Sunday, October 28, 2012

69. නික්මයෑම…

image

“Here… keep the change…”

ජැක්කා විසින් දිඟු කල රුපියල් සියය ගෝපාල් ලබාගන්නේ තුති පුදමිනි…

“Thank you sir…”

“So then Gopal..! අපි ණයත් නෑ… බයත් නෑ… OK..?”

ජැක්කා බර කරමින් පවසද්දී, සිංහල නොදන්නා ගෝපාල් එහි අරුත වටහාගත නොහී අසරණ ලෙස සිනාසෙයි…

“Say it… Say it…”

ජැක්කා වද කරයි...

'”මුකද්ද..?”

අහිංසක ගෝපාල් තමන් පසුගිය කාලය පුරාවට අපගෙන් ඉගෙනගත් සිංහල ස්වල්පයෙන් තම ජාමේ බේරාගැනීමට තතනයි…

“ණයත් නෑ… බයත් නෑ…”

“නාත් නා… බාත් නා…”

ගෝපාල්ගේ වැරදි උච්චාරණය අසන අපි හඬ නගා සිනාසෙමු… ඔහුද තම කහට බැඳුණු දසන් පාමින් අප සිනාවට එකතු වේ… ගෝපාල් යනු අප බෝඩිම ආසන්නයේ පිහිටි පලතුරු යුෂ කඩයේ හිමිකරුවායි… ඉඩක් ලද විටෙක අප පවස නිවාගැනීමට ගොඩවැදෙන මේ පුංචි අවන්හල බෝඩිම තරමටම අපට හුරුපුරුදු ස්ථානයකි… කලක පටන් ගනුදෙනු කිරීමෙන් ඇතිවූ  විශ්වාසය මත අප ඔහු හා දෙන්නම් කාසි වලට කල ගනුදෙනු බොහෝ විය… පුරුද්දක් ලෙස මාසය අවසානයේ ඔහු විසින් දක්වන මුදල ගෙවීමට අපි පුරුදු වී සිටියෙමු… මෙදිනද ජැක්කා විසින් එලෙස ගනුදෙනු බේරන දිනයක් වුවද අද වෙනදාට වඩා එහි විශේෂත්වයක් තිබුණි… ඒ මන්ද යත්, දැනුම උකහා ගැනීමේ උවමනාවකටත් වඩා උපාධිකාරයෙකු ලෙස රැකියා හිණිමගේ අඩියක් හෝ ඉහළට නැඟගැනීමේ උවමනාව වෙනුවෙන්, පුරා වසර හතරක් තිස්සේ නොරටක කෙරුණු යුද්ධයක් හමාරකොට අපට නැවත මව් රට බලා යෑමට තිබුණේ තවත් දිනෙක කාලයක් පමණක් වීමයි… වසර හතරකට පෙර ඉන්දියාවට පය තැබූ ජැක්කාත් මමත් හෙට ඉන් පිටව යන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් මිනිසුන් ලෙස යැයි පැවසීම අතිශෝක්තියක් නොවේ… ඉන්දියාව නැමති අරුම පුදුම ලෝකයේ ජනසමාජය හා වසර ගණනාවක් ගැටීමෙන් ලද අත්දැකීම් ගොන්න කටපාඩමින් දිනාගත් උපාධි සහතිකයකට කිසිසේත්ම සමකළ නොහේ…

“සර්ලව ආයෙත් කවදාවත් දකින්න බැරි වෙයිද..?”

ගෝපාල් අසන්නේ අනවශ්‍ය ප්‍රශ්ණයකි… කිසිඳු ජාතී ආගම් කුල සම්බන්ධයක් නොමැති මේ පිටරැටියා හා අප අතර වසර කිහිපයකම පැරණි මිතුදමක් වන බව සැබැවි… එහෙත් මේ සංවේදී බස් තෙපලමින් එකිනෙකාගෙන් සමුගැනීමට නොහැකිව හඬාවැටෙන්නට බලාගෙන පැමිණි ගමනක් නොවේ…  වචනයෙන් නොපැවසූවද ඔහු හා අප නැවත දිනෙක මුණගැසීමට ඇති ඉඩ බොහෝ සෙයින්ම අඩු මිසක් වැඩි විය නොහැක… එසේනම් බැංගලෝරය පුරාවටම අපට අතහැරීමට නොහැකි වන මෙවැනි මතකයන් රැසකි…  ගෝපාල් විසින් පවතින වාතාවරණය සංවේදී සමුගැනීමකට හරවනවාට මා බිය වන්නේ එහෙයිනි…

“මෙතන… මෙතන… මෙතන තියාගන්න…”

ජැක්කා සිනාසෙමින් ගෝපාල්ගේ පපු පෙදසට  මිටින් පහර දෙද්දී ඔහු තම අහිංසක හිනාව දිවි ඇති තුරාවට මා මනසේ නොමැකෙන සේ සටහන් කරයි… අප එතැනින් පිටවන්නේ ඉන්දියාවේ අප විසින් ගෙවන්නට තිබූ අවසන් ණය මුදලද එසේ පියවා හමාර කරමිනි…

“දැන් කාටවත් ණය නැහැ… හෙට හිතේ නිදහසින් යන්නයි තියෙන්නේ…” 

ජැක්කා පවසන්නේ පාරේ වැටී ඇති පොඩිවී ගිය හිස් බියර් ටින් එකකට කාණුවට විසිවෙන්නට පා පහරක් දෙමිනි… සැබැවින්ම මා ඉන්දියාවෙන් පිටවන්නේ කාටවත් ණය නැති පුද්ගලයෙකු ලෙසදැයි  මම සිතන්නට වීමි… හදිසියේම වෙයිශාලිව මට සිහියට නැඟෙන්නේ මන්ද..? ගතවූ වසර කිහිපය පුරාම මා ඇය වෙත ගිය වාර ගණන මතක තබා ගැනීමට නොහැකි තරම් බව මම දනිමි… නාගෂෙට්ටිහි හිරු එළිය නොවැටෙන ඒ අඳුරු වීදිය මම විශ්වවිද්‍යාල මාවත තරම්ම හොඳින් හදුනමි…  එදා පළමු වසරේ දඩබ්බර කොලු ගැටයෙක්ව ඒ අඳුරු වීදියේ පටු කපොල්ලක් තුළින් වූ තරප්පුපෙළක් චකිතයකින් නඟිමින් සිටි මම මතු දිනෙක ඒ තරප්පුපෙළ මා පියසටහන් හොඳින් හඳුනන තැනක් බවට පත්වේයැයි දැන නොසිටියෙමි…

රමණය, රමණයක් වන්නේ එය දිනාගත් විටෙක මිස අනායාසයකින් ළඟා වන විටෙක නොවන බව දැන දැනත් මා වෙයිශාලි වෙත ඇදුණේ කිනම් ආශාවක් සතපවා ගන්නද..?

මීට වසර තුනකට පෙර මා ඇය දුටු පළමු දිනය ඊයේ සිදුවූවක් සේ මා මතකයේ තිබේ… ගණිකා නිවාසයේ පාලිකාව වූ වියපත් කාන්තාව මා විසිත්ත කාමරයක් වැනි ස්ථානයකට කැඳවාගෙන ගොස් මින් කෙනෙකු තෝරාගන්න යැයි කාන්තාවන් පිරිසක් දැක්වීය… අප ගැන වැඩි තැකීමක් නොමැතිව කෙළි කවට සිනාවෙන් කල් මරමින් සිටි ඔවුන් ඉදිරියේ මට මහත් අපහසුවක් දැනිනි…ඇය සිටියේ මට පිටුපස හරවාගෙන තවකෙකු හා දොඩමිනි… හිසපැළඳි සමන්පිච්ච මල් මිස ඇයගේ මුහුණ මා දුටුවේ නැත…  මා දෙස බලාසිටිනවුන්ගෙන් කෙනෙකු තෝරා ගැනීමට මට එඩියක් නොතිබුණ හෙයින්දෝ මම ඇය තෝරාගතිමි…

“අරයා…”

පාලිකාවට මා පවසද්දි සිය මිතුරියගේ සංඥාවකට අනුව වෙයිශාලී හිස හරවා මා දෙස බැලීය… අප නෙත් එකට ගැටුණු ඒ මොහොතේ මම ඉවත බලාගතිමි… මා පාලිකාව හා ගනුදෙනු කතාකර හමාරවී ඇය දෙස බලන විටත් ඇය පෙරසේම මා දෙස බලා සිටියාය… වෙනසකට වූයේ ඇය මුවට නැගී තිබූ අවඥා සහගත සිනාවයි… සිනාවට හේතුව වටහා ගැනීමට අපහසු නොවේ… ගනුදෙනු කතාකරනවායැයි කීවද සැබවින්ම සිදුවූයේ පාලිකාව පැවසූ මුදලට හෙට්ටු නොකර මා එකඟ වීමයි… මා කෝඩුකාරයෙකු බව මෙයින් ඇයට වැටහෙන්නට ඇතැයි සිතමි… පාදයේ මිණි කිංකිණි හඬ නංවමින් ඇය තම කාමරයට ඇවිද යද්දී මම ඒ පසුපසින් ඇදුනෙමි… ලෝකයේ ලේඩීස් ෆස්ට් යනුවෙන් කියමනක් සෑදී ඇත්තේ එවිට පිටුපසින් පැමිණෙන පිරිමියාට ඇයගේ සිරුරේ හැඩය රසවිඳිමින් පැමිණිය හැකි නිසා වියයුතුය…

“පයිසා..?”

මේ ඇය මා හා කතාකළ පළමු වචනයයි… පසුම්බියේ තිබූ සිල්ලර නෝට්ටු සියල්ල මම ඇය සුරතේ තැබුවෙමි… ඇඳයට තිබූ පරණ ට්‍රන්ක් පෙට්ටියක එම නෝට්ටු කිහිපය සැඟවූ ඇය කාමරයේ දොරපියන අගුළුලෑමෙන් අනතුරුව මීළඟ ප්‍රශ්නය ඇසුවාය..

“මැගී නූඩ්ල්ස් ලේගා...අවුර්  ... චිකන් බිරියානි ලේගා..?”

මම අන්දමන්ද වීමි…

“මැගී නූඩ්ල්ස්කා මත්ලබ් සබ්කුච් ජල්දි… ඒක් දම් ටූ මිනිට් නූඩ්ල්කේ මාෆි… චිකන් බිරියානිකා මත්ලබ් සබ්කුච් අරාම් සේ… ඒක් දම් රාජා මහරාජා ඕ කිදරී… සම්ජේ බේටා...?”

මා නොදන්නා හිංදියකින් ඇය මට පැහැදිලි කරයි… මා දෙකින් එකක් තෝරාගත යුතුය..

“චිකන් බිරියානි…”

“පයිසා..?”

විනාඩි කිහිපයක් ඇතුළත ඇය දෙවන වරටද සුරත පෑවාය… අප නැවතත් පළමු කොටුවටම පැමිණ සිටිමු… එකම වෙනස මෙවර මා සතුව එකදු මුදල් නෝට්ටුවක්වත් නොමැති වීමයි…මා තවම ඇයගේ අතින්වත් ඇල්ලුවේ නැති... මම අත් ඔරලෝසුව දෙස බැළුවෙමි…

“මේක මම ඉස්සෙල්ලාම ජොබ් එක කරපු පඩියෙන් ගත්තේ… කැම්පස් යද්දි මට ඔරලෝසුවක් තිබුණෙ නෑ…”

ගුවන්තොටුපළේදී මා සමුගැනීමට මා මොහොතකට කලින් තාත්තා එය මා අත බැඳි අයුරු විදුලියක් සේ මා මනසේ සටහන්වී නැතිවී ගියේය…පිය උරුමයෙන් මම ලද ඒ ඔරලෝසුව ගණිකාවකට දුන්නේ යැයි තාත්තා දැනගතහොත් පොළවේ පස්කනු නිසැකය…

කරුණු එසේ වුවද  කලාතුරකින් දිනෙක තරුණ මදය පිය සෙනෙහසට වඩා ඝනකම් වන අවස්ථාද නැත්තේ නොවේ… අවාසනාවකට මේ එවැනි දිනයකි…අත් ඔරලෝසුව ඇයගේ ට්‍රන්ක පෙට්ටියේ සැඟවී යෑමට ප්‍රථම මම අවසන් වරට එය බලාගතිමි…නැගී සිටි ඇය පසෙක වූ කබල් විදුලි පංකාව ක්‍රියාත්මක කර රේඩියෝවේ ශබ්දය වැඩිකලාය… මම බිත්තියේ එල්ලා තිබූ ගනේෂා දෙවියන්ගේ ඡායාරූපය අනෙක්පසට හැරවීමි

ඉනික්බිති ඇය චිකන් බිරියානි පිසීම ඇරඹුවාය…

මෙතැන් පටන් සිදුවූ දේ පියවරින් පියවර විස්තර කිරීම අනවශ්‍ය යැයි සිතමි… තාත්තාගේ පරණ අත් ඔරලෝසුවට ඔහුවත් එය ඔහුට විකිණු වෙළෙන්දාවත් සිහිනෙකින් වත් නොසිතූ වටිනාකමක් වෙයිශාලි ලබාදුන් බව පමණක් පවසමි…

දින සති මාස ගණන් ගතවෙන අතරේ මා ජීවිතයේද වෙනස්කම් සිදු නොවුනේ නොවේ… බටහිර බෙන්ගාලයෙන් පැමිණි යුවතියක වූ සෘතී මා ජීවිතයට එකතුවීම මින් ප්‍රධානය… එහෙත් සුපුරුදු පරිදි සතියකට හෝ දෙකට සැරයක් මා වෙයිශාලිය හමුවීමට යෑම සෘති නිසා වෙනස් නොවීම මටද පුදුමයකි… වෙනසක් වූවා නම් ඒ වෙයිශාලී හා කෙරෙන මෙම හමුවීම් බොහෝවිට රමණයකින් අවසන්වන්නක් නොවී නිවිසැනසිල්ලේ කෙරෙන සිරුර සම්බාහනයකට පමණක් සීමා වීමයි…  දිනය පුරාවට ගනුදෙනුකරුවන් සතුටු කිරීමට වෙහෙසෙන ඇයටද මෙය ශාරීරිකව සැනසීමක් වූවා වැනිය… මා සිරුර මත වාඩිවී පිටෙහි ඇති මස්පිඩු සෙමින් මිරිකමින් ඇය අතොරක් නැතුව කියවයි…

“කෙල්ලෙකුත් ඉන්නවනම්, ඇයි හැමදාම මේ එන්නේ..?”

මට දෙන්නට පිළිතුරක් නොමැත…

“ඔයාට තියෙන ආදරේ නිසයි…”

මම පවසමි…

“හහ්…!”

ඇය අවඥාවෙන් සිනාසේ…

“මම ප්‍රශ්නයක් අහන්නද..?”

“හා…”

මේ මාගේ ප්‍රියතම මොහොතයි… මා අසනා ඕනෑම ගැටලුවකට හැමවිටම ඈ සතුව නිශ්චිත ප්‍රායෝගික පිළිතුරක් වේ… ඇය තර්ක නඟමින් එය පැහැදිලිකරනායුරු අසා ඉන්නට මම මහත්සේ ආසා කරමි…

“ඔයා වෙන මිනිස්සු එක්ක නිදාගත්තට මට ප්‍රශ්නයක් නැතිවෙන්නත්… සෘති වෙන මිනිහෙන් එක්ක නිදාගත්තොත් මට ඒක ජීවිතේ ලොකුම ප්‍රශ්නයක් වෙන්නෙත් ඇයි..?”

මා අසන්නේ උඩුබැල්ලට හැරෙමිනි… මෙවැන්නකට පිළිතුරු දෙන විටෙක ඇයගේ මුහුණේ පහළවන ඉරියව් මඟහැරීම අපරාධයකි…

“රුපියල් පනහක් ඕනේ උත්තරේට…”

මම පිටුපස සාක්කුවෙන් ඉවතට ගත් මුදල් පසුම්බියෙන් ඇයට දමා ගසමි… ඉන් පනහේ කොළයක් එළියට ඇදගන්නා ඇය සතුටින් සිනහා වෙයි…

“මෙහෙමයි… මොකටද මම මේ ගුබ්බෑයමේ ඉන්නේ… මෙතෙන්ට එන ඕනේ මිනිහෙක් එක්ක නිදාගන්න… සල්ලි දෙනවනම් මම නිදාගන්නවා… අරයද මෙයාද කියලා මට කාවවත් තෝරගන්න බෑ… ඒගොල්ලොයි මාව තෝරගන්නේ… මම ඔයාව තෝරගත්තද..? නෑනේ..? ඔයයි මාව තෝරගත්තේ…”

“ඔව්…”

“ඒත් ඔයගේ කෙල්ල වෙන කොල්ලෙක් එක්ක නිදාගත්තොත්… ඒකේ තේරුම තමයි එයා ඔයාව නැතුව අනිත් කොල්ලව තෝරගත්තා කියන එක… ඔයාව මොහොතකට හරි ප්‍රතික්ෂේප උනා කියන එක… අන්න ඒ ප්‍රතික්ෂේප වීම තමයි ඔයාට ප්‍රශ්නයක් වෙන්නේ… නැතුව ඒ කොල්ලයි කෙල්ලයි නිදාගන්න එක නෙමෙයි…”

ඇය ගැන මට ඇතිවන්නේ මහත් අනුකම්පාවකි… ඇය මෙවැනි අඳුරු මහල් නිවසක සිරවී යන්ත්‍ර වැනි මිනිසුන්ගේ දහදිය වලට තම තරුණ කාලය දිය කරමින් සිටියයුතු නැතැයි මට සිතේ…  නමුත් ඇය වැනි කෙනෙක් මෙම තත්වයට වැටුණේ කෙසේද..?

“දැන් අහන්න එපා මම වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ  කියලා..?”

මා කල්පනා කරමින් සිටිනායුරු දැක ඇය පවසයි…

“ඔයා වගේ කෙනෙක් කොහොමද මේ තත්වෙට වැටුණේ..?”

මම අසමි… පිළිතුරු දෙනු වෙනුවට ඇය මගේ කම්මුලට පහරදෙන්නේ කියන දේ නාසන දරුවෙකුට දඬුවම් කරනා වැඩිහිටියෙකු මෙනි…

“මේ බිත්ති හතරෙන් එහා මහා විසාල ලෝකයක් තියෙනවා… ඒ ලෝකේ මොනවා වෙනවා ඇතිද කියලා ඔයාට නිකමටවත් හිතිලා නැතිද..?”

“මොනවා උණාම මට මොකද… මගේ ලෝකේ මෙච්චරයි…”

ඇය පපුවේ මස්පිඩු තදින් මිරිකයි… මට සිහින් වේදනාවක් දැනේ…

“දැන් ඇති… ඒ ලෝකේ මොනවගේද කියලා හොයලා බලන්න…ඒ ලෝකේ මිනිස්සු ගැන  තේරුම් ගන්න ඔයා ආසා නැද්ද…?”

“අනේ මේ…! ඔය ලෝකෙන් මිනිස්සු හැමදාම මෙතෙන්ට එනවා… මට උන්ගේ අමුතුවෙන් තේරුම්ගන්න දෙයක් නෑ… අඩුමගානේ ඔයා ගැනවත්…”

දිඟුවේලාවක් සම්භාහනය කිරීමෙන් ඇයගේ ඇඟිලිතුඩු රිදෙනු ඇතැයි සැකයෙන් මා ඒවා පිරිමදිමි… ඇය තරහෙන් අත ගසා දමයි…

“ඔයා මොකද්ද මම ගැන තේරුම් අරගෙන තියෙන්නේ…එහෙනම් කියන්න බලන්න…”

මම ඇයට සමාන්තරව ඇදෙහි වාඩිවෙමි… නොබෝවේලාවකින් මෝටබයිසිකලය ඉල්ලීමට ජැක්කා දුරකථන ඇමතුමක් දෙනු ඇතැයි මගේ සිත කියයි… මා යායුතුය…

“එක… මම තේරුම් අරන් තියෙන විදියට ඔයා ඔහේ පාවෙන තරුණ ජීවිතයක්… තාත්තා සල්ලි එවනවා… ඔයා වියදම් කරනවා… දෙක… ඔයාට ඇත්තටම වෙන වැඩක් නෑ දකින දකින කෙල්ල පස්සේ යනවා ඇරෙන්න… තුන… ඔයා හැමදාම මගෙත් එක්ක ඇඳට නගින්න කලින් දෙවියන්ගේ රූපේ අනිත්පැත්ත හරවන්නේ එක්කෝ ඔයා දෙවියන්ට ලොකු භක්තියක් තියෙනවා…. එහෙම නැත්තං ඔයාට දෙවියෝ ගැන සතේකවත් විශ්වාසයක් නෑ…හා මම වැරදිද..?”

මට සිනා පහළ වේ…

“හොඳයි ඔයා මොකද්ද මං ගැන තේරුම් අරන් තියෙන්නේ..?”

ඇය අසන්නේ කපටි සිනාවක් මුහුණේ රඳවාගෙනයි… මම නිහඬව සපත්තු පයේ රුවා ගමි… කතාව අවසන් කලයුතුය…

“ගෑනු ඉන්නේ තේරුම් ගන්න නෙමෙයි… ආදරේ කරන්න…”

මම ඇයගේ දෙතොල් වලට නැඹුරු වෙමින් මුමුණමි…

“බොරු චාටු…”

මා තල්ලු කර දමන ඈ දොර දෙසට දිවයයි… මේ නම් අපූරු වැඩකි… මම මුදල් ගෙවා ඇයගේ සේවය ලබා ගැනීමට පැමිණි ගනුදෙනුකරුවෙක්මි… මා ඇය සමඟ ගතකරන සම්පූර්ණ කාලයට සේවය සැලසීමට ඇය බැඳී සිටී… මේ දැන් ඇය ප්‍රතික්ෂේප කල හාදුවද ඊට අයත්ය… එසේ කිරීමට ඇයට හයියක් ලැබුණේ කෙසේද..?එහි අදහස ඇය තවදුරටත්  මා ඉදිරියේ ලිංගික ශ්‍රමිකාවක් නොවන්නේය යන්නද?

-----------------------------------

“ෆෝන් එක ආන්සර් කරපන්කෝ…?”

මා පියවි ලෝකයට පැමිණෙන්නේ ජැක්කාගේ හඬිනි… කොතෙක් වේලා වෙයිශාලී ගැන සිතමින් සිටියාදැයි මම නොදනිමි… මාගේ ජංගම දුරකථනය නොනවත්වා නද දේ… වාදනය වන නාද රටාව අනුව ඒ සෘති බව මම දනිමි…

“හෙලෝ…”

“හෙලෝඕඕ…. අම්මු කුට්ටි…! ඔයා බිසීද පැටියා...?”

මටත් නොදැනීම දුරකථනයේ හඬපාලන පුවරුවට ඇඟිල්ල දිවයන්නේ ඇගේ බොළඳ වදන් ජැක්කාට ඇසෙතැයි බියෙනි…

“නෑ… කියන්න…”

“ඔයා අද ෆෙයාවෙල් එකට මොන පාට ෂර්ට් එකක්ද අඳින්නේ..?”

සෘති මේ සඳහන් කරන්නේ රාත්‍රි‍යේ විශ්වවිද්‍යාලය පරිශ්‍රයේ පැවැත්වෙන සමුගැනීමේ සාදය ගැනයි… ඇය මෙසේ අසන්නේ මන්දැයි මම දනිමි… එහෙත් මා එය දන්නා බව ඇය එය දැනගතයුතු නොවේ…

“ඇයි ඒ..?”

“අයියෝ… ඔයාගේ කලර් එක මැච් කරන්නනේ පැටියෝ…”

අපගේ අවසන් හමුවීම හැකිතරම් රෝමෑන්තික කිරීමට වෙහෙසෙන ඇය ගැන මට උපදින්නේ අනුකම්පාවකි… කෙතරම් බොළඳ වුවද සංවේදී අවස්ථාවක වගකීමෙන් හැසිරෙන අයුරු ඈ දනී… ඇරත් මේ සංවේදී අවස්ථාවක්යැයි පැවසීම එතරම් නිවැරදියැයි මම නොසිතමි… මේ හැම බැඳීමක්ම තාවකාලික බව අප නොදැන සිටියා නොවේ… වෙන්වීමට ඇත්තේ තව පැය කිහිපක් බව දැන දැනත් ඇය මෙලෙස සතුටින් සිටින්නේ ඒ නිසාද?  ජැක්කාගේ ඇඳුම් අල්මාරියේ ඇති කමිස මා ඇස් ඉදිරියේ දිවයයි…

"කයින්ඩ් ඔෆ් ‘සිල්වර් ග්‍රේ’…”

ඉන් එකක් මා දෑස් ඉදිරියේ නතර වූ පසු මම පවසමි…

“’සිල්වර් ග්‍රේ’ ඉට් ඊස්..! බ..බායී…. ස්මූචී….!!!”

ඇය දුරකථනය විසන්ධි කරයි… නැවතත් මා සිත අරක්ගන්නේ වෙයිශාලියයි… මා හෙට දිනයේ පිටත් වන බව ඈ දනී… ඒ නැවත කිසිදා හමුනොවන්නට බවද ඈ වටහාගෙන ඇතැයි සිතමි… සැබැවින්ම මීට දින කිහිපයකට පෙර මා ඇය හමුවූ විට මා මව් රටට යන බව පවසා කිසියම් අයුරකින් නිලවශයෙන් සමුගැනීමක්ද සිදුවුණි… ඉතින් මෙහි තවත් හගිස්සන්නට දෙයක් නොවේ… නමුත් ඇය හා කිසියම් අවසන් නොවූ ගනුදෙනුවක් තවමත් ඇතැයි මා සිත චෝදනා කරන්නේ මන්ද..? ජැක්කා ගේ “ණය නෑ බය නෑ “ කතාව මට මහත් වදයකි… සැබවින්ම මා ඇයට ණයගැතිද… මම නොදනිමි… ඒ ගැන සිතන්නටද දැන් අවකාශයක් නොවේ… කෙටි නින්දකින් අනතුරුව සවස්වරුවේ විශ්වවිද්‍යාල පරිශ්‍රය වෙත යා යුතුය… සෘති මා එනතුරු බලා සිටී… මාගේ ඇඳුමට ගැලපෙන ඇඳුමකින් සැරසීගෙනම..!

-----------------------------------

“මට බයික් එක දීලා උඹ ඔටෝ එකක පාටියට පලයන්…”

සවස නානකාමරයෙන් එළියට පැමිණි ජැක්කාට මම පැවසීමි…ඌ පුදුමයෙන් මා දෙස බලයි…

“උඹ කොහෙද යන්නේ…?”

“ටවුමට…”

“ටවුමට..??? එතකොට ෆෙයාවෙල් එක...?”

“මට එන්න වෙන්නේ නෑ…”

පුදුම වූ විටෙක ජැක්කාගේ මුහුණට නැගෙන්නේ විසුළු පෙනුමකි… අද එය වඩාත් උග්‍ර වී ඇති සෙයකි… හදිසියේම යමක් අවබෝධවූවාක් සේ ඌ සිනහාවෙයි.. එහි ඇත්තේ අවඥාවක් බව මට වටහා ගැනීමට අපහසු නොවේ…

“අපෝ තෝ අදත් අර ගොනා හම්බුවෙන්න යනවා නේද..?”

මෙතරම් වැදගත් අවස්ථාවක් මඟහැර මම වෙයිශාලිය වෙත යන්නේ ඇයගේ සන්තර්පණයෙන් උමතු වී තවත් එකවරක් හෝ ඇය සමඟ නිදාගැනීමට ඇයි ජැක්කා සිතනු නොඅනුමානය… මම ඌට පිළිතුරු දෙන්නට නොයමි…

“සෘතිට කියපන් මම එක්සිට් පර්මිට් එකේ අවුලක් වෙලා හදාගන්න ගියා කියලා…”

“මෙච්චර හවස් වෙලා..?”

“දවල් ගියේ තාම ආවේ නෑ කියපන්…”

ජැක්කා මුවින් නොබැණ මාදෙස බලා සිටී… මම මාගේ ජංගම දුරකථනය උගේ ඇඳ උඩට විසිකරමි…

“මොබයිල් එකත් අමතක වෙලා රූම් එකේ දාලා ගිහින් කියපන්…”

“පව් යකෝ..!”

පව් බව මමද දනිමි… සෘතිට බොරු කියන්නට වීම ගැන ඌට වඩා මා කම්පා වෙන බව පැහැදිලිකර දියයුතුද...? එයින් පලක් නැත… ජැක්කා ඉදිරියේ මට සුදනෙකු වීමට අවශ්‍ය නැත… මා යනගමන ගැන සෘතිටවත් ජැක්කාටවත් වටහාදිය හැකියැයි මම නොසිතමි… මේසය උඩ ඇති යතුර දබරැඟිල්ල අතරට රුවාගන්නා මම තවත් එතැන නොරැදී පිටවෙමි… යතුරුපැදිය පිම්මේ නාගෂෙට්ටි බලා ඇදේ…

මා කාමරය ඇතුළුවන විට වෙශාලි සිටියේ ඔවුන් වෙත අලුතින් ගෙන ආ ගැටවර යුවතියකට සිපගන්නා අයුරු කියා දෙමිනි… බලාපොරොත්තු නොවු වෙලාවක මා දැකීමෙන් ඇය පුදුමයකට පත්වූ සෙයකි… ඇරත් අපි සමුගත්තා නොවැ..!

“ෂයිලු යන්න… කස්ටමර් කෙනෙක් ආවා…”

ඇය යුවතියට පවසයි… මේ මා සම්බන්ධයෙන් ඇය වෙතින් පෙර නොකෙරුණු හැඳින්වීමකි..

“ඇයි මට කස්ටමර් කිව්වේ…?”

යුවතිය පිටවගිය පසු මම අසමි…

“නැත්තම් මොකද්ද කියන්නේ..? මගේ මනුස්සයා ආවා කියන්නද..?”

ඇයගේ කේන්තිය සාධාරණය… අපගේ සමුගැනීමෙන් පසු යථාර්ථයට මුහුණ දීමට ඇය සිත හදාගෙන සිටියා වන්නට ඇත… මේ අනවශ්‍ය හමුවකි… දොර අගුළු දැමූ ඇය මා දේව රූපය අනෙක්පස හරවන තුරු බලාසිටී…

“එපා… අද අපි එලියට යමු..?”

මම පවසද්දී ඇය පුදුමයෙන් උඩබිම බලයි…

“ඒ කියන්නේ…”

“එළියට ගිහින් රැට කාලා… චිත්‍රපටියක් බලලා එමු…”

“ෂර්මිලා මැඩම්..?”

වෙයිශාලී මේ සඳහන් කරන්නේ ඔවුන්ගේ පාලිකාව ගැනයි… ඇය කියන්නේ සත්‍යයකි… මෙම ගණිකා නිවාස වල සේවය කරන කාන්තාවන් කිසිවෙකුට පිටතට යෑම සපුරා තහනම්ය… ඔවුන්ගේ පාලිකාවගෙන් එළියට යෑමට කැමැත්ත ලබාගැනීම මහමෙර සොලවනවා වැනිය… එහෙත් ක්‍රමය දන්නවානම් මහමෙරද සෙලවිය නොහැකි නොවේ… කිහිපවරම මෙම පාලිකාවගේ කොටස් වෙළඳපළ ආයෝජන සඳහා උපදෙස් දීමෙන් මා කල උදව් වලට ඇයගෙන් මෙතුවක් කල් මා හිලව්වක් ඉල්ලා නැත… මේ ඇය ඒ වෙනුවෙන් වන්දි ගෙවියයුතු මොහොතයි… සැලකියයුතු වේලාවක් කල්පනා කිරීමෙන් අනතුරුව රාත්‍රී දොළහට පෙර වෙයිශාලීව පෙරළා රැගෙන එන කොන්දේසියත්, අනෙකෙකුට ඇසනොගැටෙන සේ ඇයව රැගෙන යන සහ රැගෙන එන කොන්දේසියත් ඇතුළු කොන්දේසි ගණනාවකට යටත්ව ඇය එයට කැමැත්ත දුන්නාය… ඉන් මොහොතකට පසු වෙයිශාලි සිටියේ තොරතෝංචියක් නැතුව කියවමින් මා බඳ බදාගෙන යතුරුපැදියේ වාඩිවීගෙනයි…

දිග කතාවක් මෙතැන් සිට කෙටියෙන් පැවසුවොත් ඇය තම ජීවිතයේ සුන්දරතම රාත්‍රියක් ගතකලායැයි මම විශ්වාස කරමි…  මඟ යන එන්නන්ගෙන් එකෙකු අප දෙදෙනාගේ බාහිර ස්වරූපයෙන් යමක් අනුමාන කරගෙන ඉඳ හිට හැරී බැලුවා හැරෙන්නට සිදුවූ වෙනත් අකරතැබ්බයක් නැත… ඇයට යම් කඩචෝරුවක් කන්නට අවශ්‍යවී මා එය මිලට ගෙන දෙන අතරේ ඇය සමඟ රාත්‍රියක් ගතකිරීමටවත් එතරම් ගණනක් අය නොකරන බව පවසමින් වෙළෙන්දාට දෝෂාරෝපණය කිරීම සහ සිනමා ශාලාවේ ටිකට් කවුන්ටරයේදී ඩිස්කවුන්ට් නැතිදැයි ඇසීම වැනි සුලු සිදුවීම්ද  නොසලකාහැරිය නොහැක්කේ නොවේ… ජීවිතයේ පළමුවරට ඇය කොල්ලෙකුට තුරුළු වී 3D චිත්‍රපටයක් නැරඹුවාය… නුහුරු කණ්ණාඩි කුට්ටමකුත් පැළඳ බොළඳ ළදැරියක සේ සිනාවෙමින් ඇය එය නරඹන අයුරු දැක මා ලද වින්දනය කිසිවිට මගේ සිතින් මැකී නොයයි… අඳුරු සිනමා ශාලාව උණුසුම් ආලිංගනයකට බලකරන්නේ වුවද  මම ඇයගේ කන් පෙත්තක මෘදු සිපගැනීමකින් ඔබ්බට නොයෑමට ප්‍රවේසම් වීමි… “ම්හ්…” කෙඳිරියක් නඟන ඇය මා උරහිසට තවත් තුරුළු වෙයි… මා ඇය සිපගත් පසුගිය වසර කිහිපය පුරාවට අනායාසයකින් ඇය වෙතින් නැඟුණු පළමු කෙඳිරිය මේ යැයි මම සිතමි… මට දැනෙන්නේ ජයග්‍රාහී සතුටකි…

රාත්‍රී ආහාරයෙන් පසු මම ඇයව ප්‍රවේශමින් ආපසු හැරලද්දී වේලාව යන්තම් රාත්‍රී දොළහා පැන්නා පමණි… ඊට පෙර මා සතුව තිබූ ඉන්දීය රුපියල් නෝට්ටු සියල්ලම මම ඇයට නොදැනෙන සේ ඇගේ අත්බෑගයට ඇතුල්කලෙමි… නිවස අසලින් බයිසිකලයෙන් බැසගත් ඈ මට මඳක් නවතින්න යැයි කියා උඩුමහලට දිව ගියාය… ඇය ආපසු පැමිණියේ මා පියාණන්ගේ අත් ඔරලෝසුවද රැගෙනයි…

“ඇයි මේ…?”

ඇය එය මා අත පළඳවද්දී මම ඇසීමි…

“මේක තියලා යන්න එපා… ඔයා මගේ ජීවිතේට පායලා බැහැලා ගිය දේදුන්නක්… දේදුන්නක් බැහැලා ගියාම ආයේ මොකුත් ඉතුරු වෙන්නේ නෑනේ… ඒ වගේ ඔයා ගියාමත් ආයෙ මොකුත් ඉතුරුවෙන්න බෑ…”

ඇය මා හා තිබූ අවසන් ද්‍රව‍යමය සම්බන්ධයද ලිහා දැමුවේ එලෙසිනි… “ණයත් නෑ බයත් නෑ…” මට ජැක්කා සිහිවිය… ඌ සෘතිට රාත්‍රිය පුරාවට හඬන්නට තම උරහිස දෙන්නට ඇති…  ජැක්කා හොඳ මිතුරෙකි…

“ඔයාගේ ලස්සන දවසක් නාස්ති කළානම් මට සමාවෙන්න…”

නැවත උඩුමහලට නැඟීමට පෙර වෙයිශාලි පැවසුවාය…

“සතුටින් ගත කරපු දවසක් කවදාවත් නාස්තියක් නෙමෙයි…”

මම යතුරුපැදිය පණගන්වා ගතිමි… ඇය තම කාමරයේ ජනේලයෙන් මා පිටව යන අයුරු බලා සිටිතැයි මට සිතේ… මම ආපසු හැරී බලන්නට ප්‍රමාද නොවෙමි… ණය නැති මිනිසෙකු ලෙස මේ විසල් රටෙන් මා නික්ම යන බව දැන් මම විශ්වාසකරමි…

~නිමි~

ප.ලි. : අඩු හෝ වැඩි වශයෙන් ප්‍රබන්ධයක් බව නොකිව මනාය… රචකයාට පළමෝත අත්දැකීම් නැති මෙහි එන සමහර සිදුවීම් Dil Dosti Etc නම් හින්දි චිත්‍රපටය  අනුසාරයෙනි…

අකුරු බ්ලොග් අඩවිය පටන්ගෙන තව නොබෝ දිනකින් දෙවසරක් සම්පූර්ණ වේ… ඒ අතරතුර ගතකළ සෑම මොහොතක්ම මට සතුටක්ම විය… සෑම සතුටකම අවසානයක් ඇත… මා ජීවිතයේ යම් අභියෝගයක් ජයගැනීමට වෙහෙසිය යුතු උපරිමයක් ඇත්ද, මෙවර එය සිදුකිරීමට මට සිදුව තිබේ… හිත්පිත් නැති රෝගයක් හා සටන් කරන්නට සැරසෙන මාගේ ආදරණීය මෑණියන්ට ඒ සඳහා සවියක් වීමට හෙට හිමිදිරියේම මව්‍ රට බලා නික්මයමි… අතිශය සංවේදී කාරණා ප්‍රමුඛතා ලැයිස්තුවේ ඉහළට එන විටෙක බ්ලොග් ලිවීම නොසලකාහැරිය හැකි තරම් කුඩා අවශ්‍යතාවයක් වීම වළක්වනු නොහැක… ඉතින් නැවත ඉස්පාසුවක් ලැබෙනතුරු අකුරු බ්ලොග් අඩවිය යාවත්කාලීන වීම තාවකාලිකව ඇණහිටිනු ඇති…  මාගේ පළමු ලිපිය පළකළ ටැබූගේ පටන් මේ වනතෙක් බ්ලොග් අවකාශයේ සහෘද මිතුරුකම බෙදාගත් ඔබ සැමට දිවි ඇතිතුරු කෘතඥ වෙමි…

Saturday, October 20, 2012

68. චිත්‍රපටි පිස්සෝ සහ පිටසක්වල ජීවීන්

හදිසියෙන් තැබෙන මේ කෙටි සටහන කරුණු දෙකක් වෙනුවෙන්…

 

එක :  මා ඊයේ නැරඹූ වීඩියෝවක්, තවමත් එය ඇස නොගැටුනු කෙනෙක් වේ නම් ඔවුන් හා බෙදාගැනීමේ අරමුණින්…

 

ඒන්ෂන්ට් ඒලියන්ස් කියන වාර්තා චිත්‍රපට සීරීස් එක බලන්න ගත්ත වෙලේ ඉඳන් මට ලොකු අවුලක් තිබුණා... පෘථිවියේ ජීවය ඇතිකරන්න පිටසක්වල ජීවීන් මූලික වුනායැයි ඔවුන් නඟන තර්කය ගැන ලොකු ආරෝවක් නැති උනත්, ලෝකය පුරා විසිරිලා තිබෙන සමහර විශ්වකර්ම නිර්මාණ පිටසක්වලයන්ගේ උදව්වෙන් ගොඬනැගුණු ඒවායැයි කියද්දී මට දැනෙන්නේ අපහසුතාවයක්… ඒකට හේතුව ඒ ප්‍රෝග්‍රෑම් එකේ කතාකරන විද්වතුන් කොච්චර කෙස් පැලෙන තර්ක ඉදිරිපත් කලත්, මිනිස්සුන්ට හිතාගන්නවත් බැරි දේවල් කරන්න ඒලියන්ස්ලා අවශ්‍යය නෑ.. අවශ්‍යවෙන්නේ අනිත් අයට වැඩිය වෙනස් හීන දකින්න පුළුවන් තවත් මිනිස්සු පිරිසක් විතරයි කියලා මම තදින්ම විශ්වාස කරන නිසයි...

ඒත් මම මේ කාන්තාරෙක ජීවත් වෙන පුංචි ජීවියෙක්... අවුරුදු ගනන් ඒ දේවල් ගැන පර්යේෂන කරලා ඉදිරිපත් කරන තර්ක බිඳින්න මට දැනුමක් කොයින්ද..? අවසානය තෙක් නැරඹීමෙන් අනතුරුව ශිෆ්ට් ඩිලීට් ගහලා ඒ වීඩියෝ ටික ඩිලීට් කරනවා ඇරෙන්න මට කරන්න පුළුවන් දෙයක් තිබුණේ නෑ... ඒත් මට නැති ඒ දැනුම තියෙන, නිවැරද්දේ ජීවත්වෙන්න ආසාකරන මිනිහෙක් මූලික වෙලා හදපු මේ වීඩියෝව ඊයේ බලන්න ලැබුණට පස්සේ මට ආව සතුට නම් වචනයෙන් විස්තර කරන්න බෑ...

කෙටියෙන් කිව්වොත් ඒන්ශන්ට් ඒලියන්ස් වාර්තා චිත්‍රපටියේ සමහර කොටස්වල කියන විදියට වල පිටසක්වල ජීවීන්ගේ තාක්ශණයෙන් හදපු දේවල් යැයි ඔප්පු කරන්න උත්සාහකරන හැමදේම එවැනි තාක්ශණයක් නොමැතිව මිනිස්සුන්ට කරන්න පුළුවන් දේවල් යැයි මේ වීඩියොවෙන් කරුණු සහිතව තර්ක කරනවා...

පහුගිය දා අභ්‍යාවකාශය ඉස්මත්තේ ඉඳන් මහ පොලවට පැනපු ෆීලික්ස් බර්ම්ගාට්නර්ගේ ඉදන්...ගිසාහි පිරමීඩය උඩට ටොන්ගානක් බර ගල් ගෙනියන ක්‍රමයක් සැලසුම් කල ඒ පුරාණ මිනිස්සු දක්වා... වෙනස් විදියට හිතන, වෙනස් දෙයක් වෙනුවෙන් හීන දැකපු, මනුශ්‍යසංහතියේ ඉතිහාසය අලුතින් ලියන්න වෙහෙසුනු ඒ මිනිස්සුන්ගේ මිලකල නොහැකි කැපකිරීම්, දහදිය කඳුළු කොහේවත් යන පිටසක්වල ජීවීන්ට පූජාකිරීම වලකන මේ වීඩියෝව මටනම් ඉස්තරම්...

අවසාන වශයෙන් මගේ පුද්ගලික මතය, මෙහි තිබෙන්නේත් තර්කයක් පමණයි...  පරම සත්‍යය ලෙස අදහන්න අවශ්‍යය නෑ... බොහෝදුරට  අපි සත්‍ය මොකද්ද කියලා නොදැනම මැරිලා යාවි... ඒත් පවතින මොහොතේ පිළිගතහැකි දෙයක් විශ්වාසකරමින් මරණයට පත්වීම සතුටක්...

මේක පැය තුනක ඩොකියුමන්ට්‍රි එකක්, ඩේටා ප්ලෑන් ඇතිනම් ප්‍රවේසමෙන්... ඒන්ශන්ට් ඒලියන්ස් බලලා මේක බලනවනම් තමයි වඩා හොඳ...

 

අතිරේකව මේ සම්බන්ඬයෙන් මහන්සිවෙන කිහිපදෙනෙකුගේම වෙබ් අඩවි මෙසේයි…

http://ancientaliensdebunked.com/

http://www.jasoncolavito.com/collection-ancient-alien-fraud.html

http://sitchiniswrong.com/

http://michaelsheiser.com/PaleoBabble/

 

දෙක : චිත්‍රපට නැරඹීම විනෝදාංශයක් කරගත් අය වෙනුවෙන්, ගූගල් ගෲප් එකක් හඳුන්වා දීමේ අරමුණින්…

 

බ්ලොග් කියවීම හා ලිවීම හැරුණුකොට සිංහල බ්ලොග් කමියුනිටියේ සැමට පොදු තවත් විනෝදාංශයක් නම් චිත්‍රපටි නැරඹීමයි… තමන් නැරඹූ හොඳ චිත්‍රපටියක් ගැන බ්ලොග් පෝස්ට් එකක් දැමෙන්නේ එහෙමත් වෙලාවක… ඉතින් ඒ වෙනුවෙන් වූ පොදු වේදිකාවක් නැති අඩුව මකන්න පුළුවන්ද බලන්න ඇරඹුණු අපි අපිම සාමාජිකයෝ වෙන ගූගල් ගෲප් එකක් තමයි චිත්‍රපටි පිස්සෝ කියන්නේ…

ඔබ චිත්‍රපට නැරඹීමට උනන්දු නම්, ඒවා ගැන කතාකරන්න, නැරඹූ හොඳ චිත්‍රපටි සිංහල බ්ලොග් අවකාශයේ මිතුරු මිතුරියන් හා බෙදාගන්න කැමතිනම් මේ ගෲප් එකට ජොයින් වෙන්නට කෙරෙන විවෘත ආරාධනාවකුයි මේ…

https://groups.google.com/d/forum/chithrapatipisso

 

ස්තූතියි Smile

Friday, September 21, 2012

67. ජීවිතේ ගැටගහන මන්තර…

එක අතකින් ජීවිතය කියන්නේ  ‘අත්දැකීම්’ සහ ‘බලාපොරොත්තු’ කියන පාට තවරමින්, කෙනෙක් ඉපිද මියෙන කාලය පුරාවට අඳින සිත්තමක්… සමහරු ලස්සනට ඒක ඇඳලා ඉවරකරනවා… තවත් සමහරු හරි කැතට…. ඉතිරි අය ඉවර කරන්නේ බාගෙට… මම මේ සිත්තම අඳින්න පටන් ගත්තේ ගොඩක් පහුවෙලා… හරියටම කිව්වොත් අනෙක් අය අඳින විදිය බලාගෙන….

ජීවිතේ නානාප්‍රකාර අභියෝග එල්ල වෙද්දී හැමදෙනාම වාගේ  තම තමන්ටම ආවේනික ක්‍රම වලට ඒවාට මූණදීලා ජීවිතේ ගැටගහන්න සමත්… මෙවැනි දහසකුත් අභියෝග මධ්‍යයේ ඉපදී මියෙන මේ කෙටිකාලය සතුටින් ජීවත් වන්නේ කෙසේද..? කලාතුරකින් දිනෙක මේ සිතිවිල්ල මා සිතට නැඟෙන්නේ සිතන්නට අන්යමක් නොමැති නිසා වියයුතුයි… ජීවිතය සතුටින් ගෙවන මන්තරයක් නැද්ද..?

මේ මීට වසර දහයකට පෙර දිනයක්….

“මල්ලි අර ප්‍රෝග්‍රෑම් එක පටන්ගත්තා… බලනවද..?”

“හා… බලන්නම් අයියේ…”

දුරකථනය විසන්ධිකරන මම දිව යන්නේ රූපවාහිනිය ඉදිරියට… අයියාගේ නම කපිල… මේ මට බලන්නයැයි මතක්කරන්නේ රූපවාහිනියේ විකාශය වෙන ධනාත්මක චින්තන වැඩසටහනක්… ඉපදුනාට වැනුන ජීවිතේ යම් ඉලක්කයකට හසුරාගන්නා අයුරු ගැන මට පළමු පාඩම කියාදුන්නේ ඔහු… මා විසින් ඉගෙනගත් ජීවිතේ ගැටගහන පළමු මන්තරේ කිව්වත් වැරැද්දක් නැහැ… තමාගේම ව‍යාපාරයක් අරඹා එය දියුණු කරගැනීමට උත්සාහාගනිමින් සිටි ඔහුගේ ජීවන දර්ශනය මම අනුගමනය කරන්නට පෙළඹුනේ සතුටින්…

ඒ දිනවල ජීවිතය ගෙවුනේ අභියෝග එලවාගොස් ජයගන්නා මානසිකත්වයකින්…. හිමිදිරියේ ඇඳෙන් බසිනවා වෙනුවට ඇඳෙන් පනින්නත්, ගතට දැනෙන ඕනෑම අසනීපයක් පැනඩෝල් පෙති දෙකකින් පලවා හරින්නටත්, ජීවත් වීමේ අරමුණ සාදාගන්නත්, වැදගත්කම සහ අවශ්‍යතාවය සලකා වැඩකයුතු සැලසුම්  කරන්නත්.., යටිසිත සමඟ කරන හරඹ වලින් අනවශ්‍ය සිතිවිලි ඉවත්කරන්නත් යහපත් සිතුවිලි සඳහා විධාන දෙන්නත් යනාදී මෙකී නොකී නොයෙකුත් දේ මා ඔහුගෙන් ඉගෙන ගත්තා…, බුදුදහමේ මූලික ඉගැන්වීම් හා නූලටම නොගැලපුනත්, ආගමෙන් පොඩ්ඩකුත් චින්තනයෙන් පොඩ්ඩකුත් ලෙස හැඩය එහාමෙහා කරගෙන එකක අනික බහාලන්න පුළුවන් විදියට ඒවා සකසා ගැනීමටත් ලොකු අපහසුවක් වූයේ නැහැ... දිනෙන් දින සාර්ථකව අරමුණු කරා ළඟාවෙමින් මා ගතකරමින් සිටියේ සතුටුදායක දිවි පෙවෙතක්… ඒවනවිට ජීවිතය මා ගැටගැසුවේ කපිල අයියා මට ඉගැන්වූ මේ ධනාත්මක චින්තන මන්ත‍ර වලින්…

“Let’s prepare for the worst..! “

ඕක මට ඇහුනේ මගේ දෙවැනි රාජකාරී ආයතනයෙදි… බොස්ගේ නම කෙවින්… ඔහු නිතර භාවිතා කලේ මේ පුදුම මන්තරය… “අපි වෙන්ඩ තියෙන නරකම දේට ලෑස්ති වෙලා ඉමු…” හරිම අපූරුයි… ඒ මම ඉගෙනගත් දෙවෙනි මන්තරය කීවොත් නිවැරදියි… පෙර මා දැන උන් මන්තර හා සීයට සීයක්ම නොගැලපුනත් මෙහි පුදුම සාර්ථකත්වයක් මම අත්දැක්කා… අභියෝග වල පැටලී ඒවා හඹායනවා වෙනුවට ඔහු ඒවායින් නිදහස් වුනා… යමක් සාර්ථක කරගැනීමට ඇති උත්සාහය පෙර තරම් නොතිබුණා වෙන්නට පිළිවන්… නමුත් ඒ අසාර්ථකත්වයට මූන දෙන්නට ඔහු සූදානම්… දෙවනි මන්තරය මට පෙරට වඩා ජීවිතයේ සතුට ගෙන ආවා කීවොත් එහි වැරැද්දක් නැහැ…

“Que… Sera, Sera…!”

ඇයගේ නම මලී… සුන්දර මිතුරියක්… වලාකුලක් වගේ සැහැල්ලුවෙන් පාවෙලා යද්දි අහම්බෙන් මගේ ඇඟේ වැදුනේ… ඇගේ මන්තරය හරි පුදුමයි… “What ever will be… will be”… අප බොහෝදෙනෙක් කුඩාකලම ඉගෙන ගත්තත්, මා හට මෙය ඉගැන්වූයේ ඇය විසින්… සදානොමැකෙන ඒ සුන්දර සිනාව මුවඟ රඳවාගෙනමයි… සිද්ධාන්තය හරි සරලයි… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… ගෙවෙන ඒ මොහොතේ සතුට උපරිමයෙන් විඳිමු… “Que sera Sera…” ඒ මා ඉගෙන ගත් තුන්වෙනි මන්තරය… ගතවෙන සෑම මොහොතක්ම සතුටින් ගෙවන්නට මට කියාදුන්නේ ඇය…

මේ සියල්ල මට මතක් වුනේ අද සිදුවූ සිදුවීමක් නිසාවෙන්… ආයතනයට අළුතින් පැමිණි පිළිගැනීමේ නිලධාරිනිය හා මිතුරු කතාවකට ඉසිඹුවක් ලැබුනේ දිවා අහාර විවේකයෙදි… හඳුනාගැනීම් තොරතුරු වලින් ඔබ්බේ ඇයගේ පුද්ගලික කාරනා දක්වා කතාව ඇදී ගියේ ඇයගේ සුහදශීලී බව නිසාමයි…

“බොරු නෙමෙයි මේ බලන්න කට් එක… “

තම ගෙල පැළඳි විශාල පෙන්ඩනය මෑත් කරන ඇය මට පෙන්වන්නෙ සැත්කම් කැපුමක කැලලක්… ඇය පවසන පරිදි ඇය වයස දහනවයේදී හදවත් සැත්කමකට මුහුණ දුන් දරුණු හදවත් රෝගියෙක්… සතිපතා කෙරෙන වෙද්‍යය පරීක්ෂණයකුත්, දිනපතා ලබාගන්නා බෙහෙත් පෙති අහුරකුත් දිවි ඇති තුරාවට ඇයට උරුමයි… මේ හේතුවෙන්ම දරුවෙකු ලැබීම ඇයට තහනම් ක්‍රියාවක්… ඒ ප්‍රසූතියේදී ඇය හා දරුවා පත් වෙන අවදානම නිසා බවයි ඇය පැවසූයේ… තත්වය මෙසේ තිබියදී ඇය උතුම් මව්පදවිය වෙනුවෙන් අතිශය අවදානම් ක්‍රියාවකට පෙළඹෙනවා… ඒ වෙද්‍යය උපදෙස් නොතකා ගැබිණියක් වීමට හිතුවක්කාර ලෙස තීරණය කිරීමෙන්…

“හැමදේම හොඳින් සිද්ද වෙමින් තිබුණා… මට ගබ්සාවක් කරන්න කියලා උපදෙස් දුන්න හදවත් වෙද්‍යයවරයා අතෑරපු අපි වෙන වෙද්‍යයවරයෙක් හොයාගත්තා… ගිය මාර්තු මාසේ දවසක මට හිතුනා බබා වෙනදා වගේ දඟලන්නේ නෑ නේද කියලා… අපි ස්කෑන් එකක් කලා… දරුවගේ හදවත නතර වෙලා… මාස හතයි ඒ වෙනකොට… ලස්සන කෙලි පැටියෙක්..”

එලියට පනින කඳුළු සඟවන්නට ඇය අසමත්…

“දැන් ඉස්සරහට මොකක් කරන්නද ඔයා හිතාගෙන ඉන්නේ…?”

“මම තවම හිතනවා… ලබන සතියේ ටෙස්ට් එකට ගියාම මම ඩොක්ටගෙන් මේ ගැන අහනවා…”

මට මතක් උනේ කපිල අයියා…

“මල්ලී… කතාවක් තියෙන්නේ හීන හැබෑකරගන්නනම් කරන්න ඕනේ පලවෙනි දේ ඇදේන් නැගිටලා වැඩ පටන් ගන්න එකයි කියලා… සැලැස්මක් ඇතුව වැඩ කලොත් හැබෑ කරගන්න බැරි හීනයක් නෑ… ලඟාවෙන්න්න බැරි තැනකට යන්න නම් ඉස්සෙල්ලාම කරන්න ඕනේ අවදානම ගන්න බය නොවෙන එකයි… අද වෙද්‍යය තාක්ෂනේ ගොඩක් දියුණුයි… එක ක්‍රමයක් නැතිනම් තව ක්‍රමයක්.. ඒ ක්‍රමේ නැත්තම් වෙන ක්‍රමයක්…” සමහරවිට ඔහු කියාවි…

කෙවින්..?

“වෙන්ඩ තියෙන නරකම දේ මොකද්ද..? ආයේ බබාලා හදන්න බැරිවෙන එකනේ..? ඒකට මූණ දෙන්න ලෑස්ති වුනානම් එතනින් එහාට ලැබෙන හැම දෙයක්ම අශීර්වාදයක් විදියට ගන්න පුළුවන්…” ඔහු කියාවි…

මලී…

“Que Sera Sera…!” ඩොක්ටව හමුවෙන්න… සිදුවන්නට නියමිත දෙයක් ඇත්නම් සිදු වුනාවේ… සැහැල්ලුවෙන් ඇය කියාවි…

 

“ඩොක්ට මොනවගේ උපදෙසක් දෙයිද මම හරියටම දන්නේ නෑ… හ්ම්ම්ම්… බලමු…”

සිතිවිලි අතර සරමින් සිටින මගේ දැහැන බිඳෙන්නේ ඇගේ සුසුම් හඬින්… පොතේ හැටියටනම් දැන් මාගෙන් වියයුත්තේ ඇයගේ සිත සුවපත්වෙන කරුණාබර අවවාදයක්… නමුත් මාගේ දක්ශතා අනුපිලිවෙලින් ලැයිස්තුගත කලොත් තවකෙකුට උපදෙස් දීමට ඇති හැකියාව වැටෙන්නේ එහි අවසන් පිටුවට බව සැකයක් නැහැ… ඇරත් මේ දීර්ඝ අවවාදයකට සුදුසු වේලාව නෙවෙයි…

“Que Sera Sera..! මගේ අලුත් මිතුරියේ…”

කෙටියෙන් මා ඇයට ඉගැන්වූ මලීගේ මන්තරය සම්පූර්ණයෙන්ම ඇයට වැටහුනාදැයි මට සැකයි… ගතවෙන මොහොත සතුටින් ගතකරන්නට හැකි වෙන මඟක් ඇයට කියාදෙන්නට මා දන්නේ නැහැ…

සමහරවිට ඇය සිංදුව ගූගල් කර බලාවි… මම සිතන්නේ භෝජනාගාරයෙන් නැගිට එන අතරතුරේදී…

 

Sunday, September 9, 2012

66. නැවත හමුවෙනතුරු…

බොත්තම් සියල්ල පියවූ ඝනකම් කබායත්, පුපුරු නඟමින් ඇවිලෙන ගිණිමැලයත් අයිස් මිදෙන ශීත සෘතු ගනනාවක් පිටත ගතකර අත්දැකීම් ඇති ඔහුවැනි පළපුරුදු ට්‍රක් රථ රියදුරෙකුට සීතල රැයක් පහන් කරගැනීමට ඉහටත් උඩින්… වෙනදා මෙන් ඒ සියල්ල ඇතත් ඇටමිදුලු හාරාගෙන යන මේ ආගන්තුක සීතල ගතටත් වැඩියෙන් ඔහුට දැනෙන්නට වූයේ සිතටයි…

තවත් පියවර කිහිපයක් ගිනිමැලයට ලංවූ ඔහු තම අත්ලවල් එකිනෙක අතුල්ලා ගත්තේ හිස් අහසට සාපකරමින්…

snowsnowsnow

“කොලරාඩෝ වලට පටවන බඩු තොගයක්… කෙල්ලේ… මට හොයාගන්න ඕනෑවෙන්නේ එච්චරයි ආයෙත්… හවසක නොහිතූ වෙලාවක මගේ ට්‍රක් එකේ හෝන් සද්දේ ඇහෙයි ඔයාට… හෙට අනිද්දම දවසක… හරියටම කියනවනම් ඔයා ගබඩාවෙන් ගෙනාව බියර් පීප්පේ ඉවරවෙන්නත් කලින් ඔන්න…”

පෙරදින තමා නවාතැන්ගත් කබල් හෝටලයේ වූ ගිනි උඳුන සමීපයේ සිට ඇයට පොරොන්දු වෙද්දී ඇය නිහඬව උඳුනෙන් ගිනිදළු දෙස බලා සිටි අයුරු ඔහුට මතකයි… තම මහළු පියාද රැකබලා ගනිමින් හෝටලය නඩත්තුවට වෙහෙසන ඇයගේ රූ සපුව මැඩඟෙන මතුවෙමින් තුබූ වියපත් බවේ සෙවනැලි අවධානයෙන් බැලූවෙකුට නලියන ගිනිදැල් එලියෙන් පවා දැකගන්නට අපහසු වූයේ නැහැ…

“ඉස්සර අම්මා බේකන් හදද්දී මම බෝනික්කත් තුරුළු කරගෙන එයා වැඩකරන හැටි බලාගෙන ඉන්නවා… ටිකක් විතර දුරින් මොකද මගේ ගවුමට ජරාව විසිවෙද්දෝ කියන බයට… අපි කලා හරි අපූරු සෙල්ලමක්… හැම මිනිහෙකුම සොබාදහමේ නිර්මාණයක් කියලායි උන්දෑ කිව්වේ… මම කවුරුහරි ගැන අහුවොත් එයාව සොබාදහමේ මොනවාට හරි උපමාකලා හරි අපූරුවට… තාත්තා අපේ… තැනිතලාව කෙරවලේ තියෙන බළල් වලිග පඳුරු යාය වගේලු… මෙපල් මගේ මස්සිනා… හිමිදිරියේ තණපත් වල තැවරිලා තියෙන පින්නලු… මේපල්ගේ අම්මා නැන්සි, හරියට උවමනාවටත් කලින් ශීත සෘතුවට ලෑස්ති වෙලා ඉන්න ඉපල් වෙච්චි ගහක් වගේලු. …”

“හොඳයි, එතකොට හෝටලේට එන ට්‍රක් රියදුරෙක්..?”

ඔහුගේ දෙපා අසලින් බිම වාඩිවී ගිනිදැල් දිහා බලාගෙන සෙමින් මුමුනන ඇගේ තඹවන් හිසකෙස් අතරින් ඇඟිලි ගෙනියන ඔහු අහන්නේ මෘඳුව ඇගේ හිස පිරිමදිමින්….

“මම ඇහුවේ නෑ… ඇහුවනම් ට්‍රක් රියදුරෙක් කියන්නේ ශිත සෘතුවේ හදිසියේම වැටෙන අවුරැල්ලක් කියලා උන්දෑ කියාවි…”

snowsnowsnow

ලින්කන් ට්‍රක් රථ නැවතුම සිසාරා පැතිරී තිබූ අඳුර මකන්න මලානිකව දැල්වුණු විදුලි බල්බ දෙක තුනටත්, නලියන ගිනිමැලයටත් පුළුවන්කමක් තිබුණේ නැහැ… ඔහු සිටියේ හාත්පස තිබූ ඝන කලුවර තරම්ම කලු කෝපී කෝප්පයක් තොළඟාමින්… කිලෝ මීටර දහස් ගණක ඈත තමා තනිකර ආ ඒ සොඳුරු යුවතිය දවසක නිමාවේ තනිවම අවන්හල පිරිසිදුකරනායුරු සිතින් මවාගන්නට උත්සාහාකරමින්…

snowsnowsnow

“හැල්මේදුවන යෝධ ට්‍රක් එකක් නවත්තන්න පුළුවන් තරම් ආදරයක් මතුකරගන්න මම හරියට වෙහෙසෙනවා…” ඇය පවසන්නේ හිමිදිරියේ ඔහුට පිටවයන්නට දොර හරිනා අතරේදී…

“නැවත හමුවෙනතුරු...” ඔහු එසේ කොඳුරන්නේ දෑස් මඟහැර ඇයගේ මුවට නැඹුරුවන අතරේදීයි…

“සුභ ගමන්..!”

සීතල හිම කැටි මුසුවුන සුළගෙන් මිදෙන්නට ඔහු එලියට වන් සැනින් දොර වසන ඇය තව මොහොතකින් දකින්නේ හිම වැස්සේ කෙමෙන් බොඳවීයන ට්‍රක් රථයේ රතුපැහැති ලාම්පු එලිය…

snowsnowsnow

සැක් බ්‍රවුන් බෑන්ඩ් කියන සංගීත කණ්ඩායමේ කෝල්ඩර් වෙදර් කියන සිංදුවයි අහමින් හිටියේ… ඔය තියෙන්නේ පහල…

 

ZAC BROWN BAND - COLDER WEATHER

Wednesday, August 29, 2012

65. සඳ ගමනේ අභිරහස–අවසන් කොටස (විද්‍යා ප්‍රබන්ධයකි)

මෙතෙක් කතාව…
නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස්  මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… පසුව ඔවුන්ගේ කාර්යාලයෙන් ස්ක්වයිරස් මහතා අදාල ලිපිය ලබාගන්නා අතර එහි සඳහන් වන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් තමාට අයිති රහස් සේප්පුවක සඟවා ඇති බ්‍රීෆ්කේසයක් පිළිබඳවයි… [සම්පූර්ණ කොටස කියවන්න මෙතැනින්…]



රියදුරා විසින් තම ජී. පී. එස්.  තිරයේ සටහන් කල ගමනාන්තය වන බෑන්ක් ඔෆ් ඇමෙරිකා ශාඛාව කරා නිල රථය ඉගිලෙන අතරේ මෙතෙක් වූ සිදුවීම් සියල්ල මා ඉවසිල්ලෙන් සමාලෝචනය කරන්නට පටන්ගත්තා… රාජකාරීමය පීඩනය යනු මාගේ වෘත්තීය දිවියට කිසිසේත්ම නුපුරුදු දෙයක් නොවෙයි… නමුත් මෙවර..??

“මානව සංහතියේම විශාලතම රහස මෙයයි… සමහරවිට එය විශ්වයේම විශාලතම රහස වන්නටද පුළුවන්…”

නීල්ගේ වදන් මා හදවතේ රැව් පිලිරැව් දුන්නා… සැලසුමකට වැඩ කිරීම කුඩා කල පටන්ම මා පුරුදු වූ දෙයක්… මෙතරම් භාරදූර කාර්යයකට මා නිවැරදි සැලසුමක් සහිතවද මේ අතගසන්නේ..? අවදානම කෙතරම්ද…? බැකප් ප්ලෑන් මොනවාද..? නාසාහි ප්‍රධාන විධායක ලෙස ඇමෙරිකන් ධජයට වගකියන්නට මා දිවි හිමියෙන් බැදී සිටිනවා නොවෙද..? වගකිවයුතු කිසිවෙකු දැනුවත් නොකර මේ තබන්නට යන පියවර කෙතරම් නිවැරදිද..? එක පිට එක මා සිත තුල නැගෙන මේ ගැටළු සියල්ල තව තවත් මා පෙළන්නට වුනා… මේ කිසිවකට පිළිතුරු මා සතුව තිබුණේ නැහැ…

මා දරනා වගකීම් තුල කුඩා හෝ වැරැද්දකට ඉඩක් නැති බව මා හොඳින් දන්නා දෙයක්… මේ ආකාරයෙන්ම නොවුනත් මෙවැනි සංවේදී අවස්ථාවන් කල්තබා අනුමාන කරගෙන එහිදී අනුගමන කළයුතු ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න අප බොහෝ වාරයක් පුහුණුවී තිබෙනවා… ඇමෙරිකානු රජයට මෙහි ඇති බලපෑමේ සංවේදීතාවය කිරා මැන බැලූ මා එය කෝඩ් රෙඩ් හෙවත් අතිශය සංවේදී කාරනාවක් බව තීරණය කලා… මෙවැනි අවස්ථාවක  තම හිතුමතයට වැඩකිරීමෙන් විය හැකි හානිය කෙතරම්ද යන්න ගැන මා හට අමුතුවෙන් කියාදියුතු නැහැ… ඉතින් වගකිවයුතු සිවිල් පුරවැසියෙකු ලෙසත්… වෘත්තීය අත්දැකීම් වලින් පිරිපුන් ජේශ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ලෙසත්  මා තීරණයක් ගත්තා… ප්‍රොටෝකෝල්ස් ෆලෝ කරපන් ස්ටීව්…


“රාජේශ්… මට බොන්න මොනවා හරි අවශ්‍යයි…”

මා එසේ පවසනුයේ කාර්යාලයට යනතුරු පමා විය නොහැකි සංවේදී දුරකථන ඇමතුමක් ලබාගන්නට අවශ්‍යය වූ විටෙක බව ඔහු දන්නවා… නුදුරක වූ ඉන්ධනපිරවුම් හලකට රථය ඇතුළුකල ඔහු එන්ජිම ධාවනය වෙන්නට ඉඩහැර අසල පිහිටි අවන්හල වෙත පියනැඟුවේ එය වටහාගත් පරිද්දෙන්…

ජනපති සම්බන්ධීකරන අංශයේ නාසා ආයතනය භාරව සිටින නියෝජිතවරිය මොහොතකින් මා සම්බන්ධ කරගත්තා…

“ග්‍රේස්… මගේ ප්‍රියාවියේ ඔයා හොඳින්ද…?”

“චාටු කතා වෙන දවසකට ඉතිරිකරගන්න ආචාර්යතුමා… ජනාධිපතිතුමා උදේ අහාරයට කලින් පිළිතුරුදෙන අන්තිම දුරකථන ඇමතුම මේ දැන් අවසන් උනා…”

“කොච්චර අවාසනාවක්ද..? ඒ කියන්නේ කෝටි ගානක් මිනිස්සු මරලා දාන්නද ග්‍රේස් ඔබ හදන්නේ..?”

“මිනිස්සු හරි වැඩියි මේ ලෝකේ කොහොමත්… ඉතින් ඒක හොදයි… එහෙම නේද..?”

“හහ්… හා… මට ඔහුව දෙන්න පුළුවන් වෙලාව කියන්න එහෙනම්…”

“ම්ම්ම්.. ඉන්න බලමු… පෙරවරු හතයි පනස් පහේ සිට අටයි විස්ස දක්වා කොලරාඩෝ රැළියකට යන අතරවාරයේ අපිට විනාඩි විසිපහක් තිබෙනවා… ඇමතුම් හතරක් දැනට පෝලිමේ… ඔබට පස්වෙනි ඇමතුම දෙන්න හැකියි, නමුත් ස්ටේටස් එකනම් එන්නේ ඕවර් බුක්ඩ්…“

“ආචාර්ය ස්ක්වයිරස්ට කවදාවත් ජනාධිපතිතුමාව ඕවර් බුක්ඩ් වෙන්න විදියක් නැහැනේ ග්‍රේස්...?”

“එහෙනම් ජනපතිතුමාගේ උදෑසන කෑමවේලට බාධාකරන්න තරම් මම නිර්භීත වෙන්නේ ඕනේ ඇයි කියලා ඉස්සෙල්ලාම මට තහවුරු කරන්න ආචාර්යතුමා…”

“මේ මියගිය නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා සම්බන්ධයෙන්…  කෝඩ් රෙඩ්…”

“ඔහොම රැඳී ඉන්න ආචාර්යතුමා…”

“අයි ලව් යූ…”

“ස්තූතියි… ඔබ අද උදෑසන සිට මට ආදරය ප්‍රකාශකල විසිවෙනියා… රැඳී ඉන්න…”

ඇයගේ උත්සාහය සාර්ථකවනු ඇතිදැයි සැකයෙන් මා ගතකල ඒ මිනිත්තු කිහිපය මට දැනුනේ පැයක් මෙන්…

“ගරු ජනපතිතුමා සම්බන්ධ වීමට නියමිතයි… ”  සුපුරුදු ස්වයංක්‍රීය පණිවුඩය ගලා ආවේ මා බලාපොරොත්තු ඉටුකරමින්… මෙම පණිවුඩයෙන් පසු ඔහුව සම්බන්ධ නොවීමට ඇත්තේ සියයට පණහකට වඩා අඩු සම්භාවිතාවක් බව අප අතර ප්‍රකට තියරියක්…

“මේ අතේ හදපුවද..? ස්ටීවන් කියන්න… අයිස් එපා…”

සුළු වේලාවකට පසු ඇමතුම සම්බන්ධ වූයෙන් ජනපතිතුමා මට සවන්දෙමින් සිටිනා බව ආයාසයකින් තේරුම් ගත් මා කෙසේ හෝ  මට හැකිතරම් පැහැදිලිවත් කෙටියෙනුත් ඔහුට උදෑසන සිට සිදුවූ සියල්ල පවසා සිටියා… සාවධානව සියල්ල අසා සිටි ජනපතිතුමා මට බාධා කලේ වරක් හෝ දෙවරක් පමණයි… අනතුරුව ඔහු කතාකරන්නට වුනා…

“ස්ටීව් ඔබ දැන් එතැනට යන්න… සාමාන්‍ය විදියට එය ලබාගන්න… නමුත් විවෘත කරන්නට එපා… ඔබට නැවත පැමිනෙන්නට පහසුකම් සහ ආරක්ශාව සපයන්න මම ආරක්ශක ලේකම්තුමාට දැන්ම කියන්නම්… පෙන්ටගනයට පැමිණ ඔබ එය ආරක්ශක ලේකම්තුමාට භාර දෙන්න… දැනට එපමණයි… ඔබට ස්තූතියි… ගුඩ් ලක්…”

“ස්තූතියි ජනපතිතුමා…”

ඇමතුම හමාරකල මට දැනුනේ ලොකු සැහැල්ලුවක්… සියල්ල දැන් වඩාත් සංවිධානාත්මකයි… මාගේ ඇමතුමෙන් පසු නැවත වාහනයට පැමිණි රියදුරු ලබාදුන් සීතල වතුර බෝතලය විවෘත නොකරම ශීතකරණයට දැමූ මා ඉදිරි පියවර කිහිපය සැලසුම් කරන්නට පටන්ගත්තා… මේ අතරේ සෙක්ඩෙෆ් හි ප්‍රධානී ලියොන් පුද්ගලිකවම මා අමතා පෙන්ටගන් වෙත යෑමට අවශ්‍ය පහසුකම් පැය භාගයක් ඇතුළත සැපයෙන බව තහවුරු කලෙන් සැනසුම් සුසුමක් හෙලූ මා මින්පසුව නැවතත් සිතන්නට පටන් ගත්තේ මෙම බ්‍රීෆ්කේසයේ ඇති වටිනා රහස කුමක්ද යන්නයි… මා මිතුරා නීල් ඒ අද්විතීය පා සලකුණ තබනායුරු එවකට වසර දහතුනක කොලුගැටයෙව සිටි මා රූපවාහිනියෙන් ආශාවෙන් නැරඹූ අයුරු මට සිහිවූවා… එයින් වසර ගණනාවකට පසුව එදාසිට අද දක්වාම සුරැකුනු මේ රහසේ භාරකාරයා වීමට මටම සිදුවීමම කෙතරම් නම් පුදුමක්ද..?

සැබවින්ම එදා සඳමතදී සිදුවූයේ කුමක්ද? මාහට සිහිවූයේ එහිදී සිදුවූවා යැයි පැවසුනු එක් සුවිශේෂ සිදුවීමක්… පසුකාලීනව සමහරක් මාධ්‍ය මඟින් මේ ගැන කතාකරන්නට උත්සාහාකලත් අප ආයතනය මඟින් ඒවා හුදෙක් කටකතා පමණක් බව පවසා සිටියෙන් ඒ සඳහා ලැබුනේ උදාසීන ප්‍රතිචාරයක්… ඉතින් චිත්‍රපටයකදී හෝ ප්‍රබන්ධ කතාවකදී ඉදහිට සඳහන් වනවා හැරෙන්නට මේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් විමසීමක් ඇතිවූයේ නැහැ… මේ සුවිශේෂී සිදුවීම නම් නීල් සඳමත පා තැබූ විගසින් ඔහු හා ඊගල් සඳ යානයත්, හූස්ටන් පාලක මැදිරියත්  අතර  මිනිත්තු 26ක රේඩියෝ බ්ලැකවුට් හෙවත් සබඳතා බිඳවැටීමක් සිදුවූ බවයි… මා මිතුරු බස් ඇල්ඩ්‍රින් ඊගල් යානයෙන් පීටවූයේ  ඊටත් මිනිත්තු 19කට පසු සබඳතා සියල්ල යථා තත්වයට පැමිණි බව සැක හැර දැනගැනීමෙන් අනතුරුව බැවින් ඔහු යානයේ නතරවී සිටි මේ සම්පූර්ණ කාලය තුළ  සඳ යානයෙන් එලියේ සිදුවූ යමක් ඇත්නම් එය දැනසිටියේ නීල් පමණයි… මේ සුළු කාලය අතරේ ඔහු සොයාගත් වටිනා රහසක් මෙසේ සඟවා තැබුවාද..? මා සිතන්නට වුනා…

ඒ සමඟම කවුළුවෙන් එලියේ මා දුටුවේ බෑන්ක් ඔෆ් ඇමෙරිකා ගොඩනැඟිල්ල… සියල්ල සිදුවෙමින් තිබුණේ ඉතා කඩිනමින්… මා අත පත්වනුයේ නීල්ට අනුව මානව සංහතියේ ලොකුම රහස වුවද බැංකු සේවකයන්ට එය තවත් පාර්සලයක් පමණයි… ස්වල්ප පමාවකින් අනතුරුව බැංකු සේවකයෙකු සමඟ මා සිටියේ අදාල සේප්පුව ඉදිරියේ… සේප්පුව විවෘත කිරීමට අදාල උපදෙස් දීමෙන් අනතුරුව ඔහුද නික්ම ගියෙන් ඉතිරි වූයේ මා පමණයි... වෙවුලන ඇඟිලි තුඩුවලින් යුක්තව නීල්ගේ ප්‍රියතම තරුවේ නම මා සෙමින් සේප්පුවේ යතුරු පුවරුව හරහා ඇතුළු කලා… දෙවෙනි උත්සාහයේදී ඇරුණු සේප්පුව ඇතුලෙන් මා දුටුවේ ඔහු පවසා තිබූ පරිදිම කළුපැහැ බ්‍රීෆ්කේසයක්… මා හුස්ම මොහොතකට නැවතුනා කීවොත් නිවැරදියි… සුරැකිව එය ඉවතට ගත් මම කලබලයක් නැතිවම සාමාන්‍ය පරිදි බැංකුවෙන් පිටවුනා…

බැංකුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටම නවතාගෙන සිටින කලුපැහැ කැඩිලැක් වර්ගයේ එස් යූ වී රථ තුන මා රැගෙන යෑමට පැමිණි සෙක්ඩෙෆ් නිලඬාරීන්ගේ බව විශ්වාස කල මා ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ මැද තිබූ වාහනයේ අසුන්ගත්තා… සාමාන්‍යයෙන් සිදුනොවෙන පරිදි පිටත දර්ශනද අපැහැදිලි වෙන තරම් අඳුරු කර ඇති වාහනයේ පැති වීදුරු වලින් ඉවත නැරඹූ මා හට වැටහුනේ අප පෙන්ටගන් බලා ගමන් කරමින් තිබූ බවයි… කිලෝමීටර පහක පමණ මේ ගමනට එතරම් වේලා ගත නොවන බව නිසැකයි… බ්‍රීෆ්කේස්ය සුරැකිව ඇතිබව නැවතත් තහවුරු කරගත් මාහට සියල්ල හොඳින් සිදුවීම පිළිබඳව තිබුණේ නොමඳ සතුටක්…

මේ වනවිට මා ගතකරමින් සිටියේ දිනයේ අසීරුම අවස්ථාව… බුද්ධිය පරයා නැගෙන හැගීම් පාලනය කරගන්නට මාහට මහත් උත්සාහයක් ගන්නට සිදුවුනා… මා ඇකයේ සුවසේ පසුවෙන්නේ වසර හතලිස් තුනක් පුරා මුළු ලෝකයෙන්ම සුරැකිව රැකි රහසක්… මානව සංහතියේම සුවිශේෂ රහස මේ යැයි නීල් පැවසුවේ මන්ද..? මෙය විශ්වයේම ලොකුම රහස වියහැකි බවටද ඔහු සැක පහල කර තිබුණා… එසේනම් ඔහු මෙතරම් කලක් මෙය සඟවාගෙන සිටියේ ඇයි..? මෙහි සැබැවින්ම ඇත්තේ කුමක්ද..?  බ්‍රීෆ්කේසයේ යතුරු පුවරුවේ ඇති අංක කිහිපයක් සුසර කරනා පරක්කුවෙන් මේ සියල්ලට විසඳුම් ලබාගත හැකිබව මා දැන සිටියා… විවෘත නොකරම මෙය ලියොන්ට ලබාදුනහොත් සමහරවිටෙක දිවි ඇති තුරාවට මෙහි ඇති රහස මට දැනගැනීමට නොහැකිවෙන්නත් පිළිවන්… අනෙක නීල් ගෞරවනීය සිවිල් පුරවැසියෙක්… ඔහු මෙය රජයෙන් වසන් කිරීමට තීරණය කෙරුවේ ඇයි..? ඔහු මියයෑමෙන් පසුවත් එය දැනගතයුතු පුද්ගලයා බවට මා තෝරාගත්තේ ඇයි..? නිසැකවම ඒ මාගේ තනතුර නිසා නොව ඔහු හා මා අතර තිබූ මිත්‍ර සම්බන්ඬය නිසා බව මට වැටහෙන්නට වූවා…

ඉතින් මා මැදිව සිටියේ මහත් උභතෝකෝටික ගැටළුවකට… සුපිරිසිදු වෘත්තීය ජීවිතයක් හිමිව සිටි මා ජීවිතයේ පළමු වතාවට ඉතාමත්ම අසීරු සහ අවදානම් තීරණයක් ක්‍රියාත්මක කරන්නට පෙළඹුනා… ඒ ආරක්ශක ලේකම්තුමාට භාරදීමට ප්‍රථම  බ්‍රීෆ්කේසයේ ඇත්තේ කුමක්දැයි පරීක්ශා කිරීම…  වැඩි කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… මේ දැන්ම නොවේනම් ආයේ කවදාවත්ම නොවෙයි… ඉදිරිපස ඇති කළු ආවරණය නිසා රියදුරා මාහට නොපෙනුනත් ඔහුටත් එසේමදැයි මා දැන සිටියේ නැහැ…

“ගමනාන්තයට තව කොපමණ වෙලාවක් යනවාද..?”

මා සද්ද නඟා ඇසුවේ ඔහුට මා කරනා දේ පෙනෙනවාදැයි අදහසක් ලබාගන්නා අටියෙන්… ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන දෙවනිවරටද මා එකම ප්‍රශ්ණය ඇසූවද ලැබුණු පිළිතුර නිහඬතාවය පමණයි… අපහසුවෙන් ඉදිරිපස කවුළුවක් හැරගත් මා රියදුරු අසුන වෙත නෙත් යොමුකල විට දුටුවේ නෙත් අදහාගත නොහැකි දර්ශණයක්… එහි රියැදුරෙක් වූයේ නෑ… දුරස්ථ පාලකයකින් ධාවනය වනවා යැයි සිතිය හැකි මෙම වාහනයේ සිටි එකම මිනිසා මා පමණයි… මා හනික උත්සාහා කලේ අනෙක් වාහන දෙක කොහිදැයි බැලීමටයි… අඳුරු පැහැ වීදුරු අතරින් අපහසුවෙන් එලිය බැලූ මා දුටුවේ  ඒවායේ හෝඩුවාවක්වත් සොයාගත නොහැකි බවයි… ඒ සමගම මා දැන් සිටින්නේ  ආර්ලින්ග්ටන් බලා දිවෙන ජනාකීර්ණ  කොන්ස්ටිටුෂන් ඇව්න්‍යු මාර්ගයේ නොවන බවටත් මේ අතහැර දමා ඇති පාළු ගුවන් යානා පථයක් වැනි ස්ථානයක් බවත් දුටු මාහට කොතැනක හෝ ලොකු වැරදීමක් සිදුවී ඇති බව පසක් වන්නට වුනා… වාහනය නැවතී තිබුණෙන් මා උත්සාහා කලේ බ්‍රීෆ්කේසයද රැගෙන ඉන් ඉවතට පැනගැනීමටයි… බලාපොරොත්තු වූ පරිදිම දොරවල් විවෘත නොවන පරිදි අගුලු වැටී තිබුණු අතර වෙඩි නොවදින වීදුරු කඩා දැමීමට මා උත්සාහයක්වත් ගත්තේ නැත්තේ එය නිශ්පල බව දන්නා නිසයි… තවත් සුළු මොහොතකින් මා වාඩිවී සිටි අසුන යටින් ඇසෙන්නට පටන්ගත් ශබ්ධය ස්වයංක්‍රීයව පණගැන්වුන නවීන කාලබෝම්බයක ටයිමරයේ හඬ බව හමුදා පුහුණුවීම් කිහිපයකටම සහභාගී වී සිටි මාහට හඳුනාගැනීමට අපහසු වූයේ නැහැ…

අපහසුවෙන් ආසනයේ කුෂන් ආවරනය ඉවත් කරගත් මා ආසනය යටට නැඹුරු වූයේ මාහට ජිවත් වීමට තවත් කොපමණ කාලයක් ඉතිරිව ඇතිදැයි අනුමාන කරගන්නා අටියෙන්… රතු පැහැ ඉලක්කම් සහිත ඩිජිටල් තිරයක අංක 008 සිට තත්පරයක් පාසා අවසන් ඉලක්කම අඩුවෙමින් තිබෙනා අයුරු දුටු මාගේ තොල කට වියලී ගියා…

හදිසියේම මට සිහිවූයේ මොහොතකින් මා සමඟම විනාශ වී යන්නට නියමිත බ්‍රීෆ්කේසයේ රැඳි රහසයි… කලබලයෙන් ඒ අසලට දනගා ගිය මා කඩිනමින් රහස් අංකය ඇතුළු කරන්නට වුනා… අංක තුනක් ඇතුළු කලයුතු යතුරු පුවරුවේ දෙවනි අංකය ඇතුළු කර හමාර වනවිටම මා දුටුවේ අසුන යට වූ ඩිජිටල් පුවරුව 000 ලෙස තෙවරක් නිවී දැල්වෙන අයුරු…

-නිමි-

ප.ලි. : ඉතින් ඔන්න ඔහොමලු වුනා කියන්නේ… ඇමෙරිකා එක්සත් ජනපදයේ මංතොටවල් ගැන තොරතුරු සැපයූ ඇල්කෙමියාටත්… චැට් එකෙන් නිරතුරුව ලඟින් රැදී සිටිමින් මෙම කථාවට ඇති උනන්දුව පලකල මිතුරු මිතුරියන්ටත්, කියවූ, කමෙන්ට් කල ඔබ සැමටත් නොවක් තුති…

Sunday, August 26, 2012

64. සඳ ගමනේ අභිරහස… (විද්‍යා ප්‍රබන්ධයකි)



දිනය : 25 – අගෝස්තු – 2012
ස්ථානය :  ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස්  මහතාගේ නිවස - වොෂින්ටන් ඩී.සී.
වේලාව : පෙ.ව. 6.42

විද්‍යුත් පණිවුඩයක් පැමිණි බව හඟවමින් රාජකාරී ටැබ්ලටය නඳ දුන්නේ මා ටයි ගැටය සකසමින් සිටිනා අතරතුරේදීයි… සාමාන්‍ය දිනයකදී නම් එය මා අතින් විවෘත වනුයේ උදෑසන අහර කිස නිමවීමෙන්ද අනතුරුව නාසා මූලස්ථානයේ, උපදේශක කවුන්සිල් ගොඩනැගිල්ලේ පිහිටි මා කාර්යාලයට නිල රථයෙන් ගමන්ගන්නා අතරතුරදී වුවත් මේ එවැනි සාමාන්‍ය දිනයක් නොවේ…

රාජකාරී මට්ටමෙන් කලක් මාගේ වෘත්තීය‍ උපදේශකයෙකු වූද, මානව සංහතිය මෙලොව පවතින තුරාවටම නොමැකෙන ස්වර්ණමය සටහනක් තබමින්, සඳමත ගොඩබැසි පලමු මිනිසා ලෙස ඉතිහාසය වෙනස් කල ඒ අද්විතීය නියමුවා වූද, ඒ සැමටත් වඩා අපගේ අතිශය සංවේදී භාරදූර රාජකාරී කටයුතු වලදී මාහට විශ්වාසය තැබිය හැකි සදාකාලික ලෙංගතු මිතුරා වූද නීල් ආම්ස්ට්‍රෝන්ග් නම් ඒ අපූරු මිනිසා මෙලොවින් සමුගෙන ගතවී තිබුණේ පැය විසිහතරකටත් නොඅඩු කාලයක්…

මා හට ඒ කණගාටුදායක පණිවුඩය ලැබෙන විට මා සිටියේ ෆ්ලොරිඩාහි ගැඹුරු මුහුදු පතුලේ සිදුකෙරෙමින් තිබූ පෘතුවියෙන් එපිට ජනාවාස පිහිටුවීම පිළිබඳව කෙරෙන අතිශය සංවේදී පර්යේශනයක නිරතවෙමින්… ඒ සියල්ල කල්දමා හනිකට වොෂිංටන් පැමිණි මා කෙටි නින්දකින් පසු මේ සූදානම්වෙමින් සිටියේ කඩිනමින් උදෑසන ආහාරය රැගෙන ඔහුගේ අවමංගල්‍ය උත්සවය සඳහා නිල උපදෙස් ලබාදෙන කමිටු රැස්වීමට සහභාගී වීමට පිටත්ව යෑමටයි… ඉතින් පවතින වාතාවරණයේ වැදගත්කම නිසාම පහළ මාලයට යන අතරේ ඊමේල් ගිනුමේ ඇති මාතෘකා  හරහා උඩින් පල්ලෙන් දෑස් ගෙනයෑමට මා උත්සුක වුනා…

A Message From Neil Armstrong

තවමත් නොකියවූ පණිවුඩ කිහිපයක් අතරේ තිබූ ඒ අසාමාන්‍ය පණිවුඩය ළග මා නෙත් නතර වූයේ නිරායාසයෙන්… කවුරුන් හෝ විහිළුවක් කරන්නට උත්සාහාකරනවා වත්ද..? මා සතු විද්‍යුත් ලිපින ගොන්න අතරින් squyres@vip.nasa.gov යන මේ විද්‍යුත් ලිපිනය  විහිළු තහළු හඳුනන විද්‍යුත් ලිපිනයක් නොවෙයි… තරමක දෙගිඩියාවෙන් වටපිට බැලූ මා අවට කිසිවෙකු නැති බව සැකහැර දැනගෙන එම විද්‍යුත් පණිවුඩය වෙතට දබරැඟිල්ල ගෙන ගියා…

ආචාර්ය ස්ටිවන් ඩබ්. ස්ක්වයිරස් මහතානෙනි,

ලිපියේ ආමන්ත්‍රණය දකින විටම එය නීල් විසින් එවන ලද්දක් නොවන බව වටහා ගන්නට මා හට අපහසු වූයේ නැහැ… ඒ ඔහු කිසිදිනෙක මා එසේ අමතා නොමැති හෙයින්… කාගෙද මේ කැත විහිළුව? කෝපයෙන් හුස්ම ගත් මා ලිපිය කියවීම පුද්ගලික ලේකම්වරියට භාරදෙන්නට ප්‍රථමයෙන් එහි පළමු වචන කිහිපය කෙරෙහි අවධානය යොමුකලා…

ඔබ වෙත ලියන මා විලියම්ස් සහ කොනොලී නම් නීතිඥ සමාගමේ රහස්ය ලිපිගොනු තැන්පත් අංශයේ නිතිඥ පෝල් ලුවෙන්ස්කි… උක්ත නම සඳහන් නීල් ආම්ස්ට්‍රෝන්ග් (ගගනගාමී, අභ්‍යාවකාශ නියමු,  අභ්‍යාවකාශ ඉංජිනේරු)  නම් මහතා විසින් තමා මියගිය පසු ඔබගේ මෙම විද්‍යුත් ලිපිනයට දැනුම්දෙන ලෙස සඳහන් කර අප ආයතනයේ රහස්‍ය ලිපියක් තැන්පත් කර තිබෙනවා… පහත ලිපිනයට පැමිණ ඔබගේ අනන්‍යතාවය තහවුරු කිරීමෙන් එය ඔබට ලබාගත හැකියි…

ඔවුන් සඳහන් කර තිබූ ලිපිනය හරහා කිහිපවරක් නෙත් ගෙනගිය මා මේ සිදුවෙමින් පවතින්නේ කුමක්දැයි සිතින් ගලපාගන්නට උත්සාහා කලා… කල්පනාකරමින් සිටින්නට කාලයක් තිබුණේ නැහැ… කමිටු රැස්වීමට පිටත්වන හෙයින් එහිදී මා හමුවන ලෙස පුද්ගලික ලේකම්වරියට දැනුම් දුන් මා රියදුරාට විලියම්ස් සහ කොනොලී නිතිඥ සමාගම වෙත ප්‍රථමයෙන් රිය පදවන්නට අණකලේ විද්‍යුත් පණිවුඩයේ සඳහන්ව තුබූ ලිපිනය  එතරම් දුරක නොවූ නිසාවෙන්…

මා ඉදිරියෙහි වූ කුඩා ඩිජිටල් තිරයේ සී.එන්. එන්. ප්‍රවෘත්ති නිවේදිකාව නීල්ගේ චරිතාපදානය පියවරෙන් පියවර දිගහරිමින් සිටියා… තිරයේ දිස්වූ තරුණ නීල්ගේ මුහුනෙහි ඇඳි තිබූ සිනහව මියෙන මොහොත දක්වා මාහට සදා ලෙංගතුවූ ඒ අව්යාජ සිනහවමයි… තම මරණයෙන් මතු මාහට දැනගන්නට ඉඩහරින්නට ඔහුට අවශ්‍ය වූ මේ රහස් පණිවුඩය කුමක්ද..? මා මෙහි අගක් මුලක් ගලපන්නට උත්සාහාකලා…

“ඔහු හඳට ගියේ නැතිවාවත්ද..?”

මා ක්ෂණිකව රියදුරා දෙස බැලුවේ ඔහුට මා සිතෙහි වූ සිතිවිල්ල දැනුනාදැයි බියවූ නිසයි… අප විසින් සක්සුදක් සේ විශ්වාසකරන දේ පවා සැක කරන්නට මාධ්‍ය අපව පොළඹවන හැටි… ඇරත් මා ඔහු දැන හඳුනාගත් මුල් දිනවලම මෙය ඔහුගෙන්ම අසා දැනගෙන මාසිත තුළ වු කුකුස දුරුකරගත් අයුරු මට මැවී පෙණුනා… ඒ මා නාසා ආයතනයේ ප්‍රධාන විධායක ලෙස පත්වේයැයි හීනෙන්වත් නොසිතූ දවස්… සඳගමනේ වීඩියෝ සියල්ල විනාශ වී තිබූ වාතාවරණයක ඔහුගෙන් ඒ ගැන විමසනවා හැරෙන්නට මට වෙනත් විකල්පයක් ඉතිරිව තිබුණේ නැහැ…

“ඉරහඳ පල්ලා අපි හඳට ගියා ස්ටීව්…”

මා දෙනෙත් දෙස එක එල්ලේ බලාගෙන විශ්වාසයෙන් ඔහු පවසන්නේ මා මිතුරාව සැක කරන්නට මට ඉඩක් නොතබමින්…

එහෙත් ඉන්පසුව බොහෝවිට බරැති සුසුමක් හෙලන ඔහු…

“ඉරහඳ පල්ලා අපි හඳට ගියා නොවෙන්නම්…” යැයි හිස් අහස දෙස බලාගෙන නැවතත් තමාටම මුමුණාගන්නා අයුරු දකින මා හට සඳගමනේ ඔහු මා හට නොකියූ තවත් යමක් ඇතිදෝයි සැකයක් සිත පැන නොනැංගාම නොවෙයි…

ඔහු මේ මා හට පවසන්නට යන්නේ එවැනි රහසක්ද..? කල්පනා සයුරේ ගැලී උන් මාගේ දැහැන බිඳුනේ රියදුරාගේ හඬින්… අප සිටියේ විලියම්ස් සහ කොනොලී නීතිඥ සමාගම ඉදිරියේ…

“පොඩ්ඩක් ඉන්න”

ඔහුට පැවසූ මා නීතිඥ කාර්යාලයයට ඇතුළු වී මාගේ අනන්‍යතාවය දක්වා සිටියා… තවත් සුළු වේලාවක් ගතවූ පරීක්ෂණ කිහිපයකින් අනතුරුව කුඩා කුටියකට රැගෙන ගිය මා අතට ඒ රහස්‍ය ලිපිය ඔහු පත්කලේ අත්සන් කිහිපයක්ම ලබාගැනීමෙන් අනතුරුවයි… තවත් එතැන නොරැඳුනු මා නැවතත් රථය වෙත දිවගියේ ඒවනවිටත් මීටිමට පමාවෙමින් සිටි නිසයි… පුද්ගලික ලේකම්වරියට පැමිණෙමින් සිටින බව නැවතත් තහවුරු කිරීමෙන් අනතුරුව මා සෙමෙන් ඒ ලිපිය අතට ගත්තා..

එය ලියා වැඩි කාලයක් ගතවී නැතැයි සිතන්නට මා පෙළඹවූයේ පිට කවරයේ මාගේ නම ලියා තිබූ තීන්ත තවමත් පැහැදිලිව හා නැවුම්ව දිස්වූ නිසයි… ඒ ඔහුගේ අත්කුරු බව වටහා ගන්නට මට කවරය විවෘත කිරීමටවත් අවශ්‍ය වූයේ නැහැ… ගැහෙන හදින් යුක්තව කවරය විවෘත කල මම දිනයක් සඳහන්ව නොතිබූ ඒ ලිපිය කියවන්නට පටන් ගත්තා…

ආදරණිය ස්ටීව්,

මේ ලිපිය ඔබ කියවන විට මා ඔබගෙන් සමුඅරගෙන අවසන්… සමහරවිට තම සදාදරණිය මිතුරාගේ අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ඔබ වෙහෙස වෙමින් සිටිනවා විය හැකියි… මෙවැනි කාර්යබහුල මොහොතක ඔබට අතිරේකව ලබාදෙන මේ කලබලය ගැන ඔබගේ වයසක මිතුරාට ඔබ සමාව දෙනු ඇතැයි මා විශ්වාස කරනවා… තවත් පමා කරන්නට හැකි කාරණාවක් නොවෙයි මෙය…

ස්ටීව් මා කියනා දෙය හොඳින් සිත්හි දරාගන්න… මෙතැන් පටන් ඔබ කරනා හැම දෙයක්ම මුලු මානව සංහතියටම ඉතා වැදගත්… බෑන්ක් ඔෆ් ඇමෙරිකා හි 13 වෙනි වීදීයේ ශාඛාවේ මා නමට ඇති රහස් සේප්පුවක ඉතා වටිනා රහසක් මේ වනවිටත් හුදකලාවේ පවතිනවා… මා බැංකුවට සඳහන් කර ඇත්තේ මා හැරුණුකොට එම සේප්පුව විවෘත කිරීමට අවසර ඇත්තේ ඔබට පමණක් බවයි… ඉතින් ඔබ පමා නොවී එහි යන්න… පසුගිය විවේකී දිනෙක මා නිවසේදී ක්ෂීරපථ මන්දාකිණියේ තරු රටා පරීක්ශාකරමින් සිටින අතරේ මාගේ ප්‍රියතම තරුව කුමක්දැයි මා පැවසුවා ඔබට මතක ඇති… ඒ මන්දැයි ඔබ විමසූ අවස්ථාවේ එය මතු දිනෙක ඔබ දැනගනීවි යැයි මා පැවසුවා නේද..? ඉතින් ඒ තරුවේ නම යෙදීමෙන් ඔබට මෙම සේප්පුව විවෘත කිරීමට හැකිවේවි… ඉන්පසු ඔබට දකින්නට ලැබෙනුයේ එහි සුරැකිව තැන්පත් කර ඇති කලුපැහැ බ්‍රීෆ්කේසයක්…

හොඳින් අසන්න ස්ටීව්… දැන් ඔබ ඉදිරියේ ඇත්තේ මුළු මානව සංහතියටම මෙතෙක් දැනගන්නට ලැබෙන වටිනාම රහසයි… සමහරවිටෙක එය විශ්වයේම ලොකුම රහස වීමටත් පිළිවන්… ඔබව මෙතරම් අමාරුවක දමනවාට මට සමාවෙන්න මිත්‍රයා…  මට ජීවත් වීමට ඇති කාලය දැන් අවසන්… හොඳයි දැන් මම ඔබට මෑතකදී තිළිණ කල ආදර්ශ රොකට්ටුව මතක් කරගන්න… එහි බඳේ රතු සහ නිල් පැහැයන්ගෙන් සඳහන්ව ඇති අංකය ඔබට මතක ඇති…  එය අංකය ඇතුල් කිරීමෙන් ඔබට මෙම බ්‍රීෆ්කේසය විවෘත කිරීමට පිළිවන්…

ඔබ ඉන්පසුව කලයුතු දේ ගැන අමුතුවෙන් ඔබට කිවයුතුව ඇතැයි මා සිතන්නේ නැහැ…

මාගේ හිතාදර මිත්‍රයා ඔබ සමඟ ගතකල සෑම මොහොතක්ම සතුටක්ම වූයේමැයි..! මා ඉතින් සමුගන්නම්…

-නීල්

එක හුස්මට ලිපිය කියවා අවසන් කල මට දැනුනේ අධික පිපාසයක්… මා මේ දකින්නේ සිහිනයක් නොවන බව පසක් කරගන්නට මා වැරෙන් කම්මුලට පහරක් ගසාගත්තා… හදිසියේ ඇසුණ ශබ්ධයෙන් වික්ශිප්ත වුණු රියදුරු වාහනයේ වේගය අඩාල කලේ සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට උත්සාහා කරමින්…

“රැස්වීමට සහභාගී නොවෙමි…!” නාසා ආයතනයේ පණිවුඩ හුවමාරු මෘදුකාංගය හරහා පුද්ගලික ලේකම්වරියට කෙටි පණිවුඩයක් යැවූ මම රියදුරා දෙසට හැරුනා…

“රාජේශ්… බෑන්ක් ඔෆ් ඇමෙරිකා 13 වෙනි වීදියේ  බ්‍රාන්ච් එකට… මේ දැන්ම…”

-මතු සම්බන්ඬයි -

ප.ලි. : මෙය විද්‍යාප්‍රබන්ධ කැටගරියට අයත්දැයි මාහට පැහැදිලි නැහැ… එය එසේනම් විශ්වයේ රහස් හඹා ගිය ඒ අද්විතීය නියමුවාට මෙය උපහාරයක්ම වේවා…

දෙවනි කොටසට මෙතැනින්

Wednesday, August 22, 2012

63. අසා මිනිසෙකු මළ පුවත අද… හඬමි සතුටින් පළමුවර මම…

Tony Nicklinson, 'locked-in syndrome' sufferer at home in Melksham, WiltshireMr Nicklinson with daughter Beth taken in 1989

දුටිමි මිය ගිය පුවත අද නුඹ..
නැගුනි කඳුලක් දුකට නම් නොව…
අසා මිනිසෙකු මළ පුවත අද…
හඬමි සතුටින් පළමුවර මම…

දුටිමි නුඹ පෙර දිනක අහඹුව …
ගැහෙන දෙනෙතින් හඬන නිහඬව…
යදිනයුරු දැක මරණයම නුඹ…
දැනගතිමි අපි, අපිට නැති බව…

අසරණව දිවි ගෙවුම කඳුලකි…
මියෙමි එය මට මහත් සැපයකි…
අවැසි වුව එය නුඹට හිමි නැති…
දිවිය නුඹගේ දෙවිඳු හට හිමි…

මරණයේ පණිවුඩය එනකන්…
බිරිඳ දියණිය සමඟ සතුටින්…
සිටින නුඹ දැක පුංචි තිරයෙන්…
සුභ පැතුම්..! පැවසීමි මනසින්…

පණිවුඩය පැමිණියා දුටුවෙමි…
දෙවිඳු දුන් දිවි ඔහුම ගනු ඇති…
නීතියේ බර යදම් වැලකින්…
නුඹව නොමරා මරනු දුටුවෙමි…

දුටිමි මිය ගිය පුවත අද නුඹ..
නැගුනි කඳුලක් දුකට නම් නොව…
අසා මිනිසෙක් මළ පුවත අද…
හඬමි සතුටින් පළමුවර මම…

ටෝනි නික්ලින්සන් නැමති මිනිසා පුංචි තිරයෙන් මා දුටුවේ අහම්බෙන්… ඒ ඔහුට මැරෙන්නට අවසර නැති බව උසාවියෙන් නියෝග කල පුවත අසා ඔහු හඬා වැටෙනායුරුයි… මා හදවත මොහොතක් නතර කර ලෝකය, ජීවිතය, දෙවියන්වහන්සේ කර්මය යනාදී හැමදේ ගැනම නැවත සිතන්නට ඒ අසරණයාගේ හැඬුම මට බල කලා… මරණය අහිමි වීම ගැන මිනිසෙකුට මෙතරම් ශෝක වියහැකිද..?

Harrowing: Tony Nicklinson breaks down in tears today after being told that he will not be granted the right to die

ඉන්පසුව මා සොයා දැනගත් පරිදි ටෝනි වසර 2005 දී ඇතිවන අනතුරක් නිසා සදාකාලිකව ආබාධිත වූවෙක්… බාහිර ලෝකය හා ඔහු අදහස් හුවමාරු කරගන්නේ ඇසිපිය මඟින් පමණයි… වසර ගනනාවක් මෙලෙස ජීවත් වීමට කෙතරම් අපහසු ක්‍රියාවක්දැයි උපකල්පනය කිරීමට මා ශරීරය නිසලව තබාගෙන ඇසිපිය පමණක් ගසමින් විනාඩි දහයක් සිටීමට අසාර්ථක උත්සාහයක යෙදුනා… එය වචනයෙන් විස්තර කිරීමට නොහැකි තරම් අපහසු ඇති… මෙය පසක් වන්නේ මීට දින ගනනකට පෙර ඔහු වෙද්‍යවරයකු හරහා තමන්ගේ ජීවිතය අවසන් කර දෙන ලෙස නීත්‍යානුකූලව ඉල්ලා සිටීම නිසායි…

ජීවිතය ලබා දෙන්නේ දෙවියන් වහන්සේ… එය ආපසු ලබාගැනීමත් උන්වහන්සේ සතු කාර්යයක් මිස නිකරුනේ මිනිසෙකු මරාදැමීම අපට කලහැකි දෙයක් නොවෙයි… පිරිසක් එසේ තර්ක කරද්දී තිරිසන් සතෙකුට පවා හිමි වේදනාවකින් තොර මරණය ටෝනිට අහිමි ඇයිදැයි තවත් පිරිසක් තර්ක කරනවා… මේ සියල්ල අතරේ නඩු තීන්දුව ලැබෙන්නේ ටෝනි ඉල්ලා සිටි මිය යෑමේ අයිතිය නිශ්ප්‍රභා කරමින්… කුඩාදරුවෙකු මෙන් ඔහු හඬාවැටෙන්නේ මෙම නඩු තීන්දුව ඇසීමෙන්…

එතැන් පටන් තම ආහාර වර්ජනය කරන ඔහු අද තම නිවසේදී මියගිය පුවත ප්‍රවෘත්ති හරහා දැනගන්නට ලැබුණා… අන්තර්ජාලය පුරා කලක පටන්ම මිනිසෙකුට දුක් නොවිඳ මිය යෑමට ඇති අයිතිය පිළිබඳව නොයෙක් කතිකාවන් ගොඩනැගෙමින් පවතිනවා… සිංහල බ්ලොග් අවකාශයේත් මේ පිළිබඳව කවුරුන් හෝ විද්වත් සාකච්ඡාවක් කරාවි යැයි බලාපොරොත්තුවෙන් මා පසුවෙන්නේ…

නීතියට හෝ ආගමකට මිනිසෙකුගේ දුක් නොවිඳ මිය යෑමේ අයිතිය වැලැක්විය හැකිද? තමාගේ මියයෑමේ අයිතිය ඉල්ලා සිටි ඔහු මානව හිමිකම් වෙනුවෙන් සටන් වැදුනු වීරයෙක්ද..? නැතිනම් ජීවිතයට මුහුන දීමට බියෙන් තමාගේම දිවි තොරකරගැනීම ඉල්ලා සිටින ආත්මාර්ථකාමී මිනීමරුවෙක්ද…?  මා නැවතත් මුලටම ඇවිල්ලා…

62. සයිබර දිවියට ආයුද කිහිපයක්…

මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක්  තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ…  නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ එසේ නොවන අයද බොහෝයි… ඒ නිසා කිසිවෙකුට හෝ මෙයින් යහපතක් වේ යැයි යන විශ්වාසයෙනුයි මේ සටහන…

මේ මතු මා සඳහන් කරන්නට යන්නේ දැන් වසර ගණනාවක් තිස්සේ මා ජීවිතය පහසු කරන මට නැතුවම බැරි මෘදුකාංග කිහිපයක්…  මෙහිදී දිනපතා භාවිතා වූවත් අප සැම හොඳින් හදුනන මෘදුකාංග මා අතහැර ඇත්තේ නැවත සඳහන් කිරීම තේරුමක් නොමැති නිසයි… මා විසින් මතු සඳහන් කරන මෘදුකාංග වලට වඩා සාර්ථකව අදාල කර්තව්‍ය ඉටුකරන මෘදුකාංග එමට ඇති…  ඉතින් මා සඳහන් කර ඇති ඒවා කාලයක් තිස්සේ මා භාවිතා කිරීමෙන් සෑහිමකට පත්ව සිටීම හැරෙන්නට වෙනත් විශේෂයක් නැහැ… එම නිසා අදාල කාර්යය ඉටුකරගැනීමට වඩාත් හොඳ මෘදුකාංග ඔබ භාවිතා කරනවානම් ඒ පිළිබඳව සඳහන් කිරීමට අමතක කරන්නෙපා…

 

X-Marks

image

මා ඉහත සඳහන් කල මිතුරාට විස්තර කල මෘදුකාංගය මෙයයි… මෙය සැබැවින්ම බ්‍රවුසර් ඇඩෝන් එකක්… මා භාවිතා කරන්නට පටන් ගත්තේ වසර ගණනාවකට කලින් මෙය ෆොක්ස්මාර්ක්ස් ලෙස තිබියදීයි… කලකට පසු ඔවුන් එක්‍ස්-මාර්ක්ස් ලෙස තම නම වෙනස් කරගත්තා… මෙය ඇත්තෙන්ම බුක් මාර්ක් සින්ක්‍රෝනයිස් කරන ටූල් එකක්… මට උදව් වූයේ ලැප්ටොප් භාවිතාවක් නැති කාලයේ ආයතනයේ සහ නිවසේ පරිගනක වල ඇති බුක්මාර්ක් බෙදා හදා ගැනීමටයි…

සරලව පැහැදිලි කලොත් කෙරෙන්නේ මෙවැනි දෙයක්… අපි අන්තර්ජාලයේ සැරි සරද්දී සිත් ගත් වෙබ් අඩවි බුක් මාර්ක්, නැතිනම් ෆේවරිට්ස් වලට ඇඩ් කරගන්නවා… පසුව නැවත පරිශීලනය කිරීමේ අදහසින්.. නමුත් ගැටළුව නම් එය සේව් වෙන්නේ අදාල ප‍රිගණකයේ පමණයි… උදාහරනයක් ලෙස අපි ෆේවරිට් එක දමාගත්තේ ඔෆීසියේදී නම් නිවසේදී ඒ ෆේවරිට්ස් ඇක්සස් කිරීම අපහසුයි… එක්ස්-මාර්ක්ස් හරහා කෙරෙන්නේ අදාල පරිගණක වල මෙම ඇඩ් ඔන් එක ස්ථාපනය කර ඇති විටෙක ෆේවරිට්ස් හෝ බුක්මාර්ක් කරගන්නා සියල්ල සෑම පරිගණකයටම ඔටෝමැටිකලි සින්ක් වීමයි…

මම නම් එක පරිගණකයක් පාවිච්චි කරන්නේ ඒ නිසා ඕක ඕනේ වෙන එකක් නැහැ ඔබ කියාවි… නමුත් එක්ස්-මාර්ක්ස් යනු ෆේවරිට්ස් බැකප් කරන මෘදුකාංගයක්ද වන නිසා වසර ගණනාවක් තිස්සේ ඔබ සේව් කරන බුක්මාර්ක් පරිගණකය ක්‍රියාවිරහිත වීම හෝ ෆෝමැට් කිරීම ආදී කටයුතු වලින් පසුවත් අපහසුවකින් තොරව ඔබට නැවත ලබාගැනීමට හැකියි… තවත් වාසි බොහෝමයක් ඇතත් මේ සටහන් කෙටියෙන්…

 

BS- Player

image

ටොරන්ට් හෝ එවැනි නීතිවිරෝධී ක්‍රම වලින් පරිගණකයට චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගෙන නැරඹීම අප බොහෝදෙනා සිදු කරනා වැරදි දෙයක්… මමත් පුද්ගලිකව එවැනි චිත්‍රපටි එකක් හෝ දෙකක් සති අන්තයේ රාත්‍රියේ නරඹනවා… බොහෝදෙනෙකු ඒ සඳහා යොදාගන්නේ VLC Media Player නැමති මෘදුකාංගය… ඒ එහි බොහෝ කොඩෙක් ඉන්බිල්ට් ඇති නිසා විය යුතුයි… නමුත් ඉංග්‍රීසි චිත්‍රපටි සම්බන්ඬයෙන් පුද්ගලිකව මා ඇබ්බැහි වී ඇති පුරුදු කිහිපයක්ම තිබෙනවා… ඉන් එකක් තමයි මා වඩාත් කැමති ඉංග්‍රීසි චිත්‍රපටියක් නැරඹීමේදී එය ඉංග්‍රීසි සබ් ටයිටල්ස් සමඟ නැරඹීමටයි… මව් භාෂාව සිංහල වූ මට එය විශාල පහසුවක්… දෙවැනි කරුණ තමයි ජනප්‍රිය ඉංග්‍රීසි නවකතා පොත් කියවීමට මා හට ඇති අපහසුව… ඒ නිසා එවැනි පොතක් ගැන සඳහන් වූ විටෙක මා කරන්නේ ඒ පොත අනුසාරයෙන් නිපදවූ චිත්‍රපටියක් ඇතිනම් එය බාගත කරගෙන නැරඹීමයි… මේ අවස්ථා දෙකේදීම ඉංග්‍රීසි සබ්ටයිටල්ස් මට අත්‍යාවශ්‍යයි… බොහෝ මීඩියා ප්ලේයර් වල ඇති ගැටළුව සබ්ටයිටල් අප වෙනම ඩවුන්ලෝඩ් කලයුතු වීමයි… නමුත් මෙම ප්ලේයරයේ ඇති විශේෂත්වය චිත්‍රපටිය ආරම්භ කරන විගසම ඔටෝමැටිකලි අන්තර්ජාලයට සම්බන්ඬ වී සබ්ටයිටල් ෆයිල් එක සොයා ඩවුන්ලෝඩ් කර දීමයි… මේ හැකියාව නිසා මෙම ප්ලේයරය කලක පටන් මගේ ප්‍රියතම මෘදුකාංගයක්…

 

FTE

FTE Main

FTE  කෙටිවී ඇත්තේ Faster Than Ever නැමති තේරුමෙන්… මෙය ඇප්ලිකේශන් ලෝන්චර් එකක්… අපිට පරිගණකයේ යම් මෘදුකාංගයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඊට බොහෝ ක්‍රම තිබෙනවා… ඩෙස්ක්ටොප් එකේ ඇති ශෝට් කට් එක ඩබල් ක්ලික් කිරීම එක ක්‍රමයක්… Start –> All Programs වලට ගොස් අදාල ශෝට් කට් එක ක්ලික් කිරීම තවත් ක්‍රමයක්… මේ අතරේ පුරුදු විය හැකිනම් වඩාත් වේගවත් ක්‍රමය Windows Key එකත් R කී එකත් ප්‍රෙස් කර අදාල exe ෆයිල් එකේ නම ටයිප් කර එන්ටර් එබීමයි… උදාහරණයක් ලෙස වර්ඩ් ඕපන් කිරීමට කල යුත්තේ Windows + R  press කර winword කියා ටයිප් කර Enter key එක එබීමයි… දීර්ඝ ක්‍රමයක් යැයි බැලූ බැල්මටම පෙනුනත් කාලයක් පුරුදු වූ අයෙකුට මෙය වඩාත්ම පහසු ක්‍රමයයි…

ඉතින් මේ FTE එකෙන් කරන්නේ දිනපතා භාවිතා කරන එවැනි මෘදුකාංග සියල්ලෙහි කෙටි නම් ප්‍රෝග්‍රෑම් කර තැබීමයි… එවිට ඔබට අවශ්‍ය මෘදුකාංගය ආරම්භ කිරීම ඒ හරහා ඉතා වේගයෙන් සහ පහසුවෙන් කල හැකියි… Application Launchers එමට ඇතත් මට වඩාත් පහසු මේ FTE මෘදුකාංගයයි…

 

Last Pass

image

මෙය පාස්වර්ඩ් මැනේජර් එකක්… තමන්ගේ පාස්වර්ඩ් තුන් වැනි පාර්ශවයේ මෘදුකාංගයකට භාරදීම බොහෝදෙනෙකු ඉතාමත් අකමැති දෙයක්… නමුත් මා පුද්ගලිකව එහි ඇති  අවාසි පරයා වාසි දකින්නෙක්… ඉතින් මාගේ සියළු පාස්වර්ඩ් බලා කියාගන්නේ මේ මෘදුකාංගයයි… මෙතෙක් කිසිම අකරතැබ්බයකට මුහුණ දී නැහැ…

Windows Live Writer

මේ පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් ලිවීම සඳහා භාවිතා කරන්නේ මේ මෘදුකාංගයයි… ලේසියි පහසුයි…

 

Easy Money

EasyMoney 1.0 – Use One of the Best Money Manager Android Apps for Your Finances!

මෙය මාගේ Personal Accounting Software එකයි… ස්ථාපනය කර ඇත්තේ ජංගම දුරකථනයේ… මාගේ මාසික බජට් එක සෑදිමටත් එදිනෙදා වියදම් සටහන් කිරීමටත් යොදාගන්නේ මෙයයි… භාවිතා කිරීමට පටන් ගත් සැනින්ම මට මාසිකව සුළු මුදලක් ඉතිරිකිරීමට හැකියාව ලබාදුන් අරුම පුදුම මෘදුකාංගයක්…

 

CNN

image

ජංගම දුරකථනයේ නිවුස් රීඩරය… දිනපතා දවස ඇරඹෙන්නේ නාන කාමරයේ මේ මෘදුකාංගය සමගින්…

 

ANY.DO

image

කම්මැලිකම වැඩි නිසාම මේක නං මට පාවිච්චි වෙන්නේ නෑ දැන්.. කාලයක් පාවිච්චි කලා… ටුඩූ මැනේජර් එක…

 

WorkOut Trainer

බඩ බස්සගන්න හුඟ දෙනෙක් ජිම් යනවා… තව සමහරු ජොගින්… උදේට පරක්කු වෙලා නැගිටින හවසට වැඩ ඉවර වුණු ගමන් ගෙදර දුවගෙන එන මම වගේ කම්මැලියෙකුට කියාපු ඇප් එක මේක… සතියට කරන ව්‍යායාම ෂෙඩුල් කරගෙන ජංගම දුරකතනය ට්‍රේනර් විදියට තියාගෙන කරන්න පුළුවන්…

 

Penzu

කාලයක් තිස්සේ මම භාවිතා කරන පුද්ගලික ඩයරිය මේකයි…

 

කෙටියෙන් අවසන් කලේ දීර්ඝ ලිපියක් කියවීම නීරස විය හැකි නිසායි… ඉතින් මා ඉහත සඳහන් කලේ මා දිනපතා භාවිතා කරන, මට මහත් සේවය සලසන වැඩිපුර ජනප්‍රිය නැති මෘදුකාංග කිහිපයක්… මේ පෝස්ටුවෙන් ඔබට ගතයුත්තක් ඇත්නම් මාගේ සතුටද එයයි… ඔබ භාවිතා කරනා මෙවැනි මෘදුකාංග අප හැමදෙනාගේ පහසුව තකා පහතින් සටහන් කරන්නට අමතක කරන්නෙපා…

Saturday, August 4, 2012

61. ග්‍රෑම් හාරසීයක සතුට…

අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ…

“පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…”

ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි…

නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන යන සීතලත්, වැසෙන ඇසිපිය මත බරට රැඳුනු නිදිමතත් නොසලකා පැටලෙන දෙපා වලින් නිදි ඇඳෙන් බසිනුයේ හිමිදිරියේම ක්‍රීඩා පුහුණුවීම් සඳහා පිටත් වීමටයි..

මෙලෙස ගෙවුණු වසර ගණනාවක කාලය තුල වයසින් පරිණතව ඔහු පිරිපුන් ක්‍රීඩකයෙකු වෙත්දී ඔහුගේ ගතින් හැලුනු දහදිය, ලේ, කඳුලු, සුසුම් සියල්ලෙහිම වටිනාකමට හිලව්ව මේ දින කිහිපය තුල ඔහුට උපයාගැනීමට ලැබෙනවා ඇති… එය ග්‍රෑම් හාරසියයකටත් අඩු මිස වැඩි නොවූ ලෝහ පදක්කමක් වුවත් ඉන් ලැබෙන අපරිමිත සතුට මනින්නට ලොව මිම්මක් කොයින්ද…? එදා පුංචි කොලු පැටියා සූදානම් කරගෙන පුහුණුවීම් වලට රැගන ගිය ඒ තරුණ මව අද වියපත්ව තම සතුට පැවසීමට වචන නොමැතිව කඳුලු වගුරවනවා ඇති…

මේ ආකාරයෙන්ම නොවුනත් ඔලිම්පික් රන් පදක්කම් ලාභී බොහෝ දෙනෙකුගේ කතාව මෙවැන්නක් යැයි සිතමි… මිනිස් සන්තානයේ ඇතිවන හැඟීමකට ළඟා විය හැකි උපරිමයක් ඇත්ද, එයට ළඟාවනුයේ ආදරයේදී හෝ රාගයේදී විය නොහැක… එය නිසැකවම ක්‍රීඩාවේදී සහ යුද්ධයේදී විය යුතුයැයි මා විශ්වාස කරමි…

ලොවක් දිනනා මේ වීරයින් එකින් එක මුණගැසී ඔවුන් ඒ සඳහා ආ ගමන් මඟේ කල කැපකිරීම් ගැන විමසන්නට මට ආශාවක් පහලවේ… ඔවුන් හැමදෙනාටම කියන්නට දිඟු කතාවක් නිසැකවම ඇති… දවසේ සේවය නිමාවේ රූපවාහිනිය ඉදිරියේ හිඳගන්නා මා, කාගේ කවුදැයි දැනහැඳුනුම් කමක් නොදන්නා මුත්, මෙම ක්‍රීඩකයන් තම ජයග්‍රහනය සමරනා අයුරු ආසාවෙන් බලාසිටින්නේ වචනයෙන් විස්තර කල නොහැකි  හැගීමකින් ඔවුන් හා හදවතින් සතුටු වෙමිනි…

මා කියනා දෙය ඔබට විශ්වාස නැතිනම් මා අන්තර්ජාලය පීරා සොයාගත් මේ ජායාරූප දෙස බලන්න… රට ජාතිය ආගම වර්ණය කුමක් හෝ වුනාවේ… ලොවක් දිනන්නට සමත් වූ ඒ වීරයන්, තමන්ගේ සහ සමීපතමයන්ගේ අනේකවිධ කැපකිරීම් වල ප්‍රථිපලය උපයාගන්නා මොහොතේ නැගෙන මේ සතුටු සිනා ඔවුන් හා බෙදාගැනීමට අපහසුවක් නැති බව ඔබට වැටහෙනවා ඇති… මේ සෑම ජායාරූපයක්ම ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් පියනැඟි කටුක ගමන් මඟ ගැන දිඟු කතාවක් පවසනවා විය නොහැකිද..?

 

 

 

 

 

මිලකල නොහැකි මේ හැඟීම් කාච ගත කරගෙන ඇත්තේ පහත ජායාරූප ශිල්පීන් විසින්…

Adrees Latif,Andres Leighton,Natacha Pisarenko,Fabrizio Bensch,Alessandro Garofalo,Roland Schlager,Julian Finney,Grigory Dukor සහ Max Rossi

Web Statistics