Wednesday, August 22, 2012

62. සයිබර දිවියට ආයුද කිහිපයක්…

මේ අකුරු බ්ලොග් අඩවියේ මෙතෙක් නොලියවුණු ආකාරයේ පෝස්ට් එකක්… මම මෙතෙක්  තාක්ශණය සම්බන්ඬයෙන් කිසිවක් මෙම බ්ලොග් අඩවියේ සටහන් කර නැහැ…  නමුත් පසුගිය දිනක නිවසට ආව මිතුරෙකු මා පරිගණකයේ තිබූ මෘදුකාංගයක් අහම්බයකින් දැක ඒ පිළිබඳව විස්තර අසා දැනගෙන, මා හට නොසෑහෙන්න කල ස්තුතිය මේ සටහන ලියන්නට මා පෙළඹවූවා… පරිගණක තාක්ශණික අංශයේ රැකියාවල නියුතු අයට මේවා අලුත් දේ නොවූවත් සිංහල බ්ලොග් අවකාශයේ එසේ නොවන අයද බොහෝයි… ඒ නිසා කිසිවෙකුට හෝ මෙයින් යහපතක් වේ යැයි යන විශ්වාසයෙනුයි මේ සටහන…

මේ මතු මා සඳහන් කරන්නට යන්නේ දැන් වසර ගණනාවක් තිස්සේ මා ජීවිතය පහසු කරන මට නැතුවම බැරි මෘදුකාංග කිහිපයක්…  මෙහිදී දිනපතා භාවිතා වූවත් අප සැම හොඳින් හදුනන මෘදුකාංග මා අතහැර ඇත්තේ නැවත සඳහන් කිරීම තේරුමක් නොමැති නිසයි… මා විසින් මතු සඳහන් කරන මෘදුකාංග වලට වඩා සාර්ථකව අදාල කර්තව්‍ය ඉටුකරන මෘදුකාංග එමට ඇති…  ඉතින් මා සඳහන් කර ඇති ඒවා කාලයක් තිස්සේ මා භාවිතා කිරීමෙන් සෑහිමකට පත්ව සිටීම හැරෙන්නට වෙනත් විශේෂයක් නැහැ… එම නිසා අදාල කාර්යය ඉටුකරගැනීමට වඩාත් හොඳ මෘදුකාංග ඔබ භාවිතා කරනවානම් ඒ පිළිබඳව සඳහන් කිරීමට අමතක කරන්නෙපා…

 

X-Marks

image

මා ඉහත සඳහන් කල මිතුරාට විස්තර කල මෘදුකාංගය මෙයයි… මෙය සැබැවින්ම බ්‍රවුසර් ඇඩෝන් එකක්… මා භාවිතා කරන්නට පටන් ගත්තේ වසර ගණනාවකට කලින් මෙය ෆොක්ස්මාර්ක්ස් ලෙස තිබියදීයි… කලකට පසු ඔවුන් එක්‍ස්-මාර්ක්ස් ලෙස තම නම වෙනස් කරගත්තා… මෙය ඇත්තෙන්ම බුක් මාර්ක් සින්ක්‍රෝනයිස් කරන ටූල් එකක්… මට උදව් වූයේ ලැප්ටොප් භාවිතාවක් නැති කාලයේ ආයතනයේ සහ නිවසේ පරිගනක වල ඇති බුක්මාර්ක් බෙදා හදා ගැනීමටයි…

සරලව පැහැදිලි කලොත් කෙරෙන්නේ මෙවැනි දෙයක්… අපි අන්තර්ජාලයේ සැරි සරද්දී සිත් ගත් වෙබ් අඩවි බුක් මාර්ක්, නැතිනම් ෆේවරිට්ස් වලට ඇඩ් කරගන්නවා… පසුව නැවත පරිශීලනය කිරීමේ අදහසින්.. නමුත් ගැටළුව නම් එය සේව් වෙන්නේ අදාල ප‍රිගණකයේ පමණයි… උදාහරනයක් ලෙස අපි ෆේවරිට් එක දමාගත්තේ ඔෆීසියේදී නම් නිවසේදී ඒ ෆේවරිට්ස් ඇක්සස් කිරීම අපහසුයි… එක්ස්-මාර්ක්ස් හරහා කෙරෙන්නේ අදාල පරිගණක වල මෙම ඇඩ් ඔන් එක ස්ථාපනය කර ඇති විටෙක ෆේවරිට්ස් හෝ බුක්මාර්ක් කරගන්නා සියල්ල සෑම පරිගණකයටම ඔටෝමැටිකලි සින්ක් වීමයි…

මම නම් එක පරිගණකයක් පාවිච්චි කරන්නේ ඒ නිසා ඕක ඕනේ වෙන එකක් නැහැ ඔබ කියාවි… නමුත් එක්ස්-මාර්ක්ස් යනු ෆේවරිට්ස් බැකප් කරන මෘදුකාංගයක්ද වන නිසා වසර ගණනාවක් තිස්සේ ඔබ සේව් කරන බුක්මාර්ක් පරිගණකය ක්‍රියාවිරහිත වීම හෝ ෆෝමැට් කිරීම ආදී කටයුතු වලින් පසුවත් අපහසුවකින් තොරව ඔබට නැවත ලබාගැනීමට හැකියි… තවත් වාසි බොහෝමයක් ඇතත් මේ සටහන් කෙටියෙන්…

 

BS- Player

image

ටොරන්ට් හෝ එවැනි නීතිවිරෝධී ක්‍රම වලින් පරිගණකයට චිත්‍රපට ඩවුන්ලෝඩ් කරගෙන නැරඹීම අප බොහෝදෙනා සිදු කරනා වැරදි දෙයක්… මමත් පුද්ගලිකව එවැනි චිත්‍රපටි එකක් හෝ දෙකක් සති අන්තයේ රාත්‍රියේ නරඹනවා… බොහෝදෙනෙකු ඒ සඳහා යොදාගන්නේ VLC Media Player නැමති මෘදුකාංගය… ඒ එහි බොහෝ කොඩෙක් ඉන්බිල්ට් ඇති නිසා විය යුතුයි… නමුත් ඉංග්‍රීසි චිත්‍රපටි සම්බන්ඬයෙන් පුද්ගලිකව මා ඇබ්බැහි වී ඇති පුරුදු කිහිපයක්ම තිබෙනවා… ඉන් එකක් තමයි මා වඩාත් කැමති ඉංග්‍රීසි චිත්‍රපටියක් නැරඹීමේදී එය ඉංග්‍රීසි සබ් ටයිටල්ස් සමඟ නැරඹීමටයි… මව් භාෂාව සිංහල වූ මට එය විශාල පහසුවක්… දෙවැනි කරුණ තමයි ජනප්‍රිය ඉංග්‍රීසි නවකතා පොත් කියවීමට මා හට ඇති අපහසුව… ඒ නිසා එවැනි පොතක් ගැන සඳහන් වූ විටෙක මා කරන්නේ ඒ පොත අනුසාරයෙන් නිපදවූ චිත්‍රපටියක් ඇතිනම් එය බාගත කරගෙන නැරඹීමයි… මේ අවස්ථා දෙකේදීම ඉංග්‍රීසි සබ්ටයිටල්ස් මට අත්‍යාවශ්‍යයි… බොහෝ මීඩියා ප්ලේයර් වල ඇති ගැටළුව සබ්ටයිටල් අප වෙනම ඩවුන්ලෝඩ් කලයුතු වීමයි… නමුත් මෙම ප්ලේයරයේ ඇති විශේෂත්වය චිත්‍රපටිය ආරම්භ කරන විගසම ඔටෝමැටිකලි අන්තර්ජාලයට සම්බන්ඬ වී සබ්ටයිටල් ෆයිල් එක සොයා ඩවුන්ලෝඩ් කර දීමයි… මේ හැකියාව නිසා මෙම ප්ලේයරය කලක පටන් මගේ ප්‍රියතම මෘදුකාංගයක්…

 

FTE

FTE Main

FTE  කෙටිවී ඇත්තේ Faster Than Ever නැමති තේරුමෙන්… මෙය ඇප්ලිකේශන් ලෝන්චර් එකක්… අපිට පරිගණකයේ යම් මෘදුකාංගයක් ආරම්භ කිරීමට අවශ්‍ය නම් ඊට බොහෝ ක්‍රම තිබෙනවා… ඩෙස්ක්ටොප් එකේ ඇති ශෝට් කට් එක ඩබල් ක්ලික් කිරීම එක ක්‍රමයක්… Start –> All Programs වලට ගොස් අදාල ශෝට් කට් එක ක්ලික් කිරීම තවත් ක්‍රමයක්… මේ අතරේ පුරුදු විය හැකිනම් වඩාත් වේගවත් ක්‍රමය Windows Key එකත් R කී එකත් ප්‍රෙස් කර අදාල exe ෆයිල් එකේ නම ටයිප් කර එන්ටර් එබීමයි… උදාහරණයක් ලෙස වර්ඩ් ඕපන් කිරීමට කල යුත්තේ Windows + R  press කර winword කියා ටයිප් කර Enter key එක එබීමයි… දීර්ඝ ක්‍රමයක් යැයි බැලූ බැල්මටම පෙනුනත් කාලයක් පුරුදු වූ අයෙකුට මෙය වඩාත්ම පහසු ක්‍රමයයි…

ඉතින් මේ FTE එකෙන් කරන්නේ දිනපතා භාවිතා කරන එවැනි මෘදුකාංග සියල්ලෙහි කෙටි නම් ප්‍රෝග්‍රෑම් කර තැබීමයි… එවිට ඔබට අවශ්‍ය මෘදුකාංගය ආරම්භ කිරීම ඒ හරහා ඉතා වේගයෙන් සහ පහසුවෙන් කල හැකියි… Application Launchers එමට ඇතත් මට වඩාත් පහසු මේ FTE මෘදුකාංගයයි…

 

Last Pass

image

මෙය පාස්වර්ඩ් මැනේජර් එකක්… තමන්ගේ පාස්වර්ඩ් තුන් වැනි පාර්ශවයේ මෘදුකාංගයකට භාරදීම බොහෝදෙනෙකු ඉතාමත් අකමැති දෙයක්… නමුත් මා පුද්ගලිකව එහි ඇති  අවාසි පරයා වාසි දකින්නෙක්… ඉතින් මාගේ සියළු පාස්වර්ඩ් බලා කියාගන්නේ මේ මෘදුකාංගයයි… මෙතෙක් කිසිම අකරතැබ්බයකට මුහුණ දී නැහැ…

Windows Live Writer

මේ පෝස්ට් එකත් ඇතුළුව බ්ලොග් ලිවීම සඳහා භාවිතා කරන්නේ මේ මෘදුකාංගයයි… ලේසියි පහසුයි…

 

Easy Money

EasyMoney 1.0 – Use One of the Best Money Manager Android Apps for Your Finances!

මෙය මාගේ Personal Accounting Software එකයි… ස්ථාපනය කර ඇත්තේ ජංගම දුරකථනයේ… මාගේ මාසික බජට් එක සෑදිමටත් එදිනෙදා වියදම් සටහන් කිරීමටත් යොදාගන්නේ මෙයයි… භාවිතා කිරීමට පටන් ගත් සැනින්ම මට මාසිකව සුළු මුදලක් ඉතිරිකිරීමට හැකියාව ලබාදුන් අරුම පුදුම මෘදුකාංගයක්…

 

CNN

image

ජංගම දුරකථනයේ නිවුස් රීඩරය… දිනපතා දවස ඇරඹෙන්නේ නාන කාමරයේ මේ මෘදුකාංගය සමගින්…

 

ANY.DO

image

කම්මැලිකම වැඩි නිසාම මේක නං මට පාවිච්චි වෙන්නේ නෑ දැන්.. කාලයක් පාවිච්චි කලා… ටුඩූ මැනේජර් එක…

 

WorkOut Trainer

බඩ බස්සගන්න හුඟ දෙනෙක් ජිම් යනවා… තව සමහරු ජොගින්… උදේට පරක්කු වෙලා නැගිටින හවසට වැඩ ඉවර වුණු ගමන් ගෙදර දුවගෙන එන මම වගේ කම්මැලියෙකුට කියාපු ඇප් එක මේක… සතියට කරන ව්‍යායාම ෂෙඩුල් කරගෙන ජංගම දුරකතනය ට්‍රේනර් විදියට තියාගෙන කරන්න පුළුවන්…

 

Penzu

කාලයක් තිස්සේ මම භාවිතා කරන පුද්ගලික ඩයරිය මේකයි…

 

කෙටියෙන් අවසන් කලේ දීර්ඝ ලිපියක් කියවීම නීරස විය හැකි නිසායි… ඉතින් මා ඉහත සඳහන් කලේ මා දිනපතා භාවිතා කරන, මට මහත් සේවය සලසන වැඩිපුර ජනප්‍රිය නැති මෘදුකාංග කිහිපයක්… මේ පෝස්ටුවෙන් ඔබට ගතයුත්තක් ඇත්නම් මාගේ සතුටද එයයි… ඔබ භාවිතා කරනා මෙවැනි මෘදුකාංග අප හැමදෙනාගේ පහසුව තකා පහතින් සටහන් කරන්නට අමතක කරන්නෙපා…

Saturday, August 4, 2012

61. ග්‍රෑම් හාරසීයක සතුට…

අදට වසර පාලොහකට විස්සකට පමණ පෙර දිනෙක හිමිදිරි සීතලට ගුලිවී නිදන සිඟිත්තෙකු වෙත පැමිනෙන නිදිබර ඇස් වලින් යුත් මවක් මා සිතේ සිතුවම් වේ…

“පුතු… නැගින්න පැටියෝ… පහයි වෙලාව…”

ඈනුමක් අරින කොලු පැංචා කෙඳිරියක් පමණක් නඟා අනෙක් පස හැරී නිදන්නට වෙයි…

නමුත් ඒ සුළු මොහොතකට පමණි… නිදිසුව උරුම පරාජිතයන්ටයි… මවගේ දෙවෙනි ඉල්ලීමට අවනතව නිදිගැට කඩමින් නැඟිටින කොලු පැංචා ඇට මිදුලු හාරාගෙන යන සීතලත්, වැසෙන ඇසිපිය මත බරට රැඳුනු නිදිමතත් නොසලකා පැටලෙන දෙපා වලින් නිදි ඇඳෙන් බසිනුයේ හිමිදිරියේම ක්‍රීඩා පුහුණුවීම් සඳහා පිටත් වීමටයි..

මෙලෙස ගෙවුණු වසර ගණනාවක කාලය තුල වයසින් පරිණතව ඔහු පිරිපුන් ක්‍රීඩකයෙකු වෙත්දී ඔහුගේ ගතින් හැලුනු දහදිය, ලේ, කඳුලු, සුසුම් සියල්ලෙහිම වටිනාකමට හිලව්ව මේ දින කිහිපය තුල ඔහුට උපයාගැනීමට ලැබෙනවා ඇති… එය ග්‍රෑම් හාරසියයකටත් අඩු මිස වැඩි නොවූ ලෝහ පදක්කමක් වුවත් ඉන් ලැබෙන අපරිමිත සතුට මනින්නට ලොව මිම්මක් කොයින්ද…? එදා පුංචි කොලු පැටියා සූදානම් කරගෙන පුහුණුවීම් වලට රැගන ගිය ඒ තරුණ මව අද වියපත්ව තම සතුට පැවසීමට වචන නොමැතිව කඳුලු වගුරවනවා ඇති…

මේ ආකාරයෙන්ම නොවුනත් ඔලිම්පික් රන් පදක්කම් ලාභී බොහෝ දෙනෙකුගේ කතාව මෙවැන්නක් යැයි සිතමි… මිනිස් සන්තානයේ ඇතිවන හැඟීමකට ළඟා විය හැකි උපරිමයක් ඇත්ද, එයට ළඟාවනුයේ ආදරයේදී හෝ රාගයේදී විය නොහැක… එය නිසැකවම ක්‍රීඩාවේදී සහ යුද්ධයේදී විය යුතුයැයි මා විශ්වාස කරමි…

ලොවක් දිනනා මේ වීරයින් එකින් එක මුණගැසී ඔවුන් ඒ සඳහා ආ ගමන් මඟේ කල කැපකිරීම් ගැන විමසන්නට මට ආශාවක් පහලවේ… ඔවුන් හැමදෙනාටම කියන්නට දිඟු කතාවක් නිසැකවම ඇති… දවසේ සේවය නිමාවේ රූපවාහිනිය ඉදිරියේ හිඳගන්නා මා, කාගේ කවුදැයි දැනහැඳුනුම් කමක් නොදන්නා මුත්, මෙම ක්‍රීඩකයන් තම ජයග්‍රහනය සමරනා අයුරු ආසාවෙන් බලාසිටින්නේ වචනයෙන් විස්තර කල නොහැකි  හැගීමකින් ඔවුන් හා හදවතින් සතුටු වෙමිනි…

මා කියනා දෙය ඔබට විශ්වාස නැතිනම් මා අන්තර්ජාලය පීරා සොයාගත් මේ ජායාරූප දෙස බලන්න… රට ජාතිය ආගම වර්ණය කුමක් හෝ වුනාවේ… ලොවක් දිනන්නට සමත් වූ ඒ වීරයන්, තමන්ගේ සහ සමීපතමයන්ගේ අනේකවිධ කැපකිරීම් වල ප්‍රථිපලය උපයාගන්නා මොහොතේ නැගෙන මේ සතුටු සිනා ඔවුන් හා බෙදාගැනීමට අපහසුවක් නැති බව ඔබට වැටහෙනවා ඇති… මේ සෑම ජායාරූපයක්ම ඔවුන් ජයග්‍රහණය වෙනුවෙන් පියනැඟි කටුක ගමන් මඟ ගැන දිඟු කතාවක් පවසනවා විය නොහැකිද..?

 

 

 

 

 

මිලකල නොහැකි මේ හැඟීම් කාච ගත කරගෙන ඇත්තේ පහත ජායාරූප ශිල්පීන් විසින්…

Adrees Latif,Andres Leighton,Natacha Pisarenko,Fabrizio Bensch,Alessandro Garofalo,Roland Schlager,Julian Finney,Grigory Dukor සහ Max Rossi

Saturday, July 21, 2012

60. අවසන් ඇමතුම…

575913_10150956480297492_296162501_n

“මචං අද මාව ඇතුලට දානවා…
මොබයිල් එකක් නම් නැති වෙයි…”
ලැබුන අවසන් ඇමතුම උඹෙන්…
දිනෙක එනබව දැනන් හිටියත්…
නොසිතීමි මෙතරම් කලින්…
හදිසියෙන්, හරි හුඟක් කෙටියෙන්…

ඒ නිසාමයි බැරිවුනේ…
උඹට දැනමුතුකමක් දෙන්නට…
උනේ ඒ වෙනුවට අසන්නට…
“දැන් මොකද්ද මචං මගෙන් වෙන්න ඕනේ..?”

උඹයි දැනමුතුකම් කියන්නේ…
මමයි නිහඬව අසා ඉන්නේ…
“මොකුත් නෑ උඹ හොඳින් ඉඳපන්…
ගෙදර අයවත් මතක් කරපන්…”
“ගියොත් මව් රට අද හෙටම උඹ…
අම්මා මගෙ යහතින්ද බලපන්…”

සතුට මේ යැයි හොයන ලෝකෙක…
යනෙන හැම තැන සතුට වපුරන…
හිර වුනත් උබ අඳුරු කුටියක…
හිර කරන්නට බැරිවෙයන්…
හිරගෙදර උස බිත්ති ඇතුලෙත්…
උඹට ඉර හඳ පායපන්…

උඹද ඇතුලේ අපිද නොදනිමි…
දුවන ලෝකෙක හැල්මේ දිවයමි…
හිර වුනත් උඹ මුවඟ නොමැකෙන…
සොඳුරු සිනහව තිබීයන්…
උඹේ හදවත වටිනකම දැන…
අලුත් මිතුරන් ලැබීයන්…

ප.ලි. : උගේ නම...? 'මචං'... වැරැද්ද...? වැරදිකාරයෙක් නෙමෙයි... හිරගෙදර ඉන්න අනිත් හුඟදෙනෙක් වගේම...

Friday, July 13, 2012

මියුසික් | Music

බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් දින හතක් පුරාවට ආගන්තුක ගීත පෝස්ට් කරන අතරේම ආගන්තුක සංගීත ශිල්පීන් කිහිපදෙනෙක් ගැනත් පෝස්ට් කරන්න හිතුවේ පොඩි ඉල්ලීමකුත් ඉටුකරන්න එක්කයි…

මම සජීවී සංගීත ප්‍රසංග අති විශාල ප්‍රමාණයක් නරඹා නැහැ… නමුත් ඒ සුළු ප්‍රසංග කිහිපය අතරේ මා වික්ශිප්ත කල සංගීත ශිල්පියෙක් ඇත්නම් ඔහු ජෙසී කුක්… සැබැවින්ම ඔහු මැජික් කරුවෙක්… ෆ්ලෙමින්කෝ ගිටාරයේ කම්බි අතරේ ඔබ මොබ ගෙනයන ඇඟිලි තුඩුවලින් ඔහුට හැකියි ඔබගේ හෲද ස්පන්දනය නවතන්නට… මාව විශ්වාස නැතිනම් පහතින් ඇති ඔහුගේ නිර්මාණ කිහිපයක් රසවිඳින්න…

ලෝකයේ කොහේ හෝ කොනක ඔබට ඔහුගේ සංගීත ප්‍රසංගයක් ඇස ගැටුණහොත් එය නැරඹීමේ අවස්ථාව පැහැර හරින්නට නම් එපා…







මේ කෙලී ගමියාඕ…අතිශය ජනප්‍රිය සංගීත ශිල්පියෙක් නම් නෙවෙයි… නමුත් යුකලෙයිලී ගිටාර් විශේඥයෙක්… පුංචි නේම් ඩ්‍රොපින් පාරකුත් දානවානම් අන්තර්ජාලයේ මගේ මිතුරෙක් Smile… සෑම මොහොතක්ම පුදුමාකාර සතුටකින් ගතකරන සරල මිනිසෙක්…  මේ මීට මාස කිහිපයකට පෙර හයි-සෙශන්ස් නම් අන්තර්ජාල සංගීත වැඩසටහනේදී තන්තු හතරක පුංචි ගිටාරයකින් ඔහු දිඟු කතාවක් පැවසූ අයුරු…







ජෙස් ගේ ගීත ඇල්බම් මිලදී ගන්නට බලාපොරොත්තු වෙනවා නම් ඒ මේවායි…
කෙලී ගේ ගීත ඇල්බම් තවම නම් එකයි… ඒක මෙතනින්…

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Thursday, July 12, 2012

සෙනහස, නිසැකවම එය සුව කරාවි | I'm Gonna Love You Through It

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන පස්වෙනි පෝස්ටුව…

පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන්වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me
හතරවෙනි පෝස්ටුව 4. ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughterල්

“දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් දැන් ටිකක් හොඳයි…”   තාත්තා පවසන්නේ ඇඳ අසලින් මෑත් වෙමින්…

මම ඇයගේ සුදුමැලි සුරත අල්ලා ගනිද්දී අපසුවෙන් ඇස් හරින ඇය නැවතත් එය අඩවන් කරගන්නේ මා සුරත තදින් මිරිකා ගන්නා අතරේයි… කය දවමින් නැඟෙන වේදනාව හා සටන් කිරීමෙන් වෙහෙස වු ඇයගේ සීතල අත්ලට දැනෙනා මා සුරතේ උණුසුම ඇයට ජීවිතය පිළිබඳව නව බලාපොරොත්තු උපදවනවා වෙන්නට ඇති… පවුලේ කෙනෙකු අසාඬ්ය රෝගයකින් පෙලෙන්නට පටන් ගත්විට මනසින් කඩා වැටෙන්නේ රෝගියා පමණක් නොවෙයි ඔහු හෝ ඇයට ආදරය කරන හැමදෙනාමයි…

මේ ගීතය ගැන නම් පෝස්ට් දහයක් ලියන්න තරම් දේවල තිබ්බත් මේ ඒ සඳහා වෙලාව නෙමෙයි… අදටත් මගේ සමීපතමයෙක් ලෙඩ ඇඳේ සිටිනා විට හඬන මා සිතට ශක්තියක් උපදවා දෙන්නට  භාවනාවක් වැනි මේ ගීතයට පුළුවන්…

ලොව පුරා පිලිකා රෝගය හා සටන් කරන රෝගීන් සහ ඔවුන්ගේ සමීපතමයන් වෙනුවෙන් මේ ගයන්නේ “Martina McBride”

මියුසික් වීඩියෝව
Martina McBride - I'm Gonna Love You Through It

ගී පද
Martina McBride - I'm Gonna Love You Through It Lyrics

MP3 සිංදුව බාගන්න…
Martina McBride - I'm Gonna Love You Through It
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Wednesday, July 11, 2012

ගොවිපලේ සොඳුරිය… | Farmer's Daughter

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය ප්‍රචලිත කිරීම වෙනුවෙන් පළවෙන හතරවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy
තුන් වෙනි පෝස්ටුව 3. මතකයන් ඔබේ… | Remind Me

මා ප්‍රියකරන කන්ට්‍රි ගීත අතරින් මේ තවත් ගීතයක්… ගම්බද ගොවිපළක රැකියාවක් සොයා යන තරුණයෙක් ඉතා කෙටි කලකින්ම එයට සමුදීමට සැරසෙන්නේ තමාට පැවරුණු දුෂ්කර රාජකාරි වලින් හෙම්බත්වීම නිසයි... තමා කොතරම් මෝඩ තීරණයක් ගැනීමට සූදානම් වූයේද යන්න ඔහුට පසක් කරමින් ගොවිපල හිමිකරුවාගේ දියණිය හදිසියේම ඔහුට දකින්නට ලැබෙන්නේ මේ අතරේයි...
අද ගීතය "ෆාර්මර්ස් ඩෝටර්" ගයන්නේ රොඩ්නි  ඇට්කින්ස්...

මියුසික් වීඩියෝව
Rodney Atkins - Farmer's Daughter

ගී පද

Rodney Atkins - Farmer's Daughter Lyrics


තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Tuesday, July 10, 2012

මතකයන් ඔබේ… | Remind Me

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන තෙවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss
දෙවනි පෝස්ටුව 2. ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy

මේ ගීතයෙන් කියවෙන්නේ කලක් ආදරයෙන් සිටි පෙම්වතුන් යුවලක් වෙන්වීමෙන් කලකට පසු නැවත හමුවූ විටෙක ඇතිවෙන දෙබසක්… සවන්දුන් පළමුවරම මගේ හදවතේ හිට්වුණ මේ ගීතයට මම තවමත් ආසයි…
ඔවුන්ගේ ආදරයෙන් පිරුණු අතීතයේ ශෘංගාරාත්මක සිදුවීම් සිහිකරන මේ ගීතයේ එක තැනක තියෙනවා නිකං මේ වගේ කෑල්ලක්…

ගැ : ඔබට මතකද එදා ගුවන්තොටුපලේ….
ඔබ මා හැරලන්නට ආ දිනේ….
සමුගැනීමේ හාදුව අපේ… ගොඩක් දික් වුණා…
පි : ඔව්, ඔබට ගුවන්යානයත් එදා වැරදුනා…
ගැ : ඉතිං හොඳයිනේ… තව රැයක් අපි එකට ගතකලා…

Smile මට හිනාවෙන්නද අඬන්නද කියා හිතුනා ඒ කෑල්ල අහද්දී…

ගයන්නේ Brad Paisley සහ Carrie Underwood

මියුසික් වීඩියෝව
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

ගී පද
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood) Lyrics

MP3 සිංදුව බාගන්න…
Brad Paisley - Remind Me (Duet With Carrie Underwood)

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Monday, July 9, 2012

ටිකිලා සහ නුඹ, නිරතුරු මා මත්කරන… | ‍You and Tequila make me crazy

මේ බස් රේඩියෝ බ්ලොග් සතිය වෙනුවෙන් පළවෙන දෙවෙනි පෝස්ටුව…
පලවෙනි පෝස්ටුව 1. හාදුවක්! සඳ එළියේ… | Just A Kiss

අන්තර්ජාලයේ මේ ගීතයේ තේරුම විවිධ විදියට තේරුම් කෙරෙනවා… කෙනෙකුට එය අනියම් ප්‍රේමයකින් මිදෙන්නට නොහැකිව ලතවෙන පෙම්වතෙකුගේ වේදනාවක්… තවත් කෙනෙකුට එය මත්ද්‍රවය වලින් මිදීමට පුනරුත්ථාපනය වෙන කෙනෙකුගේ සිතෙහි නැගෙන සිතිවිල්ලක්… මේ කිනම් ආකාරයෙන් විස්තර කලත් මේ සුන්දර ගී පද වල වටිනාකමේ අඩුවක්නම් නොවන බව නිසැකයි…

“Cause you and Tequila make me crazy
Run like poison in my blood
One more night could kill me, baby
One is one too many, one more is never enough…”


ගයන්නේ Kenny Chesney සහ Grace Potter

මියුසික් වීඩියෝව
Kenny Chesney - You And Tequila ft. Grace Potter

ගී පද
Kenny Chesney - You And Tequila ft. Grace Potter

MP3 සිංදුව බාගන්න…
Kenny Chesney - You And Tequila ft. Grace Potter

තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Sunday, July 8, 2012

හාදුවක්! සඳ එළියේ… | Just A Kiss

බස් රේඩියෝවෙන් මේ දින වල කෙරෙන ප්‍රමෝෂන් එක “බස් රේඩියෝ බ්ලොග් සතියට” සහයෝගය දක්වන්න අවශ්‍ය වුනත් හති ඇර ඇර බ්ලොග් ලියන මම වගේ පුඟුලෙකුට දවස් හතට පෝස්ට් හතක් කියන්නේ ලොකු අභියෝගයක්… ඒ නිසා මේකට දායක වෙන්නේ කොහොමද කියන එක ගැන හිතද්දී අවා හරිම සිම්පල් ප්ලෑන් එකක්…

සිංහල බ්ලොග් අවකාශයේ සිංහල සිංදු වෙනුවෙන්ම වෙන්වුනු අඩවි කිහිපයක්ම තියෙනවා… තිස්ස අයියා, වැම්පා ඇතුලූ මෙකී නොකී කිහිපයක්ම… බ්ලොග් ඇඩ්‍රස් එක මතක නැති වුණත් ඉංග්‍රීසි ගීත හඳුන්වාදීම වෙනුවෙනුත් බ්ලොග් අඩවි එකක්, දෙකක් තිබුණා මතකයි…

ඉතින් “බස් රේඩියෝ බ්ලොග් සතිය” වෙනුවෙන් ලියවෙන මේ පෝස්ට් කිහිපයෙන් මම බෙදාගන්නට උත්සාහාකරන්නේ වැඩිපුර ඇහෙන්නේ නැති ඉංග්‍රීසි ගීත කිහිපයක්… ඉංග්‍රීසි ගීත ඇසීම මගේ විනෝදාංශයක් නම් නෙවෙයි… නමුත් මොකද්දෝ හේතුවකට මම අසාමාන්‍ය ලෙස කන්ට්‍රි සින්දු ප්‍රිය කරන්නෙක්… මීට පෙර මා අකුරු බ්ලොග් අඩවියේ එවැනි ගීත කිහිපයක් ගැනම පෝස්ට් පළකලා මතකයි…

ඉතින් මේ එවැනි ගීත කිහිපයක් බෙදාගැනීමේ උත්සාහයේ පළමු පියවර… අවසාන වශයෙන් මේ හැම ගීතයකටම වාගේ මම අසීමිත ලෙස කැමති සංගීතයටත් වඩා ඒවායේ ඇති මනබන්දනීය පදමාලා වලටයි… ඒ නිසා වෙලාව ඇතොත් පදමාලාව රසවිඳින්න අමතක කරන්නෙපා…

මියුසික් වීඩියෝව
Lady Antebellum - Just A Kiss

ගී පදමාලාව
Lady Antebellum-Just A Kiss LYRICS

MP3 සිංදුව බාගන්න…
Just A Kiss mp3
තවත් සිංදුවක් සමගින් හෙට හමුවෙමු..!!!

Sunday, July 1, 2012

52. සිතුවිලි අතරේ රඟන්නී | Dancin' Away With My Heart



ගතවෙමින් තිබුණේ විශ්‍වවිද්‍යාලයේ අවසන් වසරේ සමුගැනීමේ සාදයේ අවසන් හෝරා කිහිපය… 

පමණට වඩා මත්වුණු තරුණ තරුණියන් බොහොමයක් දෙනා සිටියේ බමන  මතින් නටමින්… සමහරු  තව තවත් තම මධු බඳුන් මධුවිතෙන් පුරවා ගනිමින්…  හරියට හැමදෙනාම මේ ශෝකී සමුගැනීම පියවි සිහියෙන් කරන්නට බිය වූවා වැනියි… අඩ අදුරේ පැතිරුණු මීදුමක් වැනි සුදුමැලි ආලෝකය තුළ සැඟවුණු පිරිස අතරේ මා නෙත් දිව ගියේ ඇය සොයනා අටියෙන්…

ඇය සිටියේ රාත්‍රී සාදයකට නොගැලපෙන නමුත් සමුගැනීමකට අතිශයින්ම සුදුසු, සුදෝ සුදු ගවුමකින් සැරසීගෙනයි… වෙනදා මෙන්ම නිමේෂයක් මා නෙතඟ පැටලී ඉවතට  ඇදගන්නා ඒ නිල් ඇස් වලින් මාගේ බැල්ම මඟහරිමින්… වැරෙන් බැඳුණු සංස්කෘතික යදම් ලිහා ගත නොහී පුරා වසර තුනක් ඇස් වලින් කතා කල අප දෙදෙනා අදින් පසු යළි මුණ නොගැසේවී… ඉන්දියාව විසල් රටක්… බැංගලෝරය විසල් නගරයක්… මා මව් රටට පියඹද්දී ඇය මේ නගරයේ මිලියනයක් මිනිසුන් අතරේ සදහටම සැඟවී යාවි… අපව එකිනෙකාට අහිමි කරවමින්…

වාදනය වෙන්නට පටන් ගත්තේ සතුටු සාදයේ අවසන් ගීතයයි… වසර තුනක් පුරාවට ගොළුවූ මා සිතට බීර මත අලුත් දිරියක් රැගෙන ඇවිත්… අද නොවේනම් ආයේ කවදාවත් නොවේ… එක් එල්ලේ ඇය වෙත ඇදුණු මම, මාගේ සුරත ඇය වෙත දිඟු කළේ දෙවරක් නොසිතාමයි…

“ශැල් වී…?”

ඇය පිළිතුරු දුන්නේ නැහැ… අඩුම ගණනේ හිස ඔසවා මා දෙස බැලුවේ වත් නැහැ… තම වෙවුලන ඇගිලි තුඩු වලින් මා දිගුකල සුරත අල්ලා ගත්තා පමණයි… උණුසුමට මට දැනුණේ ඇගේ සිහින් සියුමැලි ඇගිලි තුඩු වලට වේගයෙන් ලේ පිරෙනා අයුරු විය යුතුයි… සංගීත රටාවට පැද්දෙන මා උරහිසේ දැවටුණු ඇයගේ නිකටේ උණුසුම මේ දැනුත් මට විදින්නට හැකියි… නැවත දකින්නට නොලැබෙන ඒ නිල්වන් ඇස් සිත් සේ දැක ගන්නා අටියෙන් මුහුණට වැටුණු ඇගේ අකීකරු කෙස් රොදක් මා මෑත් කරද්දී ඇයගේ සියුමැලි කන්පෙති රත් පැහැ වූවා මට මතකයි… සංගීත හඬින් සහ මිතුරු මිතුරියන්ගේ කෝලාහලයෙන් පිරුණු පරිසරයේ මා පවසන යමක් අසා ගැනීමට තම මුහුණ මා වෙත ලංකරන ඇයගේ කම්මුල් මා දෙතොලෙහි ස්පර්ශ වෙද්දී එය ඉන් මුදවා ගැනීමට ඇයට කලබලයක් නැති ගානයි… සාදයේ මේ අවසන් ගීතය නොනැවතී සදහටම වාදනය වෙනවා නම්..?

සොඳුරු සිත්තමක් වැනි මතකයක් ඉතිරිකර කාලය බොහෝ දුරක් ඉගිල ගිහින්… අපි නැවතත් හමුනොවනා ලෙසින්ම… අහිමි වීම මා සමඟින් මෙතරම් දුරක් ඒවි යැයි මා කිසිදා දැන සිටියේ නැහැ… නිමා නොකළ රැගුමක මිහිරියාව පමණක් මාවෙත ඉතිරිකර නික්මුණු ඇයගේ සොඳුරු මතකය මෙතරම් කාලයකට පසුවත්, සිතුවිලි අතරේ දඟකරනායුරු විශ්මයජනකයි… 

සදාකාලික තාරුණ්‍යයක මා සිර කර නික්ම ගිය සුහදිනියේ, අසුරු සැණක් වන් මොහොතකට වුව හද ගැහෙනා තාලයට අප පාද තැබූ ඒ රංගනය ඉදහිට දිනෙක මට සිහියට නොඑනවාම නොවෙයි…
ලෝකයේ කොහේ හෝ කොනක ඉතින් ඔබ සුවෙන්ද..?

ලේඩි ඇන්ටබෙලම්… මියෙන සිතුවිලි වලට ඔබ ගීතයෙන් පණ පොවනා හැටි හරි පුදුමයි…


Lady Antebellum - Dancin' Away With My Heart
පිංතූරය : http://fineartamerica.com

Friday, May 18, 2012

51. හීන කතන්දර…



ඒක පැතලි කලු ගල් වගේ ජාතියක් පොළවට අල්ලපු පටු පාරක්… පොළවේ තෙතමනයක් නැතිවුනත් ගල් වල සීතලට මගේ නිරුවත් යටිපතුල් හිරිවැටීගෙන ගියා… දෙපැත්තෙන් ගානට කපපු මල් වැට… මීදුමක් වගේ දෙයකින් බොඳවුණු වටාපිටාව හින්දා අඩිගානකට වඩා ඉදිරියට පැහැදිලිව යමක් පෙණුනේ නම් නැහැ… මම මේ ඉන්නේ කොහෙද කියලා දැනගතයුතුව තිබුණත් ඊට වැඩිය මට උවමනා වුනේ ඔහේ ඉදිරියට ඇවිදගෙන යන්න…

හදිසියෙම මගේ ගමන නතර වුණේ ඉස්සරහා හරියටම පාර මැද්දේ හිටිය පුළුන් ගුලියක් වගේ සුදු හා පැටියෙක් නිසයි… මාව දැකලා කලබල වුණු ඌ මල් වැටෙන් පැනලා දුවන්න තියා ගත්තා… ඌ පස්සෙන් ටික දුරක් එළවගෙන ගිය මම නතර වුණේ ලොකු, පොඩි හාවෝ ගොඩාක් පිරිවරාගෙන ඉන්න වයසක මනුස්සයෙක් ඉස්සරහා…

“හෙහ් හේ… පොඩි වුණාට මූ චණ්ඩියා… අනිත් අය වගේ නෙමෙයි ඈතට යන්න බය නෑ…”

ඔහු කිව්වේ තමන් ගාවට දුවගෙන ආව හා පැටියා තුරුළට ගන්න ගමන්…

“වාඩි වෙන්න…”

ඔහුට තිබුණු මෘදු නමුත් තියුණු හඬක්… සේද වගේ සිනිදු රෙදි වලින් හැදුනු  සුදෝ සුදු ලෝගුවක් වගේ ඇඳුම මුළු ඇඟම වසාගෙන තිබුණා… දිගට වැවුණු  සුදෝ සුදු රැවුලත් කොණ්ඩයත් ඔහුගේ මහළු පෙනුම වැඩි කළත් ඒ මැදි කරගෙන තිබුණ ඇස් වල නම් තිබුණේ අසාමාන්‍යය තරුණ ගතියක්… එහෙමට කියලා අව් රස්නයක් තිබුනේ නැතත් හොඳට වැඩුණු ආගන්තුක තල්ගහක් සෙවනේ තිබුණු ගල් බංකුවක් මත ඔහු වාඩිවෙලා හිටියා…

“මම මේ කොහෙද ඉන්නේ…?”

මම ඇහුවේ ඔහු පෙන්නපු ගල් බංකුවේ වාඩිවෙන ගමන්… රළු වුනත් ඒ ආසනේ තිබුණේ හරි සුවයක්…

“ඔයා ඉන්නේ මෙතන…”

“මෙතන…??”

“ඔව්… මීට මොහොතකට කලින් ඔයා හිටියෙ මෙතන නෙමෙයි… මින් ටික වෙලාවකට පස්සෙත් ඔයා ඉන්නේ මෙතන නෙමෙයි… හැබැයි මේ මොහොතේ නම් ඉන්නේ මෙතන…”

“ඒක හරි අපූරු උත්තරයක්…එහෙම නෙමෙයි… ඇත්තටම් මේ කොහෙද..? දිව්‍යලෝකේද..?”

“හෙහ් හේ… කැමති දෙයක් හිතාගන්නකෝ…තිබහද..?”

ඔහු කිව්වේ ඔලගුවක් වගේ මල්ලකින් දම්පාට දියරයක් පිරුණු පුංචි බෝතලයක් එලියට ගන්න ගමන්… මට එහෙමට තිබහක් තිබුණේ නැතත් ඒ බීම ජාතිය බොන්න ආසාවක් ඇතිවුණා..

“ටිකක්…”

මම කිව්වා…

ඒ ඔලගුවෙන්ම විශාල කෝප්ප දෙකක් ගත්ත ඔහු ඉන් එකක් අර බීම ජාතියෙන් පිරෙව්වා… අර තරම් පොඩි බෝතලයකින් එච්චර ලොකු කෝප්පයක් පුරවලත් බෝතලෙන් තුන්කාලකට වඩා ඉවර නොවුණු එක ගැන මට දැණුනේ පුදුමයක්… ඉන්පස්සේ අනිත් කෝප්පයත් ඉතිරි බීම ටිකත් ඔහු මට දික්කලා… මම කෝප්පයට  බීම ටික පුරවන්න ගත්තත් කෝප්පයෙන් කාලක්වත් පිරෙන්න කලින් බෝතලේ  ඉවර වුණා…

“ඉවරයි…”

මම කිව්වේ අසරණව…

“කොහොමද ඉවර වුණේ…?”

ඔහු පුදුමයෙන් ඇහුවා…

“ඔයා දෙනකොටත් බෝතලෙන් බාගෙකටත් වඩා ඉවර වෙලානේ තිබුණේ…”

“ඒක තමයි ප්‍රශ්නේ… ඉවරවුණු ප්‍රමාණය ගැන දුක් වෙන්න එපා ඉතිරි ප්‍රමාණය ගැන සතුටුවෙන්න… එතකොට කවදාවත් ඉවර වෙන්නේ නෑ… ”

“ඉතින් එහෙනං මේ ඉවරවුණේ..?” මම කිව්වේ නොරිස්සුමකින්…

ඔහු බලාපොරොත්තු කඩවුණ විලාසයකින් ඔළුව දෙපැත්තට වැනුවේ හරියට තමන් කියලා දුන්න දෙයක් තේරුම්ගත්තේ නැති සිසුවෙක් දිහා බලන ගුරුවරයෙක් වාගේයි…

“සොරි සොරි වැරදුනා… යාන්තම් බින්දු දෙකතුනක් අඩියේ ඉතුරු වෙලා තියෙනවා තමයි ඉතින්…” මම එහෙම කිව්වම ඔහු සතුටින් හිනාවුණා…

“එහෙනම් ඉතින් ඒක වක්කරන්න…”

ඔහු කියද්දී මම බෝතලය කෝප්පෙට ඇල කලා… කෝප්පය පිරෙන්නම ඒ දියරය ගලාගෙන එන හැටි මම බලාගෙන හිටියේ පුදුමයෙන්… ඒ පානයේ තිබුණේ මම මීට පෙර කවදාවත් නොවිඳි රසයක්… හරියට ලෝකාස්වාදයෙන් මිදුණු රසයක් වාගේ…

“මේක හරි රසයිනේ… මේ අමෘතයවත්ද..?” මම ඇහුවේ දෙගිඩියාවෙන්…

“හෙහ් හේ… කැමති දෙයක් හිතාගන්නකෝ…”

“මේ නම් අමෘතය තමයි වගේ… මම දැන් අමරණීය වෙයිද..?” මට දැනුනේ ලොකු සතුටක්…

“හෙහ් හේ… අමෘතය බොන්නේ නැතුවත් අමරණීය වෙන මිනිස්සු ඉන්නවා…” ඔහු කිව්වේ හිනා වෙවී…

ඒ අමුතු පානය බිබී මම වට පිට බැලුවේ මේ අපූරු මනුස්සයා ගැන පුදුමයෙන්… ඔහු වටා තිබුණේ පුදුමාකාර දිව්‍යමය ජීවයක්…  ඔන්න එකපාරම සිදුවුණේ හරි අපූරු දෙයක්… ඔහුගේ කොප්පයෙන් දුන් දියර ස්වල්පය පානය කරමින් හිටි හාවෙක් ඔහුගේ ඇකයෙන් මිදී දිවගොස් පසෙකින් සිටි හාවියක් හා රමණය කරන්නට වුණා… මට හිනාවක් ගියා…

“ඇයි..?”

ඔහුටත් හිනා…

“මට ප්ලේබෝයී මතක් වුණා… ඒකේ ඉන්නෙත් සුදු හාවෙක්…”

මම එහෙම කියද්දී ප්ලේබෝයි කියන්නේ මොකද්ද කියලා ඔහු අහාවියැයි මට සිතුනත් ඔහු මහ හඬින් හිනා වුණා පමණයි…

“හෙහ් හේ… ඒකත් හැබෑව…”

“කොහෙන්ද මෙච්චර හාවෝ..?”

මම ඇහුවේ ඔහු වටේ දුව පැන ඇවිදින හාවෝ කීදෙනෙක් ඉන්නවාදැයි ගනින්නට අසාර්ථක උත්සාහයක යෙදෙමින්…

“එක එකා එකතු වුණා… මටත් නොදැනිම… ඒක නෙමෙයි මොකද්ද ඔයාගේ නම කිව්වේ..?”

“මම නම කිව්වේ නෑ…”

“එහෙනම් ඉතින් දැන් කියන්නකෝ…”

“මම බීට්ල්… ඔයා කවුද..?”

“මම බීට්ල් නෙමෙයි… හෙහ් හෙහ් හේ…”

ආයෙත් අර හිනාව…

“ඉතින් බීට්ල් මොකද කරන්නේ…” ඔහුගේ ඊළග ප්‍රශ්නය…

“මම ඇවිදගෙන යනවා…”

“කොහෙටද..?”

“හරියට දන්නේ නෑ…ම්..ම් ..ඉස්සරහට… ඔයා මොකද කරන්නේ…”

“මම නැවතිලා ඉන්නවා…”

“මටත් ආසයි නවතින්න… මට පුළුවන්ද මෙතන නවතින්න…?”

“ඇයි ඒ මෙතනම..?”

“මෙතන හරි ලස්සනයි…”

“ලස්සන තැන් වල නවතින්න යන්න එපා… නවතින හැමතැනම ලස්සන කරන්න උත්සාහකරන්න…”

ඔහු කිව්වේ එක එල්ලේම මගේ ඇස් දෙක දිහා බලාගෙන… මම ඔහුට එකඟ බව පෙන්නන්න ඔලුව වැනුවා… මුළු පරිසරයෙම තිබුණ මීදුම ඒ වෙනකොට තුනී වෙලා ගිහින් තිබුණ නිසා වඩාත් පැහැදිලිව අවට පෙනෙන්නට තිබුණා… අපි ඇත්තටම හිටියේ මුහුදු වෙරළක් සමීපයේ…

“අර බලන්න අර අරහේ… මොකද්ද පේන්නේ..?”

ඔහු කිව්වේ ඈත ක්ෂිතජයට ඇඟිල්ල  දික්කරන ගමන්…

“නැවක්…”

මම කිව්වා…

“ඒ නැව දැක්කම ඔයාට මොනාද හිතෙන්නේ..?”

“ගොඩක් දේවල් හිතෙනවා… ඒකේ යනවා ඇති ආදරයෙන් වෙළුනු ප්‍රේමවන්තයෝ… සමහරවිට ඒ ප්‍රේමවන්තයන්ටත් වැඩියෙන් ආදරේ කරන  අනියම් පෙම්වතුන්… සමහරු  බොරුවට ආදරේ බව පෙන්නනවා ඇති… එතකොට දරුපවුල වෙනුවෙන් වෙන රටක රස්සාවක් හොයාගෙන යන මිනිස්සු ඒකේ ඇති… අවිනිශ්චිත බලාපොරොත්තු පිරුණු මූණු… ඒකේ යනවා ඇති සොල්දාදුවෝ… හොරු… පොකට් කාරයෝ… එකිනෙකාට ඊරිසියා කරගන්න නෝනාවරු… හොර සිල් මවාපාන පූජකයෝ… උඩතට්ටුවේ යනවා ඇති දේශපාලකයොත්… ලයිට් ඕෆ් කරලා තියෙන්නේ උන් නැවේදි හිතගත්ත තරුණියෝ හොයාගෙන නිදියනවා ඇති… හොර යක්කු… අනිවාර්යෙන්ම මියුසික් බෑන්ඩ් එකක් ප්ලේ කරනවා ඇති… මිනිස්සු  නටමින් ප්‍රීතිවෙනවා ඇති… පිස්සුවෙන්… මාන්නක්කාර මහත්තුරු දිස්නේ දෙන ඇඳුම් ඇඳගෙන…  සංගීත තාලෙට පාද තියමින් රූමත් තරුණියොත් එක්ක නටනවා ඇති… රාගයෙන් පිරුණු ඇස්වලින් එකිනෙකාගේ කැමැත්ත විමසනවා ඇති… ඔය වගේ ගොඩක් දේවල් හිතෙනවා…. තව ඕනිනම් කවියකුත්…”

“මොකද්ද කවිය…”

“නැඟෙන යළි බිඳෙන කඳුලු රළ මතින…
පැතුම් සුභ සිහින සුළං රුවල කර…
එකින් නික්ම තව නැවතුම්පලකට…
සසර සයුර මත ඇදෙමු බෝ දුරක…“

“හෙහ් හෙහ්… මම කවි වලට එච්චර ආසා නෑ… හැබැයි මේ කවියට නම් ආසයි…”

ඔහු සැහැල්ලුවෙන් කිව්වා…

“හොඳයි ඔයාට  මොනාද හිතෙන්නේ ඒ නැව දැක්කාම..?”

මම ඇහුවේ ඔහු දෙස විමසිල්ලෙන් බලන ගමන්...

“මට හිතෙන්නේ එකම එක දෙයයි…”

“ඒ මොකද්ද..?”

“තව ටිකක් ඔහොම ඉස්සරහට ඇදීගෙන යද්දී අර පසුබිමේ බැහැගෙන යන ඉරත් එක්ක ඒ නැව හරි ලස්සනට පෙනෙයි…”

“හැබෑව තමයි මම ගොඩක් දේවල් හිතුවා… ඒත් ඒක ගැන හිතුවේ නෑනේ… ‘ලස්සන’…”

මම කිව්වේ කණගාටුවෙන්…

“ඔව්… ‘ලස්සන’… ඒක ගැන විතරක් හිතුවත් ඇති…”

ඔහු ස්ථිර හඬකින් එහෙම කියද්දී මම මොහොතින් මොහොත අලුත් වෙන  ප්‍රසාදයකින් ඔහු දෙස බලාගෙන හිටියා… ඔහු තවමත් තමන්ගේ තියුණු ඇස් පුංචි කරගෙන දියඹ දෙස නෙත් යොමාගෙන…

“ඔයා ජීවිතේ ගැන මොනවද දන්නේ…?”

ඒ ප්‍රශ්ණය මගෙන්…

ඔහු ටික වෙලාවක් නිහඬව ක්ශිතිජය දිහා බලාගෙන හිටියේ හරියට මගේ ප්‍රශ්ණය නෑහුණා වාගෙයි… ඒත් ඉන් ටික වෙලාවකට පස්සේ මට පිළිතුරු දෙනවා වෙනුවට , ඔහු මගෙන් නැවතත් ප්‍රශ්ණයක් ඇහුවා…

“ඔයා මොනවද ජීවිතේ ගැන දන්නේ...?”

“ගොඩක් දේවල් දන්නවා…”

“ගොඩක් කියන්නේ? කොච්චරක් විතරද?”

“ගොඩක් කියන්නේ හරි ගොඩක්… ඒත් ඔයා මට වැඩිය දේවල් ජීවිතේ  ගැන දන්නවා ඇති..?”

මම එහෙම කිව්වේ ඔහුගේ වයස ගැන හිතලා…

“මම එහෙම ගොඩක් දන්නේ නෑ…”

“ගොඩක් දන්නේ නෑ..?”

“නෑ…. හරියටම කිව්වොත් මම දන්නේ දේවල් දෙකයි…”

“දෙකයි…????”

මට පුදුම හිතුණා… මෙච්චර වයසට ගිය මනුස්සයෙක්… දන්නේ දේවල් දෙකයි කියන්නේ…

“ඔව් දෙකෝම දෙකයි…”

“මොනවද ඒ දෙක..?”

“මම දන්නවා ජීවත් වෙනකොට ජීවත් වෙන්න ඕනේ විදිය… ඒක එකක්… දෙවනි එක තමයි මම දන්නවා කවදාහරි මැරෙනෙකොට මැරෙන්න ඕනේ විදිය… එච්චරයි…”

“හරි අපූරුයිනේ… මම එහෙම දෙයක් දැනගෙන හිටියේ නෑ…”

“දැනගෙන හිටියේ නෑ නෙමෙයි… දන්න බව දැනගෙන හිටියේ නෑ…. එහෙම නේද..?”

“ඔව්… හරියට හරි…”

ඔහු සමඟ ගතකරන හැම මොහොතක්ම අලුත් අත්දැකීමක්… හරියට ලස්සන පොතක් කියවනවා වාගෙයි මට හිතුණා… දිගින් දිගටම කතාකරමින් ඉන්න ආසා වුණත් මොකද්දෝ නොපෙනෙන බලවේගයකින් මට පිටත් වෙන්න විධානය කරනවා වාගෙයි මට දැනුනේ… මම ඒ විධානයට අවනත වුණා…

“මම දැන් යන්න ඕනේ…”

මම කිව්වේ අඩියේ ටිකක් පිරුණු අර අමෘතය වගේ බීම කෝප්පය ඔහුට ආපහු දෙන ගමන්…

“හොඳයි…නවතිනකල් යන්න…”

මේ අපූරු මනුස්සයව මට නැවත හමුවෙන එකක් නැද්ද? මම හිතුවා… ගතවුණු සුළු කාලය අපිව සමීප කලේ හරි පුදුම විදියට… එකිනෙකා ගැන පුද්ගලික දේවල් දන්නේ නැති වුණත් අපි ගොඩක් දේ කතාකරලා තිබුණා… ජීවිතය වගේ සංකීර්ණ දේවල් පවා… ඔහු ජීවත් වුණේ අසාමාන්‍ය සතුටකින්… හරියට දුක කියා දෙයක් අහලාවත් නෑ වාගෙයි… සමුගන්න පෙර මම අවසන් ප්‍රශ්ණය ඔහුගෙන් ඇසුවා…

“යන්න කලින් මට එක දෙයක් කියන්වද..?”

“මොකද්ද…?”

“ඔයා කොහොමද ඔච්චර සතුටින් ඉන්නේ..?”

මම එහෙම ඇහුවම ඔහුගේ මුවඟ නිරන්තයෙන්ම නැගී තිබු සිනහව තවත් ඔප වැටුනා…

“ඒක හරි සිම්පල්… මම දුකින් ඉන්නේ නෑ…”

“මොනවා…?”

“ඔව් සතුටින් ඉන්න රහස ඒකයි… දුකින් ඉන්නේ නෑ…”

“ඒත්… එහෙම කරන්න පුළුවන්ද..?”

“ඇයි බැරි…? මීට කලින් කරලා බලලා තියෙනවද..?”

“නැහැ…”

“එහෙනං මං කියනවට කරලා බලන්න… මතකනේ… දුකින් ඉන්න එපා… හැම මොහොතක්ම සතුටින් හිනාවෙලා ඉන්න…”

ඔහු හිනාවෙන්ම මට සමුදුන්නා… හිටිහැටියෙම අර මීදුම ආයෙත් පරිසරය පුරාවට අරක්ගෙන… ඉදිරිය පැහැදිලි නැතත් මම පිටත් වෙන්න තීරණය කලා… ඔහු මට කෑගහලා කතාකලේ මම ටික දුරක් ඉදිරියට ගියායින් අනතුරුවයි…

“බීටලේ…!”

සාමාන්‍යෙන් මට එහෙම කතා කරන්න පුරුදුවෙලා හිටියේ මගේ හොඳම යාලුවෝ… මම ගැස්සිලා ඔහු දිහා හැරිලා බැලුවා…

“බලාගෙන යන්න… ඊළඟ වංගුවේ චාරුලතා..!… හෙහ් හෙහ්…”

එහෙම කියපු ඔහු මහ හඩින් හිනාවුනා…

කිහිප වතාවක් අහලා තිබුණු ඒ වාක්‍ය මට ආගන්තුක නැහැ… මීට කලින් ඔහොම කියනවා මට ඇහිලා තිබුණේ එක්කෙනයි…  ඒක අහපු ගමන් මට බකස් ගාලා හිනා ගියා… ඉතින්  අපි දෙන්නම නොනවත්වා හිනාවෙන්න ගත්තා… ඇස්වලින් කඳුලු එනකල්…

ඒ හිනාව අතරින්ම තමන් බොමින් හිටි කෝප්ප්ය ඔසවා ඔහු මට සමුදුන්නේ හරියට චියර්ස් කියන්නා වාගේයි…

“චියර්ස්…”

මගේ කටින් එහෙම පිට නොවුණේ උගුරේ මොනවා හෝ හිරවී ඇත්තාක් මෙන් දැනුන නිසයි… මම කොට්ටය ඇඳවිට්ටමට තබා ඉහළට එසවුණා… ඔහුවත් ඒ පරිසරයවත් තවත් මා අවට තිබුණේ නැහැ… නමුත් එක දෙයක් ඉතා පැහැදිලිව මගේ දෙසවන් පුරා දෝංකාරය දෙමින් තිබුණා…

“මතකනේ… දුකින් ඉන්න එපා… හැම මොහොතක්ම සතුටින් හිනාවෙලා ඉන්න…”

මතකයි… කවදාවත් අමතක වෙන එකකුත් නෑ… මම මටම කියාගත්තා…

පිංතූරය : http://tinyurl.com/bt8k7zp

Saturday, March 17, 2012

50. වැරදිකරුවන් නැති අපරාධ



“කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?”

අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ…  නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන සිතේ ඇඳි ඇති මං සළකුණු ඔස්සේ කළුවරේම ඕවිට දෙසට  පිම්මේ දිවයමි…

“හැමදාම හොඳින් කිව්වා හැදෙන පාටක් නෑ… නාකි පරයා තෝ අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ…”

ඕවිටට ලංවෙන විට මාගේ වේගය බාල වෙද්දී ඉන් ඔබ්බෙහි වූ කෙසෙල් පඳුරු අසල කඩුවක් ලෙලවමින් කෑගසන රුව සෝමේ මාමාගේ බව මා හඳුනාගන්නේ ඔහුගේ කටහඬිනි… ඔහු නාකි පරයා යැයි ඇමතුවේ අන් කවරෙකුත් නොව ඕවිටේ පැල් කොටයක් අටවාගෙන සිටින අසූ වියට වැඩි මිස අඩු නොවූ තේමිස් සීයාට බව වටහා ගැනීමටද මට අපහසුවක් නොවේ… සෝමේ මාමාගේ ඉඩම මායිමේ ඇති මේ ඕවිටට අනවසරයෙන් පැමිනි තේමිස් සීයා පැලක් අටවා ගත්තේ කෙදිනදැයි මා නොදනිමි… ඔහු අනවසරයෙන් සිටිනවායැයි මා දන්නේත් සෝමේ මාමා බොහෝ වාරයක් එසේ තාත්තා සමග පවසනු මා අසා ඇති නිසාවෙනි… හරිහමන් මායිමක් නැති සෝමේ මාමාගේ ඉඩම් කට්ටිය දෙසට වන්නට තේමිස් සීයා කෙසෙල් පඳුරු ඉන්දවන බවටත්, දිගින් දිගටම කෙරුනු අවවාද ටිකෙන් ටික නොහොඳ නෝක්කාඩු වලටද ඉන් ඉක්බිති රණ්ඩු සරුවල් වලට පෙරලුනු අයුරුත් ඔබ්බෙහි ජීවත් වූ අපට රහසක් නොවීය…

කෙසෙල් පඳුරු කීපයක්ම කැති ගෑ සෝමේ මාමා මීළඟ පඳුර දෙසට හැරුණා පමණි… පැල කොටයෙන් මතුවූ තේමිස් සීයා ඒ දෙසට ගෑටුවේ අත රැඳි මන්නයක්ද සමඟිනි… කෙසෙල් පඳුරු කැති ගාමින් සිටි සෝමේ මමා ඔහුව නොදැක්කෙන් පිටිපසින් පැමිණි තේමිස් සීයා සෝමේ මාමාට මන්නෙන් කෙටීය… වෙනකෙකුගේ නම් දිවි තොර කිරීමට තරම් මන්නය ප්‍රමාණවත් වුවත්, අබල දුබල තේමිස් සීයාට සෝමේ මාමාට මරණිය තුවාලයක් සිදුකිරීමට තරම් වාරුවක් තිබුණේ නැති… තම පිට දෙසින් දැනුනු සංවේදනයෙන් හැරී බැලූ සෝමේ මාමාට තේමිස් සීයා තමාට පහර දෙන්නට පැමිණි වග වටහා ගන්නට ඇතැයි සිතමි…

“මුගේ අම්මට හැමිනෙන්ඩ…. යකෝ… **********”

කටින් කුණුහරුප වැලක් ඇදබෑ ඔහු කඩුවේ පැතලි පැත්තෙන් තේමිස් සීයාගේ පිට මැද්දෑවට දෙකකුත් ඉන් ඉක්බිති අත රැඳි මන්නය විසිවී වැලි පොලවේ හතර ගාතයෙන් පතබෑවෙන සේ වයසක උන්දෑගේ තට්ටම හරහා පා පහරක්ද එල්ල කලෙන් මට අනේ අපොයි කියැවිණි… ඔහුව බේරා ගැනීම්ට කොර අනිමින් පැමිණි තේමිස් ආච්චිට එල්ල කල අනෙත් පා පහරින් උන්දෑද කෙහෙල් ගහක් කපා දැමුවාක් සේ ඇද වැටුනේ මුවින් කිසිඳු හඩක් නොනගමිනි…

මා මෙන්ම කලබලය ඇසී ඒ දෙසට දිවවිත් අඳුරේ සිට මේ සිදුවීම් පෙල  නරඹමින් සිටි ගම්මු අතරෙහි වූ ගමේ ගස් කපන්නෙකු වන ගොත උපාලිට මෙය තවත් බලා ඉන්නට නොහැකි නිසාදෝ ගස් කපන අත්පොරවද රැගෙන ඉදිරියට පැන්නේ මේ අතරේයි…

“නා…. නා… නා… නාකින්ට ගහන්නේ යකෝ… ගහපියකෝ අපි වගේ එකෙකුට…”

තේමිස් සීයාගේ අතේ වරදක් ඇති බව දන්නා නිසාදෝ උපාලි තේමිස් සීයාගේ පැත්තට කතා නොකර ගොත ගසමින් එසේ පැවසීය… ඉදිරියට පැමිනි ගොත උපාලි දෙස මද වේලාවක් බලා සිටි සෝමේ මාමා පිළිතුරු දුන්නේ ඔහුට නොව ඉන් මදක් පිටුපසට වී සිටි තවත් ගැමියෙකු වූ ගොත උපාලිගේ වැඩිමල් සොහොයුරාටයි…

“තොට මෙතන කතාවක් නෑ… සුනිල් අයියේ මාව නරක මිනිහා නොකර මූව මෙතනින් අරන් පලයන්…”

“උඹ මෙන්න මෙහෙ වරෙන් යන්ඩ…” සුනිල් මාමා උපාලි අතින් පොරවා උදුරා ගත්තේ එසේ කියමිනි…

“න්…නැ… නැ… නැ… නෑ මං මේ… මේ… කිව්වේ……” ඔහු මොන මොනවාදෝ කියවද්දී සුනිල් මාමා ඔහුව වදෙන් පොරෙන් වත්තන් කරගෙන ඔවුන්ගේ නිවස දෙසට රැගෙන යන්නට වීය…

මින් තවත් පන්නරය ලද සෝමේ මාමා ඉන් ඉක්බිති කෙසෙල් පඬරැල් එකතු කරන්නට වූයේ තේමිස් සීයාවත් දමා ඔවුන්ගේ පැල් කොටයට ගිනි තියනා බව පවසමිනි… තවත් මෙය බලා ඉන්නට බැරි වු මා කලුවරේම දුවන්නට වූයේ මෙවැනි දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්නට හැකි අයෙකු වන මිල්රෝයි අයියා සොයාගෙනයි… බැහැරක ගොස් සිටි  ඔහුද කැඳවාගෙන නැවත පැමිණෙන විට රණ්ඩුව හමාර වූ තිබුණු අතර තේමිස් සීයාව දමා ගෙය ගිනිතියනවා යැයි පැවසූ සෝමේ මාමා එලිමහනේ තිබූ තේමිස් සීයාගේ වැසිකිලියට පමණක් ගිනි තබා තිබුණි… කිසිවෙකු අසල තිබූ ලොරියක දමාගෙන වයසක් තේමිස් යුවල ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට රැගෙන ගොස් තිබූ අතර සෝමේ මාමා පැමිණිල්ලක් කිරීමට රාත්‍රියේම පොලීසියට ගොස් තිබිණි…

“මේ මිනිස්සුන්ගේ කක්කුස්සිය හදන්න කියලා මම කිව්වා කියලා බොලාගේ මහ එකාට කියාපන්… නැත්තම් මං නරක මිනිහා කියන්ඩෙපා…”

සෝමේ මාමා නැති නිසා ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් සත්තමක් දැමූ මිල්රෝයි  අයියා යන්නට ගියේය…

නැවත් නිවසට පැමිණෙන සෝමේ මාමා මිල්රෝයි අයියාගේ තර්ජනය අසා කිපෙන්නේ දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙනි…

“මූ හරක් හොරා… එනවා මට සාධාරණේ උගන්නන්න…”

සිදුවීමේ තතු දැනගැනීමට තේමිස් සීයාගේ නිවසටද ඉන් අනතුරුව සෝමේ මාමාගේ නිවසට රැස්වෙන වැඩිහිටියනට සෝමේ මාමා පැහැදිලි කරයි… මිල්රෝයි අයියා හරක් හොරකම් වලට සම්බන්ධ පොලීතිසියෙකුට ලග හුන් කාලයේ එම දුරාචාර වලට සම්බන්ඳව සිටි බව ගමේ සියල්ලන්ට රහසක් නොවේ…

“රටේ නැති දහහුරා වැඩ හැම එකම කරන්නේ ඕකා… මගේ ආනමාලු කැන කපපු එකත් ඕකගේ වැඩක්ද කියලා මට සැකයි…”

එකෙකු තම අදහසත් එක්කරද්දී තවකෙකු ඊට හූමිටි තබයි

“කොලඹ පාතාලේ හිටි එකෙක්ලු… එහේ මරන්ඩ එලවද්දී තමයි මෙහෙට වහං වෙලා තියෙන්නේ…”

“කිරි වැස්සියෝ ලොරි වලට දාගන්නවලු පැටියත් එක්ක… පැටියා සුප් වලටලු… නොදකින් ඔවුන්ට යන්ඩ අපායවල් වෙනම හදන්ඩ වෙනවා…”

“ආගමේ එවුන්නේ… සත්තු ගැන හිතේ තෙතමනයක් නෑ ඔවුන්ට…”

සෝමේ මමා පවසන්නේ පිට අත ගාමිනි…

“ඒක නෙමේ… අරුන්දැලව අරගෙන ගිය ලොරිය ආපහු ආවද…?”

ගමේ නිකමෙකු වූ සාමෙලා අසද්දී කිසිවෙකු ඔහුට උත්තර දෙන්නට නොයයි…

“හෙට අනිද්දා වලපල්ලට යන්ඩ ඉන්න නාකියා වෙච්චි…හොරෙන් රිංගපු ඉඩමේ මැරෙනකල්ඉන්නේ නැතුව… මගෙ බිම්අඟලටත් කෙලින්න තේමිසා හැදුවේ…”

සෝමේ මාමා එකම කතාව නැවතත් කියයි…

“ඒකනේ කියන්නේ…”

“සෝමේ මල්ලියේ නරකද උඹත් හෙට දිහාටවත් වෙද මහත්තයටවත් ඔය පිට කොන්ද පෙන්නුවොත්…?”

අබරන් සීයා පවසන්නේ කහට කෝප්පය පසෙකින් තබා බුලත් වට්ටියට නැඹුරු වෙමිනි…

“ඒකනම් බැරියෑ… මම මේ හෙට ලියැදි කෑලි තුනේ ගොයම් ටික කපන්න හිටියේ කාව හරි අල්ලගෙන… ඒක කරගන්න්ඩ තිබුණා මේ අවලමා මන්නෙන් පත නොබෑවනම්…අම්මේ…!”

සෝමේ මමාගේ කෙඳිරිය වැඩිවේ…

“ආ ඒකනම් ඔය මේ කොල්ලෝ දෙතුන් දෙනා අඬ ගහගෙන අපිට හරි කරලා දාන්න බැරියෑ… කෝකටත් හෙට මිල්රෝයියා උගේ හයිය පෙන්නන්ඩ එයිද බලන්ඩත් එක්ක අපි මේ අවටම ඉමූ…”

“අනේ එහනම් අබරන් අයියේ ඔය රත්නේලා, ලලිත්ලා එකතු කරගෙන උඹ හෙට උදැහැනැක්කෙ ඇවිත් යන්ඩ එනවද… හතර පස් දෙනෙක් හිටියනම් වරුවක වැඩේ…”

සෝමේ මාමා පවසන්නේ පිල උඩ වාඩිවී අහසේ තරු ගණින රත්නේ දෙසද බලමිනි…

“අපෝ අපි එඥ්ඥං… නේද රත්නේ…?”

“හ්ම්…”

අබරන් සීයා පවසද්දී රත්නේ හූමිටි තබයි…

~~~~ නිමි ~~~~


ප.ලි. : මීට වසර ගනනකට පෙර අගනුවරින් ඉතා ඈත නොවූ එහෙත් පිටිසර ගමක වූ මේ සිදුවීම, හුදකලා ගමක තවත් හුදකලා සිදුවීමක් පමණකි… ජිනීවා සංගම් යුඬ අපරාද අරවා මේවා ගාව ගන්නවා හෙම නෙමෙයි…

චැට් එකෙන් ලැබුණු ඉල්ලීමක් මත කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා මෙයද පසුව එක්කරන්නට සිත්විය... සෝමේ මාමා හා ලංකා ආණ්ඩුව අතර කිසිදු සම්බන්ධයක් නොවේ... තේමිස් සීයා හා ද්‍රවිඩ ජනතාව අතරද එසේමැයි... සුනිල් මාමා චීනයේ පස් පාගා නොමැති අතර, ගොත උපාලි  ඉන්දියාව කලුද සුදුද කියාවත් නොදනී... මිල්රෝයි අයියා යූ.එන්. එකක් හීනෙන්වත් දැක නැති අතර අබරන් සීයා නම් වීරවංශ කියන නම යන්තම් අසා ඇතුවා වන්නට පුළුවන... රත්නේ යනු මහජනතාවෙන් එකෙක් යැයි ඌවත් දන්නවාදැයි සැක සහිතය...

ප.ප.ලී. : යන්තම් පෝස්ට් පනහයි… පනස් වෙනි පෝස්ට් එකට නිවාඩුව මොනවා හරි හොඳට ලියන්ඩ හිටියේ… මූණුපොතේ ෂෙයාර් වුණු මේ පොටෝ  එක දැකලා රෑ හදිසියෙම මේක ලියවුණා… පෝස්ට් පණහක් පුරා දුක සැප බෙදාගත් හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!
Web Statistics