Wednesday, March 30, 2011

18. සෙමි ෆයිනල් අතුරු කතාවක් | India vs Pakistan



ක්‍රිකට් උණුසුම ඉහවහා ගිය වෙලාවක මගේ සේවා ස්ථානයේ ආසියානුවන්ගෙන් ඉතිරිවෙලා හිටි කිහිප දෙනාත් රූපවාහිනියක් තියෙන තැනකට රොක් වෙලා...

"මොකද මේ කට්ටියට වෙලා තියෙන්නේ...?"

කොහේදෝ යන සුද්දෙක් අහන්නේ හිස් වෙච්ච කියුබිකල් දිහා බලමින්...

"ඇයි අද වර්ල්ඩ් කප් සෙමි ෆයිනල් නේ.."


"මොන වර්ල්ඩ් කප් ද...?"

"ක්‍රිකට්..."

"මොනවා... ක්‍රිකට් වලට වර්ල්ඩ් කප් එකකුත් තියෙනවද..?"

එසේ කියමින් විශ්මයක් මුහුණට නඟාගෙන ඔහු ඇවිද යන්නේ මම ඊටත් වඩා විශ්මයෙන් ඔහු දෙස බලාගෙන ඉඳිද්දී...

අසාධ්‍ය මට්ටමේ පාපන්දු උන්මත්තකයෙක් වුණත්, මමත් ක්‍රිකට් තරඟයක් මුල ඉඳන් අගටම බැලූ දිනයක් මතක් කරගන්න අමාරුයි... ඉතින් මැච් බැලිල්ල පැත්තකින් තියලා මේ විවේකී අවස්ථාවෙන් ප්‍රයෝජන අරගෙන හදිසියේ මතක් වුණු ආගිය කතාවකින් සතියක් විතර පල් වුණු බ්ලොග් එක අප්ඩේට් කලොත් හොඳයි කියලා හිතුවා...

එක්දින තරඟ ඉතිහාසයේ එදා මෙදා තුර තරඟ කොපමණ සංඛ්‍යාවක් පැවැත්වී ඇත්දැයි මට අදහසක් නැහැ... නමුත් ඒ සියල්ල අතරේ මිලියන ගනනකගේ අවිනිශ්චිත බලාපොරොත්තු කැටි වුණු තීරණාත්මක තරඟ අතලොස්ස අතරට අද පැවැත්වෙන තරඟයත් එකතු වෙනවා නො අනුමානයි... ඒ මෙය ලෝක කුසලාන අවසන් පූර්ව තරඟයක් නිසා නෙවෙයි... මෙය ඉන්දියාව හා පාකිස්තානය අතර පැවැත්වෙන තරඟයක් වන නිසායි...

ඔබට වාසනාවකට හෝ අවාසනාවකට ඉන්දියානු ජාතිකයෙක්ව ළඟින් ඇසුරු කරන්නට ලැබුණා නම්, ඔවුන්ගෙන් බොහොමයක් දෙනා ක්‍රිකට් වලටත් චිත්‍රපටි වලටත් දක්වන අසීමිත උන්මාදය ගැන නොදැන ඉන්න විදියක් නෑ... ක්‍රිකට් තරඟාවලියක් පැවැත්වෙන අතරතුරේ ඒ වගේ ක්‍රිකට් උන්මාදය ඇඟ පුරා ඔඩුදිවූ ඉන්දියානු ජාතිකයන් කිහිපදෙනෙක් තරඟ නරඹන තැනකට සෙට් වෙලා උන්ව බයිට් කිරීම අපි ඉන්දියාවේ සිටි කාලේ කල අතිශයින්ම විනෝද ජනක කටයුත්තක්... බොහොමයක් වෙලාවට අපි මේක කරන්නේ කොලීජියේ කැන්ටිමේ තියෙන ටීවී එක වටේට කට්ටිය සෙට් වෙලා මැච් එක බලද්දී... පැවැත්වෙන්නේ ඉන්දියා පකිස්තාන් තරඟයක් නම් දෙතුන් දෙනෙක් මේ විහිළු නිසා ඇස් රතු කර ගැනීම ස්වභාවයක්... මේකට හේතුව තමන්ගේ ක්‍රිකට් ෆෑන් ජීවිතේ ලබන්නට පුළුවන් ලොකුම අවමානය පකිස්තානයට තරඟයක් පැරදීම කියලා මේ බොහෝ දෙනෙක් විශ්වාස කිරීම...

මේ කියන දවස්වල ලංකාවත්, ඉන්දියාවත්, පකිස්තානයත්, නවසීලන්තයත් සහභාගී වුණ සිව්කොන් තරඟාවලියක් පැවැත්වෙමින් තිබුණා...දැන් තරඟාවලියේ අන්තිම හරිය...පකිස්තාන් කණ්ඩායමත් ශ්‍රී ලංකා කණ්ඩායමත් තමන්ට නියමිත තරඟ සියල්ලම ක්‍රීඩාකර අවසන්... අවසාන මහා තරඟයට පෙර ඉතිරිව ඇති එකම තරඟය පැවැත්වෙන්නේ ඉන්දියාවත් නවසීලන්තයත් අතර... මෙයින් ඉන්දියාව ජය ගත්තොත් දල ලකුණු වේගය මත අවසාන මහා තරඟයට ඉන්දියාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ශ්‍රී ලංකාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා... නවසීලන්තය ජය ගත්තොත් අවසාන මහා තරඟයට ශ්‍රී ලංකාවත් පකිස්තානයත් සුදුසුකම් ලබා ඉන්දියාවත් නවසීලන්තයත් තරඟාවලියෙන් ඉවත් වෙනවා...

ඉතින් පැහැදිලිවම මේ තරඟයේ ශ්‍රී ලාංකිකයන් වන සැමගේ ඒකායන බලාපොරොත්තුව විය යුත්තේ ඉන්දියානුවන්ට අත්වෙන අන්ත පරාජයක්... එදා කැන්ටිම බදු අරගෙන ටීවී එක වටකරගෙන කට්ටිය මැච් එක බලන අතරේ අපි හැමදෙනාගේම අප්‍රමාණ පිළිකුලට ලක්වුනු අශීෂ් නෙහෙරා විකට්‍ටුවක් දවා ගනිද්දී ඔල්වරසන් දෙමින් අපි සතු‍ටු වුනු හැටි දැකලා උන්ට පුදුමෙනුත් පුදුමයි...

"ඒයි උඹලා මොකද අපිට සපෝර්ට් කරන්නේ...?"

උන්ගෙන් එකෙක් අපි ඉන්න පැත්තට හැරිලා ඇහුවේ සිදුවෙන දෙය ගැන හරි වැටහීමක් නැතිවයි...

"ඇයි උඹට හිතාගන්න බැරිද..?"

"බෑ මොකද..?"

"මේකයි... උඹලා මේකෙන් පැරදිලා, පකිස්තානෙයි අපියි ෆයිනල් ඇවිල්ලා අපි කප් එක උස්සනවා බලනවටත් වැඩිය අපිට ආසයි, උඹලා මේකෙන් දිනලා උඹලයි පකිස්තානෙයි ෆයිනල් ඇවිල්ලා, උඹලා පකිස්තානෙන් කන හැටි බලන්න..."

අපි බඩ අල්ලන් හිනාවෙද්දී උන් මූණ කලුකරගෙන ආපහු ටීවී එක පැත්තට හැරෙන්නේ අපේ අසරණ මව්වරුන් සිහිකරමින්...


8 comments :

  1. lol...patta :)
    should do the same sometime when I met a indian.

    ReplyDelete
  2. අන්න එහෙමයි වදින්න කින්ඩියක් දාන්නේ ! සුපර් ...

    ReplyDelete
  3. අන්න එහෙමයි , ළමයි බ්ලොග් ලියන්න වෙලාවක් හොයා ගන්නේ. සුපර් සික්ස් ........

    ReplyDelete
  4. අම්මප ඇත්තම කතාව, ඉන්දියං කාරයෙකුයි පකිස්තාං එකෙකුයි දෙපැත්තෙ කාමර දෙකේ තියාගෙන මේ ටිකේ මම විඳින දුකක් අනෙ අම්මපා හතුරෙකුටවත් වෙන්ඩ එපා උපෝපංජාතියෙ,

    බීටල් ඒක නෙවෙයි, ඔය උඩ පින්තූරෙ කතාවත් දාන්නකො, මට විස්තර හරියට මතක නැහැ, ඔය ඉන්දියා පකිස්තාන් දේශ සීමාවෙ ලඟක් වෙනකන් කෙරුනු චාරිත්‍රයක් නේද?

    ReplyDelete
  5. මොකක්ද උඩ පින්තුරේ කතාව ඇත්තට....

    ReplyDelete
  6. LOLs.

    To everyone wondering about the picture, search YouTube for "Wagah Border Closing Ceremony". :)

    ReplyDelete
  7. හික් ! උන් දෙගොල්ලො මොන අට මඟලකට මරාගන්නවද මන්ද. එදා හැන්දෑවෙ මෙහෙත් හෙන ආගියුමන්ට්. කණක් ඇහිල ඉන්න නෑ [ඉන්දියන් උන් වත් පකිස්තාන් උන් වත් නෙමෙයි. ලංකාවෙ ඉඳන් පකිස්තානෙට චියර් කරන උන්]

    ReplyDelete
  8. සමාවෙන්න, පෝස්ට් එක දැම්මට කමෙන්ට් වලට උත්තර ලියාගන්න බැරිවුණා...

    Grey, හිස් අහස, සොඳුරු සිත, Ravi, නිම්ශා, budhajeewa, nawam

    ප්‍රතිචාර වලට ගොඩක් ස්තූතියි...

    budhajeewa කියලා තියෙන විදියට පිංතූරේ ගැන වැඩි විස්තර බලන්න පුළුවන්... හැකිවුණොත් ඒ ගැන වෙනම ලියන්නම්...

    ReplyDelete

Web Statistics