නාසාහි උපදේශක කවුන්සලයේ ප්‍රධානියා වන ආචාර්ය ස්ටීවන් ඩබ්. ස්ක්වයිරස් මහතා පසුගිය සෙනසුරාදා දිනයේ හිමිදිරියේම සූදානම් වෙමින් සිටියේ තම ලබැඳි මිතුරා නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතාගේ අවමංගල්‍ය උත්සවය සම්බන්ධ කාරණාවක් සඳහා පිටත්ව යෑමේ අදහසින්… මේ අතරේ නිතිඥ සමාගමකින් ඔහුට ලැබෙන විද්‍යුත් පණිවුඩයකින් කියවෙන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් ඔහුගේ මරණයෙන් පසු ස්ක්වයිරස් මහතාට ලබාදිය යුතුයැයි පවසමින් ඔවුන් වෙත ලිපියක් බාරදී ඇති බවයි… පසුව ඔවුන්ගේ කාර්යාලයෙන් ස්ක්වයිරස් මහතා අදාල ලිපිය ලබාගන්නා අතර එහි සඳහන් වන්නේ නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා විසින් තමාට අයිති රහස් සේප්පුවක සඟවා ඇති බ්‍රීෆ්කේසයක් පිළිබඳවයි… [සම්පූර්ණ කොටස කියවන්න මෙතැනින්…]
රියදුරා විසින් තම ජී. පී. එස්. තිරයේ සටහන් කල ගමනාන්තය වන බෑන්ක් ඔෆ් ඇමෙරිකා ශාඛාව කරා නිල රථය ඉගිලෙන අතරේ මෙතෙක් වූ සිදුවීම් සියල්ල මා ඉවසිල්ලෙන් සමාලෝචනය කරන්නට පටන්ගත්තා… රාජකාරීමය පීඩනය යනු මාගේ වෘත්තීය දිවියට කිසිසේත්ම නුපුරුදු දෙයක් නොවෙයි… නමුත් මෙවර..??
“මානව සංහතියේම විශාලතම රහස මෙයයි… සමහරවිට එය විශ්වයේම විශාලතම රහස වන්නටද පුළුවන්…”
නීල්ගේ වදන් මා හදවතේ රැව් පිලිරැව් දුන්නා… සැලසුමකට වැඩ කිරීම කුඩා කල පටන්ම මා පුරුදු වූ දෙයක්… මෙතරම් භාරදූර කාර්යයකට මා නිවැරදි සැලසුමක් සහිතවද මේ අතගසන්නේ..? අවදානම කෙතරම්ද…? බැකප් ප්ලෑන් මොනවාද..? නාසාහි ප්‍රධාන විධායක ලෙස ඇමෙරිකන් ධජයට වගකියන්නට මා දිවි හිමියෙන් බැදී සිටිනවා නොවෙද..? වගකිවයුතු කිසිවෙකු දැනුවත් නොකර මේ තබන්නට යන පියවර කෙතරම් නිවැරදිද..? එක පිට එක මා සිත තුල නැගෙන මේ ගැටළු සියල්ල තව තවත් මා පෙළන්නට වුනා… මේ කිසිවකට පිළිතුරු මා සතුව තිබුණේ නැහැ…
මා දරනා වගකීම් තුල කුඩා හෝ වැරැද්දකට ඉඩක් නැති බව මා හොඳින් දන්නා දෙයක්… මේ ආකාරයෙන්ම නොවුනත් මෙවැනි සංවේදී අවස්ථාවන් කල්තබා අනුමාන කරගෙන එහිදී අනුගමන කළයුතු ක්‍රියා පටිපාටිය කුමක්ද යන්න අප බොහෝ වාරයක් පුහුණුවී තිබෙනවා… ඇමෙරිකානු රජයට මෙහි ඇති බලපෑමේ සංවේදීතාවය කිරා මැන බැලූ මා එය කෝඩ් රෙඩ් හෙවත් අතිශය සංවේදී කාරනාවක් බව තීරණය කලා… මෙවැනි අවස්ථාවක තම හිතුමතයට වැඩකිරීමෙන් විය හැකි හානිය කෙතරම්ද යන්න ගැන මා හට අමුතුවෙන් කියාදියුතු නැහැ… ඉතින් වගකිවයුතු සිවිල් පුරවැසියෙකු ලෙසත්… වෘත්තීය අත්දැකීම් වලින් පිරිපුන් ජේශ්ඨ රාජ්‍ය නිලධාරියෙකු ලෙසත් මා තීරණයක් ගත්තා… ප්‍රොටෝකෝල්ස් ෆලෝ කරපන් ස්ටීව්…
“රාජේශ්… මට බොන්න මොනවා හරි අවශ්‍යයි…”
මා එසේ පවසනුයේ කාර්යාලයට යනතුරු පමා විය නොහැකි සංවේදී දුරකථන ඇමතුමක් ලබාගන්නට අවශ්‍යය වූ විටෙක බව ඔහු දන්නවා… නුදුරක වූ ඉන්ධනපිරවුම් හලකට රථය ඇතුළුකල ඔහු එන්ජිම ධාවනය වෙන්නට ඉඩහැර අසල පිහිටි අවන්හල වෙත පියනැඟුවේ එය වටහාගත් පරිද්දෙන්…
ජනපති සම්බන්ධීකරන අංශයේ නාසා ආයතනය භාරව සිටින නියෝජිතවරිය මොහොතකින් මා සම්බන්ධ කරගත්තා…
“ග්‍රේස්… මගේ ප්‍රියාවියේ ඔයා හොඳින්ද…?”
“චාටු කතා වෙන දවසකට ඉතිරිකරගන්න ආචාර්යතුමා… ජනාධිපතිතුමා උදේ අහාරයට කලින් පිළිතුරුදෙන අන්තිම දුරකථන ඇමතුම මේ දැන් අවසන් උනා…”
“කොච්චර අවාසනාවක්ද..? ඒ කියන්නේ කෝටි ගානක් මිනිස්සු මරලා දාන්නද ග්‍රේස් ඔබ හදන්නේ..?”
“මිනිස්සු හරි වැඩියි මේ ලෝකේ කොහොමත්… ඉතින් ඒක හොදයි… එහෙම නේද..?”
“හහ්… හා… මට ඔහුව දෙන්න පුළුවන් වෙලාව කියන්න එහෙනම්…”
“ම්ම්ම්.. ඉන්න බලමු… පෙරවරු හතයි පනස් පහේ සිට අටයි විස්ස දක්වා කොලරාඩෝ රැළියකට යන අතරවාරයේ අපිට විනාඩි විසිපහක් තිබෙනවා… ඇමතුම් හතරක් දැනට පෝලිමේ… ඔබට පස්වෙනි ඇමතුම දෙන්න හැකියි, නමුත් ස්ටේටස් එකනම් එන්නේ ඕවර් බුක්ඩ්…“
“ආචාර්ය ස්ක්වයිරස්ට කවදාවත් ජනාධිපතිතුමාව ඕවර් බුක්ඩ් වෙන්න විදියක් නැහැනේ ග්‍රේස්...?”
“එහෙනම් ජනපතිතුමාගේ උදෑසන කෑමවේලට බාධාකරන්න තරම් මම නිර්භීත වෙන්නේ ඕනේ ඇයි කියලා ඉස්සෙල්ලාම මට තහවුරු කරන්න ආචාර්යතුමා…”
“මේ මියගිය නීල් ආම්ස්ට්‍රෝන්ග් මහතා සම්බන්ධයෙන්… කෝඩ් රෙඩ්…”
“ඔහොම රැඳී ඉන්න ආචාර්යතුමා…”
“අයි ලව් යූ…”
“ස්තූතියි… ඔබ අද උදෑසන සිට මට ආදරය ප්‍රකාශකල විසිවෙනියා… රැඳී ඉන්න…”
ඇයගේ උත්සාහය සාර්ථකවනු ඇතිදැයි සැකයෙන් මා ගතකල ඒ මිනිත්තු කිහිපය මට දැනුනේ පැයක් මෙන්…
“ගරු ජනපතිතුමා සම්බන්ධ වීමට නියමිතයි… ” සුපුරුදු ස්වයංක්‍රීය පණිවුඩය ගලා ආවේ මා බලාපොරොත්තු ඉටුකරමින්… මෙම පණිවුඩයෙන් පසු ඔහුව සම්බන්ධ නොවීමට ඇත්තේ සියයට පණහකට වඩා අඩු සම්භාවිතාවක් බව අප අතර ප්‍රකට තියරියක්…
“මේ අතේ හදපුවද..? ස්ටීවන් කියන්න… අයිස් එපා…”
සුළු වේලාවකට පසු ඇමතුම සම්බන්ධ වූයෙන් ජනපතිතුමා මට සවන්දෙමින් සිටිනා බව ආයාසයකින් තේරුම් ගත් මා කෙසේ හෝ මට හැකිතරම් පැහැදිලිවත් කෙටියෙනුත් ඔහුට උදෑසන සිට සිදුවූ සියල්ල පවසා සිටියා… සාවධානව සියල්ල අසා සිටි ජනපතිතුමා මට බාධා කලේ වරක් හෝ දෙවරක් පමණයි… අනතුරුව ඔහු කතාකරන්නට වුනා…
“ස්ටීව් ඔබ දැන් එතැනට යන්න… සාමාන්‍ය විදියට එය ලබාගන්න… නමුත් විවෘත කරන්නට එපා… ඔබට නැවත පැමිනෙන්නට පහසුකම් සහ ආරක්ශාව සපයන්න මම ආරක්ශක ලේකම්තුමාට දැන්ම කියන්නම්… පෙන්ටගනයට පැමිණ ඔබ එය ආරක්ශක ලේකම්තුමාට භාර දෙන්න… දැනට එපමණයි… ඔබට ස්තූතියි… ගුඩ් ලක්…”
“ස්තූතියි ජනපතිතුමා…”
ඇමතුම හමාරකල මට දැනුනේ ලොකු සැහැල්ලුවක්… සියල්ල දැන් වඩාත් සංවිධානාත්මකයි… මාගේ ඇමතුමෙන් පසු නැවත වාහනයට පැමිණි රියදුරු ලබාදුන් සීතල වතුර බෝතලය විවෘත නොකරම ශීතකරණයට දැමූ මා ඉදිරි පියවර කිහිපය සැලසුම් කරන්නට පටන්ගත්තා… මේ අතරේ සෙක්ඩෙෆ් හි ප්‍රධානී ලියොන් පුද්ගලිකවම මා අමතා පෙන්ටගන් වෙත යෑමට අවශ්‍ය පහසුකම් පැය භාගයක් ඇතුළත සැපයෙන බව තහවුරු කලෙන් සැනසුම් සුසුමක් හෙලූ මා මින්පසුව නැවතත් සිතන්නට පටන් ගත්තේ මෙම බ්‍රීෆ්කේසයේ ඇති වටිනා රහස කුමක්ද යන්නයි… මා මිතුරා නීල් ඒ අද්විතීය පා සලකුණ තබනායුරු එවකට වසර දහතුනක කොලුගැටයෙව සිටි මා රූපවාහිනියෙන් ආශාවෙන් නැරඹූ අයුරු මට සිහිවූවා… එයින් වසර ගණනාවකට පසුව එදාසිට අද දක්වාම සුරැකුනු මේ රහසේ භාරකාරයා වීමට මටම සිදුවීමම කෙතරම් නම් පුදුමක්ද..?
සැබවින්ම එදා සඳමතදී සිදුවූයේ කුමක්ද? මාහට සිහිවූයේ එහිදී සිදුවූවා යැයි පැවසුනු එක් සුවිශේෂ සිදුවීමක්… පසුකාලීනව සමහරක් මාධ්‍ය මඟින් මේ ගැන කතාකරන්නට උත්සාහාකලත් අප ආයතනය මඟින් ඒවා හුදෙක් කටකතා පමණක් බව පවසා සිටියෙන් ඒ සඳහා ලැබුනේ උදාසීන ප්‍රතිචාරයක්… ඉතින් චිත්‍රපටයකදී හෝ ප්‍රබන්ධ කතාවකදී ඉදහිට සඳහන් වනවා හැරෙන්නට මේ සිදුවීම සම්බන්ධයෙන් මෙතෙක් විමසීමක් ඇතිවූයේ නැහැ… මේ සුවිශේෂී සිදුවීම නම් නීල් සඳමත පා තැබූ විගසින් ඔහු හා ඊගල් සඳ යානයත්, හූස්ටන් පාලක මැදිරියත් අතර මිනිත්තු 26ක රේඩියෝ බ්ලැකවුට් හෙවත් සබඳතා බිඳවැටීමක් සිදුවූ බවයි… මා මිතුරු බස් ඇල්ඩ්‍රින් ඊගල් යානයෙන් පීටවූයේ ඊටත් මිනිත්තු 19කට පසු සබඳතා සියල්ල යථා තත්වයට පැමිණි බව සැක හැර දැනගැනීමෙන් අනතුරුව බැවින් ඔහු යානයේ නතරවී සිටි මේ සම්පූර්ණ කාලය තුළ සඳ යානයෙන් එලියේ සිදුවූ යමක් ඇත්නම් එය දැනසිටියේ නීල් පමණයි… මේ සුළු කාලය අතරේ ඔහු සොයාගත් වටිනා රහසක් මෙසේ සඟවා තැබුවාද..? මා සිතන්නට වුනා…
ඒ සමඟම කවුළුවෙන් එලියේ මා දුටුවේ බෑන්ක් ඔෆ් ඇමෙරිකා ගොඩනැඟිල්ල… සියල්ල සිදුවෙමින් තිබුණේ ඉතා කඩිනමින්… මා අත පත්වනුයේ නීල්ට අනුව මානව සංහතියේ ලොකුම රහස වුවද බැංකු සේවකයන්ට එය තවත් පාර්සලයක් පමණයි… ස්වල්ප පමාවකින් අනතුරුව බැංකු සේවකයෙකු සමඟ මා සිටියේ අදාල සේප්පුව ඉදිරියේ… සේප්පුව විවෘත කිරීමට අදාල උපදෙස් දීමෙන් අනතුරුව ඔහුද නික්ම ගියෙන් ඉතිරි වූයේ මා පමණයි... වෙවුලන ඇඟිලි තුඩුවලින් යුක්තව නීල්ගේ ප්‍රියතම තරුවේ නම මා සෙමින් සේප්පුවේ යතුරු පුවරුව හරහා ඇතුළු කලා… දෙවෙනි උත්සාහයේදී ඇරුණු සේප්පුව ඇතුලෙන් මා දුටුවේ ඔහු පවසා තිබූ පරිදිම කළුපැහැ බ්‍රීෆ්කේසයක්… මා හුස්ම මොහොතකට නැවතුනා කීවොත් නිවැරදියි… සුරැකිව එය ඉවතට ගත් මම කලබලයක් නැතිවම සාමාන්‍ය පරිදි බැංකුවෙන් පිටවුනා…
බැංකුවේ ප්‍රධාන දොරටුව ඉදිරිපිටම නවතාගෙන සිටින කලුපැහැ කැඩිලැක් වර්ගයේ එස් යූ වී රථ තුන මා රැගෙන යෑමට පැමිණි සෙක්ඩෙෆ් නිලඬාරීන්ගේ බව විශ්වාස කල මා ඔවුන්ගේ මඟපෙන්වීම යටතේ මැද තිබූ වාහනයේ අසුන්ගත්තා… සාමාන්‍යයෙන් සිදුනොවෙන පරිදි පිටත දර්ශනද අපැහැදිලි වෙන තරම් අඳුරු කර ඇති වාහනයේ පැති වීදුරු වලින් ඉවත නැරඹූ මා හට වැටහුනේ අප පෙන්ටගන් බලා ගමන් කරමින් තිබූ බවයි… කිලෝමීටර පහක පමණ මේ ගමනට එතරම් වේලා ගත නොවන බව නිසැකයි… බ්‍රීෆ්කේස්ය සුරැකිව ඇතිබව නැවතත් තහවුරු කරගත් මාහට සියල්ල හොඳින් සිදුවීම පිළිබඳව තිබුණේ නොමඳ සතුටක්…
මේ වනවිට මා ගතකරමින් සිටියේ දිනයේ අසීරුම අවස්ථාව… බුද්ධිය පරයා නැගෙන හැගීම් පාලනය කරගන්නට මාහට මහත් උත්සාහයක් ගන්නට සිදුවුනා… මා ඇකයේ සුවසේ පසුවෙන්නේ වසර හතලිස් තුනක් පුරා මුළු ලෝකයෙන්ම සුරැකිව රැකි රහසක්… මානව සංහතියේම සුවිශේෂ රහස මේ යැයි නීල් පැවසුවේ මන්ද..? මෙය විශ්වයේම ලොකුම රහස වියහැකි බවටද ඔහු සැක පහල කර තිබුණා… එසේනම් ඔහු මෙතරම් කලක් මෙය සඟවාගෙන සිටියේ ඇයි..? මෙහි සැබැවින්ම ඇත්තේ කුමක්ද..? බ්‍රීෆ්කේසයේ යතුරු පුවරුවේ ඇති අංක කිහිපයක් සුසර කරනා පරක්කුවෙන් මේ සියල්ලට විසඳුම් ලබාගත හැකිබව මා දැන සිටියා… විවෘත නොකරම මෙය ලියොන්ට ලබාදුනහොත් සමහරවිටෙක දිවි ඇති තුරාවට මෙහි ඇති රහස මට දැනගැනීමට නොහැකිවෙන්නත් පිළිවන්… අනෙක නීල් ගෞරවනීය සිවිල් පුරවැසියෙක්… ඔහු මෙය රජයෙන් වසන් කිරීමට තීරණය කෙරුවේ ඇයි..? ඔහු මියයෑමෙන් පසුවත් එය දැනගතයුතු පුද්ගලයා බවට මා තෝරාගත්තේ ඇයි..? නිසැකවම ඒ මාගේ තනතුර නිසා නොව ඔහු හා මා අතර තිබූ මිත්‍ර සම්බන්ඬය නිසා බව මට වැටහෙන්නට වූවා…
ඉතින් මා මැදිව සිටියේ මහත් උභතෝකෝටික ගැටළුවකට… සුපිරිසිදු වෘත්තීය ජීවිතයක් හිමිව සිටි මා ජීවිතයේ පළමු වතාවට ඉතාමත්ම අසීරු සහ අවදානම් තීරණයක් ක්‍රියාත්මක කරන්නට පෙළඹුනා… ඒ ආරක්ශක ලේකම්තුමාට භාරදීමට ප්‍රථම බ්‍රීෆ්කේසයේ ඇත්තේ කුමක්දැයි පරීක්ශා කිරීම… වැඩි කාලයක් ඉතිරිව තිබුණේ නැහැ… මේ දැන්ම නොවේනම් ආයේ කවදාවත්ම නොවෙයි… ඉදිරිපස ඇති කළු ආවරණය නිසා රියදුරා මාහට නොපෙනුනත් ඔහුටත් එසේමදැයි මා දැන සිටියේ නැහැ…
“ගමනාන්තයට තව කොපමණ වෙලාවක් යනවාද..?”
මා සද්ද නඟා ඇසුවේ ඔහුට මා කරනා දේ පෙනෙනවාදැයි අදහසක් ලබාගන්නා අටියෙන්… ඔහුගෙන් පිළිතුරක් නොවූ තැන දෙවනිවරටද මා එකම ප්‍රශ්ණය ඇසූවද ලැබුණු පිළිතුර නිහඬතාවය පමණයි… අපහසුවෙන් ඉදිරිපස කවුළුවක් හැරගත් මා රියදුරු අසුන වෙත නෙත් යොමුකල විට දුටුවේ නෙත් අදහාගත නොහැකි දර්ශණයක්… එහි රියැදුරෙක් වූයේ නෑ… දුරස්ථ පාලකයකින් ධාවනය වනවා යැයි සිතිය හැකි මෙම වාහනයේ සිටි එකම මිනිසා මා පමණයි… මා හනික උත්සාහා කලේ අනෙක් වාහන දෙක කොහිදැයි බැලීමටයි… අඳුරු පැහැ වීදුරු අතරින් අපහසුවෙන් එලිය බැලූ මා දුටුවේ ඒවායේ හෝඩුවාවක්වත් සොයාගත නොහැකි බවයි… ඒ සමගම මා දැන් සිටින්නේ ආර්ලින්ග්ටන් බලා දිවෙන ජනාකීර්ණ කොන්ස්ටිටුෂන් ඇව්න්‍යු මාර්ගයේ නොවන බවටත් මේ අතහැර දමා ඇති පාළු ගුවන් යානා පථයක් වැනි ස්ථානයක් බවත් දුටු මාහට කොතැනක හෝ ලොකු වැරදීමක් සිදුවී ඇති බව පසක් වන්නට වුනා… වාහනය නැවතී තිබුණෙන් මා උත්සාහා කලේ බ්‍රීෆ්කේසයද රැගෙන ඉන් ඉවතට පැනගැනීමටයි… බලාපොරොත්තු වූ පරිදිම දොරවල් විවෘත නොවන පරිදි අගුලු වැටී තිබුණු අතර වෙඩි නොවදින වීදුරු කඩා දැමීමට මා උත්සාහයක්වත් ගත්තේ නැත්තේ එය නිශ්පල බව දන්නා නිසයි… තවත් සුළු මොහොතකින් මා වාඩිවී සිටි අසුන යටින් ඇසෙන්නට පටන්ගත් ශබ්ධය ස්වයංක්‍රීයව පණගැන්වුන නවීන කාලබෝම්බයක ටයිමරයේ හඬ බව හමුදා පුහුණුවීම් කිහිපයකටම සහභාගී වී සිටි මාහට හඳුනාගැනීමට අපහසු වූයේ නැහැ…
අපහසුවෙන් ආසනයේ කුෂන් ආවරනය ඉවත් කරගත් මා ආසනය යටට නැඹුරු වූයේ මාහට ජිවත් වීමට තවත් කොපමණ කාලයක් ඉතිරිව ඇතිදැයි අනුමාන කරගන්නා අටියෙන්… රතු පැහැ ඉලක්කම් සහිත ඩිජිටල් තිරයක අංක 008 සිට තත්පරයක් පාසා අවසන් ඉලක්කම අඩුවෙමින් තිබෙනා අයුරු දුටු මාගේ තොල කට වියලී ගියා…
හදිසියේම මට සිහිවූයේ මොහොතකින් මා සමඟම විනාශ වී යන්නට නියමිත බ්‍රීෆ්කේසයේ රැඳි රහසයි… කලබලයෙන් ඒ අසලට දනගා ගිය මා කඩිනමින් රහස් අංකය ඇතුළු කරන්නට වුනා… අංක තුනක් ඇතුළු කලයුතු යතුරු පුවරුවේ දෙවනි අංකය ඇතුළු කර හමාර වනවිටම මා දුටුවේ අසුන යට වූ ඩිජිටල් පුවරුව 000 ලෙස තෙවරක් නිවී දැල්වෙන අයුරු…