Saturday, May 14, 2011

25. සම්මුඛපරීක්ෂණයක් ගැන කෙටියෙන් | About an interview, In brief




දවසේ පැය විසිහතර මදිවුණ කාල පරිච්ඡේදයක් අවසානයේ අස්වැසිල්ලක් ලැබුණේ පුංචි පහේ නිවාඩුවකුත් එක්කමයි... අර මොකද්ද එකාට මොකද්ද එක වගේ ඉස්පාසුවක් ලැබුණ ගමන් ඇදිලා යන්නේ සිංහල බ්ලොග්ස්පියරයට... අවසන්වරට සිංහල බ්ලොග් අවකාශයේ මගේ මැදිහත්වීම විදියට ඇති සාක්ෂිය මීට දින ගණනාවකට කලින් ටයිප් කර අතරමඟ නතර කර පරිගණකයේ ටෙක්ස්ට් ෆයිල් එකක සේව් කර ඇති කමෙන්‍ටුවක්... ඒ මගේ ප්‍රියතම බ්ලොග් අඩවියක් වන මගේ ලෝකය ලියන රංගගේ IQ නැමති පෝස්ට් එකක් වෙනුවෙන්... දැන් එහි ඇල් මැරී ඇති නිසාත් සඳහන් කරන්නට කරුණු රාශියක් ඇතැයි හැඟුණු නිසාත් ඒ කමෙන්‍ටුව වැඩිදියුණු කර මගේ බ්ලොග් අඩවියේ පෝස්ට් එකක් ලෙස පළකරන්නට අදහස් කලා...

මම මීට පෙර සේවය කල ආයතනයේ මානව සම්පත් අංශයේ ප්‍රධානියා අදටත් මගේ හොඳ මිතුරෙක්...ඔහු මා හට සිදුකළ දීර්ඝ එහෙත් සිත්ගන්නා සුළු සම්මුඛ පරීක්ෂණය මට තවමත් මතකයි... එදින ඇරඹි මිත්‍රත්වය තහවුරු වුණේ මා එම ආයතනයට ‍තෝරාගැනීමෙන් අනතුරුවයි... සමහරක් දිනයක ඔහු විසින් පවත්වන සම්මුඛ පරීක්ෂණයකදී ඔහුට සහාය වීමට මා හට අවස්ථාව ලැබෙන්නේ තාක්ෂණික ඇගයීම සිදුකරන්නට ආයතනයෙන් යොදවා ඇති පුද්ගලයින්ගෙන් අයෙකු කිසියම් හේතුවක් නිසා සොයාගැනීමට ඔහුට නොහැකි වූ විටෙකදීයි...ඔහු විසින් ගෙනයන සම්මුඛපරීක්ෂණයකදී බොහෝ දුරට පරීක්ෂණයට ලක්වෙන්නාට එල්ල වේයැයි සැක සිතී හොඳින් පුහුණු වී පැමිණෙන ප්‍රශ්ණ ඔහු උවමනාවෙන්ම මඟහරින අයුරු මා නිරීක්ෂණය කළ දෙයක්... IQ වලදී එය විශේෂයි... අප බොහෝදෙනා පිළිතුරු හොඳින් දන්නා;

හොඳම මිතුරාත්, ආදරය පතන තරුණියත්, මහලු කාන්තාවත් යන අය බස් නැවතුමක ‍රැඳී සිටියදී  ‍රැගෙන යන්නේ කව්ද යන ගැටළුවත්,

උදෑසන දොළොස්වන තට්‍ටුවේ සිට බිම් මහලට විදුලි සෝපානයේ යන කාන්තාව, සවසට තවත් කිසිවෙකු සෝපානයේ ඇතිනම් පමණක් දොළොස්වන තට්‍ටුවට යන්නේත්, කිසිවෙකු නැතිනම් දහවෙනි තට්‍ටුවට ගොස් ඉතිරි තට්‍ටු දෙක පයින් යන්නේ ඇයිද යන ගැටළුවත්,

කිසියම් පුද්ගලයෙකු වැනිලා අයිස්ක්‍රීම් මිළදී ගැනීමට පැමිණි විට කාර්රථය පණගැන්වෙන්නෙත් චොකලට් අයිස්ක්‍රීම් මිළදීගත්විට එම රථයේම එන්ජිම ක්‍රියාවිරහිත වන්නේ ඇයිද යන ගැටළුවත්,

ඉදිරියෙන් ඇති මේසයේ හරි මැද පෙන්වන ලෙස අසන ගැටළුවත්,

දුම්රිය මාර්ග දෙකෙන් එකක ළමුන් දෙදෙනෙකුත්, අනෙකේ එක් ළමයෙකුත් ක්‍රීඩා කරන විටෙක ධාවනය වන දුම්රියක් කිනම් පාරට හැරවෙන ලෙස ලීවරය ඇදිය යුතුද යන ගැටළුවත්,

තම පියාගේ අවමඟුලට පැමිණි සුරූපී තරුණයෙකුට පෙම්බැඳි සොයුරියන් දෙදෙනාගෙන් කෙනෙකු ඉන් සති කිහිපයකට පසු අනෙක් සොයුරියව ඝාතනය කලේ ඇයිද යන ගැටළුවත්,

යනාදී මෙවැනි ජනප්‍රිය IQ ගැටළු කිසිවක් ඔහුගෙන් යොමුවෙනවා මා කිසිවිටෙකත් දැක නැහැ... එනමුත් නිවැරදි පිළිතුර නිශ්චිතවම මේ යැයි පැවසිය නොහැකි පිළිතුරු දෙන්නාගේ නිර්මාණශීලීත්වය විදහා දැක්වෙන ගැටළු අඩුම වශයෙන් එකක් හෝ ඔහුගේ දීර්ඝ ප්‍රශ්ණ මාලාවේ අඩංගු නොවන්නේ කලාතුරකින්...

"අපි හිතමු ඔබේ කණ්ඩායමේ සහෝදර සේවකයෙක් ඔබගේ බිරිඳ සමඟ අනියම් සම්බන්ධයක් පටන් ගත්තායැයි කියලා...ඔබ ඊට මුහුණ දෙන්නේ කොහොමද..?"

අප ඉදිරියේ සිටිනා තරුණ ‍රැකියා අපේක්ෂකයා කිසිවිට බලාපොරොත්තු නොවන එවැනි ප්‍රශ්ණයකට ගොඩනැගෙන පිළිතුර බොහෝවිට ඔහුගේ ‍රැකියා අවස්ථාව සුරක්ෂිත වීම හෝ නොවීම තීරණය කරන්නක් විය හැකියි...

තවත් විටෙක තරුණ අවිවාහක ‍රැකියා අපේක්ෂිකාවක් නිරුත්තර වන්නේ;

"අපි හිතමු හෙට උදේ ඔබට ඇති වෙයිද්‍ය පරීක්ෂණයකදී ඔබ ගැබ්ගෙන ඇති බව දැනගන්නවා...ඔබේ ප්‍රතිචාරය කුමක් විය හැකිද..?"

වැනි ගැටළුවක් ඉදිරියේ වන්නටත් පිළිවන්... තමා අවිවාහක බව අවස්ථානුකූලව අමතක කර;

"මම මගේ හස්බන්ඩ්ට කිස් එකක් දෙනවා..."

යන සරල පිළිතුර සිතට නැ‍ඟෙන්නේ දහයකින් එකකට පමණක් විය හැකියි...

‍කොටින්ම රැකියා අපේක්ෂකයෙකුගේ IQ මැන බලනවාට වඩා ඔහුගේ EI හෙවත් ඉමෝෂනල් ඉන්ටෙලිජන්ස් මැන බැලීම වඩා ප්‍රායෝගික බව මා ඔහුගෙන් උගත් පාඩම් වලින් එකක්...

********************

 මේ මීට වසර කිහිපයකට පෙර සිදුවීමක්... නිවාඩු වෙලාවක කල් මරන්නට ඔහුගේ කාමරයට රිංගූ මා දු‍ටුවේ ඔහු හිස අත් බදාගෙන බර කල්පනාවකට වැටී සිටින අයුරු...

"හෙඩ් ඔෆීස් එකේ මැනේජ්මන්ට් ට්‍රේනීස්ලාව රෙකෲට් කරන ප්‍රොජෙක්ට් එකක් මට එසයින් කලා... රෙකෲට්මන්ට් ටීම් එකක් හදාගන්න කට්ටිය නෑ... ඉන්න ටික දෙනාගෙත් බාගයක් විතර ඇනුවල් ලීව් යනවා... දවස් දෙක තුනකින් බුලට් වගේ තිස් දෙනෙක් රෙකෲට් කරන්නේ කරන්නේ කොහොමද කියලා කල්පනා කරන්නේ..."

ඔහු තම දුක් ගැනවිල්ල ඉදිරිපත් කලා... එදින හවස්වරුවේ නැවතත් මා ඔහු හමුවීමට යන්නේ දවස පුරාවට කල්පනා කිරීමෙන් අනතුරුව සිත පිළිසිඳගත් පුංචි අදහසක් හිතේ දරාගෙනයි...

"ගතවෙන කාලයනේ දැන් මෙතන තියෙන ප්‍රශ්ණේ... අපි කරමුද ටිකක් වෙනස් විදියක ඉන්ටවීව් එකක්..?"

මගේ අදහස විස්තර කරද්දී ඔහුගේ ඇස් දිලිසෙන්නේ අලුත් අත්හදාබැලීම් කිරීමට නිරතුරුවම ඔහු තුළ ඇති උනන්දුව මට නොකියා කියමින්...

රාජකාරී වේලාව හමාරවී තවත් පැය කිහිපයක් ගතවෙන්නට ඇති... මගේ අදහස ඔහුගේ වෘත්තීය දැනුමෙන් වඩාත් ඔප මට්ටම් වී ප්‍රායෝගික සැලසුමක් ලෙස සැකසෙන්නේ මේ කාලය අතරතුරදීයි...

ලංකාවේ ඇති අංක එකේ සමාගම් ජාලයක ‍රැකියාවක් අපේක්ෂිතව සිටින නවක උපාධිධාරී තරුණ තරුණියන් සියළු දෙනාටම පාහේ ඊළඟ දින කිහිපයේදී ලැබෙන සම්මුඛපරීක්ෂණයට කැඳවීමේ ඇමතුම ඔවුන් බලාපොරොත්තු වූවාට වඩා තරමක වෙනස් එකක්...

"ලබන ඉරිදා උදේ අටට වෝටර්ස් එජ් හෝටලයට එන්න... ඩ්‍රෙස් කෝඩ් එක කැෂුවල්... සටි‍ෆිකේට්ස්, ඩොකියුමන්ට්ස් මොකුත් ගේන්න අවශ්‍යය නෑ..."

මා විසින් මීට පෙර සහභාගී වී තිබූ ක්‍රියාකාරකමක් වැඩිදියුණු කිරීමෙන් අප සකසාගත් එදින ක්‍රියාත්මක කළ සම්මුඛ පරීක්ෂණයේ සාරාංශය මෙසේයි...

සහභාගීවූ ‍රැකියා අපේක්ෂිතයින් සියළුදෙනා කැඳවාගෙන යන්නේ හෝටලයේ  ගොල්ෆ් පිටිය අසල ඇති එළිමහනට... ඔවුන් සියළුදෙනාම එක් කණ්ඩායමකට විස්ස බැගින් සිටින සේ අහඹු ලෙස කණ්ඩායම් ගතකිරීමෙන් අනතුරුව සෑම කණ්ඩායමකටම ලැබෙන්නේ අඩි පහළොවක් පමණ වූ කඹ කැබලි දෙකක් සහ තවත් සිහින් ලණු කැරළි රාශියක්... එම එක් එක් කණ්ඩායම ඉදිරියේ ඇත්තේ අඩි දහයක් පමණ අරයක් ඇති පොළවේ ඇඳි වෘත්තයක කේන්ද්‍රයේ තබා ඇති වතුර පිරවූ ඇතුලත නොපෙනෙන බෝතලයක් කෙලින් සි‍ටුවා ඒ මත සමබර කරන ලද ටෙනිස් බෝලයක්...

"ඔබ කණ්ඩායම බෝම්බ නිශ්ක්‍රීය කණ්ඩායමක් යැයි උපකල්පනය කරන්න...සටහන් කර තිබෙන වෘත්තය මැද ඇත්තේ ක්‍රියාත්මක කරන ලද බෝම්බයක්... වෘත්තාකාර ප්‍රදේශය බෝම්බයේ ස්විචය සංවේදී ප්‍රදේශයයි... ඒ ප්‍රදේශයේ පොළව ස්පර්ෂ කලොත් බෝම්බයේ ස්විචය ක්‍රියාත්මක වී බෝම්බය පිපිරෙනවා... ඔබ කණ්ඩායම කල යුත්තේ කෙසේ හෝ පොළව ස්පර්ෂ නොකර බෝම්බය වෙත ළඟාවී බෝම්බය නිශ්ක්‍රීය කිරීමයි... බෝලය  බෝතලයයෙන් නොගිලිහෙන ලෙසින් පොළවෙන් ඉහලට එසවු සැනින් බෝම්බය නිශ්ක්‍රීය වෙනවා...ඔබට අප විසින් ලබා දී ඇති ලණු වලට අමතරව ඔබට අවශ්‍යය යැයි හැ‍ඟෙන නමුත් ඔබ විසින්ම සපයාගත යුතු ඕනෑම දෙයක් මේ සඳහා යොදා ගත හැකියි...ඔබ තනි තනිවම සහ කණ්ඩායමක් ලෙස මෙම ක්‍රියාකාරකමට සම්බන්ධ වෙන අයුරු අප ඉතා විමසිල්ලෙන් නිරීක්ෂණය කරනවා... ඒ මත ඔබගේ සම්මුඛපරීක්ෂණයේ ප්‍රථිපල තීරණය වේවි...ඔබට ලැබෙන කාලය පැය භාගයයි...කාලය මැනීම මේ දැන් ආරම්භ වෙනවා...සුභ පැතුම්...!"

මගේ මතකය නිවැරදි නම් කණ්ඩායම් හයකින් කණ්ඩායම් දෙකක් පමණක් සාර්ථකව අභියෝගය ජයගනිද්දී සහභාගීවූ සෑම කණ්ඩායමෙන්ම  කිහිප දෙනා බැගින් ‍තෝරා ගැනෙන්නේ අප සැලසුම් කලාටත් වඩා පහසුවෙන් පැයකටත් අඩු කාලයකදී සම්මුඛපරීක්ෂණය නිමාකරමින්...

ඉන් මාස කිහිපයකට පසු ‍රැකියාවක් සඳහා විදේශගත වීමට මා එම ආයතනයෙන් සමුගන්නා බව ඔහුට දැනුම් දෙද්දී අප හට එක්ව සිදුකිරීමට තිබුණායැයි ඔහු විසින් සැලසුම් කර තිබූ ව්‍යාපෘති කිහිපයක් විස්තරකරමින් ඔහු විස්සෝපවූ අයුරු අදටත් මට මතකයි...

මේ හා සමඟම සඳහන් කළහැකි කණ්ඩායමක කමියුනිකේෂන් සහ නෙගෝෂියේෂන් ස්කිල්ස් මැනබැලීමට යොදාගත හැකි අතිශය සිත්ගන්නා සුළු කතාවක් සිහියට පැමිණියත් මෙම වියමන මේ වනවිටත් කියවීමට එපාවන තරම් දිග්ගැසී ඇති නිසාම ඊළඟ පොස්ට් එක ලෙස දැමීමට සු‍රැකිව සිත්හි තබාගන්නම්...

11 comments :

  1. //හොඳම මිතුරාත්, ආදරය පතන තරුණියත්, මහලු කාන්තාවත් යන අය බස් නැවතුමක ‍රැඳී සිටියදී ‍රැගෙන යන්නේ කව්ද යන ගැටළුවත්,//
    මම මේ ප්‍රස්නෙටනම් උත්තරෙ හොයා ගත්ත පලවෙනියට අහපු ගමන්ම..අනිත් ඒවට තියෙන්නෙම විකල්ප උත්තර...
    හැබැයි අර නිර්මානත්මක ප්‍රස්නවලටනම් කටට එන්නෙම //"මම මගේ හස්බන්ඩ්ට කිස් එකක් දෙනවා..."// මෙ වගෙ උත්තර තමයි..හැටිද මන්දා :P :P
    අර සම්මුඛ පරීක්ශනයනම් මරු...ඇහුවාමයි ඒ වගෙ එකක්!! :D

    ReplyDelete
  2. ඉගෙන ගන්න ගොඩක් දේවල් තියන පොස්ට් එකක්....

    ReplyDelete
  3. හ්ම්ම්... ටිකක් අමුතු සම්මුඛ පරීක්ෂණයක් උනත් මේසයක් පු‍ටුවක් තියාගෙන කරන් සාම්ප්‍රදායික පරීක්ෂණයකින් ලැබෙනවාට වඩා සාර්ථක ප්‍රතිඵල ලබාගන්න පුළුවන් වෙන්න ඇති. න්‍යායික වශයෙන් විතරක් මීට පොඩ්ඩක් විතර සමාන මතකයක් තිබුනත් ප්‍රයෝගිකව නම් තවම අත්හදාබලන්න බැරි වුනා. ඔය වගේ පරීක්ෂණයක් පැවැත් වීමට රෙකෲට් කරන ‍රැකියාවේ ස්වභාවයත් බලපානවනෙ.

    හැබැයි අර ප්‍රෙග්නන්ට් ප්‍රශ්ණෙ හැරස්මන්ට් එකෙක් විදියට කවුන්ට් උනොත් තමයි වැඩේ....

    ReplyDelete
  4. @මදුශාන්
    විකල්ප උත්තර සමහරවෙලාවට ඇත්ත උත්තර වලට වඩා රසවත්... වෙලාවක් තියෙනවනම් දාන්න බලන්න...

    ReplyDelete
  5. @deeps
    ප්‍රතිචාරයට ගොඩක් ස්තුතියි...

    ReplyDelete
  6. @නවම්

    මම ඉන්වොල්ව් වුණු කිසිම ඉන්ටවීව් එකක එහෙම වෙලා නැහැ... මේවා ගොඩක් ජූනියර් එග්සෙකටිව් ග්‍රේඩ්...

    කියන්න අමතක වුණු අනිත් දේ illegal questions ගන්නවද කියලා ඔහු මුලින්ම අහනවා...

    ReplyDelete
  7. දැන් කාලේ මේවා තමයි ගොඩක් අහන්නේ. ප්‍රායෝගික දැනුම තියෙන අභියෝග බාරගන්න පුලුවන් අය තමයි අද රැකියාවලට අවශ්ය. මේක දැක්කහම මට හිතුනා මම දෙන උත්තරයි මම හිතන පතන ආකාරයයි එකතු උනාම ජොබ් එකක් නම් ගන්න එක අමාරුවෙයි කියලා. මම ප්‍රායෝගික විදිහට හිතන්නේ නෑ වගේ

    ReplyDelete
  8. වැදගත් කතන්දර ටිකක් තියනවා ........

    ReplyDelete
  9. මරු සම්මුඛ පරීකෂණය (අන්තිම එක ) , අර වගේ ප්‍රශ්න ඉන්ටර්විව් එකක්දි ඇහුවාම ටිකක් විතර කොර් වෙනව තමයි

    ReplyDelete
  10. ශා..හරිම දක්ෂ ලොක්කෙක්නෙ ඔයාට ඉඳලා තියෙන්නෙ..මේක කියද්දි මට මතක් වුණේ මංචි කොළඹ වි.වි.යෙ බිස්නස් ඉංග්ලිෂ් පාඨමාලාවක් කරද්දි සහභාගි වෙන්න ලැබුණු ඇඩ්වටයිසින් පිළිබඳ වර්ක් ශොප් එකක්... ඒ ගැනත් ලියන්න ඕනෙ විස්තරයක් මකුළු පැංචිගෙ වියමනේ....

    කොහොම වුනත් අද කාලෙ ආයතන වලට ඕනෙ ෆයිල් පිරෙන්න සහතික තියෙන අයට වඩා ඔය වගේ ප්‍රායෝගික කුසලතා තියෙන තරුණ කණ්ඩායම්.. නියම පෝස්ට් එක බීට්ල්... :)

    ReplyDelete
  11. සුපිරි ++++++++++++++++
    මටත් වැදගත් වුනා..
    මේ වගෙ ඈක්ටිවිටි හොයන අයට මෙන්න
    http://www.businessballs.com/teambuildinggames.htm

    ReplyDelete

Web Statistics