn’t speak and he doesn’t have a head right?

Mom : He doesn’t have a head… These are only the chopped little legs of the Octopus…

Luiz : HUH… But is his head in the sea…?

Mom : It is at the Fish Market…

Luiz : The man chopped it..? Like this..?

Mom : Yes he did…

Luiz : Why..?

Mom : So we can eat it… otherwise we’d have to swallow it all…

Luiz : But… Why..?

Mom : So we can eat it love… Just like a cow is chopped… a chicken is chopped…

Luiz : Ah… the Chicken… No nobody eats chicken…

Mom : Nobody eats chicken…?

Luiz : No… Those are animals…!

Mom : So lets not eat the gnocchi…? Eat the potato then…?

Luiz : Just potato and just rice…

Mom : OK…

Luiz : Octopuses are animals…

Mom : Alright…

Luiz : All of them are animals… Fish are animals… Octopus are animals…Chicken are animals…Cows are animals… Pigs are animals…

Mom : Yeah…

Luiz : So when we eat animals they die…

Mom : Yeah…

Luiz : Why…?

Mom : So we can eat love…

Luiz : Why do they die..? I don’t like that they die… I like that they stay standing up…

Mom : OK…Alright… So we’re not gonna eat it anymore OK..?

Luiz : OK…

Luiz : These animals… you gotta take care of them… and not eat them..!

Mom : You are right Son… So eat the potato and rice…

Luiz: Alright...Why are you crying?

Mom: I'm not crying...I'm just touched by you.

Luiz: I'm doing something beautiful?

Mom: Eat. No need to eat the octopus, alright?

Luiz: Ok!

 

ප.ලි. – බිලියන ගණනක් මුදල් සහ ජීවිත හානි කරමින් රටවල් ජාතීන් අවුරුදු ගණන් මරාගන්නා බොහොමයක් ගැටලු වලට පිළිතුරුද මෙවැනි සරල තර්කයක තිබෙන්නට බැරිද…

 

වීඩියෝව ගත්තේ මෙතැනින්… ඔහු ලුඊස් ඇන්තෝනියෝ…අවුරුදු තුනක බ්‍රසීල ජාතික දරුවෙක් බවයි ගුගල් කියන්නේ…

Web Statistics