"හත්වන වේදිකාවට පැමිණියේ මහනුවර සිට පැමිණි නගරාන්තර සීඝ්රගාමී දුම්රියයි..."
යකඩ කටේ සද්දෙට වැඩි සද්දෙකින් මගේ හදවත ගැහෙද්දී, වක්කඩ කැඩුවා වගේ පිටවීමේ දොරටුවෙන් ගලාගෙන එන ජන සන්නිපාතය අතරේ ඇයව හොයමින් මගේ ඇස් දිවගියේ විදුලි වේගයෙන්...
අවුරුදු දෙකකට ආසන්න කාලයක් තිස්සේ ලෙංගතුව දොඩමලු වුණ ඒ සොඳුරු කටහඬට රූපයක් ලැබෙන මේ මොහොත එනකල් මාස ගනනක ඉඳන් මම පෙරුම් පිරුවා...
ඒ සේරම පටන් ගත්තේ අහම්බෙන් කිව්වොත් වැරැද්දක් නැහැ... හරියටම මීට අවුරුදු දෙකකට විතර කලින් මේ දුම්රිය නැවතුමෙන්ම මම දුම්රියකට නැඟ ගත්තේ හිස ගිනිගත්තෙකු වාගේයි... වෘත්තීයමය පාඨමාලාවක් හැදෑරීම සඳහා සේවය කරන ආයතනයෙන් ශිෂ්යත්වයක් ලැබුණු මට ඒ සඳහා නික්මයෑමට තිබුණේ තව දිනක පමණ කාලයක් පමණයි... සුපුරුදු පරිදි විදේශ ගමනක් යෙදී ඇති විටකදී අන්තිම මොහොත තෙක් සූදානම් නොවීමේ හදාගන්න බැරිවූ නරක පුරුද්ද නිසා එහේ මෙහේ දුව පැන ඇවිද කලබලයෙන් මිලදී ගත් අඩුමකුඩුම සහිත ප්ලාස්ටික් බෑග් කිහිපයක් අතින් කටින් එල්ලාගෙන සිටි මම දුම්රියේ අසුනක් අල්ලා ගැනීමට පොරකන මඟීන් සමඟ පොරබදා හිස්ව තිබූ අසුනක වාඩිවූයේ අධික වෙහෙසකින්...
දුම්රිය පිටත් වී සුළුවේලාවකින් ගමන් මහන්සිය නිසාමදෝ පියවෙන ඇසිපිය වලට ඉඩදීමට අසුනේ හරිබරි ගැසුණු මම අහම්බෙන් මෙන් දැක්කේ වාඩිවී සිටි අසුනෙහි හිදැසක සිරවී තිබූ සටහන් පොතක්… ආයාසයකින් එය ඉවතට ගත් මට එය මින් පෙර මෙහි වාඩිවී සිටි යමෙකුගෙන් අතපසුවීමකින් වැටී ඇති බව වටහා ගැනීමට අපහසු වූයේ නැහැ... අන්සතු දේ කියැවීම නරක පුරුද්දක් වුවත් මෙය අයිතිකාරයාට ලබා දීම සඳහා යම් හෝඩුවාවක් ඇත්දැයි බැලීමේ අරමුණින් පිටු පෙරලා බැලූ මා දුටුවේ පිළිවෙලකට ලියූ සටහන් සහ ඒ අතරේ ඉඩ ඇති සෑම තැනකම පාහේ කුරුටු ගා ඇති නිසඳැස් රාශියක්... අතිශය සිත් ගන්නා අයුරින් පදවැල් අමුණා ඇති එම නිසඳැස් එකිනෙක රසවිඳිමින් සිටි මට ගමනාන්තයට ලඟා වෙනවාවත් නොදැනුනේ ඒ නිර්මාණ වල සුන්දරත්වයෙන් මම මුසපත් වී සිටි නිසායි...... එම සටහන් පොතේ අයිතිකාරිය යැයි සැක කල හැකි නමක් සඳහන් වූයේ සටහන් පොත පුරාවටම එක් තැනක පමණයි...
~ මලිති ~
මුතුඇට වන් අකුරින් ලියා ඇති ඒ නමට යටින් ඇයගේ විද්යුත් ලිපිනය සඳහන් වී තිබුණා...
ඇය විසින්ම නිර්මාණය කරන්නට ඇති යැයි සැක කල හැකි සටහන් පොතටම අමුණා තිබූ බුක් මාර්ක් එකකින් කියවමින් සිටි පිටුව සලකුණු කල මම පොත වසා එය සුරැකිව තබාගෙන දුම්රියෙන් බැසගත්තේ කෙසේ හෝ ඇය සොයාගෙන මෙම සටහන් පොත ඇයට ලබා දීමට අදිටන් කරගනිමින්... පසුදින රාත්රියේම මා සමඟින් ගුවන්ගතවූ ඇයගේ සටහන් පොත නැවත පෙරලා බැලීමට මා හට ඉස්පාසුවක් ලැබුනේ ඉන් දින කීපයකට පසුවයි...
ඇයගේ සටහන් පොත මා අහුලා ගත් බව සඳහන් කරමින් මා යැවූ විද්යුත් තැපෑලට දින කිහිපයක ඇවෑමෙන් ලැබුණු පිළිතුරෙන් ඇරඹි අප හිතවත් කම දිනෙන් දින දළු ළා වැඩුනේ හිතාගන්නටවත් බැරි තරම් වේගයකින්… මගේ පාඨමාලාව නිමා වීමට ආසන්න කාලය වෙද්දී කිසිදා මුණගැසී නොතිබුණු අප දෙදෙනා එකිනෙකාට දුරකතනයෙන් අමතන්නේ නැති දිනයක් නොමැති තරමට අප සම්බන්ධය නොදැනීම වර්ධනය වී තිබුණා... ඇයගේ සරල විනෝදාත්මක ගතිපැවතුම් වලට යටින් දිවෙන ජිවිතාබෝධය මා සිත දිනෙන් දින ඇද ගත්තේ මටත් නොදැනී මා ඇය හා පෙමින් වෙළී ඇති බව එක්තරා දිනයක මා හට පසක් කරමින්...
සිතුම් පැතුම් හා එකිනෙකා කෙරෙහි ඇති අවබෝධය තුළින් අප දෙදෙනා දෙදෙනෙකු නොව එකෙකු බව ඒ වන විටත් අප දැන සිටියත් එය එකිනෙකාට ප්රකාශ නොකර සිටීමට මොකද්දෝ හේතුවක් නිසා අප දෙදෙනාම ප්රවේසම් වී සිටියා... ප්රථම ප්රේමයේ ගිණිපෙනෙල්ලෙන් බැට කා ඇය සිටියේ කණා මැදිරි එළියටත් බයෙන්… ඇයගේ ආදරය දිනා ගැනීමටත් වඩා මා හටද අවැසි වුනේ ඇයගේ ගිලන් හිත සුවපත් වනවා දැකීමටයි... ආදරයේ සුන්දරත්වය ගැන පැය ගනන් දොඩමළු වන අප දෙදෙනා, කිය යුතු යමක් හදවතෙහි සිරකරගෙන දුරකථන විසන්ධි කරනුයේ හෙට දිනයේ නැවත කතාකරනා පොරොන්දුව සමඟින්... පෙම්වතුන් වන එහෙත් පෙම්වතුන් නොවන මේ අසාමාන්ය හැඟීම අවසන් කර ඇය සදහටම මා සතු කරගැනීමේ අදහස ඇය හමුවී පවසනවා යැයි නැවත මව්බිමට පැමිණීමට දින වකවානු ලං වෙද්දී මම තීරණය කලා...
කාලය ඉගිලුනේ හිතුවාට වඩා වේගයෙන්... සති මාස ගනන් ගෙවිලා මම නැවතත් ලංකාවට පය තබන දවස උදාවුණේ මගේ ජීවිතේ කවදාවත් නැති තරම් බලපොරොත්තු ගොන්නක් හිතේ උතුරද්දී...
"Welcome to Bandaranayake International Airport… The local time is…"
බිම දිගේ ඇදී යන ගුවන් යානය නතර වීමටත් කලින් ක්රියාත්මක වූ මගේ ජංගම දුරකථනයෙන් පලමු ඇමතුමම ඇයටයි…
"ලෑන්ඩ් කලෝ..."
"පරිස්සමෙන් ගෙදර යන්න... හෙට මම නුගේගොඩ පුංචිලාගේ ගෙදර එනවා... හෙටම මීට් වෙමුද..? "
“නියමයි... කෙහෙදිද මීට් වෙන්නේ...?”
“ම්ම්ම්.. මම මෙහෙන් උදේ හය හමාරට තියෙන ඉන්ටසිටි ට්රේන් එකේ එන්නේ... කොටුව ස්ටේෂමේදී මීට් වෙමු...”
"හා... ඊට පස්සේ අපි කොෆී ඩේ එකට යමු... මට ඔයාට කියන්න වැදගත් දෙයක් තියෙනවා..."
"හා..."
"කොහොමද මම ඔයාව අඳුන ගන්නේ... ඔයා ඇඳගෙන එන ඇඳුම කියන්න..."
"අනේ ඇඳුමක් කියන්න බෑ... දැනටමත් ඇඳුම් පහක් විතර ඇඳලා හරි නෑ කියලා හිතලා අයින් කලා.."
"මෙන්ටල් නේ..."
"මම ඔඩෙල් කියලා ගහපු බෑග් එකක් කරේ දාගෙන එන්නේ... එකෙන් හොයා ගන්න පුළුවන්... ඔයා මගේ නෝට් බූක් එක අතේ තියාගෙන ඉන්න..."
"හා... ස්ටේෂන් එකේ කොතනටද එන්නේ..?"
"ම්ම්ම්... වයන්න යටට එන්න..."
" වයන්න යටට..?"
"එළියේ උඩ ලොකුවට ගහලා තියෙන්නේ කොටුව දුම්රිය ස්ථානය කියලා... “
“ඔව්..."
“ඉතිං ඒකේ වයන්න යටට එන්න..."
ඇය දඟකාර සිනාවෙන් ඇමතුම විසන්ධි කරද්දි මම තනියම හිනා වෙවී අසුනින් නැඟිටලා අනිත් ගුවන් මඟීන්ට එකතු වුණේ හිතුවාටත් වඩා ඉක්මණින් සැබෑ වන්නට යන ඒ හීනය ගැන දහසක් බලාපොරොත්තු හිතේ තදකරගෙන...
***************
"තුන් වෙනි වේදිකාවට පැමිණි දුම්රිය…"
යකඩ කටේ සද්දය මාව පියවි ලෝකෙට ගෙනාවා...
පිටවීමේ දොරටුව අසල පොදිකන සෙනෙඟ අතරේ එක එල්ලේම මගේ දෙසට එල්ල වුණු තරුකැට දෙකක් වගේ දිලිසෙන ඇස් දෙකක් එක පාරටම මම දැක්කේ එතකොටයි…
ඇහිපිල්ලමක් වත් ගහන්නේ නැතිව සිනා මුසු කෝල බැල්මකින් මා දෙස බලාගෙන පුංචි සුරංගනාවියක් වැනි හුරුබුහුටි යෞවනියක් ලතාවකට පාද තියමින් මා දෙසට ඇවිදෙගෙන එන හැටි මම උඩට ගත්ත හුස්ම පහලට නොදා බලාගෙන හිටියා...කොහෙන්දෝ ආපු දඟකාර සුලං රැල්ලකින් මුහුණට වැටෙන අකීකරු කෙස් රොදක් ඇය දකුණතේ ඇඟිලි වලින් මෑත් කරන්න්නේ මගේ ඇස් වලින් තම ඇස් මොහොතක් වත් ඉවතට ගන්නේ නැතිවයි...
ලස්සන හදවතක හිමිකාරියක් කියලා විතරක් දැනගෙන හිටි ඇය මෙතරම් සුන්දර රූ සපුවක් හිමි කෙනෙක් බව මම සිහිනෙකින් වත් සිතුවේ නැහැ... පළමු හමුවේදීම ඇයට ඇමතිය යුතු ආකාරය ගැන නිවසේ සිට කොළඹ පැමිණිනෙන තෙක්ම පුරුදු වුන මට හදිසියේම ඒ සියල්ල මතකයෙන් ගිලිහී ගොස් ඇති වගක් දැනුනා…ඇය හා මා අතර පරතරය අඩි කිහිපයකට නොවැඩි වෙන්නට ඇති...වචනයක් පිට කරගත නොහැකි වුනු මම ඇයගේ සටහන් පොත ඇය දෙසට දිඟු කෙළේ වෙව්ලන සුරත පාලනය කර ගැනීමට අසාර්ථක උත්සායයක යෙදෙමින්...
මා දෙසත් සටහන් පොත දෙසත් මාරුවෙන් මාරුවට කිහිප වරක් බැලූ ඇය මුහුනට නඟාගත්තේ විශ්මයක්...
"එක්ස්කියුස් මී...!?"
එක ඇහැක් පුංචි කර ඇය එසේ අසද්දී, මා එකවරම නෙත් යොමු කළේ ඇයගේ බෑග් එක දෙසයි...
දෙයියනේ කෝ ඔඩෙල් බෑග් එක...?
"ස් සොරි… පොඩි වැරදීමක්...!"
සමාව අයදිමින් මම සටහන් පොත විදිලිවේගයන් ආපසු ඇද ගනිද්දී කට කොනකින් සිනාවුණු ඇය මා පසු කර ඇවිද ගියේ තවත් එක් වරක් සිනාමුසු මුහුණින් මා දෙස හැරී බලමින්... කෙදිනක හෝ දැක පුරුදු ඇති ඒ කතා කරන ඇස්දෙක... ජීවිතයක් සුවපත් කරන්නට සමත් ඒ සුන්දර සිනහව... පෙර බොහෝ කාලයක පටන් මා දැන සිටියා යැයි මා සිතට දැනුනේ ඇයිදැයි මා දැන සිටියේ නැහැ...
“එතකොට ඒ එයා නෙමෙයි...” සුසුමක් හෙලූ මම සටහන් පොත තද කරගෙන ආපසු හැරුනේ පැටලිලි සහගත මනසින්...
මා වසරකටත් වැඩි කාලයක් දකින්නට පෙරුම් පිරූ ඒ සුන්දර කවි සිතේ හිමිකාරිය, මා එනතුරු තරමක් දුරින් ඔබ මොබ යන සෙනඟ දෙස නෙත් යොමු කරමින් සිටිනවා මා දුටුවේ එවිටයි... බලාපොරොත්තු කඩවූ දෑසින් උන් තැනම නතර වුනු මම සටහන් පොත එකවරම් පිටුපසට කරගත්තේ ඇය මා දකීවි යන චකිතය නිසා...
පොරොන්දු වූ විදියටම ඇය උරහිසෙහි එල්ලී තිබුණේ ඔඩෙල් බෑගයක්... යෞවනයේ සුන්දරත්වය කවි පද වල ඇමිණූ ඇයගේ සුන්දර කවි සිතිවිලි කෙතරම් තරුණ වුවත් මඳක් ඔබ්බෙන් මා එනතුරු බලා සිටියේ තරුණියකට වඩා මැදිවියේ පෙනුමක් තිබූ කාන්තාවක්... තරමක තරබාරු සිරුරේ තරබාරු ගති වඩාත් ඉස්මතු වන ලෙස කුරුතාවක් වැනි ඇඳුමකින් සහ කලු දිග කලිසමකින් සැරසී සිටි ඇය තම සුරතේ රැඳි ලේන්සුවකින් නළලට නැඟුණු දහදිය පිසගත්තේ කලබලයෙන්…
දැන් මම මොකද කරන්නේ... සදහටම මා සමඟ ජීවත් වෙන්න යැයි ඉල්ලීමට සූදානම්ව පැමිණි මම ඇය හා කතා කිරීමටත් කලින් සිත වෙනස්වීම ගැන මට මගේ ගැනම ඇති වුනේ කේන්තියක්…
"තේරුමක් නෑ.. මේක වෙන වැඩක් නෙමෙයි... කතා නොකරම ආපහු පලයන්... කතා කලොත් මොකද්ද කියන්න තියනවා කිව්වේ කියලා අහයි... උඹ මොකද්ද කියන්නේ... ?"
නොනැවතී ගලා එන සිතිවිලි වලට දෙන්න උත්තරයක් මට තිබුණේ නෑ... කොහෙන්දෝ ආපු බලාපොරොත්තු කඩවුණු කාලකන්නි හැඟීමක් මගේ හිත පුරාවට අරක් ගත්තා... එලියට පනින්න දඟලන කඳුලු බින්දුවක් මම හිරකරගත්තේ අමාරුවෙන්...
"අවුරුදු දෙකක් තිස්සේ උඹේ ජීවිතේට බලාපොරොත්තු එක්කලේ මේ ඉන්න කෙනා නෙමෙයිද...? කාත්කවුරුත් නැති රටක තනි වෙලා ඉද්දී, අනාගතයක් ගොඩනගන්න තියෙනවා ඒක නිසා මහන්සි වෙන්න කියලා බෙලහීන වුණු උඹේ හිත හදන ගමන් උඹ පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ කැපවුනේ මේ අහිංසක කෙල්ල නෙමෙයිද...? අවුරුදු කීපෙකින් වෙනස්වෙලා යන ලස්සනක් ගැන හිතලා කතා කරන්නත් කලින් හිත වෙනස් කරගන්න උඹ මහලොකු ආදරවන්තයෙක්ද...? ලක්ෂ ගනන් බිල් ගෙවාගෙන පැය ගනන් දොඩවපු උඹේ පරමාදර්ශී කතා වලට මොකද වුනේ...? බල්ලෙක් වෙන්නේ නැතුව ගිහින් ඒ කෙල්ල එක්ක කතා කරපන්... ආදරේ තියෙන්නේ එලිසමය ගැලපුණු පද හතරක විතරක් නෙමෙයි, මැරෙණකන් ගතවෙන හැම තත්පරයකම ආදරේ තියෙනවා කියලා ඒ කෙල්ල උඹට කියලා දේවි..."
මුළු කොටුවටම ඇහෙන තරම් සද්දෙකින් මගේ යටි හිත කෑගැහුවා… තවත් ටික වෙලාවක් කල්පනා කරමින් සිටි මම තීරණයක් ගත්තේ එක හිතින්… සටහන් පොත නොගිලිහෙන ලෙසින් සුරතට තදකරගත්ත මම සෙමින් ඇය අසලටම පියනැඟුවා... නොඉවසිලිමත් ඇගේ ඇස් ඉදිරියෙන් ඇදෙන හැම මිනිසා දෙසම යොමු වුනත් ඇය අසලටම පැමිණි මාව ඇය දුටුවේ නැහැ...
"මලිති..."
මා ඇය ඇමතූ හඬින් කලබල වී මා දෙස බැලූ ඇයගේ මුවඟට නැගුනේ ලෙංගතු සිනාවක්...
පෙරලා සිනහවකින් පිළිතුරු දුන් මම දිඟු කල සටහන් පොත ස්තුතියක් වත් නොකරමින් අතට ගත් ඇය එය තම ගමන් මල්ල තුළට රුවා ගත්තා...
" කෙහෙට හරි යනවද...?"
අප අතර තිබූ ඒ අසාමාන්යය නිහැඬියාවෙන් මම අපහසුවට පත්වෙද්දී, ඇසෙන නෑසෙන හඬින් ඇය ඇහුවේ බලාපොරොත්තු සහගත නෙතින්...
" ඔව්… කතාකරගත්ත විදියට... කොෆී ඩේ යමු..."
එසේ පවසමින් මා ඇය වෙත පෑ සුරත අල්ලා ගන්නවා වෙනුවට සිනාමුසු මුහුණින් ඔඩෙල් බෑගයට අත දැමූ ඇය ඉවතට ගත්තේ දෙකට තුනට නැමූ කොල කැබැල්ලක්...
"මම මලිති නෙමෙයි... ඔයා මගෙත් එක්ක කතා කරලා කෝපි බොන්න යන්න කතා කලොත් මේක ඔයාට දෙන්න කියලා මලිති කිව්වා..."
කිසිවක් තේරුම් ගත නොහැකිව අසරණ බැල්මෙන් බලා සිටි මා වෙත ඇය ඇය දිඟු කල ලිපිය මම දිග හැරියේ ගැහෙන හදින්... වසරක් තිස්සේ මා ආදරයෙන් කියවූ මුතු ඇටවන් ඒ අත් අකුරු හඳුනා ගැනීමට මට අපහසු වූයේ නැහැ
"hey you fool... leave my punchi alone… am waiting for you at Coffee Day… :)"
සුපුරුදු අත් අකුරින් කුරුටු ගා තිබූ ඒ ලිපියේ තැවරී තිබුනේ, සුළු මොහොතකට පෙර මා සමඟ ඇස් වලින් කතාකර නික්ම ගිය ඒ සුරංගනාවියගේ ගතින් නික්මුණු විලවුන් සුවඳමයි...
~ නිමි ~
ප/ලි : කලකට පෙර අන්තර්ජාලයේ සැරි සරද්දී ඇස ගැටුණු රසවත් සිදුවීමක මතකය අලුත් කරමින් අකුරු වලට ඇමිණීමට ගත් මේ උත්සාහය වැලන්ටයින් දිනය වෙනුවෙන්... ඔබ සැමට සුභ ආදරවන්තයන්ගේ දිනයක් වේවා..!




