රන් කිරි කටගෑ දා පටන් දෙසවන් සනහා මා නැලවූයේ අම්මා පමණක් නොවේ… අඬන ළමයි අල්ලන්නට එන එන බිල්ලන් ගැන කියමින් මා බිය කල ආච්චි අම්මාද, අතට වෙරළුද ඉනට පලාද නෙලාගෙන අම්මා එන බව කියමින් මා රැවටූ ගමේ ආත්තම්මාද, හැන්දක් කිරි බී නින්දක් නිදියාගත් ළමයෙකු ගැන කතන්දර කී නැන්දාද, කොහේදෝ කන්දක අතරමන් වුන ෆයිව් ලිට්ල් ඩක්ස් නම් තාරාවුන් පස් දෙනෙකුට වුන ඇබැද්දියක් ගැන කියාදුන් ජොයිස් මම්මාද ඒ අතර විය… මේ සුමිහිරි ගී සියල්ල අසමින් තොටිල්ලේ තාලයට නැලවෙමින් මා සැනහුනද, අම්මා ගැයූ එක් නැළවිළි ගීයක් මේ සියල්ලටම වඩා මට අතිශයින්ම සුවිශේෂී වූයේය… ඒ මෙවැන්නකි…
අම්මා හඳමාමාගෙන් අසාදැනගත් පරිදි, කොහේදෝ කැලයක පුංචි කූඩුවක සැළලිහිණි ජෝඩුවක් පැටවා සමඟ ගී ගයමින් සතුටින් ජීවත් වූයේලු, හදිසියේම දවසක නොනවත්වා ඇදහැළුණු මොර සූරන වැස්සක් හේතුවෙන් ගස් ගල් උදුරාගෙන සැඩ ගංවතුරක් ගලන්නට වූයේලු…වෙන්නට යන විපත්තිය දුටු සැළලිහිණි අම්මා තම දරුවා බදාගෙන හඬනු දුටු සොබාදහම කම්පාවී වැහිබිඳු ආපසු අහසට ඇදගත්තේලු…
දිව මතුරක් වන් වූ ඒ මිහිරි නැලවිලි ගී තාලයට නැලවෙමින් නින්දට වැටුනා විනා, එකල මේ කතාවේ අරුතක් මට වැටහෙන්නට කොහෙත්ම ඉඩක් නොතිබුණු බව නිසැකය…එහෙත් ඉන් වසර ගණනකට පසු අම්මා එම ගීතයම ගයා මල්ලී නලවද්දී, පසෙකින් සතර පොත් කියවමින් ශිෂ්‍යත්ව විභාගයට සූදානම් වෙමින් සිටි මම මේ කතාව ඉවසිල්ලේ විමසන්නට තරම් මෝරා හිටි වග නොකිව මනාය… හඳමාමාගේ අසාගත් බව අතිශෝක්තියක් බව තේරුම් ගත්තද, එහි දෙවැනි කොටසේ පැවසෙන සිදුවීම නම් මට මහත් විස්මයක්ම විය… මොහොතකුදු පමා නොවුණු මම වැහි බිඳු එහෙම අහසට ඇදගන්නා හැටි ගැන අම්මාගෙන් ප්‍රශ්න කලෙමි…
“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…”
අම්මාගේ සරල පිළිතුර එය විය… එය එකහෙලා පිළිගත් පැටිවියෙහි උන් මම, දිගින් දිගටම ඒ ආශ්චර්යය ගැන සිතමින් උදම් වීමී… එය සත්‍යයක්ම මිස බොරුවක් නොවන වගට විශ්වාස කළෙමි…
එහෙත් කාලයත් සමඟ මෝරද්දී වෙනස් වුන සිතුම් පැතුම් අතර වැහි බිඳු අහසට ඇදගත් ආශ්චර්යයද ඇතුළත් වීම නොවැලැක්විය හැකි වූයේ නැති… දේව වාක්‍යය මෙන් මා විශ්වාස කල අම්මා පැවසූ බොහෝ දේ ගැන මම උපේක්ෂාවෙන් බලන්නට පුරුදු වීමි… ඇය අවලංගු කරමින් මා පරිණාමය කෙරෙමින් ලෝකය නොනැවතී කැරකෙන්නට විය…
එපමණක් නොවේ; මෙසේ ගතවූ කාලය මුළුල්ලේ පියවරුන්ගේ දින කීයක් ගතවුනාදැයි මට නිනව්වක් තිබුණේ නැති… මහපොළව සමඟ ඔට්ටු වී කාසි අහුලා මා උගතෙකු කරන්නට තාත්තා ගත් වෙහෙස පියවරුන්ගේ දිනයක තබා ආත්ම හතකින්වත් ගෙවා ඉවර කල හැක්කක් නොවේ… ඉතින් කිමද මට පියවරුන්ගේ දිනයක විශේෂයක්…
එහෙත් ජීවිතයේ පළමු වතාවට මට පියවරුන්ගේ දිනයක් සුවිශේෂී කල අද පුදුම හැන්දෑවකි… ලොවක් දිනූ වග අදහාගත නොහැකිව මම තෙත දෑස් පිස දමමි…
තවමත් පෙකිණිය පවා නොවියළුනු කිරිකැටියන් දෙදෙනෙකුගේ සිඟිති පා සටහන් වලින් හැඩවුන සුභපැතුම් පතක් දික් කරගත් හෙදිය සතුටින් සුභ පතයි…
විවාහ වී වසර අටකටත් වැඩි කාලයක් ආත්මයම දවා අලුකරන තරම්වූ කටුක පරාජයන් හමුවේ, මව් සෙනෙහස නැමති ආශ්චර්යය ගැන විශ්වාසය තබා, පැරදුනු හැමවිට පෙරටත් වඩා ශක්තියෙන් නැඟීසිට නොනවත්වා සටන් වැදුනු ඒ පුදුම ළිහිණි මව නිල්මි පසෙකින් සුවෙන් සිනාසෙයි…
“එහෙම තමයි පුතේ මව් සෙනෙහසට, සොබාදහමත් යටයි…” අම්මාගේ හඬ සිහිනෙන් මෙන් මා සවනත රැව්දෙයි…
වෙනදා මෙන් ඇය නිවැරදි කරන්නට හදිසියක් මට නැත...
වෙනදා මෙන් ඇය නිවැරදි කරන්නට හදිසියක් මට නැත...
ගීතය ගයන්නේ සුජාතා අත්තනායක
ලිව්වේ කරුණාරත්න අබේසේකර
සංගීතය P.L.A. සෝමපාල
(ස්තූතිය අරූට)