“කෑ… කෑ… මොකද්ද ඒ සද්දේ ගෝරියක්ද…?”
අතට ගත් බත් කට මුවට රුවා ගැනීමට ප්‍රමාද වෙන තාත්තා අසන්නේ රාත්‍රී අඳුරට කන් යොමාගෙනයි… තමා හිඳගෙන සිටි පුටුවෙන් අකමැත්තෙන් නැගිටින අම්මා කලුසුදු රූපවාහිනියේ ශබ්ධය අඩු කිරීමට පියමනිද්දී ඔවුනට හොරෙන් මිදුලට පැනගන්නා මට ඕවිට දෙසින් ඇසෙන කෑගෑමක හඬ පැහැදිලිව ඇසේ… නිවස දෙසට වරක් නෙත් හෙලන මා දෙමාපියන් නැති බව සැක හැර දැනගෙන සිතේ ඇඳි ඇති මං සළකුණු ඔස්සේ කළුවරේම ඕවිට දෙසට පිම්මේ දිවයමි…
“හැමදාම හොඳින් කිව්වා හැදෙන පාටක් නෑ… නාකි පරයා තෝ අද තමයි මගෙන් පාඩමක් ඉගෙන ගන්නේ…”
ඕවිටට ලංවෙන විට මාගේ වේගය බාල වෙද්දී ඉන් ඔබ්බෙහි වූ කෙසෙල් පඳුරු අසල කඩුවක් ලෙලවමින් කෑගසන රුව සෝමේ මාමාගේ බව මා හඳුනාගන්නේ ඔහුගේ කටහඬිනි… ඔහු නාකි පරයා යැයි ඇමතුවේ අන් කවරෙකුත් නොව ඕවිටේ පැල් කොටයක් අටවාගෙන සිටින අසූ වියට වැඩි මිස අඩු නොවූ තේමිස් සීයාට බව වටහා ගැනීමටද මට අපහසුවක් නොවේ… සෝමේ මාමාගේ ඉඩම මායිමේ ඇති මේ ඕවිටට අනවසරයෙන් පැමිනි තේමිස් සීයා පැලක් අටවා ගත්තේ කෙදිනදැයි මා නොදනිමි… ඔහු අනවසරයෙන් සිටිනවායැයි මා දන්නේත් සෝමේ මාමා බොහෝ වාරයක් එසේ තාත්තා සමග පවසනු මා අසා ඇති නිසාවෙනි… හරිහමන් මායිමක් නැති සෝමේ මාමාගේ ඉඩම් කට්ටිය දෙසට වන්නට තේමිස් සීයා කෙසෙල් පඳුරු ඉන්දවන බවටත්, දිගින් දිගටම කෙරුනු අවවාද ටිකෙන් ටික නොහොඳ නෝක්කාඩු වලටද ඉන් ඉක්බිති රණ්ඩු සරුවල් වලට පෙරලුනු අයුරුත් ඔබ්බෙහි ජීවත් වූ අපට රහසක් නොවීය…
කෙසෙල් පඳුරු කීපයක්ම කැති ගෑ සෝමේ මාමා මීළඟ පඳුර දෙසට හැරුණා පමණි… පැල කොටයෙන් මතුවූ තේමිස් සීයා ඒ දෙසට ගෑටුවේ අත රැඳි මන්නයක්ද සමඟිනි… කෙසෙල් පඳුරු කැති ගාමින් සිටි සෝමේ මමා ඔහුව නොදැක්කෙන් පිටිපසින් පැමිණි තේමිස් සීයා සෝමේ මාමාට මන්නෙන් කෙටීය… වෙනකෙකුගේ නම් දිවි තොර කිරීමට තරම් මන්නය ප්‍රමාණවත් වුවත්, අබල දුබල තේමිස් සීයාට සෝමේ මාමාට මරණිය තුවාලයක් සිදුකිරීමට තරම් වාරුවක් තිබුණේ නැති… තම පිට දෙසින් දැනුනු සංවේදනයෙන් හැරී බැලූ සෝමේ මාමාට තේමිස් සීයා තමාට පහර දෙන්නට පැමිණි වග වටහා ගන්නට ඇතැයි සිතමි…
“මුගේ අම්මට හැමිනෙන්ඩ…. යකෝ… **********”
කටින් කුණුහරුප වැලක් ඇදබෑ ඔහු කඩුවේ පැතලි පැත්තෙන් තේමිස් සීයාගේ පිට මැද්දෑවට දෙකකුත් ඉන් ඉක්බිති අත රැඳි මන්නය විසිවී වැලි පොලවේ හතර ගාතයෙන් පතබෑවෙන සේ වයසක උන්දෑගේ තට්ටම හරහා පා පහරක්ද එල්ල කලෙන් මට අනේ අපොයි කියැවිණි… ඔහුව බේරා ගැනීම්ට කොර අනිමින් පැමිණි තේමිස් ආච්චිට එල්ල කල අනෙත් පා පහරින් උන්දෑද කෙහෙල් ගහක් කපා දැමුවාක් සේ ඇද වැටුනේ මුවින් කිසිඳු හඩක් නොනගමිනි…
මා මෙන්ම කලබලය ඇසී ඒ දෙසට දිවවිත් අඳුරේ සිට මේ සිදුවීම් පෙල නරඹමින් සිටි ගම්මු අතරෙහි වූ ගමේ ගස් කපන්නෙකු වන ගොත උපාලිට මෙය තවත් බලා ඉන්නට නොහැකි නිසාදෝ ගස් කපන අත්පොරවද රැගෙන ඉදිරියට පැන්නේ මේ අතරේයි…
“නා…. නා… නා… නාකින්ට ගහන්නේ යකෝ… ගහපියකෝ අපි වගේ එකෙකුට…”
තේමිස් සීයාගේ අතේ වරදක් ඇති බව දන්නා නිසාදෝ උපාලි තේමිස් සීයාගේ පැත්තට කතා නොකර ගොත ගසමින් එසේ පැවසීය… ඉදිරියට පැමිනි ගොත උපාලි දෙස මද වේලාවක් බලා සිටි සෝමේ මාමා පිළිතුරු දුන්නේ ඔහුට නොව ඉන් මදක් පිටුපසට වී සිටි තවත් ගැමියෙකු වූ ගොත උපාලිගේ වැඩිමල් සොහොයුරාටයි…
“තොට මෙතන කතාවක් නෑ… සුනිල් අයියේ මාව නරක මිනිහා නොකර මූව මෙතනින් අරන් පලයන්…”
“උඹ මෙන්න මෙහෙ වරෙන් යන්ඩ…” සුනිල් මාමා උපාලි අතින් පොරවා උදුරා ගත්තේ එසේ කියමිනි…
“න්…නැ… නැ… නැ… නෑ මං මේ… මේ… කිව්වේ……” ඔහු මොන මොනවාදෝ කියවද්දී සුනිල් මාමා ඔහුව වදෙන් පොරෙන් වත්තන් කරගෙන ඔවුන්ගේ නිවස දෙසට රැගෙන යන්නට වීය…
මින් තවත් පන්නරය ලද සෝමේ මාමා ඉන් ඉක්බිති කෙසෙල් පඬරැල් එකතු කරන්නට වූයේ තේමිස් සීයාවත් දමා ඔවුන්ගේ පැල් කොටයට ගිනි තියනා බව පවසමිනි… තවත් මෙය බලා ඉන්නට බැරි වු මා කලුවරේම දුවන්නට වූයේ මෙවැනි දෙයක් හොඳින් හෝ නරකින් නවත්තන්නට හැකි අයෙකු වන මිල්රෝයි අයියා සොයාගෙනයි… බැහැරක ගොස් සිටි ඔහුද කැඳවාගෙන නැවත පැමිණෙන විට රණ්ඩුව හමාර වූ තිබුණු අතර තේමිස් සීයාව දමා ගෙය ගිනිතියනවා යැයි පැවසූ සෝමේ මාමා එලිමහනේ තිබූ තේමිස් සීයාගේ වැසිකිලියට පමණක් ගිනි තබා තිබුණි… කිසිවෙකු අසල තිබූ ලොරියක දමාගෙන වයසක් තේමිස් යුවල ආණ්ඩුවේ ඉස්පිරිතාලයකට රැගෙන ගොස් තිබූ අතර සෝමේ මාමා පැමිණිල්ලක් කිරීමට රාත්‍රියේම පොලීසියට ගොස් තිබිණි…
“මේ මිනිස්සුන්ගේ කක්කුස්සිය හදන්න කියලා මම කිව්වා කියලා බොලාගේ මහ එකාට කියාපන්… නැත්තම් මං නරක මිනිහා කියන්ඩෙපා…”
සෝමේ මාමා නැති නිසා ඔහුගේ බිරිඳටත් දරුවන්ටත් සත්තමක් දැමූ මිල්රෝයි අයියා යන්නට ගියේය…
නැවත් නිවසට පැමිණෙන සෝමේ මාමා මිල්රෝයි අයියාගේ තර්ජනය අසා කිපෙන්නේ දණ්ඩෙන් පහර ලත් සර්පයෙකු මෙනි…
“මූ හරක් හොරා… එනවා මට සාධාරණේ උගන්නන්න…”
සිදුවීමේ තතු දැනගැනීමට තේමිස් සීයාගේ නිවසටද ඉන් අනතුරුව සෝමේ මාමාගේ නිවසට රැස්වෙන වැඩිහිටියනට සෝමේ මාමා පැහැදිලි කරයි… මිල්රෝයි අයියා හරක් හොරකම් වලට සම්බන්ධ පොලීතිසියෙකුට ලග හුන් කාලයේ එම දුරාචාර වලට සම්බන්ඳව සිටි බව ගමේ සියල්ලන්ට රහසක් නොවේ…
“රටේ නැති දහහුරා වැඩ හැම එකම කරන්නේ ඕකා… මගේ ආනමාලු කැන කපපු එකත් ඕකගේ වැඩක්ද කියලා මට සැකයි…”
එකෙකු තම අදහසත් එක්කරද්දී තවකෙකු ඊට හූමිටි තබයි
“කොලඹ පාතාලේ හිටි එකෙක්ලු… එහේ මරන්ඩ එලවද්දී තමයි මෙහෙට වහං වෙලා තියෙන්නේ…”
“කිරි වැස්සියෝ ලොරි වලට දාගන්නවලු පැටියත් එක්ක… පැටියා සුප් වලටලු… නොදකින් ඔවුන්ට යන්ඩ අපායවල් වෙනම හදන්ඩ වෙනවා…”
“ආගමේ එවුන්නේ… සත්තු ගැන හිතේ තෙතමනයක් නෑ ඔවුන්ට…”
සෝමේ මමා පවසන්නේ පිට අත ගාමිනි…
“ඒක නෙමේ… අරුන්දැලව අරගෙන ගිය ලොරිය ආපහු ආවද…?”
ගමේ නිකමෙකු වූ සාමෙලා අසද්දී කිසිවෙකු ඔහුට උත්තර දෙන්නට නොයයි…
“සෝමේ මල්ලියේ නරකද උඹත් හෙට දිහාටවත් වෙද මහත්තයටවත් ඔය පිට කොන්ද පෙන්නුවොත්…?”
අබරන් සීයා පවසන්නේ කහට කෝප්පය පසෙකින් තබා බුලත් වට්ටියට නැඹුරු වෙමිනි…
“ඒකනම් බැරියෑ… මම මේ හෙට ලියැදි කෑලි තුනේ ගොයම් ටික කපන්න හිටියේ කාව හරි අල්ලගෙන… ඒක කරගන්න්ඩ තිබුණා මේ අවලමා මන්නෙන් පත නොබෑවනම්…අම්මේ…!”
සෝමේ මමාගේ කෙඳිරිය වැඩිවේ…
“ආ ඒකනම් ඔය මේ කොල්ලෝ දෙතුන් දෙනා අඬ ගහගෙන අපිට හරි කරලා දාන්න බැරියෑ… කෝකටත් හෙට මිල්රෝයියා උගේ හයිය පෙන්නන්ඩ එයිද බලන්ඩත් එක්ක අපි මේ අවටම ඉමූ…”
“අනේ එහනම් අබරන් අයියේ ඔය රත්නේලා, ලලිත්ලා එකතු කරගෙන උඹ හෙට උදැහැනැක්කෙ ඇවිත් යන්ඩ එනවද… හතර පස් දෙනෙක් හිටියනම් වරුවක වැඩේ…”
සෝමේ මාමා පවසන්නේ පිල උඩ වාඩිවී අහසේ තරු ගණින රත්නේ දෙසද බලමිනි…
“අපෝ අපි එඥ්ඥං… නේද රත්නේ…?”
“හ්ම්…”
අබරන් සීයා පවසද්දී රත්නේ හූමිටි තබයි…
චැට් එකෙන් ලැබුණු ඉල්ලීමක් මත කොච්චර කිව්වත් අහන්නේ නැති නිසා මෙයද පසුව එක්කරන්නට සිත්විය... සෝමේ මාමා හා ලංකා ආණ්ඩුව අතර කිසිදු සම්බන්ධයක් නොවේ... තේමිස් සීයා හා ද්‍රවිඩ ජනතාව අතරද එසේමැයි... සුනිල් මාමා චීනයේ පස් පාගා නොමැති අතර, ගොත උපාලි ඉන්දියාව කලුද සුදුද කියාවත් නොදනී... මිල්රෝයි අයියා යූ.එන්. එකක් හීනෙන්වත් දැක නැති අතර අබරන් සීයා නම් වීරවංශ කියන නම යන්තම් අසා ඇතුවා වන්නට පුළුවන... රත්නේ යනු මහජනතාවෙන් එකෙක් යැයි ඌවත් දන්නවාදැයි සැක සහිතය...
ප.ප.ලී. : යන්තම් පෝස්ට් පනහයි… පනස් වෙනි පෝස්ට් එකට නිවාඩුව මොනවා හරි හොඳට ලියන්ඩ හිටියේ… මූණුපොතේ ෂෙයාර් වුණු මේ පොටෝ එක දැකලා රෑ හදිසියෙම මේක ලියවුණා… පෝස්ට් පණහක් පුරා දුක සැප බෙදාගත් හැමදෙනාටම ගොඩක් ස්තූතියි..!