Monday, August 11, 2014

95. දූවිලි…

“ආ මෙන්න…”

තුහින වැස්සෙන් බේරෙන්න දෙකට නැමීගෙන දුවගෙන එන ඉබ්බාට වාහනේ ඇතුළට රිංගන්න පහසුවෙන්න මම කෝපි කෝප්ප දෙක ඉස්සෙල්ලාම ඇතුළට ගත්තා…

“මේක මගේ එක…”

හීතලට මගේ ඇති අධි සංවේදීතාවය ගැන ශාපකරන ඌ, ඊළඟට වාහනයේ හීටරය අඩුකරලා මගෙන් එක කෝපි කෝප්පයක් උදුරගන්නවා…

“ඇයි ඒ උඹට වෙනම එකක්…?”

“ඒක ෆ්ලේවර්ඩ්…”

“මොකද්ද ෆ්ලේවර් එක…?”

“හුජ්ජ ෆ්ලේවර්… කට වහගෙන ඕක බීපන්…”

ඌ දමාගසන කේන්තියට හේතුව වටහා ගැනීම මට අපහසුවක් නෑ…

“මේ හීතලේ කොහොමද බන් බියර් බොන්නේ… කෝපි බීපන්… බීලා හැදියන්…”

මම කියන්නේ කෝප්පයේ ප්ලාස්ටික් ආවරණය මඳක් ඉවත්කරලා කෝපි සුවඳෙන් හිත පුරවා ගන්න ගමන්…

“උඹ දන්නවද තුර්කියෙද කොහෙද තිබිලා තියෙනවා විකාර නීතියක්… වයිෆ් කෝපි එකක් හදලා දුන්නේ නැත්නම් හස්බන්ඩ්ට පුළුවන්ලු වයිෆ්ව ඩිවෝස් කරන්න…”

නොකිවයුතු දෙයක් කියවුණු බව මට වැටහෙන්නේ ඉබ්බාගේ බර සුසුම් හඬින්…

“සමහරවිට ඒක අපිට හිතෙන තරම් විකාර නීතියක් නෙමේ වෙන්න ඇති…”

එහෙම කියපු ඉබ්බා වාහනේ රේඩියෝව ක්‍රියාත්මක කරනවා…දැන් ඉතින් තියෙන්නේ ඇය එනතුරු බලා සිටීම…

විශ්වවිද්‍යාල බිම දක්වා වැටුණ මාවතේ නානාප්‍රකාර ජාතීන්ගෙන් යුත් තරුණ තරුණියන් අපි පහුකරගෙන ඔබ මොබ යනවා… ඉරටු ඇස් ඇති ආසියානු තරුණියන් යන්නේ තුහින වැස්සෙන් බේරෙන්න කුඩයක් ඉහලාගෙන… තරුණයින්ට නම් තම ශීත කබායේ හිස් ආවරණය ඇති ගානයි… ඒ කිසිත් නැතිව ඉදිකටු වැනි සීතල තුහින වලට සිත්සේ පෙඟෙමින් අප පසුකර ඇවිද යන මුරණ්ඩු තරුණියක හෝ තරුණයෙකුත් නැතුවා නෙවෙයි….

“උඹට මතකද අපි මාතෘඡායා එක ඉස්සරහට වෙලා කලනි එනකල් මේ විදියටම බලාගෙන හිටියා…”

ඇසෙන නෑසෙන ගානට මුසුවෙන රේඩියෝවේ ජෑස් සංගීතය අතරින් මම අහන්නේ සිහින් දියබිඳු විසිරිලා බොඳවුණු ඉදිරි වීදුරුවෙන් විශ්වවිද්‍යාල භූමිය දිහා බලාගෙන…

“හ්ම්ම්… මතකද බොකාලගේ සෙට් එකෙන් අම්බානකට කෑව දවස… ෂික් වැඩක් නෑ බන් සේරම… ඒ වෙලාවට විතරයි…“

අවුරුදු පහළොවක් කියන්නේ අවශ්‍යය නම් හුඟක් දේ අමතක කළහැකි කාලයක්… නමුත් අවශ්‍යම දේවල් හැරෙන්න… ඒ ඉබ්බා කලනිට ට්‍රයි කරන දවස්…

++++++++++++++++++++++++++++++++++++++++++

“බොකා කියන ඩයල් එක උඹ දන්නවද..? ඌ කලනි පස්සෙන් වැටිලා ඉන්නවා… මට ඌට වෝනින් එකක් දෙන්න ඕනේ…”

බැංගලෝරයේ ලාබ තැබෑරුමක අඳුරු මුල්ලකදී ඉබ්බා ඉල්ලන්නේ තරුණ මදයට පිටුනොපාන උදව්වක්…

“දෙමු… ඌ හොස්ටල් ඉන්නේ… වරෙන් දැන් යන්…”

කොහේදෝ යමින් සිටි මිතුරෙකු නවතාගෙන, ඔහුගෙන් ණයට ඉල්ලාගත් ඒ දිනවල ඉන්දියාවේ ජනප්‍රිය බුලට් නම් යතුරුපැදියක එල්ලෙන අපි දෙන්නා බොකාගේ නේවාසිකාගාරය කරා ඉගිලෙන්නේ බුලට් වේගයෙන්… අපේ කැඳවුමෙන් නේවාසිකාගාරයෙන් එළියට එන බොකා බීලා නෑ…

“මචං මෙහෙමයි… කෙල්ලෙක් හින්දා අපි මරාගන්න ඕනේ නෑනේ… මට කියන්න තියෙන්නේ මෙච්ච…”

උගේ පැහැදිලිකිරීම අවංකව මටනම් දිග වැඩියි…

චටාස්…!!!

“අත පාත දාලා කතා කරපන් කැ……!”

ඒ මම නොවේ අරක්කු විය යුතුයි… කම්මුල අල්ලාගෙන නේවාසිකාගාරය ඇතුළට දිවයන බොකා ඊලඟ මොහොතේ සිහිකරදෙන්නේ උගේ නේවාසිකාගාරයට පැමිණ ඌට පහරදීමට තරම් එඩිතර වූ අපි දෙදෙනා කෙතරම් අනුවණද යන කාරණය… තවත් සුළු වේලාවකින් නේවාසිකාගාරයේ සිට බොකා පසුපසින් දිවඑන ඔහුගේ නඩය ගණන් කිරීම මම අතැර දමන්නේ තේරුමක් නැතිබව වැටහෙන නිසයි…

මුගේ අම්… චට…පටාස්…

මුහුණට පෙර බඩට වැදුනාද, බඩට පෙර මුහුණට වැදුනාද යන්න මට නිච්චියක් නැහැ… උණුසුමට දිවට දැනෙන්නේ ලේ රස විය යුතුයි… මාව කානුවෙන් ගොඩට ගත්තේ නිතර සේවය ලබාගැනීම නිසා දැන හඳුනාගෙන සිටි ඔටෝ රික්ෂෝ රියැදුරෙකු බව මම ඔහුගෙන්ම දැනගන්නේ අප තිදෙනාගේ පංති තහනමෙනුත් සතියකට පමණ පසුවයි…

හදිසි අනතුරු අංශයේදී ලැබෙන ප්‍රථමාධාරත්, නේවාසිකාගාර නීති කඩමින් මැදියම් රැයේම අප දෙදෙනා සොයා රෝහලට දිව එන්නට එඩිතර වෙන මිතුරියන් එකෙකු දෙන්නෙකුත් තුවාල වල වේදනාව තුනී කරන්න ප්‍රමාණවත්…

රෝහලේ පොලිස් පොත් මඟහැර බෝඩිමට පැනගන්නට අපිට  පිහිටවෙන්නේ ඉන්දියාවේදී ඕන මජර වැඩක් යට ගහන්න උදව්කරන අවිහිංසාවාදයේ පියා, මහත්මා ගාන්ධි…

ඉන් වසර හතරකට හෝ පහකට පසු මගේ විද්‍යුත් තැපැල් ඉන්බොක්සුවේ “Our engagement” නම් හෙඩිමලත් ලිපියක එල්ලී ඇති ජායාරූපයක, කලනි තුරුළුකරගෙන ඉන්නා ඉබ්බාගේ සිනහව මට ගෙනෙන්නේ නොමඳ සතුටක්…

“Congrats nigga… f*king awesome…”

+++++++++++++++++++++++++++++++++++++++++++

“ආ මෙයා කවදද ගොඩබැස්සේ…”

මගේ අතීතාවර්ජනය බිඳිමින් පසුපස දොර ඇරගෙන අප සිටිනා රථයට නැග ගන්නේ කලනි… විශ්වවිද්‍යාල මාවතේ ඇස් රිදෙන තුරු අප දෙදෙනා බලාගෙන සිටියත් සැබැවින්ම ඇය පැමිණ ඇත්තේ අපි බලාපොරොත්තු නොවූ වෙනත් කෙටි පාරකින්…

“ආ මෙන්න…”

තම ගමන් බෑගයෙන් ගන්නා ෆයිල් කවරය ඉබ්බාගේ අත තබමින් ඇය පවසනවා…

“සේරම හරියට ෆිල් කළා නේද..?”

ඉබ්බා අසන්නේ ෆයිල් කවරයේ ඇති කඩදාසි පිටු එකින් එක පෙරළමින්…

“ඔව්…”

මට නැවතත් සිහිවෙන්නේ ඒ කාලයේ ඉබ්බා සමඟ ගෙවුණු හැන්දෑවවල්…

“උබ හිතන්නේ මේ කවියේ තියෙන්නේ හා කියලාද..? බෑ කියලාද..?”

කලනිගේ අත් අකුරු රැගත් කවියක් මට දික්කරන ඔහු අහන්නේ අහිංසක ලෙස…

“මම කොහොමද බන් දන්නේ…”

“නෑ උඹට හිතෙන විදිය කියපන්කෝ…”

ඒ නිසඳැසේ දකුණුපසට ඇලවෙන්නට ලියා තිබූ  ඇගේ අත්අකුරු මට තවමත් සිහිකරගැනීමට අපහසු නැහැ… ඒ ඇය විසින් පුරවා දැන් මේ ඉබ්බාට දුන් දික්කසාද පත්‍රිකාවල සටහන්ව ඇති අත් අකුරුමයි…

“ඔයා ගෙදරද යන්නේ… අපි ඩ්‍රොප් කරන්නම්…”

“එපා.. මගේ වැඩ ඉවර නෑ… මම ආපහු යුනි එකට යනවා…”

“හ්ම්ම්… මම  එහෙනම් හෙට මේ ටික සබ්මිට් කරනවා…”

“හා… මම ලැප් එක තීසිස් එක ඉවරවෙලාම දෙන්නද..?”

“ඒක තියාගන්න…”

“එපා… මම ඉවරවුණාම දෙන්නම්… එහෙනම් මම යනවා… බායි… “

“බායි…”

“බායි බීට්ල්…”

සියල්ල මෙතරම් සරලද… නඩු විභාගය ඔවුන් දෙදෙනාම මඟහරින බව ඉබ්බා මට පවසා තිබුණා… එසේනම් මේ ඔවුන් දෙදෙනා උවමනාවෙන් හමුවෙන අවසන් හමුවයි…

“පොඩ්ඩක් ඉන්න…”

මම කෑගසද්දී, දොර හරින්නට ගිය ඇය නවතින්නේත්, ඉබ්බා පුදුමයෙන් මා දෙස බලන්නෙත්, අප තිදෙනා හැර ලෝකයම නවතින්නේත් එකවිට…

“ඇයි…?”

ඇය අසන්නේ මා කතා නොකරන නිසා විය යුතුයි…

“එච්චරද..?”

“එච්චරද කියන්නේ…?” මෙවර අසන්නේ ඉබ්බා…

“දැන් උඹලා මාස ගානක් ට්‍රයි කරලා… අවුරුදු ගානක් ආදරය කරලා… තව අවුරුදු ගානක් පවුල් ජීවිතේ ගෙවලා…දැන් බායි කියලා යනවා… එච්චරද…? අනේ මට තේරෙන්නෑ බන්…”

මට දැනෙන හැඟීම පැහැදිලිව පැවසීම සඳහා වචන ගලපාගැනීමට මම නොගත් උත්සාහයක් නැති තරම්…

“ඔයා කියන්නේ මොකද්ද කියලා මට තේරෙන්නෙත් නෑ… අපි වෙන්වෙන්න තීරණය කරලා ඉවරයි… ඔයා කියන්නේ ඒක කරන්න එපා කියලද..?”

කලනි අහන්නේ මාව තවත් අපහසුතාවයට පත් කරමින්…

“නෑ… නෑ… ඒක දැන් කොහොමත් වෙන්නේ නෑනේ…”

“එහෙනම්…?”

ඒ ඉබ්බා…

“නෑ උඹලා අතරේ තිබුණ අවුරුදු ගානක සම්බන්දෙ ඉවර කරද්දී, උඹලා ඒකට දෙන වටිනාකම එච්චරද..? මම යන්නම්… බායි…එච්චරද…? දෙයියනේ උඹලට දුක නැද්ද…? ”

මට හැඬුම් යන්නට එන්නේ මන්ද මට තේරෙන්නේ නෑ…  සමහර විටෙක ඒ මේ අවස්‍ථාවේ එතැන ඉන්නට වීම ගැන මා කෙරෙහි උපන් කේන්තියකින් විය යුතුයි…

“සම්බන්දේ ඉවරවුණේ දැන් නෙමෙයි බීට්ල්…”

මගේ හිස අතගා පවසන ඇය වාහනයෙන් බැස යද්දී ඉබ්බා ලීවරය රිවස් ගියරයට මාරු කරන්නේ මොනවාදෝ මුමුණමින්…

කිසිදා ලියවෙන්නට ඉඩ නොතිබුණු මේ සටහන ලියවුණේ අද රූපවාහියේ අහම්බෙන් නැරඹූ ගීතයක් නිසා… මේ මියුසික් වීඩියෝවේ නිවැරදි තෙරුමක් හරියටම මම දන්නේ නෑ… මිනිසාගේ අධික සම්පත් පරිභෝජනය වැනි ගැඹුරු අදහසක් මිස, උන්දෙන්නාට වගේ වගක් නැති වුවත් මම දුක්වෙන, ඉබ්බාගේත් කලනිගේත් වෙන්වීම ගැන නොවෙන බව මට විශ්වාසයි…

නමුත් මෙම ගීතයේ ඇති අසාමාන්‍ය රූප රචනයත්, එහි පදමාලාවත්, සති අන්තයේ ඉබ්බාගෙන් ලැබුන ඔවුන් නීත්‍යානුකූලව වෙන්වූ බව පැවසූ ස්කයිප් ඇමතුමත් යන තුනම අමතක කරන්න මට ටික දවසක් යයි…

 

Gotye - Eyes Wide Open

With our eyes wide open, we
With our eyes wide open, we

So this is the end of the story,
Everything we had, everything we did,
Is buried in dust,
And this dust is all that's left of us.
But only a few ever worried.

Well the signs were clear, they had no idea.
You just get used to living in fear,
Or give up when you can't even picture your future.

We walk the plank with our eyes wide open.

We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah, we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)

Some people offered up answers.
We made out like we heard, they were only words.
They didn't add up to a change in the way we were living,
And the saddest thing is all of it could have been avoided.

But it was like to stop consuming is to stop being human,
You'll want to make a change if you won't.
We're all in the same boat, staying afloat for the moment.

We walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open, we)
Yeah we walk the plank with our eyes wide open, we
(Walk the plank with our eyes wide open.)
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open,
We walk the plank with our eyes wide open, we

With our eyes wide open, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank, we walk the plank.
With our eyes wide open, we walk the plank, we walk the plank.

That was the end of the story.

Tuesday, August 5, 2014

94. මිනීමරුවා

I

Paper Toss 001.jpg

“ප්‍රෙග්නන්ට්… !? එහෙම කොහොමද වෙන්නේ…?”

දෙපා අඩපණව යනවාක් මෙන් දැනුණ හෙයින් සෝෆාවට ඇදවැටුණු මම කෑගැසීමි…

“මම ඔයාට කිව්වා ගිය මාසේ දවසක ඔෆිස් එකේදී, මගේ පිල්ස් ඉවරයි කියලා… ඔයා ඇහුවේ නෑ…”

ඇය නැඟිට කෝපි මැෂිම වෙත ඇවිද ගියාය… “Ready to Serve” එහි කොළ පැහැයෙන් නිවෙමින් දැල්වෙයි…

“මමයි නිතුයි දැන් මාස ගානක ඉඳන් බබෙක්ට ට්‍රයි කරනවා... හරියන්නේ නෑ… මෙතන එක දශමයක් වරදින්න ඇති, දැන් ඔයා ප්‍රෙග්නන්ට්ලු… “

“ඒ ඔයා මට ආදරේ හින්දා… ආදරේ නැතුව කන්සීව් වෙන්නෑ…”

සෝෆා ඇන්දේ වාඩිවූ ඇය මට කෝපි කෝප්පය දිඟු කලාය… මේ කිනම් විනාශයක්ද…? ඇයට වගේ වගක් නැති ගානය…

“අපි දරුවාව නැති කරමු…!”

“මම මැරුවත් ඒක කරන්නේ නෑ…”

ඇගේ මුරණ්ඩුකමේ තරම මම දැන් හොඳින් දනිමි…

“එහෙනම් මොකද්ද අපි කරන්නේ…?”

“අපි මැරි කරමු… ඔයා ඩිවෝස් වෙන්න.. මේ අපේ දරුවා… අපි මෙයාව හදාගමු…”

“ඔයාට පිස්සුද…?”

“මොකද්ද පිස්සුව… ඔයා කවදාහරි ඒක කරන්නනේ හිටියේ… මේ තමයි හොඳම වෙලාව…”

“ඒක ඔයා හිතන තරම් ලේසි නෑ…”

“ඇයි ලේසි නැත්තේ…? ඇයි..? ඔයා කිව්ව විදියට ගෙදර ජීවිතේ එපා වෙලානම් ඔයා ඉන්නේ, ඇයි ඔයාට ඒක කරන්න ලේසි නැත්තේ…? ඇයි..?”

මෙම සංවාදය අවසන් කළයුතුයැයි මට සිතේ… අද සවස රිද්මා මා සමඟ කතාකරන්නට අවශ්‍යයයැයි පැවසූ විට එය ඇගේ අනාගතය පිළිබඳ කාරණයක් බව අනුමානයෙන් මම දැන සිටියෙමි… එහෙත් හෙණ පුපුරන්නාක් වැනි මේ ක්ෂණික විනාශය මා කිසිසේත් බලාපොරොත්තු වූවක් නොවේ… රිද්මා හා සම්බන්ධය ආරම්භවෙමින් පැවති අවස්ථාවේදී නිතූ හා මාගෙවන නීරස දිවිය ගැන මම පැවසූ කරුණු වල අසත්‍යතාවයක් නැති නමුත්, නිතූ අතැර ගෙවන අලුත් ජීවිතයක් ගැන මම සිතා නැත්තෙමි… ඒ බව මා රිද්මාගෙන් වසන් කළා නොවෙද..? දැන් සියල්ලට පමා වැඩිය…

“අපි දැන් පාටි එකට යමු මේ ගැන යන ගමන් කතාකරමු…”

කතාකරන්නට දෙයක් නැති බව මම දනිතත්, මෙම අමිහිරි සංවාදය මොහොතකට හෝ කල්දමා ගන්නා අටියෙන් මම පැවසීමි…

“මට යන්න මුඩ් එකක් නැහැ… ඔයා යන්න…”

ඇය නොපැමිණෙන්නේනම් හොඳයැයි මටද සිතුණි… මේ අප ආයතනයේ වාර්ෂික සුහද සාදයයි… මගේ පුද්ගලික ලේකම්වරිය වන රිද්මාගේ පැමිණිම අනිවාර්ය නොවූවද මගේ නොපැමිණීම අඩුවක් ලෙස ඉස්මතුවනවා නොඅනුමානය…

“මම නොගිහින් බැහැනේ…”

“කවදද ඔයා නිතූට කියන්නේ…?”

“මොකද්ද…?”

“මොකද්ද…!?”

එසැවුණු දෙබැමට යටින් ඔරවාගෙන සිටින ඇගේ දෑස් මඟහැර මම පැවසීමි… දහවල් රාජකාරිය වෙනුවෙන් මා හැඳසිටි සුදුකමිසය සාදයකට ගැළපෙන්නක් නොවේ…ඒ වෙනුවෙන් සූදානම් කල, ටයි පටිය වෙනුවට බෝ එකක් සහිත සැඳෑ ඇඳුම් කට්ටලයක් වාහනයේ ඇතිබව නිතූ දෙවරක්ම මතක් කලාය…රිද්මාගේ නවාතැනේදී ගත දොවාගෙන එය ඇඟලා සූදානම්වීම මගේ අදහස් වුවත් මේ අමිහිරි වටාපිටාව මඟහැර යන්නට මට වුයේ දැඩි අවශ්‍යතාවයකි…

“ළගඳිම… “

නොසතුටක් ඉඟියෙන් දැක්වූ රිද්මා, වීදුරු මේසය මත වු හිස් කෝපි කෝප්පය රැගෙන පසෙක වූ විවෘත කුස්සිය වෙත පියමැන්නාය…

“ළගදිම කියන්නේ කවදද..?”

ඇය සින්ක් එකේ ජල කරාමය හරින තුරු මම පිළිතුරක් දීමට පමාවීමි… එහෙත් එහි ලීවරයට අත තබාගෙන ඇය මා පිළිතුරක් දෙනතුරු බලාසිටී..

“ළඟදිම කියන්නේ ළඟදිම…”

“තව සතියක් ඇතුළත ඔයා කිව්වේ නැත්තම්.. මම නිතූට කියනවා…”

ස්රූස්… හඬ නගමින් කරාමය විවෘත විය… ඇගේ හැටි මම හොඳින් දනිමි… වසර ගණනක් මා වෙහෙසවී උපයාගත් සමාජ තත්වය වීදුරු පළඟනක් පොළවේ ගැසුවාක් මෙන් සුණු විසුණු කර දැමීමට ඇය සැරසෙයි… මොහොතක සුවයට මෙතරම් මිලක් ගෙවන්නට සිදුවෙනු ඇතැයි මම කිසිදා නොසිතුවෙමි… එහෙත් දැන් සියල්ල සිදුවී හමාරය… නිවැරදි කිරීමක් අවශ්‍යව තිබේ… හඬක් නොනැගෙනසේ නැඟීසිටි කුස්සිය වෙත ඇවිදගොස් ඇගේ පිටුපසින් සින්ක් එකට එබුනෙමි… කළුපැහැ කෝපි අවර්ණ ජලය හා මුසුව නිකල් පැහැ සින්ක් බේසම පුරා රටා මවමින් පෙණ නඟයි… සර්පයන් වැනි එම රටාවැල් සින්ක් බේසම මැද පිහිටු කුඩා සිදුරු හයකින් සමන්විත කවුළුව වෙත ඇදීයන්නේ තරඟයට මෙනි… බේසමෙහි වූ අඳුරුපැහැ ජලය සියල්ල කවුළුවෙන් පිටවී අවසන්වූ පසු මට දැනුණේ මහත් සැනසිල්ලකි…

“මට සමාවෙන්න...”

පිටවීමට පෙර ඇගේ මුව සිපගැනීමට නැඹුරුවෙමින් මම පැවසීමි… ඇය එය මඟහැරියාය… මම පිටවීමි…

II

email-color-on-color.jpg

වාහනයට නැඟගත් මට දැනුණේ මහත් සැහැල්ලුවකි…එය පණගැන්වීමට මම මඳක් පමා වූයෙමි… හැඳසිටිනා ඇඳුම ඉවත්කර, වාහනයේ පසුපස අසුන අරා එල්ලෙන සැඳෑ ඇඳුම ඇඟලා ගැනීමට දැඩි අවශ්‍යතාවක් වුවද, නැවත රිද්මාගේ නවාතැනට යෑම වේදනාවකි...හෝටලයෙන් පැය කිහිපයකට කාමරයක් සපයාගැනීම අපහසු නොවනු ඇති… සුසුමක් හෙළු මා අවසන් වරට රිද්මාගේ නිවස දෙස හැරී බැලුවෙමි…

මා යායුතුව ඇත… වාහන පණගන්වන ස්විචයට ඇඟිල්ල තැබුවා පමණි… කාන්තාවක් මරහඬ දී කෑ ගසන විලාපයකින් මා වෙවුලා ගියේය… ඒ රිද්මාගේ කටහඬයි… භීතියෙන් මුසපත්ව ඈ කෑගෑවේ මගේ නමයි… අසුරු සැණින් වාහනයෙන් එළියට පැනගත් මම ඇගේ නිවස දෙසට දුවන්නට වීමි… කවුරුන් හෝ පිහිපහර දී ඇය මරා දමා ඇත… මා නිවසට ඇතුළුවීමට පෙර ප්‍රධාන දොරෙන් ඉවතට දිව ආ මිනිසෙකු නිසා ගල්ගැසුණු මම මිදුලේ නතරවුනෙමි…ඔහුගේ සුදුකමිසය පුරා ලේ පැල්ලම්ය… එක් අතක මුළුතැන්ගෙයි පිහියකි…

“යමු වැඩක් නෑ… යමු…”

මාවෙත දුව එමින් ඔහු කෑගසයි…

“තමුසේ කවුද..?”

සිහි එළවාගැනීමට තතනමින් මම කෑගැසුවෙමි… පිළිතුරක් දෙනු වෙනුවට ඔහු මා වෙත දුව ආවේය… මම දෝතින්ම දෑස් වසා ගතිමි…

“යමු.. යමු… එනවා යන්න…!”

දෙනෙත් හැර බලන විට මා දුටුවේ ඔහු මාගේ වාහනයට නැඟගෙන කෑගසන බවයි… නිවස වෙත යෑමට පියවර කිහිපයක් තැබූ මා නැවතත් නතරවීමී… ඇගේ කෑගැසීම අසල්වැසියන්ටද ඇසෙන්නට ඇත… සුළු මොහොතකට පෙර මාගේ අනියම් සම්බන්ධයක් ලෝකයා දැනගනීවි යැයි මම බියවීමි… දැන් මේ එළිවන්නට යන්නේ එය පමණක් නොවේ… මිනීමැරුමකි… තවත් පමා නොවූ මම ආපසු හැරී වාහනයට දිව ගියෙමි…

“යං යං…” වට පිට බලමින් මිනීමරුවා කෑගසයි…

එකවරම අප දෙදනාටම පසක් වූයේ කලබලය නිසා ඔහු රියදුරු අසුනටද මම අනෙක් පස මඟී අසුනටද නැඟගෙන ඇති බවයි… ඇසිල්ලකින් එළියට බට අපි වාහනය ඉදිරියෙන් එකිනෙකා පසුකර දිවගොස් ආසන මාරුකරගතිමු… ඔහු පසුකර අනෙක් පසට දුවයද්දී, මා ඔහුගේ උරහිසේ ගැටුන අතර “සොරි” යැයි පැවසීමට ඔහු ආචාරශීලී විය…

මම හැකිවැර යොදා ඇක්ස්ලේටරය පෑගුවෙමි… කෑගස්සමින් රෝද එකතැන කරකැවුණු රථය ඊළඟ මොහොතේ පිම්මේ රිද්මාගේ නිවසින් ඈතට ඇදෙන්නට විය…

මා කෙතරම් වේලා රිය ධාවනය කළාදැයි මම නොදනිමි… රථයට පරිබාහිර සියල්ල කිසිඳු හඬක් නොනගා පරිගණක ක්‍රීඩාවක මෙන් වේගයෙන් අප ඉදිරියට ඇදීවිත්, අප පසුකර යයි… පසුබිමින් ඇසෙන අලාර්ම් ශබ්දයක හඬ සෙමින් දැනෙන්නට පටන් ගනිද්දී මම වාහනයේ වේගය ලිහිල් කළෙමි… ආසන පටි පැළඳ නොමැති බව හඟවන අනතුරු හැඟවීමේ සංඥාව නොනවත්වා හැඬවෙයි… මම අනෙක් අසුන දෙස බැලුවෙමි… එහි වකගසාගෙන වාඩිවී සිටින මිනීමරුවා නොනවත්වා ඉදිරියටත් පසුපසටත් පැද්දෙයි… ඔහුගෙන් මට තර්ජනයක් නොමැති බව දැනුණෙන් මම සෙමින් වාහනය මාර්ගයෙන් ඉවතට ගෙන නැවැත්වීමි…චලනය නතර කල ඔහු මා දෙස බැළුවේය…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

පරාජිත හඬකින් ඔහු පැවසුයේය…ඔහු කවුද..? රිද්මාගේ නිවසට කොහෙන් කඩා පාත්වූවාද..? ඇයව මරා දැම්මේ ඇයි…? යනාදී ගැටලු රැසක් වුවද, මට අවශ්‍යය වූයේ හැකි ඉක්මනින් මේ මිනිසාගෙන් මිදී පළා යන්නටයි…

“බහිනවා වාහනෙන්…”

එය ළංවූයේ විධානයකට වඩා ආයාචනයකටයි…

“මට වෙන කරන්න දෙයක් තිබුණේ නෑ…”

ඔහු මාගේ ඉල්ලීම ගණනකට ගත් බවක් නොපෙනුනි…

“දෙයියන්ගේ නාමෙට වාහනෙන් බහිනවා…”

ගතේ සියලු ශක්තිය කැටිකොට මම කෑගැසීමි…

“මෙහෙම..?”

සිරුර පුරා විසිරුණු ලේ පැල්ලම් දක්වමින් ඔහු ඇසීය… මම පසුපස කණ්ණාඩියෙන් මගේ අමතර ඇඳුම දෙස බැලීමි.. එය තවමත් පසුපස අසුනේ වෙයි…

“පිටිපස්සේ තියෙන ඇඳුම අරගෙන මාව නිදහස් කරලා යනවා මෙතනින්…”

“නිදහස් කරන්න මම ඔහේව හිරකර ගත්තේ නෑ…”

පසු පසට නැඹුරුවුනු ඔහු හැඟරය වාහනයේ වූ ප්ලාස්ටික් රැඳවුමේ ඉතිරිව තිබියදී, එහිවූ ඇඳුම් සියල්ල තමා වෙතට ඇදගනිමින් පැවසීය…

“ඒකිට ලැබෙන්න තිවුණ දේ ලැබුණා…”

ඔහු තම කමිසයේ බොත්තම් මුදාහරින්නට පටන් ගති…

“තමුසේ කවුද..?”

ඔහුට කමිසය මාරු කරගන්නට කාලය දෙමින් මම ඇසීමි…

“ඔහේ වගේම ඒකිගේ මායම් වලට රැවටුණ කෙනෙක්… දැන් සේරම හරි… මගේ ඇඳුම් ටිකයි පිහියයි ඔය ඉස්සරහා පාලමෙන් ගඟට විසිකරමු… ඊට පස්සේ මම බැහැලා යන්නම්…”

ඔහු සන්සුන්ව පැවසීය… මම සෙමින් වාහනය නැවත මහා මාර්ගයට ගත්තෙමි… ලේ තැවරුණු ඇඳුම්ද, පිහියද ගුලිකරගත් ඔහු පාලම අසලදී වාහනයෙන් බැස ගත්තේය…අනතුරුව දොර වැසීමට පෙර මා දෙස තප්පර කිහිපයක් බලා සිට සෙමින් කටහඬ අවදි කලේය…

“මේ ගැන කටේ කෙළ පොදක් බිම හෙළන්න එපා කියලා ආයේ අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ… මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ… හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

“දඩස්…!” යන හඬින් වාහනයේ දොර වසා දැමූ ඔහු නිහඬව ඇවිද ගියේය…

මම සැනසුම් සුසුමක් හෙළුවෙමි… ආසන පටි අනතුරු සංඥාවෙන් නොනවත්වා නැඟෙන ශබ්දය හැරෙන්නට සියල්ල සන්සුන්ය… මේ හීනයක් නොවෙන බව පසක් කර ගැනීමට මම දෑතින්ම වෙර යොදා මගේ හිසකෙස් ඇදගත්තෙමි… ඔහු අවසන් වරට පැවසූ දෙයෙහි අරුත කුමක්ද? ඒ අවවාදයක්ද නැතිනම් තර්ජනයක්ද..? මේ මිනිසා කවුද..? රිද්මා මට වංචා කළාද..? නිමක් නැති ප්‍රශ්න වැලක් මසිතේ නලියන්නට විය… දැන් මට පලා යා හැක.. නමුත් ඔහු අවසන් වරට පැවසූ වදන් තවමත් මාගේ ඔළුවේ රැව් දෙයි…

“මතක තියාගන්නවා මම එතන හිටියා කියලා කවුරුත් දන්නේ නෑ…හැබැයි ඔහේ එතන හිටියා කියලා මම දන්නවා..!”

මම වාහනයේ ඉදිරි වීදුරුවෙන් ඔහුගේ ඉරියව් දෙස බලා සිටියෙමි… බරැති ගලක් වැනි යමක ඔහු තමාගේ ඇඳුම් පටලමින් සිටියි… සැබැවින්ම පලායන්නේ මා නොවේ… සියල්ල සඟවා මගෙන් පලායන්නේ ඔහුයි… මෙතෙක් කිසිවෙකු දැන නොසිටි රිද්මා හා මාගේ රහස දන්නේ ඔහු පමණි… ඔහුගෙන් නවතා ගතහොත් එය ලොවට කිසිදා හෙළි නොවනු ඇති… අනෙක මේ පළායන්නේ මට ආදරය කල රිද්මාගේත්, මට දාව ඇයට පිළිසිඳගත් දරුවාගේත් මිනීමරුවායි... මම වටපිට බැලුවෙමි… හාත්පස පෙනෙනතෙක් මානයක කිසිවෙකු නැත… කලුගලේ එතූ ඇඳුම් ටික සහ පිහිය පාලමෙන් ගඟට අතහැරි ඔහු, මා දෙස වරක්වත් හැරී නොබලා ඇවිද යන්නට විය… දඩයමකට ඉව අල්ලන බළලෙකු සේ මම සෙමින් ආසන පටි පැළඳගතිමි… අනතුරු හැඟවීමේ නාදය නතරවූයෙන් මට දැනුණේ මහත් අස්වැසිල්ලකි… ඒ සමඟම යතුරු පුවරුවේ නිවෙමින් දැල්වෙමින් තිබූ රතුපැහැති මිනිසාගේ රුව නිවී ගියේය… ප්‍රධාන විදුලිපහන් නිවාදැමූ මම හැකි වෙරයොදා වාහනය මිණීමරුවා වෙත පැදවූයෙමි…

“දඩස්…” යන හඬින් ඔහු බොනට්ටුවේ ගැටෙන ශබ්දයද, ඉන්පසූ කිසිවක් රෝදයේ පැටලී එන්නාක් වැනි ශබ්දයක්ද නිකුත් විය… අනතුරුව ඉදිරි රෝදයෙන් වරක්ද, පසුපස රෝදයෙන් තවත් වරක්ද වශයෙන් වාහනය දෙවරක් ගැස්සුනි… තවත් අඩි කිහිපයක් ධාවනය කර වාහනය නවතාගත් මම ආපසු හැරී බැලුවෙමි… රතුපැහැ ලාම්පු එළියෙන් සෙල්වීමක්වත් නැතිව බිම වැතිරී සිටිනා ඔහු පෙනේ… ඒ ක්ෂණයෙන් පසුපස ගියරට මාරු කරගත් මා ඇක්ස්ලේටරයට බර දුනි.. මෙවර පසුපස රෝදයෙන් පළමු ගැස්සීම… දෙවැන්න ඉදිරිපස රෝදයෙනි… ගියරය නැවතත් ඉදිරියට මාරු විය… දෙවරක් පුහුණු වූ නිසාදෝ මෙවර මට එය වඩාත් පහසු විය… පෙර පරිදිම එකයි… දෙකයි… නැවතුනි… අවදානමක් නොගන්නට තවත් වරක් පසුපසට ධාවනය කරන්නට මට සිත් විය… එකයි… දෙකයි… මම ප්‍රධාන ලාම්පු දැල්වීමි… පඬරැළක් මෙන් ඇඹරී ගිය ඔහුගේ දූවිලි වැකුණු නිසල සිරුර අහස දෙස බලාගෙන වැතිරී සිටී… ලේ සලකුණකුදු නොපෙනේ… සියල්ල සිදුවූයේ කෙතරම් ඉක්මනින්ද..? හනික විදුලි පහන් නිවාදැමූ මම වාහනයෙන් ඉවතට පැනගතිමි… හාත්පස පැතිරුණු අඳුරද, නිවා දැමූ ප්‍රධාන ලාම්පුද හේතුවෙන් ඔහුගේ සිරුරේ ඡායාවක් මිස වෙනත් සලකුණු පැහැදිලිව නොපෙනීම මට මහත් අස්වැසිල්ලක් විය… අනුමානයෙන් හිස පෙදෙස හඳුනාගත් මම ඇඹරීගිය ඔහුගේ දෑත් ග්‍රහනයට ගෙන පාලමේ ඇන්දේ වූ විවරයකින් පහළට තල්ලු කළෙමි... බරැති යමක් වතුරට වැටෙන හඬින් ඔහුගේ සිරුර ගඟට වැටෙන ශබ්දය ඇසීමට මට අවශ්‍යය වුවද එවැන්නක් ඇසුණාදැයි මට සැක සහිතය... බාගදා පාළම හුඟක් උස ඇති...

කාර්යාලීය ඇඳුමෙන් සාදයට යන්නට සිදුවීම තරමක ලැජ්ජාවක් බව සැබැවි... එහෙත් එය කිසිසේත්ම රිද්මා හා මාගේ වූ සබන්ධය එළිවීම තරම් ලැජ්ජාවක් නොවේ...

වාහනයට නැඟගත් මම, විදුලිපහන් දල්වා අව්ආවරණයෙහි පිටුපස වූ කණ්ණාඩියෙන් කොණ්ඩය යනාදිය සකසාගෙන මාගේ බාහිර ස්වරූපයේ ලොකු ගැටලුවක් නැති බව පසක් කරගතිමි... අනතුරුව මඳක් ඇදවී තිබූ බෝ එක නිසි පරිදි සකස් කරගෙන, රිද්මාගේ මිනීමරුවාගෙන් පළිගත් සතුට සිත තුල නලියද්දී සාදය පැවැත්වෙන හෝටලය වෙත සෙමින් රිය ධාවනය කරන්නට වීමි...

~නිමි~

 

ප.ලි. : රෝම ඉලක්කම් හෙම දාලා පිළිවෙලකට ලියන්නට ගත්තේ කොටස් හයක දීර්ඝ කෙටි කතාවක්… ටිකක් ලියද්දී දැනුන මහන්සිය හින්දා තමයි වැටහුනේ ඒවගේ ලොකු වැඩ වලට මම දැන් නාකි වැඩියි කියලා… ඒ හින්දා කියවන්න කෙනෙකුට අවම අසාධාරණයක් වෙන විදියට කලින් නවත්තන්න සිදුවුනා…

පිංතූර ගත්තේ  නිර්මාණ ශිල්පියෙක් වුන ANDRE WOOLERY නම් මහත්මයෙකුගේ පුද්ගලික වෙබ් අඩවියේ ඇති INVISIBLE HIEROGLYPHICS චිත්‍ර එකතුවකින් … මේ චිත්‍ර නිර්මාණය කර ඇත්තේ අයිපෑඩ් එකක සටහන් වී ඇති ඇඟිලි පාරවල් අනුසාරයෙන්ලු…

Web Statistics