Monday, May 18, 2015

108. මතක සැමරුම්…



ඌ දෙමළෙකු බව මම දැන නොසිටියෙමි... 

බෝල මුහුණත්, පැහැපැත් පෙනුමත් ඌ දෙමළකු බව මුළු ලොවෙන්ම වසන් කලා වැන්න... ඒ මීට වසර ගනනකට පෙර මා අලුත් රැකියාවක් ලැබ අලුත් රටක අලුත් ජීවිතයක් ඇරඹූ මොහොතයි.. ආයතනයෙන් ලබාදුන් නවාතැනේ හොඳම කාමර සියල්ලම උදයේ පැමිණි කුරුල්ලන් හිමිකරගෙන තිබුණි... ඉතිරිව තිබූ එකම කාමරයේ මා සතු බඩු අඩුක් කරමින් සිටියෙමි... ඉඩ පාඩු ඇති කාමරයක් බැවින් තවකෙකු මෙහි පංදිචියට පැමිණීමේ අවදානමක් ඇතිබවට අපේ පහසුකම් සලසන්නා දුන් උපදෙස තවමත් මගේ සිතෙන් පහව ගොස් නොතිබුණි...

බෝල මූණා කාමරයට එබුනේ මේ අතරේදීය...

"අයියා මම කජන්... මටත් මේ කාමරේ ඉඩක් ඉල්ලගන්න කිව්වා..."

ඒ අපේ මුල්ම හමුවයි.. එතැන් පටන් ඌ මගේ රූමා විය... කිලෝමීටර ගනනක් එපිට මහ පොලව බෙදාගන්නට දෙමළු හා සිංහලයින් මරාගනිද්දී, අතේ ඇඟිලි වලින් ගැනිය හැකි වපසරියක ටයිල් පොලව අපි අපූරුවට බෙදාගනිමින් සිටියෙමු... 

“ජනතාවට ආතල් සපයන්නෝ.. කජන් සහ සහෝදරයෝ...” ඒ විලාවේ උන් අනෙකුන් ඌ හැඳින්වූ අයුරුයි...යාන්තම් දෙතොල මල් පැණියෙන් පෙඟවුනු සැනින් උගේ බ්‍රේක් නැති කටට පණ එයි... කජන් යනු ඔහුගේ මුල් නම නම්, විනෝදය යනු උගේ දෙවනි නම වූ සෙයකි... අදටත් මා උපරිම විහිළු තහළුවෙන් ගතකල කාල සමයක් වේද ඒ කජන් ඇතුළු ඒ අනෙකුත් මිතුරන් හා ඒ ගෙවුනු සමාගමයයැයි මම විශ්වාස කරමි...

අපි නොරට කහවනු හූරද්දී  ලංකාවේ පෙර නොවූ විරූ වෙනස්කම් සිදුවෙමින් තිබුණි..පාලකයෝ, නායකයෝ අලුත් විය.... කාලයක් තිස්සේ එතෙක් ප්‍රවෘත්ති වල අප නරඹන්නට, අසන්නට පුරුදුව සිටි පුවත් වෙනස් වෙන්නට වූයේ අසාමාන්‍යය ලෙසයි... මේ සිංහල දෙමල මුස්ලිම් බේදයක් නොමැතිව හැම ශ්‍රී ලාංකිකයාගේම සිතුවිලි හොඳට හෝ නරකට වෙනස් වුනු කාලයක් යැයි මම සිතමි... ආතතිය කෙමෙන් දැඩි වන්නට විය... ජාතිවාදයේ සුළං උඩු හුළඟටත් උඩින් හමායයි... දොරට අගුල් සියයක් දමා කාමරයේ සැඟවුනත් මටත් කජන්ටත් ඉන් ගැලවිය හැකි නොවේ...

පළමු සංඥාව ලැබුනේ මා බලාපොරොත්තු නොවුනු අවස්ථාවකයි...

" මචං මගේ සල්ලි ඉවරයි...පොඩ්ඩක් උඹේ ෆෝන් එක දීපං මට ලංකාවට කෝල් එකක් ගන්න..."

කජන් මට දුරකථනය විසිකරයි...හපා ගිල දැමුවාක් මෙන් යට භාගය නැති ඊලාම් සිතියම උගේ දුරකතනයේ  ස්ක්‍රීන් සේවරයේ ලෙලදෙයි...මම එය නොදැක්කා සේ සිටීමට උත්සාහ කරමි...

මේ අතර යුද්ධය ක්‍රීඩා තරඟයක් මෙන් කෙමෙන් උණුසුම් වෙද්දී ඉන් මිදෙන්නට හැකිවූවෙකු වේදැයි මට සැක සහිතය...

"අයියා අපි සල්ලි දාලා පී.සී. එකක් ගමුද...?" 

මට වඩා මාස කිහිපයක් වැඩිමල් බව පසුව දැනගත්තද ඌ දිගටම මට ආමන්ත්‍රනය කලේ අයියා නමිනි...

ලැප්ටොප් අදමෙන් සුලභ පාරිභෝගික භාණ්ඩයක් නොවුනු ඒ සමයේ කාගෙන්දෝ මිළදීගත් ඩෙස්ක්ටොප් පරිගනයක් අපේ පුංචි මේසය අරක්ගත්තේ එසේය... එකම බ්‍රවුසරයක එකිනෙකට  මුවා වෙමින් ඩිෆෙන්ස්.එල්කේ අඩවියද ටැමිල්නෙට් අඩවියද ඇමිණෙයි... අපි අදාල පිටුවට පමණක් පිවිසීමට ප්‍රවේසම් වෙමු...

දිනය හරියටම මතක නැතත් ඒ සති අන්තයක් බව මගේ මතකයේ තැන්පත්ව ඇත...ගුවන් හමුදා ප්‍රහාරයකින් තමිල් සෙල්වම් මියගිය පුවත අන්තර්ජාලයෙන් කියවූ මට උන්හිටිතැන් අමතක විය... මම කජන් සෙවූයෙමි.. ඌ ගොරවමින් නිදාසිටියි...

"අඩෝ මෙන්න තොපේ ලොක්කෙක් ඉවරයි... මහ එකාටත් හෙට අනිද්දම දෙනවා ඔන්න බලපන්..."

ඌ නිදාසිටිනා ඇඳට පයින් අනිමින් මම වියරුවෙන් කෑගැසීමි...

මඳ වේලාවකින් සිහි එලවාගත් ඌ පරිගණකයට දිවගියේය... ඒ මම කජන් හඬනවා දුටු මුල්ම සහ එකම දිනයයි...

එදින ඌ සතිඅන්ත පාටිය වර්ජනය කලේය... මම ඌත් සමඟ එලියට ගොස් මගේ ගනනේ රාත්‍රී ආහාරය අරන් දුනිමි..."තමිල් සෙල්වම් මැරුවට මගෙන් පාටියක්...!" මගේ වියරු මුවින් එදා එසේ පිටනොවීම ගැන අද මම අනේකවාරයක් සතුටු වෙමි...

ඉන් පසුව බොහෝදේ උඩු යටිකුරු වුනු බව ඔබත් මමත් හොඳින් දනී... නඟර අලංකරනය වෙනුවෙන් අප සිටි විලාවද ඇතුළු ඒ ප්‍රදේශයේම ගොඩනැඟිලි පස් වී උයනක් නිමැවුනි... තනිකඩ ජීවිතයට ආයුබෝවන් කියූ අපසැම විවාහ වී පවුල් ලෙස වෙන් වෙන් නවාතැන් කරා නික්ම ගියෙමු...උතුරට වසන්තය උදාවූ අතර කජන් එහි උගේ වාසනාව උරගා බලන්නට රැකියාවට ආයුබොවන් කියලා ලංකාවට නික්ම ගියේය...

කඳුළු බ්ලෝ-ඩ්‍රයි කරන ලද අතර…රණවිරුවන් මරා දැමුණි…

දින කීපයකට පෙර නුහුරු අංකයකින් හුරුපුරුදු කටහඬක් ඇසුනි...

"අයියා ෂොප් එක පාඩුයි...ණය වගේකටත් හිරවෙලා ඉන්නේ... මම ආයේ එනවා... ජූනි මාසේ මුල...සති දෙකක් විතර ඇකමඩේශන් හොයාගන්න ඕනේ..."

"උඹ වරෙන්...අපි මොනවා හරි කරමු..."

මම පවසමි... සැබැවින්ම මම මොනවා හරි කලයුතු බව මම හොඳින්ම දනිමි... 

මේ ලොව පුරා ඒ අසිරිමත් ජයග්‍රහණය සමරන මොහොතයි... මටද සමරන්නට යමක් ඉතිරිව තිබේ… අහස ගිනිගෙන දැවෙන තරම් ෂෙල් වෙඩි පිට වෙඩි පුපුරාගියත්, පොළව කැබලි වෙනතරම් මරාගෙන මැරෙන බෝම්බ පුපුරාගියත් විනාශ නොවුණු අප මිත්‍රත්වය සමරන්නට කජන් එනතුරු මම බලාසිටිමි...

Monday, May 4, 2015

107. වෙසක් මංගල්ලයක්...


නොරට තනිකඩ සඳළුතලයක
පැඟිරි සුවඳක් ඉහෙනවා...
පිරුණු සඳවත වලා අතරින්
සඳළුතලයට එබෙනවා...

කිමද අද මේ පුදුම එළියක්
සඳවතෙන් මම අහනවා...
"සිහි මදිද? අද වෙසක් පෝදින"
ඇයත් ඔච්චම් කරනවා...

ගමේ හැමතැන වෙසක් කොහොමද?
"හොඳයි..! දන්සැල කරනවා..."
"මෙදාපාරත් කවි බණක් හෙම
 පන්සලේ අද තියෙනවා..."

බණ අහන්නට ඇයත් එන්නැති?
සඳවතෙන් මම අහනවා...
"ඇවිත් හිටියද කොහෙද වෙන්නැති..."
සඳ නෝක්කඩු කියනවා...

නංගිලත් එක්කලා එන්නැති?
නැවත මීවිත පිරෙනවා...
පිළිතුරක් දෙන්නැතුව සඳවත
වළාකුළකින් වැහෙනවා...

පිංතූරය ගත්තේ @clarebear6t3

Web Statistics