Friday, April 5, 2013

76. ණය

 

අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ...

"මචං මම අමීර්..."

කාරණය දෙවැන්නයි...

"හලෝ මචං කොහොමද...?"

එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි...

"මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..."

ඌ ඉල්ලන්නේ සැලකිය යුතු මුදලකි... ඌ සිටිනා තත්වය අනුව එය නැවත මාහට නොලැබෙන බවද වටහා ගැනීම අපහසු නොවේ... මාසික ණයතුරුස් නම් පෙරණයෙන් පෙරා එන පඩිපතේ, අවසාන සතිය වනවිට මේ ගෙවෙන්නේ දුක්ඛදායකම පරිච්ඡේදයයි...  එහෙත් මගේ නිදහසට කරුණු වලින් මේ අසීරු අවස්ථාවේ ඌට පිහිටක් නොවන වග මම දනිමි...

"උඹේ ෆුල් නේම් එකයි, අයි ඩී කාඩ් නම්බර් එකයි ටෙක්ස්ට් කරපන් මචං..."

"තැන්කෝ තැන්කෝ මචං... ලොකු උදව්වක්..."

සතුට දෝරේ ගලන උගේ මුහුණ මා සිතේ ඇඳගනිමි...

----------------------------------------------------------------

මේ සිදුවීමෙන් සතියකට පමණ පසු ගණනින් හතර දෙනෙකු වූ අප එක්තරා ප්‍රදර්ශනයක් නරඹන අතරතුරේ  රාත්‍රී ආහාරය ලබාගැනීමට තැනක් සොයමින් සිටියෙමු... අධි සුඛෝපභෝගී හෝටල නියෝජනය කරමින්, තාවකාලිව ඉදිවුණු ප්‍රදර්ශන කුටි ඉදිරියේ දිස්වෙන ඉහළ මිලගණන් එහි ඇතුළුවීම ගැන දෙවරක් සිතන්නට බලකරයි... එහෙත් බඩගින්න ලොව ඇති ලොකුම ගින්නයි... එනිසා අප එහිවූ එක්තරා හෝටල ප්‍රදර්ශන කුටියකට ගොඩවැදුණු අතර ශ්‍රී ලාංකික සේවකයෙකු උනන්දුවෙන් අපේ ඕනෑ එපාකම් පිරිමැසීය...

අහර කිස අවසන මුදල් ගෙවීමට සැරසුණ විට ඔහු පැවසූ දෙයින් මම පුදුම වීමී...

"නෑ… නෑ...අවුලක් නෑ..."

“ඈ..?”

“අවුලක් නෑ…”

"ඇයි සල්ලි එපාද...?"

"පිස්සුද ලංකාවේ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද..."

මේ එපා කියන්නේද සැලකිය යුතු මුදලකි... ගණනින් මා අමීර්ට යැමූ මුදලට මඳක් අඩුවෙනි... ඔහු සැරසෙන්නේ තමා සේවය කරන ආයතනයට වංචා කර හෝ "ලංකාවේ උන්ට" හැකි විදියට සංග්‍රහ කිරීම විය යුතුයි ... ඒ හරි වැරැද්ද වටහා දෙමින් තර්ක විතර්ක කරන්නට සුදුසු වේලාවක් නොවේ... ඔහු අපි වෙනුවෙන් ඔට්ටු තියන්නේ ඔහුගේ රැකියාව විය හැකියි...

"තැන්ක් යූ මචං..."

දකුණත මිරිකද්දී මම ඔහුගේ කබායේ පැළදී ඇති නේම් ටැග් එක කියවමි... "රිෆාස්" කැපිටල් අකුරින් එහි සටහන් වී තිබේ... 

අමීර්, අර ගාන රිෆාස් සෙට්ල් කලා මචං..!

ප.ලි. නම් ගම් මනංකල්පිතයි…

Tuesday, April 2, 2013

75. ලේ... හුඟක් ලේ...

ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ජාතියක් ආගමක් තිබූ...
රකින්නට...දිවි හිමියෙන්
තිබූ ඉතිහාසයක් ...
කකියමින් ගතපුරා...
මොහොතකට පෙර දිවූ...
ලේ...
හුඟක් ලේ...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
තවකෙකුගෙ සුරතකින්...
ජාතියක් ආගමක් ඇති...
රකින්නට...දිවි හිමියෙන්
ඌටත් ඉතිහාසයක්...
ලේ...
හුඟක් ලේ...
හඬක් නොනඟා ගලයි...
රොඩු වැලිද හා මුසුව...
කුණු කාණුවට සෙමින්...
අමතකව යන මතකයක්...
පමණක්ම ඉතිරිකර...
සලකුණක් නොතියාම...
සේදෙයි වතුර පහරකින්...
සබන් පෙණ අහුරකින්...
ලේ...
හුඟක් ලේ...

අන්තර්ජාලයේ රස්තියාදුවෙද්දී ඇසගැටුණු, භාවනා කමටහනක් වන් මේ පිංතූරය අරන් තියෙන්නේ Scott Olson නම් ඡායාරූප ශිල්පියෙක්…

Wednesday, February 27, 2013

74. අපිට පිස්සු ඕයි !!!



මේල් එක ආවේ එකපාරම...
අයියේ "අපිට පිස්සු ඕයි" කියලා...
චේන් පොස්ට් දානවා ලියපන් කියලා...
මන් ඇහුවා සිරාවටම තොපිට පිස්සුද කියලා ඕයි...
මට බෑ මගේ බ්ලොග් එක කැත වෙනවා..
මිනිස්සු හිතයි මට පිස්සු කියලා ඕයි...

මල පැනලා මූ කිව්වනේ...
මම දන්නවා තමුසෙගෙ අවුල මොකද්ද කියලා ඕයි...
කියපන් බලන්න මොකද්ද අවුල ඇහුවම...
මූ කියනවා...
තමුසේ හැමවෙලේම හෙන සීරියස් කියලා ඕයි...
මට කොච්චර හිනා ගියාද කිව්වොත්...
තව පොඩ්ඩෙන් මම පිටේ නැගලා හිටිය...
කස්තුරි මුවාගෙන් බිමට වැටෙනවා ඕයි...

මම ඌට කිව්වා මෙහෙම...
මේ ලෝකේ ඉස්සර පිස්සෝ හිටියේ ටිකයි ඕයි...
ඊට පස්සේ පිස්සෝ එන්න එන්න වැඩිවුනා ඕයි...
කොච්චර වැඩි උනාද කිව්වොත්...
අන්තිමට වැඩිපුර ඉන්නේ පිස්සෝ හින්දා...
උන්ට නෝමල් එවුන් කියන්න ගත්තා ඕයි...
නෝමල් එවුන් ටිකදෙනා ඉබේම පිස්සෝ උනා ඕයි...

ඉතින් මම පිස්සෙක් කියලා මම දන්නවා ඕයි...
නෝමල් එවුන් මට එහෙම කියන්නේ ඇයි කියලත් දන්නවා ඕයි...
ඒක හින්දා මෙතන කිසි අවුලක් නෑ ඕයි...
පිස්සෙක් තමන් පිස්සෙක් කියලා දන්නේ නැත්තම්...
ඒක තමයි පට්ට අවුල ඕයි...
ඊට පස්සේ මූ කියනවා...
මට සිරාවටම පිස්සුලු ඕයි...! වෙන්ඩැති ඕයි...

හැබැයි...
පිස්සු තිබුණ පලියට මිනිහෙක් වැරදි වෙන්නේ නෑ ඕයි...!

මට පිස්සු වගේ ඕයි...
වගේ නෙමේ ඕයි…
හොඳටම පිස්සු ඕයි…!!!

මාත් එක්කම ඇඩ්මිට් වුනා : ඕනයා | සිහින | අවංක පැට්ටා | ආගන්තුකයා | STRANGER | රනා | පසන් | බුල්ටෝසෝඩා ගුණේ | සුදු පූසානචී | ජීවිතේ මල් | ලිෂාන් පුවක්ඕවිට | සංජුපිස්සා | අශාන් | හිතුවක්කාර කෙල්ල | රුචක| හසී | මුචලින්ද | අමිල චතුරංග

Friday, February 22, 2013

73. අමාවකට පසු...

image

මෝටර් රථයෙන් බැසගත් අප්පා තම බඳ පටිය සකසමින් ළමා නිවාසය දෙසට ඇවිද යන අයුරු බාලචන්ද්‍රන් නිහඬව බලා සිටියේය… ඔහු පසුපසින් ඇදෙන ආරක්ෂක නිලධාරින් අත ඇති බෑග් මළුවල ඇත්තේ ටොෆි චොක්ලට් සහ ඇඳුම් පැළඳුම් බව බාලචන්ද්‍රන් දනී… තවත් සුළු මොහොතකින් වක්කඩ කැඩුවාක් සේ කෑගසමින් අප්පා දෙසට දිව එන ළමුන් රංචුව ඔහු වටකරගනු ඇත… ඉන්පසුව සතුටින් කෑමොරදෙමින් තෑගි බෙදාගැනීමට ඔවුහු පොරකති… ශීතකරණයේ ඇති තරම් ටොෆි චොකලට් ඇතද මේ මොහොතේ ළමුන් හා සතුටින් පොරකමින් අප්පාගෙන් ඒවා උදුරාගන්නට බාලචන්ද්‍රන්ටද මහත් ආශාවක් ඇතිවුණි… එහෙත් තමාට ළමා නිවාසයට ඇතුළු වීමට අවසර නොමැති බව ඔහු දනී… රියදුරු අසුනේ හිඳින ඊලාම් සොල්දාදුවා ළමුන්ගේ ඉරියව් නරඹමින් අවඥාවෙන් සිනාසෙමින් පසුවෙයි… මොවුන්ගෙන් සමහරෙකු නොබෝ දිනකින් අවි දරා සටනට යන බව දැන් දැන් බාලචන්ද්‍රන්ද දනී… ටික කලක පටන් විටෙන් විට පැමිණ ක්ෂණිකව තමා වසාගන්නා ආගන්තුක කලකිරීම මේ මොහොතේද ඔහුට දැනෙන්නට පටන්ගති…

“අප්පා ඉක්මන්ට එනවනම් හොඳයි…ධර්මලිංගම් මාස්ටර් මෙලහට ඇවිල්ලත් ඇති…” බාලචන්ද්‍රන්ට සිතේ…
 
අප්පාගේ ඇසුර හැරෙන්නට බාලචන්ද්‍රන් ප්‍රිය කරන අනෙක් ඇසුරක් වේ නම් ඒ තම සංගීත ගුරුවරයා වූ ධර්මලිංගම් මාස්ටර්ගේ ඇසුරයි… අප්පා විමුක්ති සටනට කැඳවාගෙන එන්නට මුල් වූ පිරිස අතර ධර්මලිංගම් මාස්ටර්ද වූ බව බාලචන්ද්‍රන් අම්මාගෙන් අසා ඇත… එහෙත් අප්පා සන්නද්ධ අරගලයකට නැඹුරු වෙද්දී ධර්මලිංගම් මාස්ටර් කෙමෙන් ඔහුගෙන් ඈත් වූ බවද ඔහු දැනගත්තේ ඇයගෙනි… අම්මාගේ බලවත් පෙරැත්තයට අමතරව මේ පරණ සම්බන්ධයද බාලචන්ද්‍රන්ට ඔහුගෙන් සංගීතය උගැන්මට අප්පාගෙන් අවසරය ලැබීමට ඉවහල් වන්නට ඇති…

ඔහු සිතුවා නිවැරදිය… මෝටර් රථයෙන් බසිද්දී බාලචන්ද්‍රන් දුටුවේ මිදුලෙහි දිවුල් ගස යට වූ බංකුවේ වාඩිවී කෝපි කෝප්පය තොලගාමින් පසුවෙන ධර්මලිංගම් මාස්ටර්ය…

“ඉන්න මාස්ටර් මම විනාඩියෙන් එන්නම්…”

හනික ඇඟ සෝදාගෙන්නා බාලචන්ද්‍රන් වයලීනයද රැගෙන මිදුලට දිවයයි… එතැන් පටන් කාලය ගතවෙන අයුරු ඔහුට හැඟීමක් නැත… වයලීනයේ තත් අතර තම කඩිසර ඇඟිලි තුඩු ගෙනයන ධර්මලිංගම් මාස්ටර් බාලචන්ද්‍රන්ට කියාදෙන්නේ සංගීතය පමණක් නොවේ… ජීවිතය ගැන…මිනිස්සු ගැන… ආදරය ගැන අන් කිසිවෙකුගෙන් වත් අසා නැති අපූරු දේ ඔහුට ධර්මලිංගම් මාස්ටර් විස්තර කරදෙයි… අප්පා සමඟ චිත්‍රපට නරඹන අතරේදී හෝ චාල්ස් අයියාගේ ඇසුරේදී ඔහු මෙවැනි දේ කිසිවිටෙකත් අසා නැත…

“මාස්ටර්… නිජබිම කියන්නේ මොකද්ද…?”

ස්වර අභ්‍යාස රාශියක් පුහුණුවීමෙන් පසුව ධර්මලිංගම් මාස්ටර් හා නිදහසේ කෙරෙන මේ කතාබහ සංගීත පන්තියේ බාලචන්ද්‍රන් කැමතිම මොහොතයි… යමක් විමසූ විට එය විස්තර කරදෙන අපුරු ක්‍රමයක් ධර්මලිංගම් මාස්ටර් කෙරෙහි වෙයි… බාලචන්ද්‍රන් ඔහුගේ ගුරුහරුකම් වලට වඩාත් ආසා එහෙයිනි…

“කොහෙන්ද පුංචි මහත්තයා ඔය වචනේ ඉගෙන ගත්තේ…?”

“අප්පා දේශනයකදි කියනවා ඇහුණා…”

“ඉතින් අප්පා නිජබිම කියන්නේ මොකද්ද කියලා විස්තර කළේ නැද්ද..?”

“විස්තර කලා… මට හරියට තේරුණේ නෑ…”

“මොකද්ද පුංචි මහත්තයට තේරුණේ…?”

“ම්ම්ම්… මට තේරුණ හැටියට… මේ භූමිය…මේ ගස් වැල් කොළ… එතකොට මේ කලපුව..වතුර..මේ හැම දෙයක්ම… අපේ නිජබිම… අපිට අයිති දේ… සිංහල මිනිස්සු ඒක අපෙන් උදුරගෙන තියෙනවා…”

නිහඬව සිනාසුණ ධර්මලිංගම් මාස්ටර් ගෙමිදුලේ වැටී තිබූ වියලී ගිය දිවුල් පත්‍රයක් අහුලා ගත්තේය…

“එතකොට පුංචි මහත්තයා කියන්නේ මේ කොළෙත් පුංචි මහත්තයට අයිතියි කියලද..?”

“ම්ම්ම්… නිජබිමට ගස් වැල කොළ මේ සේරම අයිතියිනේ… එතකොට නිජබිම අයිති අපිට නිසා… ඔව් ඔය කොළෙත් අයිති අපිට…”

“අහලා බලන්න එහෙනම් කොළෙන්… එයා අයිති පුංචි මහත්තයටද කියලා…”

“හි..හි..හී… මාස්ටර්ට පිස්සු… කොළ වලට කතාකරන්න පුළුවනෑ….!”

“මොකද කොළවලට කතාකරන්න බැරි…ඉන්න මම පෙන්නන්න…”

සිමෙන්ති බංකුව පිටුපස සැඟවුණු ධර්මලිංගම් මාස්ටර් දිවුල්පත්‍රය බංකුවෙන් ඉහළට පෙනෙන සේ එසවීය… දැන් බාලචන්ද්‍රන්ට පෙනෙන්නේ දිවුල් පත්‍රය පමණි…

“හා දැන් අහන්න… හැබැයි මෙහෙම අහන්න ඕනේ හොදේ… කොලේ කොලේ.. දෙයක් අහන්නද..?”

මාස්ටර්ගේ හඬ පමණක් බංකුව පිටුපසින් ඇසේ…

“හි..හි..හී… කොලේ… කොලේ දෙයක් අහන්නද…?” බාලචන්ද්‍රන් සිනාසෙමින් අසයි… මෙවර බංකුව පිටුපසින් ඇසෙන්නේ වෙනස් කටහඩකි…

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා… ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ දිවුල් ගහට…”

බංකුව පිටුපසින් එළියට පනින ධර්මලිංගම් මාස්ටර් මෙවර සැඟවෙන්නේ දිවුල් ගහ පිටුපසයි…

“අහන්න බලන්න දිවුල් ගහෙන්…” ඔහු අසද්දී බාලචන්ද්‍රන් මේ අපූරු සෙල්ලම ගැන සතුටින් සිනාසේ…

“දිවුල් ගහ… දිවුල් ගහ… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති මේ මහ පොළවට…”

බාලචන්ද්‍රන් සතුටින් සිනාසෙද්දී දිවුල් ගස පිටුපසින් මෑත්වන ධර්මලිංගම් මාස්ටර් දෑත් දෙපා දෙපසට විහිදාගෙන වැලි පොළවේ වැතිරෙයි… මීළඟ පියවර බාලචන්ද්‍රන්ට විස්තර කිරීමට අවශ්‍යය නොවේ…

“මහපොළව මහපොළව… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“මහපොළව… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“මම අයිති නං සොබාදහමට…”

මින්පසුව නැඟීසිටින ධර්මලිංගම් මාස්ටර් හනික දිවගොස් වැලේ වනා තිබූ සරමක් රැගෙන එයි… දෑත විහිදා එය සළුවක් මෙන් ඔසවා ගන්නා ඔහු බංකුව මතට නඟී… පිටුපසින් දෙපසට විහිදාගෙන අල්වාගෙන සිටින සරම කිලිනොච්චිය සිසාරා හමායන වියළි සුළඟට ලෙලදෙද්දී, පුංචි බාලචන්ද්‍රන්ට ඔහුව පෙනෙන්නේ යෝධයෙකු මෙනි…

“කෝ ඉතින් අහන්න..” මුහුණට වැටෙන හිරු එළියෙන් මිදීමට ඇස් පුංචි කරගෙන තමාදෙස බලා සිටිනා බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් කියයි…

“සොබා දහම… සොබා දහම… දෙයක් අහන්නද..?”

“පුංචි මහත්තයා… පුංචි මහත්තයා … ඕනේ දෙයක් අහන්න…”

“සොබාදහම… ඔයා අයිති මටද…?”

“මම නං අයිති පුංචි මහත්තයට නෙමෙයි…”

“එහෙනම්…?”

“හැබැයි……………………!!!!”

“ඔව්වව්…………………..?”

“හැබැයි……………………!!!”

“ඔව්ව්ව්…………………..?”

“පුංචි මහත්තයානම් අයිති මටාආආආආයි…….!!!”

කෑගසාගෙන බිමට පනින ධර්මලිංගම් මාස්ටර් කුඩා බාලචන්ද්‍රන්ගේ ගතවටා සරම පටලවා ඔහුව වැරෙන් ඉහළටත් ඔසවද්දී එවැනි දෙයක් බලාපොරොත්තූ නොවූ බාලචන්ද්‍රන් සතුටින් කෑ ගසමින් ඔහුගෙන් මිදෙන්නට වෙරදරයි…

“හා හා හා…………….!!!!”

ඇස් වලින් කඳුළු පනින තුරු ඔහුව සිනාගැස්සීමට ධර්මලිංගම් මාස්ටර්ට හැකිවෙයි… සෑම දිනකම පාහේ සංගීත පාඩම අවසන් වෙන්නේ මෙවැනි සෙල්ලමකිනි…

“ඉතිං දැන් පුංචි මහත්තයට තේරුනාද…?” දවසේ සංගීත පාඩම නිමා කරමින් ධර්මලිංගම් මාස්ටර් අසයි...

“ඔව්…”

“මොකද්ද..?”

“මේ මොකුත් මට අයිති නෑ… සේරම අයිති සොබාදහමට… මාවත් අයිති සොබාදහමට…!”

***

හිමිදිරියේ හිරුරැස් තල් ගස් අතරින් බේරී විත් බාලචන්ද්‍රන් ගේ මුහුණ සිපගති… ඔහු සෙමෙන් දෑස් විවර කලේය… අළුයම වනතෙක්ම එකදිගට එල්ල වූ මෝටාර් ප්‍රහාර දැන් නතර වී ඇති සැටියකි… ගිනිගත් කරටි කඩා වැටීමෙන් ඉපල් වුණු තල්ගස් අහස අරා නැඟ සිටිනා භූතයන් වැන්න…

රැය පුරා පෙළනා බඩගින්න ඔහු කුස දවයි තමාට පසෙකින් ඉකි ගසනා හඬක් ඇසුණෙන් හිස හරවා බැලූ ඔහු දුටුවේ තම අම්මාගේ ගැහෙන දෙවුරයි… අක්කා ඇය උකුලේ හිස හොවාගෙන තවමත් නිඳයි…
පිරිසෙහි වූ තුවාල කරුවන්ට වෙද්‍යාධාර ලබාගනු වස් සිංහල හමුදාවට බාරවිය යුතු යැයි පිරිසක් තර්ක කරති… තවත් පිරිසක් ඊට එරෙහි වේ…

බාලචන්ද්‍රන්ට ධර්මලිංගම් මාස්ටර් සිහිවේ... තුවාල වුනු සිංහල හමුදාවේ ස්නයිපර් වෙඩික්කරුවෙකුට සාත්තූ කරද්දී චාල්ස් අයියා ඇතුළු පිරිසකට ඔහු අතටම අසුවී ඇති බව කෙනෙකු අම්මා සමඟ කියනු බාලචන්ද්‍රන්ට ඇසුනේ සටනේ අමාරුම අදියරේදීය... ඔහුට කුමක් සිදුවෙන්නට ඇතිදැයි සිතට නැගෙන සිතුවිලි බාලචන්ද්‍රන් ආයාසයකින් එසැනින්ම මරාදමයි..

සිටිනා ඉසව්ව ගැන හරි නිනව්වක් නැතත් ඉර නැගෙන පැත්තට විරුද්ධ දෙසට ඇවිද ගියහොත් හමුදා කඳවුරක් වෙන බව බාලචන්ද්‍රන් දනී… ඔහු බිමදිගේ බඩගා ගොස් අම්මාට තුරුළු වෙයි…

***
කඳවුර පුරා පැතිර ඇත්තේ අසාමාන්‍ය නිහඬතාවයකි… කිලෝමීටර කිහිපයක් ඈතින් පෙරමුණෙන් ඉඳහිට නැගෙන්නේ අවසන් සටනේ ජයග්‍රහණයෙන් උදම්ව හමුදා සෙබළුන් විටින් විට අහසට තබනා වෙඩිවල දෝංකාරයයි…  යන්තමින් හෝ කඳවුරේ ඇති නිහඬතාවය බිඳුනානම් ඒ අණදෙන නිලධාරීතුමාගේ කාමරයෙන් ඇසුණු පහත් හඬින් කෙරෙන දුරකථන සංවාදයකිනි…

Sir please consider this as a personal request… Why don’t you ask them to revise the decision…?
මමත් දරුවෝ ඉන්න තාත්තා කෙනෙක්… “

“කර්නල්… මේ තීරණය ගත්ත තැන ඉඳන්, තමුසෙට ඕඩර් එක දෙන මේ මම දක්වා හැමෝම දරුවෝ ඉන්න තාත්තලා… තමුසේ හිතන්නේ මේක මේ සෙල්ලමට ගත්ත decision එකක් කියලද..? අපි දෙන්නට මේ අහිංසක දරුවෙක් වුණාට, බාහිර ලෝකෙට…, ඩයස්පෝරාවට… ඉන්දියාවට…ඔය සේරටම උන්ගේ නායකයාගේ ජීවත් වෙලා ඉන්න එකම දරුවා…Things are much complicated than you think…
Probably they have revised all the options more than hundred times… and this must be the ‘best bad decision’ they have got…“

“ඒත් සර්…”

“අපි මේ සිස්ටම් එකේ දැති රෝද අයිසේ… මට උඩින් තියෙන රෝදේ කැරකෙනකොට මම කැරකෙනවා… මම කැරකෙනකොට තමුසේ කැරකෙනවා… අන්තිමට මොකක් නිසා මොකක් කැරකෙනවද කවුරුත් දන්නේ නෑ… ඒත් සිස්ටම් එක රන් වෙනවා… We have got to do this… Be a soldier and do your job…”

“This is not a soldier’s job Sir… This is a terrorist’s job… I hope you very well know that…”

“Be a *ucking terrorist and do it then… Don’t you ever try to test my patience… We have got orders and Those gonna be followed…That’s it…!!!:

“Yes Sir…!”

Good… තමුසෙට මේකට විශ්වාසවන්ත මිනිහෙක් ඉන්නවද..?”

“ඔව් සර්.. කෝප්‍රල් ශාන්ත… මිනිහාගේ තාත්තා බස් බෝම්බෙකට අහුවෙලා අබාධිතවෙලා ගොඩක් දුක් විඳලා කාලෙකට කලින් මැරුණා… ඒ වේදනාවට යුද්දෙට බැඳුණු හාදයෙක්… “

“OK…So you think he is not goanna regret this later..?”

“I’m sure he never will Sir… මිනිහට ටෙරාලාගේ හත් මුතු පරම්පරාව ගැනම බද්ධ වයිරයක් තියෙන්නේ…”

“Good… Let him do this then… and update me once it’s being done… අනිත් එක තමුසේ එක්සිකියුශන් එක වෙලාව එතන ඉන්න අවශ්‍යයයි… and Don’t let the kid to know what he is goanna get…”

“Yes sir…!”

“OK So…Let’s clean this mess up…”

“Yes sir…!”

****

බාලචන්ද්‍රන් වෙත පැමිනුණු කර්නල්වරයා ඔහුගේ හිස අතගෑවේය…

“පුතාට බඩගිනිද..?”

“නැහැ…”

“දැන් පුතාට මොනවද ඕනේ..?”

“මට අම්මයි අක්කයි ගාවට යන්න ඕනේ…”

“හා.. මම දැන් පුතාව අම්මලා ගාවට එක්කගෙන යනවා…හැබැයි පුතේ මේක සෙකියුරිටි බේස් එකක්නේ… ඒ නිසා අපි ජීප් එකේ ගිහිල්ලා… ඉතුරු ටික පුතාගේ ඇස් බැඳලා පයින් තමයි තමයි එක්කගෙන යන්නේ…කමක් නෑ නේද..?”

බාලචන්ද්‍රන්ට මෙය අළුත් දෙයක් නොවේ… අප්පා හමුවීමට පැමිණෙන විදේශික සුදු මහත්වරුද මෙසේ ඇස්බැඳ අප්පා ළඟට රැගෙන එනු ඔහු කිහිපවරක් දැක තිබේ…

“කමක් නෑ අංකල්…”

කර්නල්ගේ අත අල්ලාගත් ඔහු සතුටින් ඩිෆෙන්ඩර් රථය වෙත පියමනින්නට විය… අම්මා සහ අක්කා ඔහු එනතුරු බලාසිටින බව ඔහු දනී… ඔහුට ධර්මලිංගම් මාස්ටර් සිහිවෙයි…

“සිංහලයා… දෙමලා… කියලා මිනිස්සුන්ව මනින්න යන්න එපා පුංචි මහත්තයා… මේලෝකේ ඉන්නේ මිනිස්සු ජාති දෙකයි… එක්කෝ හොඳ මිනිස්සු… නැත්තම් නරක මිනිස්සු…”

බාලචන්ද්‍රන් කර්නල්වරයාගේ වාරුවෙන් සීරුවෙන් ඩිෆෙන්ඩර් රථයට නැඟගති…කෝප්‍රල් ශාන්ත රිය පණ ගැන්වීය… ඔවුන් තිදෙනා රැගත් ඩිෆෙන්ඩර් රථය අඳුරේම හමුදා කඳවුරෙන් ඉවතට ඇදුනි…

~නිමි~


ප.ලි. : හැඩයක් නැති හදවතක, ඉපිද මැරෙන සිතිවිලි ගොන්නකින්, අතට අහුවෙන අකුරු අහුරක්, ලොවටම පෙනෙන සේ මෙසේ සඟවමි...

Wednesday, February 20, 2013

72. හුදකලාව | Loneliness

 

සිතක පෙති එක එක
මිලින වී ගිලිහුණු බව
යලිත් නොපිපෙන බව
කියන්නට කෙනෙකුත් නැති


මතක අහුරක රුව
රේණු මැද ඉපදුන බව
සිනහ අමතක බව
අසන්නට කෙනෙකුත් නැති


හෙටක එක හීනෙක
සුවඳක් ව පැටලෙන බව
කඳුළු  අතුරන බව
දකින්නට කෙනෙකුත් නැති

~මලිති විජේසේකර

 

ප.ලි. : සති ගනනක දුරගමනක් ගිහින් ගෙදර ආවම දැක්කේ විසිත්තකාමරේ තිබුණු රෝස මලක් පරවෙලා… වීසිකරන්න කලින් පිංතූරයක් ගත්තට පස්සෙයි හිතුනේ කවියකුත් තිබුණනම් කියලා… අන්තර්ජාලයේ මගේ ප්‍රියතම ලියන්නියකගෙන් “දුක හිතෙන කවියක්” ලියලා දෙනවද කියලා කල ඉල්ලීමට ලැබුන පිළිතුරයි මේ කොපි පේස්ට් වුනේ පමාවක් නැතුවම…

Saturday, December 22, 2012

71. Some Must Watch Movies of 2012

2012 වසරේ තිරගත වුනු චිත්‍රපටි අතරින් මට තවමත් බලන්නට නොහැකිවුනු නමුත් නැරඹිය යුතු චිත්‍රපටි ලෙස watch list එකට එකතු කරගත් චිත්‍රපටි...

Seeking a Friend for the End of the WorldBeasts of the Southern Wild

Safety Not GuaranteedRust and Bone

The Perks of Being a WallflowerLife of Pi

The Invisible WarSearching for Sugar Man

AmourNatural Selection

Your Sister's SisterJiro Dreams of Sushi

West of MemphisAi Weiwei Never Sorry

The Kid with a BikeByzantium

PrometheusOslo August 31st

ChronicleMiddle of Nowhere

Sleepwalk with MeRobot & Frank

Hello I Must Be GoingCompliance

The ImpossibleSilver Linings Playbook

Moonrise KingdomLincoln

The SessionsCloud Atlas

The MasterThe Cabin in the Woods

Shut Up and Play the HitsThe Raid Redemption

How to Survive a PlagueThe Intouchables

The HunterEnd of Watch

Les MisérablesDetachment

Into the AbyssSightseers

Holy MotorsTrashed

SamsaraMarley

28 Hotel RoomsLooper

Chithrapati Pisso

Compiled by චිත්‍රපටි පිස්සෝ Google Group

Join Us at : https://groups.google.com/d/forum/chithrapatipisso

Web Statistics