අලුයම මා අවදිකරමින් නාදවෙන දුරකථනය පවසන කරුණු දෙකකි... එක්කෝ මේ ලංකාවෙන් හදිසි ඇමතුමකි... නැතිනම් කාල වෙනස ගැන අවබෝධයක් ඇති මාහට නිතර අමතන සමීපතමයෙකු නොවේ...
"මචං මම අමීර්..."
කාරණය දෙවැන්නයි...
"හලෝ මචං කොහොමද...?"
එකිනෙකාගේ සුවදුක් විචාරීමෙන් අනතුරුව ඌ තකහනියක් මා ඇමතූ උවමනාව හෙළිකරයි...
"මචං උඹට පුළුවන්නම් ලොකු උදව්වක්... මම සියපාරක් හිතලා වෙන කරන්න දෙයක් නැතිම තැන මේ කතාකළේ..."
ඌ ඉල්ලන්නේ සැලකිය යුතු මුදලකි... ඌ සිටිනා තත්වය අනුව එය නැවත මාහට නොලැබෙන බවද වටහා ගැනීම අපහසු නොවේ... මාසික ණයතුරුස් නම් පෙරණයෙන් පෙරා එන පඩිපතේ, අවසාන සතිය වනවිට මේ ගෙවෙන්නේ දුක්ඛදායකම පරිච්ඡේදයයි... එහෙත් මගේ නිදහසට කරුණු වලින් මේ අසීරු අවස්ථාවේ ඌට පිහිටක් නොවන වග මම දනිමි...
"උඹේ ෆුල් නේම් එකයි, අයි ඩී කාඩ් නම්බර් එකයි ටෙක්ස්ට් කරපන් මචං..."
"තැන්කෝ තැන්කෝ මචං... ලොකු උදව්වක්..."
සතුට දෝරේ ගලන උගේ මුහුණ මා සිතේ ඇඳගනිමි...
----------------------------------------------------------------
මේ සිදුවීමෙන් සතියකට පමණ පසු ගණනින් හතර දෙනෙකු වූ අප එක්තරා ප්‍රදර්ශනයක් නරඹන අතරතුරේ රාත්‍රී ආහාරය ලබාගැනීමට තැනක් සොයමින් සිටියෙමු... අධි සුඛෝපභෝගී හෝටල නියෝජනය කරමින්, තාවකාලිව ඉදිවුණු ප්‍රදර්ශන කුටි ඉදිරියේ දිස්වෙන ඉහළ මිලගණන් එහි ඇතුළුවීම ගැන දෙවරක් සිතන්නට බලකරයි... එහෙත් බඩගින්න ලොව ඇති ලොකුම ගින්නයි... එනිසා අප එහිවූ එක්තරා හෝටල ප්‍රදර්ශන කුටියකට ගොඩවැදුණු අතර ශ්‍රී ලාංකික සේවකයෙකු උනන්දුවෙන් අපේ ඕනෑ එපාකම් පිරිමැසීය...
අහර කිස අවසන මුදල් ගෙවීමට සැරසුණ විට ඔහු පැවසූ දෙයින් මම පුදුම වීමී...
"නෑ… නෑ...අවුලක් නෑ..."
“ඈ..?”
“අවුලක් නෑ…”
"ඇයි සල්ලි එපාද...?"
"පිස්සුද ලංකාවේ අයගෙන් සල්ලි ගන්නේ කොහොමද..."
මේ එපා කියන්නේද සැලකිය යුතු මුදලකි... ගණනින් මා අමීර්ට යැමූ මුදලට මඳක් අඩුවෙනි... ඔහු සැරසෙන්නේ තමා සේවය කරන ආයතනයට වංචා කර හෝ "ලංකාවේ උන්ට" හැකි විදියට සංග්‍රහ කිරීම විය යුතුයි ... ඒ හරි වැරැද්ද වටහා දෙමින් තර්ක විතර්ක කරන්නට සුදුසු වේලාවක් නොවේ... ඔහු අපි වෙනුවෙන් ඔට්ටු තියන්නේ ඔහුගේ රැකියාව විය හැකියි...
"තැන්ක් යූ මචං..."
දකුණත මිරිකද්දී මම ඔහුගේ කබායේ පැළදී ඇති නේම් ටැග් එක කියවමි... "රිෆාස්" කැපිටල් අකුරින් එහි සටහන් වී තිබේ...
අමීර්, අර ගාන රිෆාස් සෙට්ල් කලා මචං..!
ප.ලි. නම් ගම් මනංකල්පිතයි…