අට්ටි ගැසූ ප්ලාස්ටික් පුටුද, අනෙක් අඩුම කුඩුමද පටවා ගත් ඩිමෝ බට්ටා රථය වෙරිවූවෙකු මෙන් දෙපසට වැනෙමින් ගොස් මහපාරට හරවා නොපෙනී යන අයුරු රොෂාන් ඉස්තෝප්පුවට වී නිහඬව බලා සිටියේය…
ලොරි රථය නොපෙනී ගියද එය සැර දමා කන්ද නඟින හඬ ඉන් අනතුරුව ඔහුට ඇසුණි…
අලසව ඈනුමක් හැරි ඔහු හුන් ඉරියව්වෙන්ම ගෙමිදුල දෙසට නෙත් යොමු කලේය… පිනි දියට පෙඟී, පයට පෑගී ගෙබිම තැන තැන මියෑදී ඇති මඩ වැකුණු ක්‍රේප් පටි කැබලි පෙරදින සාදයේ වරුණ කියා පායි…
“පුතේ මමත් හවස කෝච්චියේවත් යන්න කියලා…”
රොෂාන්ගේ දැහැන බිඳුනේ පිටුපසින් පැමිණි හඬකිනි…
“පුංචි අම්මා යන්නද…? තව ටික දවසක් ඉන්න අමාරුද…? නිමාලි වැඩ අල්ල ගන්නකල්වත්…”
“වැඩ අල්ල ගන්න මේක පැට්ටේරියක්යෑ… අනික…”
ඇය තවත් යමක් කියන්නට තැතනුවද නිමාලි ඉස්තෝප්පුවට පැමිණෙන අයුරු දැක තම වචන ගිල ගත්තාය…
“කෝ අම්මා…?”
රොෂාන් නිමාලිගෙන් ඇසුවේ එතැන පැවති අසාමාන්‍යය නිහඬතාවය බිඳිය යුතු හෙයිනි…
“කාමරේ… ලියුමත් අතේ තියාගෙන ඉන්නවා… කෑම පිඟාන අල්ලලාවත් නෑ…”
අළුත කැන්දන් ආ මනාලියකට හුරු මෘදු හඬකින් ඇය චෝදනා කලාය…
“මොනවා කරන්නද මට තේරෙන්නේ නෑ… දොස්තර කෙනෙක්ටවත් පෙන්නන්න තමයි වෙන්නේ…”
රොෂාන් පැවසූයේ ගැඹුරු සුසුමක් හෙළමිනි…
“අසනීපයක් නෙමේ… ඔය තියෙන්නේ මුරණ්ඩු කම…”
එසේ පැවසූ පුංචි අම්මා ගෙතුළට පිවිසියෙන් රොෂාන්ගේ පසෙකින් හිඳගත් නිමාලි සෙමෙන් ඔහුගේ සුරත අල්ලා ගත්තාය…
“අපි ලියුම කඩමුද…?”
රොෂාන් පුදුමයෙන් මෙන් නිමාලි දෙස බැලූයෙන්, ඇය නොකිය යුත්තක් කියවුනාක් මෙන් බියෙන් හැකිළුනි…
“නෑ… මම හිතුවේ එතකොටවත්…”
නිමාලි තමාගේ ඉල්ලීම සාධාරණීකරනය කරන්නට වචන සොයන්නට වීය…
“අම්මා කැමති නෑනේ… බලෙන් ලියුම කඩන්න ගියොත් ප්‍රශ්න ඇතිවෙයි…”
රොෂාන් පැවසීය…
“හ්ම්ම්…”
නිමාලි එකඟ විය…
“මට තේ එකක් ගේනවද…?”
නිමාලි එතැනින් නැඟිට ගිය පසු මේ ප්‍රශ්න සියල්ලට මුල් වූ ඒ කාලකන්නි දවස ගැන ඔහුගේ සිත දිව ගියේය…
ඒ රොෂාන් තම ප්‍රියම්බිකාව නිමාලිව කැන්දන් එන උත්සවයට ඔහුගේ මව පද්මිනී හා එක්ව ලහි ලහියේ ලැහැස්ති වෙමින් සිටි වකවානුවයි… සැමියෙකු නැතිව දහසක් කරදර විඳ දරාගනිමින් ලොකුමහත් කරගත් තම එකම පුතා සහකාරියක කැන්දන් එන දවස ගැන පද්මිනීට තිබුණෙ අප්‍රමාණ සංතෝශයකි… හිතුමතේට විවාහයේ බැඳුනු ඇගේ සැමියා මාකස් පැදුරටත් නොකියා නික්ම යද්දී රොෂාන් යන්තම් බහ තෝරන්නට පටන් ගත්තා පමණි… මාකස් ජීවිතයේ වගකීමක් නැති සෙල්ලක්කාරයෙකු බව ඇය දැන සිටියද, එක් වහලක් යට විසීමට පටන් ගත් පසු ඔහුගේ නරක ගතිගුණ හදාගැනීමට හැකිවේ යැයි ඇය විශ්වාස කලාය…එය අසාර්ථක වූ තැන දරුවෙකු ලැබුණ පසු ඔහු වෙනස් වේයැයි ඇගේ විශ්වාසය විය… නමුත් ඇගේ සියළු බලාපොරොත්තු සුන්කරමින් මාකස් ඔවුන්ව තනිකර නික්ම ගියා පමණක් නොව ඉන්මතු ඔහුගැන කිසිඳු ආරංචියක් ඇයට සොයාගත නොහැකි විය… තමා මාකස්ගේ කඩවසම් හිනාවටත් අපිලිවෙල රටාවටත් රැවටුනු බව පද්මිනීට වැටහෙන විට රොෂාන් කරඳඬු උස්මහත්වූ තරුණයෙකු වී තිබුණි…
පද්මිනීගේ සහෝදරයෙකු වන ප්‍රේමදාස මුදලාලි සවස් වරුවක ඔවුන්ගේ නිවසට පැමිණෙන විට රොෂාන් සිටියේ තම මව සමඟ විවාහ උත්සවයේ ඉතිරි සැලසුම් ගැන සාකච්ඡා කරමිනි…
තේ පැන් පිලිගැන්වීමෙන් සහ උත්සවයේ කටයුතු ගැන කෙටි කතාබහකින් අනතුරුව පද්මිනී තම සොයුරාගෙන් පැමිණි කාරණය විචාලේ අසනීප තත්වය නිසා ගමන් බිමන් සීමා කර ඇති ඔහු විශේෂ කාරනයකට නොවන්නට මෙසේ නොපැමිණෙන බව දන්නා හෙයිනි…
“අයියා හදිසියේම වගේ ආවේ…? වැදගත් කාරණාවකට වෙන්නැති..?”
“වැදගත් කාරණාවක්ද මම දන්නේ නෑ… ඒත් මේක දැනගත්තාම උඹලටත් දන්වන්න ඕනේ කියලා මට හිතුනා…”
පද්මිනීත්, රොෂානුත් මුවින් නොදොඩා ප්‍රේමදාස මුදලාලි පවසන දේ අසා සිටියෝය…
“පහුගිය දොහක අපේ ලියන මහත්තයාට ඇහැ ගැටිලා තියෙනවා මාකස්ව…”
ඉස්මොල්ලේ යන්නට පැමිණි තේ උගුර අපහසුවෙන් ගිලදැමූ රොෂාන් තම මව දෙස බැලීය… මුහුණෙ මස් පිඩුවකදු නොසෙල්වා ඇය තම සොයුරා දෙස බලා සිටියි…
“ඔය නුවර පැත්තේ හෝටලයක කෝකියෙක් විදියට වැඩකරනවා කිව්වේ…”
“ලියන මහත්තයා කතා කරලද..?”
රොෂාන් ඇසීය…
“නැහැ…මිනිහා හිමිහිට හෝටලේ කොල්ලෙකුගෙන් විස්තර විපරම් කරලා තියෙනවා…ළඟදී වැඩට ඇවිල්ලා තියෙන්නේ…අවුරුදු ගානක් පිටරට වැඩ කරලා තියෙන්නේ කිව්වලු…පවුලක් පන්සලක් නැතුව හෝටලේම නැවතිලා ඉන්නවා කිව්වේ…”
ලියන මහත්තයා යනු රොෂාන් ඉපදෙන්නටත් පෙර පටන් ප්‍රේමදාස මුදලාලිට සේවය කරන ඉතා විශ්වාසවන්ත සේවකයෙකු බවද, වගකීමෙන් ක්‍රියාකරන ඔහුට වැරැදීමක් වීමට ඇති ඉඩ ඉතා අල්ප බවද රොෂාන් දනී…
“මෙන්න මේ… හෝටලේ කාඩ් එකකුත් උන්නැහැ අරගෙන ඇවිල්ලා තිබුණා…”
හදිසියේ යමක් සිහිවූවාක් මෙන් තම පසුම්බිය අවුස්සමින් ප්‍රේමදාස මුදලාලි පැවසීය…
“මම දන්නේ නෑ… උඹලාගේ කැමැත්තක් කරපල්ලා… මගේ නම් බල්ලාවත් ඕකා එක්ක පයිරු පාසානයක් නෑ… ඒත් මේ මඟුල් තුලාවකුත් මේ අස්සෙම පැටලිච්චි… උඹලාට මේක කියන්න ඕනේ කියලා මට හිතුනා…උන්දැටත් දැනුම් දෙනවද… ආරාධනා කොරනවද… උඹලාට ඕනේ දෙයක් කරපල්ලා… මම ගොහින් එන්නම්…”
කාඩ්පත ටීපෝව මත තැබූ ප්‍රේමදාස මුදලාලි නැඟී සිටියේය…
“අපි මොකද කරන්නේ අම්මේ..?”
රොෂාන් ඇසුවේ ප්‍රේමදාස මාමා රැගත් රථය නොපෙනී ගිය පසුවයි…ඔහු තම පියා ගැන සඳහන් කල මොහොතේ පටන් මේ වනතෙක්ම මව කිසිදු වචනයක් පිට නොකල බව හදිසියේම රොෂාන්ට වැටහුනි…
“ඔන්න ඕක විසිකරලා දාන්න…”
තම මවගේ බිඳුණු හඬ රොෂාන්ට පසක් කලේ ඇය පුපුරා හැලෙන්නට ආසන්න හැඬුමක් තම උගුරේ හිරකරගන්නට තතනන බවයි…
“මෙන්න ආරාධනා කාඩ් ටික…”
මේ සිදුවීමෙන් දින කිහිපයකට පසු තම විවාහ උත්සවයේ ඇරයුම්පත් නිවසට රැගෙන ආ රොෂාන් ඒවා පද්මිනීට භාර දෙමින් පැවසීය…
“කාටද දැන් අම්මේ ඉස්සෙල්ලාම ආරාධනා කරන්නේ…?”
රොෂාන්ට සිතුනේ ප්‍රේමදාස මාමාට ආරාධනා කිරීම සුදුසු බවයි…
“ප්‍රේමදාස මාමා එදා දුන්න අර හෝටල් කාර්ඩ් එක තාම ඔයා ගාව තියෙනවද පුතේ…?”
පද්මිනී හදිසියේම පැවසුවේ රොෂාන් මවිතයට පත්කරමිනි…
“ඔව්..”
“අපි පළවෙනි ආරාධනාව තාත්තට තැපැල් කරමුද..? නෑවිත් ඉන්න එකක් නෑ…”
රොෂාන් තම පියා පිළිබඳ මතකය අසීරුවෙන් සිහියට නඟාගැනීමට උත්සාහා කලේය…සිහිනෙන් ඇඳි සිතුවමක් වන් ඡායාවක් විනා අන් යමක් ඔහුගේ සිතට නොඒ… පියා තම විවාහ උත්සවයට පැමිණිම හුදෙක් ඔහුගේ බාහිර ස්වරූපය කෙබඳුදැයි දැනගැනීමේ ආශාවකින් ඔබ්බට නොයෑම ගැන රොෂාන් මවිත විය…තමාට එසේ වුවද තම මවට එය ඉන් බොහෝ එහාට ගිය අත්දැකීමක් බව ඇගේ දිළිසෙන ඇස් දුටු පමනින්ම රොෂාන් වටහා ගත්තේය…
“හා…”
දෙවරක් නොසිතා තම මවගේ යෝජනාවට රොෂාන් එකඟ වූයේ එහෙයිනි… එදිනම සවස ධාතු කරඬුවක් වඩම්මන්නාක් සේ භක්තියෙන් පද්මිනී රොෂාන් වෙත ගෙනැවිත් භාර දුන්නේ හොඳින් ඇලවූ මංගල ඇරයුම් පතකි…
“අකුරු දෙක තුනකුත් කුරුටු ගාලා දැම්මා… හෝම් කමින් එකට නොවැරදීම එන්නය කියලා…”
පිම්බුනු ලියුම් කවරය ගැන රොෂාන්ට ඇතිවූ සිතුවිලි තේරුම් ගත්තාක් මෙන් පද්මිනී පැවසීය…
එතැන් පටන් නොඉවසිල්ලෙන් තැන තැන දුව පැන ඇවිදිමින් උත්සවයේ කාරණා ඉටුකරමින් සිටියේ වසර දහයකින් තරුණ වූ පද්මිනී කෙනෙකි… සැබැවින්ම මේ සූදානම නිමාලි කැන්දන් එන උත්සවයටද නැතිනම් මාකස් පිළිගැනීමේ උත්සවයකටද යන්න රොෂාන්ට සැක කිරීමට තරම් පද්මිනීගේ හැසිරීම අසාමාන්‍ය වීය…
“ඔය කේටරින් මිනිස්සුන්ගේ අපිට ඕනේ කෑම තෝරන්න නෑ… කජු මාලුවක් එහෙම හදලා කටට රසට කෑම ටිකක් දෙමු…තාත්තා කන්න කැමතිම කජු මාලුව…පුංචි අම්මලාවත් අල්ලගත්තම මට ඇහැකි ගම් හතකට උයන්න… ”
උත්සවයේ සංග්‍රහ කටයුතු කේටරින් සේවයකට ලබාදෙමු යැයි රොෂාන් කල යෝජනාවට ඉඳුරා විරුද්ධ වෙමින් පද්මිනී පැවසීය… ඊට එකඟ වෙනවා හැරෙන්නට රොෂාන්ට කලහැකි අන් යමක් නොවීය…
දිනෙන් දින විවාහ මංගල උත්සවය ළංවෙද්දී මාකස්ගෙන් පෙරළා පිළිතුරක් නොලැබීම ගැන රොෂාන් පද්මිනීගෙන් ප්‍රශ්න කලද ඇය ඒ පිළිබඳව වද වෙන බවක් නොපෙණුනි…
“තාත්තා ලියන ලියුම්… කෙලින්ම උත්සවේට ඒවි… මම නොදන්නවැයි එයාගේ හැටි…”
පද්මිනීගෙ පිළිතුර විය…
“අම්මේ මෙන්න කජු වගයක් ගෙනාවා…කජු මාලුවට ගන්න…”
දිනක් රැකියාව හමාර කර නිවසට පැමිණි රොෂාන් පැවසූයේ පාර්සලයක් තම මව අත තබමිනි…
“මේ කොහෙන්ද..?”
පද්මිනී විමසද්දී…
“කන්තෝරුවේ වැඩකට නුවර ගියා… එන ගමන් ගත්තා…”
යැයි පැවසූ රොෂාන් නාන කාමරයට ඇතුළු වී දොර වසාගත්තේය…
සුපුරුදු කලබලයෙන් තවත් දින කිහිපයක් ගතවුනි… හදිසියේම එහි රිද්මය බිඳුනේ විවාහ උත්සවයට දිනකට කලින් පැමිණි ලිපියකිනි…
“තාත්තාගෙන්…”
ලියුම් කවරයේ පිටපැත්ත දෙස බැලූ පද්මිනී රටක් රාජ්‍යයක් දිනුවාක් මෙන් සතුටින් පැවසීය… එහෙත් ඒ ක්ෂණයකින්ම ඇගේ මුහුණ කළු ගැසුනේ යමක් අවබෝධ වූ අයුරිනි…
“මොනවද කියලා තියෙන්නේ බලන්න…”
රොෂාන්ගේ ඉල්ලීමට ප්‍රතිචාරයක් නොදැක්වූ පද්මිනී ලිපියත් රැගෙන නිහඬව ගෙතුළට පියනැඟුවාය…පැය කිහිපයක් යනතුරු ඇය ගැඹුරු කල්පනාවක නිරතව සිටියද අනතුරුව පෙරටත් වඩා උනන්දුවෙන් ඉතිරි වැඩ කටයුතු වලට උර දෙනු රොෂාන්ගේ ඇස ගැටිණි… තවමත් විවෘත නොකල ලිපිය පමණක් මවගේ කණ්නාඩි මේසය උඩ විය…
ඉන් ඉක්බිති දින කිහිපය ගෙවුණු අයුරු ගැන රොෂාන්ට නිනව්වක් නොවීය…නැවතත් මාකස් සහ ලියුම ගැන ඔහුට කල්පනාවට ආවේ නිමාලිව නිවසට කැන්දන් ආ දින රාත්‍රියේ මව ලිපියක් සුරත දරාගෙන කාමරයේ ඉකිබිඳින බව නිමාලී සැලකිරීමෙන් අනතුරුවයි… සත්‍යවශයෙන්ම තම පියා උත්සවයට නොපැමිණි බවත් රොෂාන්ට සිහිවූයේ එවිටය…
“ආ මෙන්න…”
නිමාලිගේ හඬින් රොෂාන් පියවි සිහියට පැමිණියේය…
“අපි හවස පුංචි අම්මාව ස්ටේෂන් එකට ඇරලවන ගමන් අම්මාව ටවුන් එකේ තියෙන ප්‍රයිවෙට් ක්ලින්ක් එකට එක්කගෙන යමු…”
රොෂාන් පැවසුවේ නිමාලි දුන් තේ කෝප්පය සුරතට ගනිමිනි…
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
“එහෙමට අසනීපයක් නම් පේන්නේ නැහැ… හාට් එකේ පුංචි අසාමාන්‍ය ගතියක් තියෙනවද කියලා මට සැකයක් හිතුණා…කෝකටත් අවශ්යනම් හාට් ස්පෙෂලිස්ට් කෙනෙක් හම්බුවෙලා ඊ.සී.ජී එකකුත් කරන්න…”
වෙද්‍යවරයා පැවසුවේ රුධිර පීඩන මාපක යන්ත්‍රය පද්මිනීගේ බාහුවෙන් ගලවමිනි…
“ඩොක්ට මානසික මොනවා හරි…”
රොෂාන් කියන්නට ආ දෙය ගිලගත්තෙන් වෙද්‍යවරයා පද්මිනීගේ සුරතේ තවමත් සිරවී ඇති ලිපිය දෙස නෙත් යොමු කලේය…
“අම්මේ ඔය ලියුම කඩමුද…?”
වෙද්‍යවරයා ඇසුවේ පද්මිනී වෙත නැඹුරු වී ඇගේ පිටට අත තබමිනි...
“හෙට…! හෙට කඩමු…”
ඒ පද්මිනී පැය ගන්නකට පසු කතාකල පලමු අවස්ථාව විය…
එදින රාත්‍රියේ රොෂාන් සිහිනයක් දුටුවේය… නිමාලි නිවසේ ඉස්තෝප්පුවට වී ප්‍රසව වේදනාවෙන් කෑගසයි… ඇයව රෝහලට ගෙනයෑමට අම්මා ඉඩ නොදෙයි…
“ඔය නිමාලි වදන්න යන්නේ උඹේ තාත්තා මාකස්ව…මට පුළුවන් වින්නඹු කම කරන්න…”
අම්මා පවසද්දී රොෂාන් එකඟ වෙයි… ඉන් සුළු වෙලාවකට පසු නිමාලි දරුවා බිහිකරයි… පද්මිනීගේ උරහිසට උඩින් එබෙන රොෂාන් දකින්නේ අම්මා දෝතින්ම යමක් වඩාගන්නා අයුරුයි… නමුත් රොෂාන් මවිතයට පත්කරමින් ඔහු දකින්නේ දරුවෙකු වෙනුවට එහි ඇත්තේ මඩවැකුණු ක්‍රේප් පටි සහ බැලුම් කැබලි පොදියක් බවයි…
රොෂාන් සිහිනෙන් බියවී අවදි විය…මේසය මත වූ වතුර වීදුරුව එක හුස්මට පානය කල ඔහු ඉන් අනතුරුව නිදන්න උත්සාහා කලද බොහෝ වේලාවක් යනතුරු නින්ද ඔහු කරා පැමිණියේ නැත…පසුදින අම්මාගෙ අතින්ම ලියුම විවෘත කරවන්නට රොෂාන් ඉටාගත්තේය… ඔහු යළිත් නින්දට වැටුනේ හිමිදිරි යාමයේය…
“ස්ලාං…!!! රොෂාආආආආආන්…!!!”
යමක් බිඳෙන හඩින්ද, නිමාලිගේ කෑගැසීමෙන්ද උඩගොස් අවදිවුන රොෂාන් ඇඳිවත සකසමින් පද්මිනීගේ කාමරයට දිවගියේය… බිමවැටී කුඩු වුන කිරිතේ කෝප්පය ඉදිරියේ සිටගෙන සිටින නිමාලි පද්මිනීගේ ඇඳ පෙන්වමින් යමක් පවසන්නට තතනයි…… රොෂාන් ඒ දෙස නෙත් යොමු කලේය… ලිපියද කිටි කිටියේ සුරතේ සිරකරගෙන පද්මිනීගේ නිසල සිරුර සිවිලිම දෙස බලා සිටියි…
++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
ඉහල නැගෙන දුම් රොටු වලින් පද්මිනීගේ චිතකයේ මුඳුන නොපෙනී යන අයුරු නිමාලි ඔහේ බලා සිටියාය.. ගතවූ දින කිහිපය තුල සිදුවූ සියල්ල ඇයට සිහිනියක් මෙනි… තමාට පසෙකින් සිටගෙන සිටින රොෂාන් දෙස ඇය නෙත් යොමුල්කලාය.. ඔහු ගැඹුරු කල්පනාවක නිග්මනව සිටී… තවත් සුළු මොහොතකින් ඔහු තම සාක්කුවෙන් යමක් එළියට ගත්තේය…
“ලියුම…!” නිමාලිට කියැවිනි…
ලිපියද රැගෙන ඔහු සෙමෙන් ඇවිලෙන චිතකය දෙසට ළවෙද්දී නිමාලිට යමක් ඉවෙන් මෙන් වැටහුනි…
“එපා… අපි කඩලා බලමු මොනවද තියෙන්නේ කියලා…”
රොෂාන්ගේ බාහුවෙන් අදිමින් නිමාලි පැවසීය…
“මොනවා තිබුනත් දැන් වැඩක් තියෙනවැයි…”
රොෂාන් පැවසුයේ චිතකය වටකරමින් බුර බුරා නැගෙන ගිනිදැල් අතරට ලිපිය විසිකරමිනි…
වසර පහක් පුරාවට බෙදන මිතුරුකමටත් ස්තූතියි… සිංහල බ්ලොග් ලියන කියවන ඔබ සැමට සිහින හඹායන්නට දිරිය ලැබෙන නව වසරක් පතමි…
පිංතූරය : V. Vaughan